දත් කැක්කුම පටස්ගාලා හොඳ කරගන්න නිවසේදිම කළ හැකි අත් බෙහෙත් රැසක්

ඔබ වයස අවුරුදු 16- 25ත් අතර නම් කෙසේ හෝ අවුරුදු 30ට පෙර කෙළවරේ දත් නැත්නම් හක්කේ දත් ඒමට පටන් ගන්නවා. මෙය ඔබට දැඩි ලෙස වේදනා ගෙන දෙන්නක් වෙනවා. මුඛයේ කෙළවර දත් හතරක් තියෙනවා . මේ වට widsom tooth කියලත් කියනවා .මේ දත් ටික එන්නේ අනිත් දත් ඔක්කොම ආවට පස්සේ. එම නිසා සමහර වෙලාවට මේ හක්කේ දත් 4 නිසියාකාරව උඩට එන්න ඉඩ මදි වෙන්න පුළුවන්. ඒක නිසා එයාලට ඉඩක් හදාගෙන ආයාසයෙන් උඩට එන්නයි සිද්ධවෙන්නේ. මේ හේතුව නිසා එම දත් අනෙත් දත් අතර හිරවෙන්න පුළුවන්. එසේත් නැතිනම් විවිධ හැඩවලට මේ දත් වර්ධනය වීමට ඉඩ තියෙනවා. මෙසේ දත් නිසියාකාරව නොපිහිටිම හේතුවෙන් ආහාර ගැනීමේදී අපහසුතාවයන් දැනීම, හිසරදය, විදුරුමස් ඉදිමීම, නිසියාකාරව දත් මැදීමට නොහැකි නිසා දත් වල මැලියම් බැඳීමෙන් දුර්ගන්ධයක් හැමීම වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ තියෙනවා.

මෙසේ ඇතිවන වේදනාව දරාගැනීමට බැරි තරම් එකක්නම් හෝ අඛණ්ඩ වේදනාවක් පවතී නම්ඔබ කළ යුත්තේ දන්ත වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ගැනීම ය. මෙහිදී හොඳම ක්‍රමය වන්නේ එම දත ගලවා අයින් කර දැමීමය. ඒත් දන්ත වෛද්‍යවරයකු හමුවට යාමට පෙර මෙම දත් කැක්කුමෙන් මිදීම සඳහා ගෙදරදීම ඔබට කළ හැකි පිලියම් කීපයක් තියනවා.

දත් කැක්‌කුමට ප්‍රතිකාර – කරාබුනැටි තෙල්
දත් කැක්‌කුමෙන් අසහනයට පත් මොහොතක ඔබට භාවිත කළ හැකි සාර්ථකම ප්‍රතිකාරය මෙයයි. කරාබු නැටි තෙල් සහ පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලක පොඟවා වේදනාව ගෙන දෙන දත අසලින් රඳවා තබා ගැනීම කළ යුතුයි. විනාඩි කිහිපයකින් ඔබේ දත් කැක්‌කුමෙන් ඇතිවන වේදනාව සමනය වන්නේ ඔබට සහනයක්‌ සැලසීමෙනුයි. කරාබුනැටිවල පවතින ප්‍රතිබැක්‌ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්ත්වය සමනය කරන ගුණය මෙම වේදනාව ස්‌වාභාවිකව සමනය කිරීමට හේතුවක්‌ වේ.

දෙහි
ආහාර රස ගැන්වීමට පමණක්‌ නොව රෝග සුවපත් කිරීමේදී ආයුර්වේදයේදී බහුලව දෙහි භාවිතයට ගනියි. දත් කැක්‌කුම නිසා ඇතිවන වේදනාවේදී දෙහි යුෂ ස්‌වල්පයක්‌ පුළුන් කැබැල්ලක තවරා වේදනාව ඇති ස්‌ථානයේ ඇතිල්ලීම කළ හැකියි.

දෙහිවල සිට්‍රික්‌ අම්ලය හා විටමින් සී යන පෝෂණ සංඝටක අඩංගුයි. දත් වලට මෙන් විදුරු මස්‌ සඳහා සුවයක්‌ ලබාදීමට ප්‍රතිඔක්‌සිකාරක ලෙස ක්‍රියාකරන්නේ සිටි්‍රක්‌ අම්ලය හා විටමින් සී යන සංඝටකයි.

ඉඟුරු
ඉඟුරු නිවසක අනිවාර්යයෙන්ම පවතින ඔසුවකි. ඉඟුරු කැබැල්ලක්‌ තලා එම තලපය ඔබගේ දත් කැක්‌කුම පවතින ස්‌ථානයේ තැබීම කළ හැකියි.

ඉඟුරුවල ඇති සැර ගතිය හේතුවෙන් ප්‍රථමයෙන් යම් අපහසුතාවක්‌ දැනුවාද සුළු වේලාවකින් පසුව දත හිරිවැටී ඇති බවත් ඔබට දැනෙයි. ඉන් අනතුරුව ඔබට සහනයක්‌ ලැබී දත් කැක්‌කුම සුව වේ.

රතු ළූණු
පිළිකා මර්දක ගුණයක් සහ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් රතු ළූණු සතුව පවතිනවා. මෙම හේතුව නිසා ඔබේ මුඛයේ කැක්කුම පවතින දත් වටා ඇති විෂබීජ මර්දනය කිරීමේ හැකියාවක් රතු ළූණු වලට තිබෙනවා. එම නිසා ඔබට එයින් සහනයක් ලබාගත හැකි වෙනවා. ඔබ කල යුත්තේ ලූණු පෙත්තක් කපාගෙන එය අදාළ දත් කැක්කුම් තිබෙන ස්ථානයන් වලට ළූණු ඉස්ම හොඳින් තැවරෙන පරිදි පොඩි වනතෙක් හපන්න. ඔබට එහෙම හපන්නට අපහසුනම් ළූණු පෙත්තක් අදාළ ස්ථානයෙහි මිනිත්තු කීපයක් තබාගෙන සිටින්න.

