ලක්ෂ්මී දේවියගේ පිහිට ලැබෙන්න ඔබේ නිවාස මේ විදියට තියාගන්න

විවාහ වෙන්නට පෙර පොරොන්දම් බලන්නේ විවාහය නොකැඩී සමුර්ධිමත් විවාහ ජීවිතයක් ගතකරන්නටයි. ඔබ ගෙයක් හදන්නේද ලක්ෂ්මිය හා ශ්‍රියාව වඩන නිවසක සියලු දෙන එක්වී සතුටින් සාමයෙන් වාසය කරන්නයි.එසේ නම් ඔබ නිවසක් සාදනවානම් ඔබේ උපන් නැකත් අනුව එම නිවස වර්ග කිරීම වාස්තු රීතීන්ට අනුව නිවාස පොරොන්දම් බැලිය යුතු වන්නේය. ඒ අතර එකුන් දස වර්ග කිරීම ,ඒකා දස වර්ග කිරීම, ෂෝඩෂ වර්ග කිරීම වශයෙන් කොටස් 3 කට වර්ග කිරීම කරන්න පුළුවන්. යමෙකු නිවසක් තනන්නට පෙර තමන්ට සුදුසු බිමක් තෝරා ගැනීම ප්‍රථමයෙන්ම කල යුතු වන්නේය.

දහසය ආකාර භූමි ලක්ෂණද දහනව ආකාර භුමි ලක්ෂණද ඇත්තේය. චතුරස්‍ර, ත්‍රිකෝණ, විෂම බාහු, ආයත, වෘත, වක්‍ර දණ්ඩ, සකට, ව්‍යජන, භාද්‍රසන,බෘහත්මුඛ ,ධනුරි, ,පණවස්ථාන, මුජරාකාර, පොරෝ,කුළු,කුර්ම,කුඨ,ආදී වශයෙන් විවිධ ආකාර භුමි ලක්ෂණ ඇත්තේය. එම නිසා නිවසක් තැනීමට පෙර ඔබ මේ පිලිබඳ බුද්ධිමත් පරිනත ජෝතීශය හා වාස්තු විද්‍යාව පිළිඹඳ දැනුම ඇති අයෙකු මගින් උපදේශ ලබාගෙන ඉඩමක් තෝරා ගත්තානම් ඔබ නිවරදිතැනසිටි අයෙක්. ඉන්පසු දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලවා නිවාස සැලසුමක් තමන්ගේ අවශ්‍යතා සහ තමන්ට වියදම්කල හැකි මට්ටමේ නිවසක සැලසුමක් සකස්කර ගැනීම බුද්ධි ගෝචරය. ඉන්පසු දක්‍ෂ ජෝතීෂ්‍ය හා වාස්තු පිලිබඳ දැනුමක් ඇති අයකුගෙන් නිවසේ වෙසන සියලු දෙනාගේ ජන්ම නැකත් අනුව නිවස වර්ග කිරීම කර ගත යුතුය. එසේ කිරීමෙන් අය වැය ගෙයි ආයුෂ ආදී පොරොන්දම් සියල්ල ගලපා නිවසේ වර්ග ප්‍රමාණයනිර්ණය කොට, දොරවල් දිසාගත කර ගැනීම, නියමිත ස්ථානයේ ප්‍රධාන දොර ස්ථාපිත කිරීම,නිදන කාමර,මුළුතැන්ගේ,නාන කාමර,ගරාජය, වහලය නිර්මාණය කිරීම ,වැඳුම් පිදුම් කරන ස්ථානය,ගේට්ටුව ස්ථාපිත කරන ස්ථානය, ළිඳ හා වැසිකිලිය තනන ස්ථානයද,සතුන් සිවුපාවුන් ඇතිකරන ස්ථාන ලකුණු කර ගැනීම කලයුතුවන්නේය.

එසේ නම් අප වාස්තු විද්‍යාවෙන් කරන්නේ කුමක්ද? විශ්වයේ ඇති ග්‍රහ වස්තුන්ගේ බලපෑම සැලකිල්ලට ගෙන පුරාණ ඍෂිවරු රාශි දොලොස, නැකත් 27 ,දින, දිශා, තිථි වල ඇති අන්තර් සම්බන්ධතාවය තුලින් ඇතිවන අසුභතාවයන් මගහරවා ගෙන යහපත් අයුරින් ධර්ම, අර්ථ ,කාම, මෝෂ, යන මේ සතර වැදෑරුම් කාර්යන්වල යහපත් ප්‍රතිපල අත්කර ගැනීම සඳහා යම් රීතියක් ගනිතයම නියමයන් ඔස්සේ නිවසක් ගොඩනැගිල්ලක් නිවැරදිව නිර්මාණය කර යහපත් ලෙස ජීවත් වීමට අවශ්‍ය නිවහනක් තනාගැනීමට මග සලස්වා ගැනීමයි. එසේ නම් භූමිය තෝරා ගැනීම පාද බෙදා වෙන් කිරීම ගෘහ දිශා චක්‍රය ,ආදිය නියමිත අන්දමින් සැලසුම් කර ගැනීම කල යුතු වන්නේය. අද පවතින ඉඩම් හිඟය හා කුඩා ඉඩම් කුට්ටියකට මේ සියලු වාස්තු විද්‍යා රීතින් අනුව කටයුතු කල හැකිද යන්න යමෙකුට ගැටළුවක් ඇතිවිය හැකිය.

එය සැබෑ සිතුවිල්ලක් වුවද තිබෙන තිබෙන ඉඩ ප්‍රමාණයෙන් වාස්තු විද්‍යානුකූලව තමන්ට හොඳින් ජීවත්විය හැකි නිවසක් තනාගත හැකිය. වාස්තු විද්‍යාව කොතරම් පැරණිද යත් “අග්නි පුරාණය”නමැති පුරාණ ග්‍රන්ථයේ මේ බව පැහැදිලිව දක්වා තිබේ. එනම් මහා බ්‍රහ්මයා විසින් විශ්ව කර්ම දෙවියන්ටත් මය නම් ඍශිවරයාටත් පසුව මනුෂ්‍ය වර්ගයාටත් උගන්වන ලද ශිල්පයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාව කොතෙක් දුරට භාවිතා කලද යන්න සීගිරිය ,වැව් පොකුණු ,ජල තටාක, වාර් මාර්ග පද්දතිය, බෞද්ධ සිද්ධස්ථාන වලින් දැක බලා ගත හැකිය. එසේම මහා වංශයේ සඳහන් වන පරිදි ශිල්ප ශ්‍රේණි 18 ක් ධර්මශෝක රජු ලංකාවට එවූ බවද සඳහන්ය. එම නිසා වාස්තු විද්‍යාව විස්වාසය මත පදනම් වූවක් නොව එය යම් රීති මාලාවක් මත පදනම්ව මනුෂ්‍යන්ට ආත්ම විස්වාසය සහජීවනය ඇති කරගෙන සැපතට පත් වීමට අවශ්‍ය මාර්ගෝපදේශය දෙන්නකි.

නිවසක් ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් දෝෂ ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුය. බ්‍රහ්ම වේධ දෝෂ,(නිවසේ හරි මැදට තවත් නිවසක ප්‍රදාන දොර වැටිතිබිම) ද්වාර වේධ දෝෂ, (තවත් නිවසක ප්‍රදාන දොර තම නිවසේ ප්‍රධානදොර කෙලින් තිබීම)වෘක්ෂ දෝෂ, කුප වේධ දෝෂ,(ලිඳ නිවැරදිව ස්ථානගත නොවීම) ස්ථම්භ වේධ දෝෂ,(ස්ථම්බයක් හෝ කුළුණක් ප්‍රධාන දොරට කෙලින් තිබීම) සුසාන වේධ දෝෂ, ප්‍රතිමා වේධ දෝෂ, කෝණ වේධ දෝෂ, මල මුත්‍ර ස්ථාන වේධ දෝෂ, රජක වේධ දෝෂ,කෝණ වේධ දෝෂ,විශේෂයෙන් හමුදා කඳවුරු ආසන්නයේ තිබේනම් ඒ පිළිබඳවත් ,ගුවන් තොටුපළවල් ආශ්‍රිත නම් ඒ මේ ආදී දෝෂ පිළිඹඳව සැලකිලිමත් විය යුතුය.

