තිත්ත නැතුව කරවිල අච්චාරු හදමුද?

කරවිල මතක් කරද්දිත් කටට තිත්ත රහක් දැනුණද? කලබල වෙන්න එපා. මේ අච්චාරුව ඒ තරම් තිත්ත රහ එකක් නෙවෙයි. හැබැයි කරවිලවල තියෙන ඖෂධීය ගුණය රැඳිලා තියෙන්නෙ ඒ තිත්ත රසය තුළම බවත් අමතක කරන්න එපා. ලේ වල විස නසන, ලේ පිරිසුදු කරන කරවිල දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. ඉතින් එච්චර ගුණ කරවිලවලින් අද අපි අච්චාරුවක් හදලා බලමු. කරවිල තිත්ත නිසා ගොඩක් අය කන්න කැමති නැහැ. හැබැයි මෙන්න මේ විදිහට නම් කවුරුත් කන්න කැමති වේවි. මේක හදන්න යන්නේ විනාඩි 25 ක විතර කාලයක්. හැබැයි 20 දෙනෙකුට විතර කන්න පුළුවන් මේ ප්‍රමාණයට කළමනා ගත්තහම. ඊට වැඩිය ඕන නම් කළමනාවල ප්‍රමාණය ටිකක් වැඩිකර ගන්නයි තියෙන්නේ.

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – කරවිල ගෙඩි 4ක්, වියලි මිරිස් අවුන්ස 1/2 (ග්‍රෑම් 14 පමණ), සුදු ළූණු අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), අබ අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), අමු ඉගුරු අවුන්ස 1/2 (ග්‍රෑම් 14 පමණ), විනාකිරි අවුන්ස 1/4 (ග්‍රෑම් 07 පමණ), පොල්තෙල්, ලුණු.

සාදා ගන්නා ආකාරය
කරවිලවල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. එලෙස කපා ගත් කරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස 1/4, අබ අවුන්ස 1/4, අමු ඉගුරු අවුන්ස 1/2, විනාකිරෙන් අඹරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරිවලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකර ගන්න. පළමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිලවලට මෙම මිශ්‍රණය එක්කොට හොදින් කලවම් කර ගන්න. අවශ්‍ය පමණ ලුණු යොදන්න. ඔබට අවශ්‍ය පමණට යොදා ගන්නා ද්‍රව්‍යයන් අඩු වැඩි කර ගන්න. පවුලේ අයත් සමග රස විදින්න. කිහිප දවසක් වුවත් තබා ගෙන ආහාරයට ගත හැකි ය. ඔබගේ කෑම වේලට අලුත්ම රසයක් එකතු කරාවි.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

පාන්පිටි වඩේ ගෙදරදීම රසට හදන හැටි

වැස්ස නිසා හවසට උණු උණුවෙම කන්න රසම රස පාන්පිටි වඩේ හදමුද? හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ. මේ රෙසිපි එක මමම හිතලා නිර්මාණය කර ගත්තු එකක්. පාන්පිටි වඩේ හදලා කන්න ආස හිතුනත් ගොඩක් රෙසිපි වල කමෙන්ට්ස් තිබුනා ගල් වගේ හයියයි කියලා.. සමහර රෙසිපි තිබුනා නිවුනම සොෆ්ට් වෙන බව කියලා. මේ රෙසපි එකට හැදුවම නම් ඔන්න බැදපු ගමන්ම කන්න පුළුවන්.. හරිම සොෆ්ට් වඩේ ටික..

අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි 300g, යීස්ට් තේහැඳි 01, සීනි තේහැඳි 01, මද උණුසුම් වතුර මේස හැඳි 03, බේකින් පවුඩර් තේහැඳි බාගයයි, යොදය සහිත කිරිපිටි මේස හැඳි 01, පොල්තෙල් මේස හැඳි 01, රස අනුව ලුණු, සිහින්ව කපා ගත් ලොකු ළුෑණු, කරපිංචා මහ අමුමිරිස් ටිකක්.

සාදන ක්‍රමය
මද උණුසුම් වතුර ටිකට යීස්ට් හා සීනි දමා වසා විනාඩි දහයක් පමණ තබන්න. එතකොට යීස්ට් ටික හොඳට පිපිලා එනවා. පාන්පිටි ටිකට ලුණුකුඩු, කිරිපිටි, බේකින් පවුඩර්, කපා ගත් අමුමිරිස්, කරපිංචා, ළුෑණු ටික, තෙල් සහ යීස්ට් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න. සාමාන්‍ය වතුර ටික ටික දමමින් අනා ගෙන පිටි මිශ්‍රණය සාදාගෙන වසා පැය දෙකක් තබන්න. පිටි මිශ්‍රණය රොටී වලට වඩා දියාරු විය යුතුයි. පාප්ප මෙන් ඇලෙන සුළුයි.

දැන් තෙල් තාච්චිය ලිපේ තබලා රත් වන විට අතේ වතුර ගාගනිමින් පිටි බෝල කඩා ගෙන අත්ල මත තබා තුනී කර මැද හිල සාදා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න. ගින්දර පාලනය කර බැදීමෙන් වඩේ ටික ලස්සන පාටට තියේවි. උණු උණුවෙම වඩේ දෙකට කපා මැදට ලුණු මිරිස් ගා රස බලන්න..

ශානි නදීෂා රණසිංහ
(උපුටාගැනීම My Kitchen පිටුවෙනි)

එළවළු සුප් එකක් රසට හදන හරිම විදිය දැනගන්න, රෙසිපි එකත් එක්කම මෙන්න

එළවළු සුප් කියන්නේ ගොඩක් දෙනෙක් කැමති දෙයක්. ගිලන්වූ රෝගීන්ට ඔසුවක්. ඒත් ගොඩක් අය හරිම විදියට එළවළු සුප් හදන්න දන්නේ නෑ. මේ ලිපියෙන් ඔයාලා හරියටම එළවළු සුප් එකක් රසට හදන්නේ කොහොමද කියලා දැනගන්න. එළවළු සුප් කියන්නෙ ඉතාමත් ගුණවත් සෞඛ්‍යදායි පානයක්. අපගේ ශරීර සෞඛ්‍ය ඉතා යහපත් කරවීමට විශාල රුකුලක් ලබා දෙනවා.

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය – කැරට් (Carrot) 50g ක්, බෝංචි (Beans) 50g ක්, අල (Potatoes) 50g ක්, හතු (Oyester Mushroom) 50g ක්, ගෝවා (Cabbage) 50g ක්, ලීක්ස් ගසක සුදු කොටස (Leaks) 50g ක්, පරිප්පු මිටක් (Red Lentil) 25g ක්, රතුළුෑණු (Shallots) 25g ක්, සැල්දිරි (Celary) 25g ක්, බිත්තර (Large Egg) 1nos ක්, කිරි (Milk) 1/2cup ක්, බටර් හෝ මාගරින් (Melted Butter) 1Tbs ක්, ලුණු කුඩු (Salt ) to taste, ගම්මිරිස් කුඩු (Crushed Pepper corns) to taste, දෙහි (Lime) to taste, උණු වතුර (Boiling Water) 4cups

සාදා ගන්නා ආකාරය – එළවළු සෝදා කුඩා කැබලිවලට කපා ගන්න. බටර් සාස්පානට දමා රත් වන විට රතු ලුණු එකතු කරන්න. රතුළුෑණු තෙම්පරාදු වන සුවද හමන විට එළවලු එකතු කර කවලම් කරන්න. ගින්දර අඩු කොට එළවලු තැම්බිමට හරින්න. (වතුර එකතු කරන්න එපා) විනාඩි 8ක් පමණ. එළවලු බාගෙට තම්බුනු පසු ඉන් කොටසක් ගෙන බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරගත් එළවලු නැවත සාස්පානට එකතු කර නටන වතුර කෝප්ප 4 එකතු කරන්න. නැවත මද ගින්දරේ සුප් එක උතුරන තෙක් තබන්න. (උණු වතුර එක්කල නිසා විනාඩි 3ක් පමණ යන විට උතුරන්න පටන් ගන්නවා.) දැන් කිරි ටික එකතු කර හැදී ගන්න. තත්පර 30ක් පමණ. ලිප නිවා හොදින් ගසා ගත බිත්තරය එකතු කරන්න, (බිත්තරය එකතු කරන විට සුප් එක තදින් කැලතිම මගින් බිත්තර කැදලි මෙන් පාවීමට පටන් ගනී) රස අනුව ලුණු, ගම්මිරිස් සහ දෙහි එකතු කර පිලි ගන්වන්න. සැල්දිරි කොළ අවසානයට එකතු කර සරසා ගන්න. (සැළකිය යුතුයි – බටර් / මාගරින් වෙනුවට ඔලිව් තෙල් භාවිත කල හැක.) සැල්දිරි / බිත්තර / කිරි අත්‍යවශ්‍යම නොවේ.

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනු ගමන් පට ගාලා හොඳකර ගන්න බෙහෙත් පානයක් හදන හැටි

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඖෂධයක් හෝ එන්නතක් නොමැති බව ඔබ අසා ඇති. ඒ නිසාම මෙම ආසාදනය ඇති කරන රයිනෝ වෛරසය ජය ගැනීම පහසු කාර්යයක් නොවේ. සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කිරීමට ගත හැකි විවිධ ක්‍රමෝපාය සොයාගිය විද්‍යාඥයන් එහිදී ලද ප්‍රතිඵල කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට ද එම උත්සාහ දරා ප්‍රතිඵල උරගා බැලිය හැකි නිසයි.

සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ – හිසරදය, ඇස් රතු වීම, කිඹුහුම් යාම, හිස බර ගතිය, ඇඟපත රිදීම, සොටු දියර ගැලීම, මද උණ ගතිය, – සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පහසු ක්‍රම රැසක් පහතින්

උදෑසන ආහාරවේල ජයට ගන්න
නෙදර්ලන්තයේ සිදුකළ පර්යේෂණයකදී හෙළිදරව් වූ කරුණක් වූයේ උදෑසන හොඳ ආහාර වේලක් ගත් පුද්ගලයන්ට එවැනි ආහාර වේලක් නොගත් අයට වඩා පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාවට මුහුණ දීමට හැකි වූ බවය. ජය ආහාරවේලක් උදේට ගත් අයගේ රුධිරය තුළ “ගැමා ඉන්ටර්ෆෙරෝන්” නම් ප්‍රති – වෛරස සාධකය ඉහළ නැඟීම මඟින් මෙම හැකියාව ඔවුන් සතු වන බව පර්යේෂකයන් නිගමනය කළහ. සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන මෙම උදෑසන ආහාර වේලට බත්, පලා, එළවළු, මාළු හෝ බිත්තර, කිරි සහ විටමින් සී සුලබ පලතුරක් ඇතුළත්ව තිබිණ

ආතතියෙන් මිදෙන්න
කණස්සල්ල, ආතතිය හා මානසික විඩාව සිරුරේ ආරක්ෂක ක්‍රියාදාමයට හරස් වෙයි. එහි ප්‍රතිඵල ඔබගේ රෝග මර්දන ශක්තිය එදෙසට යොමුවීම නිසා සෙම්ප්‍රතිශ්‍යාව සාදන රයිනෝවෛරසය වැනි වෛරසයන්ට පහසුවෙන් සිරුර තුළට ඇතුළු වී කෙනෙකු රෝගී කළ හැකි වෙයි. සුළු ආතතියත් ජීවිතය සඳහා නරකක් සිදු නොකළ ද, දැඩි ආතතියෙන් නිතර පෙළෙන අය තුළ සෙම්ප්‍රතිශ්‍යාව නිතර වැළඳීමේ හැකියාව තිබෙන බව පළවෙයි. ලද දෙයින් සතුටු වීම, භාවනාවක යෙදීම සහ යෝග ව්‍යායාමවල යෙදීම සෙම්ප්‍රතිශ්‍යාවට වැටබඳින බව පවසන්නේ එහෙයිනි.

