බඩ පිපුම ඇති වීමට බලපාන හේතු සහ එයින් මිදීමට කළ යුතු දේවල්

බඩ පිපුම, පුරවා දැමීම කියන්නේ අපිට නිතර අහන්නට ලැබෙන මැසිවිල්ලක්. ඒවගේම සුභ ආරංචිය තමයි, මෙයට හේතුව හරියටම දැනගත්තොත් ප්‍රතිකාර කල හැකිබව. නිතර ඇතිවන බඩ පිපුම ඔබට අපහසුවක් වගේම බොහෝ කාන්තාවන්ට තම ආත්ම විශ්වාසය සහ තමන්ගේ ශරීරය ගැන සිතන ආකාරයට පවා බලපෑමක් සිදු කරනවා. දැන් අපි විමසා බලමු මේ සඳහා බලපාන සුලභ හේතු මොනවාද කියල..

ආන්ත්‍රික යීස්ට් අධිවර්ධනය
මෙය ඉතා සුලබ තත්වයක් වන අතර දීර්ඝ කාලීනව සහ බහුලව ප්‍රතිජීවක ඖෂධ භාවිතය මෙයට හේතු වෙනවා. එසේ ප්‍රතිජීවක බහුලව භාවිතා වන අවධි කිහිපයක් ලෙස, ළමාවියේදී කනේ අසාදන හෝ සෙම්ගෙඩි, යොවුන් වියේදී කුරුලෑ හෝ මුත්‍රා අසාදන සඳහා ප්‍රතිජීවක ලබා ගැනීම දැක්විය හැක. මේවා මගින් ඔබේ අන්ත්‍රයේ සිටින හිතකර බැක්ටීරියා විනාශ කරන නිසා, යීස්ට් වැනි අවස්ථාවාදී ක්‍ෂුද්‍ර ජීවින් වර්ධනය වීම සිදුවේ. මෙලෙස ඔබේ ශරීරයේ යීස්ට් ප්‍රමාණය වැඩි වන විට වායු නිෂ්පාදනය වැඩිවී බඩ පිපුම ඇතිවේ. මෙයට හේතුව යීස්ට් මගින් ඔබ ගන්නා ආහාර පැසවීමට ලක් කිරීමයි.

මෙය ප්‍රතිකාර කළ හැකි තත්වයක්. එනම් යීස්ට් ආහාර මාර්ගයෙන් ඉවත් කර හිතකර බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ සැලසීමයි.ඒ සඳහා සීනි රහිත ආහාර වේලක් ගැනීම, යීස්ට් විනාශ කිරීමට ඖෂධ ලබාගැනීම, හිතකර බැක්ටීරියා වර්ධනයට අවශ්‍ය ප්‍රෝබයෝටික්ස් ලබා ගැනීම කළ හැක.

ආහාර අමර්ෂ
මෙය ආහාර අසාත්මිකතාවයෙන් (Food allergy) වෙනස් වන්නේ, ප්‍රමාද වී ඇති වන ප්‍රතික්‍රියාවක් නිසයි, එනම් අසත්මිකතාවකදී නම් ආහාරයක් ගත් විගස කැසීම, ඉදිමුම සහ අසංරක්ෂත්වය(Anaphylaxis) යනාදිය ඇතිවන නමුත්, අමර්ෂයේදී එලෙස ක්ෂණික ප්‍රතික්‍රියාවක් සිදු නොවන නිසයි. ආහාර අමර්ෂය ප්‍රතිශක්ති ආතතිය(Immune stress) සහ ප්‍රදාහය(Inflammation) ඇති කරන බැවින් ආහාර මාර්ගය උද්දීපනය කර පිපීම ඇති කරයි. මේ සඳහා හේතු වන ආහාර ලෙස, කිරි ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර, සමහර පලතුරු (කෙසෙල්, අන්නාසි), රටකජු, තිරිඟු, ග්ලුටන් සහ ඉරිඟු ආදිය දැක්විය හැකියි.

මෙය රුධිර පරීක්ෂාවක් මගින් හඳුනා ගත හැකියි. ඒ වගේම ආහාර අමර්ෂය, අසාත්මිකතා, ඇදුම, එක්සීමා ආදියෙන් පීඩා විඳින හෝ විවිධ සමේ රෝග, ආහාර ජීර්ණයේ දුර්වලතා ඇති අය සහ දුර්වල පුද්ගලයන් තුල ඇති විය හැකියි. ඉහත සඳහන් කල ආහාර වර්ග නොගෙන සිටීමෙන් මෙම තත්වය අඩු කර ගත හැකියි.