එසේම නිවසක අත්තිවාරම් දමන මොහොතේ මංගල කෘඤය ගැසීමට ප්‍රථම වාස්තු නාග චක්‍රය අනුව කටයුතු කල යුතුය. භූම නාගයා වම් ඇලයෙන් සැතපෙන බැවින් භුම නාගයාගේ හිසේ සිට වල්ගය දක්වා කොටස් 8 කට බෙදයි. එනම් හිස ,හෘදය, උදරය, නාභිය, ගුදය, දණද, කෙන්ඩ ,වල්ගය, වශයෙනි, ඒ අනුව නාභියේ මංගල කෘග්‍රය ගැසීම ශුභ වේ.

විශේෂයෙන්ම දැනට ප්‍රාදේශීය සභාවල හා නගරසභා වල සිටින සේවක මහතුන්ද නිවාස සැලසුම් සකසන බැවින් ඒ අය තෝරා ගැනීමේදී සේවා දායකයා බුද්ධිමත්ව කටයුතු කල යුතුය.මොන ආයතනයක සේවය කලත් සැලසුමක් සාදාගත යුත්තේ ඒ පිලිබඳ මනා දැනුමක් පරිනත භාවයක් ඇති අයකුගෙන්මය.ඔබ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ රීතීන්ට අනුකුලව සැලසුම සකස්කරගතයුතු අතර එය අනුමත කිරීමට අවශ්‍ය ලියකියවිලි සැලසුම් ශිල්පියා හෝ ඉන්ජිනේරුවාලවා සම්පුර්ණකර ගතයුතු අතර එසේ කිරීමෙන් ඔබේ සැලසුම ප්‍රදේශීය සභාවට හෝ නගර සභාවට ප්‍රතික්ෂේප කල නොහැකිය.

එසේම චීන ෂෙන්ශුයි ක්‍රමද භාවිතයට අද බොහෝ දෙනා පුරුදුවී ඇති අතර ඒවා ලංකාව වැනි රටක උචිත නොවීමටබොහෝ දුරට ඉඩ පවතී.ඉතාලි රටේ ඉන්න අය ඒ රටේ සැලසුම් ගෙනවිත් ලකාවේ සදයි නමුත් ඒ නිවසේ ජීවත්වීමට තරම් වාසනාවක් හිමි නොවීමට බොහෝවිට ඉඩ ඇති නිසා අපේ රටට ගැලපෙන පරිදි නිවසක් වාස්තු විද්‍යානු කුලව සකස්කර ගත හැකි නම් ඉන් යහපතක් සිදුවේ. එම නිසා ඒ ගැන දන්නා අයකුගෙන් විමසාම කටයුතු කිරීම යහපත් වන අතර ඔබ දැනටමත් නිවස සදා නිමකර හෝ කොටසක් නිමවා ඇතිනම් නිවස පරික්ෂාකර අවම වියදමකින් දෝෂ මගහරවා ගැනීමත් ඔබව බියට පත් කරන්නවුන්ගෙන් ප්‍රවේසම්ව කටයුතු කරගැ නිමටත් බුද්ධිමත් වන්න.

විශේෂයෙන් නිවසක් තනන ඔබ සැලකියුතු විශේෂ දේනම් දිශාගත කිරීමයි.උතුර,ඊසාන ,නැගෙනහිර,ඉතා පිරිසිදුව තබා ගතයුතුය.සතුට සමගිය සවුභාග්‍ය උතුරු දිශාවෙනුත්,මානසික ප්‍රීතිය ධනය ලැබීම ජල පරිභෝජනය ඊසාන දිශාවෙනුත්,ආයු,ධන,ආර්ථික ලාබ නැගෙනහිර දිසාවලින් ලැබෙන බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.උතුරින් චන්ද්‍ර කාන්දුව වර්ධනය වන්නේය එනිසා හොඳින් ආලෝකය පවතින අතර ඊසාන දිශාවෙන් ශක්තිය බල රෝපණයත්, වර්ධන වේගයත් ඇති කරයි.නැගෙනහිර දිශාවේ සුර්යාගේ උදාවෙන් ජිව ශක්තියත් ප්‍රබෝදයත් ඇතිවේ.එමනිසා ශක්තිය ආරෝපණය වන්නේ උතුරු,ඊසාන,නැගෙනහිර දිසාවලින් නිසා නිවසක එම දිසාවල මඩ ගොහොරු,ගිණි තැබීම්,අපවිත්‍රදේ රැස් කිරීම,සත්වගාල් ඉදිකිරීමෙන් විශ්ව ශක්තිය ගලා ඒම වලක්වාලයි. එනිසා එය නිවසකට ඉතාම අශුබ කටයුත්තකි.විශේෂයෙන් උතුරු දසාවට හිස දමා නිදා නොගතයතුය එය පසුකාලීනව රෝගාතුරවීමට ඉඩපවතී.

ගෘහ දිශා චක්‍රය අනුවත් නිවසේ වෙසෙනන්ගේ උපන් නැකත් අනුවත් නිවසක් සැලසුම් කරගැනීමෙන් නිවසේ සිරි සැප ලඟාවි ශ්‍රී ලක්‍ෂමීය වඩවන නිවසක් තනා ගතහැකි අතර නිවසේ කාමර වෙන් කිරීමේදී නිදන කාමර හා ධනය තැන්පත් කරන ස්ථාන උතුරටත්, ඊසාන දිසාවට ආගමික වතාවත් කරන ස්ථානද,නැගෙනහිරට නාන කාමරද,ගිනිකොණට මුළුතැන් ගෙයද,දකුණට නිදනගය නාන ගෙයද,බටහිරට කෑම කාමරද,වැසිකිලි දකුණ නිරිත අතරටද ,නිරිතට උපකරණ ගබඩා ද ශුබවන අතර ඔබේ ඉඩම පිහිටා ඇති අන්දමට මේ ආකාරයට සැලසුම්කර ගතනොහැකිවීමට ඉඩ ඇති බැවින් ඔබේ ඉඩම ,නිවස නිවැරදි පරික්ෂාවක් කර අවශ්‍ය නිවැරදි කිරීම් අනවශ්‍ය වියදමක් නොකර ඉටුකරගතයුතුය.

ඔබේ නිවසේ වටා පිටාවේ ගස් වැල් රෝපණය පිලිබඳවද ඔබ සැලකිලිමත් විය යුතු අතර කටු සහිත ගස් හා අරලිය/පතොක් වැනි පිටතට කිරි ගලායන ගස්වර්ග අශුබ වන්නේය.එමනිසා ඔබේ ඉඩමේ ප්‍රමානය අනුව ඒ ඒ දිසාවන්වලට සුදුසු ශාක වර්ග හෝ ඖෂධ වර්ග රෝපණකර ගැනීම උපදේශයන් මත ඉටුකර ගැනීම ශුබවන්නේය..

