ළූණු වලින් හදන්න පුළුවන් රසවත් කෑම වර්ග 7 ක් මෙන්න

බී ළූණු එහෙමත් නැත්නම් බොම්බයි ළූණු ඔය උයන පිහන හැමදේටම අපි දානවනෙ. ළූණු නොදා උයන දෙයක් නැති තරමට ළූණු අපිට එදිනෙදා අවශ්‍ය වෙනව. ළූණු වලින් පුළුවන් එච්චරයිද? අපොයි නෑ. ළූණු වලින් රස රස දේවල් සෑහෙන්න හදාගන්න පුළුවන්. මේ එයින් ටිකක් විතරයි. බී ළූණු වලින් හදන්න පුළුවන් පහසු කෑම 7ක් තමා මේ.

ස්ටෆ්ඩ් අනියන්
අවශ්‍ය ද්‍රව්‍ය – ලොකු ළූණු ගෙඩි එකයි, සාදාගත් කට්ලට් පිරවුම, බිත්තරයක්, පාන් කුඩු

සාදන ක්‍රමය – බී ළූණු ගෙඩිය අඟල් භාගයක පමණ මහතට රවුම් කපාගන්න. කපාගත් රවුම් වලින් ළූණු මුදු වශයෙන් වෙන් කරගන්න. කට්ලට් මිශ්‍රණය මේ ළූණු මුදු මැදට පුරවා, බිත්තර සාරු වල දවටා, පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

අනියන් පකෝරා – අවශ්‍ය ද්‍රව්‍ය
කඩල පිටි කප් එකයි, හීනියට කපාගත්ත ළූණු, චොප් කරගත්ත අමු මිරිස්, ලුණු, මිරිස් කුඩු, දෙහි යුශ ටිකක්, කොත්තමල්ලි කොළ

සාදන ක්‍රමය – සියල්ල එකට මිශ්‍ර කරගන්න. වතුර ටික ටික එකතු කර සාමාන්‍ය ඝණ මිශ්‍රණයක් සාදාගන්න. හැන්දකින් ටික ටික ගෙන රත් වූ ගැඹුරු තෙලට දමා බැදගන්න.

බ්ලූමින්ග් අනියන් – අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු ළූණු ගෙඩියක්, පාන් පිටි කප් එකක්, ලුණු, ගම්මිරිස්, බිත්තර දෙකක්, කිරි කප් එකක්, මොසරැල්ලා චීස් අවශ්‍ය නම්

සාදන ක්‍රමය – ළූණු ගෙඩිය මලක් ලෙස විහිදෙන ආකාරයට පෙති වෙන් නොවන සේ කපාගන්න. පිටි, ලුණු සහ ගම්මිරිස් එකට මිශ්‍ර කරගන්න. වෙනම බඳුනක බිත්තර දෙක දමා එයට කිරි එක් කර හොඳින් ගසාගන්න. කපාගත් ළූණු ගෙඩිය පිටි මිශ්‍රණයේ හොඳින් දවටා ගන්න. (පෙති අතරත් පිටි තැවරෙන ලෙස) දැන් ළූණු ගෙඩිය බිත්තර මිශ්‍රණයේ දමා හොඳින් මිශ්‍රණය දවටා ගෙන නැවත පිටි මිශ්‍රණයේ දමාගන්න. චීස් දානවා නම් පෙති අතරට චීස් එක් කරගන්න. තෙල් කඩදාසියක් දාගත් තැටියක තබා සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත්ත උඳුනක විනාඩි 30ක් බේක් කරගන්න.

චීස් ස්ටෆ්ඩ් අනියන් රින්ග්ස් – අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු ළූණු ගෙඩියක්, මොසරැල්ලා චීස්, බිත්තරයක්, පාන් කුඩු

සාදන ක්‍රමය – ළූණු ගෙඩිය අඟල් භාගයක් මහත රවුම් කපාගන්න. ප්‍රමාණයෙන් ලොකු ළූණු රවුමක් සහ පොඩි ළූණු රවුමක් ගෙන ඒ රවුම් දෙක අතරට චීස් පුරවා ගන්න. බිත්තර සාරු දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

චයිනීස් අනියන් පෑන් කේක්ස් – අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් 2, වතුර මිලිලීටර් 420, ලුණු, ගම්මිරිස්, චොප් කරගත් ළූණු කප් 1, හීනියට කපාගත් ළූණු කොළ

සාදන ක්‍රමය – පිටි සහ වතුර එකට මිශ්‍ර කර විස්ක් එකකින් ගසාගෙන, පිටි කැට නොසිටින්න මිශ්‍ර කරගන්න. ඉතිරි සියල්ල මෙයට එක් කර කලවම් කරගෙන, තෙල් මේස හැඳි දෙකක් දාගත් නන්ස්ටික් තැටියකට තෝසේ ආකාරයට මිශ්‍රණය දමාගෙන, දෙපැත්තම පුළුස්සා පෑන් කේක් සාදාගන්න.

බැටර්ඩ් අනියන් රින්ග්ස් – අවශ්‍ය ද්‍රව්‍ය
රවුම් කපා මුදු වෙන් කරගත් ළූණු, පාන් පිටි කප් 1, කෝන් ෆ්ලා තේ හැඳි 2, ලුණු, ගම්මිරිස්, සෝඩා

සාදන ක්‍රමය – ළූණු හැර අනෙක් සියල්ල එකට එක් කොට පෑන් කේක් පදමට වඩා මදක් ඝණ බැටරයක් සාදාගන්න. ළූණු රවුම් බැටර් එකේ ගිල්වා රත් කරගත් ගැඹුරු තෙලේ බැදගන්න.

සුදුළූණු මිශ්‍ර ළූණු අච්චාරු – අවශ්‍ය ද්‍රව්‍ය
ළූණු ග්‍රෑම් 500ක් (කුඩා බී ළූණු හෝ රතුළූණු), පොතු හැරගත් සුදුළූණු ග්‍රෑම් 100ක්, අබ තෙල් කප් 1 1/2, උළුහාල් තේ හැඳි 3, මිරිස් කුඩු තේ හැඳි 2 1/2, මහදුරු කප් 1/4, කහ මේස හැන්දක්, ලුණු මේස හැඳි 5, විනාකිරි කප් 1/2

සාදන ක්‍රමය – පොල්තෙල් ටිකක් රත් වෙන්න තබා ළූණු ටික සහ සුදුළූණු වෙන වෙනම තෙලට දමා තත්පර දෙක තුනකින් ඉවතට අරගන්න. අබ තෙල් ටික රත් වෙන්න තබා එයට උළුහාල් සහ කහ එක් කර මිශ්‍ර කරගෙන ළූණු සහ සුදුළූණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.ගින්දර වැඩි කරගෙන ඉතිරි සියල්ල එක් කර උතුරුවාගෙන ලිපෙන් ඉවත් කරගන්න. නිවුනු පසු සෝදා වියලාගත් වීදුරු බෝතලයකට දමා ගන්න. සති කීපයක් කල් තබා ගත හැකි ළූණු අච්චාරුවක්.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ඔබේ සිරුරට ගුණ දෙන පැණි තැවරූ වෙරළු ගෙදරදීම හදාගන්න හැටි

“වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් C, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා. මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ.”වෙරළු අතීතයේ ඉඳන්ම ලාංකික අපිට සමීප පලතුරක්. මේ පලතුර පුංචි වුනත් එයට කළහැකි දේ විශ්මිතයි. දරු උපතක් ගැන දැනගත් දිනයේ මවකට වෙරළු හා ඇති සබඳතාවය පටන් ගන්නවා.

