අධික කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන හෙළ සත්කාරයක්

සිරුරු තුළට නිහඬව ම රිංගා මරණය කරා කැඳවාගෙන යන්නට උත්සාහ කරන අධි කොලෙස්ටරෝල් තත්ත්වය බොහෝ දෙනකුට ගැටළුවක් වී ඇති අතර, එය මට්ටුකිරීම සඳහා එන්නතක් නිපදවීමට හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්‍යේෂණ කංඩායමක් සමත්වී තිබෙනවා. දිනපතා ගන්නා බෙහෙත් වෙනුවට වසරකට වරක් එන්නත ලබාදීම මගින් කොලෙස්ටරෝල් සාර්ථකව පාලනය කිරීමට ඉන් හැකිවනු ඇතැයි අදහස් කෙරෙනවා. මෙමගින් අහිතකර කොලෙස්ටරෝල් කොටස වන L D L නිපදවීමට හේතුවන ප්‍රෝටීනය විනාශවෙතැයි සඳහන් වන අතර, දැනට සුදුස්සන් 72 දෙනකුට එන්නත ලබා දී එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතිනවා.

මේ අතර අප සිත්වලට එන්නත් කර ගත යුත්තේ, අධිකොලෙස්ටරෝලතාව ට ඇරෙන මාවත්, වසා දැමීමේ ක්‍රම වේද යි. කොලෙස්ටරෝල් කියන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය මේදයක්. එය සිරුරට අවශ්‍ය හෝමෝන් වර්ග , පිත් යුෂ ආදිය නිපදවීමට උපකාරි වන්නක්. කොලෙස්ටරෝල් වලින් කොටසක් සිරුර තුළම නිපදවෙන අතර, ආහාර මගින් ද කොටසක් එක්වෙනවා.ගැටළුව වන්නේ අහිතකර ලිපිඩ කොටස් සමග සංචිතය වැඩිවීමයි. රුධිරයෙහි L D L සමග V LD L හා ට්‍රය්ග්ලිසරොයිඩ කොටස් වැඩිවී, හිතකර HDL කොටස් අඩුවීමත් සමග අධි කොලෙස්ටරෝලතාව ඇතිවනවා.

අහිතකර ලිපිඩ වැඩිවී ඒවා රුධිර නාල තුළ තැන්පත්වීමෙන් රුධිර නාල අවහිරවී හර්දයාබාධ ආඝාත වැනි භයානක රෝග ඇතිවිය හැකියි. එහෙයින් කොලෙස්ටරෝල් තත්ත්වය මැන බැලීමත් , එය වැඩි නම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැන්මත් ඉතා වැදගත්. වැඩි වුවත් නොවූවත් අදාල පාලන ක්‍රම අනුගමනය කිරීම රෝගයෙන් ඈත්වී සිටීමට උපකාරීවනවා. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර රටාවක් පවත්වාගෙන යාම, සිරුර ව්‍යායාමයෙහි යෙදවීම, උසට සරිලන බරක් පවත්වා ගැනීම, දුම්පානයෙන් හා අධික මත්පැනින් වැළකීම යන කරුණු කෙරේ අපේ අවධානය මෙහිදී යොමුවිය යුතුයි.

සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරවලින් වැලකීම හෝ ඒවා අවම කිරීම අවශ්‍යයි. අධික ලුණු හා අධික සීනි ආහාර සුදුසු නැහැ. පිෂ්ටය අධික ආහාර ද සීමා කළ යුතුයි. බටර් චීස් රතුමස් බිත්තර කහ මද, මස්වල තෙල් සහිත කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි, ෆාම් තෙල් පොල් තෙල් ,ගැඹුරු තෙලෙහි බදින ලද ආහාර සොසේජස්, ව් ක්ෂණික ආහාර , කේක් අයිස්ක්‍රීම් කුකීස් මාගරින් බිස්කට් වැනි ආහාර අවම කිරීම යහපත්. ඔලිව් තෙල් , තල තෙල් සූරියකාන්ත තෙල් රට කජු තෙල් ,සෝයා තෙල්, ආදිය අසංතෘප්ත මේදය බැවින් අහිතකර නැහැ. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි. අලිගැටපේර කජු රටකජු ආදියත් ඔමේගා 3 සහිත හුරුල්ලා කුම්බලාවා මැකරල් සැමන් වැනි මාළුත් ආහාරයට සුදුසුයි.

එළවළු පලතුරු හිතකර කොලෙස්ටරෝල් වන HDL වර්ධනයට හේතුවනවා. රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි .රතු නිවුඩු හාලෙහි ඇති මොනොකොලින්ස් කොලෙස්ටරෝල් අඩුකර දෙන බව සඳහන් වනවා.නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි වෙල් තම්පලා, තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා. ගස්ලබු පේර දිවුල් දොඩම් නාරං බෙලි වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.දෙළුම් වල ඇති , රුධිරයෙහි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමේ හැකියාව නිසා එය රුධිර පීඩනය පාලනය කරමින් කොලෙස්ටරෝල් දිය කර හරින බව සඳහන් වෙනවා.
සීනි රහිත තක්කාලි දෙහි යුෂ තැඹිලි බෙලිමල් රණවරා තැඹිලි කොළ කැඳ එළවළු සුප් පානය කිරීම ට සුදුසුයි.

කුස්සියේ ප්‍රයෝජනයට ගැනෙන සුදුලූනු ගොරක කුරුඳු පොතු කහ ඉඟුරු ගම්මිරිස් උළුහාල් හා කර පිංචා සුවිශේෂ ගුණ දෙන බව සඳහන්. ඒවායින් රුධිර නාලවල අවහිරතා අවම වී කොලෙස්ටරෝල් පාලනය කෙරෙනවා.කහ වල ඇති කර්කමින් සංයෝගය අහිතකර කොලෙස්ටරෝල් වලින් 26% ක් කපා දැමීමට සමත් බව සඳහන් කෙරෙනවා. හෑම වෑංජනයකටම කහ එකතු කර ගැන්මෙන් තවත් රෝග ගණනාවකින් ඈත්වීමට හැකියි. ගොරක කාබොහයිඩ්‍රේට් මේදය බවට පත්කිරීමේ වේගය අඩුකර රුධිරය තුළ හැසිරෙන ලිපිඩ අඩුකර දෙනවා. වෑංජනවල ඇති ගොරක කැබලි විසි නොකර සපා කෑමෙන් හෝ පිසිනවිට අඹරා දැමීමෙන් වැඩි වාසි අත් කරගත හැකියි.