“ග්‍රීන් ටී” පානය කරන්න
පසුගිය පර්යේෂණයකදී කැනේඩියානු පර්යේෂකයන් සෙම්ප්‍රතිශ්‍යා රෝග කාරක වෛරසය අඩංගුව තිබූ සාම්පලයකට ගී‍්‍රන් ටී නම් තේ එකක් එක් කරනු ලැබීය. එහිදී ඔවුන් නිරීක්ෂණය කරනු ලැබුයේ වෛරසය තවදුරටත් බෝනොවී පැවති බවය. සමහර තේ වර්ග තුළ අඩංගු ඊ.ජී.සී.ජී. (E.G.C.G) නම් රසායනිකය හපන්කම සිදුකළ බව පර්යේෂකයන්ගේ අදහස විය. එසේනම් සෙම්ප්‍රතිශ්‍යාව සෑදීගෙන එන විටම ගී‍්‍රන් ටී පානය කර මෙම රසායනිකය රුධිරය තුළට යාමට සැලැස්වීම සෙම්ප්‍රතිශ්‍යාව මර්දනයට පහසු මඟක් වනු ඇත. කොත්තමල්ලි හා පත්පාඩගම් තැම්බූ වතුරේ ද මේ හා සමාන ගුණයක් ඇති බව අප අත්දැකීමෙන් දනිමු. එහෙත් ඒවා තුළ ඊ.ජී.සී.ජී. හෝ වෙනත් සක්‍රිය රසායනිකයක් තිබේද යන්න දැනගන්නට නැත.

පැය 7 -8ක් නිදන්න
ඔබ ලබන නින්ද අඩුනම් එනම් දිනකට පැය 4 -6 කට වඩා අඩුනම් ඔබගේ රෝග මර්දන ශක්තිය හෙවත් ප්‍රතිශක්තිය සියයට 50කින් බිඳවැටීමට එය හේතුවක් වේවි. වෛරසවලට එරෙහිව ක්‍රියා කරන ප්‍රතිශක්ති පද්ධතියට අයත් “ස්වාභාවික නාශක සෛල” උපරිම මට්ටමෙන් ක්‍රියාකිරීමට දිනකට පැය 8ක පමණවත් නින්දක් ලැබීම අනිවාර්ය අවශ්‍යතාවයකි. නිදිමරමින් හෝ නින්දට පෙර මත්පැන් පානය කරමින් සෙම්ප්‍රතිශ්‍යාව ජය ගැනීමට සිහිනෙන් හෝ නොසිතන්න

ව්‍යායාම කර ප්‍රතිශක්ති පද්ධතියට ජීවය දෙන්න
ඇමෙරිකාවේ මැසචුසෙට් සරසවියේ සිදුකළ පර්යේෂණයක් පෙන්වා දෙන්නේ නිති ව්‍යායාම ගන්නා සහ කායිකව සක්‍රිය කාර්යයන්හි යෙදෙන අය අතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම අනෙක් අයට වඩා සියයට 25ක් අඩුව දක්නට ලැබුණු බවය. ව්‍යායාමයන්හි නිරතවීම නිසා සිරුරේ රෝග මර්දන හැකියාව සහිත සුදු රුධිර සෛල ප්‍රමාණය ඉහළ යෑමෙන් ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් වීම මෙයට හේතුව ලෙස ඔවුහු දකිති.

සැහැල්ලු ඇඳුමින් සැරසෙන්
අඳින ඇඳුම් පැළඳුම් ගැන ද පර්යේෂණ සිදුකර ඇති අතර ඇඟට හිර ඇඳුම් ඇඳ සිටිනවාට වඩා සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම සෙම්ප්‍රතිශ්‍යාව ජය ගැනීමට උදව් වන බව පෙන්වා දෙයි.

දුම් අල්ලන්න
උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පය, කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි. සෙම්ප්‍රතිශ්‍යාවේදී නාසය සිර කරමින් පවතින ශ්ලේෂ්මල ස්‍රාව, සොටු, බුරුල්කර දියකර හරිමින් නාසයේ සිරවීම හා කැස්ස දුරු කිරීමටත් එමඟින් හුස්ම ගැනීම පහසු කිරීමටත් අවස්ථාව සැලසේවි.

ආරක්ෂක විධිවිධාන තරකර ගන්න
සෙම්ප්‍රතිශ්‍යාව වෛරසයට ඔබගේ නාසය තුළට ඇතුළු විය හැක්කේ ආශ්වාස වාතය මඟින් ඍජුවම හෝ ඇස්වල තැවරී, කඳුළු නාළ ඔස්සේ නාසය තුළට රිංගා ගැනීම මඟිනි. මේ නිසා ඔබ අසල සිටින සෙම්ප්‍රතිශ්‍යා රෝගියකු කිවිසුම් ඇරීමක් හෝ කැස්සක් සිදු නොකළේ නම් ඔබ තුළට වෛරසය ගලා ඒමට මඟක් නොමැත.

1984 දී සිදුකළ අධ්‍යනයකදී පෙනී ගොස් ඇත්තේ සිඹීම (තොල්පෙති ස්පර්ෂ වන සේ සිටීම) හෝ මුඛය මාර්ගයෙන් සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීරගත වීමට පවත්නා හැකියාව අවම බවය. නමුත් සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකුගේ නාස් ස්‍රාව ගැල්වී ඇති තැනක ඔබ අත තැබුවහොත් හා එම අත නාසය පිරිමැදීමට භාජනය කළහොත් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමට හැකි බවය.

සෙම්ප්‍රතිශ්‍යා ස්‍රාව (සොටු) තැවරුණ තැනක පැය 24ක් පමණ කාලයක් දක්වා සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට නිරුපද්‍රිතව විසිය හැකි බව හෙළිකර ගෙන ඇත. එහෙයින් හැකි හැමවිටම අත් පිරිසිදුව තබා ගැනීමත් සෙම්ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටීමට උදව් වෙයි. රෝගියෙකු කිවිසුම් අරින හෝ කහින තැනක ඔබ සිටියහොත් මඳ වේලාවක් හුස්ම නොගෙන හුස්ම අල්ලාගෙන සිටීම එක් ආරක්ෂාකාරී පියවරකි.

සෙම්ප්‍රතිශ්‍යාව වැළදී හුස්ම ගැනීමට අපහසු විට.
දෙහි කොළ පොතු හා පේර කොළ එකට තම්බා මුහුණට වාෂ්පය අල්ලන්න. උණුසුම් ජලයෙන් මුහුණ හොඳින් තවන්න.
සෙම්ප්‍රතිශ්‍යාව රෝගයට

ඉඟුරු කොත්තමල්ලි හොඳට තම්බා සීනි දමා බී හොදාකාර ඇඟ වසා පොරවාගෙන සුළං නොවදින තැනක නිදා ගන්න. නැවත උණු දියෙන් මුහුණ, අතපය දවසට දෙතුන් වරක් සෝදන්න. පැසවූ ඉඟුරු ඉස්ම ටිකක් නාසයට උරා සෙම් ඇරීමද යහපත්ය. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, පත්පාඩගම්, තිප්පිලි තම්බා බොන්න. මඳ උනුසුම් වතුරට ලුණු දිය කර කට, උගුර සෝදන්න. තිප්පිලි කුඩු මී පැණි සමග අනා දිවේ ගාන්න. කොත්තමල්ලි, යකිනාරං කොළ, දෙහි කොළ තම්බා උදේ සවස දුම් අල්ලන්න. හුමාලය හිස, නළල, මුහුණ හා පපුවට වැදෙන සේ දුම් අල්ලා ගැනීමෙන් නාසය හිරවීම, හිසරදය හොඉස බර ගතියට ක්ෂණික සහනය ලැබේ.

සෙම්ප්‍රතිශ්‍යාව මට්ටු කරන පානයක් හදාගන්න විදිය
සෙම්ප්‍රතිශ්‍යාව, උණ, කිවිසුම් යෑම සහා කැස්ස වැනි රෝගයන් පොදුවේ බොහෝ දෙනෙක්ට වැළදෙන රෝගයන් වන අතර මෙම ලිපියේදි අපි ඔබව දැනුවත් කරන්නේ එම සියළුම රෝගයන් වලට ගුණදායි සෞඛ්‍යය සම්පන්න පානයක් පහසුවෙන්ම සකස් කරගන්නා ආකාරයයී. ඉගුරු භාවිතා කරමින් සාදාගනු ලබන මෙම පානය සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ඉතාමත් සුවිශේෂි පානයක් වෙනවා මොකද සෙම්ප්‍රතිශ්‍යා තත්වය ඉක්මනින් සුවපත් කර ගැනිමට එය උපකාරි වෙන නිසා. අප අවට ඇති නොයෙකුත් වෛරසයන්ගෙන් ආරක්ෂා වි සිටිම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබාදෙන ඒවගේම මනෝභාවයන් විකසිත කරමින් ඔබව නැවුම්ව තබන එම පානය සකස් කරගන්නා ආකාරය තමයි මේ ඔබ පහතින් දකින්නේ.

අවශ්‍ය කරන දේවල් – දොඩම් ගෙඩි දෙකක යුෂ, එක් රට දෙහි ගෙඩියක යුෂ, පොතුරු ඇර හොදින් සෝදා පිරිසිදු කර ගත් ඉගුරු කැබැල්ලක්, මී පැණි තේ හැන්දක්, වතුර විදුරු භාගයක්, සකස් කරගන්නා ආකාරය

ඉහත සඳහන් කරනලද සියලූ‍ම ද්‍රව්‍යයන් ඇඹරුමු යන්ත්‍රයකට දමා හොදින් මිශ්‍ර කරන්න.
සෙම්ප්‍රතිශ්‍යාවද ඇතුල්ව බොහොමයක් රෝගයන්ගෙන් සහනය සලසා දෙන එම සුවිශේෂි පානය සකස් කරගන්නා ආකාරය ගැන දැන් ඔබ දැනුවත් වෙලා තිබේනවා. මෙය නිතර පානය කරනවානම් වෛරසයන් මගින් ඇතිවෙන ආසාදන තත්වයන්ගෙන් නිසැක ආරක්ෂාව සලකා ගන්න පුළුවන්.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)

පාන් වලින් හදාගන්න පුළුවන් රස කෑමක් මෙන්න ‘බ්‍රෙඩ් කැසරෝල්’ රෙසිපි එකත් එක්කම මෙන්න

ගොඩක් අය පාන් කිවුවම කන්න කැමති කෑමක් නේ. ඉතින් හැමදාම එකම විදියට පාන් කන එකේ පාන් වෙන විදියකට අළුත් විදියකට හදලා කෑවොත් කොහොමද? ඔන්න දැන් කියන්න යන්නේ කොහොමද පාන් වලින් බ්‍රෙඩ් කැසරෝල් එකක් හදාගන්නේ කියලා. බ්‍රෙඩ් කැසරෝල්, කෙටි ආහාරයකට වගේම ඔබේ සිඟිත්තාගේ පාසලට, පෙර පාසලට, වගේම වෙනත් විශේෂ අවස්ථා සඳහාත් යොදා ගන්න පුළුවන්.

මෙන්න සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය – පාන් බාගයක්, සොසේජස් කරල් 4ක්, ළුෑණු ගෙඩියක්, මාළු මිරිස් කරලක්, තක්කාලි ගෙඩියක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, බිත්තර 3ක්.

සාදා ගන්නා ආකාරය
භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් එකතු කරන්න. පොඩියට කපාගත් සොසේජස් එයට බැදෙන්න දමන්න. සොසේජස් බැදුණු පසු එයටම කපා ගත් ළුෑණු, මාළු මිරිස්, තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කර කලවම් කරගන්න. පොඩිවට කපාගත් පාන් කැබලි ද එයට එකතු කරන්න.

අවශ්‍ය නම් තම්බා බැදගත් හතු වර්ගයක් හෝ මස් වර්ගයක් මෙයට එකතු කරගන්නත් පුළුවන්. සාදා ගත් මිශ්‍රණය බටර් ගාගත් තැටියක දමා තුනී කර ගන්න. එයට උඩින් ගසාගත් බිත්තර වත්කරන්න. දැන් මෙය සෙල්සියස් අංශක 180 ක ප්‍රමාණයට රත් කරගත් උඳුනක විනාඩි 20 – 30 ක් බේක් කරන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

රස කර කර කන ගුලාබ් ජමුන්, රස්ගුල්ලා සහ තවත් ඉන්දියානු ඩෙසර්ට්ස් වර්ග 5ක් හදාගන්න හැටි

ඉන්දියන් කෑම අපේ ලංකාවේ අයත් නිතර දෙවේලේම හදනව. හැබැයි ඉන්දියන් ඩෙසර්ට්ස් වලට අපේ අයගේ ඒ හැටි නැඹුරුවක් නෑ. මේ නිසාම අපි හිතුවා ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ඉන්දියන් අතුරුපස වර්ග කීපයක් හදන හැටි ඔයාලට කියල දෙන්න. ඉන්දියන් විදියට රෑ කෑමක් දවල් කෑමක් හදන දාකට අතුරුපසට ඉන්දියන් විදියටම ඩෙසර්ට් එකක් තියන එකනෙ වඩා ගැලපෙන්නෙ නේද? පියවර ගොඩක් වගේ හිතුනට ඇත්තටම හදන්න ගත්තම ඒ තරම් කාලයක් ගත වෙන දේවල් නෙවෙයි මේ එකක්වත්. ඉන්දියන් මෙගා වල එහෙම නිතර ඇහෙන ගාජර්කෙ හල්වා, ගුලාබ් ජමුන්, රස්ගුල්ලා වගේ කෑම ජාති වගේම ඔයාල නිතර අහල නැති රෙසිපි කිහිපයකුත් තියෙනව. හදලම රස බලන්නකො.

