රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම වලකන ගොරකා

මෙරට පහතරට තෙත් කලාපයේ හොඳින් වැවෙන ගොරකා ඖෂධිය, ගුණයෙන් පොහොසත්. ආයුර්වේදයේ ,රෝග ප්‍රතිකාර සඳහා එහි පංචාංගය ම යොදාගන්නා බව සඳහන්. ගොරක හදවතට බෙහෙවින් හිතකර බව විද්‍යානුකූලවත් සනාථ වනවා. චරක මහ ඉසිවරයා හදවතට හිතකර ලෙස හඳුන්වා දී ඇති දිව්‍ය ඖෂධ බඳු ආහාර වර්ග දහයට ගොරකාත් අයත්වනවා.

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් කොලෙස්ටරෝල් පාලනය සඳහා ,නිපදවූ ඖෂධයකට ගොරක යොදා ගැනුණු අතර අදාල පදාර්ථ වඩාත් අඩංගුවූයේ, ශ්‍රීලංකා ගොරකවල බව නිෂ්පාදන නිරීක්ෂණ වලදී හඳුනාගත් බව සඳහන්. ආහාර සඳහා යොදාගැන්මට පැසී ඉදුණු ගෙඩිවල පලු වෙන් කර වියළා ප්‍රයෝජනයට ගැනෙනවා. ඒවායේ විටමින් C බහුලවන අතර ටාටරික් අම්ලය පොටෑසියම් හා තවත් විටමින් හා පෝෂක අඩංගුයි.

රුධිරගත අධික කොලෙස්ටරෝල් පාලනය කර, හදවතේ ධමනි තුළ මේදය තැන්පත්වීම ගොරක මගින් වැළැක්වෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් සිරුර තුළ සංසරණය වන ලිපිඩ අඩු කිරීම නිසා රුධිරගත කොලෙස්ටරෝල්වල අහිතකර LDL අඩුවී, හිතකර HDL වර්ධනය වනවා. රුධිරගත සීනි පාලනයවී දියවැඩියාව ද පාලනයවනවා.

සිරුරේ පරිවෘත්තීය ක්‍රියා කාර්යක්ෂ්ම වී ප්‍රතිශක්තිකරණය ශක්තිමත්වනවා. එය රෝගාබාධ ආසාදන වලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සෙම් ප්‍රතිශ්‍යාව උණ වැනි සාමාන්‍ය රෝග වැළක්වීමට හෝ ඉක්මනින් සුවපත් කිරීමට දායකවනවා. ආහාර රුචිය වර්ධනය කරනවා. ඉදිමුම් දැවිලි සන්ධි රෝග, සමනය කරනවා. ගර්භාෂ රෝග වලට එරෙහිව, ක්‍රියාත්මක වනවා විදුරුමස් රෝග සුවකර දෙනවා. තරබාරුකම දුරු කිරීම, මලපහවීම පහසු කිරීම, බිඳුණු අස්ථි ඉක්මනින් සුවපත් කිරීම, වැනි කාර්යයන්හිත් නියැලෙනවා. කැඩුම් බිඳුම්. සඳහා ගොරක පොතු හා මල් යොදාගනු ලබනවා . වකුගඩු ගල් කැබලි කිරීමේ ශක්තියක් ද එය සතුයි. ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් ආහාරවල විෂ සමනය කරමින් බඩවැල් පිළිකාවලින් මිදීමටත් මං පාදනවා. රක්තවාතය, වණ, බඩවැල් රෝග, හා සත්ත්ව රෝග සඳහා ඖෂධ සැකසීමට ද ගොරකා යොදා ගැනෙනවා.

ආහාර කල් තබා ගැන්මටත් මාළු ඇඹුල් තියල, පොළොස්, කොහිල, කැකිරි වැනි වෑංජන රසවත් හා ගුණවත් කිරීමටත් ගොරකා උපකාරීවනවා. බලයා කෙළවල්ලා වැනි සැර මාලුවලින් ඇතිවිය හැකි අසාත්මිකතා වැළැක්වීමට, ඒවායේ ඇති හිස්ටමින් නමැති රසායනය ගොරක මගින් 80% කින් උදාසීන කර දෙනු ලබනවා. වෑංජනවලට ගොරක යෙදීමේදී අඹරා හෝ සිහින්ව කපා යොදාගැන්ම මගින් එහි ඖෂධීය වාසි වඩාත් හොඳින් ලබාගත හැකියි

සෙම් ප්‍රතිශ්‍යා උගුරේ අමාරු ආදියේදී – ගොරක ලුණු හා ගම්මිරිස් එකට අඹරා පොට්ටනියක් බැඳ හක්කේ තබා කෙළ ගිලිමින් සෙම ඉවත්කරගත හැකියි, ඇඟිලි කරු වණ වූ විට – ගොරකා තැම්බූ දියට ලුණු දමා සෝදන්න, දිගු ගමනකින් පා වෙහෙස වූ විට – ගොරක තැම්බූ දියෙන් සේදීමෙන් ඉදිමුම් වේදනා දුරුකර ගන්න, කොලෙස්ටරෝල් පාලනයට – ගොරක සුදුලූනු, කරපිංචා සමග අඹරා ගත් ලුණුමිරිසක් කෑමට එක්කරගන්න.

ලිපිය සැකසුම -Indrakumari Rathnayake-
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය හා වෛද්‍ය, ලේඛන ඇසුරිනි.)

දියවැඩියාව, පිළිකා, අකලට හිසකෙස් පැසීම් වලකන, ගුණයෙන් අනූන පළතුර ‘නමිනන්’

ගසෙහි මුල කොටස අලංකාර කරමින් මල්පිපී පලබර වන නමිනන්, විටමින් A C බහුල, පෝෂක ගුණ සපිරි ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් සරු ශාකයක් . පලතුර කහට ඇඹුල් මිශ්‍ර පැණි රසයෙන් යුක්තයි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව මැලේසියාව ඉන්දුනීසියාව ආදී රටවල දක්නට ලැබෙන අතර, namu namu, namo namo, katak puru වැනි විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. ආහාරයට මෙන්ම ඖෂධ සඳහා ද යොදා ගනු ලබනවා.

නමිනන් චර්ම ආබාධ, දියවැඩියාව .මුත්‍රා ගල් , වකුගඩු ආබාධ, මල බද්ධය ඇතුළු ජීර්ණ පද්ධතියේ ගැටළු සඳහා ප්‍රතිචාර දක්වන්නක්. එසේ ම මනසේ සැහැල්ලුව ඇතිකරමින් මානසික සෞඛ්‍යය ද වර්ධනය කර දෙන්නක්.

කහට රස වැඩි පලතුරුවලට ආවේණික , සුවිශේෂ ශාකමය රසායන ද්‍රව්‍ය ගුණ දායක ත්වය මගින් රුධිරගත සීනි, අධි රුධිර පීඩන මට්ටම් , පිළිකා තත්ත්ව, පාලනය කිරීමේ හැකියාව එය සතුවෙනවා. අකලට හිසකෙස් පැසීම් වළකා හිසකෙස් වර්ධනය කිරීමට ද එයට හැකියි.

නමිනන් ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට අදාල රසායනික ක්‍රියාදාමයට උපකාරිවනවා. කහට රස ආහාරයකින් ඇතිවන කුසගිනි පාලන හැකියාව නිසා තරබාරුව අඩු කිරීමටද එය හේතුකාරක වනවා.

ළපටි නම්නන් පත්‍ර පාචනය වැළැක්මේ ගුණයෙන් යුක්තයි. මුත්‍රා ආබාධ සඳහා පත්‍ර තම්බා තේ මෙන් පානය කරන බව ද සඳහන්. නමිනන් සමට ත් බෙහෙවින් හිතකරයි. වියළීම් රැලි වැටීම් නවතා සම වියපත්වීම පමාකර , තරුණ පෙනුම දිගුකාලයක් රඳවා තගැනීමට එය සහායවනවා. සමේ රෝග හා ලාදුරු රෝගය සඳහා ආලේප කිරීමට නමිනන් ඇටවලින් වෙළදපොළට තෙල් ද නිෂ්පාදනය කෙරෙනවා.

