ඇඟලි සලකුණු වලින් හෙළිවන ඔබේ ජීවන තොරතුරු හරියටම දැනගන්න

අත්ලක පිහිටි රේඛාවන් පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිවා සේම අත්ල පුරාමත්, ඇඟිලිවලත් ඇති ඉතා සියුම් රේඛා මෝස්තර තුළින් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකිය. විශේෂයෙන් ඇඟිලි තුඩුවල එවැනි විවිධ මෝස්තර රටා පිහිටයි.

සමහර ඒවා රැලි ආකාරයෙනුත් තවත් ඒවා ආරුක්කු, ත්‍රිකෝණ, හක්ගෙඩි වමට, දකුණට කැරකුණ ආකාරයෙනුත් පිහිටිය හැක. ඔබේ අත ඇඟිලි දිගහැර පරීක්ෂාකාරීව බැලුවොත් එම ජීවන රටා පැහැදිලිව දැකිය හැකිය. මෙම ජීවන රටාවල් නිර්මාණය වන්නේ පසුගිය ලිපිවලින් දැක්වූ රේඛාවලින් නොව කෙස් ගස් වැනි සියුම් කෙඳිවලිනි. මෙහි ඇති රූප සටහන පරීක්ෂා කිරීමෙන් ජීවන රටා කියන්නේ මොනවාද ඔබට පැහැදිලි වනු ඇත.

දරුවෙකු මව් කුස පිළිසිඳ ගෙන සති 18කට පසුව ඔහුගේ හෝ ඇයගේ අත්වල මෙන්ම පතුල්වල ද මේවා නිර්මාණය වන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. එසේ පිහිටන මෙම ජීවන රටා මව් කුසින් බිහිවී මියයන තෙක්ම වෙනස් නොවී පවතියි. මෙම සියුම් රේඛා කැපීම්, කෙටීම්, තැලීම් වැනි සිද්ධීන් නිසා ජීවන රටා කෙඳිවල ස්වභාවය වෙනස් වූවත් ඒවායේ රටාව හෙවත් මෝස්තරය කෙනෙකු මියයන තුරාම වෙනස් නොවේ. එක සමාන ජීවන රටා ඇති දෙදෙනෙක් සොයාගත නොහැක.

කෙනෙකුගේ පෞද්ගලිකත්වය ජීවන රටාවන් තුළ සටහන් වී ඇත්තේ ඒ තරමටම සූක්ෂම ලෙසටයි. අපරාධකාරයින්, සොරුන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ එම නිසාය. දොස්තර ප්‍රැන්සිස් ගැල්ටන් විසින් සොයා ගන්නා ලද ඇඟිලි සලකුණු ක්‍රමය මේ වනවිට අද මුළු ලොව පුරාම අධිකරණයන් මඟින් පිළිගත් අපරාධ මාධ්‍යයක් වී ඇත්තේ ඒවායෙහි ඇති පෞද්ගලිකත්වය නිසාම බව ඔබට ද පැහැදිලි වනු ඇත.

හස්ත රේඛා විද්‍යාව අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු ප්‍රකාශ කිරීමට ජීවන රටා උපයෝගී කරගත හැකිවාක් මෙන්ම ඇඟිලි සලකුණු ක්‍රමය යටතේ අපරාධකාරයන් කොටුකර ගැනීමට ද ජීවන රටා මහෝපකාරී වෙයි. ජීවන රටාවල පිහිටීම තුළින් හෙළිකර ගත හැකි තොරතුරු මොනවාදැයි දැන් අපි බලමු.

දක්ෂිණ වෘත්තාකාර සුලි රටාවල සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. දක්ෂිණ වෘත්තාකාර සුළි රටා යයි හඳුන්වන්නේ දකුණු පැත්තට කරකැවී ගිය සුළිවලටයි. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මහපට ඇඟිල්ලේ එම රටාව ඇත්නම් ඔහු හෝ ඇයට කොතැනකට ගියත් නායකත්වය හිමි වෙයි. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල බොහෝවිට මෙවැනි සුළි රටා පිහිටිය හැක. දබර ඇඟිල්ලේ දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවක් ඇති පුද්ගලයා ආත්මාර්ථකාමී අයෙක් ලෙස හඳුනාගත හැක. බාධක කම්කටොලු නොතකා ඉදිරියට යන මොවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කර ගනී. දේශපාලනඥයන්ගේ අත්වල මෙම සුළි රටා පිහිටා තිබෙනු දැකගත හැක. මැද ඇඟිල්ලේ පිහිටි දක්ෂිණ වෘත්තාකාර සුළි රටාවන් ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීම් වේ. මෙම ලකුණ ඇති අය අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන අතර හැමවිටම දුක හා අනිත්‍යය පිළිබඳව මෙනෙහි කරයි.

සුළැඟිල්ලේ ඇති දක්ෂිණ වෘත්තාකාර රටාවෙන් කපටි, වංචාකාරී පුද්ගලයෙක් හඳුන්වා දෙයි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතුවලින් බොහෝවිට දියුණු විය හැක. ඇඟිලි දහයේම එවැනි සුළි රටාවන් පිහිටීම මහාභාග්‍යමත් ලක්ෂණයකි. අප භාග්‍යමත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත් එවන් මහා මංගල ලක්ෂණයන් විද්‍යාමාන වූ බැව් පැරණි පොත්වල සඳහන් වේ.

අංක 2 වාම වෘත්තාකාර සුළි රටා ලෙස හඳුන්වන්නේ වමට කරකැවී ගිය සුළි රටාවලටයි. මෙම සුළි රටා පෙර සඳහන් කළ දකුණට කරකැවී ගිය සුළි රටා තරම් බලවත් නොවේ. මහපට ඇඟිල්ලේ එම රටාවන් ඇත්නම් එම අය ව්‍යාපාරිකයන් වශයෙන් විශාල දියුණුවක් ලබයි.

දබර ඇඟිල්ලේ එවැනි සුළි රටාව ඇත්නම් හේ බොහෝ තණ්හාධික අයෙක් වෙයි. ඕනෑම කරදරයකට මුහුණදිය හැකි විදියේ චරිත ලක්ෂණ ඇති අයගේ අත්වල මැද ඇඟිල්ලේ වාම වෘත්තාකාර සුළි රටාවන් පිහිටයි. මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වුණත් දිළිඳු ජීවිතයක් ගත කරන අයගේ අත්වල වෙද ඇඟිල්ලේ එවැනි සුළි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක්ද නැති නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුළඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුළි රටාවෙන් හඳුනාගත හැකිය.

අංක 3 හක්ගෙඩි රටාවක සාමාන්‍ය පිහිටීම එයින් දැක්වෙයි. එය හරියට හක්ගෙඩියක් සේ දිස්වෙයි. එම සුළි රටාව ඇඟිලිවල හෝ අත්ලේ පිහිටියේ නම් හෝ බොහෝ ගරු බුහුමන් ලබන අයෙක් වෙයි. දස අතේම පැතිරුණ කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයින් ලෙස හැඳින්විය හැක. යාන වාහන හිමිකර ගැනීමේ වාසනාව ද හිමි ඔවුන් හට අතවැසියෝ ද අඩුවක් නැත.

යම් ස්ත්‍රියකගේ මහපට ඇඟිල්ලේ මෙවැනි ලක්ෂණයක් පිහිටියේ නම් ඇය රාජ්‍ය අංශයේ ඉහළම පදවියක් දරන්නීය. ගුරු ඇඟිල්ලේ නම් රටක හෝ පළාතක අධිපතිනිය වන්නීය. ශනි හෙවත් මැද ඇඟිල්ලේ එම ලක්ෂණය පිහිටියේ නම් පිරිවර ජනතාවගේ ප්‍රසාදයට පත්වෙන අතර බුධ ඇඟිල්ලේ පිහිටියේ නම් ගුප්ත ශාස්ත්‍රය දත් පඬි රුවනක් වන බව පැරණි ඍෂිවරු සඳහන් කර ඇත.

එමෙන්ම කාගේ හෝ අතක ඇඟිලි දහයේම හක්ගෙඩි රටා පිහිටා ඇත්නම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් ද වෙයි.

අංක 4 ත්‍රිකෝණ රටාවන් හොඳ පිහිටීමක් වේ. පර්යේෂණ මඟින් අලුත් අලුත් නිර්මාණයන් සොයා ගැනීමේ දක්ෂයන් වන එවැනි අයට විචක්ෂණ බුද්ධි බලයක් ඇත. හස්ත රේඛා විද්‍යාව, ජ්‍යොතිෂය, රසායන විද්‍යාව වැනි විෂයයන් කෙරෙහි වැඩි දක්ෂතාවක් පෙන්වන ඔවුන් එවැනි දේවලින් ලෝකපූජිත වීමට තරම් හේතු වේ.

අංක 5 ආරුක්කුවක ආකාරයට පිහිටා ඇති හෙයින් එම රටා ආරුක්කු රටා ලෙස හඳුන්වයි. මනා ශරීර ශක්තියක් ඇති අයට මෙම ලක්ෂණය පිහිටයි. ස්ව උත්සාහයෙන් ධනය උපයා ජීවත්වන යහපත් ගතිගුණ ඇති අයගේ ඇඟිලි තුඩුවල මෙම ආරුක්කු ආකාර හැඩයට ලක්ෂණ පිහිටයි. මොවුන් බොහෝවිට යහපත් හාම්පුතුන් යටතේ සේවය කර ධනය උපයා ගනී. අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකිවීම කැපී පෙනෙන දුර්වලකමකි. පරිසරයට ආදරය කරන ඔවුන් සියලු සතුනට කරුණාව දක්වති.

අංක 6 පඬුරේඛා පුඩු රේඛාවල සාමාන්‍ය පිහිටීම එයයි. ස්වාධීන ධානෝපායන මාර්ගවලින් දියුණුවට පත්වෙන අයගේ ඇඟිලිවල හා අත්වල මෙවැනි රටා පිහිටයි. රැකියාවක් කරන අයෙකුගේ අත්වල මෙවැනි රටාවන් ඇත්නම් ඔහු හෝ අැය රැකියාවට අමතරව වෙනත් ක්‍රමවලින් ආදායම් උපයයි. මෙම පුඩු රේඛාවන් සමග හක්ගෙඩි රේඛා හා සුළිරේඛා ඇඟිලිවල සමබරව පිහිටා ඇත්නම් උපයන ධනය දනට, පිනට වැය කරයි. මහා මන්දිරවල ජීවත්වීමට හිමිකම් ලබන ඔවුන් පරිසරයට ද ආදරය කරන්නෝය.

අංක 7 රැලි රටාවක සාමාන්‍ය පිහිටීම එම රූපසටහනින් හඳුනා ගන්න. එවැනි රටා ඇති අය බොහෝවිට අලස ගතියක් පෙන්වයි. කතාවට දක්ෂ සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු ඔවුන් අනුන්ගේ දක්ෂකම්වලින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන්නෝ වෙති.