එසේම නිවෙසේ ගල්වන පාට පිළිබඳවද වැඩි සැලකිල්ලක් දක්වියයුතුය.රතු පාටින් උද්වේගකර අවස්ථාවන් පිළිබිඹු වන අතර කහ පාට වලින් සවුම්‍ය බව හා නම්‍ය ශිලී ගති පැවතුම් පෙන්නුම් කරයි. සුදු පාට නැවුම් බව පෙන්නුම් කලද සුදු පාට නිවසකට නුසුදුසු බවත් සුදුසු වර්ණ රටාවකින් නිවසේ චාම් බව පෙන්නුම් කරන අතර එම වරණ රටාව තුලින් මානසික සහනය සුවය,නිරෝගිකමටත් අක්‍ෂි වල ඇතිවියහැකි අබාද නැතිකරගෙන අධ්‍යාත්මික ගුනධර්ම වර්ධන කරගෙන සමුර්ධිමත් ජිවිතයක් ගතකිරීමේ හැකියාව නිවැරදි වර්ණ ගල්විමකින් ඉටුකරගත හැකිය.

ලක්‍ෂමී හෙවත් ශ්‍රියා කාන්තාව බෙලි වනයට, කෙසෙල් මලට, කන්‍යාව ලඟට, කුන්ජරයට ,වෘක්ෂයට ,තෝමරයට ,පටපිලියට, මෙන්ම අලංකාර නිවසටද වඩින්නේ යයි අග්නි පුරාණයේ සඳහන් වන බැවින් ඔබත් ඔබගේ නිවසේ ඇති අඩු පාඩු ,වාස්තු දෝෂ ඉවත් කරගෙන සතුටින්,සාමයෙන්,නිදුක් නිරෝගිව, ජීවත්වන්නට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශයක් ලබාගැනීම ඉතාම කාලෝචිතය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දෝෂ නැතිව නිවසට ජනෙල් තියන නිවැරදි ක්‍රමය මෙන්න

ජනේල යනු ගෘහයක අභ්‍යන්තර පරිසරයත් බාහිර පරිසරයත් සම්බන්ධීකරණය කරන්නා වූ එක්‌ මාර්ගයකි. මූලික වශයෙන් නිවස තුළට අවශ්‍යවන ආලෝකය , උෂ්ණත්වය හෙවත් තාපය සහ වාතාශ්‍රය ලබා ගැනීමට මෙම මාර්ගය හේතුවෙයි. උෂ්ණත්වය පිළිබඳ විශේෂය වන්නේ වහල් පලය හැරුනු විට නැගෙනහිර දිශාවට සහ බටහිර දිශාවට පවතින ජනෙල් කවුළු වේ. නැගෙනහිර දිශාවට ඇති කවුළු තුළින් උදයේ ගලා එන හිරු රැස්‌ චණ්‌ඩ නොවන අතර, රාත්‍රි කාලයේ සිසිල්ව තිබුණු නිවසට අවශ්‍ය දෙයක්‌ම වේ.

නමුත් සවස්‌ කාලයේ බටහිරින් එන හිරු රැස්‌ දහවල උෂ්ණත්වයෙන් යුතුව තිබුණු නිවසට ගෙන එන්නේ අනවශ්‍ය චණ්‌ඩ බවකි. එබැවින් මේ දෙපැත්තේ ඇති ජනේල උසස්‌ දැනුමක්‌ ඇති වාස්‌තු විද්‍යාඥයකු විසින් මනා ලෙස සැලසුම් කළ යුතු වේ. මෙය කළ යුත්තේ ප්‍රදේශය, ගෘහය පවතින ස්‌ථානය, භූමි ස්‌වභාවය රුක්‌ රෝපණය, සුළං මුවාව ආදී කරුණු රාශියක්‌ නිරීක්‍ෂණය කිරීමෙනි. ජනෙල් තැබීමේදී ඇති තවත් විශේෂත්වයක්‌ වන්නේ නිවසේ අලංකාරය සහ ආරක්‍ෂාව ද එයින් බලාපොරොත්තුවක්‌ වන බැවිනි.

බිත්තියකට තබන ලද ජනේලය අනුව එම බිත්තියට යම් ශක්‌තියක්‌ ද ලැබේ. ජනෙල් සංඛ්‍යාව වැඩි වුවොත් බිත්තියේ ශක්‌තිය හීන වනු ඇත. ජනෙල් සංඛ්‍යාව අඩු වූ විට බිත්තිය ශක්‌තිමත් වනු ඇත.

නිවසකට තබන ලද ජනෙල් පුරුෂ පාද, ස්‌ත්‍රී පාද සහ නපුංසක පාද යනුවෙන් නම් කර ඇත. පුරුෂ පාදයේ තබා ඇති බිත්තිය ශක්‌තිමත් ය. ස්‌ත්‍රී පාදයේ ජනෙල් තබා ඇති බිත්තිය ශක්‌තියෙන් තොරය. නපුංශක පාද ජනේලයක්‌ පිහිටන ස්‌ථානය අනුව දොaෂ සහිත වේ.

පුරුෂ පාද ජනෙල් – නිවසක බිත්තියේ අඩි 3, 4, 5 දුරින් තවත් ජනේලයක්‌ තබා නැත්නම් එවැනි ජනෙල් පුරුෂ පාද ජනෙල් වන අතර ඒවා ශුභ පාද ජනෙල් ය. කාමරවල බිත්තියකට මෙම ජනෙල් තැබීම ශුභ පල ගෙන දෙයි.

ස්‌ත්‍රී පාද ජනෙල් – නිවසක බිත්තියේ අගල් 6 සිට 12 අතර පරතරය සිටින අයුරින් ජනේල තබා ඇත්නම් බිත්තිය ශක්‌තිමත් බවින් අඩු වන අතර ජනෙල් අතර පරතරය අඩු නිසා ඒවා ගැලවීමටඉඩ ඇත. එවන් ආකාරයට ජනෙල් තබා ඇත්නම් ඒවා ස්‌ත්‍රී පාද ජනෙල් ලෙස හඳුන්වයි.

නපුංසක පාද ජනෙල් – නිවසක බිත්ති මුල්ලක දෙපැත්ත අසුවෙන ආකාරට ජනේලයක්‌ තබා ඇත්නම් එම බිත්තියට මුල්ලක්‌ නොමැති අතර ඇත්තේ ලීයෙන් සෑදුන සම්බන්ධ මුල්ලකි. සමහර නිවෙස්‌වල උළුවස්‌සට සම්බන්ධ ජනෙල් සාදා ඇත. ඒවාද නපුංසක වර්ගයට අයත් ය. එම ජනෙල් අශුභය.

නිවසකට තිබිය යුතු ජනෙල් සංඛ්‍යාව – නිවසක ක්‍ෂේත්‍ර ඵලයෙන් 10 න් 1 ක්‌ සෑදෙන ප්‍රදේශයක්‌ වන සේ ජනෙල් තැබිය යුතුය.

ජනෙල් වලින් නිවසට ඇතිවන දෝෂ – යම් නිවසක අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනෙල් අඩු වුවොත් එයට අන්දක දොaෂය යනුවෙන් හඳුන්වයි. එම දෝෂය හේතු කොට ගෙන නිවැසියන්ට රෝග බෝවීම ආදිය ඇති වේ.

තවද ජනෙල් කවුළු නැති නිවස කාන දෝෂ සහිතයි. එම නිවැසියන් අන්ධභාවයට පත්වේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනෙල් තබා ඇත්නම් එම නිවස දුක්‌වන්ත නමැති දොaෂයෙන් යුක්‌ත වේ. මෙම දෝෂය සහිත නිවසට විනාශ රාශියක්‌ ඇති වේ. නිවසක ජනෙල් වෙනුවට කවුළු තබා ඇත්නම් වැසි සුළං ආදියෙන් කරදර ඇති වේ. මෙය බහිරව දෝෂය නමින් හඳුන්වයි. ඒ නිසා නිවැසියන්ට කරදර සිදුවේ.

බිත්තියක ජනෙල් තබන උස – බිත්තියක විවිධ මට්‌ටම් වලින් ජනෙල් තැබීම වැරදිය. වාස්‌තු විද්යුනුකූලව ජනෙල් තැබිය යුත්තේ පොළොව මට්‌ටමේ සිට රියන් 1 1/2 ක උසකිනි.

