දුර ගමනක් යන විට ඔබටත් කරකැවිල්ල ඔක්කාරය වමනය හා ශාරීරික විඩාව ඇති වෙනවද?

වාහනයක දුර ගමනක් යද්දී ඔබට කරකැවිල්ල ඔක්කාරය වමනය එනවාද? කඳු පල්ලම් සහිත වංගු පාරක යද්දී ඒ ගතිය තවත් වැඩිවනවා ද? එසේ නම් බෝට්ටුවක, නැවක, ගුවන් යානයක යද්දී එය තවත් උග්‍ර වේවි.. ගමන් අසනීපය (travel sickness) ලෙස හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය රටේ ජනතාවෙන් තුනෙන් කොටසක පමණ පිරිසක් පීඩාවට පත් කරන්නක්.  කරකැවිල්ල ඔක්කාරය වමනය ශාරීරික විඩාව එහි ලක්ෂණයි.

එය ඇතිවන්නේ කොහොම ද?
අපගේ ශරීරය චලනය වනවිට එහි සමබරතාව මෙහෙයවීම සඳහා මොළයට පණිවිඩ දෙන්නේ කන ආශ්‍රිත උපකරණ පද්ධතියක් මගින්. ශරීරය සෙලවීමේදීත්, ගමන් කිරීමේදීත් ඇස ට දැනෙනා චලනය සමග එය ගලපා ගන්නා මොළය අවශ්‍ය සමබර තාව සඳහා සිරුර මෙහෙයවනවා. වාහනයකින් ගමන් ගන්නාවිට මෙය මඳක් වෙනස්වනවා. වාහනය සැබැවින් ම ගමන් ගත්තත් වාහනය තුළ සිටින්නා සිටින්නේ එතැනමයි. ඇස වාහනය තුළ දකින්නේ චලනය නොවන පරිසරයක් . කන ඇතුළේ ඇති උපකරණ පද්ධතිය , මොළයට සිරුර ගමන් ගන්නා බව ට වාර්තා කරන අතර ඇස මොළයට පවසන්නේ ගමන් නො ගන්නා බවයි. මේ නො ගැලපෙන වාර්තාවලින් ව්‍යාකූලවන මොළය තේරුම් ගන්නේ ආහාර මාර්ගයට වසක් විසක් ඇතුළු වූවාක් වැනි අමුතුම තත්ත්වයක් ලෙසයි. ප්‍රතිපලය වන්නේ වසවිසෙන් මිදීමට ස්වාභාවික වම ඇතිවන වමන ඔක්කාර තත්ත්වයයි.

ගමනේ දී ඇස් පියා ගෙන සිටීම හෝ නින්දක් ලබාගැනීම මගින් ඇස හා කන අතර විෂමතාව මොළයට නිරාකරණය කරගත හැකිවීමෙන් රෝගය අඩුවනවා. චුයින්ගම් හෝ වෙනත් ආහාරයක් දිගටම සපමින් සිටින්නේ නම් එවිටද තත්ත්වය යහපත් වනවා. ඉඟුරු කෑල්ලක් හෝ ඉඟුරු මිශ්‍ර කිසිවක් නම් වඩාත් සුදුසුයි. වාහනයේ සිට පෙනෙන ඈත ම ස්ථානය දෙසට නෙත් යොමු කොට ගෙන සිටීමෙන්ද අපහසුව අඩුවනවා. වාහනය තුළ ට පිටතින් ගලන නැවුම් සිසිල් වාතය ද රෝගියා ට සුව සලසනවා. වාහනය තුළ පොත්පත් කියවීම, හිස පහතට නමා ගැනීම, හෝ උකුළු මත හිස තබා ගැනීම, රෝගය වැඩිවීමට හේතුවක්. මේ තත්ත්ව‍යෙන් මිදීමට ඇතැමුන් කෙමක් කරනවා. ඒ වාහනයේ හිඳ ගන්නාවිට කතා නො කර ආසනය මත පත්තර පිටුවක් එළා හිඳ ගැනීමයි.

ගමන යාමට පෙර දින රැයේත් ගමන පිටත් වීමට පැය බාගයකට පෙරත් Cinneragine හෝ Promethazine වැනි ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමෙන් ගමන් අසනීපයට සහන අත්කර ගත හැකියි.

(වෛද්‍ය ලේඛනයක් ඇසුරිනි)