මාස හයකින් ලක්‌ෂ 12 ක ආදායමක්‌ උපයාගන්න තුඹ කරවිල වගා කරන්න

වියලි කලාපයේ සරු කාලය වන මාස්‌ කන්නයේ වැසි අවසාන වන ජනවාරි – පෙබරවාරි සමය වන විට, කැලයට රිංගා තුඹ කරවිල කැඩීම එහි වෙසෙන්නන්ගේ පැරණි පුරුද්දකි. මාස කීපයක්‌ පසට යටවී නිදිගැන්වී සිටි තුඹ කරවිල අලය, ඔක්‌තෝබර් වැස්‌සත් සමග අවදි වේ. අහල පහල ඇති ආධාරක පඳුරක්‌ සොයාගෙන පිටතට ඇදෙන රිකිල්ල, මාස දෙක තුනක්‌ ඇතුළත ඝන වැලක්‌ බවට පත්වී පල දරයි. අවට සිටින ගැමියන්ගේ අතමිට සරු කරන තුඹ කරවිල නගරයට එනවිට රුපියල් සිය ගණන්වලට අලෙවි වන වස විස නැති ගමේ කෑමකි. ඖෂධීය ගුණය, ප්‍රනීත රසය ඇතුළු ගතිගුණ ගණනාවක්‌ එහි තැවරී තිබේ. දැනට දශක කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම වගාව වැඩිදියුණු කිරීමට අතගසා ගොවීන් සඳහා මාදිලි කීපයක්‌ නිදහස්‌ කරන ලදී. අරලගන්විල පර්යේෂණ ස්‌ථානයේ සේවය කළ පර්යේෂණ නිලධාරි ඡේ. පී. සුමනරත්න මහතා තුම්භිකා සහ ගෝලිකා වශයෙන් ගෙඩි හැදෙන මාදිලි දෙකක්‌ද, පැරකුම් නමින් මල් මාදිලියක්‌ද (පිරිමි වැලක්‌) වගාව සඳහා නිර්දේශ කළ අතර, අඟුණකොළපැලැස්‌සේ ඩී. වීරසේකර මහතා විසල් සහ කේෂර යනුවෙන් තවත් ගැහැනු මාදිලි (ගෙඩි සාදන වැල්) දෙකක්‌ද නිදහස්‌ කරන ලදී.

පැරකුම් වැලක්‌ අවට තිබියදී මෙම මාදිලි වගා කිරීමෙන්, හෙක්‌ටයාරයකට මෙටි්‍රක්‌ ටොන් 2 – 3 ක්‌ අතර අස්‌වැන්නක්‌ ලබා ගැනුණි. බීජ ලබාගත් පසු ඒවා මාස අටක්‌ පමණ අක්‍රීයව තිබීම හෙවත් සුප්තතාවය මෙම බෝගයේ ප්‍රචාරණය මුහුණ දුන් ලොකු ප්‍රශ්නයක්‌ විය. එසේම පැළවෙන ඒවායින් කොටසක්‌ පිරිමි වැල්වීමද ගැටලුවක්‌ වුණි. ඒ අප සතු තුඹ කරවිල ඉතිහාසයයි.

නව සොයා ගැනීම්වලට පන්නරය සැපයෙන්නේ ඉතිහාසයේ වූ ගැටලු බව යළි පසක්‌ කරමින්, තුඹ කරවිල වලිනුත් හයිබ්‍රිඩ් මාදිලියක්‌ බිහිකර, කැලේ වැලට කිරුළ පැළන්දූ විද්වතෙකි ඩී. වීරසේකර මහතා. ඔහු අඟුණකොළපැලැස්‌සේ තෙල් හා මාශ බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්‌ෂවරයෙකි. ඔහු නිපදවූ හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදය වන චන්දු, 2015 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්a වගාව සඳහා නිර්දේශ කළ අතර, මේ චන්දු ගැන ඔහු කියන කතාවයි.

අපේ තිබුණ වර්ගවල ගෙඩි පොඩියිනේ. අස්‌වැන්නත් ඒ තරමටම නෑ. මට හිතුණ වෙනත් බෝගවල වගේ මේකෙනුත් හයිබ්‍රිඩ් එකක්‌ හදන්න. ඒ සඳහා කැළේ වැවුණු පිරිමි වැලකින් පරාග අරගෙන පර්යේෂණ ස්‌ථානයේ මාදිලි එකතුවේ තිබුණු ස්‌ත්‍රී වැලක මල් එක්‌ක මුහුම් කළා. ලැබුණු ගෙඩිවල ඇට පැළ කරලා පරීක්‌ෂා කරනකොට තමයි මෙයාව අහු වුණේ. වෙන බෝගවල වගේ දැන් ඉතින් දිගටම මුහුම් කරන්න ඕනේ නෑ. ඒ වැල ආරක්‌ෂා කරගෙන වර්ධක ප්‍රචාරණය මගින්, එනම් දඬු කැබැලි පැළ කිරීම මගින් ඕනෙතරම් පැළ හදන්න පුළුවන්. ඒ තමයි චන්දු ගේ උපත.

