නා රජු විසින් බුලත් කොළේ, මිනිස් ලෝකයට ගෙනාපු කතාව

බත බුලතින් පිරි සෞභාග්‍යමත් රටක්.සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පිළිබඳ කතා කිරීමේදී බුලත් යනු ශ්‍රී ලාංකික අපට නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත.ආවාහ විවාහ මෙන්ම මංගල අවමංගල ඇතුළු ජන ජීවිතය හා බැඳුණු බොහෝ චරිත්‍ර වාරිත්‍ර සඳහා බුලත් යොදා ගනී.ඒ තරමටම බුලත් අපට සමීප වී ඇත.සිංහලයා අතර බුලත් දෙවැනි වන්නේ බතතට පමණි.එනිසා බුලත් පිළිබඳ තබන සටහනකි මේ.

“Pipe betle L” නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බුලත් “Piperaceare” නම් කුලයට අයත් නිවර්තන කලාපීය ශාකයකි. ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය. මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.

සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පාකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමණක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. සිංහල සමාජයේ බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.

කටේදී බුලත් විට, පිළිගන්වන විට බුලත් අත, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලේ, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය,දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත් විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී. සිංහලුන් අතර පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතරද බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

ශ්‍රි ලාංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්‍රි.පූ.340 තරම් ඈතට දිව යයි. රටේ මුල් පුරවැසියාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වාම කිසිදු භේදයකින් තොරව බුලත් සැපීම සිදු කරනු ලැබ ඇත. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව විවිධ වැඩ රාජකාරි වලදී මෙන්ම කෑමට පෙර හා පසුවද නින්දට යාමට පෙරද බුලත් සැපීමට ඇතමෙක් පුරුදුව සිටිති. පුද්ගලයාගේ රුචිකත්වය අනුව විවිධ අවස්ථාවල බුලත් සැපීම සිදු කරනු ලබයි.

වර්ථමානය වන විට මිනිසුන් බුලත් සැපීම සඳහා පුවක්, හුණු, දුම්කොළ ආදිය බහුලව යොදා ගනියි.එහෙත් ආයුර්වේදය එය එතරම්ම අනුමත නොකරයි.ආයුර්වේදයට අනුව කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය බුලත් සැපීම සඳහා යෝග්‍ය වන බවයි සඳහන් කරන්නේ.එය එසේ වී නමුත් අද වන විට බුලත් විට සඳහා මිනිස් ශරීරයට අහිත කර දෑම එකතු කර තිබීම අවාසනාවකි.එකල පුද්ගලා බුලත් විටක් සැපූ විට හමා ආ සුවඳත් අද බුලත් විට හපන කෙනා අතරත් ඇත්තේ අහස පොළොව තරම් ඈතකි.ඒ තරමටම බුලත් විටද අද වෙනස් වී වාණිජ දෙයක් පමණක් බවට පත්ව තිබේ.

බුලත් කොළයේ සම්භවය සිදුව ඇත්තේ මැලේසියාව ආශ්‍රිත නැගෙනහිර ආසියාතික කලාපයේ බවට විශ්වාසයක් පවතී.එමෙන්ම අරිබි වෙළෙදුන් විසින්ද මෙය ලංකාව ඇතුළු ආසියාත්ක රටවලට දායාද කළේ යැයිද මතයක් පවතී.එම විශ්වාසය එසේ වී නමුත් ලාංකික අපට අසල්වැසි රට වූ ඉංදියාවෙන් මෙය සංකුමණය වූ බව කියවේ.ඉංදියානු සංස්කෘතිය තුළද බුලත් සැපීම ප්‍රධාන අංගයක් ලෙස දැකිය හැකිය. හින්දු විශ්වාසයට අනුව තමන්ට බුලත් ලැබුණේ දිව්‍ය ලෝකයෙන් බව විශ්වාස කරති. දිව්‍ය ලෝකයේ සිට “අර්ජුන“ නම් දිව්‍ය කුමාරයෙකු විසින් බුලත් රැගෙන විත් තිබේ.

