ආමාශගත රෝගවලට, වකුගඩු ආබාධ, දිය වැඩියාවට ගුණ දෙන ඇඹරැල්ලා

ඇඹරැල්ලා කියන්නේ පලතුරටත්, එළවළුවටත්, බෙහෙතටත් යොදාගන්න පුළුවන් වටිනා ශාකයක්.ගෙඩි ළපටි කාලයේ සිට ම පැසී ඉදෙන තෙක් වෑංජනයට සුදුසුයි. කහපාටවී ඉදුණු ගෙඩි, කැරොටින් ව්ටමින් C සපිරි ශක්තිය වඩන ආහාරයක්. වා පිත් සමනය කරන්නක්. ඉදුණු ගෙඩියක් උදේ ආහාරයට ගැනීම සිරුර නිරෝගි වීමටත් ශක්තිය වැඩීමටත් හේතු වෙනවා. එය හදවතට මෙන් ම දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. එසේ ම සම පැහැපත් කරනවා. කටහඬ මිහිරි කරනවා. මනස සන්සුන් කරනවා. විටමින් C, මෙන්ම A B 1 2 යකඩ කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් කැරොටින් තයොමින්, වැනි පෝෂක ගණනාවක් අඩංගු ඇඹරැල්ලා ගෙඩි කොළ පොතු යන සියල්ල ඖෂධීය ගුණයෙන් යුක්තයි.

දියවැඩියාවට මුත්‍රා ආබාධවලට හා ලේ අර්ශස් වලට විශේෂයෙන් ගුණදායකයි. ලේවල හා මුත්‍රාවල සීනි පාලනය කිරීමේ මනා හැකියාවක් පවතිනවා. මුත්‍රා මාර්ගයේ ඉදිමුම්, වේදනා සමනයට සමත්. අධික රුධිර වහනය වළක්වන ගුණයෙන් යුක්තයි.කක්කල් කැස්ස උදරාබා ධ තුවාල පිළිස්සුම් ,අක්ෂිරෝග, ස්නායු රෝග උගුරේ තුවාල, මුඛ ආසාදන අතීසාර, අර්ශස් ආදි රෝග ගණනාවකට ඖෂධ ලෙස යොදා ගැනෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. ඇඹරැල්ලා හදවතට හිතකරයි. හර්ද රෝග දුරලනවා. අධි රුධිර පීඩනය පාලනය කිරීමට හොඳම පලතුරක් සේ සැලකෙනවා සිරුරේ මේද තට්ටු දිය කරමින් කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර දෙනවා. වෙසෙසින් ම අමු ගෙඩි තරබාරු බව මග හැර දෙන්නක්. ස්නායු ආබාධ හා කුෂ්ට රෝග මැඬලන්නක්. එසේ ම එය හොඳ වේදනා නාශකයක්.හන්දිපත් වේදනා, ඉදිමුම් තැලීම් ආදියේදී ගසේ පොතු ලුණු දියෙන් අඹරා ගෑමෙන් සහන අත්වෙනවා.

ඇඹරැල්ලා ආමාශගත රෝගවලට සහන සලසමින් ආහාර ජීර්ණ පද්ධතිය ද ,නිසිලෙස ක්‍රියා කරවනවා. මල බද්ධය දුරු කරනවා . ආහාර රුචිය වඩනවා.ධාතු ශක්තිය වඩන වාජීකරණ ඖෂධයක් සේත් ක්‍රියාත්මකවනවා. ඇඹරැල්ලා කොළ , වකුගඩු ආබාධ , පිළිකා රෝගවලට හා කාන්තා රෝගවලට ගුණදායකයි. කොළ ,මැල්ලුමක් සේ ආහාරයට ගත හැකියි. ඇඹරැල්ලා දලු සිහින්ව ලියා පොල් , රතුලූනු උම්බලකඩ දෙහි මිරිස් යොදා සකසා ගන්නා සම්බෝලය ද, රසවත් මෙන්ම ගුණවත් කෑමක්. ඇඹරැල්ලා ගෙඩි පලතුරක් හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමෙන් ද එහි ප්‍රතිලාභ අත්කරගත හැකියි.

ඒ හැරුණුවිට අච්චාරු චට්නි සෝස් ආදී නොයෙක් ආහාරත් බීම වර්ගත් ඇඹරැල්ලාවලින් සකසාගත හැකියි.කොතෙක් ගුණදායක වුවත් අසීමිත ලෙස ඇඹරැල්ලා ආහාරයට ගැන්ම නම් සුදුසු නැහැ.

තද බල වාත වේදනා ඇතිවිට – කොළ හා පොතු තම්බා බීමෙන් සහන අත්වෙනවා. දිය වැඩියාවට – පොතු කෂාය කර බීම ගුණදයකයි. සෙම් ගෙඩිවලින් පීඩා විඳිනවිට – පොතු කොටා දෙහි සමග අඹරා කකාරා , බෙල්ලේ ගෑම යහපත්. තැල්මක් ඇතිවූ විට – පොතු .අරළු අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් කකාරා ගෑම ගුණදායකයි. පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගෑමද සුදුසුයි. කක්කල් කැස්සට, හා කල්ගත කුෂ්ටවලට – ඉදුණු ගෙඩි පොතු හැර ගෑරුප්පුවෙන් සිදුරුකර මී පැණියෙහි බහා තබා දිනකට එකක් බැගින් කෑම සුදුසුයි.

(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය පුවත්පත් හා වෛද්‍ය ලේඛන)