හිඹුටානේ පියතිලක ද අල්විස් 158, හිඹුටාන (රෝහල ඉදිරිපිට) මුල්ලේරියාව නව නගරය.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

අවවාදයයි – පොඩි දරුවන්ට අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න දෙන්න එපා

අන්තර්ජාලයට ඇබ්බැහිවූ ළමුන් තුළ දවස කළමනාකරණය කරගැනීමට ඇති නොහැකියාව, ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කරනීමට නොහැකි වීම, ඉක්මන් කේන්තිය ඉන් රෝග ලක්‍ෂණ කිහිපයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

ඇය අවධාරණය කර සිටියේ දරුවාගේ හොඳ ම මිතුරා බවට පරිගණකය පත් වී, ඔවුන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳ ම මිතුරා විය යුතු බවය.

“අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන විට අපේ මොළයේ තියෙන සතුට ගෙන දෙන ස්ථානය (Reward and Pleasure Centre) උත්තේජනය වෙනවා. එවිට ඩෝපමින් (Dopamine) නමැති රසායනය ඒ සෛල තුළට වෑස්සෙනවා. එහෙම වුනාම ඒ සෛලවලින් ඉල්ලන්නේ ම මේ අන්තර්ජාලය ම තමයි. වෙනත් දෙයකට මනස යොමු කරන්න ඉඩ දෙන්නෙ ම නැහැ.” ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් නිකුත් කළ අලුත් ම වාර්තාවක දැක්වෙන්නේ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවය.

දිවි නසා ගැනීම්
මෙම මග පෙන්වීම් ප්‍රකාශයට පත් වී ඇත්තේ, දිවි නසා ගැනීමේ සහ තමන් විසින් ම සිරුරට හානි පමුණුවා ගනු ලැබීමේ සිදුවීම් පාලනය කර ගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ඉන්ස්ටග්‍රෑම් බලධාරීන් සහ එංගලන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය. පසුගිය දා බ්‍රිතාන්‍යයේ නව යෞවනියක දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇයගේ පියා කියා සිටියේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භවිතා කිරීම ඇයගේ මරණයට හේතුවක් වූ බවය.

හුදෙකලාව
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර කියා සිටියේ නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන හෝ පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ළමුන් පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

“හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි.” වෛද්‍යවරිය පවසන්නීය.

අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් වෙත පැමිණෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

‘මේ ප්‍රශ්නය නිසා පවුල තුළ සාමය සමගිය නැති වෙනවා. ජීවන සබඳතා දැන් අඩු වෙලා. වැඩිහිටියොත් අන්තර්ජාලයේ තනි වෙලා. ඉස්සර එක වේලක් හරි එකට ඉඳගෙන කෑවා. දැන් හැමෝම හැමෝගෙ ම ලෝකවල මේ මෙවලම් සමග තනි වෙලා.” විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කර ගැනීමට ඇති නොහැකියාව, අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන ළමුන් තුළ දැකිය හැකි තවත් දුර්වලතාවක් බව විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නීය.

“අපේ මොළයේ ඉදිරිපස තියෙන ‘ප්‍රිෆ්රන්ටල් කෝටෙක්ස්’ (Prefrontal Cortex) කියන කොටසින් තමයි දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දියයුතු කාර්යයන් තීරණය කෙරෙන්නේ. අන්තර්ජාලයේ බොහෝ වෙලාවක් ඉන්න ළමුන් තුළ මෙහි අක්‍රමිකතා පවතින බව අපි හඳුනාගෙන තියෙනවා.” ඇය පැවසුවාය.

වයස අවුරුදු දෙක ඉක්මවන තුරු දරුවන්ට ජංගම දුරකතන හෝ ටැබ් වැනි උපකරණ පරිහරණය කිරීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍යවරිය අවධාරණය කරන්නීය.

“උපතින් පසු දරුවන් වැඩෙන්නේ සංවේදී පහකින්. ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස සහ ස්පර්ශය කියන සංවේදී පහෙන්. පළමු අවුරුදු දෙකේ දී දරුවන්ට නවීන තාක්ෂණය දීමෙන් වළකින්න ඕන.”

“දෙමාපියන්ගේ ජීවමාන සම්බන්ධතා තුළින් තමයි මේ සංවේදීන් සියල්ල උත්තේජනය වෙන්නේ. ඒ සඳහා දෙමාපියන්ගේ ප්‍රතිචාර සහ ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. නවීන තාක්ෂණයෙන් ඒ දේ සිදුවන්නේ නැහැ.” විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය

අවවාදයයි – වාසනාව ගෙනදෙනවා කියන, ලකී ප්ලානට් පැල ඔබේ නිවසේ තියාගන්න එපා

ලකී ප්ලානට් ලෙස මෙරට ප්‍රචලිත Zanzibar gem ( Zamioculcas zamiifolia) ශාකය ඉතා විෂ සහිත සහ පිළිකා කාරක ශාකයක් ලෙස හැදින්වීමක් මෑතක සිට ඇති බව අප සැවොම දනිමු. ඉතා අලංකාර ශාකයක් වන මෙයින් අද්භූත වූ වාසනාවක් ගෙනෙනවාදැයි කීමට මා නොදන්නා නමුත් ඉහත කිවු ප්‍රචාරය නිසාමදෝ මෑතක සිට දෙමාපියන් කුඩා දරුවන් රැගෙන මා වෙතට පවා පැමිණ ඇත්තේ විවිධ පැමිණිලි සමඟයි. “ගහේ කොල කැඩුවා, කොල කෑවා, කිරි ගෑවුනා, කඳ පොඩිකරා” වගේ පැමිණිලි තමයි සුලභ.

ඇත්තටම මොකක්ද මේ ගහ?
අනැගෙනහිර අප්‍රිකාව නිජබිම වුනු මේ ශාකයට ගෘහස්ථ අලංකරණ ශාකයක් විදියට (indoor plant) වාණිජ වටිනාකමක් පසුකාලීනව ලැබෙනව. එ්කට ප්‍රධාන හේතුවක් තමයි ඉතා අඩු ජල සැපයුමකින් සහ අඩු අලෝකයකින් වුවද අලංකාර හරිත පැහැයෙන් බැබලීමට හැකි වීම. මෙහි අර්තාපල් අලයක් වැනි මූලාකන්ධයට මාස හතරක් පමණ නොමැරී ඉන්න හැකි බව කියවෙනවා. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයෙන් කරපු පරීක්ෂනයකින් හෙළිවුනා මේ ශාකයට වාතය පිරිසිදු කිරීමේ විස්මිත හැකියාවක් තිබෙන බව, ඔවුන් ඔප්පු කලා මිනිසාට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ( බෙන්සීන්, ටොලුයීන්, එතිල් බෙන්සීන්, ක්සයීලීන් වැනි) උරා ගැනීමට සහ වාතයේ දුඟද නැති කිරීමට මෙම ශාකයට හැකි බව.

ඇත්තටම මොකක්ද මේ විස කතාව???
අමෙම ශාකයේත් තවත් බොහෝ ශාක වලත් කැල්සියම් ඔක්සලෝට් නම් සංඝටකය අඩංගුයි. ගසේ මුලේ, කඳේ සහ පත්‍ර වල මේවා තිබෙනවා. කැල්සියම් ඔක්සලෝට් කියන්නේ ඉතා තියුනු ඉදිකටු තුඩු වැනි උල් ඇති ඇසට නොපෙනෙන තරම් කුඩා වැලිකැට වැනි ද්‍රව්‍යයක්. (calcium oxalate crystals). එ්වායේ අලෝක අණ්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ඡායාරූප මා පහත දක්වා තිබෙනවා. මෙම ඔක්සලෝට් අංශු අඩංගු ශාක කොටස් තදින් සැපීම, මෘදු සම ඇති (කුඩා දරුවන් වැනි) අය පොඩි කීරීම නිසා සහ ඇස් මත තැවරීමෙන් තමයි හානිය සිදුවන්නේ. නමුත් එම හානි මරණීය වන්නේ නැහැ. සිදුවන්නේ මෙම කුඩා ඔක්සලෝට් අංශු වල තියුනු උල් මගින් ස්ථානීය වශයෙන් ඇසට නොපෙනෙන කුඩා තුවාල සිදු වීමයි (local trauma). එවිට තොල්, කම්මුලේ ඇතුළු පැත්ත, දිව, සිනිදු සම ඇති පෙදෙස් සහ ඇස් වල ශ්ලේෂ්මල පටලය රතුවීම සහ ඉදිමීම සිදුවෙනවා. ( ශාක කොටස තදින් ස්පර්ෂ වූ ස්ථාන අනුව) කැසීමක් ඇති වෙන්නටත් පුළුවන්. නමුත් මෙම ඉදීමීම සහ රතුවීම බොහෝ විට ප්‍රතිකාරයක් නැතිවම පැය කීපයකින් සුව වෙනවා. නැත්නම් ඉතා සුළු ප්‍රතිකාරයකින් සුව වනවා. ඉතාමත්ම කලාතුරකින් උගුර සහ ස්වරාලය පෙදෙස ඉදිමුනොත් හුස්ම ගැනීමේ අපහසුතා එන්නට පුළුවන්, එවිට රෝහල් ගතවීම අවශ්‍යයි. නමුත් ඉතා අවධාරණයෙන් කිව යුත්ත තමයි එවැනි තත්වයන් ඉතාමත් ඉතාමත් විරලයි.

මෙම ඉහත කී කැල්සියම් ඔක්සලෝට් අඩංගු වන්නේ ලකී ප්ලාන්ට් ( Zanzibar) ශාකයේ පමණක් නොවෙයි. දශක ගණනක සිට මෙරට ප්‍රචලිත ඇන්තූරියම් වලත් අඩංගුයි. ඊට අමතරව ඇන්තූරියම් වර්ගයේ වෙනත් විසිතුරු ශාක බොහොමයක මෙම ඔක්සලෝට් අඩංගුයි. කෙටියෙන් කියනවා නම් ඇන්තූරියම් මලට සමාන මල් ඇති බහුතරයක් ශාක වල ඔක්සලෝට් අංශු තිබෙනවා. 2007 වසරේදී ඇමෙරිකානු විෂවේදී සංගමය (American poison Association) මෙම ශාක ආශ්‍රිත ඔක්සලෝට් විෂවීම ගැන කල අධ්‍යයනට අනුව එම වසරේ වාර්තා වූ රෝගීන් 1145කට ප්‍රතිකාර නැතිව සුව වී තිබුනා, 81 දෙනෙක්ට සුළු ප්‍රතිකාර දී තිබුනා 3දෙනෙක්ට රෝහල් ගතවීමට සිදුවුනා. නමුත් කිසිදු මරණයක් වාර්තා උනේ නෑ.

වැදගත්ම දෙයක් තමයි මෙම ශාක ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව. බොහෝ විට අවුරුදු 5ට අඩු දරුවන්ගේ තමයි ඉදිමීම සහ රතුවීම හටගන්නේ, එ් ඔවුන්ගේ සම ඉතා සිනිදු නිසා. මෙවැනි ශාක සමඟ අනවශ්‍ය ස්පර්ෂයක් සිදු වී ඇත්නම් (ශාක කොටස් තැලීම. පොඩිවීම හෝ සැපීම) ප්‍රථමයෙන්ම එම පෙදෙස් ජලයෙන් හොඳින් සෝදා හැරීම පමණක්ම ප්‍රමාණවත් ප්‍රතිකාරයක්, සෝදීමේදි ඇලුනු ශාක කොටස් ඉවත් වන ලෙස ගලායන ජලයෙන් සෝදනවා නම් වඩාත් හොඳයි. සුළු වශයෙන් ඇතිවන රතුවීම් සහ ඉදිමීම් වලට අයිස් වතුර හෝ ආවරණය කල අයිස් කැට මගින් සම්භාහනය හොඳ ප්‍රතිකාරයක්. කල් පවතින ඉදිමුම අැත්නම් වෙෙද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.

