ලෙඩ නැතුව හැමදාම නීරෝගීව ඉන්න නම් ‘වියලි මිදි’ ඔබේ ආහාරයටත් එක්කරගන්න

ලෝකයෙහි හර්ද රෝග අඩු ම රටක් ලෙස ප්‍ර‍ංශය නම් දරා ඇති අතර ඊට හේතු සෙවීමේදී සොයා ගත හැකිවූයේ එරටවාසීන් වැඩි වශයෙන් වයින් පානය කරන බවයි. වයින් සැදීමට ගන්නා මිදිවල පොත්තෙහි හදවතට බෙහෙවින් හිතකර රෙස්ට්‍රරත්‍රෝල් අඩංගු වන බව සඳහන්වෙනවා. එහෙයින් මිදි හා වියළි මිදි හර්දය නිරෝගීව තබා ගැන්මට බෙහෙවින් උපකාරිවන්නක් ලෙස සැලකිය හැකියි.

යකඩ කැල්සියම් පොටෑසියම් ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් සින්ක් , විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි. එය දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලදී බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා. නිරෝගි පුද්ගලයන්ටද ඒ ආහාරයට ගැන්මෙන් බොහෝ රෝගවලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්.

වියළි මිදි දිනපතා ආහාරයට ගැන්මෙන් ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති පෘක්ටෝස් ක්ෂණික ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි. එසේ ම බහුලව ඇති මැග්නීසියම් පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්. වියළි මිදි හදවත් රෝග මෙන් ම අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම ද අවම කර දෙනවා. එහි ඇති පොලිපිනෝල් පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක් වෙනවා. කැල්සියම් හා ඛනිජ ලවණ, සිරුරේ අස්ථි ශක්තිමත් කරනවා. දත්වල සුවය රකිනවා . දත් දිරීමට ලක්කරන බැක්ටීරියා මඬින රසායන පහක් ඒවායේ අඩංගුයි . එමගින් දත් මුල් දියවීම් , දත් දිරායාම් වලකිනවා. එහෙත් දරුවන්ට නිතර ඒවා සපන්නට දීමෙන් දත් නිසි ලෙස පිරිසිදු කරගන්නට නො හැකිවීමෙන් දත්වල ගැටළු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

වියළි මිදිවල අඩංගු බොරෝන් මගින් වියපත් කාන්තාවන්ට ඇතිවිය හැකි අස්ථි දුර්වලතා වළකා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලට වැට බඳිනවා. එසේ ම ඒවායේ ඇති ආනින් ඇමයිනෝ අම්ලය ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන්නක් හා ලිංගික හැකියාව උත්තේජනය කරන්නක්. එය පිරිමින්ට ඇති දරුපල අහිමි අපහසුව දුරලමින් ශුක්‍රාණු වර්ධනය කර දෙනවා.

විවිධ ආසාදනවලින් සිරුර බේරාගන්නා, ප්‍රතිබැක්ටීරියා හා ප්‍රති ඔක්සිකාරක නිසා දෙඇස් අහිතකර කිරණවලින් ආරක්ෂා කරන්නටද වියළි මිදිවලට හැකියි. ඇස් අන්ධවීමට බලපාන , අක්ෂි රෝග වලින් වැළකීමට ඒවා සහාය වෙනවා. එසේ ම වායු ගෙඩි ඇතිවීමට එරෙහිව ද ක්‍රියාකරනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණ. ශක්තිය වර්ධනය කරනවා.. අධි රුධිර පීඩනය පාලනය කිරීමට දායකවෙනවා. හිමොග්ලොබින් ඇතිකරන යකඩ වලින් රුධිරය වර්ධනය කර නීරක්තිය දුරුකරනවා .

නිදහස් කිරණ වලින් සිරුර ආරක්ෂාකරන ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකාවලට වැට බැඳීමටත් වියළි මිදි උපකාරි වෙනවා. එසේ ම ජීර්ණ ප්‍රදේශය පිරිසිදු කරමින් ජීර්ණ ක්‍රියාවලියටත් සහායවනවා. ඒවායේ කෙඳි ජලයේ දියවී නොයන බැවින් ඉන් පහසුවෙන් මල බද්ධය දුරුවනවා. අහිතකර මේද තැන්පත් නොකර සිරුරු පුෂ්ටිමත් කිරීමේ හැකියාව ත් වියළි මිදි සතුයි . පෝෂණ ඌණතා ඇති කෘශ දරුවන්ට එය විටමින් ටොනික් එකක් වැනියි.

වියළි මිදි අපේ සම කෙරෙහිත් හිතකර ලෙස බලපානවා.ඒවායේ ඇති සින්ක් නිසා සම රැලි වැටීම් සමේ වර්ණ වෙනස්වීම් වළකිනවා.සම නිරෝගීව තබමින් පැහැපත් පෙනුමක් ලබාදීමට එය හේතුවෙනවා. සින්ක් මගින් හිසකෙස් වැටීමත් වළකන බැවින් ඉන් හිසකෙස් ද හොඳින් වැඩෙනවා.

මුත්‍රා දැවිල්ල හා මුත්‍රා පිටකිරීමේ. අපහසුතාව ඇතිවිට වියළි මිදි ග්‍රෑම් 50ක් පේර කොළ ග්‍රෑම් 10ක යුෂ සමග මිශ්‍රකර උදේ සවස ගැනිමෙන් සහනය අත්වන බව සඳහන්. ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම වැළැක්වීමට වියළි මිදි ගෙඩි දෙකක් කෑම හිතකර බව සඳහන්වනවා. කුඩා දරුවන්ට රාත්‍රි නින්දේ දී මුත්‍රා පිටවීම වැළැක්වීමට ,නින්දට පෙර වෝල්නට් ඇට දෙකක් සමග වියළි මිදි ගෙඩි පහක් ලබාදීම පලදායක බව ත් සඳහන් වෙනවා.

දිනපතා වියළි මිදි අහුර බැගින් ආහාරයට ගල්ගැනීමෙන් සිරුරට එහි වාසි අත්කර ගත හැකියි. එහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්නා විටත්, ප්‍රති විෂාද හා මානසික අවපීඩන සඳහා ඖෂධ ගන්නාවිටත් , වියළි මිදිවල ඇති පිරමින් අහිතකර වියහැකි බැවින් එවැන්නන්ට වියළි මිදි ගැන්ම සුදුසු නැහැ.

ලිපිය සැකසුම, ඉන්ද්‍රා කුමාරි රත්නායක විසිනි.
(මූලාශ්‍ර හා සේයා රූ-අන්තර්ජාලය ඇසුරිනි. කරුණු එක්කර දීමේ ස්තුතිය ප්‍රසාද් තේනුවර මහතාට)

සිහිනයෙන් ඔබ සොයා එන පෙරේතයෝ – ඔබට පෙනෙන සිහින ගැන ඉතාම විස්මයජනක බියකරු දිගහැරුමක්

සිහින අපි හමොටම තිබෙනවා තනන සිහනය වගේම දකින සිහිනත්. ඒ දෙවර්ගයටම අමතරව පෙනෙන සිහිනත්, දකින සහ තනන සිහින පසෙක තැබුවොත් මේ කියන්න හදන්නේ පෙනෙන සිහින ගැන ඉතාම විස්මයජනක බියකරු දිගහැරුමක්.

ජිවිතයේ කිසියම් දිනෙක ඔබ සිහිනයෙන් බිය වී රාතියේ ඇහැරී තිබෙනවා ද? හුස්ම හිර වන්නට මෙන් ඇවිත්, කෑගැසීමට හඬ පවා පිට නොවී, දිවගොස් සැඟවෙන්නට මෙන් සිති බියට පත්ව ඇහැරී තිබෙනවා ද? එසේත් නොමැති නම් නාදුනන පුද්ගලයෙක් ඔබ පිටුපසින් පන්නාගෙන එන්නාක් මෙන් දැනී හෝ මියගිය පුද්ගලයෙකු සිහිනයෙන් දැක බිය වී ඇහැරී තිබෙනවා ද ?