කරපිංචා ද විසි නොකර ආහාරයට ගත යුත්තක්. ඒවායේ ඇති plavonoids හා කෙඳි මගින් රුධිරයේ අහිතකර LDL කොටස් පාලනය කෙරෙනවා. රුධිරය කැටි ගැසීම් වළකන සුදුලූනු රුධිර නාල අවහිරවීම් වළකන සුවිශේෂ ඖෂධයක්. දිනකට සුදුලූනු බික් හතරක් පමණ අමුවෙන් හෝ යන්තම් උණුවතුරෙන් තම්බා ආහාරයට ගන්නේ නම් ඉතා හිත කරයි. දිනකට පැය බාගයක්වත් ව්‍යායාම් වල යෙදීමෙන් සිරුරේ ලිපිඩ අඩු කර ගැන්මටත්, තරබාරුවෙන් මිදී උසට සරිලන බරක් තබා ගැන්මටත් , තවත් බොහෝ රෝගවලින් ඈත්වීමටත් හැකියි. වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයියිසිකල් පැදීම වැනි ව්‍යායාම් ඒ සඳහා වඩාත් සුදුසුයි.

අධිකොලෙස්ටරෝල් වලට අත් බෙහෙත්
සුදුලූනු ගොරක කරපිංචා රතුලූනු ගම්මිරිස් ලුනුමිරිසක් සේ හොඳින් අඹරා බත් සමග නිතර ආහාරයට ගන්න. උළුහාල් මේස හැන්දක් රැයක් පොඟවා උදේ අඹරා හිස්බඩ එම වතුරත් සමගම ආහාරයට ගන්න. සුදුලූනු ග්‍රෑම් 1ක් අඹරා තලප කර එය මෝරු වීදුරුවක් සමග උදේ හා සවස පානය කරන්න. සුදුලූනු බික් තුනක් කිරි වීදුරුවකට දමා උණුකර මඳක් නිවා නින්දට පෙර බොන්න. ඉඟුරු තේ හැන්දක් දමා තේ එකක් සදා මීපැණි දමා බොන්න. ලෙමන් යුෂ වීදුරුවකට , ගම්මිරිස් මී පැණි ස්වල්පය මගින් එක්කර දිනකට වරක් දෙකක් බොන්න. කුරුඳු කුඩුකර තේ මෙන් සකසා සතියකට වරක් බොන්න. උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් හා මී පැණි ස්වල්පයක් එක්කර දිනකට දෙවරක් බොන්න. උළුහාල් තේ හැඳිතුනක් රැයෙහි වතුර කෝප්පයක පෙඟෙන්නට තබා උදේ හිස්බඩ එම ජලය පානය කරන්න. උස් ජෝගුවක දිග කුරුඳු පොත්තක් කෙළින් සිටුවා ඊට උතුරන වතුර වත්කර , නිවෙන්නට හැර වරින්වර පානය කරන්න. නිමවූ පසු නැවත ,උතුරන වතුර දමා නිවා පානයට ගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව සුව කරන, මල බද්ධයට ගුණ දෙන කෝවක්කා සම්බෝලේ

‘බිම් බීක’ යන සංස්කෘතික නාමයෙන් හදුන්වන කොවක්කා ආයුර්වේදයේ වසර ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Coccinia grandis කොක්සිනියා ග්‍රයින්ඞ්ස් ය. කොවක්කා වැලකි. දිය වැඩියාවට සුදුසු ඖෂධයක් ලෙස වඩාත් ප්‍රචලිතය. මෙයින් සලාද, වෑංජන ලෙස ද කිරට හෝ කොස්ඇට, පරිප්පු යොදා පිසිය හැකිය. ගෙඩි වෑංජන මෙන්ම සලා ද සෑදිය හැකිය. කොළ තැම්බූ වතුර පානයක් ලෙස බීමට පුලුවනි.

කොවක්කා ග්‍රෑම් 100 ක පෝෂණ ගුණ
කැල්සියම් මිලි ග්‍රෑම් 40, විටමින් සී 1.4, කාබෝහයිඩ්‍රේට්ස් 1.4, කෙදි ග්‍රෑම් 1.6 නියසීන් මිලි ග්‍රෑම් 7, පොස්පරස් මිලි ග්‍රෑම් 30, ප්‍රෝටීන් ග්‍රෑම් 1.2, රයිබොප්ලේවින් මිලි ග්‍රෑම් 0.8ක් අඩංගුය.

මළ බද්ධය වලක්වන කෝවක්කා ගෙඩි
ගෙඩිවල බීටා කැරෝටීන් අන්තර්ගත වේ. එසේම කෝවක්කා ගෙඩි සහ කොළ වල විටමින් සී අන්තර්ගතය. එසේම ප්‍රෝටීන් සහ කෙදි, කැල්සියම් අතින්ද පොහොසත්ය. කෝවක්කා ගෙඩි ඉදුනු පළතුරක් ලෙස ද සුප් සදහා ද යොදා ගත හැකිය. කෝවක්කා කොළ වේලා ඖෂධීය පානයක් ලෙස ද එසේම කොල වලින් කොළ කැද ද සෑදිය හැකිය. කොවක්කා ගෙඩි මළ බද්ධයට ඉතාමත් ගුණ පළතුරකි. සාමාන්‍යයෙන් කෝවක්කා ගෙඩි මගින් රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට අඩු කරයි. එසේම අක්මාවට හිත එන්සයිම අඩංගු වේ. ඒ මගින් සීනි පරිවෘත්තීය යහපත් මට්ටමක පවත්වා ගනි. ලාදුරු රෝගීන්ට ද ස්වාස ප්‍රදාහ අවස්ථා වලදී ද කොවක්කා ගෙඩි හා කොළ ඉතා යෝග්‍ය වේ.