අප ඉහත කථාකල කැල්සියම් ඔක්සලෝට් අණු මිනිසාගේ සහ සතුන්ගේ මුත්‍රාවල පවා අඩංගු වෙනවා. එනිසා අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැහැ. අපගේ කථාවට පාදක වූ Zanzibar ශාකය මලාවි සහ ටැන්සානියා යන රටවල දේශීය ඖෂධයක් ලෙස පවා භාවිත කරනවා. එබැවින් මෙම ශාක විෂ බවක් හෝ පිළිකා කාරක බවක් මෙතෙක් සොයා ගෙන නැති අතර පෙරකී ස්ථානිය සංකූලතා පමණක් ඇති කරණ බවත් දන්වමි. අවසාන වශයෙන් කිවයුත්ත නම් කරුණු නිසිපරිදි නොසොයා තණකොළ ගසක් හෝ විනාශ කිරීම නම් ඉතා අනුවණ ක්‍රියාවක් බවයි. ස්තූතියි

වෙෙද්‍ය ඔමේෂ් චන්ද්‍රසිරි
(ඡායාරූප අන්තර්ජාලයෙනි)

වෙඩින් ඇල්බම් එකත් එක්ක සැඟව ගෙදරට එන මාරයා – පරිස්සම් නොවුනොත් ජීවිතයත් අනතුරේ

බලාපොරොත්තු ‍ගොන්නක් හිතේ තියගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබේ ජීවිතේ අමතකම නොවන විවාහ දවස ජීවිත කාලයටම සුන්දර සිහිවටනයක් කරන්නේ වෙඩින් ඇල්බම් එක.ඒත් ඒ වෙඩින් ඇල්බම් එක නිසා ඔබට ලෙඩරෝගත් හැදිලා ඔබේ වගේම ඔබට අනාගතයෙදි ලැබෙන්න ඉන්න දරුවන්ගෙන් ජීවිතයට අවධානමක් වෙන්න පුළුවන් කිව්වොත් ඔබ පුදුම වේවී.අන්න ඒ නිසා වෙඩින් එකේ ඡායාරූප ශිල්පියා තෝරගන්න දෙන අවධානයට වඩා සිය දහස් ගුණයක අවධාණයක් දෙන්න ඕනේ ඔහු හදන වෙඩින් ඇල්බම් එකට පාවිච්චි කරන මුද්‍රණ කඩදාසි ගැනයි.

මොකද මේ දවස්වල ලංකාවේ අඩුමිළට වෙඩින් ඇල්බම් හදන සින්තටික් මුද්‍රණ කඩදාසියක් වේගයෙන් ව්‍යාප්ත වෙනවා.මේක ආරම්භ වුනේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉන්න කිහිපදෙනක් අඩු මිළකට වෙඩින් ඇල්බම් එක කරන්න කියලා හිතාගෙන ඉන්දියාවේ ගිහින් ඇල්බම් මුද්‍රණය කිරීම ආරම්භ වීමත් එක්කයි.මේ විදිහට කීප දෙනෙක් විතරක් අඩු මිළට ඇල්බම් දෙන්නේ කොහොමද කියලා බලද්දි ක්ෂේත්‍රයේ හැමෝම වගේ මේ සින්තටික් කඩදාසියේ රහස සොයාගත්තා.ඒ නිසා දැන් දැන් ලංකාවේ වෙඩින් ඇල්බම් මුද්‍රණය කරන බොහොමයක් දෙනා තරගකාරී මිළක් දෙන්න ඕනේ නිසා අර ඉන්දියාවෙ තියන සින්තටික් කඩදාසිය ආනයනය කරලා අඩුමිළ‍ට වෙඩින් ඇල්බම් කරන්න පුරුදු වෙලා.පොඩි ලාභයක් වෙනුවෙන් පාවිච්චි කරන මේ කෘතිම සින්තටික් කඩදාසිය නිසා ඇතිවෙන සහ අනාගතයෙදී ඇතිවෙන්න පුළුවන් අවධානම ගැන නම් හුග දෙනක් දන්නේ නැහැ.අන්න ඒ නිසා ඔබේ වගේම අනාගත පරපුරෙත් ආරක්ෂාව ගැන හිතනවා නම් මේ ලිපිය කියවලා දැනුවත් වෙන්න.

ඡායාරූප ශිල්පීන් මැගසින් ඇල්බම් කිරීමට භාවිතා කරන මේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සින්තටික් මුද්‍රණ කඩදාසියේ ශරීරයට අහිතකර රසායනික සංඝටක රාශියක් අඩංගුයි කියලා මේ වෙනකොට තහවරු වෙලා තියනවා. මේ ගැන ලොකුවටම කතාබහක් ඇතිවුනේ සින්තටික් මුද්‍රණ කඩදාසියෙන් 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමත් එක්ක. එළිමහන් ප්‍රචාරණ කටයුතු වගේ කෙටිකාලීන අවශ්‍යතා සදහා පාවිච්චි කරන මේ සින්තටික් කඩදාසිය සමාන්‍ය කඩදාසියක් වගේ ඉරන්න බැහැ (NonTerable) . ඒ වගේම මේ කඩදාසිවලින් මුද්‍රණය කරපු වෙඩින් ඇල්බම් එකක් සාමාන්‍ය වෙඩින් ඇල්බම් එකකට වඩා බරින් සෑහෙන්න අඩුයි.මේ කෘතිම කඩදාසිය ඉරන්න බෑ වගේම දිරන්නෙත් නෑ.වතුර දැම්මත් පෙගෙන්නෙ නැති මේ කඩදාසිය හදලා තියෙන්නේ Polyethylene terephthalate (PET) කියන මූලද්‍රව්‍යයයෙන්.

පිළිකාකාරකයක් වන මෙම මූලද්‍රව්‍යය හේතුවෙන් ශරීරයේ අන්තෝසර්ග අවයවයන්ට බලපෑම් සිදුවන බව Environmental Health Perspectives සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක සඳහන් වෙලා තියනවා. මේ සින්තටික් කඩදාසිය පිළිබඳව ලංකාවේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනය සිදු කළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ සින්තටික් කඩදාසියේ ඇති අමුද්‍රව්‍ය ඇස්‌වල මෙන්ම සමෙහි තැවරීම ඉතා උපද්‍රවකාරී බවයි. මේ කෘතීම කඩදාසියේ ඇතුලත් ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බව වගේම පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බවත් එම පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

ඡායාරූප මුද්‍රණය සඳහාම පමණක් ප්‍රමිතිගත කරන ලද වර්ණ ඡායාරූප මුද්‍රණ කඩදාසි වෙළඳපොලේ බහුලවම තිබුණත් සුළු ලාබයක් ගැන පමණක් සිතා විෂ රසායනික ද්‍රව්‍ය සහිත සින්තටික් කෘතීම කඩදාසියේ වෙඩින් ඇල්බම් ප්‍රින්ට් කිරීමට ඇතැම් මුද්‍රණ ශිල්පීන් පෙළඹී ඉන්නේ ගණදෙනුකරුවන්ට එය වඩා ලාභදායි කඩදාසියක් සහ වතුරට ඔරොත්තු දෙන, ඉරෙන්නේ නැති, කල්පවතින කඩදාසියක් බව පෙන්වාදෙමින්. නමුත් මෙම කඩදාසිය භාවිතයෙන් ඔබගේ වටිනා ඡායාරූප ඇල්බමය වසර 10ක් පමණ කෙටි කාලයකදී වර්ණ වෙනස් වීමකට ලක්වීම සහ ඔබගේ සහ කුඩා දරුවන්ගේ ජීවිත අවධානමක හෙළිවීමක් බව මුද්‍රණ ශිල්පීන්ගේ අදහසයි.

සමහර විට ඔබ මේ පොඩි ලාභය ගැන හිතලා ඉන්දියාවෙන් ආනයනය කරන මේ විෂ සහිත සින්තටික් කඩදාසිය තෝරගන්නේ නොදැනුවත්ව නම් දැන් ඔන්න කාටවත් ඔබව රවට්ටන්න බෑ. ඔබම කල්පනා කරලා බලන්න.එවේලේ ලැබෙන පොඩි ලාභයට වඩා ඔබේ සහ දරුවන්ගේ අනාගතය වටිනවා නේ.අනිත් එක දැන් පොලීතීන් තහනමත් එක්ක මුළු රටම පරිසර හිතකාමීව අනාගතය ගැන හිතද්දි අපේ ලංකාවට විෂ රසායන අඩංගු කඩදාසි ගෙන්වන මේ වැඩේ නවත්තන්න ඔබේ දායකත්වය දෙන්න.ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ මේ සින්තටික් කඩදාසිය ප්‍රතික්ෂේප කරන එකයි.ඔබේ ඒ තීරණයත් එක්ක ඔබේ අනාගතය වගේම රටේ අනාගතය වෙනුවෙන් කරන උතුම් මෙහෙවරකට ඔබත් දායකත්වයක් ලබාදෙනවා.

අන්න ඒ හින්දා හෙට අනිද්දා විවාහවෙන්න ඉන්න අය වගේම නොදැන මේ විෂ සහිත සින්තටික් කඩදාසියට අහුවෙන ඡායාරූප ශිල්පීන් ඇතුළු හැමදෙනාට දැනගන්න මේ ලිපිය පුළුවන් තරමක් ෂෙයා කරන්න.

සාර්ථක ගැබ්ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා.

මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?
පිරිමියෙකු නැතිව ස්වභාවික තත්වයන් යටතේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්න කොහෙත්ම බැහැ. ශුක‍්‍රාණු සෛල ස්වභාවිකව නිෂ්පාදනය කරන්නේ පිරිමි පක්ෂයේ සිරුර තුළ ස්වභාවිකව ශ‍්‍රාවය වන හෝමෝන නිසයි.

පර්යේෂණාගාර මට්ටමින් ශුක‍්‍ර සෛල නිෂ්පාදනය කරන්න පුළුවන් තාක්ෂණයක් තිබෙනවා. නමුත් ඒවා ස්වභාවික ශුක‍්‍ර සෛල වගේම ක‍්‍රියාකාරී ද කියලා සැකයක් තියනවා. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමක් සඳහා පිරිමියෙකුගේ ශුක‍්‍ර සෛල අත්‍යවශ්‍යයි.

පිළිසිඳ ගැනීමකට පියාගේ සෞඛ්‍ය තත්වයත් බලපානවාද?
අනිවාර්යයෙන්ම. දරුවෙක් හැදෙන්නෙ මව සහ පියා කියන දෙදෙනාගේම ජානවලින්. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක තාත්තා කෙනෙක් ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම වැදගත්.

ඒ කියන්නෙ අංගවිකල බව, මානසික ව්‍යාධි තත්වයන් ගැන නෙවෙයි. අසනීප තත්වයන්ගෙන් තොර නිරෝගී කෙනෙක් වීම වැදගත්.

