ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුවකරන විශ්මිත වට්ටක්කා යුෂ පානය

අපේ දේශීය ආහාර පානයන්හි ගුණාත්මක භාවයට සිදුව ඇත්තේ බලවත් හානියකි. අපේ දේශීය කෘෂිකර්මාන්තය අවුරුදු දහස් ගණනක් පැරණි සෞඛ්‍යයට අහිතකර නොවන මහා තාක්‍ෂණයකින් හෙබි කෘෂිකර්මාන්තයකි. මින් ඈත්වී ජාන තාක්‍ෂණය සමග අත්වැල් බැඳගෙන ඊනියා .හරිත විප්ලවය. සමග වස විස මුසු ගොවිතැනකට හුරු පුරුදු වූ අපි අද වනවිට ‍අපේ දේශීය ආහාරවලින් අපේ සෞඛ්‍යය තත්ත්වය රැක ගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයන්ගෙන් බැහැරව කටයුතු කරන්නෙමු. ඉන් ලැබෙන අනිටු ඵලද භුක්ති විඳිමින් සිටින්නෙමු. විශේෂයෙන්ම බෝ නොවන රෝග ගණයට වැටෙන හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා, අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන් සුවිශාල පිරිසක් අද වන විට දක්නට ලැබෙන්නේ මෙම වැරදි ආහාර චර්යා රටා නිසාය.

විශේෂයෙන්ම ගෙඩි, වන, පිළිකා ඇතුළු විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන රෝගීන් සුවපත් කිරීමෙහිලා සුවිශේෂී හැකියාවක් දක්වන පාරම්පරික දේශීය වෛද්‍ය මාවතගම, ඊ.එල්.එම්.ටී. බණ්ඩාර වෙද මහතා සමග අප සංවාදයකට එළඹියේ එවන් දේශීය ආහාර පානවල ඇති ඹෟෂධීය ගුණය පිළිබඳ තොරතුරු අධ්‍යයනය සඳහාය. එහිදී අපට ඉතා පහසුවෙන් අපේ ගෙවත්තෙන්ම උපදවා ගත හැකි, සපයා ගතහැකි ආහාර පාන රැසක් පිළිබඳව තොරතුරු වෙද මහතා අප හමුවේ තැබීය. එහිදී බොහෝ බෝ නොවන රෝග නිවාරණයට විශේෂයෙන්ම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් සුවය ලැබීම සඳහා ඉතා වැදගත් ගුණදායක එළවළුවක් ලෙස වෙද මහතා අපට .වට්ටක්කා. හඳුන්වා දුන්නේය. මේ වට්ටක්කා ගුණය පිළිබඳව වෙද මහතා අප සමග දැක්වූ අදහස්ය.

වට්ටක්කාව ගුණය අපේ පැරැන්ණන් ඉතා හොඳින් අවබෝධ කරගෙන හිටියා. මෑතක් වනතුරු මරණයක් වුනහම මිනිය මිහිදන් කරන දවසේ රාත්‍රියට නිවසේ සකස් වෙන චාරිත්‍රානුකූල .මළ බතටල අනිවාර්යයෙන්ම වට්ටක්කා යොදා ගත්තා. නිවසේ මරණයක් වුණහම ඒ නිවැසියන් සහ අසල්වාසීන් බොහෝ වෙහෙසට පත්වෙනවා. නිදි මරණවා. ශෝකය නිසා අඩනවා, වැලපෙනවා. මින් ශරීර ශක්තිය පිරිහෙනවා. දැඩි ලෙස වෙහෙසට පත්වෙනවා. .මළ බතට. වට්ටක්කා යොදා ගැනීමෙන් එහෙම නැතිවී ගිය ශක්තිය නැවත ලැබෙනවා. හෘදය වස්තුව නැවත යහපත් තත්ත්වයට පත්වෙනවා. ඒක එදින රාත්‍රී ආහාරයට වට්ටක්කා ආහාරයට ගැනීමෙන් පමණක් ක්‍ෂණිකව සිදුවෙනවා. මේ නිසා අපට හිතාගන්න පුළුවන් වට්ටක්කා කියන්නේ කෙතරම් ශක්තිජනක ආහාරයක්ද කියලා.