ලාංකික අපගේ විශ්වාසය මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳ වීමට නා රජු විසින් බුලත් මිනිස් ලොවට ගෙන ආ බවයි. බුලත් නාග ලොවින් අපට ලැබුණු බවත් නාගයාගේ මුඛයෙන් අල්ලා මෙලොවට බුලත් ගෙන ආ බවත්ය. නාගයාගේ මුඛයෙන් අල්ලා බුලත් ගෙන ආ බැවින් බුලත් කොළයේ අගිස්සෙහි විෂ ඇතැයි ජනයා තුළ විශ්වාසයක් පවතී.මේ හේතුවෙන් අදටද බුලත් කන සෑම අයෙකුම බුලත් කෑමට පෙර බුලත් කොළයේ අගිස්සෙන් කඩා දමනු දැකිය හැකිය.බුලත් නාග ලොවින් ලුනු හෙයින් බුලත් කොරටුවෙන් කඩා ගන්නා මුල්ම බුලත් කොටස කැලණි විහාරයට පුජා කිරීමට පුරුදුව සිට ඇත.බොහෝ නිවෙස් වල බුලත් වැලක් හො දැකිය හැකි අතර ඉන් කඩා ගන්නා මුල්ම බුලත් කොළ කිහිපය බුද්ධ පුජාව සඳහා එක් කිරීම අදටද දැකිය හැකිය.බුලත් නාග ලොවින් ආ නිසාවෙන් නාගවල්ලී ලෙසද නාගලතා ලෙසද හදුන්වයි.

ගුරු දෙගුරු වන්දනයේ පටන් විවිධ පිළගැනීමේ අවස්ථාවන්හිදී පවා අප බුලත් අත භාවිතා කරයි.මෙහිදී බුලත් අතක් නොහොත් බුලත් හුරුල්ලක් යනු කොපමණක්ද ? බුලත් අතක් සඳහා කොළ කීයක් උවමනාද යන්න විවිධ මත පවතී.වර්තමානයේ පහත රට ප්‍රදේශයේ නම් බුලත් අතක් සඳහා බුලත් කොල 40 ක් අඩංගු විය යුතු බව විශ්වාස කරයි.බුලත් කොළ 40 කතාවේදී චුලෝදර මහෝදර කතාව නොකියාම බැරිය.මන්ද චුලෝදර මහෝදර ගැටුම සමථයකට පත් කිරීම සඳහා බුලත් කොළ 40ක් ගෙන දෙදෙනා අතර කොළ 20 බැගින් ලබා දී ගැටුම සමථයකට පත් කොට සමගියෙහි ඇති අගය පහදා දී ඇති බව පැවසේ.එක් පාර්ශවයකට ලබාදුන් බුලත් කොළ 20 න් අතේ ඇගිලි 10 හා පාදයේ ඇගිලි 10 නියොජනය වෙයි. නමුත් උඩරට ප්‍රදේශවලදි හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදු කරයි.

නාගවල්ලී, ගල් දළු බුලත්, ගැට කෝටු බුලත්, වැල් බුලත්, රට දළු බුලත් නොහොත් රට බුලත්, ගස් බුලත්, කහ කීරිය බුලත්, මැටි පලා බුලත්, ගැරඬි මානේරු, මහ මානේරු හෙවත් කහ මානේරු ලෙස බුලත් වර්ග රැසක් හදුනාගත හැකිය.බුලත් සැපීමේ පුරුද්ද නිසා ඊට අවශ්‍ය ආම්පන්න රැසක්ද නිපදවීය. ඒ අතර බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම පෙන්වාදිය හැකිය.අද වන විට ලොකු කුඩා භේදයකින් තොරව සෑම නිවසකම ඉලත්තට්ටුවක් දැකිය හැකිය.

