කොච්චර පාඩම් කරත්, මතක හිටින්නේම නැද්ද? මෙන්න ක්‍රමවේදයක්

කෙතරම් අමාරු විෂයයක් වුණත් ඔබේ මොළයට ඕනෑ ම දෙයක් ඉගෙන ගැනීමට පුළුවන්. එය ඉතා ඉක්මනින් කරන්නටත් පුළුවන්. එය රුසියානු, අරාබි හෝ වෙනත් සංකීර්ණ භාෂාවක් ද කියන එකවත්, සංගීත භාණ්ඩයක් ද කියන එකවත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව වැනි විෂයයක් ද කියන එකවත් ගැටලුවක් නොවේ.

සමීක්ෂණයකට අනුව ඉතා ම කාර්යක්‍ෂම ඉගෙනුම් කාලය වන්නේ, නව විෂයයක් හෝ කෞශල්‍යයක් හමුවී ගත වන පළමු පැය 20 ට ඇතුළත් කාලයයි. නව විෂයක් හමුවූ අවස්ථාවක මොළය ශීඝ්‍රයෙන් එම දැනුම උකහා ගැනීමට ක්‍රියා කරයි. නමුත් ඒ සඳහා පුද්ගල රුචිකත්වය සහ නව විෂය කෙරෙහි මොළයට දැනෙන උත්තේජනය ද බලපායි.

මෙලෙස, මොළය නව තොරතුරු එකතු කර ගැනීම පිළිබඳ අධ්‍යයනය කළ පළමු පිරිස අතර 19 වන සියවසේ ජර්මනියේ විසූ දාර්ශනිකයෙක් සහ මනෝ විද්‍යාඥයෙක් වූ හර්මාන් එබින්හව්ස් (Hermann Ebbinghaus) ද වූහ.

නව කුසලතාවට දක්වන සබඳතාව සහ එය ඉගෙන ගැනීමට ගත කරන කාලය අනුව ඔහු ‘ඉගෙනුම් වක්‍රය’ නමැති අදහස ඉදිරිපත් කළේය.එය ප්‍රස්ථාරයක් මගින් පැහැදිලි කිරීමට, “දැනුම” සිරස් රේඛාවටත් (Y අක්ෂයට), “කාලය” තිරස් රේඛාවටත් (X අක්ෂයට) යෙදිය හැකිය. මුල් පැය කීපය තුළ නව විෂයයක් හැදෑරීමට වැඩි කාලයක් වැය කිරීම මගින් වැඩි දැනුමක් උකහා ගත හැකි බව එබින්හව්ස්ට පැහැදිලි විය. ඒ අනුව ප්‍රස්ථාරයේ වක්‍රය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

නමුත් කෙටි කාලයකට පසු, එය අධ්‍යයනය කිරීමට ඇති මොළයේ ධාරිතාව කාලයට සමාන්තරව ගමන් කරයි. නමුත් එම විෂය හැදෑරීමට දිගින් දිගට ම කාලය යෙදවීම පරිපූර්ණත්වයට කෙනෙක් යොමුකරනු ඇත. නමුත් නව දැනුම ග්‍රහණය කර ගැනීම ශිඝ්‍රයෙන් අවසන් වනු ඇත. නව දැනුමක් රැස්කර ගැනීමට ගත වන කාලය ඇස්තමේන්තු කිරීමට එබින්හව්ස්ගේ ප්‍රස්ථාරය මේ වන විට යොදා ගැනේ. ඵලදායිතාව අගැයීමට ලක් කිරීම සඳහා එය ව්‍යාපාරික ලෝකයේ ද නිරතුරුව යොදා ගනී.අප නව විෂයයක් හැදෑරීම ආරම්භ කර ගත වන පළමු පැය 20 වඩා වේගවත් සහ ඵලදායී වේ. නව උත්තේජකයක් හමුවූ වහා ම ඊට වහා ප්‍රතිචාර දැක්වීමට සහ උපරිම දත්ත ප්‍රමාණයක් උකහා ගැනීමට අපේ මොළය හැඩගැසී තිබේ.

