දෝෂ නැතිව නිවසට ජනෙල් තියන නිවැරදි ක්‍රමය මෙන්න

ජනේල යනු ගෘහයක අභ්‍යන්තර පරිසරයත් බාහිර පරිසරයත් සම්බන්ධීකරණය කරන්නා වූ එක්‌ මාර්ගයකි. මූලික වශයෙන් නිවස තුළට අවශ්‍යවන ආලෝකය , උෂ්ණත්වය හෙවත් තාපය සහ වාතාශ්‍රය ලබා ගැනීමට මෙම මාර්ගය හේතුවෙයි. උෂ්ණත්වය පිළිබඳ විශේෂය වන්නේ වහල් පලය හැරුනු විට නැගෙනහිර දිශාවට සහ බටහිර දිශාවට පවතින ජනෙල් කවුළු වේ. නැගෙනහිර දිශාවට ඇති කවුළු තුළින් උදයේ ගලා එන හිරු රැස්‌ චණ්‌ඩ නොවන අතර, රාත්‍රි කාලයේ සිසිල්ව තිබුණු නිවසට අවශ්‍ය දෙයක්‌ම වේ.

නමුත් සවස්‌ කාලයේ බටහිරින් එන හිරු රැස්‌ දහවල උෂ්ණත්වයෙන් යුතුව තිබුණු නිවසට ගෙන එන්නේ අනවශ්‍ය චණ්‌ඩ බවකි. එබැවින් මේ දෙපැත්තේ ඇති ජනේල උසස්‌ දැනුමක්‌ ඇති වාස්‌තු විද්‍යාඥයකු විසින් මනා ලෙස සැලසුම් කළ යුතු වේ. මෙය කළ යුත්තේ ප්‍රදේශය, ගෘහය පවතින ස්‌ථානය, භූමි ස්‌වභාවය රුක්‌ රෝපණය, සුළං මුවාව ආදී කරුණු රාශියක්‌ නිරීක්‍ෂණය කිරීමෙනි. ජනෙල් තැබීමේදී ඇති තවත් විශේෂත්වයක්‌ වන්නේ නිවසේ අලංකාරය සහ ආරක්‍ෂාව ද එයින් බලාපොරොත්තුවක්‌ වන බැවිනි.

බිත්තියකට තබන ලද ජනේලය අනුව එම බිත්තියට යම් ශක්‌තියක්‌ ද ලැබේ. ජනෙල් සංඛ්‍යාව වැඩි වුවොත් බිත්තියේ ශක්‌තිය හීන වනු ඇත. ජනෙල් සංඛ්‍යාව අඩු වූ විට බිත්තිය ශක්‌තිමත් වනු ඇත.

නිවසකට තබන ලද ජනෙල් පුරුෂ පාද, ස්‌ත්‍රී පාද සහ නපුංසක පාද යනුවෙන් නම් කර ඇත. පුරුෂ පාදයේ තබා ඇති බිත්තිය ශක්‌තිමත් ය. ස්‌ත්‍රී පාදයේ ජනෙල් තබා ඇති බිත්තිය ශක්‌තියෙන් තොරය. නපුංශක පාද ජනේලයක්‌ පිහිටන ස්‌ථානය අනුව දොaෂ සහිත වේ.

පුරුෂ පාද ජනෙල් – නිවසක බිත්තියේ අඩි 3, 4, 5 දුරින් තවත් ජනේලයක්‌ තබා නැත්නම් එවැනි ජනෙල් පුරුෂ පාද ජනෙල් වන අතර ඒවා ශුභ පාද ජනෙල් ය. කාමරවල බිත්තියකට මෙම ජනෙල් තැබීම ශුභ පල ගෙන දෙයි.

ස්‌ත්‍රී පාද ජනෙල් – නිවසක බිත්තියේ අගල් 6 සිට 12 අතර පරතරය සිටින අයුරින් ජනේල තබා ඇත්නම් බිත්තිය ශක්‌තිමත් බවින් අඩු වන අතර ජනෙල් අතර පරතරය අඩු නිසා ඒවා ගැලවීමටඉඩ ඇත. එවන් ආකාරයට ජනෙල් තබා ඇත්නම් ඒවා ස්‌ත්‍රී පාද ජනෙල් ලෙස හඳුන්වයි.

නපුංසක පාද ජනෙල් – නිවසක බිත්ති මුල්ලක දෙපැත්ත අසුවෙන ආකාරට ජනේලයක්‌ තබා ඇත්නම් එම බිත්තියට මුල්ලක්‌ නොමැති අතර ඇත්තේ ලීයෙන් සෑදුන සම්බන්ධ මුල්ලකි. සමහර නිවෙස්‌වල උළුවස්‌සට සම්බන්ධ ජනෙල් සාදා ඇත. ඒවාද නපුංසක වර්ගයට අයත් ය. එම ජනෙල් අශුභය.

නිවසකට තිබිය යුතු ජනෙල් සංඛ්‍යාව – නිවසක ක්‍ෂේත්‍ර ඵලයෙන් 10 න් 1 ක්‌ සෑදෙන ප්‍රදේශයක්‌ වන සේ ජනෙල් තැබිය යුතුය.