මේ අනාවරණය අන්න ඒ ගැනයි. එවන් සිහිනයක් දැක පුද්ගලයෙකු බියට පත් ව ඇහැරෙන්නේ සත්‍යම ප්‍රේත ආත්ම වල බලපෑමක් නිසා බව,බ්‍රිතාන්‍ය අධි මානසික සංගමයේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. එඩ්වඩ් ලෙනින් නම් අධි මානසික ශක්තින් සහ භූත විද්‍යා ගවේෂන නිලධාරියා සිය කණ්ඩායම සමග එක්ව කළ පර්යේෂණයකදීයි මේ බව මේ බව තවුරුකොට ගෙන තිබෙන්නේ. වසර තුනක් පුරාවට විවිධ රටවල, විවිධ විශ්වාසයෙන් සහිත ජන කොටස් ආශ්‍රයෙන් ඔවුන් මෙම පර්යේෂණය සිදු කොට තිබෙන අතර පර්යේෂණයේ අනාවර්ණයන් මෙසේයි.

ලොව ජීවත් වන සෑම පුද්ගලයෙකුටම යම් මට්ටමක මානසික ශක්තියක් තිබෙනවා. ඒ අනුව නින්දේදී සෑම පුද්ගලයෙකුගේම මනස සිරුරෙන් නිදහස්ව යම් නියත දුරකට ගමන් කරනවා. මෙම ගමන් කරන දුර ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. එම දුර ප්‍රමාණය තරණය වන්නේ යම් පුද්ගලයෙකුගේ චිත්ත ශක්තියේ සහ ආත්ම විශ්වාසයේ ප්‍රමාණය අනුවයි. මෙලෙස ගමන් කරන සෑම මනසක්ම සැරිසරන්නේ තමන්ට නැවත තම සිරුර සොයා ආ හැකි තරම නිශ්චිත දුරකට පමණයි. මෙම නිශ්චිත දුර ප්‍රමාණයෙන් එහාට ඇත්තේ අදාළ සැරිසරන මනසට වඩා ශක්තිමත් ප්‍රේත හෝ අඳුරු ආත්ම සැරිසරන කොටසයි. ඩිමන්ස් ලෙස බටහිර ජාතින් හඳුන්වන්නේ මෙම කොටසයි.

අත්තෙන්ම මෙම එක් පුද්ගලයෙකුගේ මනසක් සැරිසැරිය හැකි උපරිම වපසරිය අදාළ මනසේ පාලන කොටස ලෙසයි පර්යේෂකයින් හඳුන් වන්නේ. එය හරියට සතෙකුගේ රාජධානි කොටසට සමානයිලු. මෙම නිශ්චිත සරිසැරුම් වපසරියේ අනන්තයට මනස ලඟා වූ කල ඊට එපිටින් සිටින අඳුරු ආත්මයන්හි බලපෑම මිනිස් මනසට දැනෙනවා. මෙම මිනිස් මනස පර්යේෂකයින් හඳුන්වන්නේ පිරිසිදු ආත්ම හෙවත් පියෝ සෝල්ස් ලෙසයි.

මේ කියන අඳුරු ආත්ම නිරතුරුවම උත්සහ දරන්නේ නැවත මිනිස් සිරුරක් ලබා ගැනීමටයි. එම නිසා පිරිසිදු ආත්මයක් අසලට පැමිණි විගස එය අඩපණ කොට කෙසේ හෝ මිනිස් සිරුර ලබා ගැනීමට අඳුරු ආත්ම උත්සහ දරනවා. එවිට බියට පත්වෙන මිනිස් මනස කලබලයෙන් තම සිරුර සොයා එම තමයි සිහිනයෙන් ඔබ කිසියම් පුද්ගලයෙකු පන්නාගෙන එනවිට දුවන්නාක් මෙන් දැනෙන්නේ සහ ඉන් බියට පත් ව ඇහැරෙන්නේ. එම අඳුරු ආත්මයන්හි බිහිසුණු බව නිසා බියට පත් වන ඔබේ මනසේ තැතිගැන්ම තමයි ඔබට අවධි වූ පසුත් දැනෙන්නේ.

එඩ්වඩ් ලෙනින් පවසන පරිදි කෝමා තත්වයට පත්වන්නේ යම් බලගතු අඳුරු ආත්මයක් සැරිසරන මිනිස් මනසක බලය පරයා අදාළ මනසේ සැරිසරුම් වපසරියට පැමිණීමයි. නමුත් අඳුරු ආත්මයට ස්රුරට ඇතුළුවිය නොහැක්කේ තමන්ගේ නියම මනස නොවන බව වටහා ගන්නා භෞතික සිරුර ඊට ඇතුළුවීමට අඳුරු ආත්මයට ඉඩ නොදෙන නිසා බවයි ඔවුන් පවසන්නේ.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

ස්වයං රැකියාවක් ලෙස අත මිට සරු කරන බිම්මල් වගාවක් ගෙදරදීම නිවැරදිව පටන් ගන්න විදිය මෙන්න

බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්‌. අද වෙනකොට මේක සුපිරි ආහාරයක්‌ තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි. ඒ තරම් මිලක් බිම් මල් වලට ලැබිලා තියෙන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් වෙළදපොලට සපයන්න නිෂ්පාදකයන්ට නොහැකි වීම නිසා මිස නිෂ්පාදනය සදහා ලොකු පිරිවැයක් දරන්න සිද්ද වෙන හේතුව නිසා නෙවෙයි.

මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක්‌ උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් එහෙමත් නැත්තම් නයි හතු කියන වර්ගය හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා. විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ. ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා. මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා. රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා. මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්. අපි මේ කියන්න යන්නේ ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරයට සම්බන්ද වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට හෝ නිවසේ පාවිච්චියට බිම් මල් වගා කරගෙන පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ස්වයං රැකියාවක් වශයෙන් බිම් මල් වගා කරන අය මේ තාක්ෂණය අනෙක් අය දැන ගන්නවාට කැමති නෑ. ඒකට හේතු ගොඩාක් තියෙනවා.

දැන් බලමු මේ කියන බිම් මල් නිෂ්පාදනය සිද්ද වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේකට අවශ්‍ය දේවල් ගැන බලමු. මෙතන තියෙන අනුපාතයන්ට තමන්ට ඕන තරමේ මිශ්‍රණයක් හදාගන්න පුළුවන්

මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය – සැහැල්ලු ලි කුඩු 25 Kg ක්, හාල් නිවුඩු 2.5 Kg ක්, සෝයා පිටි / මුන් පිටි / සමපෝෂ 250g ක්, මැග්නීසියම් සල්ෆේට් 50g ක්, අළු හුණු / ඩොලමයිට් 500g ක්, අවශ්‍ය පමණට ජලය.

බිම් මල් මලු සදහා අවශ්‍ය ද්‍රව්‍ය – පොලි ප්‍රොපිලින් කවර අගල් 7 x 14 ගේජ් 200 මි මි 0.01 (මේ සදහා කිසිම විටක පොලිතින් කවර යොදාගන්න එපා) විෂ්කම්බය අගල් 1 සහ උස 3 / 4 පි වී සි බට කැබලි, රබර් පටි, කපු පුළුන් / කොට්න් වේස්ට්, කඩදාසි කැබලි අගල් 2 x 2 ප්‍රමාණයට.

මෙන්න බිම් මල් වගාකරගන්න ක්‍රමේ
වැස්සට නොතෙමුනු ලී කුඩු හලා පිරිසිදු ස්ථානයක අතුරන්න. එයට සහල් නිවුඩු මුන් / සෝයා පිටි / සමපෝෂ සහ අළුහුණු දමා හොදින් මිශ්‍ර කරන්න. දැන් ජලය කෝප්පයක දිය කර ගත් මැග්නීසියම් සල්ෆේට් එයට ඉසින්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා හොදින් මිශ්‍ර කරගන්න. සකස් කර ගත් මිශ්‍රණය පොලි ප්රෝෆිලින් මලු වලට ඇතුළු කර මල්ලෙන් 3/4 ක් පමණ හොදින් පුරවා ගන්න. (පිරවූ පසු වගා මල්ලක් කිලෝ 1 ක් පමණ බරකින් යුක්ත වෙන්න ඕනේ )

බට කැබලි තුලට පුළුන් ඇබ යොදා රබර් පටි දැමීම
ඊට පස්සේ මේ සකසා ගත් වගා මලු ජීවානුහරණය කරගැනීම කරන්න වෙනවා. ඒ සදහා ග්‍රීස් බැරලයක් යොදාගන්න පුළුවන්. බැරලයේ පියනේ මැද යකඩ ඇනයක් මගින් සිදුරු කරන්න ඕන. ඊට පස්සේ ලි කුඩු මිශ්‍රණය සහිත පැකට් බැරලයේ ඇසිරිම සදහා බැරලය පතුලේ සිට අගල් 7 ක් පමණ ඉහළින් කම්බි දැලක් තැන්පත් කර ගන්න ඕනේ. බැරලයේ අගල් 5 ක් පමණ ජලය පුරවලා වගා මලු කම්බි දැල මත තැන්පත් කරලා බැරලයේ පියන තදින් වහලා පැය කිහිපයක් තම්බා ගැනිම මගින් මේ වගා මලු ජීවානුහරණය කර ගන්න පුළුවන්.