ලිපි සැකැසුම -Indra Kumari Rathnayake-
(මූලාශ්‍ර හා සේයා රූ -අන්‍තර්ජාලය ඇසුරිනි)

සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම, මුත්‍රා ගල්, මුත්‍රා දැවිල්ල ඇතුළු රෝග රැසකට සුවය සලසන දිව ඔසුවක් වූ කටරොලු

වසර දහස් ගණනක සිට මිනිස් වර්ගයාගේ ගත සිත සුවපත්කරන කටරොලු ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුතු අලංකාර මල් සහිත ඖෂධීය වැල් ශාකයක්. සුදුමල් සහිත වැල එළ කටරොලු ලෙසත්, නිල් මල් සහිත වැල නිල් කටරොලු ලෙසත් හැඳින්වෙනවා .ශාකය fabeceae කුලයට අයත්වන්නක්. මෙරට මෙන්ම ඉන්දියාව තායිලන්තය බුරුමය ආදි රටවල දක්නට ලැබෙන කටරොලු butterfly pea අපරාජිතා, ගිරිකර්ණිකා , ගේ කුරනි ආදි නම්වලින් හඳුන්වනු ලබනවා. කොළ දළු, මල් , සම්බෝල මැල්ලුම්, කොළ කැඳ, තේ ආදිය සැකසීමට යොදාගන්නවා.
තායිලන්ත වාසීන් වියළි, මල් උතුරන දියෙහි දමා තබා පොඩිකර ගත් යුෂ එක්කර රස ගුණැති බතක් ද පිසිනවා. ඇතැම් රටවල එහි ළපටි කරල් වෑංජනයට උයනවා. මල් පපඩම් ලෙස බැද කෑමට ගන්නවා.

දේශීය වෛද්‍ය බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහයේත් ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලත් කටරොලු ඔසු ගුණ ගැන සඳහන් වෙනවා. අතීත වෛද්‍යවරුන්ගේ දර්ශනය අනුව, එය පොදුවේ රුධිර දෝෂ වාත දෝෂ දැවිලි ඉදිමුම් සුව කරන්නක්. සුශ්‍රැත සංහිතාව කියා සිටින්නේ කටරොලු විවිධ රෝග නස්න කිරීම් මගින් සුව කළ හැකි ශිරෝ විරේචන ගුණැති ඔසුවක් බවයි. ඒ අනුව තද හිසේ කැක්කුමක දී කටරොලු කොළ තැලූ යුෂ, බිංදු දෙකක් නාසයට ඇදීමෙන් ක්ෂණික සුවයක් අත්වන බව සඳහන්. කටරොලු තිත්ත රස හා සිසිල ගුණැති ශාකයක්. වා පිත් සෙම් තුන් දොස ම සමනය කරන්නක්. මල් කොළ මුල් ඇට පොතු යන පංචාංගය ම රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනවා. එය සිරුරේ අභ්‍යන්තර මෙන්ම බාහිරරෝග සුවයටද සහාය වන්නක්. පංචාංග කෂාය සිරුරේ සියලු සෙම් රෝග සුවකරන්නක් බව පර්යේෂණවලින් ද සනාථ වි තිබෙනවා. සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම ආදියට සහන සලසන කටරොලු ශරීර උෂ්ණය පහත හෙළන ගුණයෙන් යුක්තයි. එහෙයින් උණ රෝග ද පාලනය කර දෙන ඔසුවක්. සෙම් අමාරු දුරු කිරීමට වියළි මුල් යොදා දුම් ඇල්ලීමෙන් සුව සැලසෙනවා. උෂ්ණයට සැදෙන මුඛ තුවාල සුවයට සුදු කටරොල් දලු මල් සම්බෝල සකසා ආහාරයට ගන්නා බව සඳහන්. එහි ඇති සිසිල ගුණය ආමාශ තුවාල සුව කිරීමට ද උපකාරි වන්නක්. කටරොලු පංචාංග කෂාය මුත්‍රා ගල්, මුත්‍රා දැවිලි, මුත්‍රා අඩස්සිවලට එරෙහිව ද ක්‍රියා කරන්නක්. රුධිරගත සීනි පාලනයේ හැකියාව ඇති එය දියවැඩියාව පාලනය කරනවා.

ඇස්වලට හිතකර කටරොලු අක්ෂි රෝග පාලනය කරමින් පෙනීම වර්ධනය කර ගැන්මටත් උපකාරී වන්නක්. සමේ ඇතිවන කුෂ්ට තුවාල පමණක් නොව සුදු කබර වැනි චර්ම රෝග පවා සුවකරමින් සම නිරෝගි කරන්නට ශාකය සමත්. සමේ වියපත් රැලි මකා දමමින් තරුණ පෙනුම දිගුකාලයක් රඳවා දෙන්නත් ඊට හැකියි. එසේ ම එය හිසකෙස් නිරෝගිකර වර්ධනය කරන්නක් ලෙස ද සඳහන්වනවා.

මොළය වර්ධනය කිරීමේ සුවිශේෂ හැකියාවක් ශාකය සතුයි. මතක ශක්තිය දියුණු කරන එය ප්‍රශ්න විසඳීමේ හැකියාවන් වඩන බව සඳහන්. එසේ ම මානසික ආතතිය දුරුකරන අතර මොළයේ ගැටළු ඇති උන්මාද රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ද යොදාගන්නවා. උන්මාද රෝගීන්ට එළ කටරොලු මුල් යුෂ හාල්පානු දිය හා එළඟි තෙල් සමග මිශ්‍රකර පානය කිරීමට දෙනු ලබනවා.

වේදනා නාශක‍යක් සේද ක්‍රියාකරන කටරොලු අර්ශස් වේදනා සන්ධි ඉදිමුම් ආදිය සමනය කිරීමට සහායවන්නක් ලෙස සඳහන්වනවා .එය ලේ ගැලීම් පාලනය කරනවා. බරවා රෝගයට එරෙභිව ප්‍රතිචාර දක්වනවා. මුඛය ආශ්‍රිත රෝග වේදනා දුරු කරනවා. කටරොල් මුල් ගම්මිරිස් ඇටයක් සමග අඹරා වේදනා දෙන දතෙහි තැබීමෙන් දත් කැක්කුම සමනය වනවා.
උගුරේ ආසාදනවලදී කටරොලු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමෙන් සහන සැළැසෙනවා. විවිධ දුර්වලතා නිසා අධික ලෙස සිරුරෙන් දහදිය වැගිරෙනවිට කටුරොල් කොළ අමු ඉඟුරු සමග සමව ගෙන අඹරා කල්කයක් සේ ආහාරයට ගැන්මෙන් සිරුර සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකි බවත් සඳහන්.

කටරොලු අක්මාවේ ගැටලු ව්සඳීමටද සහායවන්නක්. එය විෂ දුරුකිරීමේ ශක්තිය සහිතයි. කෘමි සර්ප දෂ්ටවලදී කටරොලු මුල් කෂාය ලබා දෙනවා .මුල් දෙහි ඇඹුලෙන් අඹරා දෙනවා. කටරොලු හදවතට හිතකරවන අතර කොලෙස්ටරෝල් මට්ටම යහපත් කර දෙන්නක් සේ ද සැලකෙනවා. දරු සම්පත් අහිමි, කාන්තා පිරිමි දෙපක්ෂයටම එය සපුරාගන්නට උපකාරිවන ශක්තිය ද කටරොලු ශාකය සතු බව සඳහන්වනවා. නිල් මල සහිත ශාකය ගර්හාෂ රෝග පාලනයටත් සුදුමල් ශාකය ගලගණ්ඩය පාලනයටත් උපකාරිවනවා. සුදුමල් ශාකය වතුර පත හතර එකට සිඳවූ කෂාය පානයෙන් ගලගණ්ඩ රෝගය පාලනය වන බව සඳහන්. වියළි නිල් කටරොල් මල් පානය බොහෝ රෝගවලින් මිදී නිරෝගි සුව ලබාගැන්මට අතීතයේ සිටම යොදා ගන්නක් බව සඳහන්. ඒවා නටන උණු දියේ දමා ජලය මනාව වර්ණවත් වූ පසු, දෙහියුෂත් පැණිත් යොදා පානය කරනවා .

ශාකය ඇතැමකුට අසාත්මිකවිය හැකි අතර එවැන්නකුට අභ්‍යන්තර භාවිතයෙන් වමන පාචන ගති ඇතිවිය හැකියි. එය බොහෝ ගුණ දායක වුවත් ගැබිණි හා කිරි දෙන මවුන්ටද එතරම් හිතකර නොවන බවයි සඳහන්වන්නේ.