Gulab Jamun – ගුලාබ් ජමුන්
පිටි කිරි ඉතින් ඕනෙම ගෙදරක නිතරම තියෙනවනෙ. මේ ගුලාබ් ජමුන් එක හදන්නෙ පිටි කිරි වලින්. අවශ්‍ය ද්‍රව්‍ය – කිරි පිටි කප් 1, පාන් පිටි කප් 1/2 (වෙනම මේස හැඳි දෙකකුත් ගන්න.), ගී තේ හැඳි 2, කිරි මේස හැඳි 1, මී කිරි හෝ යෝගට් මේස හැඳි 1, බේකින් පව්ඩර් තේ හැඳි 1, බැදීමට තෙල් හෝ ගී. ෂුගර් සිරප් එකට – සීනි කප් 1 1/2, වතුර කප් 1 1/2, කරදමුංගු 4, රෝස් වෝටර් බිංදු කීපයක්.

සාදා ගන්නා ආකාරය –
වතුර, කරදමුංගු සහ සීනි එකට එක් කර තරමක් ඝණ වන තුරු උණු කරගෙන එයට රෝස් වෝටර් එක් කර පසෙකින් තබා ගන්න. පිටි, කිරි පිටි සහ බේකින් සෝඩා හොඳින් එකට මිශ්‍ර කරගන්න.එයට ගී, කිරි සහ යෝගට් එක් කර හොඳින් කලවම් කර ගන්න. වඩා වියළි ගතියක් දැනේ නම් කිරි ස්වල්පයක් එක් කරගන්න. හුඟක්ම තෙත ගතියට දැනේ නම් පිටි ස්වල්පයක් එක් කර ගන්න. හැඩය රඳවා ගන්න පුළුවන් ඩෝ එකක් මෙයින් අනා ගන්න. ඩෝ එකෙන් එක ප්‍රමාණයේ කුඩා බෝල 12ක් 15ක් පමණ සාදා ගී හෝ තෙල් තරමක් රත් වෙන්නට හැර සාමාන්‍ය ගින්දරේ රන් වන් පාට වන තුරු බැද ගන්න. බැදගැනීමට පෙර සීනි සිරප් එකේ රස්නය තිබේදැයි බලන්න. සීනි සිරප් එක නිවී ඇත්නම් ටිකක් රත් කරගන්න. බැදගත් ගුලාබ් ජමුන් බෝල සීනි සිරප් එකට දමාගන්න. පිලිගැන්වීමට පෙර මෙය පැය තුනක්වත් පැණි උරාගැනීමට තැබිය යුතුයි. කජු හෝ ආමන්ඩ් දමා සරසා පිලිගන්වන්න.

Rasgulla – රස්ගුල්ලා
රස්ගුල්ලා හදන්න පනීර් එක ගෙදරම හදාගන්න තරමට රසයි. මේක ඉන්දියාවෙ ජනප්‍රිය උනාට බෙංගාල කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය – සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1, මී කිරි හෝ යෝගට් (නැතිනම් විනාකිරි හෝ දෙහි යුශ මේස හැඳි 2ක් ගන්න පුළුවන්. වඩාත් රස යෝගට් ගන්න එක.), අයිස් වතුර ලීටර 1, සීනි කප් 1 1/2, වතුර කප් 2 1/2, කරදමුංගු කුඩු තේ හැඳි 1/4, සැෆ්‍රන් කෙඳි කීපයක් (අත්‍යාවශ්‍ය නැත.) සාදා ගන්නා ආකාරය –
කිරි ටික උතුරන්නට ලිපේ තියාගන්න. උතුරන විට යෝගට් හෝ මී කිරි එක් කරගන්න. (දෙහි යුශ පාවිච්චි කරනවා නම් එයට වතුර තේ හැඳි 2කුත් එක් කරගන්න.) ලිප නිවා කිරි කැටි ගැසෙන්නට තබන්න.අ කැටි ගැසුන කිරි එකට අයිස් වතුර එක් කර ටික වේලාවක් තබා මස්ලින් හෝ චීස් ක්ලෝත් එකක් ගෙන මිශ්‍රණය එයට පෙරා ගන්න. දෙහි හෝ විනාකිරි යොදා ගත්තා නම් මේ පනීර් ටික ගලා යන වතුරට අල්ලා ටිකක් සෝදා ගන්න. තරමක් තද කර රෙද්ද ගැට ගසා විනාඩි 45ක් පමණ වතුර බේරෙන්නට තබා ගන්න. සීනි, වතුර සහ කරදමුංගු කුඩු මිශ්‍ර කර ලිපේ තබා ගන්න. එය උතුරන්නට හැර පනීර් හොඳින් අනා කුඩා බෝල සාදා ගන්න. උතුරන සීනි සිරප් එකට පනීර් බෝල එකින් එක ප්‍රවේසමට එක් කරගන්න. පියනකින් වසා විනාඩි 10ක් තියෙන්නට හැර ලිප නිවා ගන්න. හොඳින් නිවෙන්නට හැර උඩින් සැෆ්‍රන් දමා පිලිගන්වන්න.

Kaju Katli/ Barfi
මේක ටිකක් අපේ අලුව වලට සමාන කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය – කජු කප් 1 1/2, වතුර මිලිලීටර් 90, සීනි කප් 1, කරදමුංගු කුඩු තේ හැඳි 1/4. සාදා ගන්නා ආකාරය –
කජු ටික පියලි කර පෑන් එකක දමා ක්‍රිස්පි ගතියට එන තුරු රෝස්ට් කරගෙන නිවෙන්නට තබන්න.අ හොඳින් නිවුනු පසු කජු ටික ග්‍රයින්ඩ් කර කුඩු කරගන්න. පමණට වඩා ග්‍රයින්ඩ් කරන්න එපා. කජු වල තෙල් ගතියක් ඇති වී ගුලි ගැහෙන්න පුළුවන්. සීනි වලට කරදමුංගු කුඩු සහ වතුර එක් කර එය උණුවෙන්නට ලිපෙන් තබාගන්න. සීනි හොඳින් උණු වූ පසු කජු කුඩු එයට එක් කර ලිපෙන් ඉවත් කර හොඳින් මිශ්‍ර කර ගන්න. නැවතත් ලිප තබා තෙත ඇලෙන සුළු ගතියට මිශ්‍රණය එන තුරු මිශ්‍ර කරමින් තබා ගන්න. ලිපෙන් ඉවත් කර තරමක් නිවෙන්නට හැර අතින් ඇල්ලීමට හැකි රස්නටය ආ පසු අතේ තෙල් හෝ ගී ටිකක් තවරාගෙන හොඳින් මිශ්‍රණය අනාගන්න. මිශ්‍රනය ඇලෙන සුළු නම් කිරි පිටි ටිකක් එක් කර අනාගන්න. වියලි නම් උණු කර නිවා ගත් කිරි එක් කර අනා ගන්න. ලෑල්ලක් මතු පිට තබා ලන්ච් ශීට් හෝ ෆොයිල් එකක් උඩින් දමා රෝලින් පින් එකකින් තුනී කරගෙන කැබලි කපා ගන්න.

Basundi
මේකත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් රසවත් ඉන්දියන් අතුරුපසක්. අවශ්‍ය ද්‍රව්‍ය – කිරි කප් 2, මිල්ක්මේඩ් ලොකු ටින් එකෙන් භාගයයි, සාදික්කා කුඩු පින්ච් එකක්, කරදමුංගු කුඩු තේ හැඳි 1/4, කහ පින්ච් එකක් හෝ සැෆ්‍රන් කෙඳි කීපයක්, සිහින්ව කපාගත් ආමන්ඩ් හෝ කජු මිටක්.

සාදා ගන්නා ආකාරය
කිරි ටික කහ හෝ සැෆ්‍රන් දමා දිගින් දිගටම හැඳි ගාමින් උතුරුවා ගන්න. එයට මිල්ක්මේඩ් එක් කර හොඳින් හැඳි ගාගන්න. තරමක් ඝණ වන විට එයට ආමන්ඩ්, සාදික්කා සහ කරදමුංගු කුඩු එක් කර මිශ්‍ර කර ගන්න. විනාඩියක් ලිප තබා ඉවත් කර ගන්න.අ ශීතකරණයේ තබා සිසිල් කර පිළිගන්වන්න.

Gajar ka Halwa
මේක නම් නිතර ඇහෙන නමක් ඉන්දියන් ෆිල්ම් වල සහ නාට්‍යවල. හදලම බලන්නකො රස. අවශ්‍ය ද්‍රව්‍ය – ග්‍රේට් කර ගත් කැරට් ග්‍රෑම්ස් 500, මිල්ක්මේඩ් ලොකු ටින් 1/2, කරදමුංගු කුඩු තේ හැඳි 1/4, ගී තේ හැඳි 1 1/2 (භාජනයේ තැවරීමට වෙනම තේ හැන්දක් තියා ගන්න.), කජු සහ වියලි මිදි මිටක්

සාදා ගන්නා ආකාරය
භාජනයක් ගෙන අඩියට ගී ටික තවරා ගන්න. එයට කැරට් සහ මිල්ක්මේඩ් ටික එකතු කරගන්න. සාමාන්‍ය ගින්දරේ ලිප තබා විනාඩි 2,3ක් පිස ගන්න. ලිප අඩුම කර කැරට් ටික පිසෙන තුරු පියනකින් වසා විටින් විට මිශ්‍ර කරමින් ලිප තබා ගන්න. කැරට් ටික මෙලෙක් වූ පසු එයට ගී එක් කර කරදමුංගු කුඩුත් එක් කර තෙත ගතිය හිඳෙන තුරු හැදි ගාමින් ලිප තබා ගන්න. ලිපෙන් ඉවත් කිරීමට විනාඩි දෙකකට පමණ පෙර කජු සහ වියලි මිදි එක් කර මිශ්‍ර කර ගන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඔබත් අළුහම් නිසා පීඩා විඳිනවාද? අළුහම් වලට නියම විසඳුමක් රැසක් මෙන්න

මුහුණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසා ම හමේ නොයෙකුත් ස්ථානවල වර්ණය ද වෙනස් වී අවලස්සන බවක් ද ඇති වෙයි. මෙය පූස් (දිලීර) විශේෂයක් නිසා හට ගන්නා සමේ රෝගයකි. ශරරයේ බාහිරින් කරන්නා වූ බෙහෙත් මගින් සූව නොවූණොත් ශරරයේ ලේ පිරිසිදු වීමට ද ප්‍රතිකාර අවශ්‍ය වේවි. ඒ වගේම පහත සඳහන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අළුහම් රෝගයෙන් සූවයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

හීන් අරත්ත අල ගිතෙල්වලින් අඹරා, අළුහම් මත අතුල්ලා පැයකට පමණ පසූව නාන්න. එක දිගටම මෙම ප්‍රතිකාරය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි. ඇත්තෝර ඇට, දුම්මල, විනාකිරි සමග අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර පැය දෙකකට පමණ පසූව නාන්න. සතියකට දින තුනක් පමණ මෙම ප්‍රතිකාරය කරන්න.

පේර කොළ කොටා, අළුහම් ඇති ස්ථානවල ආලේප කරන ටික වේලාවකට පසූව සෝදා හරින්න. කරල් සැබ, පූළුස්සාගත් අළු තල තෙල් සමග මිශ්‍රකර අතුල්ලා පැයකට පසූව නාන්න.