චන්දුගේ ප්‍රචාරණය දඬු කැබලි වලින් සිදුවුවත්, එහි නිපදවෙන ස්‌ත්‍රී මල්වලින් ගෙඩි නිපදවීමට නම් ඒවා පරාගනය විය යුතුය. ඒ සඳහා අවශ්‍ය පිරිමි ශාකයක්‌ද තම දෙමුහුම් ප්‍රතිපල ගහනය වෙතින්ම ඔහු වෙන්කරගෙන තිබේ. එහි නම විශ්ම වේ. චන්දු සහ විශ්ම එකම දෙමාපියන්ගේ දරුවන්ය.

තුඹ කරවිල සඳහා හෙක්‌ටයාරයකට පැල 3000 ක්‌ නිර්දේශිතය. ස්‌ත්‍රී වැල් 10 කට පුරුෂ වැල් 1 ක්‌ යන අනුපාතය යටතේ වගාව ස්‌ථාපනය කෙරේ. පිරිමි සහ ගැහැනුq වැල් වෙන වෙනම පේළිවල වැවිය යුතු අතර උදේ 9.00 පමණ වනතෙක්‌ කෘත්‍රිමව පරාගනය කරනු ලබයි.

මල් පිපෙන්නේ රෑටනේ, උදේ වෙනකොට පරවෙනවා. ඒ නිසා මී මැස්‌සෝ වගේ සතුන් එන්නේ නෑ. පිරිමි මල්වලින් පරාග එකතුකරලා අපි විසින්ම කෘත්‍රිමව ගැහැණු මල් පරාගනය කළයුතු වෙන්නේ ඒ හින්දයි.

අද ගමේ එළවලු
මැස්‌සේ සිට සුපිරි වෙළෙඳසැලේ සිසිල් රාක්‌කය දක්‌වා චන්දු ආක්‍රමණය කර ඇත. ඔබ මෑතකදී ප්‍රමාණයෙන් ලොකු තුඹ කරවිල ගෙඩිවල අත්දැකීම ලබා ඇත්නම් ඒ අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් තුඹ නොහොත් චන්දු ය. එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෙවන ලද දේශීය විද්වතෙකුගේ හපන්කමකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වස විස නැති කෑමකි. තවමත් තුඹ කරවිල කෘෂි රසායන දියරයෙන් නාවන්නේ නැත.

චන්දුගේ අස්‌වැන්න අපේ කලින් වර්ගවලට වඩා දස ගුණයකින් විතර වැඩියි. වැලකින් කිලෝ ග්‍රෑම් 10 – 12 ක්‌ විතර එනවා. එතකොට හෙක්‌ටයාරයකට මෙටි්‍රක්‌ ටොන් 25 – 30 ක්‌ වගේ වෙයි. තඹුත්තේගම ගොවිමහතෙක්‌ ටොන් 40 ක අස්‌වැන්නක්‌ අරන් තිබුණ. වියදමත් ගොඩක්‌ අඩුයි. අක්‌කර බාගයක්‌ හදන්න රුපියල් එක්‌ලක්‌ෂ විසිදාහක්‌ විතර යයි. වැල් තියෙන්නේ මාස හයයිනේ. ඒ කියන්නේ මාස හයට ලක්‌ෂ 12-15 ක්‌ අතර ආදායමක්‌ ලබන්න පුළුවන්.

නිර්දේශ කර වසර දෙකක්‌ ගතවුවද චන්දු පැළ නිෂ්පාදන වැඩසටහනක්‌ නිසි ආකාරයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසමත්ව තිබීම කනගාටුවට කරුණකි. අදින එකාටම බර අදින්න ඉඩහැර කුසීත බලධරයෝ නිදිකිරා වැටෙති. මෙම නිලධාරියාම ඒ ටිකත් භාරගෙන ඇතිවාසේ පෙනේ. ඔහු පවසන්නේ කලින් ඇණවුම් කරන්නේ නම් අඟුණකොළ-පැලැස්‌සෙන්ම පැල සාදාදීම කළ හැකි බවයි. පැළ නැති වුණත් දෙපාර්තමේන්තුවෙන් මිලක්‌ නම් ලැබී ඇත. පැළයක්‌ රුපියල් 70 කි.

දිගටම වගා කෙරුවොත් කරවිල කුලයේ ශාකවලට වෛරස්‌ රෝග එහෙම එනවා. ඒ නිසා ලාභය ලැබුණාට එක දිගටම මේ බෝගය වවන්න මම නිර්දේශ කරන්නේ නෑ. වසවිස නැති කියන ගෞරවය රැකගන්න බෝග මාරුවකට යන්නම වෙනවා. වැඩි විස්‌තර ඕනෙනම් 0718082943 අංකයට කතාකළොත් මට උදවු කරන්න පුළුවන්. වීරසේකර මහතා අවසාන වශයෙන් පැවසීය.

එක මවකගෙන් උපන් චන්දු සහ විශ්ම දරු දෙදෙනාගේ නොගැලපෙන පොරොන්දම් ගලපා අසම්මත දීගයකට පාර කැපුවත්, ඔහු කර ඇත්තේ චමත්කාර හයිබ්‍රිඩ් එළවළුවක්‌ රටට දායාද කිරීමයි. යළි යළිත් සනාථ වන්නේ කෘෂිකර්මයේ මහගෙදර හිඳිනා නිහඬ විද්වතුන්ගේ හදගැස්‌මේ ශක්‌තිය නොවේද?

සනත් එම්. බණ්‌ඩාර
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)