අද වනවිට රජරට වියළි කලාපයේ බහුලව පැතිරෙන මහා ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන වකුගඩු රෝගය එදා නොතිබෙන්න හේතුව නිතර වට්ටක්කා ආහාරයට ගැනීම. විශේෂයෙන්ම වට්ටක්කා ඇට මුත්‍රා සහ වකුගඩු රෝග මර්දනය කරන දිව ඔසුවක්, පණු රෝග නාශකයක් හැටියටත් වට්ටක්කා ඇට යොදාගන්න පුළුවන්. වර්තමානයේ අපි පුරුදුවෙලා ඉන්නෙ හොඳ දේ ඈත් කරලා නරක දේ ළංකර ගන්න. ආහාර අනුභවයේදීත් එහෙමයි. විවිධ රසකාරක අඩංගු ආහාරපාන තමයි අපි නිතර ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නෙ. ගුණය ගැන හිතන්නෙම නැහැ. රසය ගැන විතරයි හිතන්නේ. ඉස්සර මිනිස්සු වට්ටක්කාවල කිසිවක් ඉවත් කළේ නැහැ. වට්ටක්කා මාළුවක් හදනකොට පොත්ත, ඇට, මද මේ සේරම ඒ සමග මුසුකර ගත්තා. නමුත් අද ඇට, මද ඉවත් කරලා තමයි වට්ටක්කා ව්‍යංජනය හදා ගන්නේ. මළ ගෙවල්වල .මළ බතෙනුත්. වට්ටක්කා ඉවත් වෙලා. ඒ වෙනුවට දැන් දැන් ඒ දිනයට එන අයට පිරිනමන ආහාර වේලත් .කේටරින් සර්විස්වලින්. ගෙන්වා ගන්න පෙලඹිලා. මේ තත්ත්වයෙන් අප බැහැර වෙන්න ඔනෑ. සතියකට දෙතුන් වතාවක් තමන්ගේ ආහාර වේල්වලට වට්ටක්කා එකතුකර ගන්න ඕනෑ. ඉස්සර අය වට්ටක්කා තම්බලා පොල් එක්ක කෑවා. වට්ටක්කා ඇටයේ ඇති මදය ඉතා රසවත්, එම ඇටත් ඒ කාලයේ අය නිතර හපලා කෑවා. මේ වගෙන් තමයි අපේ පැරැන්නන් තමන්ගේ ජීවිතය ලෙඩ රෝගවලින් තොර නිදුක් නිරෝගී ජීවිතයක් හැටියට පවත්වාගෙන ගියේ.

මළ බද්ධය නැති කරන ඹෟෂධීය ගුණයෙන් යුක්ත වට්ටක්කා ස්නායු සහ රුධිර නාළ ශක්තිමත් කරනවා. පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම සඳහා වට්ටක්කා ඇටවලින් නිෂ්පාදනය කරන තෙල් භාවිතා කරනවා. ආයුර්වේද ක්‍රමයට නම් වට්ටක්කා ඇට චූර්ණ කරලා පැලැස්තරයක් හැටියට මෙම රෝග තත්ත්වයේදී භාවිතා කරනවා.වට්ටක්කාවල ඇති තන්තු, කෙඳි සහිත තත්ත්වය ආහාර දිරවීම පහසුකරවලා මළ බද්ධය සුවකරනවා.