අඹ පොතු, අරළු, සැවැන්දරා මූල්, ලොත්සූබූළු, සූදු හඳුන් එක පමණ ගෙන සියූම්ව කුඩු කර ඇල් දියෙන් අඹරා ස්නානයට පැයකට පළමුව ගාන්න. දිගින් දිගටම මෙම ප්‍රතිකාරය කිරමෙන් ශරරයේ දුඟද දුරු වී යන අතරම අළුහම් ද සූව වෙයි.

සවකාර ලුණු, ගෙන්දගම් එක ප්‍රමාණයෙන් ගෙන අඹරා අළුහම් මත තවරා ටික වේලාවකට පසූව නාන්න. මෙවැනි අත් බෙහෙත් ක්‍රම අනූගමනය කිරමෙන් අළුහම් සූවකර ගත හැකි වේ.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඔබේ හිසකෙස්වල ගුණාත්මක බව වැඩි කර හිසකෙස් ආරක්ෂා කිරීමට දුඹුරු සීනිවලින් කදිම සත්කාරයක්

ඔබේ හිසකෙස්වල ගුණාත්මක බව වැඩි කර, හිස කෙස් ශක්තිමත් කිරීමට දුඹුරු පැහැති සීනි යොදා ඔබේ හිස්කබල පිරිසිදු කරන්න.

ඕට්ස් සහ දුඹුරු සීනි
දුඹුරු සීනි සහ ඕට්ස් ස්ක්‍රබ් එකකින් හිස් කබලේ වියලි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම සිදු කළ හැක. මීට අමතරව ඔබේ හිස කබලේ රුධිර සංසරණය වැඩි කර ගැනීමටත් මෙය උපකාරී වේවි.

අවශ්‍ය ද්‍රව්‍යෙ – දුඹුරු සීනි තේ හැඳි 2ක්, ඕට්ස් තේ හැඳි 2ක්, කුඩා බඳුනක්, හිසකෙස් කන්ඩිෂනර් තේ හැඳි 2ක්, ඔලිව් තෙල් තේ හැඳි 2ක් ක්

සාදා ගන්නා ආකාරය
බඳුනට දුඹුරු සීනි සහ ඕට්ස් දමා මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණයටම කන්ඩිෂනර් එකතු කරන්න. සියල්ල එකට මිශ්‍ර කර ගන්න. මීළඟට ඔලිව් තෙල් එකතු කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිසේ ගල්වා සම්බාහනය කරන්න. ඉන්පසු ස්නානය කරන්න.

ලෙමන් යුෂ සහ දුඹුරු සීනි
මේ සත්කාරය ඔබේ හිසෙහි ඇති ඉස්සොරි ඉවත් කර ගැනීමට උපකාරී වන අතර, හිරුගේ හානිකර කිරණ වලින් ඔබේ හිස ආරක්ෂා කරයි.

අවශ්‍ය ද්‍රව්‍ය – දුඹුරු සීනි තේ හැඳි 2 ක්, නැවුම් ලෙමන් යුෂ තේ හැදි 2 ක්, ඔලිව් තෙල් තේ හැඳි 2 ක්, මුහුදු ලුණු තේ හැන්දක්

සාදා ගන්නා ආකාරය
දුඹුරු සීනි සහ මුහුදු ලුණු එකට මිශ්‍ර කරන්න. එයටම ඔලිව් තෙල් සහ නැවුම් ලෙමන් යුෂ එකතු කරන්න. හැන්දක් ආධාරයෙන් සියල්ල එකට මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිසේ ගල්වා සම්බාහනය කරන්න. ඉන්පසු ස්නානය කරන්න.

බේකින් සෝඩා සහ දුඹුරු සීනි
මෙම මිශ්‍රණය ඔබේ හිසේ ඇති අනවශ්‍ය බැක්ටීරියා ඉවත් කිරීමට උපකාර කරනවා. මෙම මිශ්‍රණය ඔබට මසකට වරක් භාවිතා කළ හැකිය. මේ මිශ්‍රණය තුල ඔබේ හිසකෙස් බාහිර හානිවලින් ආරක්ෂා කරවන විෂබීජ නාශක අඩංගු වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය – දුඹුරු සීනි තේ හැඳි 1ක්, ෂැම්පු තේ හැඳි 1ක්, ටී ට්‍රී තෙල් තේ හැඳි 3 ක්, බේකින් සෝඩා තේ හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය
බඳුනකට සියලු ම අමුද්‍රව්‍ය දමා එක් කර මිශ්‍ර කරන්න. ඔබේ හිසකෙස් සම්බාහනය කරන විට හිසකෙස් හා මුල් මත අවධානය යොමු කරන්න. සම්බාහනය කිරීමට මිනිත්තු කිහිපයක් භාවිතා කරන්න. මෙය ඔබේ හිස් කබලේ ඇති රුධිර සංසරණය වැඩි දියුණු කරනු ඇත. හිස කෙස් සේදීම සඳහා උණුසුම් ජලය භාවිතා කරන්න.

සැ. යු: ඔබ හිස කෙස් වර්ණ කර තිබේ නම්, මෙම සත්කාරය කරන්න එපා.

දුඹුරු පැහැ සීනි වල රූපලාවන්‍ය ප්‍රතිලාභ
අදුඹුරු පැහැති සීනි යොදා සිදු කරන සම්බාහනය මඟින් රුධිර සංසරණය ඉහළ නංවන අතර ඔබේ හිස් කබලේ pH සමබරතාවය ආරක්ෂා කරනවා. මෙම නිතිපතා සිදු කිරීම ඔබේ හිස් කබල මෘදු, සුමට හා ප්‍රබෝධමත් වේ.

මෙය ශරීරයෙන් විෂ ඉවත් කිරීමටත්, හිස් කබලට තෙත් ස්වභාවයක් ලබා දීමටත් උපකාර කරනවා. දුඹුරු පැහැ සීනි සත්කාරය සමේ ගැටළු වලටත් කදිමයි. හිස් කබලේ ඇති වී තිබෙන විවිධ රෝග සුව කිරීමට මෙය උපකාර කරනවා. දුඹුරු සීනි සුදු පැහැගැන්වුනු සීනි වලට වඩා බෙහෙවින් මෘදුයි. ඒ නිසා, එය ඔබේ හිස් කබලේ සමට කිසිදු හානියක් නොකර ඔබේ සම මෘදුව සම්බාහනය කෙරේ.

දරුවෙක් ලැබීමෙන් පසු උදරයේ සම මත ඇතිවන ඉරි ඇඳි සලකුණු (Stretch Marks) ස්වභාවිකවම ඉවත් කරන සරල ක්‍රම

කළලයක් විදිහට ඔයාගේ කුසයේ වැඩෙන්න පටන් ගන්න දරුවා මාස 09 ක පමණ කාලයක් තුළ ටිකෙන් ටික වර්ධනය වෙන කොට ඔයාගේ උදරයත් සමත් ටිකෙන් ටික ඇදෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි උදරයේ සම ඇදීම නිසා උදරය කැසීම් ඇති වී stretch marks ඇති වෙනවා. ඒ වගේම තමයි ඔයා ටිකක් මහතට ඉඳලා කෙට්ටු වුණාමත් stretch marks ඇති වෙන්න පුළුවන්. මෙම stretch marks සුදු, රතු සහ දුඹුරු පැහැයෙන් දකින්න පුළුවන්. ඉතිං දරු ප්‍රසූතියෙන් පස්සේ ඔයා මේ stretch marks වලට නිසි ප්‍රතිකාර නොකළොත් ඔයාට එක එක විදිහේ විලාසිතාවන් කරන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඔයා සාරියක් අඳින කොට මේ stretch marks පිටතට පේන එක ඔයාගේ පෙනුමට වගේම ලස්සනට බාධාවක්.

කෝපි සහ කෝමාරිකා
ඔයාගේ උදරයේ මුලින් කියපු විදිහේ stretch marks තියෙනවා නම් කෝපි සහ කෝමාරිකා මගින් ඊට සත්කාර කරන්න පුළුවන්. කෝපි කුඩු ස්වල්පයකට උණු වතුර දමා හොඳින් කලවම් කරන්න. පසුව එයට සූරාගත් කෝමාරිකා මද ස්වල්පයක් එකතු කරන්න. මේ විදිහට සකස් කරගත් මිශ්‍රණය stretch marks මත ආලේප කරලා විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කරන්න. හොඳින් වතුර පිස දමා මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න. මේ ආකාරයට දිනපතා ඔයා මේ සත්කාරය කළාම ඔයාගේ උදරයේ තියෙන සලකුණු ටික ටික මැකිලා යන්න පටන් ගන්නවා.

බිත්තර සුදු මදය
බිත්තරවල පෝෂණ සංඝටක රැසක් අන්තර්ගතයි. විශේෂයෙන්ම සම පැහැපත්ව තියා ගන්න බිත්තර සුදු මදයේ තියෙන පෝෂණ සංඝටක උපකාරී වෙනවා කියලා අපි ඔයාට කලින් ලිපි වලින් දැනුවත් කළා මතක ඇතිනේ. අද අපි ඔයාට කියලා දෙන්නේ බිත්තර සුදු මදයෙන් ඔයාගේ උදරයේ තියෙන stretch සලකුණු මකා දමන්නේ කොහොමද කියලා. ඔයාට කරන්න තියෙන්නේ මෙපමණයි. බිත්තර සුද මදයෙන් ස්වල්පයක් ගෙන උදරයේ සලකුණු මත ආලේප කරන්න. විනාඩි 30 ක් පමණ තිඛෙන්නට හැර සෝදා ඉවත් කරන්න. බිත්තරවල තියෙන ප්‍රෝටීන් ඔයාගේ සමේ stretch marks මකා දමන්න උපකාරී වෙනවා.

අර්තාපල්
අර්තාපල් ඔයාගේ රූ සපුව ලස්සනට පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඒ වගේම ඔයාගේ උදරයේ තියෙන් සලකුණු ඉවත් කරන්න අර්තාපල්වල අන්තර්ගත පෝෂණ සංඝකට ඉවහල් වෙනවා. අර්තාපල් අලවලට වතුර ස්වල්පයක් එක් කර උකු දියරයක් විදිහට සකස් කර ගන්න. පසුව සලකුණු මත ආලේප කර වියලුණු පසු උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න. අර්තාපල් මගින් ඔයාගේ සමේ සෛල නැවත සකස් කර සලකුණු වලින් තොර සමක් ලබා දෙනවා.

ඔලිව් ඔයිල්
ඔලිව් ඔයිල් මගිනුත් ඔයාගේ උදරයේ තියෙන stretch marks ඉවත් කර ගන්න පුළුවන්. ඔලිව් ඔයිල්වල අන්තර්ගත විටමින් E ඔයාගේ සමේ සලකුණු මැකී යන්න උපකාරී වෙනවා.

ආමන්ඩ් ඔයිල් සහ සීනි
සීනි, ආමන්ඩ් ඔයිල් සහ ලෙමන් යුෂ අවශ්‍ය ප්‍රමාණයට ගෙන තලපයක් සේ සකස් කර ගන්න. පසුව ඔයාගේ උදරයේ stretch marks තියෙන තැන්වල ආලේප කර සෙමින් පිරිමදින්න. විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කරන්න. මේ ආකාරයෙන් දිනපතා සිදු කිරීමෙන් ඔයාගේ උදරයේ සලකුණු ක්‍රමයෙන් මැකී යනවා.

ලෙමන් යුෂ
ලෙමන් යුෂවල ස්වභාවික බ්ලීචින්ග් අන්තර්ගත වෙනවා. ලෙමන් යුෂ ඔයාගේ උදරයේ stretch marks වල ආලේප කිරීමෙන් ඔයාගේ උදරයේ තියෙන සලකුණුවල පාට අඩු කර ගන්න පුළුවන්. උදරයේ සලකුණු තද පාටින් තියෙනවා නම් මේ පාට ටිකක් අඩු කර ගන්න පුළුවන්.

බටර් සහ පොල් තෙල්
පොල් තෙල් ස්වල්පයකට බටර් ස්වල්පයක් එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. පසුව උදරයේ stretch marks තියෙන ස්ථානවල ආලේප කරන්න. විනාඩි 30 කට පමණ පසුව සෝදා ඉවත් කරන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

රුධිරය පිරිසිදු කර රුධිර ගත කොලෙස්ටරෝල් නසන, අධික පිපාසය දහඩිය දැමීම නවතන වදමල් පානය

වැට දිගේ ඔහේ වැවෙන වදමල් ඉතා ගුණදායක ඔසුවක් බව ඔබ දැන සිටියාද? වද මල්වල යුෂ රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අවම කිරීමට සමත් වන අතර අධික පිපාසය, තොල කට වියළීම, අධික දහඩිය දැමීම සමනය කරයි. රුධිරය පවිත‍්‍ර කරන වද මල් යුෂ වලින් රසවත් පානයක් සකසා ගනිමු ද?