වෙරළු වලට ආයුර්වේදමය වශයෙන් ඇති වටිනාකම්ද බොහෝයි. ජීවිතයේ පටන් ගැන්මේ සිට ජීවිත කාලයේ කුමන අවධියකදීවත් අපට වෙරළු අගුණ කෑමක් ලෙස සඳහන් වන්නේ නැහැ. නමුත් අද වන විට වෙරළු අපෙන් ඈත් වෙලා. වෙරළු කොළයේ සිට අපිටත් අපේ දරුවන්ටත් ගත හැකි ප්‍රයෝජන බොහෝයි.

එවැනි වැදගත් කරුණු 5 ක් ගැන අපි කතා කරමු.
පෝෂණීය ගුණයෙන් පිරිලා වෙරළු ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එහි ඇති පෝෂක කොටස් කුඩා වයසේ සිට ගර්භණි සමය ඉන්පසුවත් අපිට නොදැනුවත්වම විටමින් c, ඛණිජ ලවන ලබාගන්න පුළුවන්. වෙරළු වල විටමින් C, ඛණිජ ලවන වගේම ෆයිබර් අඩංගු වෙනවා. මේ නිසා දැන හෝ නොදැන එදා ඉඳන්ම අපේ වැඩිහිටියන්, ගැමියන්, තරුණියක් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තහම වෙරළු ටිකක් ඇහිඳලා ගෙනත් දෙන්න අමතක කළේ නෑ.

පළමු මාස කිහිපය තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් හා කටේ ඇතිවන කෙළ එකතුවීම, වමනය, ඔක්කාරය වගේ හුඟක් අපහසුතාවයන් වලට වෙරළු පිහිටට හිටියා. ඒ වගේම විද්‍යාත්මක වශයෙන් පළමු මාස තුන තුළ කලලයට විටමින් C ලැබීම ඉතා වැදගත් වෙනවා. එමගින් ශරීරයට ලැබෙන යකඩ ඉතා හොඳින් අවශෝෂණය කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් හුඟක් අම්මලා වෙරළු සුවඳින් පවා සැනසෙන බව අපි අහලා තියෙනවා.

කෙටි කෑමක් වගේ නොදැනීම විටමින් C ටිකක් ඇඟට ගන්න
වෙරළු snack එකක් වගේ කියල කිව්වත් හරි. යන එන ගමන් හප හපා ඉන්න හරි අපූරුයි. ඒ නිසා අපට නොදැනීම රසයත් ගුණයත් එකතු කරගන්න පුළුවන්. ගෙදරක වත්තේ වෙරළු ගහක් නැතිනම් පොළේ එළවළු පලා විකුණන අම්මලා ළඟ නම් වෙරළු ටිකක් වරදින්නේ නැහැ.

වෙරළු මිටක් ගෙදර කෑම මේසයේ සතියකට සැරයක් තියලා තිබුනොත් ඔබ නොදැනුවත්වම විටමින් C ඇතුළු ඛණිජ ලවන රැසක් ශරීරයට ලබාගන්න පුළුවන්. ඉස්සර අපේ ආච්චිලා සීයලා වත්තට යන්නේ දවසට සරිලන පෝෂණය ගෙදර වත්ත පිටියෙන් නෙලාගෙන එන්නයි.

අතට වෙරළු ඇහිඳ ගෙනේ.. ඉනට පලා නෙලා ගෙනේ.. බරටම දර කඩා ගෙනේ.. එයි අම්මා විගස කිනේ

වත්ත පහළට යන අම්මගේ අතට වෙරළු මිටක් වරදින්නේ නැහැ. එදා අපේ ජීවිත වලට විටමින් පෙති එකතු නොවුනේ ඒ නිසයි. අපි දන්නෙම නැතුව දරුවන්ට සර්ව සම්පූර්ණ පෝෂණයක්, සතුටක් ලැබෙන්න ඒ අපූරු පුරුදු ඉවහල් වුණා. අද අපේ ජීවිත ඒ තරම් සරල නැති බව විශ්වාසයි. ඒත් අපිට සංස්කෘතියෙන්ම ලැබුණු සමහර දේවල් සහ මුලින්ම අමතක කිරීම අපේ දරු පරපුර රෝගී කරන්න හේතු වෙලා තියෙන බව නම් සත්‍යක්.

රුව වඩවන වෙරළු
එදා ඉඳන්ම වෙරළු කොළ හිස කෙස් වලට හොඳ සත්කාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. කොටාගත් වෙරළු කොළ යුෂ නෑමට පෙර හිස්කබලේ ආලේප කිරීමෙන් හිසට සිසිලසක් වගේම හිස්හොරි වලට හා උකුණන් වඳ කිරීමට හිසකෙස් වල වර්ධනයට ගුණදායක බව අතීතයෙන් පැවත එන ආයුර්වේද රහසක්.

රෝග නසන්නත් වෙරළු කදිමයි
වෙරළු වල ප්‍රතිජීවක ගුණ ඇති අතර එය ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරනවා. ඖෂධ සඳහා වෙරළු කඳේ පොතු භාවිත කරන්නේ ඒ නිසයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් මෙන්ම ආහාර ඉතා හොඳින් දිරවීමට උදවු කරන කෑමක්. අනෙක් අතට ආතරයිටිස් හා ඇදුම වැනි රෝග වලටත් වෙරළු සුදුසු බව පැවසෙනවා.

වෙරළු වලින් කෑම වගේම බීමත් හදාගන්න පුළුවන් වෙරළු වාරයට වෙරළු ගස් යට මල් අතුරලා වගේ ගෙඩි වැටෙනවා. ඒ කාලෙට
වෙරළු කිරි, වෙරළු අච්චාරු, වෙරළු තම්බලා, වෙරළු පැණි දාලත් හදාගන්න පුළුවන්. වෙරළු කිරි/ වෙරළු ස්මූදි වෙරළු කිරි හරියට ස්මූදි එකක් වගේ.

