ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම සුව කරගත හැකි හීල් බත් සහ දියබත් හදාගන්න විදිය

මොනවද මේ හීල්බත්? දියබත්? රාත්‍රියේ පිසින ලද බත් වලින් පරිභෝජනයට ගෙන ඉතිරි වූ බත , උදෑසන වන විට හීල් බත ලෙස හැදින්වේ. එම ඉතිරි වූ බත් වලට වතුර දමා සකස් කරන ලද ආහාරය දිය බත නම්වේ.

කොහොමද සකස්කරගන්නේ?
හීල් බත සකසා ගැනීම – මැටි භාජනයක පිසින ලද බත , එම පිසූ භාජනයේම තබා, කාමර උෂ්ණත්වයේ රාත්‍රිය පුරා වසා තැබිය යුතුය. මෙහිදී කිසිදු විටෙක බත අතින් කලවම් කිරීමක් සිදු නොකළයුතු අතර, ව්‍යංජන හෝ වෙනත් කිසිදු බාහිර ද්‍රව්‍ය වලින් බත අපිරිසිදු වී නොතිබිය යුතුය.

දිය බත සකසා ගැනීම – මෙහිදී පැරැන්නන් විසින් අනුගමනය කරන ක්‍රම 2 කි.
ක්‍රමය 1 – රාත්‍රියේ ඉතිරි වන බත් එම පිසූ මැටි මුට්ටියේම තබා , එයට බත් වැසෙන පමණට ජලය දමා වසා කාමර උෂ්ණතවයේ උදෑසන වන තෙක් තබන්න. පෝෂණ ගුණය අපතේ නො යැවීමට පසු දින දිය බත් සකසා ගැනීමේදී ජලය ඉවත් නොකළ යුතුය.

ක්‍රමය 2 – හීල් බතට වතුර දමා පෙගෙන තෙක් මද වේලාවක් තබා සකසා ගැනීම සිදූ කිරීම.

ඉහත ක්‍රම දෙකේදීම,මෙසේ සකසන ලද බත් නෑබිලියකට දමා හැන්දක ආධාරයෙන් පොඩි කරගන්න. (නමුත් ආහාරයට ප්‍රියතාවයක් නොමැති නම් ජලය ඉවත් කිරීම හෝ මත නොගා ආහාරයට ගැනීම කළ හැකියි. )

කොහොමද මේවා ආහාරයට ගන්නේ?
හීල් බත් හෝ දිය බත් අහාරයට ගැනීම සඳහා , පොල් කිරි හෝ ගාගත් පොල් සමග රතු ලූනු, අමු මිරිස්, රස අනුව ලුණු සහ දෙහි ඇඹුල් එකතු කර ගන්න. අවශ්‍ය නම් උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. සැරට කන්න අකමැති නම් ,ගැස්ට්‍රයිටිස් වලින් තදින් පීඩා විදිනවනම්, අමුමිරිස් නොදා කිතුල් හකුරු කෑල්ලක් සමග ආහාරයට ගන්න පුළුවන් . ඉන්දියාවේදී මෙම දියබත් ” චද්දි අන්නම්” වන අතර ඔවුන් ඉහත ද්‍රව්‍ය වලට අමතරව පොල්කිරි වෙනුවට යෝගට් සමග මිශ්‍ර කර ආහාරයට ගනී.

(අද කාලේ බත් උයන්නේ රයිස් කුකර් එකේ නිසා, රයිස් කුකර් එකේම මේක හදාගත්තට කමක් නෑ. හැබැයි මැටි මුට්ටියක් භාවිතා කරනව නම් ගුණ වැඩියි. අවශ්‍ය නම් ඔබට පුළුවන් හීල් බත් හෝ දිය බත් සකසා ගැනීම සදහාම වෙනම මැටි මුට්ටියක බත් ටිකක් උයාගන්න. මෙම ආහාර සැකසීමේදී අඩියේ ඇති දංකුඩ කොටසත් එක්කරගන්න.)

ඇයි මේවා ආහාරයට ගන්නේ?
මේ ගමේ දුප්පත් කෑමනේ!මොකක්ද සාමාන්‍ය බතකට වඩා මේකේ ගුණේ?

මෙය ආහාරයක් මෙන්ම ඔසුවකි.
මෙහි ඇති ශීත වීර්ය නිසා උෂ්ණ අධික ශරීර සහ රෝග වලින් පීඩා විදින්නන්ට ඉතාමත් වටිනා ආහාරයකි. (සෙම්ප්‍රතිශ්‍යාව, පීනස වැනි තත්ත්වයන්ගෙන් පීඩා විදින්නන් වරක් ආහාරයට ගෙන තමන්ට මෙය පත්‍ය දැයි තේරුම් ගෙන ආහාරයට ගැනීම සුදුසුයි.)

අද සමාජයේ මහත්සේ පැතිරී ඇති ගැස්ට්‍රයිටීස් , අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායකයි.ශරීරයේ අධික දැවිලි දහඩිය බහුල පුද්ගලයින්ට, කටේ උෂ්ණ බිබිලි සහිත පුද්ගලයින්ට, කට තොල් පැලෙන අයට ද ඉතා ගුණ දායකයි. එසේම අලුතින් පිසූ බතකට වඩා පෝෂ්‍ය ගුණය අතින් ඉතා ඉහල මට්ටමේ ආහාරයක්.