මේ ආකාරයට තම්බා ගත් වගා මලු තුලට දින දෙකකට පසු බිජ ඇතුල් කිරීම කරන්න පුළුවන්. බිජ ඇතුල් කල වගා මලු දිලීරය වර්ධනය වීම සදහා අඳුරු ස්ථානයක තැන්පත් කර තැබිය යුතු වෙනවා. දින 25 ත් 30 ත් ඇතුලතදී ලි කුඩු මාධ්‍යය තුල ඇති දිලීරය සුදු පැහැයෙන් වර්ධනය වී තිබෙන ආකාරය දකින්න පුළුවන්. ඉන් පසු අදුරු කාමරයෙන් ඉවත් කර ගන්නා වගා මලුවල ඉහලින් කවරය කපා ඉවත් කරන්න පුළුවන්. එය රාක්කයක තිරස්ව තැන්පත් කර තබා ගන්න ඕනේ.

අස්වනු නෙලන අවස්ථාවේදී වගා මලු පවතින කාමරය තුල වාතයේ තෙතමනය නිසි ආකාරව පවත්වාගෙන යා යුතු වෙනවා. ඒ සදහා දිනපතා උදේ හවස ස්ප්‍රේෂරයක්‌ මගින් මිහිඳුමක් ආකාරයට ජලය ඉසීම, පොලවේ අතුරා ඇති වැලි තෙත් කිරීම වැනි දෑ කරන්න පුළුවන්. අස්වනු නෙලන අවස්ථාවට පැමිණි මේ එක වගා මල්ලකින් දින 7 – 10 කට වරක් 8 – 10 පමණ වතාවක් බිම මල් නෙලා ගන්න පුළුවන්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

හෙම්බිරිස්සාව එක්ක එන අමුතු ලෙඩ රෝග රැසක් – මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවානම් සැළකිලිමත් වෙන්න

කෝටර දාහය (sinusitis)
කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු වැඩිහිටියන් සහ ළමුන් අතරින් 2% කට පමණ තීව්‍ර කෝටර දාහය ඇතිවේ. සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාස් කුහරයේ සහ කෝටරවල ශ්ලේෂ්මල පටල ඉදිමීම හෙවත් ප්‍රදාහයක් ඇතිවේ. එම නිසා ශ්ලේෂ්මල පටල ශ්ලේෂ්මලය හෙවත් සොටු දියර වැඩිපුර ස්‍රාවය කරයි. ශ්ලේෂ්මල පටලය ඉදිමීම නිසා කෝටරවල සිදුරු අවහිර වන අතර එමගින් සොටු දියර කෝටර තුළ එකතු වීම සිදුවේ. කෝටර දාහය ඇති රෝගීන්ට උණ, නාසය සිරවීම, සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය, මුහුණේ ඇතිවන වේදනාව සහ තද ගතිය, මුහුණ ඉදිමීම සහ උඩු ඇන්දෙහි දත් කැක්කුම ඇතිවිය හැක. සාමාන්‍යයෙන් හිසරදය සහ මුහුණේ වේදනාව ඉදිරියට නැවීමේදී සහ හාන්සි වීමේදී වැඩිවේ.

මැද කනේ ආසාදනය (Otitis media)
මැද කන (කන්බෙරය හෙවත් කර්ණ පටහ පටලය පිටුපස ඇති අවකාශය) යුස්ටේකීය නාළය නැමැති කුඩා නාළයක් මගින් උගුර හා සම්බන්ධ වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු රෝගීන්ගේ උගුරෙහි ඇති බැක්ටීරියා හෝ වෛරස යුස්ටේකීය නාළය ඔස්සේ මැද කනට ඇතුළු විය හැක. මැද කනේ ආසාදනවලින් 80% ක් පමණ වෛරස නිසා ඇතිවේ. බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව නිසා ඇතිවේ. වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මැද කනේ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවුරුදු 5ට අඩු ළමුන්ගෙන් 20% කට මැද කනේ ආසාදන ඇතිවේ. සාමාන්‍යයෙන් මැද කනේ ආසාදන වලින් 80% ක් පමණ ප්‍රතිකාර නොමැතිවම දින 3 ක් තුළ සුවවේ. මැද කනේ ආසාදනයක් ඇතිවිට තද කන් කැක්කුම, නින්ද නොයාම, තද උණ, කහ හෝ කොළ පැහැති සොටු දියර ගැලීම, වමනය, අලස බව, ක‍නෙන් දියර හෝ සැරව ගැලීම සහ ඇතැම්විට කන් ඇසීම අඩුවීම සිදුවේ. කතා කිරීමට නොහැකි කුඩා දරුවන් දැඟලීම, කලබල කිරීම, නින්ද නොයාම, හෝ නොනවත්වාම ඇඬීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැක.

උත්සන්න වූ ඇදුම රෝගය
ඔබ ඇදුම රෝගියෙක් නම්, සෙම්ප්‍රතිශ්‍යාවට ඔබගේ ඇදුම රෝගය තීව්‍ර කිරීමේ හැකියාව ඇත. ඇදුම රෝගය උග්‍ර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ තදගතිය, කැස්ස, සහ පපුවේ රාං රූං ශබ්දය ඇතිවිය හැක. මෙම තත්ත්වය වඩාත් බහුල ළමුන් අතරය.

තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය (Acute bronchitis)
ශරීරයේ ප්‍රතිශක්තිය අඩු සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය ඇතිවිය හැක. බැක්ටීරියා හෝ වෛරස මගින් ශ්වාසනාලිකා ආසාදනය වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, කහ පැහැති ඝණ සෙම පිටවීම (ඇතැම්විට රුධිරය තැවරී තිබිය හැක). පපුවේ තදගතිය හෝ අපහසුතාවය, වෙවුලා ඇති වන මද උණ, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ රාං රූං ශබ්දය, හිසරදය, උගුරේ වේදනාව, සහ නාසය අවහිර වීම දැක්විය හැක. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය වැළඳුණු බොහොමයක් රෝගීන් කිසිදු ප්‍රතිකාරයකින් තොරව සති කිහිපයක් තුළ සුවය ලබයි. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය සතියකට වඩා පවතී නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම අත්‍යාවශ්‍ය වේ.

නියුමෝනියාව (Pneumonia)
ඉතාමත් කලාතුරකින් අඩු ප්‍රතිශක්තියක් ඇති සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට ශ්වසන පද්ධතියේ පහළ කොටසේ ඇතිවන උග්‍ර ආසාදනයක් වන නියුමෝනියාව වැළඳිය හැක. නියුමෝනියාව ඇතිවිට දිගුකල් පවත්නා කැස්ස, ඝණ සෙම පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, වෙවුලා තද උණ ගැනීම, වයස්ගත අයගේ හෝ ප්‍රතිශක්තිය අඩු අයගේ ශරීර උෂ්ණත්වය අඩුවීම, කහින විට හෝ හුස්ම ගන්නා විට පපුවේ වේදනාවක් ඇතිවීම, අධික දහඩිය දැමීම, ශරීරයේ වේදනාව, සහ හිසරදය ඇතිවිය හැක. ඇතැම් අයට පාචනය, ඔක්කාරය, සහ වමනය ද ඇතිවේ. සමහර වයස්ගත අයට නියුමෝනියාව වැළඳුණු විට සිහිමඳ ගතියක් හටගැනීම සිදුවේ. නවජ දරුවන් සහ ළදරැවන් නියුමෝනියාව ඇතිවිට වමනය, උණ, කැස්ස, නොසන්සුන් වීම, විඩාපත් විලාසයක් ගැනීම, හුස්ම ගැනීමේ අපහසුව, සහ කිරි බීම හෝ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.