සාදාගන්න ආකාරය – හොඳින් ඉඳුණු වෙරළු ගෙඩි 25 ක් පමණ අරගෙන බ්ලෙන්ඩරයක නැතිනම් හැන්දකින් හොඳින් පොඩි කරගෙන ඇට ඉවත් කරගන්නවා. ඉන්පසු ඊට පොල්කිරි කැමති නම් සීනි අවශ්‍ය පමණක්, ලුණු ස්වල්පයකුත් එක්කර ගන්නවා. ඉන්පසු අවශ්‍ය පමණ වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කරගැනීමෙන් ඔබේ දරුවන්ට හොඳ රස පලතුරු බීමක් හදාගන්න පුළුවන්. පොල්කිරි වෙනුවට එළකිරි ටිකක් හා අයිස් ක්‍රීම් ටිකක් පොඩිකර ගත් වෙරළු වලට එක්කර ගැනීමෙන් දරුවන්ට ගුණයෙන් පිරි, හොඳ වෙරළු ස්මූදි එකක් හදලා දෙන්න පුළුවන්. වස විස නැති රසවත් අතුරුපසක් දරුවන්ට හදලා දෙන එක තරම් සතුටක් මවකට කොයින්ද?

වෙරළු අච්චාරු
හොඳින් පැහුණු වෙරළු වලට ලුණු, ගම්මිරිස්, මිරිස් ස්වල්පයක් එකතු කර වංගෙඩියකට දමා තලා ගත්තහම හොඳ අච්චාරුවක් හදාගන්න පුළුවන්. ඉඳහිට දරුවන්ට වෙනසකට ඔබට කඩේ ඇති කටගැස්ම පැකට් මිලදීගෙන දෙනවට වඩා මේ කෑම හරි අපූරු අත්දැකීමක් වේවි.

වෙරළු තම්බලා
පැසුණු වෙරළු කහ, ලුණු සමග තම්බා ගන්න පුළුවන්. හොඳින් පැසුණු වෙරළු තම්බා ගත් විට එය ඉරි තලා එහි තද ගතිය නැතිවී යනවා. ඒ නිසා දරුවන්ට ඇටය ඉවත්කර ගැනීම පහසු වෙනවා. එහි රසයත් ඉහළ බව එක වරක් කෑවොත් ඔබ නොවැරදීම කියාවි.

පැණි තැවරූ වෙරළු
ඉතා හොඳින් ඉදුණු වෙරළු හැන්දකින් යන්තම් පොඩි කරන්න. දැන් ඊට කිතුල් හෝ මීපැණි ටිකක් එකතු කර ගන්න. අතුරුපසක් ලෙස රස ගුණ ඉහළ බව ඔබට දැනේවි.

මේ කොයි ක්‍රමයටත් දරුවන් ලැබෙන අම්මලා නම් හරිම කැමතියි. ඉන් ශරීරයට විටමින් C ඇතුළු විටමින් රැසක් ලැබෙන අතර ඉතා හොඳ මානසික තෘප්තියකුත් ලැබෙනවා. සිලෝන් ඔලිව් ලෙසත් හඳුන්වන වෙරළු ගෙඩියක් අපේ දරුවන්ට රස විඳින්න නොලැබුනොත් එය කෙතරම් අඩුවක් දැයි දැන් ඔබට වැටහේවි.

අපෙන් අමතකව වියැකී යන මේ වටිනා ගුණයන් ඉතා පහසුවෙන් අපේ නිවසට ආයෙත් රැගෙන එන්න දෙමාපියන් ලෙස අපට පුළුවන්. මිල අඩු ගුණ වැඩි වෙරළු ගැන මතකය අවදි කරන්න theAsianparent Sri Lanka අපි සිතුවේ ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබට වටිනාකම් ගැන මතක් කර දෙන්නට නිතර වෙර දරන නිසයි.

ගෙදරදීම පහසුවෙන් වරකා ජෑම් හදන විදිය මෙන්න

අද උදේ චුන් පාන් මල්ලි අපේ ගෙවල් පැත්තට ඇවිල්ල නෑ . අල්ලපු ගෙදර පොඩි එකා අම්මත් එක්ක ලොකු කතා බහක් මට ඇහෙනවා .අනේ අම්මේ ජෑම් පාන් ඕනේ ජෑම් පාන් කන්ඩ නැත්නම් මම කන්නෙ නෑ හොදේ බෑ බෑ බෑමයි …මළ හත්තිලව්වක් තමයි දැන් වෙලා තියෙන්නේ දැන් කාලේ ඉන්න පොඩි එවුන් ට ආයේ ඉතින් බැහැ කිව්වොත් බැහැ ම තමා .ඒකට අපේ කාලේ මොනවා ඉල්ලුවත් අපේ අම්මලා තාත්තලා නං අපිට කිසිම දෙයක් දුන්නෙ නෑ .අපිට අවශ්‍ය වෙලාවට ඉල්ලන්නත් කලින් ගෙනත් දුන්නා .හැබැයි ඉල්ලීම් වලට තර්ජන වලට බය වෙලා පොඩි එවුන්ට දේවල් ගෙනත් දෙන ක්‍රමේ පරණ සම්ප්‍රදායේ නෑ … ඒකනේ අදත් අපි මේ විදිහට හොඳින් ඉන්නේ … මොකද ඉතින් අපි තර්ජන ගර්ජන නෑ වැඩ විතරයි තියෙන්නේ…

ඔන්න කතාවෙන් පොඩ්ඩක් පීලි පැන්න මගේ සාමාන්‍ය කතා ශෛලිය ඔහොම තමා අපේ අම්මා කියන විදිහට ඕක ආරෙට ආපු ප්‍රශ්නයක් ලූ.හරි හරි ඒකෙන් මේකෙන් වැඩක් නෑ කතා කර කර හිටියේ චුන් පාන් මල්ලි නැති හින්දා එහා ගෙදර පොඩි එකාගේ ගෝරනාඩුව ගැනනෙ .පොඩ්ඩක් මේ ජෑම් පාන් ප්‍රශ්න ගැන වෙනස් විදියකට හිතන්න ගත්තා.කෑම වගේම පානුත් ප්‍රශ්නයක් අපි ජෑම් ගැන කතා කරමු .

ඇයි අපිට බැරි අපේ ගස් වටේ වැටිල යන වැලවරක ටික ජෑම් කරන්න ඔබට එහෙම හිතුනද ?හරි සමහර වෙලාවට ගොඩක් අයට හිතිලත් ඇති .එහෙම හිතුව නං ඒක ජාතියේ වාසනාවක්.හරි මේ තියෙන ප්‍රශ්නයෙන් පොඩ්ඩක් ගොඩ එන්නත් එක්ක අපි වරකා වලින් ජෑම් හදමු ද?