අවශ්‍ය ද්‍රව්‍ය – පොකුරු වද මල් 5, රස අනුව සීනි, දෙහි යුෂ ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, කස කසා ඇට ටිකක්, අයිස් කැට

සාදා ගන්නා අාකාරය
පොකුරු වද මල් ටික ගෙන රේණු ඉවත් කර පෙති වෙන් කරගන්න. මල් පෙති ලුණු ස්වල්පයක් යොදා සෝදා වීදරු බඳුනකට දමාගන්න. එයට උණු වතුර වත් කර පැය භාගයක් පමණ දම් පැහැයක් වතුරට එක් වන තුරු වසා තබන්න. කස කසා ඇට ටික වතුරට දමා සකසා ගන්න.

හොඳින් නිවුණු පසුව වතුර පෙරාගෙන එයට රස අනුව දෙහි යුෂ, ලුණු සහ සීනි එකතු කර කරගන්න. දෙහි ඇඹුල් ස්වල්පයක් සහ ක් එකතු කර ශීතකරණයේ තබන්න. කස කසා ඇට සහ අයිස් කැට එක් කර පිළිගන්වන්න.

මෙය තවත් රසවත් කරගන්නට නාරං, පැෂන් සහ අන්නාසි ආදිය යොදාගත හැකියි. අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කරගත හැකි පෝෂ්‍යදායක පානයක් වන රස ගුණ පිරි වදමල් පානය ඔබත් අනිවාර්යයෙන්ම හදා බලන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

කිවුවත් කටට කෙළ උණන වෙරළු අච්චාරු හදමුද? මෙන්න වෙරළු අච්චාරු හදන නියම විදිය

වෙරළු අච්චාරු කිවුවම අපි කවුරුත් කන්න කැමති කෑමක් නේ. ගොඩක් වෙලාවට ගමනක් යද්දී පාරේ අයිනේ විකුණන්න තියෙනවා. ඒත් ඒ රසයට වැඩි රසයකින් පිරිසිදුවට ගෙදරදීම වෙරළු අච්චාරු හදන්න පුළුන් හරිම විදියක් තමයි අපි මේ කියන්න යන්නේ. වෙරළු කියන්නෙ හොඳ ඖෂධයක්. ටිකක් විතර ඇඹුල් වුනත් ඉතා රසවත් පළතුරක්.

අවශ්‍ය ද්‍රව්‍යෙ – වෙරළු ග්‍රෑම් 500 ක්, විනාකිරි අඬු කෝප්ප 1/2 ක්, සීනි තේ හැඳි 2 ක්, කහ කුඩු තේ හැඳි 1/8 ක්, ලුණු රස පදමට, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්, විනාකිරෙන් අඹරා ගත් අබ අඬු කෝප්ප 1/4 ක්.

සාදා ගන්නා ආකාරය
වෙරළු සෝදා හොඳින් පිරිසිදු කර ගෙන විනාඩි 15ක් පමණ අඩු ගින්දරේ තම්බා ගන්න. පසුව හොඳින් වතුර පෙරා ගන්න. ඇළුමිනියම් නොවන බඳුනකට අනෙක් සියල්ල දමා කලවම් කර එයට වෙරළු දමා කලවම් කර ගන්න. දවසක් පමණ වසා තබා ආහාරයට ගන්න.

බිත්තර ගඳ නැතිව වටලප්පන් රසට හදන විදිය හරියටම දැනගන්න

වටලප්පන් කියන්නේ ඉතින් ඇහුවත් ගොඩ දෙනෙක්ගේ කටට කෙල උනන කෑමක්. කට්ටිය වෙඩින් එකකට ගියා උනත් හිත යටින් ඩෙසට් එකට වටලප්පන් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා.හැබැයි ඉතින් හැම තැනකදීම අපිට නියම රහට නම් වටලප්පන් කන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙදරදී උනත් හදනකොට අපිට හරියටම හදාගන්න වෙන්නේ නැහැ. අපි කොච්චර ආස උනත් නියම වටලප්පන් එකක් අපිට කන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා වටලප්පන් කන්න කැමති ඔයාලට නියම විදිහට වටලප්පන් එකක් හදාගන්න වැදගත් වෙන දේවල් ටිකක් තමයි අද අපි ඔයාලට කියන්නේ. මේ දේවල් හරියට කරොත් ඔයාටත් පුළුවන් නියම රසට වටලප්පම් හදා ගන්න.

පොල් කිරි විතරයි
නියම විදිහට වටලප්පන් හදන්න නම් ගන්න ඕනේ පොල් කිරි විතරමයි. කට්ටිය ෆ්‍රෙෂ් milk, ටිං කිරි වගේ ඒවා පාවිච්චි කරාට නියම විදිහට වලප්පම් හදන්න බැහැ. ඒ නිසා නියම රහට නියම විදිහට වටලප්පම් හදන්න ඕනේ නම් ගන්න ඕනේ උකු පොල් කිරි විතරයි. පොල් කිරි ටික හොඳටම උකු වෙන්න ඕනේ එතකොට තමයි රස වගේම වටලප්පන් එක ලස්සනට සෙට් වෙන්නේ .

හොඳම හකුරු
වටලප්පන් එකට හොඳම හකුරු දැම්මොත් ආයේ වටලප්පන් එක පාට වෙන්න කියලා වෙන කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. ලස්සන පාටට රසට වටලප්පන් එක හැදෙනවා. හොඳම හකුරු හොයා ගන්න මේ විදිහට පුළුවන් හොඳ කිතුල් හකුරු තද පාටයි ඒ වගේම තමයි අතේම දියවෙනවා, පිහියෙන් උනත් කපන්න කිසිම අමාරුවක් නැහැ. වටලප්පන් එකට දාන්න ගාගත්තම ක්‍රීම් එකක් වගේ ඇලෙනවා. තව දෙයක් සමහර අය වටලප්පන් හදන්න කිතුල් පැණි පාවිච්චි කරනවා හැබැයි නියම විදිහට වටලප්පන් හදන්න ඕනේ නම් පාවිච්චි කරන්න ඕනේ හකුරු විතරයි.

බිත්තර ගඳ නැති වෙන්න
වටලප්පම් එක කොච්චර රස උනත් එකෙන් බිත්තර වල පිලි ගඳ ආවොත් කන්න ටිකක් අමාරුයි. ගොඩක් අය කරන්නේ මේ ගඳ නැතිවෙන්න කියලා දෙහි ලෙලි, කුරුඳු, කරාඹු නැටි, සුවඳ කුඩු වගේ ඒවා දානවා. මේ නිසා වෙන්නේ වටලප්පන් එකේ නියම රසය වෙනස් වෙන එක. වටලප්පම් වලට කරදමුංගු විතරක් දැම්මම ඇති. බිත්තර වලින් එන පිලි ගඳ අයින් කරගන්න කරන්න තියෙන්නේ බිත්තරේ කැඩුවම කහ මදේ අයිනෙන් තියෙන සුදුපාට ඝනකම කොටස ඉවත් කරන එක. එකෙන් බිත්තර වල පිලි ගඳ ඉවත් වෙනවා.

ඔක්කොම එකට බ්ලෙන්ඩර් කරන්න එපා
ගොඩක් අය ලේසියටත් එක්ක කිරි, හකුරු, බිත්තර ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩර් කරනවා. මෙහෙම කරාම වටලප්පම් එක ලස්සනට හැදෙන්නේ නැහැ. කරන්න ඕනේ බිත්තර විතරක් බ්ලෙන්ඩර් හරි බීට් හරි කරලා. හකුරුයි කිරියි හොඳට කලවම් කරලා ගන්න එක. එතකොට වටලප්පන් එක ලස්සනට තැම්බෙනව වගේම රසත් හොඳයි.

ස්ටීම් කරන්න
මේකත් වටලප්පන් එක රස වෙන්න බලපාන ප්‍රධනම දෙයක්. අපි ලේසියට බේක් කරාට වටලප්පන් එකේ නියම රස වගේම ලස්සනත් එන්නේ වටලප්පන් එක ස්ටීම් කරාම. ඒ නිසා නියම රසට වටලප්පන් හදා ගන්න ඕනේ නම් වටලප්පන් එක ස්ටීම් කරන්න සාමාන්‍යයෙන් විනාඩි 40 ක් විතර ස්ටීම් කරන්න ඕනේ. හරියටම තැම්බිලා ද කියලා දැන ගන්න ඉරටු කෑල්ලකින් ඇනලා බලන්න. දිය ගතියට එන්නේ නැත්නම් හොඳට තැම්බිලා.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

තායි අයිස් තේ ගෙදරදීම හදමුද? රෙසිපි එකත් එක්කම මෙන්න හදන හැටි දැනගන්න

චා යෙන් (Cha Yen) හෙවත් තායි තේ (Thai tea) හෝ තායි අයිස් තේ ලෙස හැඳින්වෙන පානය ඉතා ජනපප්‍රිය අතර තායි අවන්හල්වල අනිවාර්යය අංගයකි. තේ, කිරි සහ සීනි ඇසුරෙන් සකසන ලද තායි තේ සිසිල් හෝ උණුසුම් පානයක් ලෙස පිළිගැන්වේ. මේ සඳහා බොහෝ විට ඔවුන් යොදා ගනුයේ ලංකා තේ (Ceylon tea) හා Bai Miang නම් තායිලන්තයේ හැදෙන තේ ය.

අවශ්‍ය ද්‍රව්‍ය – තද කහට තේ කෝප්ප 3/4 ක්, ජලය කෝප්ප 4 ක්, සීනි සිරප් කෝප්ප1 1/2 ක්, කිරි කෝප්ප1 1/2 ක්, කුඩු කරගත් අයිස් (Crushed ice) හෝ අයිස් කැට

සාදා ගන්නා ආකාරය
තේ සහ සීනි සිරප් මිශ්‍ර කර නිවෙන්නට තබන්න. දිගු වීදුරු වලට කුඩු කරගත් අයිස් පුරවා ගන්න. සිසිල් කර ගත් තේ වීදුරුවක 3/4 ක් පමණ වැසෙන සේ එකතු කරගන්න. එයට මතටම එක් වීදුරුවකට කිරි හැදි 3 – 4 එක් කර ගන්න. සැකසූ විගසම පිළිගන්වන්න.

දොඩම් මල් තැම්බු ජලය, තලාගත් සියඹලා ආදී කුළුබඩු, රතු හා කහ ආහාර වර්ණක ආදිය ද තායි ජාතිකයන් මේ සඳහා එකතු කරති. නිවැරදි තායි ක්‍රමයේ දී මෙයට එවපරේටඩ් මිල්ක්, half-and-half හෝ උකු කිරි එකතු කරනු ලැබේ. එළකිරි එකතු කරන්නට අකමැති නම් සෝයා කිරි හෝ පොල් කිරි වැන්නක් ද එක් කල හැකියි. විශේෂ උත්සව අවස්ථාවක් රසවත් කර ගන්නට මෙය කදිම පානයක්.

ඔබේ සම අවලස්සන කරන ඉන්නන්ට, නිවසේදීම කළ හැකි ප්‍රතිකාර රැසක් මෙන්න

ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස මෙම වෛරසය ක්‍රියාත්මක වී ඉන්නන් ඇති කරවනවා. කුඩාවට ඇති වී, මඳින් මඳ වර්ධනය වීම ඉන්නන්ගේ ලක්ෂණයයි. එම නිසා ඉන්නන් ඇති වීම විශාල කරදරයක් වන අවස්ථාත් නැතිවම නෙවෙයි. සම මත විශාල ඉන්නන් ඇති වීම ඇත්තටම රූපයට හානි කරනවා.