නිවසක තැබිය යුතු ජනෙල් ගණන ඉරට්‌ටේ විය යුතුය. ජනේලයක්‌ වශයෙන් සලකනු ලබන්නේ ලී කඳන් 4 කින් යුත් උළුවස්‌සකි. ජෙනල් පියන් 1, 2, 3, 4, 5 ආදී වශයෙන් තිබුණ ද එය ගණන් ගනු ලබන්නේ එක ජනේලයක්‌ වශයෙනි.

තනි පියනේ ජනේලනිවසකට අගුනය. අවම වශයෙන් ජනේලයකට පියන් දෙකක්‌වත් තිබිය යුතුය. ලී කඳන් දෙකක්‌ මූට්‌ටු කර ජනෙල් කඳන් සෑදීම නොකළ යුතුය. තනි ලී කඳෙන් ජනේලය සැදිය යුතුය. ජනේලය සාදන ලී එකම වර්ගයේ වීම සහ එකම ඝනකමකින් ද යුතු වීම හොඳයි. උළුවස්‌සකට සම්බන්ධ කර ඇති විට එය එකක්‌ නොව ජනේලය සහ උළුවස්‌ස වශයෙන් දෙකක්‌ ලෙස සලකනු ලැබේ. දොරක පියන් විවෘත කරන්නේ නිවස තුළටය. නමුත් ජනෙල් පියන් විවෘත කරනු ලබන්නේ නිවසින් පිට පැත්තටය.

සමහර නිවෙස්‌වල ජනෙල් වෙනුවට බිත්තිවලට වීදුරු සවිකර ඇත. ඒවා ජනෙල් වශයෙන් සලකනු නොලැබේ. ජනේලයක්‌ යනු ලී රාමුවකින් සැදුන එකකි. ලී රාමුවක්‌ නොමැතිව බිත්තියට පියනක්‌ සවි කළ ද එය ජනේලයක්‌ නොවේ. කොන්ක්‍රීට්‌ වලින් සාදන ලද ජනෙල් ද යකඩ, ඇළුමිනියම් ආදියෙන් සාදන ලද ජනෙල් ද නිවසේ ජනෙල් ලෙස නොසැලකේ.

පරිසරයේ ඇති ශුභ ආකර්ෂණය නිවස තුළට ඇද ගැනීමට හැකියාව ඇත්තේ ලී වලින් සාදන ලද ජනෙල්වලට පමණි. ලී වල ඇති කුඩා ඉරි මගින් ශක්‌තිය උරාගනී. එම ශක්‌තිය නිවසට ලැබේ. ඒ නිසා ලී වලින් තොර වූ ජනේල ජනෙල් ලෙස නොසැලකේ. නිවසේ ජනෙල් දොරවල් වැසූවද නිවස තුළට වාතය ගලා ඒමට ජනෙල්වලට ඉහළින් වා කවුළු තැබීම පැරැණි අය අනුගමනය කර ඇත. මෙම වා කවුළු ලෑලිවලින් ලියවැල් වලින් ග්‍රිස්‌ කැට වලින් යොදා ඇත. මේවා ජනේලයට සම්බන්ධ නම් ජනෙල් ලෙස සලකනු නොලබන අතර සම්බන්ධ නැත්නම් ජනෙල් ලෙස සලකනු ලැබේ.

ජනේලයේ කන ජනේලය බිත්තියට සවි වීමට සාදා ඇති දෙයකි. මෙය ශක්‌තිමත් වීම සඳහා ලී ඇණයක්‌ ඇත. මෙය පීඩා නොවන අයුරින් වහලයේ යට ලී පරාල ගැසිය යුතුය. වහලයේ පරාල මේ කන්වලට එල්ල නොවිය යුතුය. කුරුසයක ආකාරයට වාතය ගමන් කරන අයුරින් ජනෙල් තැබීම අශුභ වන අතරම ගිනිකොන දිශාවට ජනෙල් තැබීම ද ඉතා අශුභයි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ජීවිතයම ගොඩ යන්න මේ විදිහට නිවස හදා ගන්න – නිවසක් හදන ඔබටමයි

වාස්‌තු සිද්ධාන්තයන්ගේ මඟ පෙන්වීම මත සිදු කරනු ලැබූ මූලික සැලසුම් කිරීමෙන් අනතුරුව ඔබගේ නිවස භූමියේ ස්‌ථානගත කරනු ලබන ආකාරය පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතුයි. ඔබගේ නිවස ඉඩම ස්‌ථානගත කිරීමේ දී ඔබ විසින් අවධානය යොමුකළ යුතු මූලික වාස්‌තු සිද්ධාන්තයන් හඳුනා ගනිමු.

ඉඩමේ පවතින හැඩයට අනුරූපිව හැකිතාක්‌ වැඩි මායිම් ප්‍රමාණයක්‌ සමඟ නිවස සමාන්තරව තැබීමට උත්සාහ ගන්න. (කුඩා ඉඩම්වලට විශේෂයි). සෑම විටම මාර්ගයේ මායිමට හැකිතාක්‌ සමාන්තරව නිවස පිහිටුවීම ඉතා යහපත්ය. උතුරු නැගෙනහිර මායිම්වලට ළං කිරීම නොකළ යුතුයි. ඉඩමේ මධ්‍ය ලක්ෂය හා නිවසේ මධ්‍ය ලක්ෂය එක මත එක වැටෙන ලෙස නිවස භූමියේ ස්‌ථානගත නොකළ යුතුයි.

ඉහත උපදෙස්‌ පරිදි ඔබගේ නිවස, භූමියේ ස්‌ථානගත කිරීමට උත්සාහ ගත යුතු අතර පර්චස්‌ 10 කට වඩා අඩු භූමි භාගයන් පදිංචියන් සඳහා නිවාස සෑදීමට කිසිසේත්ම නොහැකි වනු බව පෙන්වා දෙමි. එසේ වුවද ඔබගේ ලැබීම් හා කර්ම ශාන්තිය පරිදි ඔබට මේ මහ පොළොවෙන් අයිති වන ඉඩම් කැබැල්ල තීරණය කිරීම සිදුවන බැවින් ඉඩම කුඩාවන තරමට වාස්‌තු සිද්ධාන්තයන් ආරම්භ කිරීමට ඇති හැකියාවන් අඩුවන බව මතක තබාගත යුතුයි. එය වාස්‌තුවල වැරැද්දක්‌ නොවන අතර ඔබගේ කුසල් අකුසල් මත ඔබට හිමි තත්ත්වයක්‌ බව සිතන්න.

ඔබ විසින් සාදන නිවසේ මූලික සැලසුම් කටයුතු නිම වීමෙන් පසුව දැන් ඔබ සූදානම් විය යුතුයි සැලසුම් කළ එම ගෘහය ප්‍රායෝගිකව ඉදිකිරීමේ මූලික පියවරයන් පිළිබඳව වාස්‌තු මූලධර්මයන්ට අනුකූලව කටයුතු සිදු කරනු ලබන ආකාරයන් ගැන දැනුවත් වීම. මෙහිදී වාස්‌තු මූලධර්මයට අනුව සැලසුම් කළ නිවස සෑදීම ආරම්භ කිරීම, නිවස සෑදීම ආරම්භ කිරීමට ප්‍රථම සපුරාගත යුතු පූර්ව කටයුතු කිහිපයක්‌ පවතිනවා.

