පිරිමි ඔබ ඉක්මනින් වියපත් කරවන ඔස්ටියෝ පොරෝසිස් රෝගය

ඔස්ටියෝ පොරෝසිස් ප්‍රචලිතව ඇත්තේ කාන්තා රෝගයක් ලෙසයි. එනිසා කාන්තාවන් ඒ ගැන සැලකිලිමත් වුවත් පිරිමි ඒ ගැන අවධානයෙන් නොසිටීමෙන් තත්ත්වය බැරෑරුම් වනතුරු ඔවුන් තුළ රෝගය ඇතැයි හඳුනාගත නො හැකිවනවා.

කොන්ද කුදුවූ වියපත් කාන්තාවන් ඔබට මග තොට දී හමු වී ඇති. එසේවූයේ ඇයිදැයි ඔබට සිතුණාද? බොහෝවිට එසේ කුදුවන්නේ අස්ථි දුර්වලවීම නිසා ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වය නිසයි.

වෛ‍ද්‍ය පරීක්ෂණවලින් හෙළිවන්නේ වයස අවුරුදු 20, 30, 40, වයස්කාණ්ඩවල සැලකිය යුතු පිරිමි සංඛ්‍යාවක් රෝගයේ මුල් අවදිය වන ඔස්ටියෝපෝනියා තත්ත්වයේ පසුවන බවයි. එම අවදියේ රෝගය ගැන සැලකිලිමත් වුව හොත් පසුකාලීන ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වයෙන් ඇතිවන අස්ථි බිඳීම් කුදුවීම් ආදී යෙන් වැළකිය හැකියි.

අපේ අස්ථි සකස්ව සවිමත්ව ඇත්තේ කැල්සියම් තැන්පත්වීම මුල්කරගෙනයි. අප ගන්නා ආහාරවලින් ලැබෙන කැල්සියම් දිනපතා අස්ථිවල තැන්පත්වද්දී ඒවායේ තැන්පත්ව තිබූ කැල්සියම් ඉවත්වනවා. එසේ ඉවත්වන කැල්සියම් ප්‍රමාණයට නො අඩු ප්‍රමාණයක් ලබාදිය නො හැකිවූ විට අස්ථි දුර්වලවන්නට පටන්ගන්නවා. ලිස්සා වැටීමකදී අස්ථියක් බිඳෙන්නේ නම් එයින් කියවෙන්නේ ඔස්ටියො පොරෝසිස් අවදානමක් ඇති බවයි.

මෙය කාන්තා රෝගයක් ලෙස සැලකෙන්නේ ඔවුන් වියපත් වීමේදී ඊස්ට්‍රජන් හෝමෝනය ඔවුන්ට අහිමිවනබැවින් . ඒ නිසා කැල්සියම් ඌණතාව ඇතිවී රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩ කඩ සැලසෙනවා.

පිරිමින්ගේ ටෙස්ටරෝන් හෝමෝන ඌණතාවද ඔස්ටියෝ පොරෝසිස් වැළඳීමට හේතුවක්. අධික මත්පැන් පානය නිසා ටෙස්ටරෝන් හොර්මෝනයේ නිෂ්පාදනය අඩුවනවා. ඉන් මුත්‍රා සමග කැල්සියම් ප්‍රමාණයක් ද පිටවී යනවා. සිගරැට් දුම්පානය කැල්සියම් උරාගැනීමේ හැකියාව අඩු කරනවා. එසේ ම අස්ථි සෛලවලට හානිකිරීමටත්, අස්ථි පටක සෑදීමට එරෙහිවීමටත් ඊට හැකියි.

අක්‍රීය ජීවිතයක් ගත කිරීම, කැල්සියම් ගන්නා ප්‍රමාණය මදිවීම, සිරුරට නිසි බර නැතිවීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු අපස්මාරය පිළිකා ආතරයිටිස් වැනි රෝගවලට ලබා දෙන ඇතැම් බෙහෙත් හා ජානමය හේතු ද ඔස්ටියෝපොරෝසිස් වැළඳීමට බල පෑ හැකියි. උස අඩුවීම, කොන්ද රුදාව පිට කුදුවීම වැනි තත්ත්වයන් ඔස්ටියෝ පොරෝසිස් හි ලක්ෂණයන් වන කශේරුකා බිඳීම් නිසා ඇතිවිය හැකියි.

ඔස්ටියෝපොරෝසිස් වැළඳී ඇත්දැයි දනගැන්මට එක්ස් කිරණ පරීක්ෂණයකින් හැකිවෙනවා අස්ථී ඝනත්වය මැනීමේ පරීක්ෂණයකින් මුල් අවස්ථාවේ ම රෝගය හඳුනා ගත හැකියි. රෝගයෙන් වැළකීම සඳහා කැල්සියම්, ඩී හා කේ විටමින් අවශ්‍ය පමණට සිරුරට ලබා ගැනීම , ව්‍යායාමයෙහි යෙදීම හා මත්පැනින් දුම් පානයෙන් දුරුවීම කළයුතුවනවා. ස්වාභාවික ආහාරවලින් අවශ්‍ය පෝෂක ලබාගැනීම සිරුරට ඉතා හිතකරයි.

අස්ථි වර්ධනයට කැල්සියම් හා ඩී විටමින් සඳහා කුඩා මසුන් වියළි හාල් මැස්සන් ආදි කටු සමග ආහාරයට ගත හැකි මත්ස්‍ය ආහාර. එළකිරි යෝග්‍යයි. කඩල සෝයා දිවුල් ආදියෙහිත් කැල්සියම් අඩංගුයිසම මත වැටෙන හිරු එළිය, තෙල් සහිත මසුන් සැමන් හුරුල්ලන් ආදිය විටමින් ඩී ලබා දෙනවා. විටමින් කේ අස්ථිවල යහපත් පැවැත්මටත් බිඳුණු අස්ථි යළි ප්‍රකෘතිමත් කිරීමටත් හේතුවනවා. උළුහාල් , මුරුංගා, නිවිති හා තද කොළ පැහැති පලාවර්ගවල විටමින් කේ අඩංගුවනවා. එළවළු හා පලතුරු වැඩි වශයෙන් අනුහව කරන්නන්ගේ අස්ථි ඝන බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ඇවිදීම, එකතැන උඩපනිමින් දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම , බර ඉසිලීම්, ජිම්නාස්ටික් ආදී ව්‍යායාම් අස්ථි ශක්තිමත් කිරීමට හේතුවනවා. ඉතින් උදාසන හිරු එළිය සමට හොඳින් වැටෙනසේ හිඳ ව්‍යායාමයෙහි යෙදෙමු. යෝග්‍ය ආහාර සමග එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගනනිමු. මතින් දුමින් වැළකෙමු එවිට රෝග සාධක වලින් විශාල ප්‍රති ශතයක් අපෙන් ඈත්ව හිඳිනු ඇති.

ලිපිය සැකසුම Indra Rathnay
(ආරෝග්‍යා හා අන්තර්ජාලය ඇසුරිනි)