ආයුර්වේදයේ බෝ නොවන රෝග සදහා යොදන කසාය වලට මෙම කෝවක්කා අඩංගු වේ. මධුමේහය හෙවත් දියවැඩියාව රෝගයට ද වර්තමානයේ නොයෙකුත් විස ශරීරගත වීම නිසා බොහෝ ඖෂධ වල සංකූලතා නිසා ද ආහාරත් සමග කෘෂි රසායනික ද්‍රව්‍ය වල විෂ ශරීර ගතවිම නිසා ද ඇති වන අක්මාවේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ මහගු ඖෂධයකි.

අධික රුදිර වහනයට හොද ඔසුවක්.
ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය. එසේම කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද එසේම කාන්තාවන්ගේ සුදයාමේ රෝගයටද අක්මාවල ඉදිමිම සදහාද, කැස්ස, වැඩිපුර මූත්‍රා පිටවීම, ඇදුම රෝගය, උණ, සම ආශ්‍රිත විවිද කුෂ්ඨ වර්ග, ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට කෝවක්කා ඉතා සුදුසු ඖෂධයකි. ඒ අතරින් දියවැඩියාව සදහා වසර 3000 ක පෙර සිට කොවක්කා සුදුසු ඖෂධයක් ලෙස ආයුර්වේදයේ සදහන්ව ඇත. එම නිසා වසර දහස් ගණනක් තිස්සේ දියවැඩියා රෝගීන් සදහා කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කර තිබිනි.

වර්තමානයේ විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස විදයාත්මකව සනාථ කර ඇත. එහෙත් දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. මන්ද යත් සිරුරේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු වීම (හයිපොඩ්‍රයිසිනික්) වඩාත් භයානක බැවිනි.

රුධිරය ආශ්‍රිතව හටගන්නා විවිධ හමේ රෝග සදහා කොවක්කා කොළ පල්පය භාහිර ආලේපනයක් ලෙස යොදා ගත හැකිය. රුධිරයේ අහිතකර කොසේටරෝල් ප්‍රමාණය ඉතා වැඩි වූ අයටද එය පාලනය කිරිම සදහා කෝවක්කා ගෙඩි සහ කොළ ඵල දායක වේ. එය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල යුතු වේ.

අස්ථි ශක්තිමත් කිරිමට හා සිරුර නිරෝගීව තබා ගැනීමට කෝවක්කා කොළ ගුණදායක වේ. ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද ආරක්ෂා යාන්ත්‍රණය ශක්තිමත් කිරිමට මෙන්ම හෟදයේ, අක්මාවේ, වකුගඩු සදහා නිසි පෝෂනයක් සැපයමට කෝවක්කා වලට හැකියාව තිබේ. එසේම රුදිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයද, වේදනා නාශක ගුණයද, බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයද පවතී. නීරෝගී පුද්ගලයන් සඳහා ඉහත සදහන් රෝග වලක්වා ගැනීමට කොවක්කා ආහාරයක් ලෙෂ භාවිතා කල හැකිය. අආහාරයක් ලෙස.

දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කෝවක්කා (Ivy Gourd/ Scarlet Gourd/ Kowai) යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයක්. කෝවක්කා ගෙඩි ළපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු හෝ තද රෝස පැහැයක් ගනී. කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරන අතර කෝවක්කා කැඳ හා කොවක්කා ව්‍යංජනය භාවිතාවේ පවතියි. ඉන්දියානු, මැලේසියානු හ තායි ආහාර වර්ග වල බහුලව දැක ගත හැක.

රෝග රැසකට කදිම ඔසුවකි
සාම්ප්‍රදායික වෙදකම තුළ ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් සහ වෛරස ආදිය සඳහා කෝවක්කා ඔසුවක් ලෙස භාවිතා කර ඇත. සිංහල වෙදකමට අනුව කෝවක්කා කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට ගුණදායක ඔසුවක් වේ. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමේ ඇති හැකියාව නිසා දියවැඩියා රෝගීන් අතර ප්‍රචලිතයි.

අවධානම් සහිතයි
නමුත් කෝවක්කා රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමක් සිදු විය හැකි නිසා සීනි අඩු අය හට පරිස්සමින් භාවිතා කල යුතු වේ. එනිසා ඕනෑම ආහාරයක් වගේම පමණ දැනගෙන භාවිතා කිරීමයි වඩාත් යහපත් වෙන්නේ.

කෝවක්කා සම්බෝලෙ
බේකින් සෝඩා ටිකක් ගෙඩි වලට ඉහළා හොදට සෝදා ගත්තා. පසුව කෝවක්කා හීනියට කපා ගන්න. පසු එකට හීනියට කපා ගත් ලුනු, කැමති නම් තක්කාලි, අමුමිරිස් කරලක් දමා ගන්න.

පසු රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු , දෙහි ඉස්ම ටිකක් දමා හොදට මිශ්‍ර කර ගන්න. තියෙනවා නම් උම්බලකඩ ටිකකුත් දමා ගන්න.කන විටම මිශ්‍ර කර ගන්න.

සුබ දිවියක් – නේරංජනා කස්තුරිආරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න පැණි පලා ඔසුව මේ විදියට භාවිතා කරන්න

දියවැඩියාව නොහොත් මධුමේහය අද ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ සීග්‍රයෙන් ප්‍රචලිතව පවතී. නමුත් සීනි මෙන් දියවැඩියා රෝගීන් කෙරෙහි කිසිඳු අහිතකර බලපෑමක් සිදු නොකරන සීනිවලට සාපේක‍ෂව තුන්සීයක් හාරසියක් තරම් ප්‍රමාණාත්මක ප්‍රණීත ගුණයකින් යුතු රසවත්කමින් පොහොසත් ස්වභාවික ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ කොළ හෙවත් පත්‍ර වියලා කුඩුකර සිනි මෙන් භාවිතයද (පවුඩර්) එම ශාකයේ කොළවල සාරය මිරිකා පෙරා ගැනීමෙන් දියර වශයෙන්ද භාවිතා කල හැකිය.