රෙසිපි එකේ ලොකු වෙනසක් නැහැ හරියට ගත්තොත් අන්නාසි ජෑම් හදනවා වගේ මයි.ලිපියට ඕන පින්තුර ටික හොයන්න මං ඉන්දියාවේ ජාලය උඩ පොඩ්ඩක් එහෙට මෙහෙට දිව්වා කිරි අප්පට බල්ලෝ පැනපි කියන්න ඉන්දියාවේ ජයටම ජෑම් කනවා වරක වලින් .ශාරුක් ඛාන් අමීර් ඛාන් amithabh bachchan අයියලා සෙට් එකම දැන් කන්නේ වරකා ජෑම් .ආයෙත් ඉතින් අපේ අයියලාට අක්කලටත් ඉන්දියාවේ කොපියක් කිව්වොත් ෂුවර් එකටම කරයි .ඔන්න එහෙනම් ඉන්දියාවේ ක්‍රමයට අපි වරකා ජෑම් හදමු .කැමැති ඇත්තෝ ලංකාවේ අන්නාසි ජෑම් හැදුව විදිහටම අඹ ජෑම් හැදුව විදිහටම පොඩ්ඩක් අමුද්‍රව්‍ය ටික නං මාරු කරගන්න .ඔන්න එහෙනම් ඉතින් “නමස්තේ” කිව්ව …හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න හින්දි කතා කරන්න ගිහිල්ලා මමත් හින්දි කරණය වෙලාද කොහෙද …ඔන්න එහෙනම් මං ගිහින් එන්නං ආවඩා ආයුබෝ වේවා ….

හොදින් ඉදුණු වරකා ගෙඩියක් හොයාගන්න. වරකා ගෙඩිය කපා ගන්න. ඇට හා සිබිඩ්ඩ ඉවත් කරන්න. සුද්ද කර වරකා බ්ලෙන්ඩර් එක්කින් අබරා ගන්න. පේස්ට් එකක් වෙනතුරු අබරා ගන්න. වරකා ප්‍රමාණයට ගැළපෙන්න සීනි එකතු කරන්න. මද ගින්නේ පිසගන්න. පදම එන තුරුම මදගින්නේ හැදිගාන්න. අවශ්‍යනම් පමණක් ආහාර වර්ණක එකතු කරන්න. පාදම ඝනකම වනතුරු මදගින්නේ හැදිගාන්න. ලිප උඩ නිවෙන්න ඉඩ හරින්න. මදක් හැදිගාමින් නිවෙන්න හරින්න. දැන් වියලි විදුරු බෝතලයකට අසුරාගන්න. ඔන්න වරකා ජෑම්..

තෙරුවන්ගේ සරණයි – උදිත් නිරෝෂන කුලසූරිය.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කෑම රසකර ගන්න තුන පහ වට්ටෝරු 6ක් ගෙදරදීම පහසුවෙන් හදාගන්න විදිය

අපේ තාලෙට කරියක් හදාගන්න කොට බැදපු පහේ ටිකක් ඕනෙමයි. පොලොස් මාළුවට, මස් කරියට, මාළු කරියට වගේ සැරට හදාගන්න කොයි කරියටත් බැදපු පහේ ටිකක් දාගත්තෙ නැත්නම් රස සුවඳ ගාණට නෑ.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි ඇට 300g, සූදුරු 100g, මාදුරු 10g, කුරුඳු අඟල් 4, සේර අඟල් 4, කරදමුංගු ඇට 5යි, කරාබු නැටි 10යි, හාල් තේ හැඳි 6, රම්පෙ අඟල් 5ක්, කරපිංචා ඉති 3ක්.

මේ සියල්ලම වෙන වෙනම රන්වන් පැහැයට වඩා තද පැහැයක් ගන්නා තුරු කර නොකර ගෙන කබලේ බැදගන්න. තරමක් නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න. මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව.

අමු පහේ
සුදට හදන ඕනෙම හොද්දකට පරිප්පු කරියකට අමු පහේ ටිකක් නම් නැතුවම බෑ. අමු පහේ හදන කොට වැඩිපුර ප්‍රමාණයක් හදා නොගෙන මාසයකට පමණ ඇති ප්‍රමාණය හදාගන්නව නම් වඩා හොඳයි. කල් තබා ගන්න කාලය වැඩි වෙන තරමට පහේ වල රසත් සුවඳත් අඩු වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි ඇට 300g, සූදුරු 100g, මාදුරු තේ හැන්දක්, කුරුඳු අඟල් 4, සේර අඟල් 4, කරදමුංගු ඇට 5යි, කරාබු නැටි 10යි, හාල් තේ හැඳි 6, රම්පෙ අඟල් 5ක්, කරපිංචා ඉති 3ක්, වියළි කහ අඟල් 1/4ක කෑල්ලක්.

රන් වන් පැහැ වන තෙක් සියල්ලම වෙන වෙනම කබලේ බැදගන්න. පමණට වඩා බැදගන්න එපා. සුවඳ හමන ගාණට රත් වුන පසු ලිපෙන් ඉවත් කරගන්න. මදක් නිවුණු පසු සියල්ල එකට එක් කොට කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න.
මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව.

ගරම් මසාලා
ඉන්දියන් රෙසිපියක් හදන්න ගත්තොත් අනිවාර්යෙන් ගරම් මසාලා බොහෝ ආහාර වලට ඕනෙමයි. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගන්න එක ලේසියි නැවුම් වගේම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි 100g, සූදුරු 50g, කරදමුංගු 30g, කරාබු නැටි 30g, ගම්මිරිස් 15g, මහදුරු 15g, කුරුඳු අඟල් 4, බේ ලීව්ස් 4ක්, සාදික්කා පොඩි ගෙඩියක්, ස්ටාර් අනීස් 1, වසාවාසි 3ක්.

සියලුම ද්‍රව්‍ය වෙන වෙනම සුවඳ එන තෙක් කබලේ බැදගන්න. පාට වෙනස් වෙන තුරු බැදගන්න එපා. නිවුණු පසු හොඳින් කුඩු කරගන්න. සුළං නොවදින ලෙස වසා තබාගන්න.

මස් කරි තුනපහ
මේ මස් කරි තුනපහ එක මස් වලටම විශේෂයෙන් හදාගන්න කරි පව්ඩර් එකක්. මේකට අමුතුවෙන් මිරිස් හෝ බැදපු පහේ එක් කරන්න අවශ්‍ය නැහැ. මේ පහේ එක විතරක් ප්‍රමාණවත්.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි ඇට 50g, මාදුරු 50g, සූදුරු 50g, උළු හාල් 10g, කරදමුංගු ඇට 10, කරාබු නැටි 10, කුරුඳු අඟල් 2, වියලි මිරිස් කරල 80g, සේර අඟල් 3, කරපිංචා ඉති 4, අබ 10g, වියලි කහ අඟල් 1/2ක කෑල්ලක්, හාල් මේස හැන්දක්.

සියල්ල වෙන වෙනම රන් වන් පැහැයට වඩා තරමක් තද පැහැ වන තෙක් කර නොකරගෙන බැදගන්න. නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. සුළං නොවදින ලෙස අසුරාගන්න.

