ඇඟ නිවන සිරුරට ගුණදායක නෙල්ලි දෝසී හදාගන්න විදිය

සීනී වල දැමු නෙල්ලි හා ඒක හදන්නේ කොහොමද කියලා අපේ කිහිප දෙනෙක් අහලා තියෙනවා මම දැක්කා. ඒ නිසාම මමත් බොහෝම කැමැත්තෙන් හදන හරිම ගුණදායි නෙල්ලි දෝසී මම හදන විදිහ ලියන්න හිතුවා.

හොදින් පැසුනු නෙල්ලි 200 ග්‍රෑම් (බෙහෙත් නෙල්ලි, හා ඕනම වර්ගයක්)හොදින් සෝදා ගන්න.මම ගත්තේ බෙහෙත් නෙල්ලි. ගෑරොප්පුවකින් ගෙඩිය සම්පුර්ණයෙන් කෙටෙන සේ අනින්න (ටිකක් අපහසු වැඩක්.පරිස්සමෙන්) මෙහෙම කරන්නේ පැනි හොදින් නෙල්ලි ගෙඩියේ ඇතුලට උරා ගන්නයි. දැන් ස්ටීමර් එකක දාලා හුමාලෙන් තම්බාගන්න. කඩපිම්මේ උනත් හොදයි.ඇගිල්ලෙන් පොඩිකලාම තැලෙන තරමට තැම්බුනාම අරගෙන නිවෙන්න තියන්න.

සීනී 200ග්‍රැම් , තැලු ඉගුරු කැල්ලක්, එනසාල් ,කරාඹු නැටි කිහිපයක් , ලුනු හා ජලය අවශ්‍ය තරමට එකතු කරලා ලිපේ ර්ත් වේගන එනකොට තැම්බු නෙල්ලි ඒකට එකතු කරන්න.( කිතුල් පැනිත් හොද ඇති) හෙමින් හැදි ගාමින් සීනී දියරය මදක් ඝන වෙනකොට ලිපෙන් බා නිවෙන්න තියන්න. නිවුනාම බලන්න රස ම්ම්ම්ම්ම්ම් බෙහෙත් රසත් නෙල්ලි රසත් එක්ක සීනී හා කුලුබඩු රස එකතු වෙලා හැපෙනකොට හොදම රසයි. ටිකක් වැඩියෙන් හදලා බෝතල් වල අසුරා ගන්න…

නෙල්ලි නොකන අයට කවන්න්න හොදම ක්‍රමයක් මේ… නෙල්ලී හොදම බෙහතක් නේ. මේ නෙල්ලි දෝසි එක ගෙඩියක් උදේ හිස්බඩට කෑවම පුදුම සිසිලක්. ඒ වගේම ඇගේ ඌශ්නයට , වඩාත් හොදයි. මෙහෙම හදලා .කල් තියාගන්න පුලුවන් . පරන උනාම තවත් රසයි ගුනයි, හදලා බලන්න අපේ අය. රස ගුන කියන්න, ඒ වගේම අඩුපාඩු ත් කියන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ආමාශගත රෝගවලට, වකුගඩු ආබාධ, දිය වැඩියාවට ගුණ දෙන ඇඹරැල්ලා

ඇඹරැල්ලා කියන්නේ පලතුරටත්, එළවළුවටත්, බෙහෙතටත් යොදාගන්න පුළුවන් වටිනා ශාකයක්.ගෙඩි ළපටි කාලයේ සිට ම පැසී ඉදෙන තෙක් වෑංජනයට සුදුසුයි. කහපාටවී ඉදුණු ගෙඩි, කැරොටින් ව්ටමින් C සපිරි ශක්තිය වඩන ආහාරයක්. වා පිත් සමනය කරන්නක්. ඉදුණු ගෙඩියක් උදේ ආහාරයට ගැනීම සිරුර නිරෝගි වීමටත් ශක්තිය වැඩීමටත් හේතු වෙනවා. එය හදවතට මෙන් ම දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. එසේ ම සම පැහැපත් කරනවා. කටහඬ මිහිරි කරනවා. මනස සන්සුන් කරනවා. විටමින් C, මෙන්ම A B 1 2 යකඩ කැල්සියම් පොස්පරස් ප්‍රෝටීන් කැරොටින් තයොමින්, වැනි පෝෂක ගණනාවක් අඩංගු ඇඹරැල්ලා ගෙඩි කොළ පොතු යන සියල්ල ඖෂධීය ගුණයෙන් යුක්තයි.

