පින්වන්ත දරුවෙකුගේ උපතක් ලබාගන්න විදිය

පින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියත් අනුගමනය කළ යුතු ආර්‍ය චාරිත්‍ර පේවිම් මෙසේ ය. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් ( පැය 24 පුරාවට පූර්ණ උතුම් උපෝසථයක් ලෙස ) සතියක් පුරාවට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතුය. එම සතිය පුරාවට දිනකට දෙවරක් ( උදේ – සවස ) මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස, පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. ( තුන් සූත්‍රය, ධජග්ග පිරිත, මහාසමය සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය ආදිය…) වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය. ( වෙනත් ඉල්ලීම් කිසිවක් නොකළ යුතුය.)

එම සතිය පුරාවට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇතුළත් පොත්පත් කියවමින් ඒවා තේරුම් ගනිමින් ගතකළ යුතුය. දවසේ හැකි සෑම විට ම බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව ආදී භාවනා පුරුදු කළ යුතුය. මහා සඟරුවන උදෙසා දන්පැන් පූජා කළ යුතුය. මෙලෙස සතියක් පුරාවට උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කොට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රදුන් වැඩ සිටින අනුරාධපුර පින් බිම වන්දනා කිරීමට යා යුතුය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් තුන් වරක් දක්ෂිණාවර්තව පැදකුණු කළ යුතුය. මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්ම රාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදම් කළ යුතුය. ස්වර්ණමාලි මහා ස්ථූපය අභියසට පැමිණ, අවිද්‍යා අන්ධකාරය දුරුකොට ප්‍රඥාලෝකයෙන් තුන් ලොවම එළිය කළ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු ප්‍රඥාලෝකයට උපහාර පිණිස යැයි සිතා සුවඳ දුම් දල්වන්න. සතළිස් පස් වසරක් පුරා ගතකළ පරම නිර්මල සම්බුදු දිවියට උපහාර පිණිස යැයි සිතා පිවිතුරු සුවඳ මල් පූජා කරන්න. ඉන් පසු මිහිරට සැදැහැයෙන් හඬනගා තෙරුවන් ගුණ සජ්ජායනා කරමින් මහා සෑය තුන් වතාවක් දක්ෂිණා වර්තව පැදකුණු කරන්න. එසේ කිරීමෙන් පසු පේසා වළලු මත නළල තබා උතුම් බුද්ධ රත්නයටත්, ධම්ම රත්නයටත්, සංඝ රත්නයටත්, මහ සෑ රජාණන් වහන්සේටත් මාගේ ජීවිතය පූජාකරමි… පූජා වේවා! යි සිතා ජීවිතය පූජා කරන්න. උදෑසන කාලයක දී නම් කිරිපිඬු පූජා කරන්න. සවස් කාලයකදී නම් ගිලන්පස පූජා කරන්න. සෑ මළුවේ ම මහ සෑය හොඳින් පෙනෙනා තැනක අසුන් ගන්න. මිහිරට සැදැහැයෙන් තෙරුවන් වන්දනා කොට ගාථා කියමින් මල්, පහන්, සුවඳ දුම් ආදී පූජාවන් පූජා කරන්න. පසුව මෙසේ දේවතා ආරාධනය සිදු කරන්න.

සමන්තා චක්ක වාලේසූ – අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස – සුණන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තස්සවණ කාලෝ – අයං භදන්තා පරිත්තධම්මස්සවණ කාලෝ – අයං භදන්තා

හාත්පස සක්වළ සිටින සදහම් අසනු කැමති දෙවියෝ සැදැහැ සිත් උපදවාගෙන අප මුනිරජුන් වදහළ මිහිරි සඳහම් ඇසුමට දැන් මෙතැනට පැමිණෙත්වා! පින්වත් දෙවිවරුනේ මේ එයට කාලයයි! ඉන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍රයත්, රතන සූත්‍රයත්, කරණීයමෙත්ත සූත්‍රයත් සජ්ජායනා කරන්න. ඉන්පසු දෙනෙත් පියාගෙන ටික වෙලාවක් බුදුගුණ භාවනාවත්, මෛත්‍රී භාවනාවත් සිදු කරන්න. ඉන්පසු සතියක් පුරාවට රැස්කළ සියලු පුණ්‍ය ධර්මයන් වචනයෙන් පවසා ඝටීකාර බ්‍රහ්ම රාජයා, සහම්පති බ්‍රහ්ම රාජය, සනංකුමාර බ්‍රහ්ම රාජයා ආදී බ්‍රහ්ම රාජයන්ට පින් අනුමෝදන් කරන්න. රැස්කළ පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝවාසී දෙවියන්ටත් අනුමෝදන් කළ යුතුය. එමෙන්ම ශාසන භාරධාරී විශ්ණු දෙවිඳුන්ටත්, සුමන සමන් දෙවිඳුන්ටත්, ස්වර්ණමාලි දෙවඟනටත් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දුටුගැමුණු දිව්‍ය රාජයාට පින් අනුමෝදන් කරන්න. භූමාටු දෙවිවරුන්ගේ පටන් සදෙව් ලෝවාසී සියලු දෙවිවරුන්ටත් බ්‍රහ්මකායික සියලු දෙවියන්ටත් පොදුවේ පින් අනුමෝදන් කරන්න.