කටරොලු වලින් අත්බෙහෙත්
සුදු කබරවලට – ශාකමුල් අඹරා ආලේප කිරිම, කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝගවලට – වියළි ශාක මුල්කුඩු ග්රෑම් 1-3 ප්‍රමාණයක් උණු දිය සමග පානය කිරීම, අර්ශස් ගෙඩිවලට – ශාකය සහමුලින් ගෙන ගලේ අඹරා ආලේප කිරීම, සමේ රෝගවලට – කටරොලු ඇට කබලේ බැද කුඩුකර මී පැණි සමග මිශ්‍රකර වරකට ග්‍රෑම් 5-10 පානය කිරීම, හන්දි පත් වේදනා වලට සහ විස ශරීරගතවූ තැන්වලට ශාකයේ කොළ අඹරා ආලේප කිරීම.

ලිපිය සැකසුම (නිමලා රත්නායක සමග)
-Indra Kumari Rathnayake-
(මූලාශ්‍ර හා සේයා රූ- අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි.)

දරු සම්පත් ඇතිකරවන, මුත්‍රා ගල්, මුත්‍රා දැවිල්ල, අර්ශස්, ඇතුළු රෝග ගණනාවකට සුවය සලසන අක්කපාන

නිවර්තන අප්‍රිකානු සම්භවයක් සහිත අක්කපාන ශාකය මෙරට පහත්බිම් හා පහත් කඳු බිම්වල ,බොහෝවිට ගල් ආශ්‍රිතව වැඩෙමින් අලංකාර මලින් හා රටා වැටුණු හැඩකාර මාංශල පත්‍රවලින් එම පෙදෙස් සරසනවා. පත්‍රවලින් මුල් ඇදීම මෙහි ඇති විශේෂත්වයක්. ගල් බිඳින යන අරුතින්, පාෂාණ භේද, ශෛලෝද්භේද, යන නම්වලින් හැඳින්වෙන අක්කපාන, එහි ඇති විශ්මිත ගුණ නිසාම ලොව නොයෙක් රටවල Miracle Leaf, Wonder of the world යනාදී තවත් විවිධ නම් පට බැඳුණු වටිනා ඔසුවක්.

මෘදුකිරීමේ, විෂහරණය කිරීමේ, දාහය දුරු කිරීමේ, රුධිර වහනය වැළකීමේ, වේදනා නැසීමේ ගුණවලින් යුක්තයි. calcium sulphate, calcium oxalete, tertarate of pottasium ආදී රසායන සංයෝගවලින් සපිරුණු අක්කපාන වාත පිත සමනය කර න්නක්. සිරුර ශක්තිමත් කරන්නක්. තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්තයි. මෙරට වෙද කමෙහි විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර සඳහා එය යොදා ගනු ලබනවා.

මුත්‍රා ගල් ඉවත් කිරීම ඇතුළු මුත්‍රා රෝග 12 කට ප්‍රතිකාර සඳහා යොදාගන්නා බව සඳහන්. ඒ හැරුණුවිට හදවත් රෝග, ප්‍රමේහ රෝග පාචන අතීසාර රක්තාතීසාර, රක්ත ප්‍රදර, පෙණහළු තුවාල, ඉදිමුම්, සන්ධි රෝග, අස්ථි බිදීම්, අක්ෂි රෝග චර්ම රෝග, ශුක්‍ර දෝෂ, අම්ලපිත්ත රෝග ඒ අතර වනවා.

වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරන අතර දේශීය වෛද්‍යවරුන් ගෙඩි කපා හැරීමේදී නිර්වින්දන ඖෂධයක් සේ ගැටතුඹ හා මිශ්‍රකර යොදාගන්නා බව ද, සඳහන්. චීනය හා කැරීබියන් දූපත්වල ත් අක්කපාන වේදනා නාශකයක් සේ යොදා ගැනෙනවා. අක්කපාන කොළ තබා බැඳීමෙන් බිඳුණු අස්ථි සැකසෙන අතර එනිසා ‘බින්න යෝජනී ‘ නමද ඊට පට බැඳී තිබෙනවා. සියුම් ධමනි ශාඛා හකුළුවන ශක්තියක් මෙහි ඇති බැවින් සිරුරේ ලේ ගැලීම් නතර කර ලීමට එයට හැකියි. ලේ අතීසාර රක්ත ප්‍රදර, රක්ත අර්ශස් රෝගවලදී ප්‍රතිකාර සඳහා මේ කොළ යුෂ ලබා දෙන්නේ එනිසායි.

වාජීකරණ ගුණ සහිත අක්කපාන ශුක්‍ර දෝෂ දුරුකර දරු සම්පත් අහිමිවූවන්ට එය ලබාදීමේ හැකියාව ද ඇති ඖෂධයක්. කිරි දෙන මවුවරුන්ට කිරි එරී වේදනා ඇතිවූ කල, කොළ එඬරු තෙල් හා අඹරා රත්කර ආලේපකිරීමෙන් සහන අත්වන බව සඳහන්. සමෙහි තැලීම් තුවාල වීම් වණවීම් ඉදිමුම් ආදියේ දීත් කැසීම් වැනි චර්ම ආබාධවල දීත් අඹරා ගත් කොළ හෝ මිරිකාගත් යුෂ ආලේප කිරීමෙන් සුවපත් වනවා. එමගින් සම නිරෝගිව පැහැපත්වනවා.

සෙම් ගෙඩි නිසා හෝ වෙනත් උගුරේ අමාරුවකදී අක්කපාන කොළයක් මැදින් කඩා විවර පැත්ත ඇතුළට වනසේ දිවෙහි තබා උඩුතල්ලට තදකොටගෙන යුෂ උරාබීමෙන් වහා වේදනාව දුරුකරගත හැකියි. කොළරාව, ක්ෂය රෝගය, වැළඳුණුවිට ද ප්‍රතිකාර ලෙස අක්කපාන කොළ යුෂ ලබා දෙනවා. ඇදුම වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවල ට එය ගුණදායකයි. ඉරුවා රදය සුව කිරීමටත් අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමටත් එය උපකාරිවනවා. අක්මාවත් ආරක්ෂාකර දෙනවා. අක්කපාන යුෂ පොල්තෙල් සමග මිශ්‍ර කර හිසෙහි ගා සම්බාහනය කිරීමෙන් හිස් සොරි දුරු කරගත හැකියි. ඇස් යට කළුවූවිට කොළ අඹරා ආලේප කිරීමෙන් පැහැපත් කර ගත හැකියි. අක්කපාන වඩාත් ප්‍රචලිතව ඇත්තේ මුත්‍රා රෝග වලට ඇති සුවිශේෂ ගුණ සම්බන්ධයෙනුයි. මුත්‍රා අමාරුවල උග්‍ර වේදනා අවස්ථාවලදී අක්කාපාන කොළ අඹරා යටි බඩෙහි ආලේප කරනු ලබනවා. මුත්‍රා අඩස්සිවූ විට අක්කපාන පැලැස්තරය යටිබඩෙහි එළීමෙන් තදවී ඇති පේශි ඉහිල්වී වේදනා අඩුවී මුත්‍රා පිටවීම සිදුවනවා. මුත්‍රාශයෙහි ගල් සෑදුණුවිට කොළයුෂ පානය කරන්නට දීම පලදායක අත් බෙහෙතක් බව ත් එමගින් මුත්‍රා ගල් කැඩී දියවී .මුත්‍රා සමග පිටවී යන බවත් සඳහන්වෙනවා. අක්කපාන කොළ වෑංජනය හෝ සලාදය කෑමෙන් ද එම ප්‍රතිපල ය අත්කර ගත හැකියි. මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල හා වේදනාව දුරු වීමට, අක්කපාන ශාකය සහමුලින් ගෙන තම්බා පෙරා පානය කිරීම ද අත්දුටු බෙහෙතක් බව සඳහන් වෙනවා. පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම නිසා මුත්‍රා පිටකිරීම අපහසු වූ කල අක්කපාන කොළ උණුවතුර කෝප්පයක දමා තැම්බෙන්නට හැර පෙරා උදේ හිස්බඩ බීම සුදුසු බව සඳහන්. මුත්‍රා දැවිල්ලට මෙන්ම මුත්‍රා ගල්වලට ද අක්කාපාන කොළ කොටා මිරිකාගත් යුෂවලට මීපැණි මිශ්‍රකර උදේ හිස්බඩ බීම තවත් අත් බෙහෙතක් ලෙස දැක්වෙනවා.

නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩුවේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතුවේ.

අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ .විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.

සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබාගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන. ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වනපුරෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේන් අපහසුතා සඳහාද එම ප්‍රතිකර්මය යොදාගත හැකිය.

රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මීපැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඩු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.

කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.

මානසික ආතතිය ඇති පුද්ගලයන් වෛද්‍යවරුන් හමුවේ පවසන ප්‍රධාන රෝග ලක්ෂණයකි. එම තත්වයට හේතු වන්නේ එවැනි පුද්ගලයින්ගේ රක්ත ධාතුවත්, පිත ධාතුවත් දූෂ්‍ය වීමයි. මෙයද අක්කපාන දලු මිටක් අතින් පොඩි කර, උණුවතුරේ තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද, අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය. එමඟින් අක්මාවේ එක්රැස් වූ විෂ කොටස් දිය කර හරිනු ඇත. දිගින් දිගටම මෙවැනි විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වීමෙන් ශරිරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩපණ කෙරේ.

අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇත අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.

අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්‍රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.

මේ සියලු ප්‍රතිකර්මයන් පුරුද්දක් ලෙස නිතර භාවිතා කිරීමට පෙර පෙරදිග වෛද්‍ය උපදෙස් අනුගමනය කිරිම වැදගත්ය. එහෙත් ආහාරයට එක්කර ගැනිම මගින් හෝ සතියකට වරක් දෙවරක් අත්හදා බැලිමෙන් ශරිරයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවේ.

මේ අනුව බලන කළ අප නොසිතන පුළුල් පරාසයක රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන භාවිතා කළ හැකිය. නමුත් අප එයින් නිසි ප්‍රයෝජනය නොගන්නේ ඒ පිළිබද අපේ පරම්පරාවේ ඇති දැනුමෙහි මදකම නිසාය. පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ අපේ දේශිය ඖෂධ පිළිබඳ දැනුම කිසියම් අවස්ථාවක පස පරම්පරාවට ගලා නොයෑම නිසා මතුවූ හිඩැස නිසා මේ තත්වය ඇතිව තිබේ. සුළු රෝග ලක්ෂණයකදී පවා ඉවසිමෙන් ප්‍රතිකර්මයක් කරනු වෙනුවට වහ වහා රෝහලක් වෙත යාමට වත්මන් පරපුර හුරුවි සිටී.

වෑංජනය, මැල්ලුම සම්බෝල‍ය, කැඳ , තැම්බුම යනාදී වශයෙන් නොයෙක් ආකාරයෙන් ආහාරයට අක්කපාන ගුණ එක්කර ගත හැකිවුවත් එය කළ යුත්තේ අවම වශයෙන්. ගැබිණි මවුවරුන්ට එය සුදුසු නැහැ. අනෙක් අයද වැඩිමාවක් එක්කර ගැනීමේදී වෛද්‍ය උපදෙස් ඇතිව එසේ කිරීම නුවණට හුරු යි.

අක්කපාන වලින් අත් බෙහෙත්
විදුරුමස් පුපුරා දත් ඒමේදී ඇතිවන වේදනාවට – අක්කපාන කොළ තලා මීපැණි සමග ආලේප කිරීම, තුවාල සුවකිරීමට – කොළ එළඟිතෙල් සමග අඹරා බැඳීම, අකලට කෙස් පැසීම වැළකීමට – කොළ යුෂ තලතෙල් හා මිශ්‍ර කර හිසේ ගෑම, පිළිස්සුම් වේදනාවට – කොළ තලා ලබාගත් ද්‍රාවණය ආලේප කිරීම, තැලීම් ඉදිමීම් වේදනාවලට – කොළ තලාගත් තලපයට එළඟි තෙල් දමා රත්කර නිවුණු පසු ආලේප කිරීම.

ලිපිය සැකසුම -Indra Ratnay-
(මූලාශ්‍ර හා සේයාරූ -අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)

වයසට යාම පමාකර සම නිරෝගිව පැහැපත් කරන, සෙම් රෝග පාලනය කරන, ජම නාරං වල ඇති ඔබ නොදත් ගුණ

රුටේසියා කුලයට අයත් ජමනාරං, නාරං පවුලේ තරමක් විශාල ඵල දරන ශාකයක්. එහි දේශීය ප්‍රභේද මීටර් 5-6 පමණ උසට වැටෙන අතර ගෙඩි පැසී ඉදුණු විටත් බොහෝ විට පොත්ත කොළ පැහැතියි. මද මාංශල තැඹිලි කහ පැහැතියි. ගෙඩිය ඇඹුල් රස මිශ්‍ර පැණි රසයෙන් යුක්තයි. ගෙඩියක් ග්‍රෑම් 125-150 ක බරින් යුතුවන අතර බිජ 10-15 ‘ක් සහිතයි. ගෙඩියේ නටුව අසළ ඇතිවන ගැටය නිසාදෝ කොන්ඩ නාරං ලෙසත් හැඳින්වෙනවා.

1994 න් පසු මධු රහංගල, ඉන්දු යනාදි වඩා උස නොවන, බීජ කටු ව්රහිත හා කහපාට පොත්ත සහිත ජමනාරං විශේෂත් මෙරට වගාකරන්න පටන්ගත්තා. 2006 සිට පර්යේෂණ කර 2013 ඇරඹූ හොරණ හෙම් 1 2 3 කහ දොඩම් වගාවන් සාර්ථක කරගැන්මට අපට උපකාරිවූ ජපානය, ලෝකයේ බහුල ලෙස ජමනාරං වගාකරන රටක්.

චීනය ජමනාරං ශාකයේ මුල් වාසභූමියක් ලෙස දැක්වෙනවා. එය වසර දහස් ගණනක ඉහත සිට වාෂ්පශීලි ජමනාරං තෙල් රෝග සුවයට යොදා ගන්නා බව සඳහන්. ජමනාරං වාෂ්පශීලී තෙල් ස්නායු රෝගවලට එරෙහිව ක්‍රියාකරන අතර ඔටිසම් තත්ත්වයේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකට ගෙනයාමට ඊට හැකි බව පළවෙනවා.

එසේ ම නින්ද නොයන ඉන්සොම්නියා තත්ත්වය පාලනය කරන්නක් හා නහර ප්‍රාණවත් කරන්නක්, ලෙසත් පිළිකා හා ක්ෂුද්‍රජීවී නාශකයක් ලෙසත්, ක්‍රියාත්මකවන බව සඳහන්. ජමනාරං , විටමින් A, C, B6, E, යකඩ කැල්සියම් මැග්නීසියම් ප්‍රෝටීන් ආදි වටිනා පෝෂක හා ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරුණක්.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශාක කොටස් යොදාගන්නා අතර, නිතර පලතුරක් සේ ආහාරයට ගැන්මෙන් හෝ බීමක් සේ සකසාගත් යුෂ පානයෙන් ද එහි ඇති ප්‍රතිලාභ අත්කොටගෙන සෞඛ්‍යසම්පන්න විය හැකියි.

ජම නාරංවල ඇති පොටෑසියම් බහුලතාව සමග එය රුධිර පීඩන හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරමි න් හදවත ආරක්ෂා කර දෙනවා. ප්‍රති ප්‍රදාහ ගුණයෙන් යුතු අතර වාතරෝග සමනයට උපකාරිවනවා.

ජමනාරංවල ඇති විටමින් A හා C බහුලත්වය ඇස් රෝග දුරුකරමින් පෙනුම වර්ධනය කරදෙනවා. හිසකෙස් නිරෝගිකර වවනවා. එහි සිදුවන කොලොජන් නිෂ්පානය මගින් සමේ තුවාල ඉක්මනින් සුවපත් කරනවා සම නිරෝගි කර පැහැපත් කරන අතර වියපත් රැලි තුනී කර දෙමින් වියපත් පෙනුමත් පමාකර දෙනවා. එහි ඇති කැල්සියම් සිරුරේ අස්ථි හා දත් සවිමත් කිරීමට උපකාරිවනවා. ජමනාරං අක්මාව නිරෝගිව තබා ගැන්මට , සෙම් රෝග පාලනය කිරීමට, උපකාරවන්නක් සේ ම ආහාර ජීර්ණය පහසුකර මල බද්ධය දුරුකරන්නක් . වමන ඔක්කාර ගති ද දුරුකර හරින්නක්.

