රසම රසට පැටිස් හදන්න ලේසිම ක්‍රමයක්

හවස තේ වලට හදමුද පැටිස්. හවස තේ වලට ගන්නවා නම් උදේ හදන්න ඕනි. මොකද ශීතකරණයේ පැය තුනක් හතරක් ගබඩා කර තැබීමෙන් පැටිස් වලට ක්‍රිස්පි ගතියක් ලැබෙනවා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් එකක්, බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක්, බේකින් පවුඩර් තේ හැඳි 1/4, බිත්තර කහමදයක්, අයිස් වතුර, සීනි තේ හැන්දක්, ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය
මුලින්ම පිටි එකට බේකින් පවුඩර්, සීනි, ලුණු, බටර් සහ බිත්තර කහ මදය එකතු කර හොඳින් කලවම් කරන්න.. ඉන්පසු අයිස් වතුර ටික ටික දමමින් පිටි එක අතේ නො ඇලෙන ලෙස අනා ගන්න. දැන් පිටි මෝලිය විනාඩි දහයක් විතර හොඳට නීඩ් කරන්න. එතකොට සොෆ්ට් පිටි මෝලියක් ලැබෙනවා. එය හොඳින් කවර් කර පැයක් ශීතකරණයේ තබන්න.

ඒ අතර පැටිස් එකට පිරවුම හදාගමු.
මං නම් අල, ලීක්ස්, මාළු දාලා තමයි පිරවුම හදන්නෙ.., සාමාන්‍ය සයිස් අල ගෙඩි දෙකයි, පොඩි ලීක්ස් ගහක්, තම්බා පොඩි කර ගත් මාළු පෙත්තක්(සැමන් වුනත් ගන්න පුලුවන්), තෙම්පරාදුව සඳහා තෙල් මේස හැන්දක්, රස අනුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු සහ මීට් කරි පවුඩර් තේ හැඳි බාගයක්, චොප් කර ගත් ඉඟුරු සුදුළුෑණු, කරපිංචා, සහ අමු මිරිස් කරලක් ලොකු ළුෑණු ගෙඩි බාගයක් – මේ ප්‍රමාණයට පැටිස් 20ක් පමණ සාදා ගත හැක.

මුලින් ම අල ටික හොඳින් තම්බා පොඩි කර පැත්තකින් තබන්න. මාළු හෝ සැමන් ද පොඩි කර වෙනම තබන්න. ලීක්ස් ගහද සෝදා සිහින්ව කපා වෙනම තබන්න. දැන් පෑන් එක ලිපේ තබා තෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුෑණු කරපිංචා ටික දමා බැදෙන්න හරින්න. එයටම අමු මිරිස් චොප් කර ගත් ලොකු ළුෑණු ටික එකතු කරන්න. ඒ ටික හොඳින් තෙම්පරාදු වන විට ලීක්ස් ටික දමා රස අනුව කෑලි මිරිස්, මීට් කරි පවුඩර් සහ කහ කුඩු එකතු කරන්න. දැන් තම්බා පොඩි කර ගත් අල ටික එකතු කරන්න. අවසානෙට පොඩි කර ගත් සැමන් හෝ මාළු ටික එකතු කර රස අනුව ලුණු ගම්මිරිස් කුඩු දමා ලිප නිවන්න. මාළු හෝ සැමන් අවසානෙට එකතු කර ගැනීමෙන් කරි එක වඩා රසවත් කර ගත හැක.

කරි එක සාදා හොඳින් නිවෙන්න තබන්න.
ශීතකරණයේ දැමූ පිටි මෝලිය ගෙන නැවත හොඳින් නීඩ් කර පොඩි බෝල කඩා විනාඩි 15ක් වසා තබන්න. වෙන් කර ගත් පිටි බෝල ටික හොඳින් තුනී කර රවුම් කපා ගෙන කරි එකෙන් ටිකක් තබා දෙකට නවා වටේ ගෑරප්පුවකින් සීල් කර ගන්න. සාදා ගත් පැටිස් ටික ශීතකරණයේ පැය තුන හතරක් තබා තරමක් අයිස් ගති⁣ය තිබෙන විට ගැඹුරු තෙලේ බැද ගන්න. උණු උණුවෙම පවුලෙ අයත් සමඟ රස බලන්න.

(උපුටා ගැනීම -My Kitchen)