අධික කොලෙස්ටරෝල් නැත්තටම නැති කරන හෙළ සත්කාරයක්

සිරුරු තුළට නිහඬව ම රිංගා මරණය කරා කැඳවාගෙන යන්නට උත්සාහ කරන අධි කොලෙස්ටරෝල් තත්ත්වය බොහෝ දෙනකුට ගැටළුවක් වී ඇති අතර, එය මට්ටුකිරීම සඳහා එන්නතක් නිපදවීමට හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්‍යේෂණ කංඩායමක් සමත්වී තිබෙනවා. දිනපතා ගන්නා බෙහෙත් වෙනුවට වසරකට වරක් එන්නත ලබාදීම මගින් කොලෙස්ටරෝල් සාර්ථකව පාලනය කිරීමට ඉන් හැකිවනු ඇතැයි අදහස් කෙරෙනවා. මෙමගින් අහිතකර කොලෙස්ටරෝල් කොටස වන L D L නිපදවීමට හේතුවන ප්‍රෝටීනය විනාශවෙතැයි සඳහන් වන අතර, දැනට සුදුස්සන් 72 දෙනකුට එන්නත ලබා දී එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතිනවා.

මේ අතර අප සිත්වලට එන්නත් කර ගත යුත්තේ, අධිකොලෙස්ටරෝලතාව ට ඇරෙන මාවත්, වසා දැමීමේ ක්‍රම වේද යි. කොලෙස්ටරෝල් කියන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය මේදයක්. එය සිරුරට අවශ්‍ය හෝමෝන් වර්ග , පිත් යුෂ ආදිය නිපදවීමට උපකාරි වන්නක්. කොලෙස්ටරෝල් වලින් කොටසක් සිරුර තුළම නිපදවෙන අතර, ආහාර මගින් ද කොටසක් එක්වෙනවා.ගැටළුව වන්නේ අහිතකර ලිපිඩ කොටස් සමග සංචිතය වැඩිවීමයි. රුධිරයෙහි L D L සමග V LD L හා ට්‍රය්ග්ලිසරොයිඩ කොටස් වැඩිවී, හිතකර HDL කොටස් අඩුවීමත් සමග අධි කොලෙස්ටරෝලතාව ඇතිවනවා.

අහිතකර ලිපිඩ වැඩිවී ඒවා රුධිර නාල තුළ තැන්පත්වීමෙන් රුධිර නාල අවහිරවී හර්දයාබාධ ආඝාත වැනි භයානක රෝග ඇතිවිය හැකියි. එහෙයින් කොලෙස්ටරෝල් තත්ත්වය මැන බැලීමත් , එය වැඩි නම් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැන්මත් ඉතා වැදගත්. වැඩි වුවත් නොවූවත් අදාල පාලන ක්‍රම අනුගමනය කිරීම රෝගයෙන් ඈත්වී සිටීමට උපකාරීවනවා. සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර රටාවක් පවත්වාගෙන යාම, සිරුර ව්‍යායාමයෙහි යෙදවීම, උසට සරිලන බරක් පවත්වා ගැනීම, දුම්පානයෙන් හා අධික මත්පැනින් වැළකීම යන කරුණු කෙරේ අපේ අවධානය මෙහිදී යොමුවිය යුතුයි.

සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරවලින් වැලකීම හෝ ඒවා අවම කිරීම අවශ්‍යයි. අධික ලුණු හා අධික සීනි ආහාර සුදුසු නැහැ. පිෂ්ටය අධික ආහාර ද සීමා කළ යුතුයි. බටර් චීස් රතුමස් බිත්තර කහ මද, මස්වල තෙල් සහිත කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි, ෆාම් තෙල් පොල් තෙල් ,ගැඹුරු තෙලෙහි බදින ලද ආහාර සොසේජස්, ව් ක්ෂණික ආහාර , කේක් අයිස්ක්‍රීම් කුකීස් මාගරින් බිස්කට් වැනි ආහාර අවම කිරීම යහපත්. ඔලිව් තෙල් , තල තෙල් සූරියකාන්ත තෙල් රට කජු තෙල් ,සෝයා තෙල්, ආදිය අසංතෘප්ත මේදය බැවින් අහිතකර නැහැ. එහෙත් ඒවා අධිකව ගැනීම තරබාරුවීමට බල පෑ හැකියි. අලිගැටපේර කජු රටකජු ආදියත් ඔමේගා 3 සහිත හුරුල්ලා කුම්බලාවා මැකරල් සැමන් වැනි මාළුත් ආහාරයට සුදුසුයි.