එය සිරුරේ D N A අළුත්වැඩියාකිරීමට සහාය වන අතර පිළිකා සෛල මර්දනයටද උපකාරිවනවා. එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සමග සිරුරේ විවිධ ආසාදන පළවා හැරීමේ ශක්තිය එය සතුයි.

ලිපිය සැකසුම -Indra Rathnay-
(මූලාශ්‍ර හා සේයා රූ අන්‍රතර්ජාලය ඇසුරිනි)

දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධිකොලෙස්ටරෝල් අර්ශස්, සෙංගමාලය ඇතුළු රෝග ගණනාවකට සුවය සලසන ‘තෙබු කොළ’

රැලි කඩදාසියකින් හැඩට කැපුවාක් මෙන් අලංකාර මල් පිපෙන නිසා දෝ crepe ginger නමින් හැඳින්වෙන, තෙබු අග්නිදිග ආසියාව නිජබිම කොටගෙන පසුකාලීනව අනෙකුත් මහාද්වීපවලට ද පැතිර ගිය ඖෂධිය ශාකයක්. zingibera කුලයට අයිතියි. ඇතැම්විට අත්තේ පැත්තකින් පමණක් දිගු පත්‍රවැලක් සැදී මාලයක සිරි උසුළමින් සර්පිලාකාරව වැඩෙනු දක්නට ලැබෙනවා. ශාකයේ අල, ඉඟුරුවලට ආදේශකයක් ලෙස සැළකෙන හෙයින් දෝ, malay ginger, wild ginger, යන නම්වලින්ද හඳුන්වනු ලබනවා. ඉන්දුනීසියාවේ බහුලව දක්නට ඇති අතර ඉන්දියාවේ ඖෂධීය ආහාරයක් ලෙස වගා කරනු ලබනවා.

රතු පාටැති කඳ සහිත තෙබු ප්‍රභේදය ඖෂධ සඳහා වඩා සුදුසු බව සඳහන්. අල මුල් පත්‍ර යන සි‍යල්ල ඖෂධ සඳහා යොදා ගන්නා අතර විවිධ පෝෂක වලින් පොහොසත් ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි ශාකයක්. තෙබු කොළ ග්රෑම් 100 ක ප්රෝටීන් 19% ක් කාබොහයිඩ්රේට් 44% ක් කෙඳි 12%ක් ලිපිඩ 4%ක් හා කැ ල්සියම් මැග්නීසියම් සෝඩියම්2% බැගින් ද අඩංගුයි.

තෙබු දාහය නිවන්නක්. ආහාර රුචිය වඩන්නක්. කොළ මුල් දෙවර්ගය ම විෂහරණ ශක්තියෙන් යුක්තයි. බැක්ටීරියා, දිලීර නාශක ගුණ සහිතයි . රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාව සහිත බැවින් දිව ඔසුවක් ලෙස හැඳින්වෙනවා.

දියවැඩියාව , අධි රුධිර පීඩනය, අධිකොලෙස්ටරෝල් අර්ශස්, මලබද්ධය, සෙංගමාලය, අම්ලපිත්ත රෝගය, ඇස් රෝග ඇදුම පණුරෝග රක්ත හීනතාව සුදුකබර ලාදුරු අක්මා ආබාධ, ආදි රෝග ගණනාවකට තෙබු කොළ ගුණ දෙනවා.

සමේ බිබිලි සුවකරන අතර පැපොල රෝගය නිසා ඇතිවන කැළැල් ඉක්මනින් මකා දැමීමට උපකාරිවනවා. සර්ප ගෝනුසු විෂ දුරුකිරීමට සහායවනවා. තෙබු මුලේ යුෂ දැවිල්ල සංසිඳුවීමට යොදා ගැනෙනවා. මුත්‍රා අඩස්සිය සෑදුණු විට තෙබු කොළ කොටා රෙදිකඩක දවටා පෙකණියේ පැලැස්තරයක් සැකසීමෙන් ගුණ ලැබෙන බව ඖෂධීය ශාක සංග්‍රහය පළ කරනවා.

ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය ද රැක දීමට තෙබුවලට හැකියි එය මානසික ආතතිය දුරුකිරීමේ හැකියාවෙන් යුක්තයි. හෝමෝන ක්‍රියාකාරිත්වයන් කෙරේ බලපෑම් කළ හැකි තෙබු උපත් පාලන ඖෂධ සඳහාත් යොදාගන්නවා. ඉන් දියාවේ ඉපැරණි කාම සූත්‍රය ග්‍රන්ථයේ දැක්වෙන අයුරින් මෙය ලිංගික ශක්තිය වැඩිකිරීම සඳහා යොදාගනු ලබන බව ද සඳහන්.

ළපටි තෙබුකොළ සලාදයට, සකසා ආහාරයට ගත හැකියි. පරිප්පු යොදා වෑංජනයත් රසවත්. කොළ තනිව හෝ කලවම් පලා ලෙස මලවා ගත හැකියි. ළපටි කරටි කිරට තෙලට සකසා ගත හැකියි. තෙබු අල ත් වෑන්ජනයට සකසාගත හැකියි.

දිනපතා තෙබු ආහාරයට ගැනීම නම් හිතකර නැහැ. සතියකට වරක් දෙවරක් ගැනීම සෑහෙනවා. සීනි පහත හෙළීමට එහි ඇති ශක්තිය නිසා දියවැඩියාවට ඖෂධ ගන්නා රෝගීන් වෛද්‍ය උපදෙස් සහිතව ආහාරයට ගැනීම යහපත්.

ලිපිය සැකැසුම -Indra Rathnay-
(මූලාශ්‍ර- වෛද්‍ය ලේඛන හා අන්තර්ජාලය )

ලෙඩ නැතුව හැමදාම නීරෝගීව ඉන්න නම් ‘වියලි මිදි’ ඔබේ ආහාරයටත් එක්කරගන්න

ලෝකයෙහි හර්ද රෝග අඩු ම රටක් ලෙස ප්‍ර‍ංශය නම් දරා ඇති අතර ඊට හේතු සෙවීමේදී සොයා ගත හැකිවූයේ එරටවාසීන් වැඩි වශයෙන් වයින් පානය කරන බවයි. වයින් සැදීමට ගන්නා මිදිවල පොත්තෙහි හදවතට බෙහෙවින් හිතකර රෙස්ට්‍රරත්‍රෝල් අඩංගු වන බව සඳහන්වෙනවා. එහෙයින් මිදි හා වියළි මිදි හර්දය නිරෝගීව තබා ගැන්මට බෙහෙවින් උපකාරිවන්නක් ලෙස සැලකිය හැකියි.

යකඩ කැල්සියම් පොටෑසියම් ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් සින්ක් , විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි. එය දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලදී බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා. නිරෝගි පුද්ගලයන්ටද ඒ ආහාරයට ගැන්මෙන් බොහෝ රෝගවලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්.

වියළි මිදි දිනපතා ආහාරයට ගැන්මෙන් ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති පෘක්ටෝස් ක්ෂණික ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි. එසේ ම බහුලව ඇති මැග්නීසියම් පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්. වියළි මිදි හදවත් රෝග මෙන් ම අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම ද අවම කර දෙනවා. එහි ඇති පොලිපිනෝල් පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක් වෙනවා. කැල්සියම් හා ඛනිජ ලවණ, සිරුරේ අස්ථි ශක්තිමත් කරනවා. දත්වල සුවය රකිනවා . දත් දිරීමට ලක්කරන බැක්ටීරියා මඬින රසායන පහක් ඒවායේ අඩංගුයි . එමගින් දත් මුල් දියවීම් , දත් දිරායාම් වලකිනවා. එහෙත් දරුවන්ට නිතර ඒවා සපන්නට දීමෙන් දත් නිසි ලෙස පිරිසිදු කරගන්නට නො හැකිවීමෙන් දත්වල ගැටළු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

වියළි මිදිවල අඩංගු බොරෝන් මගින් වියපත් කාන්තාවන්ට ඇතිවිය හැකි අස්ථි දුර්වලතා වළකා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලට වැට බඳිනවා. එසේ ම ඒවායේ ඇති ආනින් ඇමයිනෝ අම්ලය ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන්නක් හා ලිංගික හැකියාව උත්තේජනය කරන්නක්. එය පිරිමින්ට ඇති දරුපල අහිමි අපහසුව දුරලමින් ශුක්‍රාණු වර්ධනය කර දෙනවා.