ජැෆ්නා කරි පව්ඩර්
නම කිව් ගමන් දන්නවනෙ. දමිළ අයගෙ කෑම වල ඔවුන්ටම ආවේණික රසක් සුවඳක් තියෙනව. අපේ කරි පව්ඩර් වලට වඩා වෙනස් රසක් කරියකට එක් කරන්න මේ ජැෆ්නා කරි පව්ඩර් සමත්.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි ඇට 200g, වියලි මිරිස් කරල් 200g, ගම්මිරිස් ඇට 40g, සූදුරු 40g, මහදුරු 60g, උළුහාල් 15g, වියළි කහ අඟල් 1 1/2ක කෑල්ලක්, කරපිංචා ඉති 3ක්.

සියළුම ද්‍රව්‍ය වෙන වෙනම රන්වන් පාට වන තුරු කබලේ බැදගන්න. නිවෙන්නට හැර කුඩු කර සුළං නොවදින සේ අසුරා ගන්න.

සාම්බාර් මසාලා පව්ඩර්
තෝසෙ එකක් කන්න සාම්බාර් ගෙදර හදාගන්න කොච්චර ආස උනත් අර සයිවර් කඩෙ සාම්බාර් එකේ රස ගන්න හරිම අමාරුයි. මෙන්න ඒකට පිළිතුර. සාම්බාර් මසාලා පව්ඩර්. මේක හදල තියාගත්තොත් සයිවර් කඩෙන් සාම්බාර් කන එකක් නෑ ආයෙ.

අවශ්‍ය ද්‍රව්‍ය – කොත්තමල්ලි ඇට 50g, කඩල 20g, උඳු ඇට 20g, කඩල පරිප්පු 15g, වියළි මිරිස් කරල් 10, කරපිංචා ඉති 2, උළුහාල් තේ හැඳි 3/4, සූදුරු තේ හැඳි 2, ගම්මිරිස් ඇට තේ හැන්දක්, පෙරුම්කායම් තේ හැඳි 1/8, කහ කුඩු තේ හැඳි 1/2

කඩල, උඳු, පරිප්පු සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් අඩු ගින්දරේ කබලේ බැදගන්න. එයට කොත්තමල්ලි, උළුහාල් සහ කරපිංචා එක් කර කරපිංචා වියලෙන තුරු කබලේ බදින්න. සූදුරුද එක් කර බැදෙන්නට හැර ලිප නිවා තැටියේ රස්නය තිබියදීම කහ සහ පෙරුම්කායම් එක් කරන්න. නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස අසුරාගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගෙදරදීම පහසුවෙන් හදන්න පුළුවන් වටලප්පන් වර්ග 3 ක් රෙසිපි එකත් එක්කම මෙන්න

“වටලප්පම්” ජාති ආගම් බේදයකින් තොරව කවුරුත් කන්න කැමතිම අතුරුපසක්. ලංකාවේ අපේ මැලේ ජාතිකයන්ගෙන් කරලියට ආවයි කියලයි කියන්නෙ. අලගිය මුලගිය තැන් කොහොම උනත් මේ රසවත් අතුරුපස හදාගන්න ක්‍රම දෙක තුනක් කියල දෙන්නයි මේ හදන්නෙ. හිල් හිල් ටෙක්ස්චර් එක තියෙන, පිළීගඳ නැති, පැණි බේරෙන වටලප්පමක් හදාගන්න රස රහස් ටිකකුත් කියල දෙනව අද. හදමු එහෙනම් වටලප්පම්.

පුඩින්ද? වටලප්පන්ද?
වටලප්පන් වලට පොල් කිරි මිසක් ෆ්‍රෙශ් මිල්ක් හෝ මිල්ක්මේඩ් පාවිච්චි කරන්නෙ නැහැ. ඒවා දාල හකුරු දාල හදන්නෙ පුඩිමක් මිසක් වටලප්පමක් නෙවෙයි.

උකු පොල් කිරි ගන්න
උකු පොල් කිරි ගන්න. පොල් කිරි දිය ගතියට වැඩි නම් වටලප්පන් එක හොඳට සෙට් වෙන්නෙ නෑ. හුඟක් වෙලා ස්ටීම් කරන්නත් වෙනව. කිරි මිරිකල ෆ්‍රිජ් එකේ පැයක් විතර තියල වතුර ටික යටට බැස්සම උඩ එකතු වෙන පොල් ක්‍රීම් එක ගන්නත් පුළුවන්. ලංකාවෙන් පිට ඉන්න පොල් හොයාගන්න අමාරු අයටත් ටින් කළ පොල් ක්‍රීම් ගන්න පුළුවන්.

තද පාට කිතුල් හකුරු ගන්න
තද පාට කිතුල් හකුරු ගන්න. වටලප්පම පාට කරන්න සමහරු සීනි කැරමල් කරල එකතු කරනව. තද පාට කිතුල් හකුරු ගත්තොත් එහෙම කරන්න අවශ්‍ය නෑ. හකුරු හොයාගන්න බැරි අයට කිතුල් පැණි හෝ දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන්. ඒත් හරිම වටලප්පම හදන්නෙ කිතුල් හකුරු වලින්.

බිත්තර පිළී ගඳ
සමහරු වටලප්පන් කන්න කොච්චර ආස උනත් නොකා ඉන්නෙ බිත්තර පිළී ගඳයි කියල. බිත්තරය කැඩුවම කහ මදය අයිනෙ තියෙන සුදුපාට ඝණ නූල වගේ කොටස ඉවත් කළාම පිළී ගඳක් එන්නෙ නෑ. බිත්තර ලොකු ප්‍රමාණයකින් හදනකොට එකින් එක ඉවත් කරන්න අපහසු නිසා වඩා පහසු බිත්තර ටික ගෑරප්පුවකින් යන්තම් ගසාගෙන ස්ටේන්ලස් ස්ටීල් දැල් පෙරනයකින් පෙරාගන්න එක. අර ඝණ කොටස පෙරනයේ ඉතිරි වෙනව.

හිල් හිල් තියෙන වටලප්පම
වටලප්පමේ හිල් හිල් ගතිය තියෙන එක තමා නියම වටලප්පම. ඒ විදියට හදාගන්න නම් බිත්තර විතරක් බීට් කරන්න. හැමදේම එකට දාල බීට් හෝ බ්ලෙන්ඩ් කලොත් හිල් හිල් ගතිය එන්නෙ නෑ.

හකුරු වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
ගා ගත් කිතුල් හකුරු 400g (වෙනම හකුරු 100g කුත් පැත්තකින් තියාගන්න), උකු මිටිකිරි 320ml, බිත්තර 8, ලුණු චුට්ටක්, කරදමුංගු කරල් 8ක්

මෙන්න හදන හැටි
ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න. බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න. ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න. වටලප්පම ස්ටීම් කරන භාජනය ගෙන එහි අඩියට වෙනම අරන් තියාගත් හකුරු 100 අතුරාගන්න. එයට උඩින් වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්. වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 40-50ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.

අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.)

පැණි වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
කිතුල් පැණි 400ml, උකු පොල් කිරි 350ml, බිත්තර 8, කරදමුංගු කරල් 8, ලුණු චුට්ටක්

මෙන්න හදන හැටි
පැණි වලට පොල් කිරි එක් කර මිශ්‍ර කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර වලට ලුණු එක් කර පෙර සඳහන් කළ පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න.

සීනි වටලප්පන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
දුඹුරු සීනි 450g, උකු පොල් කිරි 300ml, බිත්තර 8, කරදමුංගු 8

මෙන්න හදන හැටි
සීනි ටික පොල් කිරි වලට එක් කර හොඳින් දිය කරගන්න. එයට හොඳින් ගසාගත් බිත්තර එක් කර මිශ්‍ර කර පෙර පරිදිම ස්ටීම් හෝ බේක් කරගන්න.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

රස කාරක නැතිව කටට රසට ගමේ විදියට කෑම උයන මේ ක්‍රම ටික ඔබත් දැනගන්න

රස කාරක එකතු කරන්නේ නැතුව, කෑම වල රසය ගුණය වැඩි කර ගන්න පුලුවන් නම්, එය ඔබේ සෞඛයට ගොඩක් හිතකරයි නේද??? ඇත්තටම අද කාලේ ගෘහණියෝන්ට නම් රස කාරක නැතුව රසට උයන එක ගොඩක් අමාරු වෙලා තියෙනවා. එත් ඉස්සර අපේ අම්මලා , ආච්චිලා මේ කිසිම රසකාරක වර්ගයක් නැතුව හරිම රසට කෑම ටික ඉව්වා. රසට උයන වැඩේ හැමෝම අමාරුයි කියලා තමයි හිතන්නේ.

ඒත් ඇත්තම කතාව නම් රසට උයන්න රස කාරක වර්ග අවශ්‍ය වෙන්නෙම නෑ. ඒ කොහොමද කියලා අද විශ්ම ලෝකයෙන් අපි කියලා දෙනවා. එහෙනම් අද ඉදන් කෑම උයන කොට මෙන්න මේ රහස් ඉහුම් පිහුම් ක්‍රම ටික අනුගමනය කරන්න. මේ දේවල් හරියටම ඉගෙන ගත්තා කියන්නේ ඉතින් රහට උයනවා කියන එක හරිම පහසු වැඩක් වෙනවා.

අල වර්ග තැම්බීමේදී එයට ලුණු ස්වල්පයක් එකතු කරන්න. එවිට අලවල පෝෂණ ගුණ විනාශ වෙන්නේ නැතුව අල ව්‍යංජනය සකස් කර ගන්න පුළුවන් වෙනවා. එළවළු කපා ගැනීමට පෙර සෝදා කපන්න. නැත්නම් පෝෂණය නැති වෙන්න ඉඩ තියෙනවා. කරවල වල අධික ලුණු රසය අඩු කර ගැනීමට , ඒවා කුඩා කැබලි වලට කපා පොල් වතුර එකක සුළු වේලාවක් තිබෙන්න හරින්න. ඉන් පසුව පිස ගන්න. තම්බපු බිත්තරයක් දෙකට පලා ගැනීමේදී කහ මදය නොකැඩී බිත්තරය කඩා ගැනීමට, ඒ සදහා යොදා ගන්නා පිහිය අයිස් වතුරේ ටික වෙලාවක් තබා කපන්න. ගෝවා පිසීමේදී ඇතිවන දුර්ගන්ධය නැති කිරීමට , පාන් කුඩු ස්වල්පයක් වෑංජනයට එක් කරන්න. තැළිච්ච තක්කාලි පොඩි නොවී කපා ගැනීමට නම් ,විනාඩි 10ක් පමණ විනාකිරිවල බහා තබන්න. කපා ගත් පතෝල කැබලි , පිසීමට පෙර විනාඩි 5ක් පමණ , ලුණු වතුරේ තබා මිරිකා ගෙන පිසීමෙන් පතෝල ව්‍යංජනය වඩාත් රසවත් ලෙස සකස් කර ගන්න පුළුවන්.

බත් පිසින විට බත් එකට දෙහි ඇඹුල් ටිකක් එකතු කරන්න. එවිට බත් ඇට එකට ඇලෙන්නේ නෑ. ඒ වගේම තමයි බත් එකට හොඳ පැහැයක්ද ලැබෙනවා. බිත්තර තම්බන විට , එම වතුරට විනාකිරි හෝ ලුණු දමන්න. එවිට බිත්තර පුපුරා යෑමකින් තොරව තම්බා ගන්නට පුළුවන්.

මාංස වර්ග තද ගතියක් ඇත්නම් බුරුල් කර ගැනීමට ගස්ලබු ගැටයක් කිරි පිටින්ම දමන්න. ඒ කියන්නේ කිරි ඉවත්කරන්නේ නැතුව ගෙඩිය හෝදලා දාන්න ඕනේ. මෙහෙම කරාම මාංස වර්ග මෙළෙක් බවකින් යුතුව උයා ගන්න පුළුවන්.

පොලොස් වෑංජනය මෘදු කර ගැනීමට මෙන්ම වෑංජනය රත් පැහැ කර ගැනීමට , විට කන හුනු ස්වල්පයක් එක් කරන්න. රතු ලූනු සුද්ද කරන විට මඳක් උණුසුම් වතුරේ තබා ගත් පසු දෑස්වලට සැර වෙන්නේ නෑ. වෑංජනයකට දෙහි එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමෙන් පසුව දමන්න. නැත්නම් එහි ගුණය මෙන්ම රසයද අඩු වෙනවා හොද්ද කැටි ගැසීම වැළැක්වීමට ළිපෙන් බා ගත් පසු අඩුම තරමේ විනාඩි 2ක් වත් හැඳි ගාන්න ඕනේ. වෑංජනවලට අබ එක් කිරීමේදී ළිපෙන් බා ගැනීමට මොහොතකට පෙර අබ එකතු කරන්න. නැතහොත් අබ තැම්බී වෑංජනය තිත්ත රස වෙන්න පුළුවන්. ශීතකරණ ගත කළ මස් , මෘදු කර ගැනීමට පොල් වතුර හෝ විනාකිරි මිශ්‍ර වතුරේ බහා තබන්න. එවිට මස් ටික බුරුල් වෙනකම් ගොඩක් වෙලා බලා ඉන්න ඕනේ නෑ. ශීතකරණයක් නොමැති නිවෙස්වල මිරිස් ගුළි අඹරා තබන විට ඒ මත ලුණු කැටයක් තියන්න. එවිට එම ලුණු කැටය දිය වී මිරිස් ගුළියේ තැවරීමෙන් නරක් වීමකින් තොරව තබා ගන්නට පුළුවන්.