යම් රෝගියකුට සෙම්ප්‍රතිශ්‍යාව සමඟ තද උණ, මානසික ව්‍යාකූලතාවය හෝ සිහිමඳ බව, පපුවේ තියුණු වේදනාව, රුධිරය තැවරුණු ඝණ සෙම පිටවීම, හෝ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ සති 3 කට වඩා පවතීනම් එම රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.

ටොන්සිල් ප්‍රදාහය (ගල මූල ග්‍රන්ථි ප්‍රදාහය) සහ උගුරේ වේදනාව
ටොන්සිල් යනු උගුරේ පිටුපස කොටසේ ඇති වසා ග්‍රන්ථි දෙකකි. එම ග්‍රන්ථිවල ඇතිවන ඉදිමීම සහ ප්‍රදාහයක් ටොන්සිල් ප්‍රදාහය (Tonsillitis) ලෙස හැඳින්වේ. එවිට උගුරේ වේදනාවක් ඇතිවේ. ටොන්සිල් ප්‍රදාහය වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හටගනී. බැක්ටීරියා නිසා හටගන්නා ටොන්සිල් ප්‍රදාහයට ප්‍රධාන වශයෙන් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් (Streptococcus pyogenes) බැක්ටීරියාව හේතු වේ. උගුරේ වේදනාව සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් අතර පවතින බහුල සංකූලතාවයකි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා සබැඳි උගුරේ වේදනාවට හේතුවන්නේ වෛරසයක් මගින් ආසාදනය වීමයි. බැක්ටීරියා ආසාදන මගින් ඇතිවන උගුරේ වේදනාවට ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව ප්‍රධාන හේතුවක් වේ. ඔබට අධික උගුර රිදීමක් හෝ සුව නොවන උගුරේ වේදනාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා උචිත වේ. සාමාන්‍යයෙන් ටොන්සිල් ප්‍රදාහය සහ උගුරේ වේදනාව ගිලීමේ අපහසුතාවයක් ඇතිකරයි.

වැඩිහිටියෙකුට හෝ දරුවකුට පහත ලක්ෂණවලින් අවම වශයෙන් එකක් හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ. ඇතැම්විට ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර අවශ්‍යවීම එයට හේතුව වේ.

මේ රෝග ලක්ෂණ අනතුරුදායකයි! වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
හුස්ම ගැනීමේ අපහසුව, කන් කැක්කුම, සති 2 කට වඩා පවතින සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වඩා පවතින සෙම පිටවන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ උග්‍ර වීම, සතියකට වැඩි කාලයක් පවතින කෝටර ප්‍රදාහයේ රෝග ලක්ෂණ (නළල, ඇස්, සහ නාසය වටා ඇති වේදනාව),102°F (39°C) ට වඩා උණ පැවතීම, වයස අවුරුදු 2 ක් හෝ එයට වඩා වැඩි දරුවන්ට උණ දවස් 3 කට වඩා පැවතීම, වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට උණ දවසකට වඩා පැවතීම.

වයස සති 12 කට (මාස 3 කට) වඩා අඩු දරුවකුට 100.4°F (38°C) කට හෝ එයට වැඩියෙන් උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

(උපුටා ගැනීම දේශය පුවත්පත)

අධි රුධීර පීඩනය, වකුගඩු රෝග ඇතුළු රෝග රැසකට ගුණ දෙන කෙසෙල් මුව, සම්බෝලයක් විදියට හදාගන්න හැටි

කෙසෙල් මුව කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන කෑමක්. රෝග රැසකට ගුණ දෙන කෑමක්. මේ තියෙන්නේ කෙසෙල් මුව වල තියෙන ගුණ, ඔසප් චක්‍රය ක්මවත් කරයි. කිරිදෙන මව්වරුන්ට හ දියවැඩියා රෝගීන්ට ගුණ ගෙන දේ. රක්තහීනතාවයට සහනය දේ. වකුගඩු වල ක්‍රියාවලියට උපකාරී වේ. මලබද්දයට සහනය දේ. උදරයේ තුවාල වලට සහනය දේ. ගර්භාෂය ශක්තිමත් කරයි. අධික රුධීර පීඩනයට සහනය දේ.

ඉතින් මේතරම් ගුණයෙන් අනූන කැමක් අළුත් රසයකින් හදන හැටි තමයි ඔන්න අද අපි ඔයාලට කියන්න යන්නේ. ගොඩක් අය කෙසෙල් මුව තෙල් දාල හරි නැත්නම් කිරට උයල තමයි කන්නේ. ඒත් කෙසෙල් මුව සම්බලක් විදියට හදුවොත් කොහොමද. අළුත් රසකට කන්න පුළුවන් නේද? හැමදාම කෙසෙල් මුව කන්නේ තෙල් දාල හරි නැත්නම් කිරට උයල හරිනම් මෙන්න මේ විදියට ඔයාලත් හදලා කාලා බලන්න. අළුත් රසයකට.

අපි මුලින්ම කියන්න යන්නේ කෙසෙල්මුව කරිය සෑදීමේ ක්‍රමය
භාජනයක් ගෙන තෙල් මේහැඳි 2 ක් එකතු කරන්න. අබ ඇට ටිකක් දමා පුපුරන කම් තියන්න. කපා ගත් ළුනු හා මිරිස් එකතු කර ටිකක් බැද ගන්න. කපා ගත් කෙසෙල්මුව එකතු කරන්න. ඔබ කැමති ආකාරයට කුළුබඩු හා ලුණු එකතු කරන්න. වතුර ටිකක් දමා භාජනයේ මූඩිය වසන්න. පසුව ගා ගත් පොල් එකතු කරන්න. දැන් ඔබේ කරිය කෑමට සූදානම්.

කෙසෙල් මුව සම්බොලේ හදාගන්න විදිය
“සම්බෝල” කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද…? හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් “සම්බෝල” ගැන නෙවෙයි. “කෙසෙල් මුව” කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි. (මේ photos වල තියෙනවා වගේ) මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා. (ඇත්තටම අපි විහුලුවට කියන “කෙහෙල් මල්” තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. ) කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්. (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)

දැන් අපි බලමු කොහොමද කෙසෙල් මුව සම්බොලේ හදාගන්නේ කියලා. හදාගන්න මෙන්න මේ දේවල් ඕන. ලපටි කෙහෙල් මුවක්, හීනියවට ගා ගත් පොල් මිටක් පමණ, උම්බලකඩ කුඩු ටිකක්, රතු ලූණු ටිකක්, සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමණ, පදමට සෑහෙන සේ ලුනු කුඩු, දෙහි.

කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න. ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා) මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න. රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඉරිඟු, සහල්, කඩල, මුං ඇට වලින් ඔයාලා හැමෝම කන්න කැමති ත්‍රිපෝෂ ගෙදරදී නිවැරදිව හදන හැටි මෙන්න

පොඩිකාලේ කාපු ත්‍රිපෝෂ රසය තාම අමතක කරන්න බැරි රසයක්. ලොකු පොඩි කවරුත් කැමති ඒ ත්‍රිපෝෂ රසයටම සමාන රසවත් අග්ගලා ගෙදරදීම හදාගන්න ආකාරය මේ ලිපියෙන් අපි අද ඔබට ගෙනාවා. කෑම කන්නේ නැති බර අඩු පොඩ්ඩන්ට ආසාවෙන් කන්න පුළුවන් අමතර ආහාරයක් විදිහටත් මේ අග්ගලා ගැලපෙනවා. මේ ගෙදර හදපු ත්‍රිපෝෂ, රසයෙනුත් ගුණයෙනුත් හරිම ඉහළයි. අමතක කරන්නේ නැතිව ඉක්මනින්ම හදලා බලන්න. හොදම දේ දරුවන්ටනේ.. ආදරේ වෙනුවෙන් මොනවද කරන්න බැරි ?එහෙම නේද ?

මෙන්න මේ දේවල් අපට ඕන වෙනවා – මුං ඇට, කඩල, ඉරිගු, රටකජු, ආමන්ඩ්, සහල් මේ හැම දෙයක්ම ග්‍රෑම් 100 බැගින් තමයි ඕන.