විවිධ ආසාදනවලින් සිරුර බේරාගන්නා, ප්‍රතිබැක්ටීරියා හා ප්‍රති ඔක්සිකාරක නිසා දෙඇස් අහිතකර කිරණවලින් ආරක්ෂා කරන්නටද වියළි මිදිවලට හැකියි. ඇස් අන්ධවීමට බලපාන , අක්ෂි රෝග වලින් වැළකීමට ඒවා සහාය වෙනවා. එසේ ම වායු ගෙඩි ඇතිවීමට එරෙහිව ද ක්‍රියාකරනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණ. ශක්තිය වර්ධනය කරනවා.. අධි රුධිර පීඩනය පාලනය කිරීමට දායකවෙනවා. හිමොග්ලොබින් ඇතිකරන යකඩ වලින් රුධිරය වර්ධනය කර නීරක්තිය දුරුකරනවා .

නිදහස් කිරණ වලින් සිරුර ආරක්ෂාකරන ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකාවලට වැට බැඳීමටත් වියළි මිදි උපකාරි වෙනවා. එසේ ම ජීර්ණ ප්‍රදේශය පිරිසිදු කරමින් ජීර්ණ ක්‍රියාවලියටත් සහායවනවා. ඒවායේ කෙඳි ජලයේ දියවී නොයන බැවින් ඉන් පහසුවෙන් මල බද්ධය දුරුවනවා. අහිතකර මේද තැන්පත් නොකර සිරුරු පුෂ්ටිමත් කිරීමේ හැකියාව ත් වියළි මිදි සතුයි . පෝෂණ ඌණතා ඇති කෘශ දරුවන්ට එය විටමින් ටොනික් එකක් වැනියි.

වියළි මිදි අපේ සම කෙරෙහිත් හිතකර ලෙස බලපානවා.ඒවායේ ඇති සින්ක් නිසා සම රැලි වැටීම් සමේ වර්ණ වෙනස්වීම් වළකිනවා.සම නිරෝගීව තබමින් පැහැපත් පෙනුමක් ලබාදීමට එය හේතුවෙනවා. සින්ක් මගින් හිසකෙස් වැටීමත් වළකන බැවින් ඉන් හිසකෙස් ද හොඳින් වැඩෙනවා.

මුත්‍රා දැවිල්ල හා මුත්‍රා පිටකිරීමේ. අපහසුතාව ඇතිවිට වියළි මිදි ග්‍රෑම් 50ක් පේර කොළ ග්‍රෑම් 10ක යුෂ සමග මිශ්‍රකර උදේ සවස ගැනිමෙන් සහනය අත්වන බව සඳහන්. ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම වැළැක්වීමට වියළි මිදි ගෙඩි දෙකක් කෑම හිතකර බව සඳහන්වනවා. කුඩා දරුවන්ට රාත්‍රි නින්දේ දී මුත්‍රා පිටවීම වැළැක්වීමට ,නින්දට පෙර වෝල්නට් ඇට දෙකක් සමග වියළි මිදි ගෙඩි පහක් ලබාදීම පලදායක බව ත් සඳහන් වෙනවා.

දිනපතා වියළි මිදි අහුර බැගින් ආහාරයට ගල්ගැනීමෙන් සිරුරට එහි වාසි අත්කර ගත හැකියි. එහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්නා විටත්, ප්‍රති විෂාද හා මානසික අවපීඩන සඳහා ඖෂධ ගන්නාවිටත් , වියළි මිදිවල ඇති පිරමින් අහිතකර වියහැකි බැවින් එවැන්නන්ට වියළි මිදි ගැන්ම සුදුසු නැහැ.

ලිපිය සැකසුම, ඉන්ද්‍රා කුමාරි රත්නායක විසිනි.
(මූලාශ්‍ර හා සේයා රූ-අන්තර්ජාලය ඇසුරිනි. කරුණු එක්කර දීමේ ස්තුතිය ප්‍රසාද් තේනුවර මහතාට)

දරු ඵල අහිමි කාන්තාවන්ට දරු ඵල ලබා දෙන තිත්ත අඟුණ කොළ

යකඩ, කැල්සියම් , විටමින් C, තන්තු, ඇතුළු විවිධ පෝෂකවලින් සරු වූ අඟුණ, ශක්තිජනක, ඖෂධිය වැල් ශාකයක්. විෂ නාශක, පිළිකා නාශක, උණ නාශක ප්‍රතිඔක්සිකාරක හා උත්තේජක ගුණවලින් යුක්ත යි. ලේ ගැලීම් වළකන හැකියාවෙන් යුක්තයි. මෙරටත් ඉන්දියන් සාගරය අවට ප්‍රදේශවලත්. චීන , පිලිපීන , ඕස්ට්‍රේලියානු හා අප්‍රිකානු රටවලත් ආහාර හා ඖෂධ සඳහා යොදා ගැනෙනවා. ශාකයෙහි පත්‍ර හදවත් හැඩයෙන් යුතු අතර කොළ පැහැති අලංකාර මල් පොකුරු සුවඳින් පිපෙනවා. යුගල වශයෙන් හැදෙන ඵල පුපුරා ඇට විසි වී , වර්ගය බෝවෙනවා. කොළ, මල්, මෙන් ම ඵලයේ පොත්ත ද ආහාර සඳහා යොදාගනු ලබනවා.

තිත්ත අඟුණ යන නමට ගැලපෙන තිත්ත රසයත් සමග රුධිරගත සීනි පාලනය කර, දියවැඩියාව මැඩලන්නට ඊට හැකියි. නටුවත් සමග කොළ කඩා, දෙපැත්තට තබා ලියා සම්බෝලයක් සේද, මැල්ලුමක් සේ ද ,සකසා ආහාරයට ගැනීමෙන් අඟුණවල ඇති සෞඛ්‍ය වාසි බොහොමයක් අත්කර ගත හැකියි . අනෙකුත් කොළ වර්ගවලට සේම මල බද්ධය පළවා හැරීමේ හැකියාව අඟුණ කොළ සතුයි. අපිරිසිදු ජලය පානයෙන් ඇතිවන අමීබා අතීසාරයට ද වැට බඳින්නට ද, හැකියි. ආයුර්වේද වෙදකමේ බැක්ටීරියා වයිරස් ආසාදන වලට ප්‍රතිකාර කිරීමට අඟුණ කොළ යොදා ගන්නවා. සමෙහි හටගන්නා දද කුෂ්ට බිබිලි විස ගෙඩි ආසාදන දුරුකොට නිරෝගි පැහැපත් සමක් ලබාදීමේ ශක්තියක් එහි පවතිනවා. එසේ ම මනා කෙස් කළඹක් වවාගැනීමටත් එය උපකාර වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුවන යුවලකට අඟුණ කොළ අපූරු ආහාරයක්. ඒවායේ ඇති වාජීකරණ බලය නිසා ගැහැනු පිරිමි දෙපක්ෂයේ ම ලිංගික හැකියාවන් වර්ධනය වනවා. දරුවකු පිළිසිඳීමේ සම්භාවිතාව ද වැඩි වනවා.

එපමණකුත් නොව දරුවා ලැබීමෙන් පසු ඉතා ඉක්මනින් මව සුවපත් කිරීමේ හැකියාවක් ද එහි පවතිනවා. එනිසා ඇයට නීරක්තිය වැළඳීමේ ඉඩ ක් ඇතිවන්නේ නැහැ..
එසේ ම දරුවාට ඇති තරම් කිරි ලබා දීමට හැකි වන සේ හොඳින් කිරි එරීමත් සිදුවනවා.

අප්‍රිකාවේ අඟුණ ඖෂධයක් ලෙස බොහෝ සෙයින් යොදාගන්නේ පරපුර වර්ධනය කෙරෙන මේ කාර්යයටයි . අඟුණ ශාකයේ මුල් හා නොමේරූ කඳ කොටස් ඒ සඳහා යොදා ගන්නවා.
අඟුණ මුල් කපා ලබාගන්නා යුෂ නාසයට ඉරීමෙන් දිගට කිවිසුම්‍ යාමද නවතාගත හැකි බව සඳහන්.