ලුණු වතුර
ලුණු කුඩු තේ හැන්දක් උණු වතුර සමඟ මිශ්‍ර කරන්න. එය හොඳින් දිය වන තෙක් කලවම් කරන්න. සාදාගත් මිශ්‍රණයෙන් තප්පර 30 ත් 60 ත් අතර කාලයක් හොඳින් කට සෝදන්න. මෙය දිනකට දෙවතාවක් තුන්වතාවක් සිදුකරන්න.

ලුණු
දත් කැක්‌කුම ඇති ස්‌ථානයේ ලුණු තබාගෙන මඳ වේලාවක්‌ සිටීමෙන් ඔබට සහනයක්‌ හිමිවේ.ලුණුවල පවතින විෂබීජ නාශක ගුණය මගින් දත් ආශ්‍රිත ඇති විෂබීජ නාශනය කිරීමක්‌ද සිදු වේ.

අයිස් කැට
ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

වැනිලා සාරය
මෙය දත් කැක්කුම සදහා ඉක්මන් සහනය ලබාදෙන ක්‍රමයක් වනවා.ඒ සදහා ඔබ කලයුතු වන්නේ පුළුන් කැබැල්ලක වැනිලා සාරය තවරා වේදනා සහිත ස්ථානයේ ආලේප කිරීම පමණයි.

ගම්මිරිස් හා ලුණු
ගම්මිරිස් හා ලුණු කියන්නේ බැක්ටීරියා ප්‍රතිවීරෝධී සංයෝගයක් වනවා. ලුණු සහ ගම්මිරිස් එකට දමා කලවම් කර වතුර බිදු කිහිපයක් එක් කර වේදනාකාරී ස්ථානයේ ආලේප කර මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හරින්න.

පෙපමින්ට් තේ බෑග්.
මෙම පෙපමින්ට් තේ බැග් මගින් වේදනාකාරී දත් හිරි වැටීම හා සුව කිරීමේ ගුණ තිබෙනවා. ඔබ මේ සදහා කලයුතු වන්නේ ශීත කළ තේ බෑග් එකක් ආසාදිත දත මත තැබිම හෝ තේ බෑග් එක කඩා එහි ඇති ද්‍රව්‍ය ආසාදිත ස්ථානයේ ආලේප කිරීම පමණයි.

පේර කොළ
ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් සහ වේදනාවන්ට ඉක්මන් සහන සැලසීමේ ගුණයක් පේර කොළ සතුව පවතිනවා. දත් කැක්කුම් නැති කිරීමට පේර කොළ මහඟු ඖෂධයක් වෙනවා. ඔබ කළ යුත්තේ පේර කොළ කිහිපයක් ගෙන අදාළ වේදනාවන් ඇති ස්ථානවලට එහි යුෂ හොඳින් තැවරෙන පරිදි කටේ දමා හැපීම පමණයි.
සුදු ළූණු

සුදු ළූණු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිජීවක ගුණයන්ගෙන් යුක්තය. මේ ලක්ෂණ නිසාම සුදු ළූණු සතුව වේදනාවට සහනයක් ලබා දීමේ හැකියාව පවතිනවා. තවද සුදු ළූණු වලට ඔබේ මුඛයේ ඇති බැක්ටීරියා මර්ධනය කිරීමට ද පුළුවන් වෙනවා. සුදු ළූණු ගෙඩියක් සමඟ කරාබුනැටි දෙකක් තුනක් ගෙන හොඳින් අඹරාගන්න. මෙසේ තලපයක් ආකාරයට සාදාගත් මිශ්‍රණය අදාල කැක්කුම ඇති ස්ථානයන්හි විනාඩි කිහිපයක් තබාගෙන සිටින්න.

කුරුදු තෙල්
දත් කැක්කුම ඇති ස්ථානයෙහි කුරුදු තෙල් ස්වල්පයක් ආලේප කරන්න.

අමතර උපදෙස් කිහිපයක්
වේදනාවට ලක් වූ දතට පිටින් කම්මුලට අයිස් පැකට්ටුවක් තබන්න. ක්ෂණික සහනයක් ලබාගැනීම සඳහා බලපෑමට ලක් වූ ප්‍රදේශය මත චීස් කෑල්ලක් තබාගන්න. ප්‍රතිබැක්ටීරියා දියරයකින් මුඛ සෝදන්න. ඕනෑම දැඩි ආහාරයක් නොගැනීමට වගබලාගන්න. ඔබේ දත් සහ දිව හොඳින් මදින්න. පැණි රස ආහාර ගැනීම හැකිතාක් දුරට අඩු කරන්න. ප්‍රමාණවත් ජලය පානය කරන්න.

ඔබ දත් කැක්කුමෙන් පෙළෙන විට ඉහත සඳහන් ක්‍රම අනුගමනය කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. නමුත් ඉහත සඳහන් පිළියම් සියල්ල තාවකාලික විසඳුමක් බව මතක තබා ගන්න. සමහර පුද්ගලයන් සඳහා මෙම ක්‍රමවේදයන් භාවිතා කළ හැකි අතර සමහර පුද්ගලයන් සඳහා මෙය නොගැලපෙන බව මතක තබා ගන්න.ඔබ දැඩි ලෙස වේදනා විදිනවනම් හොදම විකල්පය වන්නේ දන්ත වෛද්‍යවරයකු වෙත යෑම යි.

(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)