බොලිවියා රාජ්‍යය නිජබිම කරගත් දකුණු ඇමරිකා රටවල දක්නට ඇති මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකය වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගාකර සීනිවෙනුවට භාවිතා කරන ස්වභාවික ආදේශකයක් වශයෙන් ප්‍රයෝජනයට ගන්නා එම ශාක වගාකර පැල අලෙවිය සිදුකරන තරුණ යුවලක් කෑගල්ල ගනේතැන්න ප්‍රදේශයදී අපට හමුවිය.

කෑගල්ල ගනේතැන්න ප්‍රදේශය පදිංචි කෙනත් කිරිවන්දෙණිය මහතා සහ ඔහුගේ බිරිඳවන කේ. එම්.ඩබ්ලිව්.එන්.ද සිල්වා ආයුර්වේද වෛද්‍යවරියද ස්ටෙවියා රිබදූනියා බර්තෝනි ශාකය වගාවක් වශයෙන් සිදුකර සීනි මෙන් භාවිතය සහ එම ශාකයේ පැල අලෙවි කරන්නීය.

මේ පිළිබඳව අප එම දෙපලගෙන් විස්තර විමසූ අවස්ථාවේ ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු සහ ව්‍යාපාරික වගාකරුවෙකු වන කෙනත් කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසුවේය.

අප මෙම ‘ස්ටෙවියා රිබදනියා බර්තෝනි‘ ශාකය වගාකිරීමට යොමුවූයේ අහම්ඛෙන් වුවත් අපට ඒගැන විස්තර මුලින්ම කීවේ ඕස්ට්‍රේලියාවේ සිටින මිතුරෙක්. ඔහු අපට පැල කීපයක්ද දුන්නා. අපට එම පැල වර්ධනයවූ පසුව අතු වලින් තවත් පැල ව්‍යාප්තිය සිදුකරගන්නට හැකිවුණා. මෙවර සිංහල අලුත් අවුරුද්දට අපි වැලිතලප හැදුවේ මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාඛයේ කොළ මද පවනේ වියළිමෙන් පසුව බ්ලෙන්ඩරයක් මගින් ඇඹරීමෙන් ලබාගත් පිටිවලින් යැයි ඔහු අප සම`ග පැවසුවේය.

‘මේ ශාකයේ කොළ සාමාන්‍ය තෙත් වියළි පරිසරයක මඳ පවනේ ස්වභාවික හිරුඑලියට විවෘත තැබීමෙන් වියළා ගත හැකියි. එසේ එම කොළ වේළාගැනීමෙන් පසුව තරමක් තදවියළි කොළ පැහැයට පැමිණි පසුව ගෘහස්ථ පරිසරයේදීම සරල ක්‍රමයකට අඹරා කුඩුකර පිටි බවට පත් කරගැනීමෙන් පසුව සීනි මෙන් එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකියි. තේ සහ වෙනත් පලතුරු බීම වැනි රසවත් පාන වර්ග සඳහාත් පැණි රස කෑම වර්ග රසකැවිලි ආදියට සීනී වෙනුවට යොදාගත හැකි කදිම ස්වභාවික ආදේශකයක් බව මේ පිළිබඳව විස්තර කළ ඔවුහු කීහ.

ජපානය ඕස්ට්‍රේලියාව චීනය ජර්මනිය ඉන්දියාව නවසීලන්තය වැනි ලෝකයේ බොහෝ රටවල වෙළඳෙපාළේ මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොළ නොහොත් පත්‍රවලින් ලබාගන්නා වියළිකුඩු නැතිනම් පවුඩර් මිශ්‍රනය හෝ එම ශාකයේ පත්‍රවලින් සාදාගත් දියරය සීනි ආදේශකයක් වශයෙන් ගෙන පානීය බීමවර්ග රසවත් කෑම ටොපි සහ එවැනි රසකැවිලි වර්ග නිෂ්පාදනයේදී රසකාරකයක් වශයෙන් භාවිත කරයි.

ජපානය වැනි රටවල බොහෝ සෙයින් භාවිතාවන මෙය එරට වෙළඳ පොළේ සීනි වෙනුවට භාවිතා කරන ආදේශක රසකාරකයක් වශයෙන් අලෙවියද සිදුකරයි. ඇතැම් රටවල් සිනි වෙනුවට රසකාරකයක් වශයෙන් නිෂ්පාදනය කර අපනයනයද සිදු කරනු ලබයි. දන්තාලේප සහ සමහර සූකිරි වැනි දේවල් සහ ඖෂධ වර්ග නිෂ්පාදනයටද මෙම ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ වියළි කොළවලින් ලබාගන්නා කුඩු හෙවත් පවුඩර් හෝ පැණිරස දියරය සමහර රටවල් විසින් යොදාගනු ලබයි

මේ පිලිබඳව වැඩිදුර විස්තර සීනි හා සාපේක‍ෂව කෙතරම්දුරට මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි නම් ශාකයේ භාවිතය ව්‍යාප්තිය සහ ගූණාත්මක බව සම්බන්ධව විද්‍යාත්මක විස්තරයක් එවන් දේ පිළිබඳ ප්‍රමාණික සහ විද්‍යාත්මක දැනුමක් ඇති කෘෂි විද්‍යා මහාචාර්ය පියල් මාරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මේ සම්බන්ධ තෙරතුරු ඉදිරිපත් කලේ මෙසේය

අඩි හයක් පමණ උසැති මේ ශාකයේ කොළ දීප්තිමත් තද පැහැයක් ගනියි. stevia rebaudiana bertoni යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය කොලවල ඇති පැණි රස නිසාම එය මෙරට උදවිය පැණි පලා යයි හඳුන්වන නමුත් මෙය අපගේ දෙAශීය ශාකයක් නොවන නිසා වඩාත් උචිත වන්නේ ඊට හිමි විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වීමයි. මෙම ශාකය සූරියකාන්ත කුලය ශාක ප්‍රභවයකි. ඉංග්‍රිසියෙන් සුගර්ලීෆ් ස්වීට්ලීෆ් යනුවෙන්ද හින්දි බසින් මධුපත්‍රී, ශත පත්‍ර වශයෙන්ද සංස්කෘත බසින් සෞම්‍ය ගන්ධ නමින්ද හඳුන්වයි.