වර්තමානයේ බුලත් කෑමේ අවිධිමත් ක්‍රමය හේතුවෙන් යම් යම් මුඛ ආශ්‍රිත රෝග ඇතිවෙන බවට සමීක්ෂණ තුළින් සොයැගෙන ඇති බව අප කවුරුත් දන්නා රහසකි.ඒ බුලත් සමග පුවක්,හුණු හා දුම් කොළ බුලත් සමග ආහාරයට ගැනීමයි.බුලත් සමග ආහාරයට ගන්නා හුණු පිළිකා ඇතිකිරීමට තරම් බලවත් බව සඳහන් වෙයි.

පුරාණ කල මිනිසා බුලත් සැපීම සිදුකර ඇත්තේ කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය සමග වන අතර යම් යම් මුඛ රෝග සඳහා බෙහෙතක් ලෙසද භාවිත කොට තිබේ. බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර අායුර්වේද ග්‍රන්ථ වල බුලත් කෑම සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ලෙසද සැලකෙයි. නමුත් බුලත් සමග හුණු හෝ දුන්කොළ එක් කිරීමක් පිළිබඳ සඳහනක් නොවේ. ලන්දේසීන් විසින් මෙරටට දුන්කොළ හදුන්වා දීමත් සමග බුලත් විට සඳහා එක්වන්නට ඇත. එනිසා හුණු හා දුන්කොළ බුලත් විට සඳහා මෑත කාලයේ ආගමනය වූ ඒවා ලෙස සැලකිය හැකිය.

ආයුර්වේදය තුළ “තාම්බූල වටිකාව” ලෙස බුලත් විට හදුන්වා ඇත. “චරක සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට බුලත් හැපීම තුළින් උගුර ආශ්‍රිත රෝග,විදුරු මස් අශ්‍රිත රෝග මෙන්ම මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කර ගැනීමට උපකාරී වෙන බව කියවෙයි. “සුශ්‍රැත සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට උදෑසන අවදි වූ විට, ආහාර ගැනීමට පෙර හෝ පසු බුලත් විටනක් සැපීම යෝග්‍ය වන බවත්,වමනය වැනි අවස්ථාවලදීද බුලත් විටක් සැපීම යෝග්‍ය බව කියවෙයි.ක්‍රි.ව.7 හො 8 වැනි සියවසේ පමණ ලියවුණා යැයි සැලකෙන “අෂ්ඨාංග හෘර්ද සංහිතාව නම් ආයුර්වේද ග්‍රන්ථයේද මෙය තහවුරු කර තිබේ.

එදා පටන්ම ලාංකික ගැමි සමාජය අතරද, බුලත් විට සැපයූ බව විවිද වාර්තාවලින් පැහැදිලි වේ. රොබට් නොක්ස් ලංකාව පිළිබඳ ලියන ලද ග්‍රන්ථවල සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයින් රාත්‍රී නින්දට යන්නේද බුලත්විටක් කටේ තබා ගෙන බවයි. විවිධ සෙල්ලිපි තුලින් ද බුලත් පිළිබද ඓතිහාසික බව සඳහන් වීමද විශේෂයකි. තෝනිගල සෙල් ලිපියේද දිනපතා විහාර වන්දනා ව සඳහා ගෙන යායුතු දෑ අතර, දැහැත්විට නොහොත් බුලත් විටද ගෙන යායුතු බව සඳහන් කොට තිබේ. මහාවංශය, ථූපවංශය, සද්ධර්මාලංකාරය, පූජාවලිය වැනි ග්‍රන්ථ තුලද ලාංකිකයා ආදි කල සිටම බුලත් සැපයූ බවට සාක්ෂි සපයයි. මේ නිසා බුලත් යනු ලාංකික ජන ජීවිතයට නැතුවම බැරි අංගයක් බව පත්වී හමාරය.

සටහන හා ඡායාරූප සුරියවැව නුවන් ජයසේකර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවෙන හාස්කම්

කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය. ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි. දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ. හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත. ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු. මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි. ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ. නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා. ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාල නැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි. දඹදෙණියෙ ඉඳලා. අම්මගෙ නම…? ලීලා බෝතේජු. අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද? මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ. එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…

ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය. මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාල අපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ… අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ විශ්මිත අතීත කතාව

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත. රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ.

එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත. රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.

එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී. මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි. මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්. රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ. දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි.

ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි. පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි. මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

බලන්න ඔබේ නිවසෙත් මේ වගේ දෝෂ එකක් හරි තියෙනවද කියලා. එහෙම තියෙනවනම් කිසිම දියුණුවක් නෑ

සමහර හදපු ගෙවල් අළුතින් අරගෙන හිතු මනාපෙට එම පිහිටීම් කඩලා වෙනස් කරනවා. දොර උළුවහු එක එක පැති වලට යොදනවා. ඒත් ඇත්තටම ඒ වෙනස් කිරීම එම ගෙදර ජීවත්වන අයගේ ජීවිතයට දැඩිසේ බලපානවද? මේ ලිපියේ කියන්න යන්නේ ඒ ගැනයි.

අම්මා උදරයේ පිළිකාවක් වැළඳිලා මියයද්දී අම්මාට අවුරුදු 48 යි. ගහක් ගලක් වගේ හිටිය අම්මාගේ මරණයට ගොඩක් අය දොස් කීව්වේ රමේෂ්ට. හිතුමතේට ගේ වෙනස් කරලා අම්මා මරා ගත්තා කියලයි. අම්මාගේ ජීවිතයේ අවසන් දවස් වෙද්දී අම්මා වේදනාවෙන් කෑ ගැහුවා. මව ළඟ රැඳුණු රමේෂ් අම්මාට නින්ද යන්න කියලා එළි වෙන තුරු පිරිත් කිව්වා. තාත්තා රට ඉඳන් එවපු සල්ලියි, රමේෂ් රස්සාවෙන් ඉතිරි කර ගත් මුදලින් පැරණි නිවසට අලුතින් කොටස් එකතු කරලා අලුත්වැඩියා කළා. එයින් අවුරුදු දෙකකට පස්සේ ඔවුන්ගේ ජීවිතවලට අවාසනාව පැමිණියේ වසංගතයක් ලෙසින්. රමේෂ් ජීවිතය අන්තයටම කලකිරිලා හිටියේ. ගිහිගෙය හැර දාලා යන්න හිතන් හිටියත් මවගේ මරණයෙන් මාසයක් යන විට ගෙදර ඉන්න බැහැ කියලා නැන්දලාගේ ගෙදර පදිංචියට යන්නේ රමේෂුයි, නංගියි, ආච්චි නිවසේ තනි කරමින්. රමේෂ් මේ දේවල් වලින් තවත් අසරණ වුණා. තාත්තාට ලංකාවේ පදිංචියට එන්න තිබුණේ හරියටම මාස හයයි. නංගීත් සැරින් සැරේ අසනීප වෙන්න ගත්තේ මේ අතර. අම්මාගේ ඉරණමටම නංගිටත් මුහුණ දෙන්න වෙයි කියලා රමේෂ් බය වුණා. මේ තරම් විනාශයක් ඇති වෙන්ඩ හේතුව ගෙදර පවතින දෝෂයක් යැයි සිතූ රමේෂ් නිවසේ වාස්තු පරීක්ෂා කළා. ඇත්තෙන්ම මවට මාරක ගෙන දීමට හේතු සාධක වූ නිවසේ තිබූ වාස්තු දෝෂ බව ඔහුට වැටහුණා. ඒවා ඉවත් කිරීමට යෙදිය යුතු පිළියම් මෙසේය.