ඔබ විසින් සැළසුම් කළ නිවාස සැලැස්‌ම ප්‍රායෝගිකව ඉදිකිරීමේ දී පළමුව භූමිය සකස්‌ කිරීමට අවශ්‍ය වෙනවා. මෙම භූමිය සකස්‌ කිරීමේ දී අප විසින් විශේෂයෙන් මතක තබාගත යුතු විශේෂ කාරණා කිහිපයකි. එහිදී ඔබගේ ගෘහ නිර්මාණය කරනු ලබන භූමිය සකස්‌ කිරීම කිසිම විටෙක අඟහරුවාදා, ඉරිදා දිනයන්හි ආරම්භ නොකළ යුතුයි. මේ සඳහා ඔබ විසින් එම දින දෙක නොමැතිව සුභ මුහුර්තියෙන් ලබාගත යුතු වෙනවා. මෙහිදී කෝණ මාස පිළිබඳවද විශේෂ අවධානයක්‌ යොමුකළ යුතුයි. භූමිය සකස්‌ කිරීම කෝණ මාසවල නොකළ යුතුයි.

කෝණ මාස මාර්ග හැර සුභ මුහුර්තියකින් ගෙපළ සකස්‌ කොට ඔබගේ නිවසේ මුල්ගල තැබීමට ප්‍රථම දින මෙහිදී ඔබ විසින් සිදුකළ යුතු වැදගත් පූජාවක්‌ වන්නේ බහිරව දේවතා පූජාවයි.

බහිරව දේවතා පූජාව
මුල්ගල තැබීමට ප්‍රථම දිනයේ රාත්‍රියේ දී ඔබ විසින් ඉඩමේ සිටින භූමි ඥාතීන්ට පින් දී ඔවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සඳහා බහිරව දේවතා පූජාවන් පැවැත්වීම සිදු කළ යුතුව තිබෙනවා. මේ සඳහා කිසිම විටක පුලුටු හෝa ගොඩ මස්‌, දිය මස්‌ ආදිය භාවිතා නොකළ යුතු අතර ගම්භාර දෙවියන්ට පලතුරු සුවඳ පූජාකොට ගම්භාර දෙවියන්ගේ මූලිකත්වයෙන් බුදු ගුණයෙන් මෙම කටයුත්ත සිදුකිරීමට විශේෂයෙන් මතක තබාගත යුතුයි. ඉන්පසුව ඉඩමේ හතර කොණ, අට කොණ නිසි ලෙස ආරක්‍ෂා කළ පසු ඔබගේ අභිනව නිවසේ වැඩ කටයුතු සුභ මුහුර්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා.

නිවෙස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම
පූර්ව කටයුතු අවසන් කළ පසු ඔබගේ ගෘහයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සුභ මුහුර්තියෙන් සිදුකළ යුතු වෙනවා. මෙහිදී ඔබ විසින් සුභ මුහුර්ති 03 ක්‌ ගත යුතුයි.

කණු සිටුවා ලණු ඇදීම
නිවසේ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමු කාර්යය වශයෙන් ලණු ඇඳීම සිදු කළ යුතුය. මෙය ඊසාන කොටසින් ආරම්භ කළ යුතුය. ලණු ඇදීමට භාවිතා කරනු ලබන කූඤ්ඤය සඳහා බෙලි ගසක ලීයක්‌ භාවිතා කිරීම අනිවාර්යෙන් කළ යුතු අතර කොහු ලණු පළමුවෙන් භාවිතා කළ යුතු අතර ඔර්ලෝසු කටුව කැරකෙන දිශාවට ලණු ඇදීම ඉතා යහපත් වේ. සුභ මුහුර්තියෙන් පළමු කූඤ්ඤය ගෘහ හිමියා විසින් ගැසිය යුතු=ය.

අත්තිවාරම් කැපීම
එදිනම සුභ වේලාවේදී යහපත් සිතුවිලි සහිතව මෙම ගෘහයේ කටයුතු ඉතා සාර්ථක වේවා යෑයි සිතා (තෙරුවන් බලයෙන්) උතුරු, ඊසාන, නැගෙනහිර දිශාවන්ගේ නිවසට අයත් කොටසක මංගල පස්‌ පිඩැල්ල කැපීම ඉතා යහපත් වේ.

මුල්ගල තැබීම
මුල්ගල තැබීම ගිණිකොණ හෝ ඊසාන කොටසේ සිදු කළ යුතු වේ. සුභ වේලාවේදී යහපත් සිතුවිල්ලෙන් සිදු කළ යුතු අතර මුල්ගල අනිවාර්යෙන්ම නොපෑගෙන තැනක බිත්තියකට ඇතුල් කළ යුතු වේ. ආගමික ස්‌ථානයකට ගෙන ගොස්‌ පිරිත් ස-Cධායනා කොට හා පිරිත් දේශනා මධ්‍යයේ මුල්ගල තැබීම ඉතා යහපත්ය. මුල්ගල තැබීම හා එය වැසීම ගෘහහිමියා විසින්ම සිදු කළ යුතුය. මුල්ගල තැබීම හා ලණු ඇදීම තුළින් සිදු කරන්නේ තම මතය විශ්වය හා ලියාපදිංචි කිරීමයි. මේ නිසා මුල්ගල තබන ස්‌ථානයේ ස්‌වස්‌ථික ලකුණක්‌ අංශක 90 ට දිශානුගතව ස්‌ථානගත කොට මුල්ගල තැබීම ඉතාමත් යහපත් වේ.

ගෘහ ආරම්භක වාස්‌තු පූජාව
සුභ මුහුර්තියෙන් කපන ලද මංගල පස්‌ පිඩැල්ල රතු රෙදි කඩකට ඔතා පස්‌ පිඩැල්ලේ තෙතමනය ඉවත් වීමට ප්‍රථම ගෘහ හිමියා විසින් ඉඩමට නුදුරු නොවන ගලන දියකට බැස ඉඩම සම්බන්ධයෙන් ඇති සියලුම දොස්‌ දුරුවේවා· යෑයි ප්‍රාර්ථනා පස්‌ පිඩැල්ල දියෙහි පා කළ යුතු අතර ඉඩමේ මුහුණතට පිටු පා මෙය කිරීම ඉතා සුභදායකය.

ඉහත කටයුතු නිසියාකාරයෙන් ඉටුකිරීමෙන් පසුව ඔබගේ නිවසේ කටයුතු, ඉදිකිරීම් කටයුතු ඉතා යහපත්ව වාස්‌තු සිද්ධාන්තයට එකඟව සිදුවනු ඇත. ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක්‌ තියෙනවා. ඔබ ගෘහයේ ඉඳුල් කිරීම ඔබ විසින්ම සිදුකළ යුතු වෙනවා. එබැවින් මුල්ගල තබන දිනයේ අත්තිවාරම තුළ ගෘහ හිමියා භෝජන සංග්‍රහය භුක්‌ති විඳීම කළ යුතුයි.

නොඑසේ නම් ඔබගේ ගෘහය වෙනත් පුද්ගලයන් විසින් ඉඳුල් කිරීම සිදුවන බැවින් එදිනට සාදාගත් රසකැවිලි අනුභවය සඳහා ලණු ගැසූ කොටස තුළ සිදු කරන්න. මෙසේ ඔබගේ වාස්‌තු සිද්ධාන්තවලට අනුව අභිනවයෙන් ඉදිකරනු ලබන ගෘහය ඉතා වාසනාවන්ත, ඉක්‌මනින් ඉදිවන ගෘහයක්‌ බවට පත්වන බව නිසැකයි.

(උපුටාගැනීම විශ්ම ලෝකය වෙබ් අඩවිය)

නිවසේ ඇති සියළු වාස්තු දෝෂ සොබාදහම අනුව ඉවත් කරගමු

නිවසක් යනු සිත සනසන තැනකි. කොහේ ගියත් ගෙදර එනකම් සිහිය නෑ කියන්නේ එයටයි.. ඒත් සමහර ගෙවල් ගිනි ගොඩකි.. නිවසියන් හේතු රහිතව සබදතා බිදී ඇත.. දියුනුවක් සතුටක් සැනසීමක් නැත..සෞඛ්‍ය තත්ව පිරිහී ඇත..කනස්සල්ල රජයයි නිවසේ සිටීමද අප්‍රසන්න වේ.