ඉන්පසු ආයුෂ අවසන් වී මනුලොව වඩින්නට සිටිනා පින්වත් දිව්‍යරාජයෙකුට හෝ බ්‍රහ්මරාජයෙකුට පින්වත් දරුවෙකු බලාපොරොත්තු වන මෑණියන් විසින් තම කුසේ පිළිසිඳ ගන්නට මෙලෙසින් ආරාධනා කරන්න. ” සුගති ලොවක් වූ මිනිස්ලොව ඉපදීමට බලා සිටිනා දිව්‍යාරාජයිනි, බ්‍රහ්මරාජයිනි මිනිස් ලොව ඉපදී උතුම්ම ලාභය වූ තිසරණ සහිත ශ්‍රද්ධා ලාභය ලැබීම පිණිසත්, බුදුසසුන සුරැකීම පිණිසත්, ලංකාදීපය ආරක්ෂා කර සිංහල ජාතිය ආරක්ෂා කිරීමටත්, රට දැය සසුන බොහෝ කල් සුවසේ පැවැත්ම පිණිසත් ඔබ වහන්සේලාගෙන් කවුරු හෝ තෙරුවන් කෙරෙහි පැහැදුන සිත් ඇති සීලවන්ත මාගේ කුස පිළිසිඳ ගනු මැනවි. අපි දෙදෙනාම මහත් වූ සෙනෙහසින් ඔබ රැකබලා ගන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මාගේ කුස පිළිසිඳ ගන්නා සේක්වා! මෙසේ දෙවනුව ද තෙවනුව ද ආරාධනා කොට සිටින්න. මෙසේ කරනා විට ඒකාන්තයෙන්ම පින්වන්තයෙකු ඔබගේ මව්කුසට, ඔබගේ පවුලට වඩිනු ඇත. මෙසේ ශාසනික ප්‍රතිපත්තීන්හි පිහිටීමෙන් පින්වන්ත දරුවෙකු කුස තුළ පිළිසිඳ ගත්පසු කටයුතු කළ යුත්තේ මේ අයුරිනි.

දරු සම්පත පිළිසිඳ ගත් පසු සිදුකළ යුතු ආර්‍ය චාරිත්‍ර
මව්කුසේ දරු සම්පතක් පිළිසිඳ ගත්තේ ය යන දැනීම පහළ වූ සැණින් මව්පිය දෙදෙනා තෙරුවන් වන්දනා කොට දරුවාව තෙරුවනට පූජා කළ යුතුය.
හැකි නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ රජුන් වැඩ සිටින අනුරාධපුර පින්බිම වන්දනා කිරීමට ගොස් පෙර සේම මල්, පහන් ආලෝක, සුවඳ දුම්, ගිලන්පස පූජාකර තෙරුවන් වන්දනා කළ යුතුය. පිරිත් ධර්මයන් සජ්ජායනා කළ යුතුය. දරුවාගේ ජීවිතය නැවත වරක් තෙරුවනට පූජා කළ යුතුය. ඉන්පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, ස්වර්ණමාලි මහා සෑ රදුන්ටත් දරුවාගේ ජීවිතය පූජා කළ යුතුය. වන්දනාව අවසානයේ බ්‍රහ්මරාජයන්ට, සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝ වාසී දෙවියන්ට රැස්කළ පින් අනුමෝදන් කළ යුතුය.( මේ ආකාරයටම දරුවා මෙලොවට බිහි වූ පසුවත් සිදු කරන්න.)

ඉන්පසුව මහත් ඕනෑකමකින් දරු ගැබ ආරක්ෂා කරගනිමින් දිනපතා පන්සිල් රකිමින්, පුන් පොහෝ දින වලට අෂ්ඨාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කරන්න. හැකි සෑම විටම සඟරුවනට දන්පැන් පුදන්න. උතුම් තෙරුවන් ගුණ හොඳින් ඉගෙන ගනිමින් ශ්‍රද්ධාව ඇති කර ගන්න. ඒ තෙරුවන් ගුණ හොඳින් මතකයේ දරාගෙන හැකි සෑම විටම ඒ තෙරුවන් ගුණ සිහිකරමින් උපන් ශ්‍රද්ධාව දියුණු කර ගන්න. තෙරුවන් ගුණ සඳහන් වන උතුම් දහම් පොත් කියවමින් ධර්මය සිහිකරන්න. මෛත්‍රී භාවනාව නිතර වඩන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරමින් සැදැහැසිතින් සෙත් පිරිත් සජ්ජායනා. කරන්න. දරුවා බිහිවීමට කාලය ළඟාවන විට සංඝරත්නය බැහැදැක වන්දනා කොට උතුම් අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබගන්න. තුණුරුවනේ ගුණ සිහිකරමින් පිරිත් පැන් පානය කොට මව්කුසේ පැන් තවරා ගන්න.

