ගොඩක් අය නොදන්නා රුපියල් දහසේ නෝට්ටුවේ කතාව

ඔබ දැකලා ඇති රුපියල් 1000 නෝට්ටුවේ දැවැන්ත හස්තිරාජයෙක් සහ ඒ අසලින් සිටින මිනිසෙකුගේ රූපයක් තියෙනවා. මේ රූපය හා සම්බන්ද සත්‍ය සිදුවීමක් තියෙනවා කියලා ඔබ දන්නවද? අද අපි කියන්න හදන්නේ ඒ කතාව. මේ හස්තිරාජයා සහ මිනිසා ඉපදිලා තියෙන්නේ නැගනහිර පළාතේ. මේ මිනිසාගේ නම උමාර්ලෙබ්බෙ පනික්කාර්. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 1925 වසරේදී ඔහු, 1000 මුදල් නෝට්ටුවේ ඉන්න හස්තිරාජයාව අල්ල ගෙන හීලෑ කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු ඒ ඇතාව දළදා මාලිගාවට පරිත්‍යාග කරලා තියෙනවා.

මේ ඇතාව අපි දන්නේ ‘රාජා’ කියලා කිව්වහම. දළදා කරඬුව ගෙන යන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සෑම සුදුසු කමක්ම සපුරලා තියෙන මේ හස්තියා ඉතා හොඳින් වැඩුණු සිරුරකට හිමිකම් කියන, ඉතාමත් තේජාන්විතව ගමන් ගත්තෙක්. අංග 7ක් පොළොවේ ස්පර්ශ විය යුතුයි කියලා කියන මංගල හස්තිරාජයෙකු සතු විය යුතු සුදුසුකමද රාජාට තියෙනවා. මේ සත්ත්වයා දළදා මාලිගාවට දිගු කලක් සේවය කරලා තියෙනවා. තීක්ෂණ බුද්ධියක් තිබුණු රාජා තමන්ගේ ඇත්ගොව්වටත් ඉතාමත් කීකරුව හිටපු හස්ති රාජයෙක්.

1955 වසරේදී අසේල පෙරහැර සමයේ එක් දිනක කරඬුව වැඩමවාගෙන ගමන් ගත්තු රාජා හස්තියා මහනුවර රැජින හෝටලය අසලදී නතර වෙලා තියෙනවා. ඒ නිසා පෙරහැරද මොහොතකට නතර වෙලා තියෙනවා. එවකට දියවඩන නිලමේ තනතුර හෙබවපු සී. බී. නුගවෙල මහතා පැමිණිලා ආමන්ත්‍රණය කෙරුවත් රාජා ගොරවලා නිහඬ වෙලා තියෙනවා. පසුව හස්තියා දෙස විමසිලිවත්ව බැලීමේදී අනාවරණය වෙලා තියෙන්නේ හස්තියා මත තැම්පත් කරලා තිබුණු රන්සිවිගෙය බැඳලා තිබුණු බඳපටියක් කැඩිලා තියෙනවා කියලා. ඒ වෙලේ හස්තියා ඉදිරියට හරි පිටුපසට හරි ගමන් කලානම් කරඬුව බිමට වැටිලා හානියක් වීමටත් ඉඩ තිබිලා තියෙනවා. ඒ විදිහට බුද්ධිමත්ම කරඬුව රැක ගැනීමට පවා රාජා හස්තියා සමත් වෙලා තියෙනවා.

1938 වසරේදී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු බවට පත්වුණු රාජා ඇතා වැඩිකල් යන්නේ නැතුව දළඳා කරඬුව රැගෙන යන්නත් අවස්තාව ලබා ගන්නවා. මිය යන තුරුම දළඳා කරඩුව වැඩමවූ රාජා හස්තියා අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානය සහ ගෞරවය දිනා ගත්තා. 1986 වසරේ අගෝස්තු 20 වනදා රාජා හස්තියාව ජාතික වස්තුවක් විදිහට එවකට හිටපු රජය ප්‍රකාශයට පත් කළා. 1987 වසරේ ජනවාරි 1 වනදා සිදුවුණු රිය අනතුරකින් තුවාල ලබලා රෝගී තත්ත්වයට පත් වුණු රාජා හස්තියා 1988 වසරේ ජුලි 16 වනදා මෙලොවින් සමු ගන්නවා.

මුළු මහත් ජනතාවගේම ගෞරවයට පත් වුණු රාජා හස්තියා සහ ඔහුව දළඳා මාලිගාවට පරිත්‍යාග කරපු උමාර්ලෙබ්බෙ පනික්කාර්ට ගෞරවයක් විදිහට තමයි මොවුන් දෙදෙනාව රුපියල් 1000 නෝට්ටුවේ සලකුණක් විදිහට යොදා ගෙන තියෙන්නේ.

(උපුටාගැනීම අසිරිමත් ලෝකය ඉසුරු ජයසිංහ)