ඉන්නන් ඇති වීමේ අවාසි
පිටතට පෙනෙන ස්ථාන වල ඉන්නන් හට ගැනීම නිසා රූපය අසුන්දර වීම. සිරුර පුරා පැතිරීමේ අවදානමක් පැවතීම. එක් අයෙකුගෙන් තවත් අයෙකුට බො වී යාමේ හැකියාව. මුහුණ, දෙතොල් මත, ගෙළ වැනි ස්ථාන වල හට ගන්නා ඉන්නන් නිසා සමාජයෙන් මුළු ගැන්වීම. ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් වේදනාකාරී වීම හා පිළිකා තත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් තිබීම. යටිපතුල් වල ඇති වන ඉන්නන් නිසා ඇවිදීමේ අපහසුතා, පාවහන් පැළඳීමේ අපහසුතා ඇති වීම.

විනාකිරි ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – විනාකිරි ස්වල්පයක්, කුඩා පුළුන් කැබැල්ලක්, ප්ලාස්ටරයක්

සාදා ගන්නා ආකාරය
රාත්‍රී නින්දට යාමට පෙර, පුළුන් කැබැල්ල විනාකිරි වලින් පොඟවා වන්න. ඉන්පසුව වැඩිපුර ඇති විනාකිරි මිරිකා හරින්න. යන්තම් තෙතමනය සහිත පුළුන් කැබැල්ල ඉන්නා මත තබා, උඩින් ප්ලාස්ටරය යොදන්න. පසුදින උදෑසන වන තුරු මෙය තබාගෙන සිටින්න. දින කිහිපයක් මෙය සිදු කල පසු ඉන්නා වේලි යනු ඇත.

දෙහි ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – දෙහි යුෂ ස්වල්පයක්, පුළුන් කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
පුළුන් කැබැල්ලක දෙහි යුෂ තවරා ඉන්නා මත තැවරීම සිදු කරන්න. දෙහි යුෂ වල ඇති ඇසිඩ් ගතිය නිසා ඉන්නන් ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා. මෙය දිනකට තුන් වතාවක් පමණ සිදු කරන්න. කෙමෙන් කෙමෙන් ඉන්නා වේලි යනු ඇත.

කෝමාරිකා ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා පිත්තක්

සාදා ගන්නා ආකාරය
ඉන්නන් ඇති ස්ථාන වල කෝමාරිකා යුෂ දිනපතා ගල්වමින්, සම්බාහනය කරන්න. කෝමාරිකා වලට තුවාල සුව කිරීමේ මනා හැකියාවක් ඇත.

සුදු ලුණු ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – සුදු ලුණු බික් 1ක්, පුළුන් කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
සුදු ලුණු බික තලාගෙන, එම යුෂ පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඉන්නා මත තවරන්න. පැය දෙකකට පසු එය සෝදා හරින්න. සුදු ලුණු වල ඇති විෂබීජ නාශක ගුණය නිසා සමේ ඇති දිලිර විනාශ වෙනවා.

ටී ට්‍රී ඔයිල් ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – ටී ට්‍රී ඔයිල් ස්වල්පයක්, පොල් තෙල් ස්වල්පයක්, පුළුන් කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
ටී ට්‍රී ඔයිල් සහ පොල් තෙල් එකට මිශ්‍ර කරන්න. පුළුන් කැබැල්ලක් තෙල් වල පොඟවාගෙන, ඉන්නන් මත ආලේප කර සම්බාහනය කරන්න. මෙය දවසට කීප වතාවක්ම සිදු කරන්න. ටී ට්‍රී ඔයිල් සහ පොල් තෙල් යන දෙකෙහිම බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව අඩංගු වෙනවා.

Oregano තෙල් ප්‍රතිකර්මය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය – Oregano තෙල් ස්වල්පයක්, පොල් තෙල් ස්වල්පයක්, උණු වතුර, පුළුන් කැබැල්ලක්

සාදා ගන්නා ආකාරය
උණු වතුරෙන් ඉන්නන් පිහිටි ස්ථාන හොඳින් පිරිසිඳු කරන්න. Oregano තෙල් සහ පොල් තෙල් එකට මිශ්‍ර කරන්න. පුළුන් කැබැල්ලක් ගෙන තෙල් වල පොඟවා ඉන්නන් මත ආලේප කර සම්බාහනය කරන්න. මෙය දවසට කීප වතාවක්ම සිදු කරන්න. Oregano තෙල් සහ පොල් තෙල් යන දෙකෙහිම බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව අඩංගු වෙනවා.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඔබේ බෙල්ල යට කළු වෙලානම් මෙන්න සරල විසඳුම් 09ක්

මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුව නම් තමයි හොඳ. අද අපි කතා කරන්න යන්නේ ඔබට විශාල ප්‍රශ්නයක් වෙලා තියන බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කර ගන්නේ කොහොමද කියල.

ගොඩක් අය මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නෑ බෙල්ල අමතකම කරලා දානවා. ඔබ ස්නානය කරනකොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් වැදගත්. මේ තියෙන්නේ ඔබට බෙල්ල පිරිසිදු කරගන්න පුළුවන් ආකාර 9ක් ගැන.

නැවුම් එළකිරි වලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කරන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමඟින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එල කිරි කියන්නේ පැහැපත් කිරීමට විශාල හැකියාවක් තියන දෙයක්.

ඔලිව් තෙල් සහ සිනි ඒකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදුකොට වෙනස වටහාගන්න. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් සමග තලපයක් වනතුරු මිශ්‍රකරන්න. එම තලපය බෙල්ලේ ගලවා විනාඩි 15කින් සෝදා හරින්න.

ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාන වලින් අරගෙන හොඳින් මිශ්‍ර කොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා මෙම ආලේපය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එහෙමත් නැත්නම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.

බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි 01 බැගින් ගෙන තලපයක් වෙන තුරු හොඳින් මිශ්‍රකරගන්න. විනාඩි 20කින් පමණ සීතල වතුරින් සෝදා හරින්න.

මි පැණි සහ තක්කාලි මගින්ද බෙල්ලේ ඇති අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.

යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සාදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එහෙමත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකොට විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.

අර්තාපල් යුෂ මගින්ද බෙල්ලේ කළු වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු වී ඇති ස්ථාන මත එය හොඳින් පිරිමදින්න.

දොඩම් ලෙලි අරගෙන ඒවා වියලා කුඩු කරගන්න. දොඩම් ලෙලි වෙලිමේදී හිරු එළියේ වෙලන්න එපා. එයින් දොඩම් ලෙලි වල ඇති ශාකසාර නැතිවෙනවා. එයටම නැවුම් එල කිරි තේ හැන්දක් පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය ඔබේ බෙල්ලේ ගලවා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම් වල ඇති විටමින් c වල ඇති ස්වභාවික ප්‍රතිඔක්සි කාරක ගුණය සහ විෂබිජනාෂක ගුණය මඟින් ඔබේ බෙල්ලේ අවපැහැ ගතිය කෙමෙන් ඉවත් කරයි.

හාල් කැඳ මගින් ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කිරීමයි. විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඉණ දෙපස එල්ලෙන ස්වභාවය නැති කරන අපුරු පානයක් හා ව්‍යායාම් කිහිපයක් මෙන්න

ඔබගේ ඉන දෙපස එල්ලා වැටෙන මස්පිඩු හේතුවෙන් ඔබ අදින ඇදුම තදවී එල්ල වැටෙන මස්පිඩු කැපී පෙනෙන ස්වභාවයක් ගන්නවා. මේ සදහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් එහි අඩුවීමක් ඔබට දැකගැනීමට නොහැකි උනා නම් ඒ සදහා කදිම විසදුමක් අද අප ඔබට ගෙන එනවා. මෙම ස්වභාවික පානය මගින් ඔබගේ ඉන දෙපස ඇති මස්පිඩු පමණක් නොවේ එල්ලා වැටෙන උදරයද සම්පුර්නයෙන්ම ඉවත්ව යනවා. මෙම මිශ්‍රණය නිවසේ ඇති ද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සාදාගැනීමට හැකි අතර ප්‍රතිඵල ද 100% සාර්ථකයි. එසේ නම් අපි දැන් බලමු එය නිවැරදිව සාදා ගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව.

අවශ්‍ය ද්‍රව්‍ය – උණුසුම් ජලය මිලිලීටර් 300ක්, මී පැණි තේ හැදී 1ක්, දෙහි යුෂ තේ හැදී 1ක්, තලාගත් ඉගුරු තේ හැදී භාගයක්, කුරුදු කුඩු තේ හැදී 1ක්, ග්‍රීන් ටි බෑග් 1ක්.

සාදා ගන්නා ආකාරය
පළමුව උණුසුම් ජලය වීදුරුවක් තුලට දමාගෙන එයට ග්‍රීන් ටි බෑග් එක දමා ගන්න. ඉන්පසු ඉගුරු සහ කුරුදු කුඩු දමා හොදින් කවලම් කර ගන්න. එම මිශ්‍රණය මිනිත්තු 20ක් පමණ හොදින් නිවෙන්නට හැර ග්‍රීන් ටි බෑග් එක ඉවත් කර දෙහි යුෂ සහ මීපැණි දමා ගන්න. උණුසුම් ජලයට මීපැණි සහ දෙහි යුෂ එක් කරන්නට එපා.

භාවිතා කරන ආකාරය
සාදා ගත් මිශ්‍රණයෙන් භාගයක් උදැසන හිස්බඩ පානය කර ඉතිරි භාගය උදැසන ආහාර වේලෙන් පසුව පානය කරන්න. මෙම පානය දින 7ක් පමණ පානය කල විට පහැදිලි වෙනසක් ඔබේ සිරුරේ දැක ගැනීමට පුළුවන් වේවි.

එසේනම් ඔබත් අදම මෙය පානය කර ඉන දෙපස එල්ල වැටෙන උදරය සම්පුර්නයෙන්ම නැති කරගන්න. මෙය පානය කර ඔබට ලැබුණු ප්‍රතිපලය කමෙන්ට් එකක් ලෙස දක්වන්නත් අමතක කරන්න එපා. මේ පානය බොන ගමන්ම පහල විස්තර කර තිබෙන ව්‍යායාම් හා උපදෙස්ද අනුගමනය කරන්න.

ඉණ දෙපස එල්ලා වැටීම ඔබටත් ප්‍රශ්නයක් නේද? ටයර් පැනීම ලෙස අප හඳුන්වන මේ තත්වය කාන්තාවන් බොහෝ දෙනෙක් පිඩා විඳින තත්වයක්. කොතරම් මහන්සි වුවත් ඔබට මේ තත්වය නැති කරගැනීම අපහසුයි නේද? මෙම තත්වයට ඉංග්‍රීසියෙන් කියන්නේ love handles කියලා. එත් මේ තත්වයේ කිසිම ආදරණිය බවක් නම් නැති බව ඔබත් කියාවි. Kyla Gagnon නමැති ව්‍යායාම උපදේශිකාව Huffington Post පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ මේ තත්වය නැති කර ගැනීම සම්බන්ධයෙන් ව්‍යායාම කිරීම මත පමණක් විශ්වාසය තබන්න එපා කියලයි.

ඉණ දෙපස එල්ලා වැටීම එහෙමත් නැත්නම් ටයර් පැනීම ලෙස සලකන්නේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමක්. මෙහිදී මෙම මේද තට්ටු ඉවත් කිරීමට ව්‍යායාම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ තමයි. ඒක විද්‍යානුකූලව පිළිගෙන තිබෙනවා. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ඉණ දෙපස එල්ලා වැටීම නැති කර ගැනීම සඳහා කළ යුත්තේ මේද තට්ටු යටින් තිබෙන පේශි ශක්තිමත් කර ගැනීමයි.

පහත දැක් වෙන්නේ ඉණ දෙපස එල්ලා වැටීම නැති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක්.

සෞඛ්‍යයට හිතකර මේද වැඩිපුර ආහාරයට ගන්න
සෞඛ්‍යාරක්ෂිත මේද ලබාගැනීම සඳහා ධාන්‍ය වර්ග සහ අලිගැටපේර ඔබේ දෛනික ආහාරවේලට එකතු කරගන්න. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට සෞඛ්‍යයට හිතකර මේද මගින් ඔබ ආහාරයට ගත යුතු දෛනික කැලරි ප්‍රමාණයෙන් 25% -30% ප්‍රමාණයක් ලැබෙනවා. ඒවගේම සකස් කරන ලද ආහාර පරිභෝජනයෙන් වැළකිම ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.

සීනි සහ අනවශ්‍ය කබෝහයිඩ්‍රේට් භාවිතයෙන් වැළකෙන්න
ඔබේ දෛනික ආහාරයට වැඩිපුර එළවළු සහ පළතුරු එකතු කර ගන්න. ඒවගේම වැඩිපුර ධාන්‍ය ආහාරයට ගැනීම වගේම සැහැල්ලු ප්‍රෝටීන් සහිත ආහාරත් ආහාරයට ගන්නෙ

දිනකට කැලරි 100ක් දහනය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්න
දිනකට කැලරි 100ක් දහනය කර ගැනීම මගින් මේද දහනය වීම පමණක් නොව විශේෂයෙන්ම ඔබගේ සමස්ත සෞඛ්‍යයම ඉතාම යහපත් වේවි. ඉතා පහසු සහ සරල ක්‍රියාකාරකම් මගින් කැලරි 100ක් දිනකට දහනය කර ගැනීම මගින් ඔබේ ඉඟ ප්‍රදේශය වෙන කවරදාටත් වැඩ ලස්සන කර ගැනීමට ඔබ‍ට හැකි වේවි. මෙහිදී ඔබට ඉතාම ලේසියෙන් සිදු කළ හැකි සරල ක්‍රියාකාරකම් තෝරා ගැනීම මගින් ඔබටත් පහසුවක් ගෙන දේවි.

කැලරි 100ක් දහනය කර ගත හැකි සරල ක්‍රියාකාරකම් කිහිපයක්.

ඔබේ වාහනය සෝදන්න, සැතපුමක් පමණ ඇවිදින්න, මිනිත්තු 15ක් පමණ පිහිනන්න, ඔබේ පිටුපස පෙදෙස විනාඩි 20ක් පමණ සොලවන්න, ඔබේ බල්ලා සමග විනාඩි 20ක් පමණ ඇවිදින්න, දිනකට විනාඩි 18ක් පමණ පඩිපෙලක නගින්න.

ඔබට ඔබේ කෑමවේලට සිදුකර ගත හැකි තවත් වෙනස්කම් කිහිපයක්.
ඔබ මයෝනිස් සෝස් වැනි දෑ වැඩිපුර පාවිච්චි කරනවා නම් මයෝනිස් වෙනුවට අබ සහිත නිෂ්පාදන අත්හදා බලන්න. ඔබ නිතර පැස්ටා හදනවා නම් පැස්ටා සැදීමේදී ක්‍රීම් සෝස් වෙනුවට රතු පැහැති සෝස් යොදාගන්න. ඔබ නිතර සැන්විච් කනවා නම් ඔබේ සැන්විච් එකෙන් එක පාන් පෙත්තක් අඩුකර බලන්න. එළවළු ආදිය පිසීම වෙනුවට සලාද ආකාරයෙන් ආහාරයට ගන්න. Drink one less 12-ounce beer – බියර් පානය කරන කෙනෙක් නම් අවුන්ස 12කට අඩුවෙන් බොන්න.

Bicycle Crunch ව්‍යායාමය
බිම දිගෑරෙන්න. ඔබේ අත් ඔබේ කන් දෙපසින් දිගහැරගන්න..ඔබේ කකුල් අංශක 90ක කෝණයකට ඔසවන්න.ඔබේ වම් දණහිසනවා ඔබේ පපුව ඉදිරියට ගෙන එන්න. දැන් ඔබේ දකුණු වැලමිට වම් දණහිසේ ගාවන්න. පසුව අත් සහ කකුල් මාරු කරමින් නැවත මෙම ක්‍රියාකාරකම කරන්න.මෙම ක්‍රියාකාරකම මාරුවෙන් මාරුවට දිගටම කරගෙන යාමේදී ඔබ බයිසිකලයක් පදින ඉරියව්ව නිරුපණය වනු ඇත.

Plank ව්‍යායාමය
මෙම ව්‍යායාමය ඔබට උපරිම ප්‍රතිඵල ගෙන දෙනු ඇති.ඔබේ වැළමිට සහ යටිබාහු පොළව මත තබන්න. ඔබේ ශරීරය පුෂ්–අප්ස් කරන ඉරියව්වට ගෙන එන්න. ඔබේ උඩ බාහු තිබිය යුත්තේ අංශක 90ක කෝණයකටයි. ඔබේ පිටුපස පෙදෙස සහ කකුල් හරි කෙලින් ඔසවාගත් ඉරියව්වෙන් තිබිය යුතුයි.මෙම ඉරියව්වේ විනාඩියක් හෝ විනාඩි 3ක් සිටිය යුතුයි. ඔබ ආධුනිකයෙකු නම් මුලින්ම තත්පර 30ක් මෙම ඉරියව්වේ සිටිමින් පටන් ගන්න. පසුව ක්‍රමයෙන් ඉරියව්වේ සිටින කාලය වැඩි කරන්න.

Side Plank Dips ව්‍යායාම
ඇඟ පැත්තට හරවාගත් ඉරියව්වෙන් පටන්ගන්න. (එක පැත්තක ඇඟට බර දෙමින් වැලමිට අංශක 90කට නවාගෙන, එමෙන්ම ඔබේ ඉන පොළොවේ නොගවමින් ඔසවාගන්න ) දැන් ඔබේ ඉන පොළොවේ ගාවන්න. නැවතත් පොළොවෙන් උඩට ගන්න. මේ ආකාරයට එක පැත්තකට වට 10-12 බැගින් සිරුරේ දෙපත්තටම මෙම ක්‍රියාකාරකම කරන්න. ඔබේ පිටුපස පෙදෙස කෙලින් තබාගනිමින් සහ තට්ටම් තද කරගනිමින් මෙම ක්‍රියාකාරකම කරන්න උත්සාහ ගන්න.

Stability Ball Plank ව්‍යායාම
Stability ball එකක් සොයා ගන්න. ඒ මත ඔබේ වැලමිට හා මැණික් කටුව අතර ප්‍රදේශය තබා වැලමිට සහ යටිබාහුව සමබර කිරීමට උත්සහ කරන්න. දැන් ඔබේ කකුල් පිටුපසට දිගු කරන්න. ඒ මගින් ඔබට බෝලයට විරුද්ධව ඔබ සිටිය යුතු කෝණය කුමක්දැයි අදහසක් ලබාදේවි.මෙම ඉරියව්වෙන් විනාඩි දෙකක් පමණ ඉන්න. මෙහිදී මෙම ඉරියව්වේ සිටීමට ඔබේ උදර පේශි පහසුතාවයක් දක්වන තුරු පමණක් ඉරියව්වේ රැඳී සිටීම වඩාත් හොඳය.

ඔබේ පාද වලත් නහර මතුවෙලාද? කකුල් කැතට පේනවද? නහර මතුවීම වළක්වා ගැනීමට හොඳම පිළියම් රැසක්

පාදවල නහර ඉලිප්පීම, නහර විස්ථාරණය වීම මැදි වයසේ බොහෝ දෙනෙකුට මතුවන අපහසු තත්වයක්. වෛද්‍ය විද්‍යාවේ Varicose තත්වයක් හැටියට මෙය හඳුන්වනවා. දවසේ දීර්ඝ වේලාවක් හිඳගෙන හෝ සිටගෙන ගතකරන අයට, අඩි උස පාවහන් නිතර නිතර පළඳින අයට, එසේත් නැතහොත් දෙපාවලට හිර පාවහන් නිරන්තරව පළඳින අයට, ගර්භනී කාන්තාවන්ට දෙපාවල නහර ඉලිප්පීමේ තත්වයන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන බව වාර්තා වනවා.

Varicose තත්වයක් ඇති වූ විට දෙපාවල එම ස්ථාන තද දම් පැහැයෙන් හෝ තද නිල් පැහැයෙන් යුක්තව නහර ඉලිප්පී දෙපා අවලස්සනට දිස් වෙනවා. මෙවැනි තත්වයක දී දෙපා නිරාවරණය වන ඇඳුම් ඇඳීම පවා අපහසුයි. කොහොම වුණත් මේ තත්වය පාලනය කර ගන්නට ඕනෑම කෙනෙකුට අපහසු නැහැ. විශේෂයෙන් ම ගර්භනී සමයේ දී කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන Varicose තත්වය ප්‍රසූතියෙන් පසු යථා තත්වයට පත් වෙනවා. එය දිගුකාලීන ව පවතින තත්වයක් නොවෙයි. එහෙත් වයස්ගතවීමත් සමඟ දෙපාවලට දක්වන අවධානය අඩුකරදැමුවොත් මේ තත්වය යටපත් කරගන්නට අපහසුයි. මේ නිසා මුහුණට, ඇඟට දෙන අවධානය දෙපාවලටත් ජීවිත කාලය පුරා ම ලබාදීම අත්‍යවශ්‍යයි. ජීවිත කාලය පුරාවට ම නහර විස්ථාරණය වීම වළක්වා ගන්නට සහ දෙපා අවලස්සනවීම නතර කර ගන්නට නම් මේ උපදෙස් ඔබට ඉතා වැදගත් වේවි.

දෙපයට උචිත ව්‍යායාම ලබා දෙන්න. වැඩි වශයෙන් තන්තුමය ආහාර අනුභව කරන්න. අඩි උස සහ පාදවලට අපහසු, හිර පාවහන් නිතර පැළඳීම නතර කරන්න. හැකි සෑම විට ම පාදවලට විවේකය, සැහැල්ලුව ලබාදෙන්න. මේස් පළඳිනවා නම් පාවලට ලිහිල් දහඩිය උරා ගන්නා මේස් පළඳින්න. දැනටමත් නහර මතු වී දෙපා අවලස්සන වී ඇත්නම්, නහර මතුවූ මූලික අදියරේ දී ඔබට නිවසේ දී ම කළ හැකි ප්‍රතිකාර කිහිපයක් තිබෙනවා.

ව්‍යායාම සහ සම්බාහනය
ඇඳක හෝ බිම වැතිරී පපුව තබාගෙන සිටිනවාට වඩා උස් පිහිටීමක ඔබේ දෙපා විනාඩි 15ක් පමණ ඔසවා තබන්න. ඒ සමඟ ම වළලුකර කරකවන්න. පාදවල සමට යටින් පිහිටා ඇති අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා පාද සම්බාහනය කිරිම කළ යුතුයි. එමඟින් රුධිර සංසරණය ක්‍රමවත් වෙමින් ස්නායු උද්දීපනය වී ශරීරයේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම සමඟ පාදවල අනවශ්‍ය මේදය දහනය වනවා.

දෙපා සම්බාහන ක්‍රම
ඔලිව් තෙල් සමඟ විටමින් E මිශ්‍ර කර දිනකට දෙවරක් සම්බාහනය කරන්න. කපාගත් පාස්ලි කොළ අහුරකට වතුර දමා තම්බාගන්න. එයට රෝස තෙල් ස්වල්පයක් මිශ්‍ර කර ශීතකරණයේ තබා පසුව පුළුන් කැබැල්ලක් මඟින් ඉලිප්පී ඇති නහර මත ආලේප කරන්න. හිර පාවහන් පැළඳීම නිසා ඇති වූ Varicose තත්වයකින් දෙපා ආරක්ෂා කරගන්නට නම්, එවැනි හිර පාවහන් පැළඳ ගමන අවසන් කළ වහාම දෙපාවල විඩාබර බව මඟහැරෙන්නට දෙපා ඇඟිලි මතින් ටික දුරක් ඇවිදින්න. මඳ උණුසුම් ජලය විනාඩියක කාලයක් දෙපා මතට වත් කරන්න. ශීත කළ ජලය ද ඒ අයුරින් ම විනාඩියක කාලයක් දෙපා මතට වත්කරන්න. පසුව තෙත මාත්තු කර දණිස් දක්වා ඉහළට මසාජ් කරන්න. පොල් විනාකිරි ස්වල්පයක් මඳ උණුසුම් ජලයට දමා දෙපා ඒ මත දමාගෙන හිඳීම තවත් පිළියමක්. ඉන් අනතුරුව පාද හොඳින් තෙතමාත්තු කර වියළා ගැනීමටත් අමතක කරන්න එපා. කාලාන්තරයක් තිස්සේ දෙපාවල නහර මතු වීමේ තත්වය නිසා පීඩා විඳිනවානම් නිවසේ සිට කරන මෙවැනි මූලික ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එවැනි තත්වයක දී හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්. ඇතැම් විට මෙවැනි තත්වයන් දිගින් දිගට ම නොතකා හැර කටයුතු කිරීම, කල්දැමීම හෝ අමතක කිරීම දිගුකාලීන ව ඔබේ සිරුරේ පැවැත්මට ඉතා අහිතකර විදියට බලපාන්නටත් ඉඩ තිබෙනවා.