ජාතිය රන් විමනක් වේ – ආගම මිණි පහනක් වේ… එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹ වේ…

මෙසේ ආර්‍ය පිළිවෙත් පිරීමෙන් පින්වන්ත දරු උපතක් සිදු වේ. දෙමාපියන්ට කරදරයක් නොවී සමාජයට බරක් නොවී ලොකු මහත් වී ඔහු පැමිණි කටයුත්ත නිර්භීතව සිදුකරනු ඇත. ඔහු උපන් පවුල දිනෙන් දින ධන ධාන්‍යයෙන් දියුණු වේ. මෙවන් පින්වන්තයින් දහ පහළොස් දෙනෙකු පවුලක සිටිය ද මව්පියන් දෙදෙනාට සවියක් මිස බරක් නොවේ. ඔහුගේ සහෝදර සහෝදරියන්ට ශක්තියක්, ආඩම්බරයක්, ගෞරවයක් වේ. ඔහු අපගේ අවිහිංසාවාදී කෘෂිකර්මාන්තය දියුණු කරනු ඇත. ගෘහ නිර්මාණ ශිල්පය දියුණු කරනු ඇත. වාරි කර්මාන්තය දියුණු කරනු ඇත. වියළී ගිය රට සශ්‍රීක කරනු ඇත. සංඝරත්නය නො සිඳී පවතින්නට කල්‍යාණ වැටක් ඉදිකරනු ඇත. නිරෝගී ජනතාවක් වෙනුවෙන් ආරෝග්‍යශාලා ඉදිකරනු ඇත. සුවසේ ගමන් බිමන් යාමට මංමාවත් ඉදිකරනු ඇත.

උපුටා ගැනීම :- “ගෞතම සසුනේ පිහිට ලබන මනුලොව උපදින පුණ්‍යවන්තයෝ..” ග්‍රන්ථයෙන් / 🖊️ සැකසුම :- හෙළ අරණ

මව්කිරි දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්න හැටි

මව්කිරි දීම යනු ස්වභාව දහමේ දයාදයක් වුවත්, සමහර මව්වරුන් එය ඔවුන්ගේ පියයුරු වල පෙනුමට බලපාන ආකාරය ගැන කනස්සල්ලට පත්වෙනවා. මගේ පියයුරු මගේ කුඩා දරුවාට මව්කිරි ලබා දෙන විට තවමත් ශක්තිමත්ව හෝ පෙනුමකින් පවතීද? යන්න ගැන මව්වරුන් පුදුම වෙනවා වෙන්න පුලුවන්. පිළිතුර බොහෝ විට එය ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන් යන්නයි. නමුත් එක් දෙයක් ස්ථිරයි. පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් සුදානම් වීම වඩාත් සුදුසු ය. පියයුරු යලිත් සකස් කිරීම, හෝ පියයුරු කලින් තිබුන ප්‍රමාණයට හෝ හැඩයට නැවත පැමිණීමට සාමාන්‍ය යෙන් ඔබේ දරුවාට කිරි වැරීමෙන් පසු මාස හයක් වත් ගත වේ. පියයුරු එහි පෙර පෙනුම නැවතත් පැමිණිම, හැකිලීම හෝ මව්කිරි දීමෙන් පසුව විශාල වීම සිදු විය හැකිය. මව්කිරි දෙන සියලුම කාන්තාවන්ට පියයුරු එල්ලා වැටීම ඇති නොවේ. නමුත් සමහර කාන්තාවන්ට දැඩි පියයුරු වෙනස් වීමක් අත් විදියි.