මෙන්න මෙහෙමයි හදන්නේ – සියලුම ධාන්‍ය හොදින් සෝදා අවුවේ වියලා ගන්න. වෙනම කබලේ බැදගන්න, සියුම්ව කුඩු කරගන්න. සියල්ල එකට මිශ්‍ර කරන්න. අවශ්‍ය පමණට, පොල්, සීනි, තිබේ නම් කිතුල් පැණි යොදා මිශ්‍ර කර ගුලි සාදා පිළිගන්වන්න.

මීට අමතරව තල, සෝයා ඇට, ඇතුළු ධාන්‍ය වර්ගත් එකතු කරගන්න පුළුවන් කියලත් මතක තියාගන්න. (මේ ආහාර වට්ටෝරුව වයස අවුරුදු 1ට වැඩි දරුවන්ට වඩාත් සුදුසුයි). ගෙදර හැදුව ත්‍රිපෝෂ රස අග්ගලා හරිම රසයි. ඒක නම් නොකියාම බැහැ.

ඉරේෂා
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව සුවකරගන්න බණ්ඩක්කා කපලා වතුර වීදුරුවකට දාලා තියලා බොන්න

බණ්ඩක්කා යනු සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ඇති එළවළුවක්. විටමින් A, B, C, E සහ පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජ බණ්ඩක්කා තුළ අන්තර්ගතයි. බණ්ඩක්කා වලින් අප ශරීරයට කෙරෙන කාර්යයන් රාශියක් තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
බණ්ඩක්කා ප්‍රතිඔක්සිකාරක වලින් සහ විටමින් C වලින් පොහොසත්. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා. එලෙසම බාහිරෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ කිරීමට ශරීරයට ඇතුළුවන අහිතකර සංඝටකයන් සමග සටන් වැදීමට සුදු රුධිර සෛල නිෂ්පාදනය කිරීමද සිදු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීම
ඔබේ ආහාර වේල සඳහා බණ්ඩක්කා එක්කර ගැනීම මගින් ශරීරයට වැඩි තන්තු ප්‍රමාණයක් එක්කර ගන්නට පුළුවන්. බණ්ඩක්කා සතු තන්තු මගින් ආහාර ජීර්ණ පද්ධතිය හරහා ආහාර ක්‍රමවත්ව ගමන් කරවීම සිදු කරනවා. එලෙසම මලපහ පිටවීමද ක්‍රමවත් කර උදරය පිපීම, උදර මාංශ පේශී පෙරලීම, මලබද්ධය සහ උදරයේ ගෑස් ඇතිවීමේ වැනි උදරාශ්‍රිත ආභාද රැසකින් අපව ආරක්‍ෂා කර පාචනයෙන් සහ අධික කොලෙස්ටරෝල් මට්ටමෙන් පවා අපව ආරක්‍ෂා කරනු ලබනවා.

පෙනීම් වර්ධනය කිරීම
බණ්ඩක්කා සතු විටමින් A සහ “lutein”, “xanthene” සහ “beta carotenes” වැනි ප්‍රතිඔක්සිකාරක සංඝටකයන් මගින් පෙනීමට බාධා ඇති වන ආකාරයෙන් ශරීරයේ සෛල වලට හානි කරන ව්‍යාදිජනකයින් අඩපණ කිරීම සිදු කරනවා. දිනපතා බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් “cataracts” සහ නාභිගත ගැටළු ඇතිවීම වැළකෙනවා.

රුධිර පීඩනය නියාමනය කිරීම සහ හදවත් සෞඛ්‍යය රැක ගැනීම
බණ්ඩක්කා සතු විටමින් සහ ඛනිජ මෙන්ම අධික පොටෑසියම් නිසා හදවත් සෞඛ්‍යය නිසි ලෙස ආරක්‍ෂා වනවා. පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් ප්‍රමාණය සහ තරලයන් නිසි ලෙස සමබර කර ශරීරයේ රුධිර නාලිකා සහ ධමනි ලිහිල් කර රුධිර පීඩනය පාලනය කර හදවත් සෞඛ්‍යය වර්ධනය කිරීම සිදු කරනවා.

සම සෞඛ්‍යය සම්පන්න කිරීම
බණ්ඩක්කා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන තුවාල සුවපත්වීමේ වේගය වැඩිවීම සහ සම සෞඛ්‍යය සම්පන්න වීම සිදු වනවා. එමෙන්ම, සමේ කැළැල් මැකීම, කුරුලෑ සහ සම රැළි වැටීම පවා වළක්වනවා. මෙවන් සෞඛ්‍යය ප්‍රතිලාභ අපට අත්වන්නේ බණ්ඩක්කා තුල අඩංගු වන ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය නිසයි.

දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ම බෙහෙතක් ලෙස බණ්ඩක්කා ඉන්දියානුවන් විසින් සලකනු ලබනවා
ඔවුන් රුධිරගත සීනි මට්ටම පහල දැමීම සඳහා උදැසන බණ්ඩක්කා දැමු වතුර පානය කරනවා. රාත්‍රී කාලයේදී බණ්ඩක්කා කරල් දෙකක් පමණ ගෙන එය කපා වතුර වීදුරුවක දමා එලි වනතුරු තබන්න. උදෑසන බණ්ඩක්කා ආහාරයට ගෙන වතුර මිශ්‍රණය පානය කරන්න. මේ සුව ප්‍රතිලාභ සියල්ල ඔබට ලැබේවි.

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

අප අතර පවතින විවිධ රෝගාබාධ සුවපත් කිරීමට මෙන්ම ජීවන පැවැත්මේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත වූ ඖෂධයක් වන්නේ කළුදුරුය. එය ඈත අතීතයේ සිට ආයුර්වේදයේ දී මෙන්ම දේශීය වෛද්‍යකර්මයන්හි දී ද භාවිත වූ ඖෂධයකි. වර්තමානය වන විට එය ලෝක වාසීන්ගේ ද ජීවකයා බඳු ඖෂදයක් වී තිබේ. මේ නිසාම කළුදුරු ආශ්‍රයෙන් කෙරෙන පර්යේෂණයන් ද අතිමහත්ය. නමුත් නවීන සොයාගැනීම් බොහෝමයකට පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත වූ දැනුම වීම විශේෂයකි.

කළුදුරු වූකලී දුරු පවුලට නෑකම් කියන ශාකයක් නොවේ. එය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Nigella sativa ලෙසිනි. නමුත් ලංකාවේ නොවැවෙන කළුදුරු ශාකය ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල හොඳින් වැවෙයි. එසේ වුව ද මෙරට කළුදුරු භාවිතය ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියයි.

ශ්‍රී ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේට වැලඳුන රෝගාබාධයකට සුළු ගුළු උපාසක තැන විසින් සකසා දෙන කැඳ සඳහා ද කළුදුරු ඇතුළත්ව තිබි ඇත. අතීතයේ පැවැති සුළු ගුළු යාතුවට ඉඟුරු, ගම්මිරිස්, කළුදුරු, සුදුදුරු, දේවදාර, අසමෝදගම්, වියළි කහ, සුදු ලූනු, උළුහාල්, සහිඳලුණු ආදිය ඇතුළත්ව තිබේ. මලියදේව මහ රහතන් වහන්සේට ප්‍රතිකාර කර ඇත්තේ උපාසක තැනකි. ඔහු වෛද්‍යවරයකු ලෙස දක්වා නැත. මෙයින් පෙනී යනුයේ එකල සාමාන්‍ය ජනතාව අතර ද කළුදුරු භාවිත වූ බවයි.

වර්තමානයේ අපට වැලඳෙන රෝගාබාධ රාශියකට ප්‍රතිකාර වශයෙන් කළුදුරු යොදාගත හැකි බව සනාථ වී තිබේ. වා, සෙම් රෝගවලට අදාළ අපගේ වෛද්‍ය ප්‍රතිකාරවල දී කළුදුරු භාවිත කෙරෙයි. සෙම් රෝගවලට දෙන කෂායට ද බොහෝ විට කළුදුරු භාවිත කරයි.