දියවැඩියාවට මුත්‍රා ආබාධවලට හා ලේ අර්ශස් වලට විශේෂයෙන් ගුණදායකයි. ලේවල හා මුත්‍රාවල සීනි පාලනය කිරීමේ මනා හැකියාවක් පවතිනවා. මුත්‍රා මාර්ගයේ ඉදිමුම්, වේදනා සමනයට සමත්. අධික රුධිර වහනය වළක්වන ගුණයෙන් යුක්තයි.කක්කල් කැස්ස උදරාබා ධ තුවාල පිළිස්සුම් ,අක්ෂිරෝග, ස්නායු රෝග උගුරේ තුවාල, මුඛ ආසාදන අතීසාර, අර්ශස් ආදි රෝග ගණනාවකට ඖෂධ ලෙස යොදා ගැනෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. ඇඹරැල්ලා හදවතට හිතකරයි. හර්ද රෝග දුරලනවා. අධි රුධිර පීඩනය පාලනය කිරීමට හොඳම පලතුරක් සේ සැලකෙනවා සිරුරේ මේද තට්ටු දිය කරමින් කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර දෙනවා. වෙසෙසින් ම අමු ගෙඩි තරබාරු බව මග හැර දෙන්නක්. ස්නායු ආබාධ හා කුෂ්ට රෝග මැඬලන්නක්. එසේ ම එය හොඳ වේදනා නාශකයක්.හන්දිපත් වේදනා, ඉදිමුම් තැලීම් ආදියේදී ගසේ පොතු ලුණු දියෙන් අඹරා ගෑමෙන් සහන අත්වෙනවා.

ඇඹරැල්ලා ආමාශගත රෝගවලට සහන සලසමින් ආහාර ජීර්ණ පද්ධතිය ද ,නිසිලෙස ක්‍රියා කරවනවා. මල බද්ධය දුරු කරනවා . ආහාර රුචිය වඩනවා.ධාතු ශක්තිය වඩන වාජීකරණ ඖෂධයක් සේත් ක්‍රියාත්මකවනවා. ඇඹරැල්ලා කොළ , වකුගඩු ආබාධ , පිළිකා රෝගවලට හා කාන්තා රෝගවලට ගුණදායකයි. කොළ ,මැල්ලුමක් සේ ආහාරයට ගත හැකියි. ඇඹරැල්ලා දලු සිහින්ව ලියා පොල් , රතුලූනු උම්බලකඩ දෙහි මිරිස් යොදා සකසා ගන්නා සම්බෝලය ද, රසවත් මෙන්ම ගුණවත් කෑමක්. ඇඹරැල්ලා ගෙඩි පලතුරක් හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමෙන් ද එහි ප්‍රතිලාභ අත්කරගත හැකියි.

ඒ හැරුණුවිට අච්චාරු චට්නි සෝස් ආදී නොයෙක් ආහාරත් බීම වර්ගත් ඇඹරැල්ලාවලින් සකසාගත හැකියි.කොතෙක් ගුණදායක වුවත් අසීමිත ලෙස ඇඹරැල්ලා ආහාරයට ගැන්ම නම් සුදුසු නැහැ.

තද බල වාත වේදනා ඇතිවිට – කොළ හා පොතු තම්බා බීමෙන් සහන අත්වෙනවා. දිය වැඩියාවට – පොතු කෂාය කර බීම ගුණදයකයි. සෙම් ගෙඩිවලින් පීඩා විඳිනවිට – පොතු කොටා දෙහි සමග අඹරා කකාරා , බෙල්ලේ ගෑම යහපත්. තැල්මක් ඇතිවූ විට – පොතු .අරළු අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් කකාරා ගෑම ගුණදායකයි. පොතු ලුණු වතුරෙන් අඹරා කකාරා ගෑමද සුදුසුයි. කක්කල් කැස්සට, හා කල්ගත කුෂ්ටවලට – ඉදුණු ගෙඩි පොතු හැර ගෑරුප්පුවෙන් සිදුරුකර මී පැණියෙහි බහා තබා දිනකට එකක් බැගින් කෑම සුදුසුයි.

(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය පුවත්පත් හා වෛද්‍ය ලේඛන)

සිරුරේ පිළිකා ඇතිවිය හැකි ස්ථාන 5 ක් සහ පිළිකා සෑදීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ

පිළිකා යනු සිරුරේ සෛලවල ඇතිවන රෝගී තත්වයකි. විවිධාකාරයේ සෛල සිරුරේ පවතින අතර, එබැවින් විවිධාකාරයේ පිළිකා එම සෛලවලින් හටගනී. සියලුම පිළිකාවලට පොදු ලක්ෂණය නම් එම පිළිකා සෛල අසාමාන්‍ය වීමත්, පාලනයකින් තොරව ගුණනය වීම්ත් යන කරුනුය. කෙසේනමුත් විවිධ පිළිකා අතර විශාල වෙනස්කම් පවතී. වරෙක එය බටහිරට පමණක් සීමාවු රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්‍ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්,‍ ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ.

ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ ශෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. ඒය සඇත්තේ ඩී.එන්.ඒ. වලිනි. ඩී.එන්.ඒ මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවය. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.

ලංකාවේ බහුල පිළිකා වර්ග වල “පූර්ව ලක්ෂණ” මෙහි සදහන් රෝග ලක්ෂණ ඔයාටත් තියෙනවා ද ?

සති 3ක් ඉක්මවූ කටහඬෙහි වෙනසක්. මුඛයේ රතු පාට හෝ සුදු පාට ලප මතුවීමක්. මුත්‍රා කිරීමේදී හෝ මළපහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ ඒ සමග ලේ පිටවීමක් ගෙල, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක්. කල් අල්ලා පවතින අජීර්ණ තත්ත්වයක් හෝ ගිලීමේ අපහසුතාවක්. කල් පවතින සුව නොවන තුවාලයක්. පියයුරුවල හෝ වෙන ස්ථානයක ඝනවීමක් හෝ ගැටයක්. යෝනි මාර්ගයෙන් රුධිරය හෝ අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.