මෙම ආහාර අරපිරි මැස්මට කදිම උදාහරණයක් වේ. උදෑසන ආහාර සැකසීමේ ප්‍රමාදය නිසා අද බොහෝ දෙනාට උදෑසන ආහාරය මග හැරීම සිදුවේ. අම්ල පිත්ත , දියවැඩියාව, මේද පරිවෘත්තිය අක්‍රමවත් වීමෙන් සෑදෙන තරබාරුව හදවත් රෝග වැනි බොහෝ බෝනොවන රෝග සදහා උදෑසන ආහාර වේල මග හැරීම හේතු වේ. නමුත් මෙම ආහාර ඉතා ඉක්මනින් පහසුවෙන් සාදාගත හැකි බැවින් එයටද කදිම විසදුමකි.

මොනවද මෙහෙම ගුණයි කියන්න තියෙන සාක්ෂි ?
වෙන සාක්ෂි මොකටද? තමන් ම අත්හදා බලන්න. දියබත් හීල් බත් වලට ඇග නිමෙනවා හරිම ගුණයි කියලා අපේ පැරැන්නන් කිව්ව නම් ඒක වරදින්න විදිහක් නෑනේ නේද?

එහෙම කිව්වට අපේ අය පිළිගන්න කැමති නෑ. ඒ නිසා මෙන්න පිළිතුර.
අපි අවට පරිසරයේ සහ වාතයේ වාසය කරන හිතකර ක්ෂුද්‍රජීවීන්( යීස්ට්..) බත් උපස්ථරය මත ක්‍රයාත්මක වෙනවා. එවිට බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වෙනවා. ( පීළුනු වන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වී කල් ඉකුත් වූ විටයි).

මෙම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා විටමින් B සහ විටමින් C වල සාන්ද්‍රණය ඉහළ යනවා. විටමින් B 12 ලබාගත හැකි ප්‍රචලිතම ක්‍රමය වන්නේ මස් වර්ග ආහාරයට ගැනීම වුවත් හීල් බත් හෝ දියබත් මගින් සැලකිය යුතු B12 ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.

එසේම මෙසේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා නිපදවෙන ලැක්ටික් අම්ලය මගින් නව බත් වල අඩංගු නමුත් අවශෝෂණය කළ නොහැකි බොහෝ ඛණිජ වර්ග (පොටෑසියම් , යකඩ,කැල්සියම්) අවශෝෂණය දහස් ගුණයකින් වැඩි කරනවා.

උදා:- නව බත් 100 g ක අඩංගු යකඩ ප්‍රමාණය 3.4 mg වන අතර, පැය 12 ක් තබන ලද හීල් බතෙහි මෙම යකඩ ප්‍රමාණය 74 mg පමණ වැඩිවී ඇත.

මෙම ආහාර කලින් පිසූ බත් වලින් පසුව සැකසුණු ජෛවීය ආහාර වන බැවින් රත් කිරීමෙන්, සේදීමෙන් ආදියෙන් පෝෂණ කොටස්, එන්සයිම , ප්‍රතිඔක්සිකාරක ආදිය හානි වීම වැළකී ඇත. එම නිසා සෞඛ්‍ය ට ඉතාමත් ගුණදායක වේ.

එසේම මෙම පැසීම් ක්‍රියාවලිය නිසා අලුතින් පිසූ බත් වලට වඩා සැහැල්ලු වන අතර ජීර්ණයට පහසුයි. මේ නිසා මෙම ආහාර වැඩි වේලාවක් ආමාශය තුළ රැදී නොසිටී. එසේම බත් හට්ටියේ අඩියේ ඉතිරි වූ දංකුඩ කොටස ක්ෂාරීය බවෙන් යුක්තය. මේ කරුණු නිසා අම්ල පිත්ත රෝගීන් ට ඉන් මහත් සහනයක් සැළසේ.

නව බත් වලට වඩා 60% ප්‍රමාණයකින් මෙම ආහාර වල කැලරි ප්‍රමාණය අඩුය. එම නිසා අද බොහෝදෙනාට ගැටලුවක් වී තිබෙන ශරීරයේ බර වැඩිවීමටද හොද පිළිතුරකි.

එසේම මෙම ආහාර වල අඩංගු වන ශරීරයට හිතකර වන බැක්ටීරියා වර්ග නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු කරන අතර ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට ද වැදගත් වේ.

ඇමරිකානු පෝෂණය සංගමය(A.N.A) පවසන ආකාරයට මෙසේ සකසන ලද බත් ශරීර ශක්තිය වැඩි වීමට, හිතකර බැක්ටීරියා වර්ග ශරීරයට ලබාගැනීමට, රාත්‍රිය පුරා ශරීර අභයන්තරයේ වැඩිවී තිබූ උෂ්ණත්වය සාමාන්‍ය කිරීමට, කෙදි සහිත බව නිසා මලබද්ධතාවයෙන් වැළකී සිටීමට, අධිරුධිර පීඩනයෙන් වැලකීමට, ශරීරය ප්‍රබෝධමත් කිරීමට, ශරීරයේ තුවාල සුව වීමට, තරුණ බව රැකීමට හේතු වන බව දක්වා ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)