එමගින් පියයුරු එල්ලා වැටීම වැනි පෙනුමක් හෝ හැකිළුණු පෙනුමක් ලැබේ. එසේ වන්නේ පියයුරු පටක සංකෝචනය වුවද පියයුරු වටා සමේ ප්‍රමාණය වෙනස් නොවීම නිසයි.
මෙය හරියටම සිදුවන්නේ ඇයි? පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද? ගර්භණීභාවය පුරාවටම පපුව හා පියයුරු සම්බන්ධ වෙන මස් මාංශ පේශි ඇදීමට ලක්වෙන අතර දුර්වල වේ. මව්කිරි ලබා දීමට සුදානමක් ලෙස පියයුරු සඳහා සූදානම් කිරීමට ඒවා විශාල වේ. පියයුරු එල්ලා වැටීම ඔබේ වයස, ජාන සහ ජීවන රටාව මත රඳා පවතී. කාන්තාවන් වයසට යත්ම ඔවුන්ගේ සමේ ඇදෙන සුළු බව දුර්වල වේ. පියයුරු ප්‍රමාණය ජාන වලින් උරුම වී ඇති බව විශ්වාස කලත් දුම් පානයට සමේ සමේ ඇදෙන සුළු බව අඩු කිරීමට හැකිය. පියයුරු වල ප්‍රමාණයට ගර්භනී වු වාර ගණනද බලපායි. ඇත්ත වශයෙන්ම, ඔබට වැඩියෙන් දරුවන් සිටින විට, ඔබේ පියයුරු හැඩය හා ඍජු බව වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ගර්භණිත්වයට පෙර ඔබේ පියයුරු ද මෙයට බලපායි. ඔබගේ පියයුරු ස්වභාවිකවම කුඩා හා යටකොටසින් වටකුරු නම් විශාල, දිගු පියයුරු මෙන් නොව, ඒ්වාට හැඩය පවත්වාගෙන යාමේ වැඩි අවස්ථාවක් ඇත. අතිරික්ත බර වැඩි වීමද පියයුරු ඇදී යාමට හේතු විය හැක. මව්කිරි දීම ද එයට හේතු වේ. ඔබ මව්කිරි දෙන අතරතුර පියයුරු එල්ලා වැටීම වලක්වා ගත හැකිද? ඒ සදහා එක් මාර්ගයක් වන්නේ මව්කිරි ලබා දෙන අතර තුර පියයුරු වල මාංශ පේශින්ට සහය ලබා දෙන ඒ් සදහා සකස් කල නර්සින් බ්‍රා එකක් පැලදීමයි. විශේෂයෙන්ම ඔබගේ පියයුරු විශාල වේ නම් ගුරුත්වාකර්ෂණයද හේතුවිය හැකිය. ඕනෑම ඍණාත්මක බලපෑමක් වැළැක්වීම සඳහා, ඔබට මෙම බ්‍රා දවස පුරාම මුළු රාත්‍රිය පුරාම පැළඳිය හැකිය. එය ඉතා තදින් අදින්න එපා.

බර වැඩිවීම පාලනය කිරීම හා හදිසි බර අඩු වීමෙන් වළක්වා ගැනීම මගින් පියයුරු එල්ලා වැටීමේ අවදානම අඩු කර ගැනීමට උපකාර කරනවා. සත්ව ආහාර අඩුවෙන් අනුභව කිරීමට උත්සාහ කරන්න. ධාන්‍ය , විටමින් බී පොහොසත් ආහාර සහ හරිත එළවලු ඔබේ පියයුරු වල ඇදෙන සුළු මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ. ඔබේ සමේ ප්‍රමාණවත් තෙතමනය ඇති බවට වග බලා ගන්න. ඒ් වියළි සමේ ඇදෙන සුළු බව අඩුවෙන නිසයි. ඔබ තෝරා ගත් භාණ්ඩ කිරිදෙන මව්වරුන්ට සුදුසු බව සහතික වන්න. ස්නානය කරන විට උණුසුම් හා සීතල ජලයෙන් මාරුවෙන් මාරුවට ඔබේ පියයුරු සම්බාහනය කරන්න. මෙය සමේ සංසරණය වැඩි දියුණු කරයි. හැමවිටම සීතල වතුරෙන් අවසන් කරන්න මතක තබා ගන්න. ඔබ ඔබේ දරුවා ක්‍රමානුකූලව කිරි වරන බවට වග බලා ගන්න. මෙම මාර්ගෝපදේශ පහෙන් හැරුණු විට, නිරන්තරව සිදු සිදුකර පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකි බොහෝ විට නොසලකා හැරෙන ක්‍රම දෙකක් තියෙනවා.

1. පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීම සඳහා ඔබේ ඉරියව්ව මනාව පවත්වා ගන්න
මව්කිරි ලබා දිමෙදි ඔබේ ඉරියව්ව ගැන ප්‍රවේශම් වන්න. ගුරුත්වාකර්ෂණයට එරෙහි වන මව්කිරි දෙන ඉරියව්ව අනුගමනය කරන බවට වග බලා ගන්න. මේ සඳහා නිදසුනක් නම්, ඉහලට වාඩි වී මව්කිරි දීම, බෑවුම් පිහිටීම සහ ආධාරක සඳහා කොට්ටයක් භාවිතා කිරීමය වේ.

2. එල්ලා වැටෙන පියයුරු වලක්වා ගැනීම සඳහා විශේෂ ව්‍යායාම කරන්න
සමහරුන් විශ්වාස කරන දේට පටහැනිව, ව්‍යායාම කිරීම කිරි සැපයුමට බලපාන්නේ නැහැ. ව්‍යායාම මගින් පපුවේ පේශි ශක්තිමත් කර පියයුරු අවිධිමත් වීම වළක්වාඅ ගත හැකිය.

ඩම්ප්බෙල් (dumbell) අදින්න.
ඔබට ඩම්ප්බෙල් අදින්න උත්සාහ කළ හැකිය. බංකුවක් මත දිගා වී කකුල් පොළවට ඍජුව තබාගන්න. ඉන්පසු ඩම්ප්බෙල් අදින්න.

පුෂ් අප්ස් (push ups)
ඔබට සම්පූර්ණ හෝ අර්ධ පුෂ් අප්ස් කරන්න පුළුවන්. නැත්නම් ඔබේ සිරුරේ ඉහළ කොටස සොලවමින් දණගසන්න පුළුවන්. ඔබේ දෑත් එකිනෙකා සමඟ සමාන්තරව තබාගන්න. ඔබට හැකි තරම් දුරට ඔබම පහත් වෙන්න නමුත් එය බලෙන් කරන්න එපා. මෙය ඔබගේ අත් , පිට සහ මධ්‍යයට සඳහා හොඳ ව්‍යායාමයක් වෙනවා.