හොද්දට ලුණු වැඩි වූ විට අල පෙත්තක් හෝ ඇපල් පෙත්තක් දමන්න. මෙහෙම දැම්මම හොද්දේ වැඩිපුර ලුණු ගතිය ඒවාට උරා ගන්නවා. පසුව ඒ ඇපල් පෙත්ත හෝ අල පෙත්ත හොද්දෙන් අයින් කරලා දාන්න. පොල්තෙල් කාලයත් සමඟ මුඩු වෙන්නේ බලනවනේ. මේ විදියට පොල් තෙල් මුඩු වෙන එක නතර කර ගන්න පුළුවන් පොල් තෙල් බෝතලයට ලුණු කැටයක් දැම්මොතින්. බත බෙරි වූ විට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මඟ හරවා ගන්නට පුළුවන්. මාළුවල පිළී ගඳ නැති කිරීමට මාළු සෝදන විට කහ කුඩු ස්වල්පයක් හා දෙහි ලෙල්ලක් අතුල්ලන්න. පුහුල්, කැකිරි කල් තබා ගැනීමට එහි නැට්ට වටේ පිහියෙන් කපා තබන්න. සුප්වලට පැණි ‍දොඩම් එක් කිරීමෙන් වඩා රසවත් ලෙස සුප් එක පිළියෙළ කර ගන්න පුළුවන්. මඳක් පිපිරුණු බිත්තර තම්බන විට විනාකිරි යොදා ගතහොත් බිත්තරය පිටතට විසිරීම වළක්වා ගන්න පුළුවන්.

මිරිස් බදින විට පොල්තෙල් ස්වල්පයක් අඩියට එක් කිරීමෙන් මිරිස් සැර අවට විසිරීම වැළකෙනවා. මී පැණි කිසිදු වෙනසකින් තොරව කල් තබා ගැනීමට අවශ්‍ය නම් එයට මිරිස් ඇටයක් දමන්න. බණ්ඩක්කා පිසින විට එයට දෙහි එක් කිරීමෙන් සෙවල ගතිය නැති වී වඩාත් රසවත් වෙනවා. කකුළුවන්, ඉස්සන් පිසින විට එයට මුරුංගා කොළ එකතු කර පිස ගන්න. එවිට ඒවායේ විස ඇතොත් විනාශ වී යනවා. පලා මැල්ලුමට , පොල්තෙල් හෝ එළඟි තෙල් එකතු කරලා මලවා ගත්තොත් , පලා මැල්ලුම ඉතාම රසවත්ව හා ගුණයෙන් වැඩි ලෙස හදා ගන්න පුළුවන්. මිරිස් බදින විට විනාකිරි වල දමා බැදීමෙන් වඩාත් රසවත් කර ගන්න පුළුවන්. බත් එක රොස් උනොත් මොකද කරන්නේ. රොස් වූ බත් බඳුන ඇල් වතුර බඳුනක් මත තබා දුම් පිට වූ පසු එහි රොස් ගතිය , දුගඳ ඉවත් වෙනවා. කොහිලවල නූල් ඉවත් කර ගැනීමට නම් ලුණු කැට ස්වල්පයක් එකට මිශ්‍ර කර ඉවත් කරන්න. කොළ ජාති මැලවී යෑම වැළැක්වීමට කඩදාසියක ඔතා ශීතකරණයේ තබන්න.

එහෙනම් යාලුවනේ මීට පස්සේ කෑම උයන කොට මේ සරල ක්‍රම ටික හොදින් මතක තියා ගන්න. මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් උනා කියලා හිතෙනවා නම් තවත් අයට බලන්න පහලින් ශෙයා කරන්න.

(උපුටාගැනීම විශ්ම ලෝකය පිටුවෙනි)

හරියටම එළු මස් කරියක් හදන හැටි දැනගන්න, රෙසිපි එකත් එක්කම මෙන්න

ගොඩක් ගෘහණියන් එළු මස් කරියක් කොහොමද හරියටම හදන්නේ කියලා දැනුවත් නෑ. ඉතින් ඔන්න අපි අද කියන්න යන්නේ වස විස නැති එළු මස් කරියක් කොහොමද හරියටම ගෙදරදීම රසට හදාගන්නේ කියලා. අවශ්‍ය කරන දේවල් පහතින් තියෙනවා.

මේ තියෙන්නේ අවශ්‍ය දේවල් – එළු මස් 1kg ක්,අර්තාපල් අල ලොකු ගෙඩි 1 ක් (කොටු කපා), පොල්තෙල් තේ හැඳි 3 ක්, ලූණු ලොකු ගෙඩි 3 ක් (පොඩියට කපා ගත්), කරපින්චා ඉත්තක්, ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 2 ක්, කහ කුඩු තේ හැඳි 1/2 ක්, මිරිස් කුඩු මේස හැඳි 1 ක්, තුනපහ තේ හැඳි 3 ක්, තක්කාලි සාමාන්‍ය තරමේ ගෙඩි 2 ක්, රස පදමට ලුණු, උණු වතුර කෝප්ප 2 ක්.

මෙන්න සාදන ක්‍රමය – වළඳක පොල්තෙල් රත් වෙන්න හැර එයට ලූණු, කරපින්චා සහ ලුණු පොඩ්ඩක් දමා රන් වන් වනතුරු පිස ගන්න. එයට ඉඟුරු සුදුලූණු පේස්ට් එක එකතු කර සුවඳ හමන තුරු විනාඩි 2-3ක් පිස ගන්න. ලිපේ ගින්දර අඩු කර කහ, මිරිස් කුඩු, තුනපහ එකතු කර විනාඩියක් පමණ පිස ගන්න. පිලිස්සෙන එක නැති කරන්න එයට වතුර තේ හැන්දක් පමණ එකතු කරන්න. තුනපහ වල පිසුනු සුවඳ එන විට තක්කාලි ටික එකතු කර මෘදු වන තෙක් පිස ගන්න. එළු මස් ටික සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. උණු වතුර කෝප්ප දෙක එකතු කර හොඳින් මිශ්‍ර කර ගින්දර අඩු කර මූඩියකින් වසා විනාඩි 30ක් පමණ පිස ගන්න. මස් ටික සියයට 75ක් පමණ පිසීගෙන එන විට අර්තාපල් අල ටික එකතු කර තවත් විනාඩි 10-12ක් අල මෘදු වන තෙක් පිසගෙන ලිපෙන් ඉවතට ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ගොඩක් ගෘහණියන් දැනුවත් නැති කොස් ඇට කළුපොල් මාළුව හදන හැටි