කථිකාචාර්ය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ
වර්තමානයේ අපට වැලඳෙන බොහෝ රෝග පාලනය කරනු සඳහා ඇති ගුණාත්මක ඖෂධයක් ලෙස කළුදුරු හැඳින්විය හැකිය. කළුදුරු විවිධ රෝග සඳහා භාවිත වන ප්‍රතිජීවක ඖෂධ වෙනුවට ද භාවිත කළ හැකිය.

ලෝකයේ මේ වන විට කළුදුරු ඇසුරින් විවිධ ඖෂධ නිෂ්පාදනය කර තිබේ. කළුදුරුවලින් නිස්සාරණය කරගන්නා තෙල්වලට ද විශේෂ ඉල්ලුමක් ඇත. කළුදුරුවල ඇති රසායනික සංයුතියන්ට අමතරව ස්වභාවික රසායනිකයක් වන තයිමොක්වොනොන් (Thymoquinone) තමිමොහයිඩේ‍රාක්වීනොන් (Thymohydroquinone) සහ තයිමෝල් (Thymol) අඩංගු බව පැවසේ. මේ හේතුව නිසාම එය අපට වැලඳෙන වෛරස් හා බැක්ටීරියා රෝග පාලනයට ඉතා වැදගත් යැයි විද්‍යාඥවරු පවසති.

විශේෂයෙන් පිළිකා වර්ධනය අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇත. මේ නිසාම පිළිකා රෝගීන් විෂයයෙහි වෛද්‍යවරු කළුදුරු ආශ්‍රිත ඖෂධ භාවිත කරති. තවද මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කිරීමයි. වර්තමානයේ ලොකු කුඩා බොහෝ දෙනකුට ඇති තවත් එක් ප්‍රධාන රෝගයක් වනුයේ අක්මාවේ මේදය තැන්පත් වීමයි. මත්පැන් හා වෙනත් සැර ඖෂධ භාවිතය හේතුවෙන් අක්මාවට වන හානිය අවම කිරීමට ද කළුදුරුවලට හැකියාව ඇත. දුර්වල වී ඇති අක්මාව ක්‍රියාකාරිත්වයෙන් දියුණු කිරීමට එය සමත් වේ.

වර්තමානයේ තවත් බහුල ලෙස පැතිරුණු රෝග තත්ත්වයක් වනුයේ මධුමේහයයි. කළුදුරු මධුමේහ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඉතාමත් යහපත් ඖෂධයක් ද වේ. හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කිරීමට ද අධිරුධිර පීඩනය පාලනය කිරීමට ද එය යහපත් ය. රුධිරගත මේදය පාලනය කිරීමට ඊට හැකියාව ඇත. තවද තරබාරු අයට විශේෂයෙන් ගුණ දෙන ඖෂධ ද කළුදුරු ඇසුරින් සැකසේ.

අපේ මුතුන්මිත්තෝ හිස කෙස් සඳහා ගල්වන තෙල් වර්ග සැකසීමට කළුදුරු අනිවාර්යයෙන්ම යොදා ගත්හ. බොහෝ විට තෙලට යොදන කල්කයට මෙන්ම තෙල් බහාලන භාජනයට කළුදුරු දැමීමට අමතක නොකළහ. හිස ගැල්වීම සඳහා ‍පොල්තෙල් හෝ තැඹිලි තෙල් වෙන්කර තැබිමේ දී එයට උළුහාල්, කළුදුරු, සැවැන්දරා මුල් දමා තැබිම සිරිතක් ලෙස පැවතිණ. කළුවන් ඝන නිරෝගී, ශක්තිමත් කෙස් කලඹකට මෙය හේතු විය. තවද හිස් කබල ආශ්‍රිතව පැන නැගෙන දිලීර ආසාදන වළක්වා ගැනීමට ද එමගින් හැකි විය. එය හිස්හොරිවලට ද මහඟු ප්‍රතිකාරයක් විය.

මෙහි ඇති තවත් ඖෂධීය ගුණයක් වනුයේ පෙණහලුවල හට ගැනෙන ආසාදන වැළැක්වීමට ඇති හැකියාවය. ඇදුම, කැස්ස වැනි රෝග සුවපත් කිරීමට දෙන ඖෂධවලට ද, ක්ෂය රෝග ප්‍රතිකාර වෙනුවෙන් ද දේශීය චිකිත්සාවේ දී කෂාය සඳහා කළුදුරු උපයෝගී කර ගනු ලැබේ.

මෙහි ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ආහාර දිරවීමට පහසු කරවීමයි. ආහාර රුචිය වැඩි කිරීමයි. බඩවැල්වල හටගන්නා පිළිකා තත්ත්වයන් අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇතැයි නූතන විද්‍යාඥයෝ ද පවසති. ඊට අමතරව මොළයේ හට ගන්නා පිළිකා, පියයුරු පිළිකා මෙන්ම ‍ලේ පිළිකා, මුඛ පිළිකා ආදියෙන් ඇතිවන අවදානම් තත්ත්වය අඩුකරලීමට හැකියාව ඇත.

අප ශරීරයට වර්තමානයේ විවිධාකාරයෙන් විස රසායනිකයන් ඇතුළතක් වේ. ඊයම්වලින් මොළයේ ක්‍රියාකාරිත්වයට සිදුවන හානිය අවම කරලීමට කළුදුරුවලට හැකියාව ඇත. ඊට අමතරව තවත් බැර ලෝහයක් වන කැඩ්මියම් (ජඤ) වලින් වකුගඩුවලට වන හානිය අවම කිරීමට කළුදුරුවලට හැකියාව ඇති බව විද්‍යාඥයෝ පවසති.

ස්නායු පද්ධතිය ආශ්‍රිතව හටගැනෙනා රෝග පාලනය කරනු පිණිස ද කළුදුරු යොදා ගැනෙයි. දේශීය චිකිත්සාවේ දී අපස්මාර රෝගය පාලනය කිරීමට ද කළුදුරු භාවිත කෙරෙයි.

මීට අමතරව සමේ හටගන්නා විවිධ රෝග සුවපත් කිරීම සඳහා ද කළුදුරු භාවිත කළ හැකිය. කුරුලෑ සුවපත් කිරීමට මෙන්ම සිරුරේ හටගන්නා වෙනත් ගෙඩි සුවපත් කරනු පිණිස ද කළුදුර භාවිත කෙරෙයි. කැඩුම් බිඳුම් සුවපත් කිරීමට සේම තැළීම් ඉදිමුම් අවම කිරීමට යොදන ඖෂධවල ප්‍රධාන වශයෙන් කළුදුරු අඩංගුය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා කෙරෙන ප්‍රතිකාර සඳහා කළුදුරු භාවිත කළ හැකි බව සොයාගෙන ඇත.

කළුදුරු අනුසාරයෙන් විශේෂයෙන් විෂබිජ නාශකයක් මෙන්ම, කෘෂිකාර්මික කටයුතුවල දී ස්වභාවික කෘමිනාශකයක් ලෙස ද භාවිත කළ හැකි වේ. ශාකවලට වැලඳෙන දිලීර සහ වෛරස් රෝග පාලනයට ඉතාමත් යහපත්ය.

මෙයාකාරයෙන් අපට වැලඳෙන බොහෝ රෝගයන්ගෙන් අප ආරක්ෂා කිරීමට කළුදුරුවලට හැකියාව තිබුණත් දිව්‍ය ඖෂධයක් බඳු වුවත් කළුදුරු ශරීරයට අයහපත් වන අවස්ථා ද දැකිය හැකිය. වකුගඩු දියවීමේ රෝග ඇති අයට මෙන්ම ගැබිනි මව්වරුන්ට කළුදුරු එතරම් යහපත් නොවේ. කළුදුරු අධිමාත්‍රාවෙන් ගැනීම අක්මාවට මෙන්ම වකුගඩුවලට ද බලපායි. තවද දරුවන් බලා‍පොරොත්තුවෙන් සිටින අයට ද එතරම් යහපත් නොවේ. එබැවින් කළුදුරු ආශ්‍රිත ඖෂධ වෙළෙඳ‍පොළේ කොතෙකුත් තිබුණත් වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත යුතුය.