පපුව තෙරපීම
ඔබේ ඉහළ ශරීරය සඳහා තවත් ක්‍රමයක් නම් එක් එක් අතෙහි ඩම්බල්ස් තබා ඒවා පපුව දෙසට හා ඉන් ඉවතට චලනය කිරීමයි. විශේෂයෙන් ඔබ සීසර් සැත්කමට භාජනය වුවෙක් නම් දරු ප්‍රසුතියෙන් පසු යම් කිසි ආකාරයක ව්‍යායාමයක හෙදීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබේ පියයුරු වල මනා හැඩය රැක ගන්න මේ අත්වැල the Asianparent Sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. පරිවර්තනය: නදීශා ලක්මිණී
(උපුටා ගැනීම lk.theasianparent.com වෙබ් අඩවියෙන්)

කුඩා දරුවන්ගේ මොළයේ නිසි වර්ධනයට දරුවන්ට දිය යුතු ආහාර වර්ග

මිනිස් අවයව අතර පවතින ප්‍රධානතම අංගය වන්නේ මොළයයි. දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිටම ඔහුගේ හෝ ඇයගේ මොළයේ වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේදී පටන්ම මවගේ නිසි පෝෂණය දරුවාගේ මොළය හොඳින් වර්ධනය වීම කෙරෙහි බලපාන නිසයි. දරුවෙකුගේ උපතින් පසු පළමු වසර පහ ඇතුළත මොළයේ වර්ධනයෙන් 90% පමණ සිදුවේ. දරුවෙකුගේ මුල් අවුරුදු තුනේදී මොළයේ සෛල අතර ඇතිවන සම්බන්ධතාවයන් ඉතා වේගවත් වන අතර ඒ සඳහා නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍යමය. ඒ වෙනුවෙන් මහා පෝෂක වන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, මේදය සහ ක්‍ෂුද්‍ර පෝෂක වන විටමින් හා ඛනිජ ලවණ අන්තර්ගත ආහාර වර්ග ලබා දීම අත්‍යවශ්‍ය වේ.

කාබෝහයිඩ්‍රේට
වයස අවුරුදු 1ත් 3ත් අතර දරුවෙකු සඳහා දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කැලරි 1100 – 1400 අතර අගයක් බව පැවසුවද එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි. මෙම වයසේ දරුවන්ට ප්‍රධාන ආහාර වේල් 3 කින් සහ අමතර ආහාර වේල් දෙකකින් සියලු පෝෂක අන්තර්ගත ආහාර ලබා දීම ඉතා වැදගත් වේ.

ප්‍රෝටීන්
ප්‍රෝටීන යනු දරුවෙකුගේ මොළය වර්ධනයට අතවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් එකක් වන අතරම මාළු, මස්, හාල්මැස්සන්, මුං ඇට, කඩල, කව්පි, බිත්තර සහ සෝයා ප්‍රධාන වශයෙන් දරුවෙකුගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පුර්ණ කරන ආහාර වන අතරම මෙම අවදියේ දරුවෙකුගේ ප්‍රධාන ආහාර වේල් සඳහා ප්‍රෝටීන අඩංගු ආහාර වර්ග අවම දෙකක්වත් තිබීම වැදගත් වේ.

මේදය
සිරුරින් නිපදවෙන මේද අම්ලවලට අමතරව නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය මේදය බාහිරින් සිරුරට ලබා දිය යුතු අතරම එසේ දිය යුතු දරුවෙකුගේ මොලයේ වර්ධනයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන්නේ ඔමේගා 3 සහ 6 ය. මව් කිරිවල අන්තර්ගත වන ඔමේගා 3 මේද අම්ලය මොළය වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටද අත්‍යවශ්‍ය සාධකයකි.

ඔමේගා 3 සහ 6 මේද අම්ලය – බලයන්, කෙලවල්ලන්, හුරුල්ලන්, අලගොඩුවන් සහ මාළු තෙල් අඩංගු ආහාර, පලා වර්ගවල සුළු වශයෙන්

ඔමේගා 6 මේද අම්ලය – සෝයා, කවුපි, සූරියකාන්ත තෙල්

විටමින් හා ඛනිජ ලවණ
විටමින් A, D, E, ෆොලේට හා කෝලින් යන විටමින මොළය වර්ධනය කෙරෙහි බලපාන බව පැවසෙන අතරම යකඩ, අයඩින් හා සින්ක් ද දරුවන්ගේ මොළය වර්ධනයට වැදගත් ඛණිජ ලවණ අතර ප්‍රධාන තැනක් ගනියි.

