දරු ඵල පමාවන කාන්තාවන්ට දරු ඵල හිමි කරදෙන දිව්‍ය ඔසුව ‘තැල් කොළ’

පෙර මෙරට පැවති රාම රාවණ යුද්ධයේ දී හී පහරින් තුවාල ලද්දවුනට ඔසු පිණිස ලක්ෂමණ, ඉන්දියාවේ හිමාල වනයෙන් මෙහි ගෙනෙන ලදුව ව්‍යාප්තවූයේ යැයි ජනප්‍රවාදයේ කියැවෙන තැල් කොළ ත්‍රිවෘත් (Convolvulaceae) කුලයට අයත් වැල් ශාකයක්.ඉන්දියාවේ පමණක් නොව දකුණු අප්‍රිකාව මලයාව, චීනය මලයාසියාව ඔස්ට්‍රේලියාව වැනි රටවල ද දක්නට ලැබෙන තැල් මෙරට මහමඩු අඳුන් පලා නම් වලින්ද, සංස්කෘත දෙමළ භාෂාවලින් ලක්ෂමණ, කුලීනි, නාගිනී, මංජිකා, විරුතාලි, විරුඩාලි ආදි නම්වලින්ද හඳුන්වනු ලබනවා.රස තැල්, වස තැල්, ලප්තැල්, ගොතැල්, වශයෙන් ප්‍රභේදකර දැක්වෙන තැල් වැල් , ලා දම්, සුදු, කහ, වර්ණ මල් වලින් අලංකාරවනවා.

තැල් වටිනා ඔසුවක් මෙන්ම රසවත් ආහාරයක්.අබ කහ සුදුලූ නු ගොරක සමග හීන් කොච්චි පුපුරුවා දමා මිටිකිරි ස්වල්පයකින් උයාගන්නා තැල් කොළ ඇඹුල දිව පිනවන , රසවත් වෑංජනයක්. පෙර රජුන්ගේ බොජුන් පතටත් තැල් කොළ ඇඹුල එක්කරගත් බව සඳහන්. තැල් කොළ, කැඳ මැල්ලුම, නියඹලාව ආදි වශයෙන් ද සකසා ගනු ලබනවා .ආහාර ලෙස වැඩි වශයෙන් යොදාගන්නේ දුඹුරු දම් පැහැති ලප සහිත කොළ ඇති රස තැල් නම් විශේෂයයි.

හෙළ වෙදකමේත් ආයුර්වේදයේත් ඖෂධ පිණිස යොදා ගන්නා තැල් වා පිත් සෙම් තුන් දොස ම සමනය කරන්නක් ලෙස සැළකෙන්නක්. එය විෂ නාශකයක්, ආහාර රුචිකාරකයක් මුත්‍රාකාරකයක්, ලෙස ක්‍රියාත්මක වන්නක්. තැල් කොළ යුෂ එළඟිතෙල් සමග මිශ්‍රකර දින තුනක් පානය කිරීමෙන් මුත්‍රා ආබාධ පාලනය කරගත හැකි බව වෛද්‍ය ලේඛනවල දැක්වෙනවා.

වෙනත් ආහා‍රවලින් ඇතිවන විෂකොටස් බැහරකිරීමට ද ඊට හැකි බව සඳහන්. එය උදර , හදවත්, අක්මා, වකුගඩුරෝගවලට එරෙහිව ක්‍රියාකරන්නක්. අම්ල පිත්ත රෝගය දුරුකරන්නක්. එසේ ම ස්වාශ කාශ ආදි ශ්වසන පද්ධති රෝගද පාලනය කරන්නක්. තැල් කොළ කැඳ, මැල්ලුම් ආදියෙන් දීර්ඝ කාලීන කැස්ස සමනය කරගත හැකි බව ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා.

තැල් කොළ කාන්තාවන්ට වටිනා මිතුරෙක්. එය ඔවුන්ගේ ගර්භාෂ ආශ්‍රිතව ඇතිවන ප්‍රදර හා ආර්තව රෝග තත්ත්වයන් පළවා හරිනවා. දරු සම්පත් අහිමි විට එය හිමිකර ගැන්මට උපකාරිවනවා. දරුවකු පිළිසිඳ ගත්විට මුල් සමයෙහි ඇතිවන වමන ඔක්කාර ගති දුරහැර ආහාර රුචිය ඇතිකරගැන්මට සහාය වනවා. දරුවකු ලද විට මවුකිරි වර්ධනය කර දෙනවා.
වෙද ඉසිවරුන් පවසන්නේ තැල් කොළ යුෂ එළකිරි සමග නිසි කල්හි පානය කිරීමෙන් දරු පල අහිමි කතුන්ට දරු සම්පත් හිමිකරගත හැකි බවයි .කොළ යුෂ නෙල්ලි යුෂ සමග පානය කිරීම ද ඒ සඳහා පලදායක බව සඳහන්.

කාන්තා රෝගවලට ගුණ දෙන ලක්ෂ්මණාරිෂ්ටය සකසනුලබන්නේ තැල් ශාකයේ පංචාංගය යොදාගෙනයි. එය බටු තෙල් නිෂ්පාදනයටත් යොදා ගන්නා බව සඳහන් වෙනවා.

දැඩි ගමන් වෙහෙසින් සෑදෙන උණ සුවකිරීමට තැල් කොළ උපකාරිවනවා. පාදයේ උල් ඇනුණු විට ප්‍රතිකාරකිරීමටත් එය යොදාගනු ලබනවා.

ගොතැල් නමින් හඳුන්වනු ලබන කහ තැල් කොළ (Merremia hederacea) සමෙහි ඇති වන ගෙඩි වණ තුවාල සුවකිරීමට යොදා ගන්නා බව ආයුර්වේදය සඳහන් කරනවා .එහි කොළ , පලා ඇඹුල ලෙස ආහාරයට යොදාගන්නා බවද සඳහන්.

වස තැල් (Ipomoea obscura) නම් ප්‍රභේදය සර්ප විෂ දුරලීමටත් ඇස් වෙදකමටත් උපයෝගීකරගන්නා අතර සිරුරේ ඇතිවන තැලීම් වලදී එහි කොළ අඹරා බඳිනු ලබනවා. නමින් වස තැල් වුවද එය කොළ කැඳ ලෙසත් සකසා ගන්නා බව සඳහන්වෙනවා. එහි විස ගති ඇත්තේ බීජයෙහි බවයි පළවෙන්නේ.

(මූලාශ්‍ර හා සේයා රූ- ඔසුපැළ හඳුනාගනිමු පූර්ව සංවාද , වෛද්‍ය ලේඛන, හා අන්තර්ජාලය ඇසුරිනි.)