ඒ නිසා අර්ශස්වලටත් සුදුසුයි. හෘද රෝග වළක්වා ගන්න, කොලොස්ටරෝල් පාලනයට, පෙණහළු සහ මුඛ පිළිකා ඇතිවීම වළක්වා ගැනීමට වට්ටක්කා ඉතා සුදුසුයි. මින් ඉතාමත් වැදගත් වන්නේ වට්ටක්කා ඇට, දියවැඩියාව, පිළිකා වැනි රෝගවලට වාගේම කුරුළෑ සුවපත්කර ගැනීමටත් වට්ටක්කා ඇට ඖෂධයක් හැටියට භාවිතා කරනවා. ඒ වාගෙම වට්ටක්කා කියන්නේ විෂබීජ නාශකයක්. සුව නොවන තුවාල පිරිසිඳු කරගැනීමට සහ කුෂ්ඨ රෝගවලදී වට්ටක්කා ලූණු මිශ්‍ර නොකර තම්බා එය තුවාලයේ ආලේප කර අපද්‍රව්‍ය, විෂබීජ ඉවත් කරගන්න පුළුවන්.

ළදරු පෝෂණයටද වට්ටක්කා තම්බා තලපයක් ලෙස සකස් කර එම දරුවන්ට ආහාරයට දිය හැකිය. රුව රැක ගැනීමටත් වට්ටක්කාවලින් ලොකු මෙහෙවරක් ඉටුවෙනවා. ‍සමේ සෛල ආරක්‍ෂාකර ගැනීම, අහිතකර කිරණයන්ගෙන් සම ආරක්‍ෂාකර ගැනීම, සමේ තෙතමනය රැක ගැනීම, හිස කෙස් වර්ධනය වාගේ දේවල්වලට වට්ටක්කා යොදා ගන්න පුළුවන්. වට්ටක්කා මදය මී පැණි සමග මිශ්‍රකර හිස කෙස්වල ගල්වා මිනිත්තු කිහිපයක් ගිය පසු සෝදා හැරීම හිසකෙස් සඳහා පෝෂණීය ප්‍රතිකාරයක්. වට්ටක්කාවලින් සාදා ගත්ත පල්පයක් තෙල් සහිත මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ තෙල් ගතිය ඉවත් වෙලා සමේ සෛල නිපදවීම වැඩිවෙලා මුහුණ පැහැපත් වෙනවා.

හැබැයි මේ සඳහා භාවිතා කළ යුත්තේ එදා අපේ ගමේ ගොඬේ, ගෙවත්තේ , හේනේ හැදුන දේශීය වට්ටක්කා. අද ඒ වෙනුවට බහුලව දකින්න තියෙන්නේ ජාන තාක්‍ෂණය උපයෝගී කරගෙන සකස් කරගත් බීජවලින් හැදෙන ඩුබායි වට්ටක්කා, මීමිනි වට්ටක්කා, කාබේරි වට්ටක්කා වැනි දෙමුහුන් වට්ටක්කා වර්ග. ඉන් අපේ දේශීය වට්ටක්කාවලින් ලැබෙන සම්පූර්ණ ගුණය උපරිමව ලබන්න බැහැ. යම් යම් පෝෂණ තත්ත්ව තිබුණත් අපේ දේශීය වට්ටක්කාවලට මේ ජාන තාක්‍ෂණ බීජවලින් හැදෙන වට්ටක්කා කිට්ටු කරන්නවත් බැහැ. මේ නිසා තවමත් නොනැසී පවතින දේශීය වට්ටක්කා බීජවලින් උපදවාගත් වට්ටක්කා වැළක්, දෙකක් අපේ ගෙවත්තේ වවාගෙන ඉන් ලැබෙන ඵලයෙන් ප්‍රයෝජන ගන්න දැන්වත් කටයුතු කරන්න ඕනෑ. වට්ටක්කා ගෙඩිය ඇට, මද පමණක් නෙමේ කොළ මැල්ලූම, දළු නියඹලාව බොහෝ ගුණදායක ව්‍යාංජන. විශේෂයෙන්ම වට්ටක්කා දළු නියඹලාව යකඩ, පොස්පරස්, විටමින් බී, ආදියෙන් පොහොසත්. හයිඩ්‍රොසයිනික් සහ ඇස්කෝබීන් කියන අම්ලයන්ද යම් ප්‍රමාණයකට වට්ටක්කා දළුවල අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මත් වතුර, දුම් වැටිවලට ඇබ්බැහිවෙලා ඉන්න අයට ඒවා භාවිතයෙන් ශරීරගත වන විස ශරීරයෙන් ඉවත්කර ගැනීමට නිතර වට්ටක්කා ආහාරයට ගැනීම හේතු වෙනවා. මෙම තත්ත්වයන් නිසා අප්‍රාණිකවන අඩාළ වන ඉන්ද්‍රියන් නැවත ප්‍රකෘතිමත් කරවනවා.