කුස්සියේ දොර උළුවස්ස මර්මස්ථාන රේඛාවකට කැපීම
වාස්තු විද්‍යාවේදී කුස්සියේ දොර උළුවස්ස නිවසක බිරිඳ නියෝජනය කරනු ලබයි. මර්මස්ථාන රේඛා යනු නිවසේ හරි මැද එනම් බ්‍රහ්ම පාදයේ සිට එකතු කිරීමේ ලකුණක් ආකාරයෙන් ගමන් කරන නිවස සමාන්තර කොටස් 4 බෙදා වෙන් කරන රේඛා හතරය. දොර උළු වස්සක් හරහා මෙම රේඛාවක් ගමන් කිරීම මර්මස්ථාන දෝෂය ලෙස හැඳින්වේ. මරමස්ථානයක කුස්සියේ දොර පිහිටි විට බිරිඳට මාරක, හදිසි අනතුරු, දරුණු රෝගාබාධ ඇති වේ. බිරිඳ දැඩි කායික මානසික පීඩාවට බඳුන් වේ. ගෙදර බිරිඳ නොමැති නම් වැඩි මහල් දියණියට දෝෂය බලපායි. කුස්සියේ දොර උළුවස්ස ගලවා වෙනත් සුබ පාදයක තැබීම හෝ නිවසට නව කොටසක් එකතු කිරීමෙන් මරමස්ථාන දෝෂය ඉවත් කළ හැක.

නාන කාමරය ඉදි කිරීමේදී කුරුස පාදමක් වැටීම
සාමාන්‍ය ව්‍යවහාරයේදී මිනිසුන් කුරුස බිත්ති ගැන කතා කරයි. නමුත් වාස්තු විද්‍යාවේදී කුරුස හට ගන්නේ අත්තිවාරම තුළයි. මෙය පොළොව යට සැඟව තිබෙන මතු පිටින් පහසුවෙන් නොපෙනුණත් බිත්ති බැඳ තිබෙන ආකාරයට අනුව කුරුස පාදමක් වැටී ඇති බව නිරීක්ෂණය කළ හැක. අත්තිවාරමේ කුරුස තිබීම නිවැසියන්ට මාරක පිළිකා වැනි රෝග ඇති කරයි. දෝෂය ඉවත් කිරීමට බිත්ති කඩා ඉවත් කිරීමෙන් පළක් නොවේ. කුරුසය අත්තිවාරමෙන් සම්පූර්ණයෙන් ගලවා ඉවත් කළ යුතුය.

බ්‍රහ්ම පාදය පීඩා වන සේ නාන කාමරයක් ඉදිකිරීම.
නිවසේ හරි මැද බ්‍රහ්ම පාදය වාස්තු පුරුෂයාගේ හදවතයි. බ්‍රහ්ම පාදය මත ඉදිකිරීමක් නොකළ ද මර්මස්ථාන රේඛාවකට හසු වන පරිදි නාන කාමර වැසිකිළි ඉදි කළ හොත් බ්‍රහ්ම පාදය පීඩාවේ. මෙම නිවසේ නාන කාමරය ඉදි කර තිබුණේ වාස්තු පුරුෂයාගේ නාභියෙන් ඉහළ පීඩාවන ලෙසය. මෙලෙස පිහිටීමෙන් නිවැසියන්ගේ උදරය, පිට කොන්ද ආශ්‍රිතව සුව නොවන තුවාල, ගෙඩි, සැත්කම් ආදිය ඇති වේ. තිබෙන ස්ථානයෙන් නාන කාමරය ඉවත් කිරීමෙන් හෝ නිවසට නව කොටසක් ඉදිකිරීමෙන් දෝෂය ඉවත් කළ හැක.

කුස්සියේ දොර කෙළින් වැසිකිළි වළ තිබීම.
මෙලෙස තිබීමෙන් ගෙදර බිරිය පීඩාවට පත් වේ. නිරත්තරයෙන් රෝග පීඩා හා මානසික පීඩා ඇති වේ. බාහිර කරදරවලින් ද නිවැසියෝ පීඩාවට පත් වෙති. මෙය බිරියගේ ජීවන ගමන අහුරාලන පිහිටීමකි. දොර තිබෙන තැනින් ගලවා ඉවත් කිරීමෙන් මෙම දෝෂය ඉවත් වේ.

රමේෂ් විසින් තම මෑණියන්ට මාරක ගෙන දුන් මෙම දෝෂයන් ඉවත් කළ අතර ඔහු දැන් විවාහ වී නිවසේ සතුටින් දිවි ගෙවයි.

අමාලි අගස්පතිරණ වාස්තු ජ්‍යොතිෂවේදී ඉංජිනේරු සැලසුම් ශිල්පී.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)