මෙහි ඇති සුවිශේෂිතාව නම් සීනිමෙන් මිනිස් සිරුරට අහිතකර නොවීම සහ සීනි වලට සාපේක‍ෂව තුන්සියයක් හාරසියයක් වරක් පමණ ප්‍රණිත රසයෙන් අනූනවීමයි.

දකුණු ඇමරිකා රටක් වන බොලීවියා රාජ්‍යය මෙම ශාකයේ නිජබිම වශයෙන් හැඳින්විය හැකියි. නිවර්තන හෙවත් උෂ්ණ කලාපීය රටවල ව්‍යාප්තිය සහිත මෙම ශාකය වගාකිරීම සිදුවන්නේ අතු කැබලි සහ බීජ මගිනි. වගාව සඳහා වඩා ඵලදායක වන්නේ අතුකැබලි මගින් පැල බෝකරගැනීමයි. බීජ ව්‍යාප්තිය එතරම් සාර්ථක ප්‍රතිඵල නොදෙන අසීරු දුෂ්කර කාර්යයකි. ත‍ම් ස්ටෙවියා ශාකය වගා කිරීමට යෝග්‍ය වන්නේ වැලි සහිත ජලවහනය හොඳින් සිදුවන ලෝම පසයි. වගාබිම් සඳහා යෝග්‍ය පසේ පී එච් අගය 6.5 ත් 7.5 අතර වෙයි. මෙම ශාකය මල් කොළ ආදිය විවිධ රටවලදී සුළුවශයෙන් වෙනස්කම් සහිත ස්වභාවයක් දැකිය හැකියි.

වගාකරන ඇතැම් රටවල් පටක රෝපණය මගින් ලබාගන්නා පැලද වගා කරනු ලබයි ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ ශාක විශේෂ වර්ග 240 ක් පඹණ ලොව පුරා ව්‍යාප්තව පවතී. එයින් ශාක ප්‍රභේද 90ක් පමණ විවිධ වූ දේශගුණික තත්වයන් යටතේ වගාකළ හැකියි එම ප්‍රභේද අනුවර්තනයවී ඔරොත්තුදී වර්ධනයවීමේ හැකියාවෙන් යුතුයි. දීර්ඝ කාලීනව කළ පර්යේෂණ මගින් මෙසේ ශාක ප්‍රභේද එකිනෙකට වෙනස් දේශගුණි තත්වය්ට සුදුසු අයුරින් වැඩිදියුණුව ඇත

සාමාන්‍යයෙන් උතුරු පැරගුවේ වගා බිමක අස්වැන්න නෙළීම වසරකට තෙවරක් හෝ සිවු වරක් සිදුකරනු ලබයි. අතු කැබලිවලින් පැළ ලබාගැනීමේදී කපාගත් අතු කැබලි කැපූ දින සිට දින 25ක් -30 ක් ඉක්මයානොදී සිටුවීමන් හොඳින් වර්ධනය වන පැළ ලබාගත හැකියි. පැළ ලබාගැනීමට අතු කැපීමට සුදුසු කාලය වන්නේ පෙබරවාරි මාර්තු මාසයන්හිදීය. මේ ශාකයේ මල් හටගැනීම නොවැම්බර් මාසයදී ආරම්භවේ. ඉතා කුඩා නමුත් ප්‍රිය උපදවන පෙනුමක් ඇති ලා දම් පැහැයට හුරු සුදු පැහැ මලක් දකින්නට හැකිවෙයි

මුල් කාලීනව ලතින් ඇමරිකා වැසියන් තම ආගමික විශ්වාස ඇදහිලි චාරිත්‍රවලදී පූජාවන් සඳහා මේශාක කොටස් යොදාගෙන ඇත. යනුවෙන් මේ පිලිබඳව බොහෝ දුරට විස්තර කළ මාරසිංහ මහතා පැවසුවේය

දකුණු ඉන්දියාවේද කෝවිල්වල ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්වීමේදී මේ ශාකය ප්‍රයෝජනයට ගනු ලබන බව වාර්තාවේ. ඔසු ගුණය සම්බන්ධව එතරම් විද්‍යාත්මකව සනාථවූ ප්‍රබල සාධක නොවූවත් විවිධ රටවල පාරම්පරික සම්ප්‍රදායික ප්‍රතිකර්මවලදී ඖෂධ වශයෙන් භාවිතා කරයි. ඒ අනුව චීනය ජපානය ඇතුුඵ ලොව රටවල් බොහොමයකදී දියවැඩියාව සහ අඩු රුධිර පීඩනය ඇති රෝගීන්ගේ රුධිර පීඩන තත්ව ක්‍රමවත් කිරීමේ ගූණයක් ඇතිබව මේ ස්ටෙවියා රිබදනියා බර්තෝනි ශාකයේ කොලවල සාරය භාවිතා කරන බව අන්තර්ජාල තොරතුරුවලින් කියවේ. එසේම සමේ රෝග තත්වයන් වැලැක්වීමටත් දත්මුල් ඉදිමීටද මෙය ආරක‍ෂණ ගුණයකින් යුතු විශේෂ ඔසුවක් බවටද විවිධ රටවලින් වාර්තාවී ඇත

වටිනා ආහාර නිෂ්පාදනයක් වශයෙන් මේ සීනි ආදේශක ස්ටෙවියා රිබදූනියා බර්තෝනිහි වටිනාකම 2006 වසරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට හා අවධානයට යොමුව ඇත. 2012 වසරදී සීනි ආදේශක රස කාරක ගුණයකින් යුතු නිෂ්පාදනයක් වශයෙන් බටහිර රටවල සුපිරි වෙළඳ සංකීර්ණයන්හි අලෙවිය ආරම්භ විය.