එදා මෙදා තුර මෙයට හේතු වූයේ ධාර්මිකව ජීවත් නොවීම හා වාස්තු දෝශයි.. එසේනම් සෞභාග්‍ය සදහා ධර්මානුකූලව ජීවත් වීමත් වාස්තු දොස් මගහැර සොබාදහම සමග ජීවත් වීමත් කලයුතුය.. වාස්තු දොස් කොටස් අයින් කර වෙනස් කර නිවැරදිව ස්තාන ගත කරගත යුතු බව පැරනි පාරම්පරික නක්ෂත්‍රවේදීන් සොයාගත්හ..නමුත් එයින් යහපතක් උදා උනද සියයට සියයක් ප්‍රතිපල නොලැබෙන බවත් යම් කිසි අඩුවක් ඇති බවත් පෙනී ගොස් ඇත…එය කුමක්ද සොයා බලද්දි ඒ තුරු ලතා සතා සීපාවා වග අවබෝධ වී ඇත… එලෙස වාස්තු විද්‍යාව හා විශ්ව ශක්තිය මුහුකරගනිමින් සොබාදහමට ලංව් දෝශ මග හැර ගැනීමට කටයුතු කර ඇත.. නිවාස ඉදිරීයේ ගෙවත්තෙ මල් උයන් පලතුරු උයන් සමනල කුරුලු උයන් පොකුනු ආදිය නිර්මානය කර සොබාදහමේ නියමයන් ජීවිතයට ලං කරගෙන සියලු දොස් පහකර සෞභාග්‍ය උදා කරගෙන ඇත.. නිවසක දොස් ඇතද නැතද පහත ක්‍රියාපිලිවෙත් අනුගමනය කරන්නේ නම් ඔබගේ ගතට මෙන්ම සිතටද අපූරු සහනයක් ලැබිය හැක.

මල් උයන්
මල් සිතටචමත්කාරයක් ඇති කරවන දසුනකි..එපමනක් නොව බුදුන් දෙවි දේවතාවුන් පිදීම සදහාත් රැගෙන යයි.. දෙවියන්ගේ පාරිශුද්ධභාවය කියා දෙන්නෙ මල් ය.. යම් කිසි නිවසක් නොදැනුවත් කමින් පෙරේත පාදයේ සෑදුවේද මල් නිසා එය මනුස්ස පාදයක් කරයි.. මල් වල පවතින වාස්තු රහස එය වේ..

සමනල උයන්
සමනලයෝ දෙව්ලොව සිට පැමිනෙන සුරංගනාවන් ලෙස සලකති.. ඒ අනුව මල් පිපීම දෙවියන්ට කරනු ලබන ආරාධනාවකී.. මෙයට බොහෝ කාලයකට පෙර සමනලයන් සිරිපා කරුණා කලේ රංචු පිටිනි.. එහෙත් වර්තමානයෙ සමනලයින් දැකීම දුර්ලභ දර්ශනයකි..ඒ මිනිසාගෙ වැරදි අයහපත් ක්‍රියා හේතුවෙනි. නිවෙස් ඉදිරියෙ ගෙවත්තේ මල් වැවීම සමනල උයනකට ආරම්භයක් ලබා දීමකි. ඔබේ උද්‍යානයට ගෙවත්තට සමනලයින් පැමිනෙන්නේ නම් දෙවියන්ද ඒ සමග වඩිනු ඇත..දෝශ සමනය වෙත්..මල් වලට පැමිනෙන්නේ සමනලයන්ම පමනක් නෙවේ.. මීමැස්සෝද වෙත්..කසලට නොඇදෙන බිගුන් මලට ඇදෙන්නේ ගුමු ගුමුව දසත පතුරමිනි.. එයින් පරිසරය සක්‍රීය වේ… මීමැස්සා පරිසරයකට අත්‍යාව්ශ්‍යම සතකු බව ඔබ දන්නවා ඇත.. සමනලයා මෙන්ම මීමැසි පොදි වාස්තු විද්‍යාවේ දෝශ සමනය කරන සතෙකි..

නිවසක වාස්තු දොස් මගහරින්න වාසනාව උදාකරගන්න බොහො මුදල් අවශ්‍ය නොවේ… අවශ්‍ය වන්නේ කැපවීම උනන්දුව හා සොබාදහමට ඇති ලැදියාව වේ… පරිසරයෙන් උපන් අපි පරිසරයෙන්ම දෝශ විසදාගන්නේ නම් මැනවි.. පරසරයේ ඇති විශ්ව ශක්තීන් සුබ ශක්තීන් තමා වටා ඒක රාශි කරගැනීම තමාම කලයුතුය…

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ගෙදර තිබෙන වාස්තු දෝශ සියල්ල ආගමික පිළිවෙත් අනුව ඉවත් කරගන්න හැටි

ගෘහයක වාස්‌තු දෝෂ බලවත් වන්නේ, එම ගෘහය ස්‌වභාවදහමට විරුද්ධව ඉදිකළ විටයි. ස්‌වභාවදහමට අනුකූලව ඉදිකරනු ලබන ගෘහයන් තුළ වාස්‌තු දෝෂ බලවත් නොවන බව කිව යුතුයි. විශ්ව ශක්‌තිය යනු ස්‌වභාදහමෙන් අපට ලැබී තිබෙන අමිල දායාදයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි. විශ්ව ශක්‌තිය ස්‌වභාදහමේ වුවත් එම ශක්‌තීන් ලබා ගැනීමට තරම් බලවත් වූ කුසල ශක්‌තියක්‌ අප තුළ තිබිය යුතුයි. එසේ නොමැතිව විශ්ව ශක්‌තීන්ගේ උදව් උපකාර ලබා ගැනීමට අපට හැකියාවක්‌ ලැබෙන්නේ නැත. ඒ අපරමිත විශ්ව ශක්‌තියේ පිහිට උපකාර ලබා ගෙන ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල කිරීමටත් ඒවා දමනය කිරීමටත් හැකියාව පවතිනවා.

මේ සඳහා ඔබ විශාල වශයෙන් ධනය වැය කිරීමට හෝ පීඩා විඳීමටත් අවශ්‍ය වන්නේ නැහැ. වර්ෂයකට ආසන්න කාලයක්‌ මා සමඟ සිටින මගේ නැණවත් මහා වාස්‌තු පාඨකයන්ට උසස්‌ වාස්‌තු ශිල්පීය දැනුම මා ඉතා අවංකව ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස එම ලිපි පරිශීලනය කළ ඔබට පිරිසිදු වාස්‌තු ශිල්පය කුමක්‌ ද යන්න හඳුනා ගැනීමේ හැකියාව ලැබී ඇති බව මාගේ හැඟීමයි. මහා වාස්‌තු ශිල්පය සම්බන්ධයෙන් ඔබ වෙත මා මේ වන තුරු කියා දුන්නේ, අල්ප වූ කොටසක්‌ පමණි. තවත් විශාල දැනුම් සම්භාරයක්‌ පවතින බැවින් අනාගතයේ දී ඉතාමත් විරල වූ වාස්‌තු වත් පිළිවෙත් හා සක්‍රීය වාස්‌තු කෙම් ඔබට තිලිණ කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා.

