හිතේ හැටියට නාගන්න සොබාදහමේ අපූරු නිමැවුම අකුරැස්සේ දිය බුබුල

දශක ගණනාවකට පෙර මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුලක් පැවති අතර, එම ස්ථානය මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇති වීම හේතුවෙන් එම ස්ථානය විශාල දැව කඳන් අලින් ලවා දමා පා ගවන ලද අතර , ඉන් පසු එම ස්ථානයේ පැවති ජල බුබුල ඒ අවට ස්ථාන කීපයකින් මතුව ඇතැයි පැරැන්නෝ පවසති. මීට වසර කිහිපයකට පමණ පෙර තලහගම නැගෙනහිර ගොවි සංවිධානය විසින් මෙම ජල බිබුල කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කොට ඇත.

සමහර කාලවල පවත්නා දැඩි නියං තත්ත්වය හමුවේ තලහගම සහ ඒ අවට ගම්මාන වන උග්ගස් හේන , කම්බි අඩිය, විල්පිට, ආදි ගම්මා රැසක ජනතාවට මෙම ජල උල්පත මහත් අස්වැසිල්ලක් වී ඇත. මුහුදට දුරින් කිලෝමීටර් 25ක් පමණ උවත් සුළු ලවන රසයෙන් යුතු ජලය සහිත මෙම දිය බුබුල මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කල හැකි සාධක පවතී.

ඇතැම් විට මෙම ජල බුබුලෙන් සිප්පි කටු මතුවන බවත්, 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින පැවති සුනාමි ව්‍යවසනය අවස්ථාවේ මෙම ජල බුබුලෙන් මඩ පැහැති ජලය නිකුත්වූ බවත් ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්ථානයට ඔබ පැමිණෙනවානම් සොබාව සෞන්දර්ය සුරකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම ස්ථානයට ඔබ රැගෙන එන කිසිවක් අවශ්‍ය නැත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)