කාලයක් පුරා එක ම උත්තේජන නැවත නැවත හමුවීම තුළ මොළයේ ප්‍රතිචාරය ක්‍රමයෙන් අඩුවේ. ඒ සමග ශීඝ්‍රයෙන් අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය නැවතී යයි. මෙම පියවර ඇබ්බැහි වීම යනුවෙන් හැඳින්වේ.අප යමක් අලුතෙන් ඉගෙන ගන්නා විට, එය කෙතරම් සංකීර්ණ වුවත්, එහි අප ඉගෙන ගන්නා කරුණු මුලින් සහ ක්‍ෂණිකව ග්‍රහණය කර ගන්නා අතර පසුව එය මන්දගාමී වේ.

ඔබ හදාරන ක්‍රමවේදය හඳුනා ගන්න
ඵලදායිතාව වර්ධනය කළ යුත්තේ කෙසේදැයි උගන්වන ඇමෙරිකානු ජාතික ජෝෂ් කෆ්මන් (Josh Kaufman), මෙම මුල් පැය කීපයේ කෙරෙන උකහා ගැනීම කෙරෙහි බොහෝ විශ්වාසය තබා ඇත්තෙකි.මෙම පදනම ඔහුගේ ‘පළමු පැය 20’ (The First 20 Hours) ග්‍රන්ථයට ප්‍රස්තුත විය.ඔහුගේ යෝජනාව වන්නේ, විෂය ජීරණය කළ හැකි කොටස් කීපයකට බෙදිය යුතු බවය. පරිබාහිර බාධා මගහැර දිනකට විනාඩි 45 ක් බැගින් සෑම දිනක ම ඊට සෘජු අවධානය යොමු කළ යුතුය.

ඔබ එහි විශේෂඥයෙකු විය නොහැකි නමුත් ඒ වන විට පැය 20 ක ශක්තිමත් මතකයක් ඔබ සතුව වනු ඇත. එය ඔබගේ ඉච්ඡාභංගත්වය බිඳ ඉදිරියට යාමට ප්‍රමාණවත් වනු ඇත.එසේ ම, නව විෂය පිළිබඳ ඔබ තුළ ඇති වන විශ්වාසය එහි පරිපූර්ණත්වය කරා යාමට ඔබට උපකාර වේවි.

පැය පහේ අධ්‍යයනය
නව විෂය දැනුමක් ග්‍රහණය කරගන්නා අනෙක් ආකාරය වන්නේ, ‘පැය පහේ රීතියයි’, දිනකට පැය බැගින් සතියේ දින පහක් තුළ හැදෑරීම එම ක්‍රමවේදයයි.මෙම ‘ඕනෑකමින් කෙරෙන හැදෑරීම’ අවධාරණය කරන සුප්‍රකට පුද්ගලයන් අතර බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ද වේ. කැපවීමෙන් නව දැනුම උකහා ගැනීම සඳහා දිනපතා කාලය වෙන් කිරීම මෙමගින් අපේක්‍ෂා කෙරේ. එහිදී තමන් එම විෂය මාතෘකාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබා ගත්තේ යැයි පුද්ගලයා සෑහීමට පත්වීමත් සමග ඉන් ඔබ්බට අනෙක් මාතෘකාවලට යමින් ඉදිරියට යනු ඇති බව ඔහු පවසයි.

විශේෂඥයන්ට අනුව, අප පැය පහේ රීතියට අනුගත වන්නේ නම්, අපට නව හැකියාවක් සෑම සති හතරකට වරක් ම උකහා ගත හැකිය. එය සිදුවන්නේ, නිරන්තර අධ්‍යයනය සහ ඒ පිළිබඳ ඇති පෙළඹවීම නිසාය.ලොව පුරා දහස් සංඛ්‍යාත පිරිසක් ඕනෑකමින් කෙරෙන හැදෑරීම අනුගමනය කරන්නෝ වෙති.

සාර්ථකත්වයේ රහස විමසීමේදී බිල් ගේට්ස්, එලන් මස්ක්, වරන් බුෆේ හෝ මාර්ක් සකර්බර්ග් වැනි අය සඳහන් කළේ, උවමනාවෙන් කරන හැදෑරීමට තමන්ගේ ඇති ඇල්මය.ඔබට යම් මාර්ගයක සාර්ථකත්වයට ළඟා විය යුත්තේ නම්, ඉගෙනුමට ඇති ආශාව පවත්වාගෙන යන්න, ඉලක්කයට ළඟා වීමට තමා තුළ ම විනය පවත්වාගෙන යන්න.