වෙළඳ පොළේ ඇති පොල්තෙල් වලින් හොඳ පොල්තෙල් බෝතලයක් හඳුනාගන්නේ මෙහෙමයි

පොල්තෙල් කියන්නේ ඈත අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් පවා බොහොම සමීපයෙන් ඇසුරු කළ ඖෂධීය වටිනාකමෙන් ඉතා ඉහළ තෙල් වර්ගයක්. පොල්තෙල් කීවම බොහෝ අයගේ හිතට එන්නේ කොලෙස්ටරෝල්, හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි රෝග තත්වයන්. නමුත් මේ රෝග ඇතිවීමට මූලික කාරණය වන්නේ පොල්තෙල් භාවිතයම නොව, අපි ව්‍යායාම සහිත දෛනික ක්‍රියාකාරකම් වලින් බොහෝ සෙයින් ඈත්වී සිටීමයි. අනිත් කාරණය වන්නේ අපි පිරිසිදු පොල්තෙල් කියා බොහෝවිට පරිභෝජනය කරන්නේ පාම් තෙල් ( ෆාම් තෙල් ) වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර තෙල් වර්ග සමඟ මිශ්‍ර කරනු ලැබූ පොල්තෙල් වර්ග වීම නිසයි.

වෙළඳපොල තුළ පොල්තෙල් වල වර්ණය බොහෝවිට ප්‍රධාන ආකාර 02 කින් දැකිය හැකියි. පළමු වර්ණය තමයි සුදු පැහැති ( ජලය මෙන් අවර්ණ ) පොල්තෙල්, අනෙක් වර්ණය තමයි කහ පැහැති වර්ණය. සුදු පැහැති පොල්තෙල් විශේෂය වර්ජින් පොල්තෙල් ( Vergin Coconut Oil ) ලෙස හඳුන්වනවා. අනෙක් පොල්තෙල් වලට වඩා මෙහි මිළ තරමක් වැඩියි. මෙම පොල්තෙල් සාදාගනු ලබන්නේ 100%ක් සුදු පැහැති පොල් මදය පමණක් භාවිතා කිරීමෙනුයි. ( කුරුට්ට භාවිතා නොකරයි.) කහ පැහැති පොල්තෙල් විශේෂය සෑදෙන්නේ සුදුපැහැති පොල් මදය සමඟ කුරුට්ටද මිශ්‍ර වීමෙනුයි. මෙම කහ පැහැය ලා කහ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වෙනස්විය හැකියි. කොප්පරා මඟින් තෙල් හිඳින විට එම තෙල් දුඹුරු පැහැයක් ගනු ලබනවා. එසේ වන්නේ එහි ඇති “කැරොටිනොයිඩ්” වර්ණකය නිසයි. ඊට අමතරව තෙල් සකසා ගැනීමේදී පොල් සෙල්සියස් අංශක 350 ට රත්කිරීමේදී ලැබෙන තෙල් ද දුඹුරු පැහැයක් ගන්නවා. එසේ අධික උෂ්ණත්වයකට ලක්කර ලබාගන්නා දුඹුරු පැහැති තෙල් ශරීරයට අහිතකරයි. එමෙන්ම මුඩු පොල්තෙල් භාවිතයද ශරීරයට අහිතකර වනවා.

පොල්තෙල් වල ගුණාත්මකභාවය තහවුරු කරගන්නේ කොහොමද?
අපිට මෙහි ගුණාත්මකභාවය මූලිකවම පැහැය හා ගන්ධය අනුව පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

පැහැය අනුව පිරිසිදු පොල්තෙල් හඳුනා ගැනීම.
නියම Vergin Coconut Oil හෝ Pure White Coconut Oil සුදු පැහැයෙන් යුක්තයි. නමුත් කුරුට්ටද සහිතව පොල්තෙල් ලබාගැනීම නිසා වෙළඳපොලෙහි ඇති සාමාන්‍ය පොල්තෙල් තද කහ පැහැයට හෝ රන්වන් දුඹුරු පැහැයක් ගන්නවා. ඉතා තද පැහැයෙන් යුක්ත පොල්තෙල් ඇත්තටම ආහාර සඳහා සුදුසු නැහැ. ඒ නිසා ඔබට වර්ණය අනුව එහි ගුණාත්මක බව හඳුනගන්න පුළුවන්.

ගන්ධය
පොල්තෙල් වල ගුණාත්මකභාවය එහි ගන්ධය අනුවත් හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි වරක් බදින ලද කලවම් තෙල් හෝ ෆාම් ඔයිල් ( පාම් ඔයිල් ) එකතුකළ තෙල් ලිප තැබූවිට පෙණ පෙණ උඩට මතුවෙනවා. ඇතැම්විට පැහැයත් තද කළු පැහැයට වෙනස් වෙනවා. එහිදී ඇතිවන ගන්ධය ද වෙනස්.

හොඳ පොල්තෙල් හඳුනගන්න පුංචි පරීක්ෂණයක්
ගුණාත්මක බවින් හා ප්‍රමිතිගත පොල්තෙල් උෂ්ණත්වයට සංවේදීයි. සෙල්සියස් අංශක 27 දී පිරිසිදු පොල්තෙල් ඝන බවට පත්වෙනවා. මේ නිසා ගුණාත්මක බව මැන ගැනීමට ඔබට මේ විදියෙ පර්‍යේෂණයක් සිදුකරන්න පුළුවන්. ශීතකරණයේ පහළ තට්ටුවේ සෙල්සියස් අංශක 24 හි පොල්තෙල් බෝතලය ටික වේලාවක් තබන්න. ප්‍රමිතිගත පොල්තෙල් නම් අනිවාර්යයෙන්ම ඝන විය යුතුයි.

තවත් විකල්පයක් ලෙස සාමාන්‍ය හොඳ පොල්තෙල් යොදා පහනක් දැල්වූ විට පහන් සිල ඉතාමත් දීප්තිමත් ලෙස දැල්වෙනවා. නමුත් පාම් තෙල් හෝ වෙනත් අසංතෘප්ත තෙලක් කලවම් වී ඇත්නම් එම පොල්තෙල් පහනේ දැල්ල වටේම කළු පැහැයෙන් දිස්වෙනවා. යන්තම් හෝ කළුපාට දැල්ලක් දක්නට ලැබේ නම් ඒවා මිශ්‍ර කළ පොල්තෙල් ලෙස හඳුනාගත හැකියි.

(උපුටා ගැනීම හෙළ අරණ Hela Arana)