(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

ගෙදර මීයෝ පිරිලද? මේ සරල ක්‍රම ටික කරන්න ආයෙ කවදාවත් මීයො එන්නේ නෑ

ඔබේ ගෙදර මීයෝ පිරිලද? අද වෙනකොට ගොඩක් ගෙවල්වල තිබෙන ප්‍රශ්නයක් තමයි මේ මී කරදරය. ඇත්තටම කිව්වොත් ඉතා කුඩා කාලයකදි වේගයෙන් වර්ධනය වෙන මී ප්‍රශ්නය ඉතා විශාල වසංගතයක්. මීයන් තුරන් කරන්න ආදේශක ගොඩක් තිබුණත් ඒ ආදේශක වලින් බොහෝ වෙලාවට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ මී කරදරය තිබෙන නිවසකට ඒ වෙනුවෙන් යොදන්න පුළුවන් පහසු ප්‍රතිකර්ම කීපයක්.

කපුරු බෝල – අපි බොහෝ වෙලාවට කපුරු බෝල භාවිතා කරන්නේ ඇඳුම් කාවෝ කන එකෙන් වලක්වා ගන්න. ඒත් ඔයගොල්ලෝ දන්නවද මේ කපුරු සුවඳට මීයෝ පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ ගෙදර සිදුරු සහිත මීයන් ගැවසෙන ස්ථානවල කපුරු බෝල තියන එක. තව දෙයක් මේ කපුරු බෝලවල සුවඳ මීයන්ට විතරක් නෙවෙයි, අපේ සෞඛ්‍යයටත් අහිතකරයි කියලා මතක තියා ගන්න. ඒ නිසා මේ කපුරු බෝල ඉටිකවර වල දාලා අවශ්‍ය තැන්වල විතරක් තියන්න. කුඩා දරුවන් ගැවසෙන ස්ථානවල තබන්න එපා. ටික කාලයකින් මේ කපුරු බෝල දියවෙලා යනවා, එතකොට ආපහු කපුරු බෝල තියන්න.

ඇමෝනියා – සබන් කුඩු වර්ගයකින් හැදි දෙකක් වතුරු වීදුරු කාලකුත් එක්ක ඇමෝනියා කුඩු කෝප්ප දෙකක් අරගෙන මේ සියල්ලම භාජනයකට දාලා මිශ්‍ර කරගන්න. මතක ඇතුව අත්වැසුම් යුගලයක් නම් පළදින්නම ඕන. හදාගත් දියරය භාජනවල දාලා මීයෝ ගැවසෙන ස්ථාවල තියන්න. මෙයින් නිකුත්වන සුවඳ මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ.

පෙපර්මින්ට් තෙල් – පෙපර්මින්ට් තෙල්වල තියන මිහිරි සුවඳට මීයෝ කැමති නෑ. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ පුළුන් බෝල හදලා පෙපර්මින්ට් තෙල්වල ගිල්වලා මීයෝ ගැවසෙන තැන්වලින් තියන්න.

ළූණු – මීයෝ අකමැති තවත් දෙයක් තමයි ළූණු. ඒ නිසා මීයෝ ගැවසෙන තැන්වල ළූණු පෙති කීපයක් කපලා තියලා බලන්නකෝ. මේක මීයන් එළවන්න පුළුවන් ස්වභාවික ක්‍රමයක්.

ගම්මිරිස් – ගම්මිරිස් කුඩුත් මීයෝ එළවන්න භාවිතා කරන්න පුළුවන්. මීයෝ ගෙවල් හදලා තියන තැන් බලලා ගම්මිරිස් කුඩු ටිකක් තියලා බලන්න.

දවුල් කුරුඳු – ”බේ ලීප් ” හෙවත් දවුල් කුරුදු වලින් කොළ ටිකක් මීයෝ එන තැන්වලින් තියන්න. ඒවා රස කෑමක් කියලා හිතලා මීයෝ ආහාරයට ගන්නවා. ඒත් මේ දවුල් කුරුඳු ආහාරයට ගැනීමෙන් මීයන් මරණයට පත්වෙනවා.

පූස් තඩියෙක් – ඉතින් මී කරදරයට තවත් හොඳම විසඳුමක් වෙන්නේ පූස් තඩියෙක් ඇතිකරන එක. අපි පොඩිකාලේ අහලා තියනවනේ මීයයි පූසයි කියන්නේ ජන්මාන්තර හතුරෝ කියලා.

සර්පයන් – කියපු ගමන් බලන්න ඇති නේද පිස්සුද කියලා. ඔයාලා දැකලා ඇතිනේද රබර් වලින් හදලා තියන සර්පයෝ සමහරු මේවා නිසා සෙල්ලම් ලෙල්ලම් කරගන්නවා. ඒ වගේ රබර් සර්පයෝ කීපදෙනෙක් අරගෙන මීයන් වැඩිපුර ගැවසෙන තැන්වලින් තියලා බලන්න. සර්පයන්ට කොහොමත් බය මීයෝ බඩුත් පැක් කරගෙන ගෙදරින් යන්නම යාවි.

බේබි පවුඩර් – බේබි පව්ඩර් සුවඳත් මීයන්ට ඔරොත්තු දෙන්නේ නෑ. මීයන් ගෙවල් හදලා තියන තැන්වලට බේබි පවුඩර් ටිකක් ඉහලා බලන්න.

මී උගුල් – මීයෝ අල්ලන්න පාවිච්චි කරන මී උගුල් දැන් වෙළඳපොලේ ගන්න තියනවා. ඔයාලත් ඒ වගේ උගුල් දෙකක් තුනක් ගෙනැත් තියලා බලන්න. මේක සත්තු මරන්න අකමැති අයට හොඳ ක්‍රමයක්. මොකද මීයෝ අහුවුනාට පස්සේ මිනිස්සු ගැවසෙන්නේ නැති, ගෙවල් නැති පැත්තක් බලලා ගිහින් දාන්න පුළුවන්.

කුණු – කුණු කියන්නේ මීයන් බෝවෙන්න හේතුවෙන ප්‍රධානම මාධ්‍යයක්. අපි ගෙවල්වල එදිනෙදා ඉවතදාන කුණු කන්න මීයෝ එනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මීයෝ එන්නේ මේ වගේ අපද්‍රව්‍ය තියන තැන්වලටයි. මෙයින් වැලකීමට නම කසල දැමීම සදහා හොඳින් වැසිය හැකි පියන් සහිත බඳුන් භාවිතා කරන්න. ඒ වගේම ආහාර සියල්ල හොඳින් වැසිය හැකි පියන් සහිත භාජන වල දාන්නත් අමතක කරන්න එපා. බහුල වශයෙන් මීයන් බෝවන්නේ අපිරිසිදු ස්ථානවල, ඒ නිසා මුළුතැන්ගෙය විශේෂයෙන්ම පිරිසිදුව තබාගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සුදු වූ හිසකෙස් කළු කරගන්න ස්වභාවිකව අඹ මල් වලින් බෙහෙත් වට්ටෝරුවක් හදන හැටි

අද බොහෝ තරුණ තරුණියන්ට අකලට හිසකෙස් පැසීමේ ගැටළුවට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මේ හේතුව නිසා නිරායාසයෙන්ම ඔවුන් රසායනික ඩයි වර්ග‍යන් භාවිතා කිරීමට පෙළඹෙනවා. භාවිතා කිරීමේ පහසුව නිසාත්, වෙළඳපොලේ සුලභව පැවතීම නිසාත් මෙවැනි ඩයි වර්ග වෙළඳපොලේ බොහොම ජනප්‍රියයි. බොහෝමයක් ඩයි වර්ග ආනයනය කරන්නේ විදෙස් රටවලින්. ඒවායේ ඇති ප්‍රමිතිය පිළිබඳව කිසිම විටෙක අපට සෑහීමකට පත්වන්න බැහැ. මෙවැනි හිසට යොදන නොයෙකුත් රසායනික ඩයි වර්ග විෂ වීම හේතුවෙන් අකාලයේ ජීවිතයෙන් සමුගත් පුද්ගලයින් ගැන අපිට පසුගිය කාලයේ අසන්න ලැබුනා.

නමුත් අපේ පැරැණි සමාජයේ හිසට තෙල් දැමීමේ පුරුද්දක් පැවතියත් අද සමාජයේ බොහෝ දෙනා තෙල් සත්කාර කිරීමට දක්වන්නේ මැලි කමක්. එවැනි හේතු අකලට හිසකෙස් පැසීමටත් බලපානවා. එකල බොහෝ මවුවරුන් තම වත්තේ පොල් වලින් හෝ තැඹිලි වලින් සිඳගත් පිරිසුදු තෙල් හිසේ ගැල්වීම සිදුකළා.

එසේත් නැත්නම් පැරණි ඖෂධීය තෙල් වට්ටෝරු ගැන දැනුවත් වෙමින් හිසකෙස් පෝෂණයට වැඩි උනන්දුවක් ඔවුන් දැක්වූවා. නීලකාන්ති, නේත්‍රකාන්ති හා භෘංගමාලක ආදී තෙල් වර්ග පිළිබඳ වත් හොඳ වැටහීමක් ඔවුන් සතුව තිබුණා.

නමුත් වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනෙකුට මේ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිකම හා ඖෂධීය තෙල් සත්කාරයන්ට ඔවුන් යොමු නොවීම හේතුවෙන් හිසකෙස් සම්බන්ධ ගැටළු සහ හිසේ රෝග ආදිය අද ක්‍රම ක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා.

විදෙස් රටවලින් ආනයනය කරන කෙස් කළු කරන ඩයි වර්ග වෙනුවට අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ හිස කෙස් කළු කරන ඖෂධීය සත්කාරයන් බොහෝ තිබෙනවා. දේශීය ඖෂධ සුවිශේෂී වන්නේ මෙම සත්කාර සිදු කිරීමෙන් පසුවත් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන නිසයි.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ සුදු හිසකෙස් කළු කළ හැකි අගනා දේශීය ඖෂධ වට්ටෝරුවක්… මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :- අඹ මල්, අරළු, බුළු, නෙල්ලි, කුඹුක් පොතු, නිල් අවරිය, තල තෙල්

සාදාගන්නා අන්දම :-
මෙම ඖෂධ සියල්ල චූර්ණ කරගෙන තල තෙල් ලිප තබා එයට ඖෂධීය ද්‍රව්‍යයන්ද යොදා තෙල් හොඳින් සිඳගෙන පසුව ලිපෙන් බා නිවෙන්නට හරින්න. හංස පිහාටුවක් මෙම තෙලට දමාගත් පසු තද කළු පැහැයක් ගනියි. ඉන්පසුව මෙම තෙල් කෙස් ගස් කළු කර ගැනීමට යොදා ගන්න. අඹමල් වල ගුණාත්මක භාවයක් නොමැති වුවත් තද කළු වර්ණයක් එයින් ලබා දෙයි. ඒ සියල්ලම ඖෂධීය ගුණ සහිත ද්‍රව්‍යයන්ය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මොලය පෝෂණය කරන, ආතරයිටීස් රෝගය වැළඳීම අඩු කරවන වම්බටුවල ඇති ඔබ නොදත් ගුණ

වම්බටු කියන්නේ නටුවෙහි මෙන්ම බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණ රැසක් පවතින එළවළුවක් බව ඔබ දන්නවද? වම්බටු, තළනබටු, තිබ්බටු ආදී සියලුම බටු වර්ගවලට මෙම කාරණය පොදු බවයි පෝෂණවේදීන් පවසන්නේ.