එළවළු පලතුරු හිතකර කොලෙස්ටරෝල් වන HDL වර්ධනයට හේතුවනවා. රනිල භෝග හා කුරුට්ට සහිත ධාන්‍ය වර්ගත් ඉතා හිතකර ආහාරයි .රතු නිවුඩු හාලෙහි ඇති මොනොකොලින්ස් කොලෙස්ටරෝල් අඩුකර දෙන බව සඳහන් වනවා.නිවිති, කොහිල මුරුංගා, ඇඹරැල්ලා ගෝවා ලීක්ස් ගුණදායකයි වෙල් තම්පලා, තෙබු කොළ, ජපන් බටු කොළ , දඹල කොළ, මෑ,කොළ අධිකොලෙස්ටරෝල් පාලනයට බල පානවා. ගස්ලබු පේර දිවුල් දොඩම් නාරං බෙලි වෙරළු වැනි පලතුරු ආහාරයට සුදුසුයි.දෙළුම් වල ඇති , රුධිරයෙහි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීමේ හැකියාව නිසා එය රුධිර පීඩනය පාලනය කරමින් කොලෙස්ටරෝල් දිය කර හරින බව සඳහන් වෙනවා.
සීනි රහිත තක්කාලි දෙහි යුෂ තැඹිලි බෙලිමල් රණවරා තැඹිලි කොළ කැඳ එළවළු සුප් පානය කිරීම ට සුදුසුයි.

කුස්සියේ ප්‍රයෝජනයට ගැනෙන සුදුලූනු ගොරක කුරුඳු පොතු කහ ඉඟුරු ගම්මිරිස් උළුහාල් හා කර පිංචා සුවිශේෂ ගුණ දෙන බව සඳහන්. ඒවායින් රුධිර නාලවල අවහිරතා අවම වී කොලෙස්ටරෝල් පාලනය කෙරෙනවා.කහ වල ඇති කර්කමින් සංයෝගය අහිතකර කොලෙස්ටරෝල් වලින් 26% ක් කපා දැමීමට සමත් බව සඳහන් කෙරෙනවා. හෑම වෑංජනයකටම කහ එකතු කර ගැන්මෙන් තවත් රෝග ගණනාවකින් ඈත්වීමට හැකියි. ගොරක කාබොහයිඩ්‍රේට් මේදය බවට පත්කිරීමේ වේගය අඩුකර රුධිරය තුළ හැසිරෙන ලිපිඩ අඩුකර දෙනවා. වෑංජනවල ඇති ගොරක කැබලි විසි නොකර සපා කෑමෙන් හෝ පිසිනවිට අඹරා දැමීමෙන් වැඩි වාසි අත් කරගත හැකියි.

කරපිංචා ද විසි නොකර ආහාරයට ගත යුත්තක්. ඒවායේ ඇති plavonoids හා කෙඳි මගින් රුධිරයේ අහිතකර LDL කොටස් පාලනය කෙරෙනවා. රුධිරය කැටි ගැසීම් වළකන සුදුලූනු රුධිර නාල අවහිරවීම් වළකන සුවිශේෂ ඖෂධයක්. දිනකට සුදුලූනු බික් හතරක් පමණ අමුවෙන් හෝ යන්තම් උණුවතුරෙන් තම්බා ආහාරයට ගන්නේ නම් ඉතා හිත කරයි. දිනකට පැය බාගයක්වත් ව්‍යායාම් වල යෙදීමෙන් සිරුරේ ලිපිඩ අඩු කර ගැන්මටත්, තරබාරුවෙන් මිදී උසට සරිලන බරක් තබා ගැන්මටත් , තවත් බොහෝ රෝගවලින් ඈත්වීමටත් හැකියි. වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයියිසිකල් පැදීම වැනි ව්‍යායාම් ඒ සඳහා වඩාත් සුදුසුයි.

අධිකොලෙස්ටරෝල් වලට අත් බෙහෙත්
සුදුලූනු ගොරක කරපිංචා රතුලූනු ගම්මිරිස් ලුනුමිරිසක් සේ හොඳින් අඹරා බත් සමග නිතර ආහාරයට ගන්න. උළුහාල් මේස හැන්දක් රැයක් පොඟවා උදේ අඹරා හිස්බඩ එම වතුරත් සමගම ආහාරයට ගන්න. සුදුලූනු ග්‍රෑම් 1ක් අඹරා තලප කර එය මෝරු වීදුරුවක් සමග උදේ හා සවස පානය කරන්න. සුදුලූනු බික් තුනක් කිරි වීදුරුවකට දමා උණුකර මඳක් නිවා නින්දට පෙර බොන්න. ඉඟුරු තේ හැන්දක් දමා තේ එකක් සදා මීපැණි දමා බොන්න. ලෙමන් යුෂ වීදුරුවකට , ගම්මිරිස් මී පැණි ස්වල්පය මගින් එක්කර දිනකට වරක් දෙකක් බොන්න. කුරුඳු කුඩුකර තේ මෙන් සකසා සතියකට වරක් බොන්න. උණුසුම් කිරි වීදුරුවකට කහ තේ හැන්දක් හා මී පැණි ස්වල්පයක් එක්කර දිනකට දෙවරක් බොන්න. උළුහාල් තේ හැඳිතුනක් රැයෙහි වතුර කෝප්පයක පෙඟෙන්නට තබා උදේ හිස්බඩ එම ජලය පානය කරන්න. උස් ජෝගුවක දිග කුරුඳු පොත්තක් කෙළින් සිටුවා ඊට උතුරන වතුර වත්කර , නිවෙන්නට හැර වරින්වර පානය කරන්න. නිමවූ පසු නැවත ,උතුරන වතුර දමා නිවා පානයට ගන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)