ඒ ගැන තවදුරටත් පැහැදිලි කළොත්?
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමි කෙනෙක් මත් පැන් පානය කිරීම තාවකාලිකව හෝ නතර කිරීම වැදගත්. මත්පැන් නිසා ශුක‍්‍ර සෛලවල ප්‍රබල බව, නිරෝගී බව සහ ක‍්‍රියාකාරීත්වය අවම වෙනවා. ඒවායේ ආයු කාලයත් වෙනස් වෙන්න පුළුවන්.

ශුක‍්‍ර සෛලවල ආයු කාලය පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ කොහොමද?
සාමාන්‍යයෙන් ශුක‍්‍ර සෛල කාන්තා යෝනි මාර්ග තුළ දී දින 4 ක් 6 ක් විතර සජීවී තත්වයේ සිටිනවා. ඒ අතර ඩිම්බ සෛලයක් පිටවූ පසු එය සංසේචනය කරන්න යෝනි මාර්ගයේ තිබෙන ශුක‍්‍ර සෛලවලට පුළුවන්.

නමුත් ශුක‍්‍ර සෛල දින හතරක්ම සජීවී තත්වයේ ඉන්නේ නැතිව දින දෙකකින් එහි ජීවි බව නැති වුණොත් තුන් වෙනි දිනයේ ඩිම්බ සෛලයක් විමෝචනය වුණාට එය සංසේචනය කරන්න ශුක‍්‍ර සෛලවලට හැකි වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි වැඩි දින ගණනක් ශුක‍්‍ර සෛල සජීවී ව තබා ගැනීම වැදගත් වෙන්නෙ. මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න ඍජුවම හේතු වෙනවා.

එතකොට ඒවායේ ක‍්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් විස්තර කරලා දෙන්න.
ශුක‍්‍රාණු සෛල මිලියන ගණනක් යෝනි මාර්ගයට ඇතුළු වුණත් ඩිම්බයක් සංසේචනය කරන්න අවස්ථාව තිබෙන්නෙ එකම එක ශුක‍්‍රාණු සෛලයකට විතරයි. ඒ කියන්නෙ අර මිලියන ගණනින් හොඳම, ශක්තිමත්ම සෛලයට විතරයි.

යෝනි මාර්ගයට ඇතුළු වුණු තැන ඉඳලා ඩිම්බ සෛලය දක්වා පිහිනාගෙන ගමන් කරන්න නම් ශුක‍්‍රාණු සෛලය ඉතාම හොඳ ක‍්‍රියාකාරීත්වයකින් යුතු නිරෝගී සෛලයක් විය යුතුයි. ක‍්‍රියාකාරීත්වයෙන් අඩු ශුක‍්‍රාණු සෛලවලට ඩිම්බය තෙක් පිහිනා යන්න බැහැ. ඒ ආකාරයට තමයි ක‍්‍රියාකාරීත්වය වැදගත් වෙන්නෙ. කලින් කිව්වා වගේම මත් පැන් පානය, මත් ද්‍රව්‍ය පාවිච්චිය වගේ දේවල් ශුක‍්‍ර ෙසෙලවල ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

පිළිසිඳ ගැනීමකට බලපාන්නෙ මත් පැන් සහ මත් ද්‍රව්‍යවල ක‍්‍රියාකාරීත්වය විතරද?
නැහැ. පිරිමියාගේ ස්ථුල බව හේතු වෙන්න පුළුවන්. පිරිමියා තමන්ගේ සිරුරේ බර නිසි පවත්වා ගැනීම වැදගත්. අධික තරබාරු බව ශුක‍්‍රාණු සෛල නිපදවීමේ ධාරිතාව අඩු කරනවා. ඒ වගේම අනුරාගී හැසිරීමක දී ශුක‍්‍රාණු සෛල විමෝචනය කිරීමේ වේගයත් අඩු වෙන්න ස්ථුල බව හේතු වෙනවා.

මීට අමතරව තවත් කාරණයක් කියන්න ඕනෙ. දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න පවුලක පිරිමියෙකු සවුනා,ස්ටීම් බාත්,හොට් බාත් වගේ දේවල් පාවිච්චි කිරීමෙන් තාවකාලිකව වැළකී සිටීම ඉතාම වැදගත්.

හොට් බාත් හෝ සවුනා මගින් ශුක‍්‍රාණු සෛල අධික උණුසුමට ලක් වෙනවා. ඉන් ඒවායේ ජීවී බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තාවකාලිකව ඒ වගේ දේවල් නතර කරන්න අනිවාර්යයෙන්ම වගබලා ගන්න ඕනෙ.

දුලංජලී මුතුවාඩිගේ – මුලාශ්‍රය – ලක්බිම

අවුරුදු 300ක් ජීවත් වියහැකි රහස් බෙහෙතක් හමුවෙයි..!

වස විසෙන් පිරි ආහාර අනුභවය නිසාම වර්තමානයේ අවුරුදු පනහක්වත් ජීවත් වීම සැක සහිතය. නමුත් අතීතයේ දී නිරෝගී ශරිර සෞඛ්‍යය හේතුකොට ගෙන වසර සියය ඉක්ම වූ ආයුෂ වින්දෝ බොහෝය. එසේම හිමාල වනයේ මෙන්ම චිනයේ වනාත්තරගතව අවුරුදු සීයට ද බොහෝ එහා ගිය ආයුෂ විඳින සෘෂිවරුන් වෙසෙන බව ද කියති. භාවනාවෙන් සහ දේශීය ඖෂධ භාවිතයෙන් ඔවුන් ඒසේ දීර්ඝායුෂ විඳිමින් සිටින බව පැවසේ.

වර්තමානයේ ජනතාව ගෙවන දිවි පෙවෙතේ හැටිය වසර සීයක් නිරෝගීව ජීවත් විය හැකි නම් එය ද විස්ම කර්මයකි. එසේ නම් යමෙකුට අවුරුදු තුන්සීයක් ජීවත් විය හැකි යම් ඖෂධයක් නිෂ්පාදනය වුව හොත් කෙසේ වෙයිද? කුමන ආකාරයේ ඉල්ලුමක් ඒ සඳහා ලැබෙයි ද?

එසේ අවුරුදු තුන්සියක් ජීවත් විය හැකි අපුරු විස්මිත දේශීය ඖෂධයක් පිළිබඳව විස්තර සොයා යාමට ඉරිදා ලංකාදීපය වෙනුවෙන් අපට හැකි විය.

මහනුවර රාජධානී සමයේ විසු බව කියන ශ්‍රී රත්නසේකර නමැති රාජකීය වෛද්‍යවරයකු විසින් ලියන ලද අත්වෙද පොතක මිනිසෙකුට අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි බව කියන අරුම පුදුම බෙහෙතක් ගැන සඳහන් වෙයි.

මේ විස්මිත බෙහෙත පිළිබඳව සඳහන්ව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ ඉපැරැණි දේශීය වෛද්‍ය ග්‍රන්ථියක් ලෙස සැලකෙන සිතියම් සහිත දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නමැති ග්‍රන්ථයේය. රත්නපුර මාරුක ශාස්ත්‍රෝ​දය පරිවේණාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මේ වෙද පොතේ කතුවරයා වේ. මෙම ග්‍රන්ථය ප්‍රථමයෙන් එළි දක්වා තිබෙන්නේ 1959 වසරේදීය. ඥානවිමල හිමි මෙරට විසු අති දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සැලකේ.

එම වකවානුව වන විට සිංහල බසින් සකසන ලද දේශීය ​වෙද අත්පොත් හිඟ අවස්ථාවක කිරි ඇල්ලේ ඥානවිමල හිමියන් විසින් රචිත මෙම වෙද අත්පොත දේශීය වෙදකමේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සුවිශාල මෙහෙවරක් ලෙස ද සැලකේ.

සංස්කෘත හින්දි වංග හා ඉංග්‍රීසි භාෂා වලින් ඉන්දියානු ඖෂ්ධ වර්ග පිළිබඳව ලියැවුණු ශබ්ද කෝෂ රාශියක් තිබුණ ද එකල මෙරටට ආවේනික ඖෂධ පිළිබඳව සිංහලෙන් ආයුර්වේද වෛද්‍ය ශබ්ද කෝෂයක් සකස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත.

එම වකවානුවේ පැවැති ප්‍රායෝගික ගැටලු තුළ පොතක් මුද්‍රණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන්නට ඇත. සංස්කෘත පාලි හා සිංහල භාෂා වලින් ලියන ලද ලංකාවේ පැරැණි වෙද පොත් හැට එකක් එක ල තිබුණ ද ඒවායින් මුද්‍රණය වී ඇත්තේ ඉතා ස්වල්පයක් බව සඳහන් වේ. එයින් ද පොත් හතක්ම ලියා පළ කර ඇත්තෝ ඥානවිමල හිමියන් විසින් වීම ද විශේෂත්වයකි.

ඥානවිමල හිමියන් විසින් ලියන ලද මෙම වෙද පොත පිළිබඳවත් එහි සටහන් කර ඇති අවුරුදු තුන් සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත පිළිබඳවත් තොරතුරු මා හට පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කුරුණෑගල මැහිඇල්ලේ පදිංචි ආර්.ඩී.සී. රන්තිලක මහතාය.

සර්වාංග වෙදකමට සහ කැඩුම් බිඳුම් වෙදකමට එකසේ දක්ෂ රන්තිලක වෙද පරම්පරාවට අයත් රන්තිලක වෙද මහතා (69) රාජ්‍ය ගෞරව සම්මානලාභී වෛද්‍යවරයෙකි.

ඥානවිමල හිමියන් ලියු මෙම වෙද පොත ඒ මහතාට ලැබී තිබුණේ ඔහුගේ පියාණන් වු හව්කෙන්දා රත්තිලක වෙද මහතාගෙන්ය. හව්කෙන්දා මහතා හෙළ වෙදකම ජ්‍යොතිෂ්‍ය ශාන්ති කර්ම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ඉමහත් ප්‍රසිද්ධියක් දැරූ අයෙකි.

පියාගෙන් උරුමයක් ලෙස ලැබුණු පාරම්පරික වෙද අත් පොත් පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් අතරේ තිබු ඥානවිමල හිමි ලියු දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය නම් වූ මේ ඉපැරණි ග්‍රන්ථයට සුවිශේෂී වටිනාමක් ලැබෙන්නේ මුද්‍රණයෙන් එළි දක්වා තිබුණේ මෙහි පොත් සුළු ප්‍රමාණයක් නිසා බව ද පැවසේ.

පිටු 530 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ 288 සහ 289 පිටුවල අවුරුදු තුන්සියයක් ජීවත් විය හැකි විස්මිත බෙහෙත් සෑදීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ.