විටමින් A බහුල ආහාර
බිත්තර, කිරි, බටර්, මාළු තෙල්, යොදය සහිත කිරි, මස්, කහ පැහැති එළවළු, පලතුරු හා තද කොළ පැහැති පලාවර්ග

විටමින් E
කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට වර්ග, රතු අල, පලා වර්ග, නැවුම් එළවළු/පලතුරු

විටමින් D
මාළු තෙල්, මාළු, මස්, සත්ත්ව අක්මා, බිත්තර, බිම්මල්

ෆොලේට
නැවුම් එළවලු, හා පලතුරු , කඩල, පරිප්පු, මුං, කව්පි හා වෙනත් ඇට වර්ග.

කොලින් විටමිනය – බිත්තර කහමදය

යකඩ
මාළු, මස්, බිත්තර කහමදය, තද කොළ පැහැති පලාවර්ග

අයඩින්
කුඩා මාළු, වියලි හාල්මැස්සන්, ඉස්සන්, කරවල, කකුළුවන් හා මුහුදු ආහාර

සින්ක්
මාළු, මස්, කිරි මෙන්ම කජු හා රටකජු, ඇට වර්ග

දිනපතා ආහාරයට සමබල ආහාර වේලක් නිසි ප්‍රමාණයෙන් එකතු කර ගැනීම දරුවාගේ නිසි වර්ධනයට මෙන්ම මොළය වර්ධනයටද ඉතා විශාල බලපෑමක් ඇතිකළ හැක. පුද්ගලයෙකුගේ බුද්ධි වර්ධනයට හේතු පාදක වන කාරණා බොහෝමයි. ඒ අතුරින් පෝෂණය මෙන්ම ජානමය මෙන්ම පාරිසරික සාධක මෙන්ම එදිනෙදා ජිවිතයේ ලබන අත්දැකීම් ද ප‍්‍රධාන වෙනවා. සැමවිටම බලපෑම්වලින් තොරව ඔබේ දරුවාට නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා දීම ඔබේ යුතුකමක් වන අතරම සමවයස් කාණ්ඩ හා සමග එක්ව කටයුතු කිරීමටද අවස්ථාව ලබා දීම බොහෝ සෙයින් වැදගත් වනු ඇති.

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ මහතා සමග සකසන ලද ලිපියකි.)

අළුත උපන් බිලිඳා ගෙදරට ගේනකොට දැනගෙන ඉන්න ඕන දේවල්

හුරතල් පුංචි දරු පැටියෙක් හා හා පුරා කියල අරන් එනව කියන්නෙ කොයි ගෙදරකටත් සතුටු උල්පතක්නෙ ඉතින්. ගෙදර හැමෝම බලන් ඉන්නෙ අලුත් අමුත්තව ජයටම පිළිගන්න. හැමෝටම අලුත් බලාපොරොත්තුවක් අරන් ඔන්න චූටිය ගෙදරට ආවයි කියමුකෝ. දැන් තමයි යුද්ධෙ පටන් ගන්නේ. පුංචි පැටියෙක් මේ ලෝකෙට ගෙනත් උස මහත් කරනව කියන්නේ සුළු පටු රාජකාරියක් නෙමෙයි කියල හිතෙන්නෙ දැන් තමයි. මේ ලියන්න යන්නේ තමන්ගේ කුළුදුල් දරු පැටියා ගෙදරට අරන් එන්න මඟ බලන් ඉන්න අළුත් අම්මලා තාත්තලාට වැදගත් වෙන කාරණා ටිකක්.

1. බබාට කාමරයක් – ඔන්න අළුත් අම්මල තාත්තල කවුරු උනත් බබාට අඳින්න, බබාව හෝදන්න වගේම බබාගෙ වටපිටාවටත් තමන්ට පුළුවන් උපරිම දේවල්, ලස්සන දේවල් මිලදී ගන්න දෙපාරක් හිතන්නෙ නැහැනෙ. කාමරය ලස්සනට සරසලා පුංචි ලස්සන කොට් එකක් තියලා හැඩ කරන්නෙ ගොඩක් වෙලාවට තාත්තල තමයි. හැබැයි මෙන්න මේ කාරණයේදී අපි හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි පුංචි බබා ඉන්න කාමරේ ලස්සනටත් වඩා පිරිසිඳුකම. හැඩ වැඩ කරන්න කලින් කාමරේ හොඳින් හෝදලා, මකුළු දැල් එහෙම කඩලා, තමන්ට පුළුවන් විදිහට පුංචි අළුත්වැඩියාවක් කරන්න. තීන්ත ටිකක් අලුතෙන් ගාන්න එහෙම පුළුවන්නම් ගොඩක්ම හොඳයි. කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා අරින්න බැරි ජනේල එහෙම තියෙනවනම් ඒව අලුත්වැඩියා කරන්නත් මේක තමයි හොඳම වෙලාව. සිවිලිමක් ගහල නැති වහලෙකින් දුවිලි, කුණු, පොඩි පොඩි සත්තු වගේ වැටෙන්න පුළුවන්නම් තාවකාලිකව හරි සිවිලිමක් ගහගන්නත් බලන්න ඕනෙ.ඔන්න කාමරේ පිරිසිඳු කරගත්තනෙ. ඊළඟට සැරසිලි. පුංචිම කාලේ බබාලගේ විෂන් එක ඩිවලොප් කරන්න හොඳ කළු සුදු වර්ණ. ඒ නිසා කළු සුදු කඩදාසි වලින් කරපු පොඩි පොඩි සැරසිලි බබාට පේන තැන්වල එල්ලන්න. ඇහේ පෙනුම ටික ටික වර්ධනය වෙනකොට තමයි තද වර්ණ වලින් කරපු ලස්සන සැරසිලි ඕන වෙන්නේ.ඊළඟට ලොකුම දේ තමයි බේබි කොට් එක. හුඟක් අම්මලා කොට් එකක් ගත්තට බයටයි දුකටයි බබාව ඒකෙ තියන්නෙම නැහැ. ඉතින් අර කොට් එක කාලයක් යද්දි කාමරේට වදයක් වෙනවා. තවත් සමහරක් ඇඳේ හිටියොත් යටවෙයි කියල බයට කොට් එකම පාවිච්චි කරනවා පුංචිම කාලේ ඉඳන්. ඉතින් මේ කාරණාව අම්මයි තාත්තයි දෙන්නත් එක්ක කතා බහ කරලා තීරණයක් ගන්න ඕන. නිකං ආසාවට අරගෙන පස්සේ වදයක් වෙනවට වඩා උවමනාව බලලා බබා වෙනුවෙන් මිලදී ගන්න හැම දෙයක්ම තීරණය කරන්න.