ගොඩක් දෙනෙක් කළුපොල් මාළුව ගැන අහලා තිබුණට අතළොස්සක් විතරයි කළුපොල් මාළුවේ රසය ගැන දන්නේ. අන්න ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර කළුපොල් මාළුවක් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය – ලොකු කොස් ඇට 25 ක් පමණ, සිහින්ව කපාගත් රතු ළුණු මේස තේ හැඳි 04 ක්, සිහින්ව කපාගත අමු මිරිස් කරල් 04 ක්, කරපිංචා දළු ස්වල්පයක්, උම්බලකඩ මේස තේ හැඳි 04 ක්, ලුණු ස්වල්පයක්, තුනපහ සහ බදපු මිරිස් කුඩු, පොල් කිරි කෝප්ප 01 ක්, බැද අඹරා ගත් පොල් මේස තේ හැඳි 02 ක්, බැද අඹරා ගත් හාල් මේස තේ හැඳි 02 ක්

සාදන ආකාරය :
මුලින්ම කොස් ඇට පිරිසිදු කර, පොතු පිටින් කුඩා කැබලිවලට වෙන් නොවන සේ තලා ගන්න. මැටි වලඳකට තලාගත් කොස් ඇට දමා තැම්බෙන්න අවශ්‍ය පරිදි වතුර එකතු කරන්න. බැදපු හාල්, පොල් හා පොල් කිරි හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න. කොස් ඇට හොඳින් තැම්බෙන්න දෙන්න. කොස් ඇට තැම්බුණාට පස්සේ බැදපු හාල්, පොල් සහ පොල් කිරි එකතු කරන්න. විනාඩි 10 ක් පමණ තැම්බෙන්නට හැර ලිපෙන් ඉවතට ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

ළපටි දඹල වලින් රසට සම්බෝලයක් හදමුද?

දඹල කියන්නේ ප්‍රෝටීන්, හිතකර මේද සහ තන්තු බහුල එළවළුවක්. උයන්නේ නැතිව අමුවෙන් මේ එළවළුව කන්න පුළුවන් නම් එහි ඇති පෝෂණ ගුණය එලෙසින්ම අපිට ලබා ගන්න පුළුවන්. අද හැඩකාරී අපි රුව ගුණ රැකදෙන, සෞඛ්‍ය සම්පන්න දිවියකට උදව් වෙන ළපටි දඹල සම්බෝලය හදන හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :
ළපටි දඹල 50g ක්, රතු ළූනු 50g ක්, පොඩි තක්කාලි ගෙඩි 1 ක්, අමු මිරිස් කරල් 2 ක්, ගාගත් පොල් 25g ක්, ගම්මිරිස් තේ හැඳි 1 ක්, දෙහි ස්වල්පයක්, ලුණු පදමට

සාදන ක්‍රමය :
දඹල සුද්ද කර ගෙන දෙපැත්ත කපා ඉවත් කර හීනියට කපා ගන්න. රතු ළූනු, තක්කාලි සහ අමු මිරිස් හීනියට කපා ගන්න. පසුව පොල් සමග දෙහි, ලුණු සහ ගම්මිරිස් හොඳින් අනා ගන්න. ඉන් පසු කපා ගත් සියලුම දේ පොල් සමග මිශ්‍ර කරන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)

තේ මේසෙට රස මාළු පාන් හදමුද? රෙසිපි එකත් එක්කම පහසුවෙන් හදන හැටි මෙන්න

මාළු පාන් කිවුවම කන්න ආස නැත්තේ කවුද නේද? තේ මේසෙට උණු උණුවට රසට මාළු පාන් එකක් තිබුණොත් කොහොමද? කදිමයි නේද? ගොඩක් ගෘහණියන් හිතන්නේ මාළු පාන් ගෙදරදීම හදන්න අමාරුයි කියලා. ඔන්න අපි අද කියන්න යන්නේ ගෙදරදීම රසට මාළුපාන් හදන හැටි ගැන.

පිටි මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – පන් පිටි 450g ක්, බටර් 40g ක්, ඊස්ට් මේස හැදි 1ක්, සීනි තේ හැදි 1ක්, වතුර කෝප්ප 1ක්, ලුණු තේ හැදි 1/2ක්

පිටි මිශ්‍රණය හදන හැටි
මුලින්ම පිටි හා ලුණු එකිනෙකට හොදින් කවලම් කරගන්න. එයට බටර් එකතුකර මිශ්‍රකරගන්න. මීලගට සීනි, ඊස්ට් වතුර සමග කවලම් කර විනඩි 5ක් පමන තබන්න. පසුව එම දියරය පිටි වලට පියවරෙන් පියවර එකතු කරගෙන හොදින් අනාගන්න. මොලිය පදමට පැමිණී පසු ව්නාඩි 15ක් පමන ආවරනය කර පිපෙන්න තබන්න. පසුව එය කුඩා ප්‍රමාණයේ බෝල වලට වෙන් කර ගන්න. ඉන්පසු කුඩා බෝල තුනි කර එයට මාළු පිරවුම මේස හැන්දක් පමන දමා ත්‍රිකෝණාකරව සාදාගෙන නැවත විනඩි 30ක් පමන පිපෙන්නට තියන්න.

සාදා ගත් සියලුම මාළු පාන් වල උඩ කොටසේ, හොදින් ගසා ගන්නා ලද බිත්තර සුදු මද පින්සලක් ආදරයෙන් ආලේප කරන්න. පසුව oven තැටියක බටර් ස්වල්පයක් තවරා එයට පාන් පිටි ස්වල්පයක් ඉස ගන්න. එහි මාළු පාන් තබා 180c විනාඩි 30ක් පමන oven එකේ පිසගන්න්න. හැම විටම oven එක නියමිත උෂ්ණත්වයට කලින් රත් කරගන්න.

පිරවුම සදහා අවශය වන්නේ – සැමන් හෝ තම්බාගත් මාලු 200g ක්, තම්බාගත් අල ගෙඩි 2ක්, ලීක්ස් ස්වල්පයක්, ළූණූ ගෙඩි 1ක්, අඹරාගත් සුදු ළූණු තේ හැදි 1ක්, අඹරාගත් ඉඟුරු තේ හැදි 1ක්, අමු මිරිස් කරල් 2ක්, තෙල් මේස හැදි 2ක්, කරපිංචා ඉත්තක්, ලුනු පදමට, කහ කුඩු තේ හැදි 1/4ක්, ගම්මිරිස් කෑලි තේ හැදි 1ක්, අබ ඇට තේ හැදි 1/4ක්.

මෙන්න මිශ්‍රණය හදන හැටි
තෙල් රත්වෙන්නට හැර එයට ඇබ ඇට දමා පුපුරන විට, ඉගුරු, සුදු ළූණූ, කරපින්චා, අමු මිරිස්,ළූණූ දමා තෙම්පරාදු කරගන්න. එයට ලීක්ස්, මාලු හෝ සැමන්, තම්බා පොඩි කරගත් අල එක්කර හොදින් මිශ්‍ර කරන්න. හොදින් තෙම්පරාදු කර පදමට ලුණු දමා ගම්මිරිස් එක් කර ලිපෙන් ඉවත් කර ගන්න.

(උපුටාගැනීම hadakari.com වෙඩි අඩවියෙන්)