විශාල ලෙස වැඩුණු පත්කෑල ගසක මුල සිට බඹයක් (අඩි හයක්) උඩින් උඩ කොටස පෙත්ත මට්ටමට කපා හැර ඉතිරි වන ඒ මුල් කොටස මුදුනෙහි ලොකු වංගෙඩියක ඇතුළු කුහරය පමණ වූ විශාල සිඳුරක් පහතට සාරා ඒ සිදුරු ඇතුළට ඇට අස්කළ අමු නෙල්ලි පලම් හැට හතරක් සහ ඒ වර්ගයේ ලී කෑල්ලකින්ම ඇබයක් ගසා බිම සිට එ් ලී කොටස වැසී යන පරිදි අඩි හයක් උසට ගොම වැරටී (වියැළුණු ගොම) ගොඩ ගසා ඒ ගොම වැරටිවලට ගිනි තබා, ගොම වැරටි සම්පූර්ණයෙන්ම දැවී ගියාට පසු උතුරා නැගගෙන විත් එකට පිලිස්සී තිබෙන ඒ ජලාශ සාරය සහිත නෙල්ලි කල්කය ගෙන ගිතෙල් අඹරා නොපිරිහුණු ශක්තිය ඇති (පනස් විය නොඉක්ම වූ) ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගෙන ඉස් සෝදා නහවා පිරිසිදු කොට පිරුවට අන්දවා මැසි මඳුරුවන්ගෙන් උවදුර නොවන පරිදි ආරක්ෂා සහිතව විශේෂ ඇතුළු කාමරයක කත මේ නෙල්ලි කල්කයක් උණු කළ එළ කිරිත් පමණක්ම දිනකට තුන් වේල බැගින් දිනපතා මසක් ආහාර වශයෙන් දිය යුතුය. මෙසේ මේ රසායනය එළ කිරි සමග දින පසළොස් අනුභව කරන විට ඔහුගේ හෝ ඇයගේ හිස කෙස් නියපොතු දත් හා සමත් ගැලවී යයි. මීළඟට අනික් දින පසළොස අනුභව කරන විට මේ සියල්ලම නැවත හොඳින් වැඩී තරුණ භාවයට පත් වෙයි. මෙසේ තිරිහන් වූ පසු අවුරුදු තුන්සියයක්ම ජීවත් විය හැකියි. ඉන් පසු වෙන විශේෂ පාවිච්චියක් හෝ ප්‍රතිකාරයක් නැත. යනුවෙන් ශ්‍රී රත්නසේකර රාජකීය වෛද්‍යවරයා ලියු බවද අත් පොතෙහි සඳහන් වේ.’’ යනුවෙන් ද පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල හිමියෝ තම පොතෙහි සඳහන් කර තිබේ.

ඉන් පසුව උන් වහන්සේ මෙසේද සඳහන් කර ඇත. පත්කෑල විශේෂ වාජිකරණ ඖෂධයකි. අගින් කපා දැමූ ගසේ මුල් කොටස ගොමු රොඩු ගින්නෙන් රත් වන විට මුල් සහිත සම්පූර්ණ මුල කොටසේම ඇති සාරය උතුරා මුදුනෙහි වූ සිඳුරෙහි තිබෙන නෙල්ලි පලම් හැට හතරේ සමග එකට මිශ්‍ර වෙයි. නෙල්ලිද සෞඛ්‍ය ධාතු වර්ධනය වන ඖෂධයකි. මෙසේ ඇති වන මිශ්‍රණයෙහි ජීවන බලය වැඩි දියුණු කිරීමේ යම් කිසි ශක්තියක් බලයක් ඇතිවාට කිසිම සැකයක් නැත.

මෙය අප ඇසු දුටු කාලයක පරීක්ෂණයකට භාජනය කර නැති බව ද, මෙම වාජිකරණ ඖෂධය අත්හදා බැලීම් නවීන විද්‍යාවේ හා මානව සමාජයේ දියුණුවට හිතැති අයට බාර වූවක් බවද ඥානවිමල හිමියෝ කියා සිටිති.

මෙම ඖෂධය නිපදවීම සඳහා යොදා ගනු ලබන පත්කෑල නැතිනම් විලාශ නමැති ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Butea Frondosa වේ.

මෙම පත්කෑල (රත්කෑල) සහ කැට කෑල (ගැට කෑල) යනුවෙන් වර්ග දෙකකි. මෙයින් ගැට සහිත සුඳු කඳක් ඇති වඩා නිල් පාට නොවු

කොස් කොළ ප්‍රමාණ හැඩ හුරුකමින් යුත් කො​ළ ඇති අඩි පනහක් පමණ උසට වැවෙන වර්ගය කැට කෑල නම් වේ. මේ වර්ගයේ සෙතු ඇල්ම උළුක්කුව ඉදිමුම ඇතුළු කැඩුම් බිඳුම් වෙදකමට සහ තවත් වෙදකම්වලට ද ගන්නා බව ඥානවිමල හිමියන් සඳහන් කර ඇත.

එසේම පත් කෑල (රත්කෑල) රත් පාටට හුරු කඳන් ඇති අඩි හැත්තෑපහක් පමණ උසට වැඩෙන විශාල ගසකි. මේ ගසේ කොළ කැට කෑල කොළ වලට වඩා විශාලය. තද නිල් පැහැයකින් යුක්තය. එක වරම ගස පිරි යන සේ අතු අග පිපී තිබෙන රත් පාට මල් සමූහය දින දෙකක් තුළ පර වී වැටී ගොස් ගස් යට රතු පළස් අැතුරුවාත් සේ පෙනෙයි.

දුරට පෙනෙන මේ රතු මල් මස් කැඳැලි යයි සිතා රැවටී සිවල්ලු දුව එති. යි යනු ජනප්‍රවාදයක් බවද ඥානවිමල හිමියෝ වැඩි දුරටත් කියා සිටිති.

මෙම ග්‍රන්ථයේ දේශීය ආයුර්වේද ශාක 160 ක සම්පූර්ණ හැඳින්වීමක් සිතුවම් සමග පළ කර තිබේ. මීට අමතරව තවත් ඖෂධ ශාක සහ ඖෂධ දහස් ගණනක් පිළිබඳ විස්තර ද මෙහි ඇතුළත් කර තිබේ.

මීට අමතරව විවිධ ප්‍රතිකාර සඳහා ​යොදා ගත හැකි විශේෂ දේශීය අත් බෙහෙත් කීපයක් ද ලියා ඇත. මෙම ශබ්ද කෝෂය සකස් කළ ආකාරය ද ඥානවිමල හිමියන් සඳහන් කර තිබෙන්නේ මෙසේය.

පළමුවෙන්ම ඉන්දියාවේ හා ලංකාවේ මුද්‍රිත පොත් කියවා බලා මේ රටේ වෙදකමට අවශ්‍ය වචන එකතු කෙ​ළෙමි. දෙවනියට මේතාක් මුද්‍රණය වී නැති වෙද පොත් වට්ටෝරු වෙද පොත් බෙහෙත් වට්ටෝරු හා බෙහෙත් වදුළ පොත් ද එකතු කර කියවා බලා දුරවබෝධ වචන එකතු කළෙමි.

ඉන් පසුව චිත්‍ර ශිල්පියකු හා ආධාරකාරි කීප දෙනෙකු ද කැටුව ලංකාවේ ​නොයෙක් පළාත්වල ඇවිද බෙහෙත් වර්ග ගැන සාකච්ඡා කිරීමත්, මත භේද සහිත වූද දුර්ලභ වූ ද රහස් බෙහෙත් වශයෙන් පවතින්නාවූ ද ඖෂධ වර්ගවල ලක්ෂනාදිය සහිත චිත්‍ර පිටපත් කරවීමත් කළෙමි. මෙහි ඇතුළත් වන චිත්‍ර අකුරෙන් අබින්, සුං, වච්චනාට, ඉන්දියානු ගොඩ කඳුරු යන හත වර්ගය හැර ඉතිරි සියල්ලම ඒ ඒ වෘක්ෂලතාදිය ඉදිරි​යෙහි තබා අඳින ලද නියම සටහන්ය.

​මේ සියල්ල සූදානම් කර අතට ගෙන වැඩ ආරම්භ කොට පොත ලීවීමත් මුද්‍රණයත් එකවරම නිම කළෙමි. දේශීය වෛද්‍ය ශබ්ධ කෝෂයක් ලිවීම එපමණ පහසු නැති කීවේ ඉහත සඳහන් දුෂ්කරකම නිසාමය.
වෙදකමක, භාෂාවක ශාස්ත්‍රයක හෝ යම් කිසි කර්මාන්තයක කටයුතු සඳහා ව්‍යාප්තව පවත්නා වචන සංඛ්‍යාව ද ඒවයේ දියුණු හෝ පරිහානිය මැන ගැනීමේ එක් ක්‍රමයකි. දේශීය වෙදකමට අයත් වචන මහත් රාශියක් තිබේ. මේ ගැන ලියැවී තිබෙන ද්‍රව්‍යාවලිය නමැති පොතට දඹදෙණි කාලයෙන් පසු කුමක් වී දැයි දැන ගන්නට නැත. පැරණි පොත ප​තෙහි තිබෙන වචන ප්‍රමාණවත් පරිදි එකතු කර අදහස් දැක් වූ වෙන පොතක් ද නැත. එනිසාම කලක සිට පැවති මේ අඩු පාඩුව පිරිමසාලීමේ අදහස මා තුළ ඇති වූයේ මීට සිවු වසරකට පෙරය.

අපේ වෙද පරම්පරාව අවුරුදු දෙදහස් හයසීකටත් වඩා පැරැණි පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාවක්. රන්තිලක වෙද පරම්පරාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කිරීමත් එක්කම තමයි අපේ කුල පරම්පරාව ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආගමනය වුණෙ. බෝධිය රැක ගැනීමට පැමිණි පැරැණි කුල පරම්පරාවලින් එකක් විදිහටත් අපේ පරම්පරාව සැලකෙනවා. මගේ පියාණන් ද මේ රහස් බෙහෙත නිෂ්පාදනය කිරීමට උත්සාහ කරලා තිබුණත් අසීරු වැඩක් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ සඳහා අත්හදා ගැනීමට සුදුසු පුද්ගලයෙකු සොයා ගැනීම අසීරු වීම. මාත් වරක් උත්සාහ කළා. මටත් සිද්ධ වුණේ ඒ දෙයමයි. මේකේ තියෙන විස්තර අනුව බැලුවාම මේ සඳහා ඉදිරිපත් වෙන්න මිනිස්සු අකැමැතියි. යනුවෙන් ද වෛද්‍ය රන්තිලක මහතා ප්‍රකාශ කළේය.

පුෂ්පකුමාර ජයරත්න
උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

කොච්චර පාඩම් කරත්, මතක හිටින්නේම නැද්ද? මෙන්න ක්‍රමවේදයක්

කෙතරම් අමාරු විෂයයක් වුණත් ඔබේ මොළයට ඕනෑ ම දෙයක් ඉගෙන ගැනීමට පුළුවන්. එය ඉතා ඉක්මනින් කරන්නටත් පුළුවන්. එය රුසියානු, අරාබි හෝ වෙනත් සංකීර්ණ භාෂාවක් ද කියන එකවත්, සංගීත භාණ්ඩයක් ද කියන එකවත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව වැනි විෂයයක් ද කියන එකවත් ගැටලුවක් නොවේ.

සමීක්ෂණයකට අනුව ඉතා ම කාර්යක්‍ෂම ඉගෙනුම් කාලය වන්නේ, නව විෂයයක් හෝ කෞශල්‍යයක් හමුවී ගත වන පළමු පැය 20 ට ඇතුළත් කාලයයි. නව විෂයක් හමුවූ අවස්ථාවක මොළය ශීඝ්‍රයෙන් එම දැනුම උකහා ගැනීමට ක්‍රියා කරයි. නමුත් ඒ සඳහා පුද්ගල රුචිකත්වය සහ නව විෂය කෙරෙහි මොළයට දැනෙන උත්තේජනය ද බලපායි.