අද මා ඔබට කියා දීමට අපේක්‍ෂා කරන්නේ, ඔබගේ නිවසේ කොපමණ වාස්‌තු දෝෂ තිබුණත් එම ඕනෑම වාස්‌තු දෝෂයක්‌ බලවත් නොවී, සක්‍රීය නොවී තබා ගැනීමට හැකි පිළිවෙත් කිහිපයක්‌ පිළිබඳව දැනුවත් කිරීමටය. නිවසේ වාස්‌තු දෝෂ බලවත් වූ විට ඔබට යම් යම් අපහසුතා දැනෙන්නට හැකියාව තිබෙනවා. මේවා අතුරින් ධනය විනාශ වීම, ලෙඩ රෝග, අසමගිය, මානසික, කායික පීඩනය, සතුරු කරදර, රාජ බිය, පරම්පරාව යාවත්කාලීන නොවීම ආදී වශයෙන් ලෞකික ජීවිතයේ විවිධ දුක්‌ ගැහැට ඔබගේ ජීවිතයේ බලවත් වීමේ අවදානමක්‌ පවතිනවා. එසේ වුවද එක දෙයක්‌ ඔබ තරයේ සිහි තබා ගත යුතු වෙනවා. එනම් නිවසේ වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මරණයට පත් වන්නේ, නැත යන්නයි. නූතනයේ දී විවිධ මාධ්‍ය ඔස්‌සේ විවිධ පුද්ගලයින් වාස්‌තු ශිල්පයේ ගරුත්වය විනාශ කරමින් වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මැරෙන බවට අසත්‍ය ප්‍රචාරණයන් ගෙන යන බව ඔබටත් අත්දැකීමට තිබෙන්නට ඇති. එවැනි කතා කියන පුද්ගලයන් වාස්‌තු ශිල්පය නොදන්නා අය ලෙස සලකා ඔවුන්ව බැහැර කළ යුතු බව පෙන්වා දෙමි.

බුදු පිළිම පින්තූර සහ දේව පිළිම පින්තූර එකම ස්‌ථානයේ සමාන්තරව තැබීම. බුදු පිළිමයට ඉහළින් සීවිලි මහ රහතන් වහන්සේ පිළිම පින්තූර සහ දේව රූප තැබීම. ප්‍රධාන උළුවස්‌සේ බුදුපිළිම, දේව රූප, සීවිලි පින්තූරය තැබීම හෝ ඕනෑම උළුවස්‌සක තැබීම. ඉහළ මාලයට පෑගෙන ලෙස ආගමික පිළිම පින්තූර තැබීම. නිවසේ තැන තැන ආවතේව නොකරන බුදු පිළිම පින්තූර තැබීම. ආගම් දෙකක ශාස්‌තෘන් වහන්සේලා එකම ස්‌ථානයේ තබා වන්දනා කිරීම. බුදුන්ට සහ දෙවියන්ට එකම නිවසේ එකට පහන් දෙකක්‌ දැල්වීම. නිවසින් පිටත පහන් පැලවල් සාදා පහන් දැල්වීම. නිවාස තුළ බුදු සිරස, හිටි පිළිම, සැතපෙන පිළිම පින්තූර තැබීම. උතුර, ඊශාන සහ නැගෙනහිර දිශාවලට පිටුපා ආගමික වතාවත් ඉටු කිරීම.

ගිහියන්ගේ පින්තූර ආගමික ස්‌ථානයේ තැබීම. ඉහතින් දක්‌වා ඇති ආකාරයට ඔබගේ නිවසේත් ආගමික කටයුතු සිදුවෙනවානම් ඔබ ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. එවිට නිවසේ ආගමික වේද දෝෂ බලවත් වන බව පෙන්වා දෙනවා. මෙසේ නිවසේ ආගමික වේද දෝෂ බලපාන්නේ යම් සේද ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල කිරීමට ද ආගමික වේද දෝෂ රහිත වීම වාස්‌තු දෝෂ දුර්වල වීමට බලපාන බව අත්දුටු සත්‍යයකි. ඔබගේ නිවසේ වාස්‌තු දෝෂ දුරු කිරීමට ඇති එකම මඟ ආගමික වතාවත් නිසි ලෙස ඉටු කිරීමයි. ඔබගේ නිවසේ ආගමික වතාවත් නිසි ලෙස ඉටු වෙනවානම් දෙවියන්ට බුදුන්ට අගෞරව වන්නේ නැත්නම් ඔබගේ ගෘහයට දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙනවා නම් ඔබගේ කුසල් ශක්‌තිය බලවත් වෙනවා. එවිට නිවසේ කොතරම් වාස්‌තු දෝෂ තිබුණත් ඒවා බලවත් වන්නේ නැහැ. ඔබගේ නිවස කඩාගෙන බිඳගෙන ධනය නාස්‌ති කරගන්න එපා ඔබගේ නිවස දෙවියන්ට ප්‍රිය තැනක්‌ බවට පත්කර ගැනීමට අවශ්‍ය වාස්‌තු පිළිවෙත් ඉටුකරන්න. එවිට වාස්‌තු දෝෂවල බලය දුර්වල වෙනවා.

වාස්‌තු දෝෂ දුර්වල කරන ආකාරය ඔබ පළමුව ඔබගේ ආගමික වතාවත් නිසිලෙස ඉටුකිරීමට පුරුදු විය යුතුයි. එසේ නම් නිවසේ නිසි තැන නිසි දිශාවේ ආගමික වතාවත් ඉටු කිරීම සිදුකල යුතු වෙනවා. අපගේ මුස්‌ලිම් සහෝදරවරු ආගමික වතාවත් නිසි තැන නිසි දිශාවේ සිදුකරන බව ඔබ දන්නවාද? ඔවුන් ශ්‍රී ලංකාවේ සිට අංශක 78. 6. ට දිශා ආනතිය ලබාගෙන වයඹ දිශාවට හැරී zzකිබ්ලාවටZZ වන්දනා කරනවා. එනම් ඔවුන්ගේ ශාස්‌තෘන්ගේ දේශය දිශාවට සියලු මුස්‌ලිම් ජාතීකයන් එකට වන්දනා කරනවා.

එසේ වුවත් බෞද්ධ ජනතාව බොහෝවිට වන්දනා කරන්නේ අපගේ බුදුන්ගේ ජම්බුද්වීපයට පිටුපාන ලෙසයි. එසේ නම් ඔබ නියමාකාරයෙන් නිසි දිශාව තෝරා ගැනීමට අද සිට බුද්ධිමත් වන්න. ඔබ වන්දනා කළ යුත්තේ පහත සඳහන් දිශාවලට මුහුණලා වන අතර බුදුපිළිමය එම දිශාවටම පිටුපා තැබීමට වග බලා ගත යුතුයි. වන්දනා කරනවිට හැරිය යුතු දිශාව උතුරට – උතුරට හැරෙන්නේ අපගේ ශාස්‌තෘන් වහන්සේගේ උපන් දේශය වන ඉන්දීය තලය ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට උතුරු දිශාවේ වන නිසාවෙනි. ඊශාන – ඊශාන දිශාවට අප හැරී වන්දනා කළ යුත්තේ ඊශාන දිශාව දෙවියන්ගේ දිශාව වන බැවිනි. නැගෙනහිර – මෙම දිශාවට හැරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වජ්‍රාසනය හැරී තිබුණේ සූර්ය දිව්‍ය පුත්‍ර දිශාව වන ප්‍රඥාවේ දිශාව නැගෙනහිර දිශාවට බැවිනි. එසේ නම් දැන් ඔබට වැටෙහෙනවා නේද අප දිශාව තෝරා ගත යුත්තේ නිකන් නොව හේතු සාධක ඇතිව බව. ඊශාන දිශාව විශ්ව ශක්‌තිය එන ඊශාන දිශාව ගැන ඔබට විශේෂ දෙයක්‌ මා කියා දෙන්නම්.