ග්ලූටන් සංවේදීතාව හෝ සීලියැක් රෝගය(Celiac disease)
පසුගිය වසර 50 ක පමණ කාලයක සිට තිරිඟු වල ඇතිවී තිබෙන විශාල වෙනස්කම් හේතුවෙන් සහ ධාන්‍යයමය ආහාර පරිභෝජනය වැඩිවීම හේතුවෙන් මෙම තත්වය වර්ධනය වෙමින් පවතිනවා. ග්ලූටන් සංවේදීතාවය ඇති අය බඩපිපුම, මලබද්දය හෝ පාචනය යන රෝගී ලක්ෂණ වලින් පීඩා විඳින බව පවසනවා.
ග්ලුටන් සංවේදීතාව හෝ සීලියැක් රෝගය පවතින බවට තහවුරු කර ගත හැකි රුධිර පරීක්ෂාවන් ද සොයා ගෙන තිබෙනවා.එසේම අඩු විටමින් B12 ප්‍රමාණයක් පවතින, නිර්මාංශ නොවන පුද්ගලයන්ද මෙම තත්වය පවතින බවට හඳුනා ගැනීමට සලකුණක් ලෙස දැක්විය හැකියි.

ඔබට ග්ලුටන් සංවේදීතාව හෝ සීලියැක් රෝගය ඇති බවට හැඟෙනවා නම් රුධිර පරීක්ෂාවක් කර ගැනීමෙන් හෝ සති 5 ක කාලයක් ග්ලූටන් රහිත ආහාර වේලක් ගැනීමෙන් මෙය තහවුරු කර ගත හැකියි. උදා: සහල්, බාර්ලි, බතල ආදිය ග්ලූටන් වලින් තොරයි. එම සති 5ට පසු නැවතත් ග්ලූටන් සහිත ආහාර නැවත ගෙන ඒවාට ඔබේ ශරීරය දක්වන ප්‍රතික්‍රියා හඳුනා ගත යුතුයි.

ඉන්සියුලින් ප්‍රතිරෝධය
ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය ඉහල ගිය විට, අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරන හෝමෝනය ඉන්සියුලින්ය. එමගින් ග්ලුකෝස් සෛල වලට ගැනීම උත්තේජනය කරනවා. ඉන්සියුලින් ප්‍රතිරෝධය යනු සෛල ඉන්සියුලින් වලට මෙලෙස ප්‍රතිචාර නොදැක්වීමයි. මෙහිදී සිදු වන්නේ රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය ශරීරයට විෂ සහිත වන තරමටම වැඩි වීමයි. මෙහිදී ඇති වන රෝග ලක්ෂණ වන්නේ, ශරීරයේ බර වැඩි වීම, පිෂ්ටය සහ අධික පැණි රස සහිත කෑම වලට දැඩි ආශාවක් ඇති වීම සහ විඩාබර ගතිය සහ ආහාර ගැනීමෙන් පසු උදරය පිපුණු ස්වභාවයක් ඇතිවීම.

ඔබේ පවුලේ අයට දියවැඩියාව ඇත් නම් ඔබටද මෙය ඇති විය හැකි බැවින්, රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි. එසේම මෙය ඖෂධ, ආහාර පාලනය සහ ව්‍යායාම මගින් පාලනය කළහැකි රෝගයක් වන බැවින් සීනි සහ පිටි සහිත ආහාර පාලනය කිරීම, දිනපතා ව්‍යායාම කිරීම, එළවළු, ප්‍රෝටීන්, තන්තු බහුල ආහාර ගැනීම මේ සඳහා වැදගත් වේ.

ආහාර සංකලනයේ දුර්වලතා
විවිධ වර්ගයේ ආහාර එකවිට ගැනීම ඒවායේ ජීර්ණ ක්‍රියාවලියට බලපාන බව ඔබ දන්නවාද? මෙලෙස ආහාර නිසි පරිදි සංකලනය නොවීමෙන්, ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වේගය අඩු කරන බැවින් එය ආහාර අජීර්ණයට සහ බඩ පිපුමට හේතු වනවා

ප්‍රධාන ලෙස පලතුරු අනුභව කරන විට ප්‍රෝටීන් ආදී ආහාර සමග සංයෝග නොකර පලතුරු පමණක් අනුභව කල යුතුයි. ඒවගේම කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීන් සංකලනය නොකළ යුතුයි. මෙය නිර්මාංශික ආහාර වේලක් ගන්නා අයට කළනොහැකි තරම් වගේම, ඔබ මස් මාංශ අනුභව කරනවා නම් මෙය සිදු කිරීමට උත්සහ කරන්න. එවිට ආහාර ජීර්ණය පහසු වන බව සැබවින්ම අත්විඳිය හැකියි. උදාහරනයක් ලෙස, උදැසන පලතුරු යුෂ අඩංගු ආහාරයක්ද, ඉන්පසු නට්ස් වැනි අතුරු ආහාරයක්, දහවලට මස්මාංශ සහ එළවළු අඩංගු ආහාරයක්ද, රාත්‍රියේදී එළවළු සහ කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු (බතල වැනි) ආහාරයක් ද ගන්න.