බොහෝ දුරට වට්ටක්කා දළු කිරට ව්‍යාංජනයක් විදියට සකසා ගන්නවා. ඒ වාගෙමයි දළු තෙම්පරාදුව කියන්නෙත් ඉතා රසවත් ව්‍යාංජනයක්. අවුරුදු සමයට හදන හත් මාළුවේ ප්‍රධාන එළවළුවක් වන්නේ වට්ටක්කා. ඒ වාගෙම විශේෂයෙන්ම දමිළ අය නිතර සාදා ගන්නා .සාම්බාරු හොද්ද. සඳහා අනිවාර්යයෙන් වට්ටක්කා සහ සියඹලා යොදා ගන්නවා. වට්ටක්කා නියඹලාව ඉතා රසවත් ගුණවත් ආහාරයක්. වට්ටක්කා කෑලි කපලා, එයට අවශ්‍ය තරමට මිරිස්, තුනපහ යොදලා, දෙවන කිරෙන් නැතිනම් දියකිරෙන් ලිප තබා හොඳින් ඉදුණාට පසු සුදුලුනු, ගම්මිරිස්, කහ, රතු ලුනු, පොල් ස්වල්පයක්ද සමග එකට අඹරා මිටිකිරිවලට එම මිශ්‍රණය දමා සකස්කර ගන්නා වට්ටක්කා නියඹලාව හරිම රසවත් වාගෙම ගුණදායකයි.

වට්ටක්කා යුෂ පානය කිරීම අම්ලපිත්ත (ගැස්ට්‍රයිටිස්) රෝග තත්ත්වය මර්දනය සඳහා ප්‍රබල ඔසුවක්. වට්ටක්කා ග්‍රෑම් 150 ක විතර ප්‍රමාණයක් හොඳින් පොඩි කරලා යුෂ ටික අරගෙන මී පැණි තේ හිඳි දෙකක් සහ ලූණු ස්වල්පයක් මිශ්‍ර කරලා පානය කිරීමෙන් මෙම රෝගී තත්ත්වය වහාම සමනය වෙනවා. මෙය පිපිඤ්ඤා, කොමඩු, ඩ්‍රැගන්ෆෘට් වැනි යුෂ මෙන් ඉතා රසවත් පානයක්.

මේ වට්ටක්කා යුෂ පානය නිවසට එන අයට සංග්‍රහ කරන්න සිසිල් පානයක් ලෙසත් යොදා ගන්න පුළුවන්. තවත් ටික දිනකින් එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්දත් එක්ක අපේ අය තෙල්කෑම, අච්චාරු වැනි දේවල් වැඩි වැඩියෙන් ආහාරයට ගන්නවා. එහෙම වෙනස් වන ආහාර ර‍ටාවන් සමග ගැස්රයිට්‍රිස් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ නිසා ඒ කාලයේ නිතර වට්ටක්කා සහ එහි දළු, කොළ ආහාර වේලට එකතුකර ගැනීමත් පානයක් ලෙස නිතර වට්ටක්කා යුෂ පානයත් ඔබ නිරෝගී කරන්න හේතු වෙනවා. මෙවර අලූත් අවුරුද්දේ නිවසට එන අයට සංග්‍රහ කරන්න වට්ටක්කා යුෂ සිසිල් පානයක් ලෙස යොදා ගන්න. ඉතින් මේ දේවල් වලින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)