අධික තරබාරුවට තිත – කළුදුරු විස්මිත වට්ටෝරුව මෙන්න
අධික තරබාරුව, රුධිරගත මේදය වැනි රෝග ඇති අයට කළුදුරු ආශ්‍රිතව තම නිවසේදීම සාදාගත හැකි අත්බෙහෙත් ද තිබේ. කළුදුරු, සුදුලූනු, ඉඟුරු, ගොරකා, කරපිංචා දලු, කුරුඳු ‍පොතු, උළුහාල් සමව ගෙන එයට ගම්මිරිස් ඇට කිහිපයක් ද එක්කර ඇල්දියෙන් අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් බත් සමග ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව ද රුධිරගත මේදය ද අවම කර ගත හැකිය. අධිරුධිර පීඩනය මෙන්ම දියවැඩියාව වැනි රෝග ඇති අයට ද මෙය ඉතා යහපත්ය.

(උපුටා ගැනීම රිවිර පුවත්පත)

නිකම්ම කන බිස්කට් එකට රස වෙනසක්, බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් රෙසිපි එකත් එක්කම මෙන්න

තේ වෙලාවට බිස්කට් එකක් කන එක දැන් පුරුද්දටම ගිහින් වගේ නේද? නිකම්ම තේ එකේ පොඟවගෙන කන බිස්කට් එකෙන් ඊට වඩා රස කෑම ටිකක් හදන්න පුළුවන්. තේ වෙලාවට විතරක් නෙවෙයි, අතුරුපසක් විදියටත් ගන්න පුළුවන් රසම රස කෑම ටිකක් බිස්කට් වලින් හදන රෙසිපි ටිකක් තමයි මේ කියන්න යන්නේ.

මික්ස්ඩ් ෆෘට් බිස්කට් පුඩින්
සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – මාරි බිස්කට් 16, ක්‍රීම් චීස් තේ හැඳි 3, ෆ්‍රෙශ් ක්‍රීම් කප් 1, මික්ස්ඩ් ෆෘට් ජෑම්, සීනි තේ හැඳි 2, දොඩම්, කෙසෙල්, ඇපල්, මිදි වගේ කැමති පළතුරු කීපයක් (කපාගත්), ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1

මෙන්න හදන හැටි – ජෙලි පැකට් එක වතුර කෝප්ප 1/2කට මිශ්‍ර කර, එයට කපාගත් පළතුරු එකතු කර, ලිපේ තියාගෙන විනාඩි දෙක තුනක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න. මාරි බිස්කට් වල ජෑම් තවරා බිස්කට් දෙක බැගින් එකිනෙක අලවගෙන එක් බිස්කට් ජෝඩුවක් හතරට කපාගන්න. ෆ්‍රෙශ් ක්‍රීම් වලට සීනි සහ ක්‍රීම් චීස් එක් කර බීට් කරගන්න. පිලිගැන්වීමට සුදුසු වීදුරු බඳුනක බිස්කට් ලේයර් එකක් දමා එයට උඩින් පළතුරු සහ ෆ්‍රෙශ් ක්‍රීම් ලේයර් එකක් විදියට දමාගන්න. නැවත ඒ ආකාරයට ලේයර් කරගන්න. ශීතකරණයේ පැය තුන හතරක් තබා පිළිගන්වන්න.

බිස්කට් ඇන්ඩ් ක්‍රීම් ෆජ්
සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – චොප් කරගත් චොකලට් බිස්කට් 75g, සීනි මෙශරින් කප් 1, කැබලි කපාගත් බටර් 125g, මිල්ක්මේඩ් පොඩි ටින් එකක්, චොප් කරගත් චොකලට් 200g, ග්ලූකෝස් සිරප් මේස හැඳි 2

මෙන්න හදන හැටි – මිල්ක්මේඩ්, සීනි, බටර් සහ ග්ලූකෝස් සිරප් එකට මිශ්‍ර කර, බුබුළු නගින තෙක් ඩබල් බොයිල් ක්‍රමයට රත් කරමින් මිශ්‍ර කරගන්න. ලිපෙන් ඉවත් කර හොඳින් චොප් කරගත් චොකලට් සහ බිස්කට් එක් කර චොකලට් දිය වෙනතුරු මිශ්‍ර කරගන්න. සෙන්ටිමීටර් 18ක් දිග සහ පළල හතරැස් ට්‍රේ එකකට ඔයිල් පේපර් අතුරා ගෙන එයට මිශ්‍රණය දමාගන්න. නිවෙනකම් තබා ශීතකරණයේ රැයක් තියා කෑලි කපාගන්න.

බිස්කට් චොකලට් ලොග්ස්
සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – මාරි හෝ එවැනි ප්ලේන් බිස්කට් වර්ගයකින් 6ක්, බටර් මේස හැඳි 1, අයිසින් සීනි මේස හැඳි 2, වැනිලා තේ හැඳි 1/2, කොකෝවා පව්ඩර් තේ හැඳි 1/2, ක්ෂණික කෝපි තේ හැන්දයි, වතුර කප් 1/2, කුඩු කරගත් කජු ටිකක්.

මෙන්න හදන හැටි – කෝපි වලට වතුර එක් කර විනාඩි කීපයක් තියෙන්න හැර දියකරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දියකරගෙන, එයට සීනි එක් කර, හැන්දකින් ගසා මිශ්‍ර කරගන්න. බටර් සහ සීනි මිශ්‍රණයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගන්න. බිස්කට් එකක් ගෙන සාදාගත් කෝපි මිශ්‍රණයේ ඔබා ඉක්මණින්ම ඉවතට ගෙන සාදාගත් චොකලට් මිශ්‍රණය එයට උඩින් තවරාගන්න. නැවත පෙර පරිදිම බිස්කට් එකක් කෝපි වල ඔබා අරගෙන කලින් චොකලට් තවරාගත් බිස්කට් එක මත තියාගන්න. මේ ආකාරයට බිස්කට් සියල්ල එක උඩ එක වන ලෙස තබා වටේටම සාදාගත් චොකලට් මිශ්‍රණය තවරන්න. කජු ඉස, ශීතකරණයේ පැය කීපයක් තබා ගන්න. හතරට කපා පිලිගන්වන්න.

බිස්කට් කේක්
සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – මාරි බිස්කට් 200g, සීනි 50g, බිත්තර 3, බටර් 100g, මිල්ක් චොකලට් 150g, බේකින් පව්ඩර් 16g.

මෙන්න හදන හැටි – බිස්කට් ටික ග්‍රයින්ඩර් එකට දමා කුඩු කරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන වෙනම බෝල් එකකට දමාගන්න. ඒකටම සීනි එකතු කරගෙන හොඳින් සීනි දියකරගන්න. දියකරගත් සීනි සහ බටර් මිශ්‍රණයට බිත්තර එකතු කරගෙන බීට් කරගන්න. ඒකට බිස්කට් කුඩු සහ බේකින් පව්ඩර් ටික එකතු කරන් මිශ්‍ර කරගන්න. චොකලට් කුඩා කැබලි වලට කපා එයටම එකතු කරගන්න. බටර් තවරා තෙල් කඩදාසි දමාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දමාගෙන සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. හොඳින් නිවුණු පසු උඩින් අයිසින් සීනි ඉස සරසා පිළිගන්වන්න.

බිස්කට් මිල්ක්ශේක්
සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 2, කිරි කප් 1, චොකලට් බිස්කට් 4ක්, සැරසීමට චොකලට් සෝස්.

මෙන්න හදන හැටි – කිරි සහ අයිස්ක්‍රීම් එකට බ්ලෙන්ඩ් කරගන්න. එයටම කැබලි කඩාගත් බිස්කට් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. චොකලට් සෝස් වීදුරුවකට දමා, එය විනාඩි කීපයක් ශීතකරණයේ තබා, සාදාගත් මිල්ක්ශේක් එක දමා පිළිගන්වන්න.

