පිරුණු සුන්දර කෙස් කලඹකට ගෙදරදිම හදාගත හැකි ස්වාභාවික ෂැම්පු වර්ග 15 ක් මෙන්න

ලස්සනට ඉන්න හැම කෙනෙක්ම කැමතියි. සමේ පැහැපත් බව ගැන විතරක් නෙමෙයි කොණ්ඩෙ ගැනත් අපි එකසේ අවධානය යොමුකළ යුතුයි. වෙළඳපොලෙන් ඕනෑ තරම් ෂැම්පු වර්ග මිළ දී ගන්න තිබුණත් ඒවා පාවිච්චි කළ පසු කාලයත් සමඟ නොයෙකුත් ගැටළු වලට මුහුණ දීමට සිදුවෙනවා. ඔවුන් කොහොම ස්වභාවිකයි කිව්වත් නැවුම් ගතියක් නැති නිෂ්පාදිත ද්‍රව්‍ය වල කොහෙන් ගුණවත් බවක්, ස්වාභාවික ගතියක් අරගන්නද? ගෙවත්තේ තියෙන ගස් වැල් වලින් හොයාගන්න පුළුවන් දේවල් එකතුකරගෙන ගෙදරදිම පහසුවෙන් ෂැම්පු හදන්න පුළුවන්. ඉතා කෙටි කාලයක් තමයි මේ හැමදේකටම වැයවන්නේ. ශරීරයට හිතකර ෂැම්පු වර්ග ගෙදරදිම හදාගන්නේ මෙන්න මෙහෙමයි..

පෙනෙල කොළ ටිකක් අරගෙන කොටලා ඒ යුෂට බිත්තර සුදුමද එකතු කරලා ෂැම්පු එකක් විදිහට හිසේ ගාන්න. ටික වෙලාවක් තියලා සෝදලා හරින්න. කෝමාරිකා වල මදය සූරාගෙන බ්ලෙන්ඩ් කර එයට භාගෙට තම්බා ගත් උළුහාල් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එම ආලේපය හිසේ සහ හිසකෙස් වල ආලේප කර විනාඩි 20 ක් පමණ සිට සෝදා හරින්න. ගොඩපර ගෙඩිවල ඉස්ම ගෙන එයට භාගෙට තම්බාගත් උළුහාල් එකතුකර එය හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය හිසේ ආලේප කර විනාඩි 20 ක් තබා සෝදා හරින්න. පොල්කිරි ස්වල්පයක් ගෙන එයට යෝගට්, බිත්තර සුදුමද එකතුකර මිශ්‍ර කරගන්න. එලෙස සාදාගත් මිශ්‍රණය හොඳින් හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න. ගොටුකොළ ස්වල්පයක් ගෙන එය හොඳින් අඹරා යුෂ ලබාගන්න. එයට යෝගට් දමා කලවම් කර ආලේප කරන්න. විනාඩි 10 කට පසු සෝදා හරින්න. ගොටුකොළ යුෂට බිත්තර සුදුමද දමා කලවම් කර හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු සෝදාහරින්න. වෙරළු කොළ ටිකක් ගෙන කොටා භාගෙට තම්බාගත් දෙහි ගෙඩියක් දමා කලවම් කරගෙන ආලේප කරන්න. ආලේප කර විනාඩි 20 කට පසු සෝදාහරින්න. පේර කොළ කොටා ඉස්ම ගෙන එයට ඔලිව් තෙල් හා බිත්තර සුදුමද, දෙහි, භාගෙට තැම්බූ උළුහාල් එකතුකර බ්ලෙන්ඩර් කරගන්න. එම මිශ්‍රණය හිසේ ආලේප කර විනාඩි 25 ක් පමණ තබා පසුව සෝදා හරින්න.

කරපිංචා යුෂ, යෝගට් සමඟ එකට බ්ලෙන්ඩ් කර මිශ්‍රණය සාදාගන්න. පසුව එය හිසේ ආලේප කර සෝදාහරින්න. බිත්තර සුදුමද 03 කට මීපැණි මේස හැඳි 02 ක් එකතුකර හොඳින් කලවම් කරගන්න. පසුව එය හිසකෙස්වල හා හිස්කබලේ ආලේපකර ටික වෙලාවකට පසු සෝදන්න. බිත්තර සුදුමද 02 ක් හෝ 03 ක් ගෙන එයට උණුසුම් වතුර ස්වල්පයක් එකතුකර කලවම් කරන අතරතුර එයටම ඔලිව් තෙල් බිංදු 03 ක් පමණ එකතුකර මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පසුව සෝදාහරින්න. බිත්තර 02 ක් ගෙන එයට ලෙමන් යුෂ මේස හැඳි 02 ක් හා මීපැණි මේස හැඳි 01ක් කලවම් කරන්න. ඒ අතරතුර ඔලිව් තෙල් බිංදු 03 ක් කලවම් කර හොඳින් මිශ්‍රකර හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කරන්න. බිත්තර සුදුමද 03 කට බේකින් සෝඩා මේස හැඳි 01 ක් මිශ්‍රකර එය හිසේ ආලේප කරන්න. පසුව හොඳින් සෝදාහරින්න. හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක මදය හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එයට බේකින් සෝඩා මේස හැඳි 01 ක් හා වතුර ස්වල්පයක් එකතුකර හොඳින් කලවම් කරගන්න. හිසකෙස් වල හා හිස්කබලේ ආලේප කර ටික වෙලාවක් තබා සෝදාහරින්න. ලෙමන් ගෙඩියක් හා පිපිඤ්ඤා ගෙඩියක් ගෙන පොත්ත ඉවත්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පසුව හොඳින් සෝදාහරින්න.

තොරතුරු :- රූපලාවණ්‍යය ශිල්පිනී රංජනී ගුණරත්න, සැකසුම :- හෙළ අරණ™️