2. අපේ පිරිසිඳුකම – බබා ගෙදරට ගෙනාවම ගෙදර කාටවත් ඉතින් වෙන රාජකාරියක්නම් ඇත්තේම නැති තරම්. දරු සුරතල් බලන එකම තමයි වැඩේ. විශේෂයෙන්ම සහෝදරයෝ අම්මලා තාත්තලා එකට ජීවත් වෙන පවුල් වල මුළු සෙනගම බබාගෙ කාමරේ. ඉතින් මේ කාරණේ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. පුංචි බබාගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවම බාහිරින් එන අභියෝග හරියට අඳුරන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා පොඩ්ඩට විෂබීජ වලින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩියි. ඒ නිසා බබාගෙ ළඟ අනවශ්‍ය විදිහට සෙනඟ පිරෙන එක, නිතර නිතර බබාගෙ කාමරේට යන එන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ. අනිත් එක තමයි යන කීපදෙනාගෙ උනත් පිරිසිඳුකම. නිතරම නාල පිරිසිඳු ඇඳුම් ඇඳල බබා ලඟට යන්න ඕන වගේම, බබාව අල්ලන, අතට ගන්න හැමවෙලාවකම හොඳින් අත් සෝදන්නත් අමතක කරන්න එපා.

3. බබාගෙ මල් වගේ අතපය – මේ චූටි පැටියගේ අතපය තාමත් මල් වගේ සියුම්. බාහිර පරිසරයට හරියන්න රළු වෙලා හැඩගැහෙන්න, අස්ථි පද්ධතිය ශක්තිමත් වෙන්න තව හුඟක් කල් යනවා. ඒ නිසා බබාව අල්ලද්දී, වඩාගනිද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අම්මලා තාත්තලාටනම් මේ හැම දෙයක්ම ලස්සනට කියල දෙනවා ගමේ මාතෘ සායනයේදී. ඒ වගේම ගෙදර ඉන්න ආච්චිලා හොඳට දන්නවා පුංචි පැන්චොන්ව පරිස්සම් කරන හැටි. ඉතින් මෙන්න මේ කාරණේ ගෙදර ඉන්න හැමෝටම හොඳට කියල දෙන්න ඕන. බබා එක්ක තවම වැඩි සෙල්ලම් දාන්න බැහැ.

4. මව්කිරි දීම – ඔන්න දැන් අලුත් අම්මගේ පැත්තට හැරෙමු. මව්කිරි දීම කියන්නේ වෙනමම පාඨමාලාවක්. හැබැයි දැනගන්න ඕන මූලිකම කාරණාවන් කිහිපයකුත් තියෙනවා. දරුවා ඉපදිලා පළවෙනි පැය ඇතුළතදීම මව්කිරි දීම පටන් ගන්න ඕනේ. මේ වැඩේට සෑහෙන්න උපදෙස්, උදව් රයේ සායන වලිනුත් බබා ඉපදිලා ටිකට් කපන්න කලින් රෝහලෙනුත් ලැබෙනවා. හැබැයි ගෙදර ආවම තනියම අම්මා අතේ තමයි වැඩේ. චූටි පැටිය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අම්මගේ කිරි වලින්නේ. ඒ නිසා මේ කිරිදීම හරිම අවධානයෙන් කරන්න ඕන. අනේ මට කිරි නැහැ, කිරි මදිද වගේ දේවල් හිතන්න එපා කිසිම වෙලාවක. අම්මගේ මානසික මට්ටම සෑහෙන්න බලපානව කිරි එරෙන්නත්. හරියට වෙලාවට හොඳින් පියයුරු පිරිසිඳු කරලා පැටියට කිරි පොවන්න. මව්කිරි දෙන අතරේ බබත් එක්ක හිනාවෙන, කතා කරන, ඇස් දිහා බලන් ඉන්න එක අම්මගෙයි බබාගෙයි සම්බන්ධය ශක්තිමත් කරන්න ලොකු උදව්වක්. කිරි එරීම, බබා කිරි උරාබීම ගැන මොකක්ම හරි ගැටළුවක් තියෙනවනම් කිරි දොවල බෝතලෙන් පොවන්න හරි පොඩි බබාලට දෙන පිටිකිරි වර්ගයක් වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්න හරි පොඩ්ඩක්වත් පසුබට වෙන්න එපා. ඒකෙන් කිසිම වෙලාවක ඔයාව නරක අම්මා කෙනෙක් වෙන්නෙ නැහැ. කොහොමහරි දරුවා බඩගින්නෙ නොඉන්න එකයි වැදගත්.

