රුධිර නාලිකා වල තැන්පත් වී ඇති කොලෙස්ටරෝල් දියකර හරින ඖෂධීය පානයක්

රුධිර නාළිකා වල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසාත්, එහි නිසි පාලනයක් නොමැති වීම නිසාත් බොහෝ දෙනෙකු තදබල රෝගාබාධයන්ට ලක් වෙනවා. හෘදයාබාධ, ආඝාතය හා ඒ නිසා හටගන්නා අංශභාග රෝග තත්වයන් ඒ අතරින් විශේෂයි. නමුත් රුධිර නාළිකා වල තැන්පත් වූ කොලෙස්ටරෝල් දිය කර හරින විශේෂිත ඉපැරැණි හෙළ වෙද වට්ටෝරු අපේ පාරම්පරික වෙදකම තුළ පවතිනවා.

මේ වට්ටෝරුව ඇසුරින් ප්‍රතිකාරය ඇරඹීමට පෙර සම්පූර්ණ රුධිර විශ්ලේෂණ පරීක්ෂණයක් ( FBC) කරන්න. ඉන්පසුව ප්‍රතිකාරය නිම වී දින 04 කින් පමණ පසුව නැවත එම පරීක්ෂණය සිදුකළ විට අහිතකර කොලෙස්ටරෝල් අගය පහත වැටී තිබෙන අයුරු ඔබට දැකගැනීමට හැකියි.

ඖෂධය පිළියෙල කරගන්නා ආකාරය
මෙම ප්‍රතිකාරය පිළියෙල කරන්නේ මෙහෙමයි. කළුදුරු, සුවඳ කොට්ටන්, එරඬු මුල්, ලුණුවිල, අමු ඉඟුරු, රසකිඳ, ඉඟුරු පියලි, කොළ අරළු, වැල් කහඹිලියා, සිරිතේක්කු, සාරණ මුල්, බෙලි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, පළොල් මුල්, හීන් මිදි මුල්, සල්වැන්න, පුස්වැන්න, එළබටු මුල්, ගොකටු මුල් සම සමව ග්‍රෑම් 27 බැගින් අරගෙන හොඳින් පිරිසිදු කර කොටාගන්න. නැතිනම් හීනියට කපාගන්න. ඒ සියල්ල ප්‍රමාණයෙන් තරමක් විශාල නැවුම් මුට්ටියකට හෝ කළ ගෙඩියකට දමා පිරිසිදු වතුර බෝතල් 16 ක් ඊට එක්කරන්න. එහි කට වැසෙන පරිදි පිරිසිදු රෙදි කැබැල්ලක් බඳින්න. ඊට උඩින් යකඩ කැබැල්ලක් තබන්න. ඉන්පසුව එය එක් දිනකුත් එක් රැයක් ඒ අයුරින්ම තිබෙන්නට හරින්න.

ඉන්පසුව මේ මුට්ටිය හෝ කළ ගෙඩිය මද ගින්නේ එක දිගට දින 03 ක් පමණ ළිප තබා බෝතල් තුනකට සිඳුවා කිහිප සැරයක් එය පෙරා වීදුරු බෝතල් 03 කට අසුරාගන්න. මෙම බෝතල් තුන ශීතකරණයේ තබන්න.

මෙම ඖෂධයෙන් අඬු කෝප්ප කාල බැගින් උදේට හිස්බඩට බොන්න. ඒ වගේම උදේට මෙනේරි හාල් කැඳ ටිකක් බොන්න. පස්වරුවේ 05.00 ත් 06.00 ත් අතර කාලය ඇතුළත ඖෂධයෙන් තවත් අඬුකෝප්ප කාලක් බොන්න. මේ ආකාරයට සකසාගත් ඖෂධ දින 16 ක් පමණ භාවිතයට ගත හැකියි. ප්‍රතිකාර නිමවී දින 04 කට පමණ පසුව නැවත සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ගෙන බලන්න.

එපමණක් නොවේ අක්මා පරීක්ෂණ ( Liver Profice) වාර්තාවක් හෝ Scan වාර්තාවක් ලබාගත හොත් අක්මාවේ අහිතකර මේදයද ඉවත්ව ඇතිබව ඔබට නිරීක්ෂණය කළ හැකියි. නමුත් ඉහත ප්‍රතිකාරය අක්මාවේ මේදය ඉවත් කිරීමට වඩා රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කරන ප්‍රතිකාරයක් හැටියටයි භාවිතයට ගැනෙන්නේ. මෙම ප්‍රතිකාරය ලබා ගන්නා කාලය තුළ තෙල්, බැදුම්, මස්, මාළු හා මිටිකිරි දමා පිසින කෑම අඟුණයි. මෙම ප්‍රතිකාරය අත්දුටු ප්‍රතිකාරයකි.

තොරතුරු :- වෛද්‍යාචාර්ය එන්. බී. වීරප්පෙරුම මහතා, සැකසුම :- හෙළ අරණ™️
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)