ලේ පිළිකා ඇතුළු පිළිකා වර්ග පාලනය කිරීමේ හැකියාව ත් අඟුණ කොළ සතුයි. ඒ හැරුණුවිට උණ, ඇදුම, නීරක්තිය, සුදුකබර , උගුර වණවීම්, දැවිලි ඉදිමුම්, අජීර්ණ, අක්ෂි රෝග ආදි අපහසුතා රාශියක් සුව කිරීමට ඖෂධ ලෙස එය යොදා ගනු ලබනවා.

ලිපිය සැකසුම – Indra Rathnay
(මූලාශ්‍ර හා සේ යා රූ – හා අන්තර්ජාලය ඇසුරිනි)

සෙංගමාලය, අක්මාරෝග දුරලන, සර්ප විස දුරලන බක්මී වල ඇති ඔබ නොදත් ගුණ

බක් මාසයේ, පිපෙන සුවඳවත් කහ පැහැති ගෝලාකාර මලින් අලංකාරවී ඕවලාකාර විසල් සම්මුඛ පත්‍රවලින් සැරසෙන බක්මී ශාකය Rubiaceae කුලයට අයිතියි. තුන් දොස් දුරු කර දෙන ගුණ සහිත, කොළ දලු මුල් පොතු ගෙඩි යන පංචාංගය ම ඖෂධ සඳහා යොදා ගැනෙනවා. විෂ නාශකයක්, වේදනා නාශකයක් ආහාර රුචිය වඩන්නක් පිපාසය නිවන්නක් සේ සිරුරෙහි ක්‍රියාත්මක වනවා.

සෙංගමාලය වැනි අක්මාරෝග දුරලන බක්මී, සර්ප විස හා සුනඛ විෂ දුරු කිරීමට ද සමත්. ජලභීතිකා රෝගයට ප්‍රතිකාර සදහා ශාකය යොදාගන්නා අතර එහි කොළ මුල් පොතු ආදිය යොදා තණහාලෙන් කැඳ පිස නාග හා පොළොං දෂ්ට රෝගීන්ට ලබා දෙන බව සඳහන්.

ඉදුණු ගෙඩි සිරුර සිසිල් කරන ගුණයෙන් යුතු අතර ඒ ආහාරයට ගැන්මෙන් ලේ පිරිසිදුවනවා. එයට පානීය ජලය යොදා මිරිකා පෙරාගත් යුෂ වලට සූදුරු හා සීනි යොදා පානය කිරීමෙන් අජීර්ණ ආහාර අරුචිකම් දුරුවී කුසගිනි වර්ධනය වනවා. ඉදුණු ගෙඩියේ යුෂට පොල් කිරි සීනී හා ලුණු මුසුකරගත් විට එය පිපාසය නිවන ඉතා මිහිරි පානයක් ද වනවා.

බක්මී ගහේ පොතු වේදනා නාශකයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ කෙරුණු පර් යේෂණයකින් තහවුරුවූ ණා. කොන්දේ සිට පාදය දක්වා දැඩි වේදනාවක් හටගන්නා ශෘධ්‍රසි රෝගයේදී බක්මී කොළ හා පොතු තැම්බූ වතුර සිරුර තෙමීමටත් බක්මී තෙල් හා කෂාය යොදා අනෙකුත් පිළියම් කිරීමටත් යොදාගෙන, රෝගීන් 125 ක් යොදා කෙරුණු පර්යේ ෂණයක් සාර්ථක කර ගන්නට බොරැල්ලේ ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම අංශය සමත්වූණා.

බක්මී, චර්ම විකෘතිතා යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව ද ඇති වටිනා ඖෂධයක්. වණ ශුද්ධකොට මස් ලියලවන්නට ඊට හැකියි. ඉදිමුම් පහ කරන්නට හැකියි. තුවාල සුවකිරීම සඳහා කොළ රත්කර කුඩුකර එළන බව සඳහන් වෙනවා. බක්මී මවු කිරි වර්ධනය කර දීමේ හැකියාවෙන් යුක්තයි. එය කාන්තා හා පිරිමි ප්‍රජනන පද්ධති රෝග පාලනය කිරීමේ හැකියාව ද සහිතයි. මල් හා මුල් කෂාය කාන්තා රෝග පාලනයට යොදාගන්නා බව සඳහන්වෙනවා. මුල් කෂාය දියවැඩියාවට ද යොදාගන්නවා. අධික ආර්තවය මෙන්ම දියවැඩියාව අතීසාරය සමනය කර ගැන්මට ද පොතු වියළා කුඩුකර කෝපි මෙන් පානය කරන බව සඳහන්. ලේ අතීසාරය සඳහා පොතු කෂාය කර යොදාගන්නවා.

මුත්‍රාකාරක ගුණ සහිත බක්මී මුත්‍රා ගල් දියකිරීමේ හැකියාවෙන් යුක්තයි. මුත්‍රා අඩස්සිවූ විට එය සහන සළසනවා. ගඩු, විසප්පු, හර්ද රෝග , අක්ෂි, මුඛ දන්ත රෝග, උණ , ක්ෂය රෝගය පාචනය වමනය ආදි තත්ත්වයන් දුරලීමට ද ශාකය සහාය වනවා. උණ නාශක ගුණ ඇති ශාකයේ පොතු සිංකෝනා ගස මෙන් ක්‍රියාත්මක වන්නක්. උණ රෝගීන්ගේ පිපාසය සංසිදුවීමට ගෙඩියේ යුෂ ද ලබා දෙනවා .

බක්මී කොළ තැම්බූ ජලයෙන් කට සේදීමෙන් දත් මුල් දියවීම, දත් පණුවන් කැම, සෙම් ගෙඩි , මුඛ දුර්ගන්ධය ආදි අපහසුතා සඳහා සහන සළසා ගත හැකියි. සමෙහි කුෂ්ට සෑදුණුවිට ඉදුණු ගෙඩි තලපයක් සේ සකසා සති කීපයක් උදේ සවස ගැල්වීමෙන් සමනය කරගත හැකියි. කුෂ්ට සුව කිරීමට අමු පොතු කොටා ඇල්දිය මිශ්‍රකර උදේ සවස ආලේප කිරීම ද සිදුකරනවා.

ඇතැමුන් බක්මී- බකිනි යනු එකම ශාකයක් ලෙස හැඳින්වුවත් ඒ දෙවර්ගයක් බව දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය කියා සිටිනවා. බක්මී මල කහ පැහැතියි . බකිනි මල රතට හුරුයි. බක්මී පංචාංගයම රෝග පාලනයට යොදා ගත්තත් බකිනි ඖෂධ සඳහා යොදා ගන්නේ නැහැ.

ලිපිය සැකසුම – Indra Rathnay
(මූලාශ්‍ර හා සේයා රූ- අන්තර්ජාලය , දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය හා ඔසුපැළ හඳුනා ගනිමු පූර්ව සංවාද ඇසුරිනි)

මතක ශක්තිය දියුණු කරන බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගය ලුණුවිල

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාක ලෙස සැලකෙන තල, ගොටුකොළ, නිවිති හා එක පෙළට සිටින තවත් ශාකයක් ලෙස ලුණුවිල හැඳින්විය හැකියි. ජලාශ්‍රිත පෙදෙස්වල මනාව වැවෙන කුඩා පැළෑටියක් වන ලුණුවිල මඳක් තිත්ත රසයෙන් යුක්තයි. වාත හා සෙම් රෝගවලට ගුණදායක ලෙස සඳහන් වන අතර ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙනවා.

බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී ලෙස හඳුන්වන අතර එහි වටිනාකම නිසා සරස්වතී , දිව්‍ය තේජා, ආදි තවත් නම් ගණනාවක් ම ඊට පටබැඳී පවතිනවා.

මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය ඇති ලුණුවිල මානසික දුර්වලතා දුරලන්නක්. එය මතක ශක්තිය වැඩීමට, බුද්ධි වර්ධනයට , මානසික ඒකාග්‍රතාව රැකීමට මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට ද සුවිශේෂ දායකත්වයක් ලබා දෙනවා, මලබද්ධ‍ය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් හේතුවනවා. මුත්‍රාකාරකයක් හා මෘදු විරේචකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.

ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.

එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා.