මෙලෙස, මොළය නව තොරතුරු එකතු කර ගැනීම පිළිබඳ අධ්‍යයනය කළ පළමු පිරිස අතර 19 වන සියවසේ ජර්මනියේ විසූ දාර්ශනිකයෙක් සහ මනෝ විද්‍යාඥයෙක් වූ හර්මාන් එබින්හව්ස් (Hermann Ebbinghaus) ද වූහ.

නව කුසලතාවට දක්වන සබඳතාව සහ එය ඉගෙන ගැනීමට ගත කරන කාලය අනුව ඔහු ‘ඉගෙනුම් වක්‍රය’ නමැති අදහස ඉදිරිපත් කළේය.එය ප්‍රස්ථාරයක් මගින් පැහැදිලි කිරීමට, “දැනුම” සිරස් රේඛාවටත් (Y අක්ෂයට), “කාලය” තිරස් රේඛාවටත් (X අක්ෂයට) යෙදිය හැකිය. මුල් පැය කීපය තුළ නව විෂයයක් හැදෑරීමට වැඩි කාලයක් වැය කිරීම මගින් වැඩි දැනුමක් උකහා ගත හැකි බව එබින්හව්ස්ට පැහැදිලි විය. ඒ අනුව ප්‍රස්ථාරයේ වක්‍රය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

නමුත් කෙටි කාලයකට පසු, එය අධ්‍යයනය කිරීමට ඇති මොළයේ ධාරිතාව කාලයට සමාන්තරව ගමන් කරයි. නමුත් එම විෂය හැදෑරීමට දිගින් දිගට ම කාලය යෙදවීම පරිපූර්ණත්වයට කෙනෙක් යොමුකරනු ඇත. නමුත් නව දැනුම ග්‍රහණය කර ගැනීම ශිඝ්‍රයෙන් අවසන් වනු ඇත. නව දැනුමක් රැස්කර ගැනීමට ගත වන කාලය ඇස්තමේන්තු කිරීමට එබින්හව්ස්ගේ ප්‍රස්ථාරය මේ වන විට යොදා ගැනේ. ඵලදායිතාව අගැයීමට ලක් කිරීම සඳහා එය ව්‍යාපාරික ලෝකයේ ද නිරතුරුව යොදා ගනී.අප නව විෂයයක් හැදෑරීම ආරම්භ කර ගත වන පළමු පැය 20 වඩා වේගවත් සහ ඵලදායී වේ. නව උත්තේජකයක් හමුවූ වහා ම ඊට වහා ප්‍රතිචාර දැක්වීමට සහ උපරිම දත්ත ප්‍රමාණයක් උකහා ගැනීමට අපේ මොළය හැඩගැසී තිබේ.

කාලයක් පුරා එක ම උත්තේජන නැවත නැවත හමුවීම තුළ මොළයේ ප්‍රතිචාරය ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග ශීඝ්‍රයෙන් අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය නැවතී යයි. මෙම පියවර ඇබ්බැහි වීම යනුවෙන් හැඳින්වේ.අප යමක් අලුතෙන් ඉගෙන ගන්නා විට, එය කෙතරම් සංකීර්ණ වුවත්, එහි අප ඉගෙන ගන්නා කරුණු මුලින් සහ ක්‍ෂණිකව ග්‍රහණය කර ගන්නා අතර පසුව එය මන්දගාමී වේ.

ඔබ හදාරන ක්‍රමවේදය හඳුනා ගන්න
ඵලදායිතාව වර්ධනය කළ යුත්තේ කෙසේදැයි උගන්වන ඇමෙරිකානු ජාතික ජෝෂ් කෆ්මන් (Josh Kaufman), මෙම මුල් පැය කීපයේ කෙරෙන උකහා ගැනීම කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇත්තෙකි.මෙම පදනම ඔහුගේ ‘පළමු පැය 20’ (The First 20 Hours) ග්‍රන්ථයට ප්‍රස්තුත විය.ඔහුගේ යෝජනාව වන්නේ, විෂය ජීරණය කළ හැකි කොටස් කීපයකට බෙදිය යුතු බවය. පරිබාහිර බාධා මගහැර දිනකට විනාඩි 45 ක් බැගින් සෑම දිනක ම ඊට සෘජු අවධානය යොමු කළ යුතුය.

ඔබ එහි විශේෂඥයෙකු විය නොහැකි නමුත් ඒ වන විට පැය 20 ක ශක්තිමත් මතකයක් ඔබ සතුව වනු ඇත. එය ඔබගේ ඉච්ඡාභංගත්වය බිඳ ඉදිරියට යාමට ප්‍රමාණවත් වනු ඇත.එසේ ම, නව විෂය පිළිබඳ ඔබ තුළ ඇති වන විශ්වාසය එහි පරිපූර්ණත්වය කරා යාමට ඔබට උපකාර වේවි.

පැය පහේ අධ්‍යයනය
නව විෂය දැනුමක් ග්‍රහණය කරගන්නා අනෙක් ආකාරය වන්නේ, ‘පැය පහේ රීතියයි’, දිනකට පැය බැගින් සතියේ දින පහක් තුළ හැදෑරීම එම ක්‍රමවේදයයි.මෙම ‘ඕනෑකමින් කෙරෙන හැදෑරීම’ අවධාරණය කරන සුප්‍රකට පුද්ගලයන් අතර බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ද වේ. කැපවීමෙන් නව දැනුම උකහා ගැනීම සඳහා දිනපතා කාලය වෙන් කිරීම මෙමගින් අපේක්‍ෂා කෙරේ. එහිදී තමන් එම විෂය මාතෘකාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තේ යැයි පුද්ගලයා සෑහීමට පත්වීමත් සමග ඉන් ඔබ්බට අනෙක් මාතෘකාවලට යමින් ඉදිරියට යනු ඇති බව ඔහු පවසයි.

විශේෂඥයන්ට අනුව, අප පැය පහේ රීතියට අනුගත වන්නේ නම්, අපට නව හැකියාවක් සෑම සති හතරකට වරක් ම උකහා ගත හැකිය. එය සිදුවන්නේ, නිරන්තර අධ්‍යයනය සහ ඒ පිළිබඳ ඇති පෙළඹවීම නිසාය.ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් ඕනෑකමින් කෙරෙන හැදෑරීම අනුගමනය කරන්නෝ වෙති.

සාර්ථකත්වයේ රහස විමසීමේදී බිල් ගේට්ස්, එලන් මස්ක්, වරන් බුෆේ හෝ මාර්ක් සකර්බර්ග් වැනි අය සඳහන් කළේ, උවමනාවෙන් කරන හැදෑරීමට තමන්ගේ ඇති ඇල්මය.ඔබට යම් මාර්ගයක සාර්ථකත්වයට ළඟා විය යුත්තේ නම්, ඉගෙනුමට ඇති ආශාව පවත්වාගෙන යන්න, ඉලක්කයට ළඟා වීමට තමා තුළ ම විනය පවත්වාගෙන යන්න.

විවාහක ඔබට දරුඵල ප්‍රමාද ද? එහෙනම් මෙන්න මේ හේතු දැන්ම අවම කර ගන්න

විවාහයෙන් පස්සේ යුවලකට තියෙන එකම බලාපොරොත්තුව දරු සුරතල් බලන එක. ඒත් ඉතින් ඒ වාසනාව සමහර අයට නැතුව යනවා. ඒකට ඉතින් එක එක විදියේ හේතු බලපානවා. සමහර විට ඔයා හිතුවේ වත් නැති මේ කියන හේතුත් ඔබේ දරුඵල ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දරුඵල ප්‍රමාද අය මේ කියන දේවල් ගැනත් ටිකක් වැඩිපුර හිතන්න වේවි.

සරු කාලය නිවැරදිව හදුනා නොගැනීම දරුඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. කාන්තාවකගේ සරු කාලය නිවැරදිව හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගික සබඳතා පැවැත්වීම මඟින් ඉක්මනින්ම ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඇතැම් අය තමන්ගේ සරු කාලය නිවැරදිව හදුනා ගන්නේ නැහැ. මේ නිසා තමන්ගේ සරු කාලය ගැන හොද අවබෝධයක් තියා ගන්න එක ඉතාමත් වැදගත්.

ලිංගික සබඳතා සීමා කිරීමත් මේකට තවත් හේතුවක්. සමහර කාන්තාවන් හිතන වැරදි දෙයක් තමයි නිතරම ලිංගික සබදතා පැවැත්වීම ගැබ් ගැනීමට අයහපත් විදියට බලපානවා කියන එක. ඒත් ඒක වැරදි අදහසක්. නිරවුල් මනසක් ඇතිව සෞඛ්‍ය සම්පන්න ලිංගික ජිවිතයක් පවත්වා ගැනීම ඉක්මන් දරුපල ලැබීමට අනිවාර්යෙන් බලපානවා.

ලිංගික ජීවිතය මනසට පීඩනයක් ගෙන දෙන්නක් බවට පත් කර ගැනීමත් බොහෝ දෙනෙක්ට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. නිතර නිතර ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇතැම් කාන්තාවන් අකමැත්තක් දක්වනවා. ඒ ගැන ඇති අකමැත්ත අවිඥානිකව බලපෑම් කරනවා. මානසික පීඩනයක්, වදයක් බවට පත් වෙනවා. එය ලිංගික ජීවිතය අවුල් වෙන්නත්, දරුවන් ලැබීමට යාමේදීත් අනිවාර්යෙන් බලපෑම් කරනවා.

වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සඳහා යොමු නොවීම කියන්නේ මෙතැනදී ඇති වන තවත් ගැටළුවක්. දරුපල ප්‍රමාද වීමට කාන්තාවගේ වගේම පිරිමියාගේත් යම් යම් දුර්වලතා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැක හැර දැන ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ගැබ් ගැනීමකට විශේෂයෙන් කාන්තාව ඉතාමත් හොඳ කායික නිරෝගී භාවයකින් සිටිය යුතුයි. ඒ වගේම පිරිමියාත්. හැබැයි මෙතැනදී කායික නිරෝගිභාවය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. නින්ද, හොද සෞඛ්‍ය පුරුදු, පෝෂ්‍යදායී ආහාර, මානසික සැහැල්ලුව, කිරි සිහිනය සැබෑ කරගන්න නැතුවම බැහැ.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

වාහනයක් ගන්න කලින් අනිවාර්යෙන් මේ දේවල් බලන්න – හරි පොතයි හොර පොතයි අඳුනගන්න විදිය

වාහනයක පොතක් බලන්නේ කොහොමද?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි. බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනය, පරම අයිතිය, වාහනයේ නිෂ්පාදිත වර්ෂය, ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි. ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනෙ. ඕවා බැලූවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවය පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් එහි අංක එකේ සිට සටහන් මෙහෙම බලමු.

ලියාපදිංචි කිරීමේ අංකය – කියලා දෙන්න ඕන නෑනෙ. කවුරුත් දන්නවනෙ.
චැසියේ අංකය – පොතේ තියෙන චැසි අංකයත්, වාහනයේ තියෙන චැසි අංකයත් පරීක‍ෂා කරන්න. චැසි අංකය වාහනයේ දෙතැනක තියෙනවා. එකක් චැසියේම කොටා තිඛෙන එකක්. ඒක තමයි කියවගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිඛෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමුකර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර, නවයට පී අකුර, එක ට හතේ ඉලක්කම වාගෙ වැරදි පොතේ තියෙන්න පුලූවන්. ඒවා හදාගන්න ඕනෑ. 2004 වසරේ ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. දැන් මේකත් අපි හදාගන්න ඕනෑ. චැසි අංක කොටන්න යන්න කවුරුහරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිඛෙන වාහන ගන්නත් එපා. දැන දැන ඇයි ප්‍රශ්ණවලට යන්නෙ?