පෝෂණ ගුණ
වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛනිජලවණ පවතිනවා. එමෙන්ම ඉතාමත් වැදගත් ප්‍රති ඔක්සිකාරක ද (එනම්, ශරීරගත වෙන විෂ විනාශ කරන ද්‍රව්‍ය) අඩංගු වෙනවා. එමෙන්ම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, වම්බටු ගෙඩියේ පොත්තේ ඇති පෝෂණ ගුණය මොළයේ පටල, හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරන බවයි. හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වන වම්බටු, හෘදයේ නිරෝගි බව ඇතිකරවයි. පර්යේෂකයින් සඳහන් කරන්නේ, වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන බවයි. ඒ වගේම රුධිර සංසරණය ක්‍ර‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා. වම්බටු වැඩි යකඩ අඩු කරයි. යකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක් වුවද යකඩ වැඩිවීමද හොඳ දෙයක් නොවෙයි. වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩිවනවා.

ඔසප් වීම මාසිකව සිදුවන කාන්තාවන්ට යකඩ වැඩිවීමේ අවදානමක් නැතත්, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ යකඩ වැඩි වීමේ අවදානමක් පවතිනවා. පිරිමින්ටද යකඩ වැඩිවීමට ඉඩක් පවතිනවා. සන්ධිවලට හානි කරන විෂ ද අඩු කරන නිසා ආතරයිටීස් වැනි රෝග වැළඳීමේ ඉඩ අඩු කිරීමේ හැකියාවද වම්බටුවල තිබෙනවා.

ඔබේ ආහාර වේලට තවත් වම්බටු එක් කර ගැනීමට හේතු 8ක්
එහි අඩංගු විටමින් k හා බයෝ ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා දිනපතා වම්බටු ආහාරයට ගැනීම මගින් ලේ කැටි ඇති වීම වලකයි. නිසියාකාරව පිළියෙළ කළහොත් වම්බටු වලට ඔබේ කොලෙස්ටරෝල් (LDL) මට්ටම අවම කල හැක. ඔබ කෙදිනකවත් වම්බටු බැද ආහාරයට නොගත යුතුය. පිසිම කල යුතුය. වම්බටු වල ඇති තන්තු නිසා එය ඔබේ ජීර්ණ පද්ධතිය සුරක්ෂිත කර ජීර්ණය පහසු කරයි. දිනපතා වම්බටු ආහාරයට ගැනීමෙන් ඔබගේ රුධිර සංසරණය වර්ධනය වන අතර එහි අඩංගු, බොහෝ විට එළවලු වල මතුපිට පවතින පයිටෝනියුට්‍රියන්ට්ස් නිසා ඔබගේ මොලය පෝෂණය කරයි. වම්බටු ඔබගේ රුධිරයේ සිනි මට්ටම ක්‍රමවත් කරන අතර අඩු කාබන් හා වැඩි ජාරක තන්තු අන්තර්ගතය නිසා දියවැඩියාව පාලනය කරයි. අධික ෆ්ලෙවනොයිඩ් අන්තර්ගතය නිසා ඔබගේ රුධිර පීඩනය ක්‍රමවත් කලහැක. ශරීරයට අවශ්‍යම ප්‍රමාණවලින් යකඩ, කැල්සියම් හා අනෙකුත් ඛනිජ වර්ග වම්බටු වල අඩංගුය. කැලරි නොමැති නිසා බර අඩු කිරීමට වම්බටු සුදුසුය. එසේම එහි මේද නොමැතිකම හා තන්තු වලින් අනුන බව එය බර අඩු කිරීමට සුදුසුම ආහාරයක් බවට පත් කරයි.

තෝරා ගැනීම
වම්බටු මිලදී ගැනීමේදී ගෙඩියේ ප්‍රමාණයට බර වම්බටු තෝරා ගන්න. ගෙඩියේ පොත්ත මෘදු හා දිළිසෙන ස්වභාවයකින් යුක්ත විය යුතුයි. කැලැල් වුණු, තැලුණු ගෙඩි මිලදී ගන්න එපා. වම්බටු උෂ්ණත්වයටත්, සිසිලටත් සංවේදී එළවලුවක් ෆැරන්හයිට් අංශක 50 (සෙල්සියස් අංශක 10 ක) උෂ්ණත්වයක ගබඩා කළ යුතුයි.

පිසින ආකාරය
වම්බටු උයන විට එහි රස වැඩි කිරීමට, වම්බටුවල ඇති සියුම් තිත්ත රසය ලුණු මගින් අඩු කරන්නට පුළුවන්. කැපූ වම්බටුවලට ලුණු ස්වල්පයක් ඉස මිනිත්තු 30ක් තබන්න. මෙමගින් වම්බටු බැදීමේදී වම්බටුවලට තෙල් උරා ගැනීමද අඩු කරනවා. රසවත් මෝජුවක් වශයෙන්, බැදුමක් වශයෙන් වගේම රසවත් ව්‍යංජනයක් වශයෙන්ද වම්බටු ආහාර වේලට එකතු කරත හැකියි.

කෙතරම් රසවත් වුවත් ඇතැම් රෝගවලට වම්බටු හානිදායකයි. සිරුරේ ගල් ඇති කරන ආහාර අත‍‍ළොස්සෙන් වම්බටු එක් වර්ගයක්. මේ නිසා ප්‍රතිකාර නොගන්නා වකුගඩු හෝ පිත්තාශ රෝගීන්ට මෙවැනි ආහාර එතරම් සුදුසු නැහැ.

වම්බටුවල ඇති එම ගුණය කැල්සියම් උරා ගැනීම අඩු කිරීමටද හේතු වනවා. මේ නිසා නිතර වම්බටුවල රස බැලීම එවැනි සංකූලතා සහිත පුද්ගලයන්ට නම් සුදුසු වන්නේ නැති බවත් මතක තබාගත යුතුයි.

උපදෙස්- ආහාර හා පෝෂණ විශේෂ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු
සටහන  – යශෝදා ඉන්දීවරී. (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)