ජනෙල් වලින් නිවසට ඇතිවන දෝෂ – යම් නිවසක අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනෙල් අඩු වුවොත් එයට අන්දක දොaෂය යනුවෙන් හඳුන්වයි. එම දෝෂය හේතු කොට ගෙන නිවැසියන්ට රෝග බෝවීම ආදිය ඇති වේ.

තවද ජනෙල් කවුළු නැති නිවස කාන දෝෂ සහිතයි. එම නිවැසියන් අන්ධභාවයට පත්වේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනෙල් තබා ඇත්නම් එම නිවස දුක්‌වන්ත නමැති දොaෂයෙන් යුක්‌ත වේ. මෙම දෝෂය සහිත නිවසට විනාශ රාශියක්‌ ඇති වේ. නිවසක ජනෙල් වෙනුවට කවුළු තබා ඇත්නම් වැසි සුළං ආදියෙන් කරදර ඇති වේ. මෙය බහිරව දෝෂය නමින් හඳුන්වයි. ඒ නිසා නිවැසියන්ට කරදර සිදුවේ.

බිත්තියක ජනෙල් තබන උස – බිත්තියක විවිධ මට්‌ටම් වලින් ජනෙල් තැබීම වැරදිය. වාස්‌තු විද්යුනුකූලව ජනෙල් තැබිය යුත්තේ පොළොව මට්‌ටමේ සිට රියන් 1 1/2 ක උසකිනි.

නිවසක තැබිය යුතු ජනෙල් ගණන ඉරට්‌ටේ විය යුතුය. ජනේලයක්‌ වශයෙන් සලකනු ලබන්නේ ලී කඳන් 4 කින් යුත් උළුවස්‌සකි. ජෙනල් පියන් 1, 2, 3, 4, 5 ආදී වශයෙන් තිබුණ ද එය ගණන් ගනු ලබන්නේ එක ජනේලයක්‌ වශයෙනි.

තනි පියනේ ජනේලනිවසකට අගුනය. අවම වශයෙන් ජනේලයකට පියන් දෙකක්‌වත් තිබිය යුතුය. ලී කඳන් දෙකක්‌ මූට්‌ටු කර ජනෙල් කඳන් සෑදීම නොකළ යුතුය. තනි ලී කඳෙන් ජනේලය සැදිය යුතුය. ජනේලය සාදන ලී එකම වර්ගයේ වීම සහ එකම ඝනකමකින් ද යුතු වීම හොඳයි. උළුවස්‌සකට සම්බන්ධ කර ඇති විට එය එකක්‌ නොව ජනේලය සහ උළුවස්‌ස වශයෙන් දෙකක්‌ ලෙස සලකනු ලැබේ. දොරක පියන් විවෘත කරන්නේ නිවස තුළටය. නමුත් ජනෙල් පියන් විවෘත කරනු ලබන්නේ නිවසින් පිට පැත්තටය.

සමහර නිවෙස්‌වල ජනෙල් වෙනුවට බිත්තිවලට වීදුරු සවිකර ඇත. ඒවා ජනෙල් වශයෙන් සලකනු නොලැබේ. ජනේලයක්‌ යනු ලී රාමුවකින් සැදුන එකකි. ලී රාමුවක්‌ නොමැතිව බිත්තියට පියනක්‌ සවි කළ ද එය ජනේලයක්‌ නොවේ. කොන්ක්‍රීට්‌ වලින් සාදන ලද ජනෙල් ද යකඩ, ඇළුමිනියම් ආදියෙන් සාදන ලද ජනෙල් ද නිවසේ ජනෙල් ලෙස නොසැලකේ.

පරිසරයේ ඇති ශුභ ආකර්ෂණය නිවස තුළට ඇද ගැනීමට හැකියාව ඇත්තේ ලී වලින් සාදන ලද ජනෙල්වලට පමණි. ලී වල ඇති කුඩා ඉරි මගින් ශක්‌තිය උරාගනී. එම ශක්‌තිය නිවසට ලැබේ. ඒ නිසා ලී වලින් තොර වූ ජනේල ජනෙල් ලෙස නොසැලකේ. නිවසේ ජනෙල් දොරවල් වැසූවද නිවස තුළට වාතය ගලා ඒමට ජනෙල්වලට ඉහළින් වා කවුළු තැබීම පැරැණි අය අනුගමනය කර ඇත. මෙම වා කවුළු ලෑලිවලින් ලියවැල් වලින් ග්‍රිස්‌ කැට වලින් යොදා ඇත. මේවා ජනේලයට සම්බන්ධ නම් ජනෙල් ලෙස සලකනු නොලබන අතර සම්බන්ධ නැත්නම් ජනෙල් ලෙස සලකනු ලැබේ.

ජනේලයේ කන ජනේලය බිත්තියට සවි වීමට සාදා ඇති දෙයකි. මෙය ශක්‌තිමත් වීම සඳහා ලී ඇණයක්‌ ඇත. මෙය පීඩා නොවන අයුරින් වහලයේ යට ලී පරාල ගැසිය යුතුය. වහලයේ පරාල මේ කන්වලට එල්ල නොවිය යුතුය. කුරුසයක ආකාරයට වාතය ගමන් කරන අයුරින් ජනෙල් තැබීම අශුභ වන අතරම ගිනිකොන දිශාවට ජනෙල් තැබීම ද ඉතා අශුභයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)