අවිධිමත් ආහාර රටාව
බඩ පිපුම සඳහා තවත් හේතුවක් ලෙස අවිධිමත් ආහාර රටාව දැක්විය හැකියි. දිගු වෙලාවක් නිරාහාරව සිටීම සහ රාත්‍රියේදී වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම ආහාර ජීර්ණය අපහසු කරවයි. උදාහරයක් ලෙස උදෑසන ආහාරය නොගෙන, දහවල් වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම ඔබේ ජීර්ණ පද්ධතියට අහිතකර වන අතර එය රුධිර සීනි ප්‍රමාණය ක්ෂණිකවැ වැඩිවීමට හේතු වේ. මේ නිසා බඩ පිපුම ඇතිවේ.

නියමිත වෙලාවකට දිනපතා ආහාර ගන්නා විට ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියටද එය හිතකරයි. එම නිසා උදෑසන අවදි වී පැයක් තුල උදේ ආහාරයත්, දවසේ මැද කාලයේදී දහවල් ආහාරයත්, රාත්‍රී 7 ට පෙර රාත්‍රී ආහාරයත් ගැනීම ඉතා සුදුසුයි. උදෑසන අතර මැද කාලයේ සහ දහවල් මැද කාලයේ අතුරුපස වැනි යමක් ගත හැකියි

ජීර්ණක යුෂවල ඌනතාව
අග්න්‍යාශය මගින් නිපදවන ජීර්ණක යුෂ මගින් ඔබේ ආහාරය අවශෝෂණය කළ හැකි තත්වයට පත් කරනවා. එන්සයිම මගින් කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, ලිපිඩ සහ ලැක්ටෝස් බිඳ දමනවා. නමුත්, සමහර පුද්ගලයන්ගේ මෙම ජීර්ණක යුෂ නිපදවීම ප්‍රමාණවත් පරිදි සිදු නොවීමෙන් බඩ පිපුම, වේදනාව, අජීර්ණය ආදිය ඇති වෙනවා. මෙම ඌනතාව; 1) ආහාර මාර්ගයේ ඇති වන සුළු ප්‍රදාහයන්, 2)බැක්ටීරියා, යීස්ට්, සහ අනිකුත් පරපෝෂීන් අධිවර්ධනය, 3) අමශ්යික අම්ලිකතාව අඩු වීම, 4) දීර්ඝ කාලීන ආතතිය, 5) වයසට යාම, ආදී හේතු නිසා ඇති විය හැකියි.

ලැක්ටෝස් අමර්ෂයද (Lactose intolerance) මෙවැනි තත්වයක් වන අතර, මෙහිදී කිරි ආහාර නිසිලෙස ජීර්ණය වීම සිදුනොවේ. මෙවිට ඔබට කිරි ආහාර නොගෙන සිටීමට සිදුවේ. අනෙකුත් ඌනතාවන්ට තාවකාලික ජීර්ණක යුෂ, ආහාර සමඟ ලබා ගැනීම කළ හැක. කෙසේ නමුත්, මුලින්ම එන්සයිම ඌනතාවන්ට මූලික වන හේතු සොයා ඒවාට ප්‍රතිකාර කළ යුතුයි.

අනෙකුත් බැක්ටීරියා සහ පරපෝෂිත වර්ධනය
ඉහත සඳහන් කළ යීස්ට් වලට අමතරව ව්‍යාධිජනක බැක්ටීරියා සහ විශාල පරපෝෂිතයින් ආහාර මාර්ගය තුල වර්ධනය විය හැක. විශේෂයෙන්ම එවැනි වසංගත රෝග බහුල ප්‍රදේශ වල සංචාරය කිරීම නිසා පාචනය, බර අඩුවීම සහ විඩාබර ගතිය ඇතිවීම ආදිය ඇති විය හැකියි. මෙවැනි රෝග හඳුනා ගැනීම මෙන්ම ප්‍රතිකාර කිරීමද පහසුය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)