දියවැඩියාව නිට්ටාවටම සුවකරගන්න රෝගයට සුදුසු සහ නුසුදුසු ආහාර වර්ග

දියවැඩියා රෝගියෙකු ආහාර පාලනය කළ යුත්තේ කෙසේද? නිවසේ සියලු දෙනාටම ගැලපෙන සමබල ආහාර වේලක් සකස් කර ගන්න. සමබර ආහාර වේලක පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, ඛණිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය. සමබල ආහාර වේලක ප්‍රධාන අංගය වන්නේ පිෂ්ඨයයි. එය ලබාගත යුත්තේ, කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද කිරීමටත්, කුසගින්න දැනීම ප්‍රමාද කිරීමටත් උදව් වේ.

කෙඳි බහුල ආහාර :- නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුං ඇට, කඩල (තිරිඟු පිටි වලින් සාදනු ලබන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ අඩංගු නැති නිසා ඒවා සුදුසු නැත.) ඔබ ලබාගන්නා පිෂ්ඨ ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතු අතර, සෑම දිනකම එය එකම ප්‍රමාණයක් විය යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වළකින්න.

මේදය ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම වර්ගය ගැන සැළකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් භාවිතා නොකිරීම ගුණදායකය. පොල් තෙල් සුදුසු අතර ඒවා භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස්, යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නැත. ප්‍රෝටීන ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල, කව්පි, පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුල් මස් වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. කුඩා මාළු ඉතාමත් ගුණදායකය.

නියමිත වේලාවකට ආහාර ගන්න. ආහාර වේල් මඟ නොහරින්න. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, සීනි හෝ පැණි රහිතව මුදවන ලද කිරි ගත හැකිය. මෙහිදී ඉතාමත් අඩුවෙන් ගතයුතු ආහාර වන්නේ පුඩිං වර්ග, වටලප්පන්, ටොෆි, චොකලට්, අයිස්ක්‍රීම්, වැනි දෑ ය. ප්‍රධාන ආහාර වේල් අතරතුර ඔබට පලතුරක් (තරමක් ඉදුනු), පැණි රස නොමැති බිස්කට් එකක්, සීනි රහිත කිරි වීදුරුවක්, අතුරු ආහාරයක් ලෙස ගත හැකිය. රස කැවිලි වර්ග, කේක්, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ටඩ් කිරි වර්ග සහ මේද සහිත පිෂ්ඨය අධික කිරිපිටි වර්ග ලබා ගන්නේ නම් එය ඉතාම ස්වල්පයක් විය යුතුය. ඔබ තරබාරු නම් බර අඩු කර ගැනීමට උනන්දු වන්න. අධික කැලරි සහිත ආහාර අඩු කරන්න. තරබාරු බව අඩු කර ගැනීමෙන් දියවැඩියාව ඉතා හොඳින් පාලනය කළ හැකිය. ලුණු භාවිතය අඩු කරන්න.

දියවැඩියා රෝගීන්ගේ ආහාර සඳහා උපදෙස්. පහත සඳහන් ආහාර වලින් හැකිතරම් වැළකී සිටිය යුතුය.
සියලුම පැණිරස ආහාර වර්ග :- සීනි, හකුරු, මී පැණි, සිරප් වර්ග, රට ඉඳි, ටොෆි, කේක්, රස කැවිලි, තලගුලි, මස්කට්, පුඩිං වර්ග, වටලප්පන්, චොකලට්, පැණිරස, චුයින්ගම්, ජෑම් වර්ග, මාර්ෂ්මෙලෝස්, ජෙලි වර්ග, සිසිල් බීම, පැණිරස බීම වර්ග, පැණිරස යෙදූ පළතුරු යුෂ, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග, අයිස්ක්‍රීම්, ටින් කිරි, මෝල්ටඩ් කිරි පිටි.

පහත සඳහන් ආහාර වර්ග බහුල වශයෙන් ගත හැක.
සියලුම පලා වර්ග :- මුකුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති, කංකුන්, කතුරුමුරුංගා

පිෂ්ඨය අඩු එළවළු වර්ග :- බෝංචි, මෑකරල්, දඹල, වම්බටු, බණ්ඩක්කා, එළබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, තුඹ, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා, වට්ටක්කා, මුරුංගා, රතු ළූණු, හතු , මුං ඇට, කව්පි, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග.

පහත සඳහන් ආහාර වර්ග මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගත හැකිය.
ධාන්‍ය වර්ග :- නිව්ඩු සහිත බත්, සහල් පිටි ඉඳි ආප්ප සහ පිට්ටු යනාදිය, ආටා පිටි වලින් තැනූ ආහාර, රොටී, ඉඳි ආප්ප, කුරක්කන් පිට්ටු, තලප යනාදිය.

අල වර්ග :- අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, කැරට්, ඉන්නල, දන්දිල

පිටි සහිත එළවළු සහ පළතුරු :- අළු කෙසෙල්, කොස් සහ කොස් ඇට, දෙල්

මාංශ ආහාර :- කුකුල් මස්, බිත්තර සුදු මදය, මාළු

පැණි රස නොයෙදූ පළතුරු යුෂ :- දොඩම්, වැල් දොඩම්, දෙහි වර්ග

පළතුරු :- පැපොල්, කෙසෙල්, කොමඩු, (මද වශයෙන් ඉදුනු) වඩා සුදුසු වේ.

සාමාන්‍ය උපදෙස් :-
අධික කෙඳි සහිත ආහාර ගැනීම සුදුසුය. පරලු පාන්, සුදු පාන් වලට වඩා සුදුසුය. සුදු පාන් සහ සුදු පිටි වලින් සාදන කෑම හැකිතාක් සීමා කරන්න. කුරක්කන් සහ පලා වර්ග කෙඳි සහිත ආහාර වේ. කුරුට්ට සහිත හාල් සහ එයින් සාදන ලද ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර පාහින ලද හාල් සහ එයින් සාදන ලද ආහාර වලට වඩා සුදුසුය. හකුරු , සීනි මෙන්ම අහිතකරය. හරක් මස්, ඌරු මස් සහ එළු මස් විශේෂයෙන්ම සීමා කළ යුතුය. පළතුරු යුෂ පානයට වඩා එය පළතුරක් ලෙස කෑමට ගැනීම සුදුසුය. සත්ව තෙලට වඩා එළවළු තෙල් සුදුසු වේ. හෘද රෝග, අධික රුධිර පීඩනය, වකුගඩු හා අක්මා රෝග ඇති දියවැඩියා රෝගීන්ට ඉහත සඳහන් ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට සිදුවිය හැක.

(සැකසුම :- හෙළ අරණ™️)