දරුවන්ට කුඩාකාලයේ සිටම ලුණුවිල යුෂ ස්වල්පයකට සමග මීපැණි බිඳුවක් දෙකක් මුසුකොට උදෑසන දෙන්නේ නම් ඔවුන්ගේ ඉගෙනුමට පලදායක වනවා. කතාකිරීමට පමාවන දරුවන්ට කතාකිරීමේ හැකියාව ඉක්මන් කර දෙන ඖෂධයක් ලෙසත් ලුණුවිල සැළකෙනවා. ඒ සඳහා ලුණුවිල රතුලූනු හෝ එළඟිතෙල් සමග මිශ්‍ර කර දෙනු ලබනවා. බිළිඳුන්ට රන් කිරි කට ගෑමේ දී මවුකිරට ලුණුවිල යුෂ ස්වල්පයක් මුසු කොට දෙන්නේ ස්මෘතිය බලය ආයු වර්ණ සම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන්. කිරි දෙන මවුන්ට නොයෙක් ආකාරයෙන් ලුනුවිල ආහාරයට සකසා දෙන්නේත් දරුවාගේ යහපත් වර්ධනය උදෙසායි. දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද ලුනුවිල මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා. වියපත්වීමේ දී ඇතිවන මතක අඩුවීමට දිනපතා උදය ලුණුවිල යුෂ බිංදු කීපයක් පානය කිරීම සුදුසුයි.

ලුණුවිල වේදනා නාශකයක් ලෙසත් ක්‍රියාකාරීවන බැවින් නොයෙකුත් ශරීර අපහසුතා සඳහා ආහාරයක් විලස ලබාදෙනවා. තුවාල සුවයට වෑංජනය සුදුසුයි . සුව නොවන තුවාල සඳහා ලුණුවිල තැම්බූ දියත් ලබා දෙනවා. එය පනු රෝග වැළැක්මටත් හේතුවනවා. වණ කුෂ්ට කැසීම් වැනි චර්ම රෝගවලට ප්‍රතිචාර දක්වනවා. සිරුරේ ඉදිමුම් රතුවීම් වේදනා ඇතිවූවිට කොළ යුෂ ගෑමෙන් සහන අත්වෙනවා. උදෑසන හිස්බඩ ලුණුවිල කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම හෝ ලුණුවිල කොළ තුනක් සපාකා වතුර බීම මතක වැඩීමට උදව් වන්නක්. ලුණුවිල කොළ යන්තමින් වියළා කුඩුකර තේ පානයක් සේ සකසා බීමෙන් එහි ගුණ ලබා ගත හැකියි. ලුණුවිල කුඩු තේ හැන්දක් එළකිරි සමග උදෑසන බීමෙන් රුධිරය පිරිසිදුවනවා . නොයෙකුත් අසාත්මිකතා නිසා ඇතිවන ලේ විෂවීම් වලටත් එය ප්‍රතිකාරයක්. කුඩු චූර්ණයක් සේ සකසා ඉන් තේ හැඳි දෙකක් ඇල්වතුර සමග බීමෙන් මානසික ආතතිය නිසා නොලැබෙන නින්ද ලබා ගැන්මට හැකිවන බව සඳහන්. උගුරේ අමාරුවලට කට හඬ දුර්වල වීමට ලුණුවිල කොළ එළඟිතෙලෙන් මලවා කෑම ගුණදායකයි. ඉන් කටහඬත් මිහිරිවනවා. ලුණුවිල අරළු හා තම්බා දීමෙන් මල බුරුල් වනවා. අක්මාවේ අධික වෙහෙස හා විෂ දුරලීමට ලුණුවිල කෂායකර දෙනු ලබනවා

නිරෝගී සුව සහන සඳහා ලුණුවිල ශාකය සහ මුලින් ගෙන කොළ කැඳ සකසාගත හැකියි. වෑංජනයක් සේත් කොළ මැල්ලුමක් සේත් , සම්බෝලයත් සේත්, සකසාගත හැකි අතර කොළ පිහියෙන් නොකපා ඇඟිලි තුඩුවලින් කඩාගැන්ම වඩා යෝග්‍යයි. ලුණුවිල තැම්බුමක් සේත්, තැම්බූ පානයක් සේත් සකසාගන්නත්, සුප්වලට යොදා ගන්නත් හැකියි.

ලිපිය සැකසුම-2018. 02. 22 (Indra Rathnay)

දියවැඩියාව, කොලෙස්ටරෝල්, ඇතුළු රෝග රැසකට ගුණ දෙන සලාද කොල

සලාදකොළ ගුණ ඇති ශාඛමය ආහාරයකි. පෝෂණය අතින් සැලකූ විට මෙහි වැඩි ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. විශේෂයෙන්ම කැල්සියම්, යකඩ මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තයමීන්, රයිබෝප්ලේවීන්, නියසීන්, ෆෝලේට් විටමින් B, C, විටමින් E, C, K, අන්තර්ගත වේ. මෙය විටමින් ඛනිජ ලවණ අතින් ඉතා පොහොසත්ය.

මෙහි ප්‍රෝටීන් හිතකර මේදය, කාබෝහයිඩ්‍රේට්, ආහාරමය කෙදි සහ සීනි අන්තර්ගත වේ. කෙදි දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 5 ක්ද, ප්‍රෝටීන් සියයට 3 ක්ද කාබෝහයිඩ්‍රේට් සියයට 1 ක්ද කැලරි සියයට 1 ක්ද අන්තර්ගත වේ. සලාද කොළ වඩාත්ම අන්තර්ගත පෝෂක කොටස් වනුයේ විටමින් සහ ඛනිජ වර්ගයි.

මෙහි පොටෑසියම් බහුලයි. දිනකට අවශ්‍ය ප‍්‍රමාණයෙන් සියයට 217 ක් අන්තර්ගත වේ. එසේම රෝග ගණනාවකට ගුණදායි ආහාරයකි. අමුවෙන් ආහාරයට ගන්නා නිසා ඉහත සදහන් විටමින් ඛනිජ ලවනවල පෝෂණය ආරක්ෂා වේ.

රෝග ගණනාවක ප්රදාහ තත්ත්ව ශරීර ඉදුමුම ආසාදනවලට ගුණදායි ආහාරයකි. එසේම සිරුරේ ස්නායු පද්ධතියට ඉතා වැදගත් වේ. විශේෂයෙන් ස්නායු ආබාධ නිසා ඇති වන අමතකවීම් සදහා ඉතා ගුණදායකය. එසේම ස්නායු විනාශවීම පාලනය කරනු ලබයි. ස්නායු පද්ධතිය ආරක්ෂා කරන ආහාරයකි.

විශේෂයෙන් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහාද, දියවැඩියා රෝගීන්ටද ඉතා ගුණදායි ආහාරයකි. අනවශ්‍ය හෘද ස්පන්දන වේගය පවා අඩු කරනු ලබයි. අධික රුධිර පීඩනය ද හෘද ස්පන්දන වේගය පවා අඩු කරනු ලබයි. අධික රුධිර පීඩනය ද අඩු කරනු ලබයි.

එසේම ප‍්‍රතිශක්ති කාරක ගුණය ඉතා ඉහළය. බැක්ටීරියා නාශක ගුණය ඇත. නොසන්සුන් බව, මානසික ආතතිය, පීඩනය පාලනය කරනු ලබයි. ප‍්‍රතිපිලිකා නාශක ගුණය ඇත. අස්ථි ශක්තිමත් කිරීමට පරිවෘත්තීය ක්‍රියා (මල පිට කිරීම) වැඩි දියුණු කිරීමට ඉතා ගුණදායකයි. අධික තරබාරුව පාලනයට ද ඉතා වැදගත්ය.

ඇල්සයිමා රෝගීන් සඳහා ද, ගර්භනී මවුවරු සඳහාද ගුණදායකය. අක්මාවට හොද ඖෂධයකි. තවද මලපහ පිටකිරීම පහසු කරන ආහාරයකි. සිරුරට ඉතා හිතකර සංයෝග වන ඔමෙගා 3 ෆැටී ඇසිඞ් ඇත. මෙහි ශරීරයට හිතකර ප්‍රෝටීන් අන්තර්ගත වේ. මෙය ආහාරයට ගන්නා විට තනිකර සලාදයක් වශයෙන් හෝ නැතිනම් ආහාරය අලංකාර කිරීමට සැරසිල්ලක් ලෙසින් ද කෙටි කෑම සදහාද යොදා ගත හැකිය.