අවවාදයයි – පොඩි දරුවන්ට අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න දෙන්න එපා

අන්තර්ජාලයට ඇබ්බැහිවූ ළමුන් තුළ දවස කළමනාකරණය කරගැනීමට ඇති නොහැකියාව, ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කරනීමට නොහැකි වීම, ඉක්මන් කේන්තිය ඉන් රෝග ලක්‍ෂණ කිහිපයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර ප්‍රකාශ කළාය.

ඇය අවධාරණය කර සිටියේ දරුවාගේ හොඳ ම මිතුරා බවට පරිගණකය පත් වී, ඔවුන් හුදෙකලා වීම වළක්වා ගැනීමට නම් දෙමාපියන් දරුවන්ගේ හොඳ ම මිතුරා විය යුතු බවය.

“අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන විට අපේ මොළයේ තියෙන සතුට ගෙන දෙන ස්ථානය (Reward and Pleasure Centre) උත්තේජනය වෙනවා. එවිට ඩෝපමින් (Dopamine) නමැති රසායනය ඒ සෛල තුළට වෑස්සෙනවා. එහෙම වුනාම ඒ සෛලවලින් ඉල්ලන්නේ ම මේ අන්තර්ජාලය ම තමයි. වෙනත් දෙයකට මනස යොමු කරන්න ඉඩ දෙන්නෙ ම නැහැ.” ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් නිකුත් කළ අලුත් ම වාර්තාවක දැක්වෙන්නේ රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ළමුන්ට ජංගම දුරකතන වැනි උපකරණ භාවිත කිරීමට ඉඩ නොදිය යුතු බවය.

දිවි නසා ගැනීම්
මෙම මග පෙන්වීම් ප්‍රකාශයට පත් වී ඇත්තේ, දිවි නසා ගැනීමේ සහ තමන් විසින් ම සිරුරට හානි පමුණුවා ගනු ලැබීමේ සිදුවීම් පාලනය කර ගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස ඉන්ස්ටග්‍රෑම් බලධාරීන් සහ එංගලන්තයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය. පසුගිය දා බ්‍රිතාන්‍යයේ නව යෞවනියක දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇයගේ පියා කියා සිටියේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය භවිතා කිරීම ඇයගේ මරණයට හේතුවක් වූ බවය.

හුදෙකලාව
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර කියා සිටියේ නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන හෝ පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ළමුන් පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

“හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි.” වෛද්‍යවරිය පවසන්නීය.

අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් වෙත පැමිණෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

‘මේ ප්‍රශ්නය නිසා පවුල තුළ සාමය සමගිය නැති වෙනවා. ජීවන සබඳතා දැන් අඩු වෙලා. වැඩිහිටියොත් අන්තර්ජාලයේ තනි වෙලා. ඉස්සර එක වේලක් හරි එකට ඉඳගෙන කෑවා. දැන් හැමෝම හැමෝගෙ ම ලෝකවල මේ මෙවලම් සමග තනි වෙලා.” විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පැවසුවාය.

දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කර ගැනීමට ඇති නොහැකියාව, අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන ළමුන් තුළ දැකිය හැකි තවත් දුර්වලතාවක් බව විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නීය.

“අපේ මොළයේ ඉදිරිපස තියෙන ‘ප්‍රිෆ්රන්ටල් කෝටෙක්ස්’ (Prefrontal Cortex) කියන කොටසින් තමයි දවස කළමනාකරණය කර ගැනීම සහ ප්‍රමුඛත්වය දියයුතු කාර්යයන් තීරණය කෙරෙන්නේ. අන්තර්ජාලයේ බොහෝ වෙලාවක් ඉන්න ළමුන් තුළ මෙහි අක්‍රමිකතා පවතින බව අපි හඳුනාගෙන තියෙනවා.” ඇය පැවසුවාය.

වයස අවුරුදු දෙක ඉක්මවන තුරු දරුවන්ට ජංගම දුරකතන හෝ ටැබ් වැනි උපකරණ පරිහරණය කිරීමට ඉඩ නොදෙන ලෙස වෛද්‍යවරිය අවධාරණය කරන්නීය.

“උපතින් පසු දරුවන් වැඩෙන්නේ සංවේදී පහකින්. ඇසීම, පෙනීම, ගඳ සුවඳ දැනීම, රස සහ ස්පර්ශය කියන සංවේදී පහෙන්. පළමු අවුරුදු දෙකේ දී දරුවන්ට නවීන තාක්ෂණය දීමෙන් වළකින්න ඕන.”

“දෙමාපියන්ගේ ජීවමාන සම්බන්ධතා තුළින් තමයි මේ සංවේදීන් සියල්ල උත්තේජනය වෙන්නේ. ඒ සඳහා දෙමාපියන්ගේ ප්‍රතිචාර සහ ක්‍රියාකාරකම් ඉතාම වැදගත්. නවීන තාක්ෂණයෙන් ඒ දේ සිදුවන්නේ නැහැ.” විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය