අළුතින් හදන ගෙදර, වාස්‌තු විද්‍යානුකූලව කාමර දිශා ගතකරන හැටි

සමහරු නිවාස සාදා වැඩ අවසන් කළ පසුව, වාස්‌තු දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලති. එය නුවණට හුරු ක්‍රියාවක්‌ නොවේ. සාදා නිම කළ නිවසක වාස්‌තු දෝෂ තිබුණහොත් ඒවා වෙනස්‌ කිරීමට යැමෙන් අමතර මුදලක්‌ වියදම් කිරීමට සිදුවේ. එසේම, නිවසේ කොටස්‌ වෙනස්‌ කිරීමට යැමෙන් අලංකාරයටද බාධාවක්‌ ඇතිවේ.

සැලැස්‌ම ඇඳ වාස්‌තු විද්‍යාව දන්නා කෙනෙකුට පෙන්වා එහි දෝෂ තිබේදැයි පරීක්‍ෂා කර බලා නිවෙස ගොඩ නැගීම සුදුසුය. එයටත් වඩා සුදුසුවන්නේ නිවසේ දළ සැලැස්‌මක්‌ පිළියෙල කර, එහි දෝෂ පරීක්‍ෂා කර බලා නිවැරදි කර සැලැස්‌ම සකස්‌ කර ගැනීමයි. එසේ කිරීමෙන් අමතර මුදල් වියදම් කිරීමට සිදු නොවන අතර, නිවසේ අලංකාරයටද බාධාවක්‌ නොවේ.

පැරණි විශාල නිවෙස්‌වල විවෘත ආලින්දය, සාලය, මැද මිදුල, නිදන කාමර, සේවකයන්ගේ කාමරය, වී, ධාන්‍ය, ගබඩා කාමරය, කෑම කාමරය ආදී කොටස්‌ කීපයකින් යුක්‌ත විය. දර ලිප, අටුව, දුම ආදියෙන් සමන්විත කුස්‌සිය පිහිටියේ නිවසින් වෙන්වය. ඒ නිසාම කුස්‌සිය, මුළුතැන්ගෙය නමින් හැඳින්වන. වැසිකිළිය නිවසට තරමක්‌ දුරින් පිහිටියේය. වතුර බොන ළිඳ, නාන ළිඳ නිවසට ඈතින් විය. බුදුන් වඳින ස්‌ථානය නිවස ඉදිරිපිට විය.

වර්තමානයේ මේ සියල්ල පර්චස්‌ හත අටක්‌ තුළ පිහිටි නිවස අභ්‍යන්තරයේ ඇත. වැසිකිළිය සහ නාන කාමරය නිවස තුළ පිහිටීම සුදුසු නැතත්, වඩා පහසුව සඳහාත්, රාත්‍රි කාලයේ නිවසින් පිටතට යැම ආරක්‌ෂා සහිත නොවන නිසාත්, ඉඩම් කැබලි කුඩා වීම නිසාත් ඒවා නිවස තුළ ස්‌ථානගත කිරීමේ වරදක්‌ නොමැත. ඒවා සුදුසු තැන්වල පිහිටීම ශුභයි.

ප්‍රධාන දිසා හතර සහ අනු දිශා හතර පහත රූප සටහනින් දක්‌වා ඇත. උතුර, ඊශාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ ආපෝ, තේජෝ, පඨවි, වායෝ දිශාවන් අනුව නිවසක කාමර ස්‌ථාන ගත කළ යුතු ආකාරය දැන් විමසා බලමු.

නැගෙනහිර දිශාව – නිදන කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි. මුදල් තැන්පත් කිරීම. ස්‌වර්ණාභරණ තැන්පත්කර තැබීමද මෙම දිශාවට යෝග්‍ය වේ. නාන කාමරය දිශා ගත කිරීමටද නැගෙනහිර දිශාව ශුභයි. දකුණු දිශාව – නිදන කාමරය සහ කෑම කාමරය මෙම දිශාවට ගැනීම ශුභයි.

බටහිර දිශාව – දරුවන් පාඩම් කරන ස්‌ථානය බටහිර දිශාවේ බිහිවීම ශුභයි. පොත්පත් මෙම දිශාවේ කාමරයට තැන්පත් කිරීම, ලිපි ලේඛන කටයුතු ඉටුකිරීමටද මෙම දිශාවේ කාමරය ශුභයි.

උතුරු දිශාව – තමන් සතු ධනය, ඇඳුම් පැලඳුම් තබන අල්මාරිය, මෙම දිශාවේ කාමරයක තැබීම ඉතා ශුභයි. කණ්‌නාඩි මේසය තැබීමටද කාන්තාවන්ට ඇඳුම් පැලඳුම් ඇඳීමටද මෙම දිශාවේ කාමර සුදුසුය.

ගිණිකොණ දිශාව – තේaජෝ භූතයට අයත්ය. මෙම දිශාව ඉතාමත් සුදුසු වන්නේ මුළුතැන් ගෙය සඳහාය. දර ලිප, ගෑස්‌ ලිප, විදුලි උඳුන තැබීම සඳහා සුදුසු මෙම දිශාවය.

නිරිත දිශාව – පඨවි භූතයට අයත්ය. බර උපකරණ මෙම දිශාවේ තැබීම ශුභයි. ගොවි, උපකරණ, ආයුධ තබන ගබඩාව, වී සහල් ගබඩා කර තබන කාමරය මේ දිශාවට ගැනීම ශුභයි. වර්තමානයේදී ගරාජය තැනීමට ඉතා සුදුසුය. වයඹ දිශාව – වායෝ භූතයට අයත්ය. අමුත්තන්ගේ කාමරය, සාලය මෙම දිශාවට ගැනීම ශුභයි.

ඊශාන දිශාව – ආපෝ භූතයට අයත්ය. සතියේ කිසිම දිනක මරු නොසිටින දිශාවයි. බුදු මැදුර, ආගමික වතාවත් ඉටු කිරීම සඳහා කාමරයක්‌ සකස්‌ කිරීමට මෙම දිශාව ශුභයි.

වැසිකිළිය, නාන කාමරය, කුස්‌සිය, ඊසාන දිසාවට ගැනීම ශුභ නැත. නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය හැටියට සැලකේ. එම ප්‍රදේශය ආකාශ භූතයට අයත්ය. නිවසේ හරිමැද බිත්තියක්‌, උළුවස්‌සක්‌, කරුවක්‌ පිහිටීම ශුභ නැත. එම ස්‌ථානය හිස්‌ව නිදහස්‌ව තැබීම ඉතා සුදුසුය.

(උපුටා ගැනීම නිවාස සැලසුම් හා ජෝතිශය සේවය)