වර්තමාන අයිතිකරු.
“මම තමයි වර්තමාන අයිතිකාරයා” කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න. අයිඩී එක බලන්න. ලිපිනය බලන්න. හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම්, හදිසි කරනවා නම්, කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම්, කේන්ති ගන්නවා නම්, ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලක‍ෂ ගණනක්. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුලූවන්ද?

ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදුබඩ ප්‍රදේශවල වැඩි කළක් පාවිච්චි කළ වාහන දිරා යාමේ ප්‍රවනතාව වැඩියි. දිරන්නේ අහුමුළු. ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාලව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛණවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක්. ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛණය. මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය.

පොත ඩුප්ලිකේට්ද? #Duplicate
කොන්දේසි/විශේෂ සටහන් – පොත ඔරිජිනල් දල ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත DUPLICATE නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරුයි. ඒ නිසා ලීසිං ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සෙ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්ත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමුවෙනවා. ඒත් ඉහත ලියකියවිලි ගැටළු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුලූවන්. විකුණන්න වෙන්නෙත් එහෙමයි. මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න. එතැන් පටන් අවුරුදු හතරක් හෝ පහක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්කෝ පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.

ෆිනෑන්ස් තියෙන වාහනයක්ද? #Finance
පරම අයිතිකරු.- ලීසිං තිඛෙනවා නම් එක පාරටම බයවෙන්න එපා. ලීසිං අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිඛෙනවද බලන්න. ඒ ලියුමේ තියෙන වාහන අංකයත්, ලීසිං සමාගමේ නාමයත්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න.

එන්ජින් අංකය බලමු. #Engine
එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි. ඒත් ඒකත් චෙක් කරලා ගැළපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලූතෙන් තියලා ආර්එම්වී එකේ රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා. ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලත් ඉදිරිපත් කරන්න ඕනෑ. 7 සිට 28 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නිරවුල්භාවය සමබන්ධ නිගමනවලට එන්න සාධක නැහැ.

ඉන්ෂුවරන්ස් කන්ඩම් වාහනයක්ද? #Insurance
21. පෙර අයිතිකරුවන් අතර රක‍්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරෙස්සමෙන්. හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක‍්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න. මෙය ඉන්ෂුවරන්ස් කන්ඩම් කළ වාහනයක් විය හැකියි. දැඩි අනතුරුවල දී රක‍ෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලත්වැඩියා කර

පාව්චිචියට සුදුසු ඒවා නොවෙයි. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරිවෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලත්වැඩියාවන්වල ආයුෂ අඩුයි. යළි යළිත් කැඩී යාම්, වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරු දායකයි. 19 සහ 27 – ලීසිං ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂයත්, පළමු ලියාපදංචියත් බලන්න.

මොකද ලියාපදිංචියෙන් වසරක් තුළ පවරන වාහනයකට දැන් ලීසිං ලබාගන්න පුලූවන් සියයට පනහක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් සියයට හැත්තෑවක් පුලූවන්. පොතේ අක‍්ෂර රටා ගලපා බැලීමල ලොට් අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුලූවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි.

මේ විදිහටත් පොත බලන්න.
පොත නිල් එලිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීක‍ෂා කරගන්න පුලූවන් නම් තමයි හොඳ. මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර පොතයි හොයන්න බැහැ. හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයත් පෙනෙන්න පටන් ගන්නවා.

පොතේ තොරතුරු ඉන්ටනෙට් එකෙන් ගත්තොත් හරිද? #vehicleapp
වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුලවන්. ඒත් එහි සඳහන් වෙන්නේත් හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේත් එම දෙයම නිසා මෙම තොරතුරු බලා ගත්තයි කියලා වැඩක් වෙයිද?

සමහර වාහන පවරන්න බැහැ.
පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාලසීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිඛෙනවා. බදු සහන මත ගෙනා වාහන තිඛෙනවා. බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ පහක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටා, ලොට් අංක ආදියත් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ.

දඩයි බදුයි මට ගෙවන්න වෙයිද?
මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත්, ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිඛෙනවා. එහි කළින් නොගෙවූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කළින් මේ තොරතුරු නම් ආර්එම්වී එකට ගිහින් ගන්න පුලූවන්.#pajero #duplicate

ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත්?
වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනුකර තිඛෙන්න පුලූවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබා ගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සෙ තමයි වැඩේ පත්තු වෙන්නෙ. ට්‍රාන්සර් කරගන්න බෑ. විරෝධතාවක්. මෙවැනි ප්‍රශ්න කෙළවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ.#cbr #hornet

එම්ටී සික්ස් ආර්එම්වී එවලද?
සමහර අවස්ථාවල ට්‍රාන්සර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේඛණ එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්‍ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙළවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනෙ. සමහර වෙලාවට පැවරුම් ලේඛණයේ අත්සන වෙනස් කියන්න පුලූවන්. පැවරුම් ලේඛණවල සඳහන් දිනයේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් සියය ගනනේ දඩ ගෙවන්නත් ලෑස්ති වෙලා යන්න. බැරිවෙලාවත් අවුරුද්දක් පරක්කු. #austin

වෙලා තිබුණොත් 36500ක් ගෙනිච්චොත් ඇතිනෙ නේද?
වයිෆ්ගෙ වාහනේ හස්බන්ඩ් විකුණලා. ගොඩක් අය විකුණන්නේ තමන්ගෙ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩියි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුනත් ප්‍රශ්න එන තැන් ඕන තරම්. බිරිඳගේ වාහනය සැමියා විකුණනවා. අම්මාගේ වාහනය පුතා විකුණනවා. සහෝදරයාගේ වාහනයල යාලූවාගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටළු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නෙ. කොහොමද මේ විදිහට අපි මේ #morris

ලංකාවෙන් වාහනයක් ගන්නේ?
ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන් වාහන දිනපතාල සතිපතා, මාස්පතා, අවුරුදු පතා විකුණනකොට මොන තරම් ගැටලු එන්න ඕනද? ඒවා අවම කරගන්න අපි නම් සාර්ථක ක්‍රමවේදයක් අනුගමනය කරනවා. සැම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැණුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. අපි මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනෙ. වාහනේ ඔබේ නමට පැවරුවාට පස්සෙ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට තියෙයි කියලා. වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනෙ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවදානම නම් තිඛෙනවා.#minicooper

මුදල් හදිසියකට වකුණමි.
විදෙස් ගතවීමට කියලා හරි, සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න. මේ කලබලය භයානක ගැටළු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සෙ ගැටලූවක් මතු වුනොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද? සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලූවක් ආවොත්? සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නෙ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද?#original #book

වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න.
වාහනයක් වෙළඳපලේ විකිනෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම් එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන්. ගැටළු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගානක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මණට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතැන කලබල කරනවා. එයාගෙ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැණුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නෑ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා. බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත්, මොන ගිවිසුම් ගැසුවත් ගැටළුව මතුවුනු වෙලාවට ඒවා වැඩක් වෙන්නෙ නෑ. වංචනිකයා ඒවා ගනන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත්ල පොලිසි ගියත්, වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක‍්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගෙන් දූෂණය වෙලා. #tracker

වාහන, ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලක‍ෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා. අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන්

එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තීයවේදීන් හැටියට රඟපාමින් වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැදි සැදැහැවතුන් ලෙසත්, කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕනතරම්.

(උපුටා ගැනීම autosamurai පිටුවෙනි)

මේ ගස් ගෙවත්තේ සිටෙවුවොත් ඔබේ දියුණුව සක්කරයටවත් වළක්වන්න බෑ

සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ, සතා සීපාවුන්ගේ පිහිට නිසාය. ගවයා නොමැති නම් ළදරුවන්ට කිරි නැත. කිරි නැති වුණොත් ළදරුවෝ මිය යති. එවිට පළමුවෙන්ම මිනිසා මිහිතලයෙන් නැතිවී යයි. තණකොළ නොමැතිනම් ගවයාටද පැවැත්මක්‌ නැත. මේ දෙස බලනවිට ගහකොළ, සතුන් හා මිනිසා අතර ඇති ප්‍රබල සම්බන්ධතාවය මනාසේ අවබෝධ කරගත හැක.

පැරණි පඬිවරුන් හා සෘෂිවරුන්ද වෘක්‍ෂලතාදියෙහි ඇති මේ සුවිශේෂී ජීව ගුණය මැනවින් අවබෝධ කරගෙන සිටි බව පැරණි වාස්‌තු විද්‍යා පොතපත කියවනවිට පසක්‌ වේ. සියලුම ගුප්ත විද්‍යා කටයුතුවලදී ද ආයුර්වේදයේදී වෘක්‍ෂලතා උපයෝගී කරගෙන ඇත. රෝග නිවාරණයට ග්‍රහ අපල නැසීමට භූත උපද්‍රව නැති කිරීමට මෙන්ම දේව ආකර්ෂණය ලැබීමටද ඒවා පිහිට කරගෙන ඇත. සිංහලයාගේ ප්‍රධානම සංස්‌කෘතික මංගල්‍ය වන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී ශුභ නැකතට හිසට – පයට කොළ තබා කොළ යුෂෙන් තැනූ නානු ගා තෙල් ගා නිරෝගී බව දීර්ඝායුෂ පැතීමෙන්ම ගසකොළවලට හෙළයා විසින් ඉහළම ස්‌ථානයක්‌ හිමිකර දී තිබෙන බව කිව යුතුය.

අපගේ ආගම වූ බුද්ධාගම වෘක්‌ෂයට ශ්‍රේෂ්ඨ ස්‌ථානයක්‌ උරුම කරදී තිබේ. බෞද්ධයන් තරම් ගසට ගරු කරන ජාතියක්‌ ලොව නැත. බෞද්ධයෝ ජීවමාන බුදු රදුනට මෙන් බෝධි වෘක්‌ෂයට වඳිති පුදති. ගරු කරති. ජය ශ්‍රී මහා බෝධි රාජයා යනුවෙන් බෝධි වෘක්‌ෂය රාජ්‍යත්වට පත්කර ඇත. එසේ වී තිබෙන්නේ සිදුහත් තවුසන් ඇසතු රුකට පිටදී සියලු කෙලෙසුන් නසා බුදුවූ බැවිනි. ලොව පහල වන සියලු බුදුවරු කුමන හෝ වෘක්‍ෂයට පිටදී බුදු බව ලබති. ඒ නිසා බොහෝ වර්ගවල ගස්‌ පිදුම් ලැබීමට සුදුසුවී ඇත. අටවිසි බුදු රදුන් පිටදුන් වෘක්‍ෂද විසි අටක්‌ තිබේ. ඒ නිසා බෞද්ධයන්ට ගස්‌ යනු පූජනීය වස්‌තුවකි.

