රස ගුණ දෙන පිළිකා නසන රඹුටන්

වසරකට වරක් උදාවන වර්ණවත් රඹුටන් වාරය, කොපර් මදි වීමෙන් වැඩිහිටියන්ට, පසුකාලීනව ,ඇතිවිය හැකි නීරක්තිය, රුධිර නාල පිපිරීම්, හන්දිපත් වේදනා , නිරන්තර ආසාදන, ආදී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැන්මට උපකාරීවන අපූරු කාල සීමාවක් බව සඳහන් වෙනවා. කොපර් බොහෝ ආහාරවල නැති එහෙත් රඹුටන්වල යහමින් ඇති පෝෂකයක්. මැලේ ඉන්දුසියානු සම්හවයක් සහිත රඹුටන් ශාකය ශ්‍රීලංකාව ,ඇතුළු ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු මධ්‍ය අමෙරිකානු රටවලද පැතිර පවතින්නක්. එය Spanidaceae කුලයට අයත්. මෙරට මැලයන් රතු , මැලයන් කහ ,ලෙස නිර්දේශිත රඹුටන් ප්‍රභේද ත් වගාකරනු ලබනවා ඒ සඳහා ඉඩම් හෙක්ට්යාර් 3666 ක් යොදාගෙන ඇති බව සඳහන්.

රසවත් පලතුරක් වන රඹුටන් සීනි ද්‍රාවණයක ගිල්වා කල් තබාගත හැකි අතර ඇතැම් රටවල් ඒවා ටින් කර වෙළද පොළට යවනවා. දිනකට අවශ්‍ය C විටමින් ප්‍රමාණයෙන් 66% ක් රඹුටන් ග්‍රෑම් 100කින් ලබාගත හැකියි . එපමණක ශක්ති ඒකක 82 ක් අඩංගුයි. එසේ ම කොපර් මෙන්ම විටමින් B ප්‍රභේද වන නියැසින් රිබොෆ්ලෙවින්, ෆෝලේට් මෙන්ම, යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් මැන්ගනිස් තන්තු ,සෝඩියම් කාබොහයිඩ්‍රේට් ආදි පෝෂක හා, රසායන ගණනාවකින් සපිරි පලතුරක්. ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින් පොහොසත් . බැක්ටීරියා,වයිරස්, දිලීර නාශක ගුණ සහිතයි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන රෝග වළකනවා. එසේ ම නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග ද වළක්වනවා . විජලනය දුරුකරන්නක්, විෂ හා මේදය බැහැරකරන්නක්, ලේ වඩන්නක්, බර පාලනය කරන්නක් මෙන්ම පිළිකා වළකන්නක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් සිරුර නිරෝගි කිරීමට දායකවනවා .

රඹුටන් ගෙඩි මෙන්ම අනෙකුත් ශාක කොටස්ද ඔසු ගුණ සහිතයි. පැරණි වෛද්‍ය ක්‍රමවල ශාක මුල් වලින් ඔසුපැන් සකසා උණ රෝගවලට ප්‍රතිකාර ලෙස ලබා දෙනවා. කොළ තලපයක් සේ සකසා හිසේ කැක්කුම් සඳහා යොදාගන්නව ශාකයේ පොතුවලින් මුඛ ආසාදන දුරුකිරීමට ප්‍රතිකාර කරනවා. රඹුටන් විඩාව හා පිපාසය නිවන්නක් . හදවතටත් හිතකරයි .පොටෑසියම් ඇතුළු පෝෂක අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල්, මට්ටම් පාලනය කරමින් හදවත් රෝගවලට වැට බඳිනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් වර්ධනය කරමින් දියවැඩියාව පාලනය කරනවා. වකුගඩු පිරිසිදුකර දෙනවා. පණු රෝග පාලනය කරනවා. රුධිර සෛල වල ට හානිකරන විස දුරලමින් ඒවා මනාව පවත්වා ගනිමින් නීරක්තිය හා ඒ ආශ්‍රිතව ඇතිවන රෝග අවම කරනවා. විටමින් B සමග ස්නායු පද්ධතිය නිරෝගි කරමින් උදාසීන බව බැහැර කර ප්‍රබෝධය, හා කාර්‍යශීලිතාව ඇති කරනවා.

එසේම, මානසික ආතති බැහැරකර මනසත් සන්සුන් කර දෙනවා . කැල්සියම් මගින් අස්ථි හා දත් ශක්තිමත් වනවා. දන්ත රෝග හා විදුරුමසින් ලේ ගැලීම් ඉන් වළකා ගනු ලබනවා. ඒවායේ ඇති පොලිසැකරයිඩ , කොලෙස්ටරෝල් පාලනය , ආහාර ජීර්ණය පහසු කිරීම, මෙන්ම පද්ධතියේ පිළිකා ඇතිවීම ද වළකනවා . ඊට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද පාලනය කළ හැකියි. එසේම රඹුටන් ඇටවල අඩංගු NLTI ට්‍රිප්සීන් නිෂේධකාරකය ද මුල්කාලීන පිළිකා ගැට්ති වලට ප්‍රතිකාර කළ හැක්කක් බව සඳහන්වෙනවා. රඹුටන් ලෙල්ලත් පිළිකා නාශක සහිතයි. එහි රූප ලාවණ්‍ය වර්ධනයට යොදාගත හැකි රසායන ඇති බව ද සඳහන්. එහෙත් රඹුටන් ලෙල්ල කටින් සපා ඉවත් කිරීමෙන් එහි ඇති ඇතැම් විෂ සංඝටක තොල් ඉදිමීම් වැනි අපහසුතා ඇති කිරීමට හේතු විය හැකියි . රඹුටන්වල බහුල ප්‍රතිඔක්සිකාරක මගින් සෛල ආරක්ෂාකිරීම ට මෙන් ම විකෘතිවීම් වළක්වාලීමට ද හැකි බැවින් එමගින් ද පිළිකා වළකිනවා.

සෛල විකෘති වීම පාලනය කිරීමේ හැකියාවෙන් හදවත් රෝග, සම රැලි වැටීම් ආදියත් වළකිනවා. ඉන් සම නිරෝගි වී පැහැපත්ව,වඩාත් තරුණ පෙනුමක් ලැබෙනවා. එය ඇස් පෙනුමත් හිසකේත් වර්ධනය කරන්නක්. එසේ ම ශුක්‍ර වර්ධන‍ය කර ලිංගික හැකියාව ද වඩන්නක්. වසරකට වරක් පමණක් සිරුරට ලැබෙන මේ වාසි ලබාගන්නට රඹුටන් වාරයේදී හැකිවෙනවා. එහෙත් අසීමිත ලෙස රඹුටන් කෑමෙන් උගුර රිදීම, පලු දැමීම, වැනි අසාත්මික ලක්ෂණ ඇතිවිය හැකියි. උෂ්ණ ආහාරයක් බැවින් ඒ හා සමග කතුරු මුරුංගා බෙලිමල් වතුර වැනි සිසිලකර ආහාරපාන ගැනීමත් දිනපතා හොදින් නෑමත්, හිතකරයි. එසේ වුවත් කැස්ස, වකුගඩු රෝග, පොතු කබර, වාත රක්ත, බඩ දැවිල්ල ආදිය ඇතිවිට රඹුටන් කෑම සුදුසු නැහැ,

ලිපිය සැකැසුම Indra Rathnay
(මූලාශ්‍ර අත්තම්මාගේ අත් බෙහෙත් හා අන්තර්ජාලය ඇසුරිනි)