හිස, මුහුණ, දෙඅත්, සිරුර වගේ ම ඔබේ දෙපතුල්වලටත් උපරිම අවධානය, ආදරය, රැකවරණය නිරන්තරයෙන් ලබා දුන්නොත්, පියකරු සිරුරක් පවත්වා ගන්න ඕනෑම කෙනෙකුට පුළුවනි.

ඉතාලි ක්‍රමයට ගෙදරදීම රසට පැස්ටා හදමු ද? රෙසිපි එකත් එක්කම මෙන්න හදන හැටි

පැස්ටා කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති කෑමක් නේ. ඉතින් ඔන්න අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද ඉතාලි ක්‍රමයට පැස්ටා එකක් හදාගන්න හැටි. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.

ලොකු කුඩා අපි හැමෝම කැමතියි පැස්ටා, මැකරෝනි, නූඩ්ල්ස් කන්න. මාළු මස් සහ සෝස් වර්ග එකතු කිරීමෙන් ඒවායේ රස තව තවත් වැඩි වෙනවා. ඉතින් ඉතාලියේ පැස්ටා, මැකරෝනි රසට ප්‍රිය කරන ඔබටයි මේ රෙසිපිය..

අවශ්‍ය ද්‍රව්‍ය – ස්පැගට් (පැස්ටා) ග්‍රෑම් 500 ක්, බේකන් ග්‍රෑම් 200 ක්, ළුෑණු ග්‍රෑම් 150 ක්, තක්කාලි සෝස් කෝප්ප 2 ක්, ඔරිගානෝ තේ හැඳි බාගයක්, තෙල් මේස හැඳි 5 ක්,

සාදා ගන්නා ආකාරය
පළමුව ස්පැගට් (පැස්ටා) තම්බන්න. වතුරට ලුණු සහ ඔලිව් තෙල් දමා රත්වන විට ස්පැගට් (පැස්ටා) දමා තම්බන්න.

සෝස් සාදා ගන්නා ආකාරය
සාස්පනකට තෙල් දමා රත්කර කුඩාවට කපාගත් බේකන් දමා කර කර ගා හැපෙන ආකාරයට බැද කුඩාවට කපා ගත් ළුෑණු දමා දුඹුරු වර්ණ වූ විට තක්කාලි සෝස් දමා අඩු ගින්දරේ විනාඩි 20 තබා එයට ඔරිගානෝ දමා ලුණු අවශ්‍ය පමණ දමන්න. මෙය ඉදෙන විට රතු වර්ණය ගනී. ඉන් පසු ලිපෙන් බා පැත්තකින් තබන්න.

තම්බා ගත් පැස්ටා එයට කලවම් කර කැමති නම් ගා ගත් පාමසන් චීස් උඩින් ඉසින්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඉන්දුනීසියන් ක්‍රමයට නාසි ගුරන් රයිස් එකක් රසට හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න

නාසි ගුරන් රයිස් කියන්නේ අපි හැමෝම වගේ කන්න කැමති කෑමක් නේ. ගොඩක් වෙලාවට රෑ කෑමට ගොඩක් අය එළියට යනවා කඩෙන් කෑම ගන්න. ඉතින් ඔන්න අද අපි කියන්න යන්නේ ගෙදරදීම කොහොමද ඉන්දුනීසියන් ක්‍රමයට නාසි ගුරන් රයිස් එකක් හදාගන්න හැටි. කඩෙන් කෑම ගන්නවට වඩා ගෙදරදීම හදලා රස බලන්න. ගොඩක් රසවත් වේවි.

ඉන්දුනීසියන් ක්‍රමයට ඉතා රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයාගෙ ගෙදරදිම හදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය – බාස්මති රයිස් (පිස නොගත්) අඬු කෝප්ප 2 ක්, බිත්තර 2 ක්, තල තෙල් තේ හැඳි 2 ක්, ලුණු තේ හැඳි 1/2 ක්, කටු හා සම රහිත කුකුල් මස් ගාත් (අඟල් 1/2 තීරු ලෙස කපා ගත්) 8 ක්, අමු ඉස්සන් (පිරිසිදු කර ගත්) 6 ක්, එළවළු තෙල් මේස හැඳි 2ක්, සුදු ළූණු (කුඩාවට කපා ගත්) මේස හැඳි 2 ක්, ලොකු ළූණු (කුඩාවට කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ) ගෙඩි 1 ක්, ඉඟුරු අල (කුඩාවට කපා ගත්) තේ හැඳි 2 ක්, වියළි, ඉස්සන් පේස්ට් මේස හැඳි 1 ක්, ගම්මිරිස් තේ හැඳි 1/2 ක්, චිලි සෝස් මේස හැඳි 1 ක්, ඔයිස්ටර් සෝස් මේස හැඳි 1 ක්, සෝයා සෝස් මේස හැඳි 1 ක්.

සැරසීමට අවශ්‍ය ද්‍රව්‍ය – ළූණු ගස් (සිහින්ව කපාගත්) මේස හැඳි 3 ක්, කොත්තමල්ලි කොළ (කපාගත්) අඬු කෝප්ප 1/2 ක්.

සාදා ගන්නා ආකාරය
පළමුව බාස්මතී හාල් සෝදා අවශ්‍ය පමණට වතුර තබා ලුණු ස්වල්පයක් දමා බත පිසගන්න. පිසගත් බත වියළි තැටියකට දමා විසිරෙන්නට තබා නිවාගන්න. මෙය පැය 2 කට පෙර සාදා තබන්න. නැතිනම් පෙර දිනයේ රාත්‍රියේ සාදා ශීතකරණයේ තබන්න. බිත්තර, තල තෙල්, ලුණු එකට දමා පසෙකින් තබන්න. සුදුසු භාජනයක් ගෙන ලිප තබා හොඳින් රත්කරගෙන එළවළු තෙල් දමා හොඳින් රත් වූ පසු එයට ළූණු, ඉඟුරු, ඉස්සන් පේස්ට්, සුදු ළූණු, ගම්මිරිස් එකතු කර තෙම්පරාදු කරගන්න. එය තෙම්පරාදු වන අතරතුර ඉස්සන් පේස්ට් එකක් ආකාරයට හොඳින් පොඩිකර ගන්න. කුකුල් මස් හා ඉස්සන් දමා විනාඩි 2 ක් පමණ තෙම්පරාදු වන්නට තබා පසුව කලින් පිසගත් බත් එයට උඩින් දමා නැවතත් කලවම් කරගන්න. දැන් එයට චිලි සෝස්, ඔයිස්ටර් සෝස් හා සෝයා සෝස් එකතු කර නැවතත් කලවම් කරන්න. අවසානයට බිත්තර මිශ්‍රණය එකතු කර හොඳින් කූරු ගාමින් මිශ්‍රකර ගන්න. ඕම්ලට් 2 ක් සාදා එය තීරු ආකාරයට කපාගන්න. දැන් සාදා ගත් බත පිඟානක් මතට දමා ළූණු ගස්, කොත්තමල්ලි කොළ සහ කපා ගත් බිත්තර තීරුවලින් සරසා පිළිගන්වන්න.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)

ඔබෙත් ඇස් යට කළු වෙලාද? එහෙම වෙන්නේ ඇයි? මෙන්න නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර

ඇස් යට කළු වීම අද බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවක්. මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන් එය වඩාත් හොදින් කැපි පෙනෙනවා විතරක් නෙමෙයි මුහුණේ සුන්දරත්වයටත් එය බලපානවා. ඒ නිසා මුහුණ පැහැපත්ව තබා ගන්නවා වගේම ඇස් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා. ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් බැවින් ඇස් යට සමට හානීයක් නොවන පරිදි ප්‍ර‍තිකාර කිරීම ඉතාමත් වැදගත්. අද අපි ඔයාට කියලා දෙන්නේ ඇස් යට කළු වීම අවම කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන.

ඇස් යට කළු වෙන්නේ ඇයි? ඇස් යට කළු වෙන්න එමෙහත් නැත්තම් අවපැහැ ගන්න කරුණු ගණනාවක් හේතු විය හැකියි.
හිරු රශ්මියට නිරාවරණය වීම, තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශ නාලීකා, විවිධ අසාත්මිකතාවන්, ජානවල බලපෑම, ඇස් වටා වියළීම සහ හානී වු සෛල ඒකරාශී වීම, දීර්ඝ කාලීනව පරිඝණක භාවිතය, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, මානසික පීඩනය හා ආතතිය.

ඇස් යට කළු වීමට නිවසේදී ම කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද?
ආමන්ඩ් ඔයිල් – ආමන්ඩ් ඔයිල් රාත්‍රී‍ නින්දට යන්න පෙර ස්වල්පයක් ගෙන ඇස් වටා ආලේප කර සෙමින් මසාජ් කරන්න. පසුව උදෑසන සීතල ජලයෙන් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් මෙම සත්කාරය කිරීම මගින් ඔබේ ඇස්යට කළුවීම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.

පිපිඤ්ඤා – පිපිඤ්ඤ ගෙඩියකින් පෙති දෙකක් පමණ කපාගෙන එය විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව ඒ පිපිඤ්ඤා පෙති දෙක විනාඩි 10 ක් පමණ තබාගෙන ඉන්න. සතියකට කිහිප සැරයක් මෙම සත්කාරය සිදු කිරීමෙන් ඇස් යට අවපැහැය අවම කරගත හැකියි.

අර්තාපල් – අර්තාපල් කියන්නේ මුහුණට හොද සත්කාරයක් වගේම ඇස් යට කළු වීම අවම කර ගැනීමේ හැකියාවද තිබෙනවා. අර්තාපල් ගෙඩියක් හොදින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොගවා ඇස් වටා ප්‍රදේශය තබා ගෙන සිටින්න. පසුව විනාඩි 10 න් පසු සීතල වතුරෙන් සෝදා ඉවත්කර හරින්න.

තක්කාලී යුෂ – තක්කාලී යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැදි භාගයක් පමණ එකතු කර මිශ්‍රණයක් සකස් කර ගන්න. පසුව එම මිශ්‍රණයෙන් අදුරු පැහැ ගැන්වී තිබෙන ප්‍රදේශයේ විනාඩි 10 ක් පමණ ආලේප කර තබා සෝදා හරින්න.

ටී බෑග් – ටී බෑග් දෙකක් පමණ ගෙන විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබා අනතුරුව ඇස් වටා විනාඩි 15 ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා ඉවත් කරන්න.

ඇස් යට කළු වීම අවම කර ගන්න තවත් ක්‍රමයක්?
අව්වට නිරාවරණය වන සෑම අවස්ථාවකදී ඔයාට අව් කණ්ඩාඩියක් භාවිත කරන්න පුළුවන්. මෙමගින් ඔබගේ ඇස් හිරු කිරණට නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදි ඔබ වඩාත් ප්‍රමිතියක් සහිත ස්ථානයකින් අව් කණ්නාඩියක් මිළදී ගැනීමට කටයුතු කරන්න.

දිනපතා සැහැල්ලූ මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කිරීම ඉතා වැදගත්. ඇස් අවට ක්‍රීම් ආලේප කිරීමේදී වඩාත් මෘදුව පිරිමැදීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් දිනපතා ආලේප කිරීමෙන්ද ඔබට ඇස් අවට කලූ පැහැ ගැන්වීම අවම කර ගත හැකියි.

විධිමත් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කළ under eye cream වර්ගයක් භාවිත කළ හැකියි. Niacin amide අඩංගු කිරීම වඩාත් සුදුසුයි.

ඇස් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඔබේ රුචිකත්වය පරිදි මෙම සත්කාරවලින් එකක් තෝරා ගෙන අත්හදා බැලීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබ සැළකිලිමත්ව මේ කටයුත්ත සිදු කළ යුතුයි. මොකද ඇස් අවට සම ඉතාමත් සංවේදියි. සුළු අත්වැරැද්දකින් ඔබේ දෙනෙත්වලට පවා අහිතකර ආකාරයෙන් බලපෑ හැකියි. ඒ නිසා වඩාත් පරීක්ෂාකාරීව මෙම ප්‍රතිකර්ම කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

(උපුටාගැනීම sinhalahealth.com වෙබ් අඩවියෙන්)