(ලිපිය උපුටා ගැනීම lifie.lk වෙබ් අඩවියෙන්)

බිබිලි එක දෙක මතුවී මුළු ශරීරය පුරාම පැතිරී යන පැ‍පොල රෝගය ගැන මේ දේවල් අනිවාර්යෙන් දැනගන්න

නාගත්තාට පසුව ශරීරය පිස දැමුවද අතරින් පතර වතුර බිංදුවක් දෙකක් පිස දැමී නැතිව ඇගේ රැඳී තිබෙන අවස්ථා ඔබ දැක ඇති. ඒ ආකාරගත් වතුර බිබිලක් දෙකක් පපුවෙන් හෝ අතේ ඉහළින් මතුවී උණ ඇඟපත වේදනාව සමග පවතී නම් ඔබේ සැකය බොහෝ දුරට නිවැරදිය. එදා පටන් අපි මෙම රෝගය හඳුන්වන්නේ පැ‍පොල කියාය. මෙම රෝගයට හේතුව විෂබිජයකි. විෂබිජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය ආක්‍රමණය කරන සතුරු හමුදාවකි. එහෙත් එම බිෂබිජ අපේ ඇසට නොපෙනෙන තරමේ ඉතා සියුම් ස්වභාවයකින් යුතු වන නිසා හොර රහසේම අපේ ශරීර තුළට රිංගා ගන්නට ඒවා දක්ෂවේ.

අද අප කතා කරන පැ‍පොල රෝගයට හේතුවන විෂබිජය වෛරසයකි. පැ‍පොල වෛරසය ශරීරගත වූ රෝගියෙකු කහින හෝ කිවිසන විට පිටවන ලක්ෂ සංඛ්‍යාත කෙළ බිඳිති සමග එම වෛරසය පරිසරයට මුදාහැරීම සිදුවේ. ඔබ කණ්ණාඩියක් ඉදිරිපිට සිට කටින් හුස්ම පිටකළ විටදි කොතරම් නම් කෙළ බිඳිති ප්‍රමාණයක් වීදුරු පෘෂ්ඨය මත තැන්පත් වනවාද ? ඒ ආකාරයේ කෙළ බිඳක ඇති එකම එක වෛරසයක් නිරෝගී අයෙකුගේ ශරීරයට ඇතුළු වන්නේ ආශ්වාස කරන හුස්මත් සමගය.

ඉන්පසුව එම වෛරසය ශරීරය පුරාම පැතිරී යාමත් සමග සම මත බිබිලි එක දෙක මතු වන්නට පටන් ගනී. පෙර කී ආකාරයට පළමු බිබිල හෝ දෙක පපුවෙහි හෝ අතේ ඉහළින් හටගෙන වරුවක් පමණ ගතවනවිට බුබුළු එක දෙක වැඩිවන්නට පටන් ගනී. පසුදා වන විටදී මුළු ශරීරය පුරාම පාහේ මෙම බිබිලි පැතිරී පැවැතිය හැකිය.

පැ‍පොල රෝගයෙන් බේරෙන අයෙකු නැති තරමට ඕනෑම අයෙකුට තම ජීවිත කාලයේ කෙදිනක හෝ පැ‍පොල වැලඳෙන්නට ඉඩ ඇත. පැ‍පොල වැලඳුන විටදී එය සුව වන්නේ සතියකට පසුවය. තරුණ වියේදී හට ගන්නා පැ‍පොල සුව වීම පිළිබඳව ගැටලුවක් නැත. එහෙත් අවුරුදු හැට හැත්තෑව පසු වූවන්ට පැ‍පොල වැලඳීම සිතනවාට වඩා බරපතල තත්ත්වයට පත්වන අවස්ථා තිබේ. එවැනි අයෙකු උණ, හුස්ම ගැනීමේ අපහසුව සමග නියුමෝනියාව දක්වා අසාධ්‍ය තත්ත්වයට පත්වී මරණයට පත්වන අවස්ථාද නැතිවා නොවේ. එතරම් අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ජීවිතයේ ඊට පෙරදී කිසිදා පැ‍පොල රෝගයට ගොදුරු නොවූ අයෙකි. ඒ නිසා තරුණ වයසේදී වැලඳෙන පැ‍පොල තමන්ගේ ජීවිතයට වූ යහපතක් කොට සලකා බාර ගැනීමේ වරදක් නැත. ඒ පැ‍පොල වැලඳෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් වන නිසාය.

ශරීරයට හුරුපුරුදු වූ පැ‍පොල වෛරසය තවත් වරක් ශරීරය බාර ගන්නේ නැත. නැවත පැ‍පොල වෛරසයක් ශරීරයට ඇතුළු වුවද ප්‍රබල සටනකින් පසුව සෑම විටම ශරීරය ජය ලබන්නේ පැ‍පොල වෛරසය ඉතා හොඳින් ශරීරය හඳුනාගෙන සිටි නිසාය. කිසිදින පැ‍පොල වැලඳුනේ නැති ශරීරයකට ඊට විරුද්ධව එවැනි සටනක් කරන්නට නොහැකි වන්නේ ශරීරය එම වෛරසය නොහඳුනන නිසාය.

මේ සියලු කරදරවලින් මිදෙන්නට අවශ්‍ය නම් දැන් ඒ සඳහාද එන්නතක් තිබේ. එහෙත් කුඩා කල ලබාදෙන එන්නත් පන්තියට පැ‍පොල සඳහා වූ එන්නත් ඇතුලත් කර නැත්තේ පැ‍පොල යනු ශරීරයට ප්‍රබල කරදරයක් ඇති කරන රෝගයක් නොවන නිසාය. එහෙත් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එම එන්නත ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන රට පුරාම පවතී.

පැ‍පොල පළමු බිබිල මතු වූ වාහම එම එන්නත ලබාගත හැකි නම් යම් පමණක සහනයක් ළඟාකර ගත හැකිය. එම එන්නත මගින් ශරීරයට ඇතුළු කරන්නේද පැ‍පොල වෛරසයටය. එහෙත් එය කෘත්‍රිමව අකර්මණ්‍ය කරන ලද තත්ත්වයක ඇති වෛරසයකි. පැ‍පොල සෑදීමට තරම් ශක්තියක් ඒ වෛරසය සතුව නැත. ශරීරයට එම වෛරසය එන්නතක් ආකාරයට ඇතුළු කළ විට පැ‍පොල වෛරසය යනු කුමක්දැයි ශරීරය හොඳින්ම හඳුනා ගනී. ඉන්පසුව පැ‍පොල වෛරසය සමග සටන් කරන්නට ශරීරය සූදානම් වන්නේ පැ‍පොල එක් වරක් සෑදුණු රෝගියෙකුට නොදවෛනි ආකාරයටය.

පැ‍පොල සෑදුණු රෝගියෙකු සම්පූර්ණයෙන් සුවපත් වුවත් වෙනත් රෝග කාරක වෛරස් මෙන් පැ‍පොල වෛරසය ශරීරයෙන් සහමුලින්ම ඉවත්කර දමන්නට කිසිවෙකුට නොහැකිය. එයට හේතුව එම වෛරසය සැඟවී සිටින්නට කිසිවෙකුට ළඟාවිය නොහැකි ඉතාමත්ම රහසිගත ස්ථානයක් තෝරා ගැනීමය. එසේ සැඟවෙන වෛරසය එම පුද්ගලයාට කිසිදු කරදරයක් නොදී ඉතා මිත්‍රශීලීව මුළු ජීවිත කාලය පුරාම සැඟවී ජීවත්වන බව පැවසුවහොත් ඔබ එය පිළිගන්නවාද?

එහෙත් යම් හේතුවක් නිසා එලෙස සැඟවී සිටින වෛරසයක් ඒ සැඟවී සිටින රහසිගත තැනින් පිටතට පැමිණියහොත් සිදුවන්නේ කුමක්ද? එතෙක් සැඟවී සිටි තැනින් ඈත් මෑත් වූ වෛරසයට එතැන් සිට මිත්‍රශීලී හැසිරීමක් නැත. පැ‍පොල රෝගය පිළිබඳව ඔබ කොතෙකුත් අසා තිබුණද අංශ පැ‍පොල නම් රෝගී තත්ත්වය පිළිබඳව ඔබ එතරම් අසා නොතිබිය හැකිය. අංශ පැ‍පොල නම් රෝගී තත්ත්වය ඇතිකරවන්නේ ශරීරය තුළ එතෙක් සැඟවී සිට එතැනින් පිටතට පැමිණි පැ‍පොල වෛරසයයි. පැ‍පොල රෝගයට වඩා ඉතා පීඩාකාරී අංශ පැ‍පොල රෝගී තත්ත්වය පිළිබඳව අපි ලබන සතියේ තවදුරටත් සාකච්ඡා කරමු.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා – උත්පලා සුභාෂිනී ජයසේකර
(උපුටාගැනීම ලක්බිම පුවත්පත)