අප ආගමික වතාවත් ඉටු කිරීමේ දී ඊශාන දිශාවට හැරෙන්නේ ඇයි? ඇත්තටම මේ ගැන බුදුදහමේ සූත්‍ර දේශානා තුළින් මනාව පෙන්වා දී තිබෙනවා. සතියේ දින හතේම මරු නැති ඊශාන දිශාවේ තමයි දිව්‍ය තල සහ බ්‍රහ්ම තල පිහිටා තිබෙන්නේ. විශ්ව ශක්‌තිය යනු, ධන තරංග නැත්නම් යහපත් තරංගයි. ඒවා එන්නේ ඊශාන දිශාවේ ඇති දිව්‍ය තල සහ බ්‍රහ්ම තල වල සිටයි. එසේ නම් ඔබගේ ගෘහයට දෙවියන් එබී බලන්නේ ඊශාන දිශාවෙන්a බව මතක තබාගන්න. ඔබ නිවස තුළ බුදුන්ට පූජා කොට වන්දනාමාන කරන විට පින් ලබා ගැනීම සඳහා භූමි ගත, වෘක්‍ෂ, සම්‍යදෘෂ්ටික දෙවිවරු ගෘහවාසී වෙනවා. ඔවුන් වැඩ ඉන්නේ ඊශාන දිශාවේ බැවින් ඔබ එම දිශාවලට පිටුපා ආගමික කටයුතු සිදුකරන විට දෙවියන් අසතුටු වී නිවසින් බැහැර වෙනවා. එසේ යන දෙවියන් අසතුටු හිතේ බලපෑම අයහපත් ප්‍රතිඵල නිවසට දැනෙනවා. ඔබ නිසි දිශාවට හැරී සිටින විට දෙවියන් එම පින් අනුමෝදන් වී සතුටු සිතින් නිවසට ආශිර්වාද කරනවා. එය නිවසට ශක්‌තියක්‌ වෙනවා.

ආගමික වතාවත් ඉටුකළ යුතු වේලාව ආගමික වතාවත් ඉටු කිරීමේ දී විශේෂයෙන් බුදු පහන දැල්විය යුත්තේ, උදේ සවස 5.30 – 6.00 අතර කාලයේ වීම ඉතා යහපත් වෙනවා. මෙම කාලය භූමිගත දෙවිවරුන් ගෘහවාසීව පින් ලබා ගැනීමට පැමිණෙන වේලාව බැවිනි. එසේ වුවද බුදුන් වෙනුවෙන් දවසේ ඕනෑම වේලාවක පහනක්‌ දැල්වීම අයහපත් නොවන බවද පෙන්වා දෙමි. නිසි ආකාරයට ආලෝක පූජාව සිදු කරන්න බුදුන් උදෙසා ඔබ විසින් සිදු කරනු ලබන සෑම පූජාවක්‌ම ඉතාමත් ගෞරවාන්විතව නිසි ලෙස සිදු කිරීමෙන් කුසල් බලවත්ව වඩවා ගත හැකි වෙනවා. මෙහිදී පහන් දැල්ල යොමු කළ යුතු දිශාව පිළිබඳව අද සමාජයේ විවධ මිත්‍යා මත පැතිරී තිබෙනවා බුදු දහමට අනුව පහන් දැල්ල කුමන පැත්තට පත්තු කළ ද කුසල් වල අඩුවක්‌ නොවන බව පළමුව කිව යුතු අතර වාස්‌තු ශිල්පයට අනුව පහන් දැල්ල යොමු කළ යුතු දිශාව වන්නේ බුදුපිළිමය දෙසටයි. මෙහිදී අප විසින් සිදු කරනු ලබන ආලෝක පූජාව බුදුරාජාණන් වහන්සේගේ පිළිමය වෙත වැදී පරාවර්තනය වන ආලෝකයේ විශ්ව ශක්‌තීන් අපමණ බව සිතන්න. එසේම ඔබ විසින් පූජා කරනු ලබන පුෂ්පයන්, සුවඳ සහ වර්ණ සහිතව නිසි ලෙස සකස්‌ කොට පූජා කිරීම මැනවි. ලබා ගත් කුසල් අනුමෝදන් කිරීම ඔබ විසින් ආගමික වතාවත් ඉටුකොට ලබාගත් කුසල් ශක්‌තීන් විෂ්ණු දෙවියන් ප්‍රමුඛ සම්‍යදෘෂ්ටික දේව මණ්‌ඩලයට හා මියගිය ඥාතීන්ට මෙන්ම ගෘහයේ සහ භූමියේ සිටින භූමි ඥාතීන්ට අනුමෝදන් කිරීම කළ යුතු වේ.

මෙහිදී ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ දී දෙවියන්ගේ නම් ගොත් කියා පින් අනුමෝදන් කිරීම කළ යුතුයි. නිදසුනක්‌ ලෙස zzමා විසින් ලබාගන්නා වූ මේ පින් විෂ්ණු, කතරගම, විශ්ව කර්ම, විශ්වජිත්, නාථ, පත්තිනි, සමන්, දැඩිමුණ්‌ඩ , සතර වරම් දෙවිවරු සහ ගම්බාර දෙවියන් යනුවෙන්ZZ ඔබ දෙවියන්ගේ නම් ගොත් පවසා පින් ලබාදුන් විට එම දෙවියන් ඔබගේ නිවසට ආශිර්වාද කරන බව මතක තබා ගන්න. නිවසේ කොපමණ වාස්‌තු දෝෂ තිබුණත් ඒවා යටපත් වනු ඇත. වාස්‌තු දෝෂ දුර්වල කිරීමේ ඉපැරණි කෙමක්‌ ඔබගේ නිවසේ බුද්ධ ප්‍රතිමාව සඳුන් කිරියෙන් දෝවනය කොට (කෙම්මුර දිනයක) උතුරු, ඊශාන හෝ නැගෙනහිර දිශාවට හැරී ගිතෙල් හෝ මහා තෛලේරු තෛලයෙන් පහනක්‌ දින 07ක්‌ දල්වන්න බුද්ධ පූජා සහ බුද්ධ වන්දනා කොට එම පින් පෙර කී දෙවිවරුන්ගේ නම් ගොත් පවසා පින් අනුමෝදන් කරන්න. තුන් සූත්‍රය ධජග්ඝ පිරිත, ජය පිරිත, ජිනපන්ජරය සහ ඇනවුම් පිරිත උදේ සවස දින 7ක්‌ හඬනගා සඡ්ධායනා කරන්න.

ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ දුර්වල වනු ඇත ඒකාන්තයි. අත්දුටුවයි. මා විසින් පාඨක ඔබ සැමට ඉතාමත් අනුකම්පාවෙන් පෙන්වා දුන් ඉහත මහා වාස්‌තු උපදෙස්‌ හැකි ආකාරයට පිළිපැදීමට උනන්දු වන්න. එසේම ඔබගේ ගෘහයේ තිබෙන පූජනීය පාත්‍රය (අලි තුන්දෙනා සහිත පිත්තල පාත්‍රය) අගෞරව වන ලෙස තබන්න එපා. ඔබගේ මූල්‍ය ශක්‌තිය දුර්වල වීමට එය බලපානවා. පූජනීය පාත්‍රය යනු බුදුන්වහන්සේගේ පාරිභෝගික ධාතුවක්‌ බව සිහි තබා ගන්න. එසේම විනාශම් ලකුණ සහිත ගණ දෙවි රූප, ලක්‍ෂ්මි රූප සහ සරස්‌වති රූප ඇත්නම් විනාශම් ලකුණ ඉවත් එම රූප තබා ගන්න. මේ ආකාරයට ඔබගේ නිවසේ ආගමික වේද දෝෂ දුරුකොට නිවස දෙවියන්ට හා මිනිසුන්ට ප්‍රිය තැනක්‌ බවට පත්කර ගැනීමට උනන්දු වන්න. එවිට නිවසේ සියලු වාස්‌තු දෝෂ දුබල වී නිවසට ශාන්තිය උදාවනු ඇත.

වැඩිදුර විස්‌තර 071-4402574 / 081-2386577
ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද , ඩී.යූ. සෙනරත්
වාස්‌තු මැඳුර නො.189/3, කොළඹ පාර, පොල්ගහමුල,පේරාදෙණිය