බුදු බව ලැබීමට පවා ආධාර විය හැකි ශක්‌තියක්‌ ගහකට තිබෙන නිසා ගස්‌ වැල්වල ගුප්ත බලයක්‌ තිබෙන බව ප්‍රකට වෙයි. පැරණි සෘෂිවරු විවිධ ගස්‌වල ඇති මෙම ශක්‌තිය හඳුනාගත් අතර ඒ පිළිබඳ විස්‌තර ග්‍රන්ථවලට ඇතුළත් කළහ. නෙත් සිත් සනහන පැහැයක්‌ ගස්‌වල කොළවල තිබේ. රෝහල්වලට කොළ පැහැය යොදන්නේ ඒ නිසාය. නිල්වන් ගහකොළවල දර්ශනය එහි ඇසුරෙන් ලැබෙන නැවුම් පිරිසිදු සුළඟ හා සිසිලස නෙත සිත සනසවයි. ඉන් එහා ගිය ගුප්තවූ ශුභාශුභ ප්‍රතිඵල ද මේ නිසා ඇතිවන බව පසක්‌ කළ රුසිවරු ගෙමිදුලෙහි හා ගෙඋයනෙහි වගා කළ යුතු ගහකොළ පිළිබඳ විවිධ උපදෙස්‌ දී ඇත.

මදුරුතලා මදුරුවන් පලවා හරී, අඳුකොළ, සස්‌සඳ ඵලවරා නාගයන්ට එරෙහි වේ. කුප්පමේනිය ගස බළලාට දිව ඔසුවකි. මෙවැනි සුවිශේෂී පැළෑටි වර්ග බොහෝ ඇත. නිවස ඉදිරිපිට වැවීමට ශුභ ගස්‌වර්ග රැසක්‌ ජ්‍යෙතිෂ හා වාස්‌තු විද්‍යා ග්‍රන්ථවල දැක්‌වේ.මදටිය, මූනමල්. සපු, දෙලුම්, කොසඹ, පුවක්‌, කොස්‌, තල්, පොල්, පලොල්, දේවදාර බඳුවදමල්. සාදික්‌කා, මිදි, බෝලිද්ද, අඹ, සමන්, නෙලුම්, මහනෙල්. කෙසෙල්, දොඩම්, සපු, දුනකේ, වැටකේ, ගෙඋයන ඉදිරිපස වැවීමෙන් නිරෝගීබව, නුවණ, ආයුෂ වැඩෙන බව දක්‌වා ඇත. මෙම ගහකොළ ඇසුරෙන් ලැබෙන පිරිසිදු වාතය නිසා මේ තත්ත්වය ඇතිවිය හැකි බව විද්‍යාත්මකවද සනාථ වේ.

කොසඹ හා අඹවල හෙණ වළක්‌වන ශක්‌තියක්‌ද ඇතැයි පැවසේ. එසේම රෝග නාශක බලය සහිත නිසා බෝවන රෝග වළක්‌වයි. පත්තිනි දෙවියන්ගේ බලයද එහි තිබේ. විවිධ ශාන්තිකර්මවලට මේවා යොදා ගන්නේ ඒ නිසාය. එහෙත් අඹ හා ඇසතු ගස්‌ ගෙය ඉදිරිපස නොවැවිය යුතු යයි ඇතැම් පොත්වල සඳහන් වේ. කෙසෙල් ගස්‌ද ගෙයි දොරකඩ නොවවන ලෙසට කියා ඇත. නේත්‍ර ආබාධවලට ඔසුවක්‌ වූ දෙලුම් ගෙය ඉදිරිපිට වැවීම ශුභයෑයි කියා තිබේ. පොල්, නවසි, බෝදිලි ගෙයි ඉදිරිපස වැවීමට කියා ඇතත් ගොන් තැඹිලි, රත් තැඹිලි, රන් තැඹිලි ගෙයි දොරකඩ වැවීම අශුභ බව කියා ඇත. ඒවා දේවාල, පන්සල් ආදී සිද්ධස්‌ථාන, රජ මැදුරු හා පොදු ස්‌ථානවලට සුදුසුය.

ගෙවත්තේ ඊතණ තිබීම ශුභ ලෙස දක්‌වා තිබේ. ඊතණ මංගල සම්මත පැළෑටියක්‌ වන අතර දේව ප්‍රසාදය ලැබේ. ඊතණ ඇති බිම ජලය රඳයි. ආයු වැඩීමට එය බලපායි. හීරුස්‌ස තොලබෝ දෙවර්ගයද මෙවැනිම මංගල සම්මත පැළෑටිය. ඒවා ගෙවත්තක තිබීමෙන් ශුභ ඵල උදාවේ. ගෙවත්තේ කලාඳුරු තිබීම රෝග නැතිවීමට හා ගව සම්පත් වැඩිවීමටත් ධනය ලැබීමටත් හේතුවේ. එය සුවඳ හමන ඔසු පැලෑටියකි. දෙමට, අන්දර, සූරිය, කැටකෑල වැනි ගස්‌වර්ග තිබීමෙන් යක්‍ෂ, ප්‍රේත උවදුරු දුරුවේ. දෙහි ගස නිසාද එසේ වෙයි. එය බොහෝ විට බෙහෙත් වශයෙන්ද ප්‍රයෝජනවත්ය.

ඒ ඒ ගස්‌ වර්ග ගෙයි සිට තිබිය යුතු දිශාවන්ද දක්‌වා ඇත. ගෙට උතුරෙන් පුලිල, ඩෙබර ගස ද නැගෙනහිරට නුග, අත්තික්‌කා හා නාගස්‌ද දකුණෙන් දිවුල් ගස්‌ද, බස්‌නාහිරට බෝ ගස්‌ද වැවීමෙන් යහපත උදාවෙන බව පවසා ඇතත් බෝ, නා, නුග ගස්‌ නිවෙස්‌ අසල වැවීම සුදුසු නැත. ඒවා දේවතා දිගෘහිතවීම හා නාගයින්ගේ වාසයට හේතුවන බැවිනි.

ගෙවත්තේ වැවීමට අශුභ ගස්‌ වර්ගද ඇත. ඉඹුල්, ඇඹුල් දොඩම්, ප්‍රවඟු, බෙලි, ඇහැල, කිනිහිර, සියඹලා, කොලාං, හැඩවක, බුරුත, කිහිරිබුතැස්‌, තිබොල්, කරඳ, සාරණ, ඇට්‌ටේරියා, පියං, පෙනෙල, ගොරක මේ ගණයට අයත්වේ. මේවා වැවීමෙන් නොයෙක්‌ හිරිහැර අපල කරදර පැමිණේ. මෙම ගස්‌ වර්ග තිබුණ බිමක නව නිවසක්‌ තනනවිට එම ගස්‌ මුලින්ම උදුරා පස්‌ද ඉවත් කළ යුතු යෑයි කියා ඇත. එහි දොස්‌ එතරම්ම උග්‍ර බව පැවසේ.

ගෙවත්තේ ගස්‌ නොසිටුවා කොතනක හෝ ඉඩක්‌ තැබීමද අශූභ බව කියා ඇත. එරබඳු කජු, වතුසුදු ආදී ගස්‌ වර්ගද ගෙවත්තේ නොවැවිය යුතු බවට උපදෙස්‌ දී ඇත. මේ ගණයට සුදු අරලියාද අයත් වේ. එයින් යස ඉසුරු නැතිවේ. කරදර, හිරිහැර ඇතිවේ. මල් වර්ග අතර තද රතුපාට මල් ගේ ඉදිරිපස වැවීම අශුභය. රාජභය හා අනතුරු ආපදා සතුරු කරදර ඇතිවේ. සුදු අරලියා වලින් දුක ශෝක ඇති කරයි. විශේෂයෙන් වද මල් ගස්‌ වැවීමෙන් වද හිංසා ඇතිවන බව පැරණි මතයකි. කටු සහිත ගස්‌ වර්ග ගේ ඉදිරිපස හෝ මිනිසුන්ට දර්ශනය වන තැන්වල වැවීම ශුභ නැත. මේ නිසා ගෙහිමියන්ට අවුල් වියවුල් ඇතිවේ. පතොක්‌ ආදී ගල් මුඩුබිම් ඇසුරුකොට වැවෙන පැළෑටි වගා නොකළ යුතුය. ඇසේ හිසේ රෝග ඇති කරයි. කරදර හිත් තැවුල් වැඩිවේ. ගව සම්පත ගොවිතැන් පාලුවේ. කිරි ඇති ගස්‌ වර්ග ගෙවත්තේ වැවීම අශුභ යයි එක්‌ මතයක සඳහන් වුවද එය ශුභ බවටද මතයක්‌ පවතී.

විෂ සහිත ගස්‌ වැවීම අශුභය. නියඟලා, ජාපාල, කනේරු ආදිය මේ ගණයට අයත්වේ. කිරි මිශ්‍ර ගස්‌ නිසා සොර බිය ඇතිවේ යෑයි කියති. වැල් රුක්‌අත්තන අශුභය. පිච්චමල් වවනවා නම් එම බිම ඉතා පිරිසිදුව තැබිය යුතුය. බෙලි කලුවර සඳුන් මදාරා වැනි ගස්‌ දේවතාගෘහිත වන බැවින් අශුභය. ගෙවත්තෙහි වැවුන ගසකට යම් උවදුරක්‌ වුවහොත් ඒවා උදුරා දැමිය යුතුය. විදුලි සැර හා හෙණ වැදුන දිරාගිය බෙණ සහිත සුළඟින් කැඩී ගිය, වැල්සෙවුන, පනුවන් කෑ ගස්‌ හා දෙබර, බඹර මී, වද බඳින ලද ගස්‌ අශුභ බැවින් ඉවත් කළ යුතුය.

පනුවන් කෑ සහ ඉහත කී පරිදි හානි වූ ගස්‌ තිබීමෙන් ගෙහිමියාට සුව නොවන රෝග සෑදේ යෑයි කියා ඇත. වඳ පීදුනු ගස්‌ ගෙවත්තේ තිබීම ශුභ නැත. පිල්ල සෑදුන ගස්‌ද අශුභය. එසේම යම් ගසක්‌ අස්‌වාභාවික ලෙස පීදී ගෙඩි හටගැනීමද අශුභය. කෙසෙල් ගසක මැදින් පිපිරී මුහ වැටීම පොල් ගස්‌වල අතු ලියලීම, තලමල් පිපීම වැනි දේ තම ගෙවත්තේ සිදු වුණොත් සියලු දෙනාටම අපලය. ඒ ගස දින තුනක්‌ තුළ සහමුලින් ගලවා දමා ශාන්තිකර්මයක්‌ කරවාගත යුතුය.

බෝ, නුග, කරඳ, කොසඹ, තෙලෙඹු. සඳුන්, කුරුඳු, දේවදාර, පස්‌ පැඟිරි, කරපිංච, නා යන ගස්‌වල දර ගෙවත්තේ හෝ මුළුතැන්ගෙයි දැල්වීම අහිතකර විපත් ගෙන දෙන දෙයකි. ඒ නිසා ගෙවත්තේ ගස්‌ වගා කිරීමේදී සහ ඒවා පවත්වාගෙන යැමේදී පැරණි උපදෙස්‌ පිළිපැදීම වඩාත් යෝග්‍ය වේ. එයින් අනවශ්‍ය විපත් කරදර වළක්‌වා ගත හැකිය.

ජ්‍යෙතිෂ හා ගුප්තවේදී පී. සී. පතිරණ
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)