5. පෙකෙණිවැල – පොඩි බබාලගේ වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන කරණා අතරින් ඉහලින්ම තියෙන තව කාරණාවක් තමයි මේ බබාගෙ පෙකණිය කියන්නෙ. කටුවත් එක්ක පෙකණියේ ඉතුරු කොටස හැලිල තුවාලෙ හොඳටම සුව වෙනකන් බොහොම පරිස්සමට බලාගන්න ඕනෙ. වතුර නොරැඳෙන්න හොඳින් තෙත මාත්තු කරලා වියලිව තියාගන්න ඕන. මොකද මේ තැන හරිම ලේසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මොකක්මහරි වෙනසක් තිබුනොතින් ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට හරි පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට හරි පෙන්නලා උපදෙසක් ලබාගන්න එක තමයි හොඳම දේ.

6. බබාට ගුඩුස් යවන හැටි – චූටි බබා කුක්කු බිව්වට පස්සේ අමාශයේ වාතය නොරැඳෙන්න ගුඩුස් යවන්න ඕනේ. නැත්තම් කිරි පිට උගුරේ ගිහින් හුස්ම ගැනීමේ ගැටළු වගේ ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන්. කිරි බීල ඉවර උනාම බබාගෙ බඩ හොඳින් තදවෙන විදිහට බබාව ටිකක් වෙලා වඩාගෙන ඉන්න ඕන මෙහෙම ගුඩුස් යවන්න. මේක හුඟක් අළුත් අම්මලා තාත්තලාට හරිම අමාරු වැඩක්. නූතන වෛද්‍ය විද්‍යාව අනුවනම් මේකට ආදේශන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බබාව පුංචි කාලේ ඉඳන්ම ටමි ටයිම් (Tummy Time) එකකට හුරු කරන එක. ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුගේ පූර්ණ නිරීක්ෂණය යටතේ බබා අවදිවෙලා ඉන්න වෙලාවක බඩ යටට හිටින්න මුනින් අතට බබාව සුළු වෙලාවක් තියන එක. මේකෙ වෛද්‍ය විද්‍යාත්මක වාසි ගොඩක් තියෙනවා. හැබැයි තවමත් රජයේ සායන වල වෛද්‍ය සහ පවුල් සෞඛ්‍ය නිළධාරීන් මේ ක්‍රම තරයේ ප්‍රතික්ෂේප කරනව. ඒ නිසා හොඳම දේ තමයි බබාව පෙන්නන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඔහුගේ උපදෙස් මත පමණක් මේ දේවල් උත්සහ කරන එක.

7. බබාගෙ නින්ද – ඊළඟට බබාගෙ නින්ද. ඔන්න මේ අලුත ගෙදරට ආපු පුංචි බබා ඉන්නව නේද. එයා හරියටම කිව්වොත් හැඩයක් නැති පුංචි මැටි ගුලියක් වගේ. අපි තමයි තීරණය කරන්න ඕන මේ මැටි ගුලියෙන් ලස්සන දෙයක් හදනවද නැත්තම් ඔහේ මැටි ගුලියට ඕන හැඩයකට හැදෙන්න දෙනවද කියලා. බබා නිදියන්නේ නෑ කියල කල් ගිහින් මැසිවිලි නැගල වැඩක් නැහැ. පුංචිම කාලේ ඉඳන් බබාව රූටින් එකකට පුරුදු කරන එක අපේ වගකීම. අපි පොඩි කාලේ ඉඳන්ම බබාව කකුලේ දාගෙන පද්දල නිදි කරන්න හුරු කළොත් එයා ඒකට හුරු වෙනවා. එහෙම නැතුව තනියම නිදාගන්න හුරු කළොත් ඒකට හුරුවෙනවා. ඒ වගේ බබාගෙ නිදියන ක්‍රමය, වෙලාව මුල ඉඳන්ම තීරණය කරලා එයාව ඒකට හුරු කරන එක අලුත් අම්මලා තාත්තලාට පැවරෙන තවත් එක අභියෝගයක්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)