01පියයුරු පිළිකා රෝග ලක්ෂණ
පියයුරෙහි වලගැසීමක්. සමේ වෙනස් වීමක්. පියයුරුවල මෑතකදී ඇති වූ,හැඩයේ වෙනස්කමක් හෝ පැහැදිලි අසමමිතික බවක්. සමේ වෙනස්වීමක්. තනපුඩුවේ ගිලීයාමක් හෝ අසමමිතික බවක්. පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්.

02 මුඛ පිළිකාව
මුඛයේ පිළිකාව ක් සෑදීමට පෙර මුල් අවස්ථාවේදී ම හදුනාගත හැක. රෝග ලක්ෂණ – කල් පවතින සුව නොවන තුවාල. කල් පවතින රතු ලප. කල් පවතින සුදු ලප. කල් පවතින රතු හා සුදු මිශ්‍ර ලප. සමාන්‍ය නොවන මුඛයේ දැවිල්ලක් සමග තොල් හා ශ්ලේෂ්මලයේ ඝන වීමක් හා සුදුමැලි වීමක්.

03 මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ
මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්. මළපහ සමග ලේ පිටවීමක්. උදර වේදනාව. පෙරට වඩා මළපහ සිහින් සිහින් ස්වභාවය ක් ගැනීම. මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් මළපහ කිරීමෙන් පසුවද දැනීම. ගුද මාර්ගයෙන් ලේ පිටවීමක් හෝ නිතර නිතර ආතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවය ක්. ශරීරයේ බර අනපේක්ෂිත ලෙස අඩු වීම.

04 තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ
බෙල්ලේ වේදනාවක්. හුස්ම ගැනීමේ අපහසුවක්. තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාලවීමක් හෝ වෙනසක්. බෙල්ලේ වසා ගැටිති ඉදිමීමක්. හේතුවක් නොමැතිව කටහඩේ ගොරෝසු බවක්. ගිලීමේ අපහසුවක්

05 ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ
ලිංගිකව එක් වීමෙන් පසු රුධිර වහනයක්. යෝනි මාර්ගයෙන් දුර්ගන්ධකින් යුතු ස්‍රාවයක් පිටවීම. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්. මාස් ශුද්ධිය නැවතී තිබෙන කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිර ය පිටවීම. පැප් පරීක්ෂාවක් මගින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකා ව අඇතිවීමට පෙර හදුනාගත හැකිය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මව්කිරි දීමෙන් පසු පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්න හැටි

මව්කිරි දීම යනු ස්වභාව දහමේ දයාදයක් වුවත්, සමහර මව්වරුන් එය ඔවුන්ගේ පියයුරු වල පෙනුමට බලපාන ආකාරය ගැන කනස්සල්ලට පත්වෙනවා. මගේ පියයුරු මගේ කුඩා දරුවාට මව්කිරි ලබා දෙන විට තවමත් ශක්තිමත්ව හෝ පෙනුමකින් පවතීද? යන්න ගැන මව්වරුන් පුදුම වෙනවා වෙන්න පුලුවන්. පිළිතුර බොහෝ විට එය ආකාරය අනුව වෙනස් වෙන්න පුළුවන් යන්නයි. නමුත් එක් දෙයක් ස්ථිරයි. පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීම සදහා හැකි ඉක්මනින් සුදානම් වීම වඩාත් සුදුසු ය. පියයුරු යලිත් සකස් කිරීම, හෝ පියයුරු කලින් තිබුන ප්‍රමාණයට හෝ හැඩයට නැවත පැමිණීමට සාමාන්‍ය යෙන් ඔබේ දරුවාට කිරි වැරීමෙන් පසු මාස හයක් වත් ගත වේ. පියයුරු එහි පෙර පෙනුම නැවතත් පැමිණිම, හැකිලීම හෝ මව්කිරි දීමෙන් පසුව විශාල වීම සිදු විය හැකිය. මව්කිරි දෙන සියලුම කාන්තාවන්ට පියයුරු එල්ලා වැටීම ඇති නොවේ. නමුත් සමහර කාන්තාවන්ට දැඩි පියයුරු වෙනස් වීමක් අත් විදියි.

එමගින් පියයුරු එල්ලා වැටීම වැනි පෙනුමක් හෝ හැකිළුණු පෙනුමක් ලැබේ. එසේ වන්නේ පියයුරු පටක සංකෝචනය වුවද පියයුරු වටා සමේ ප්‍රමාණය වෙනස් නොවීම නිසයි.
මෙය හරියටම සිදුවන්නේ ඇයි? පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නේ කෙසේද? ගර්භණීභාවය පුරාවටම පපුව හා පියයුරු සම්බන්ධ වෙන මස් මාංශ පේශි ඇදීමට ලක්වෙන අතර දුර්වල වේ. මව්කිරි ලබා දීමට සුදානමක් ලෙස පියයුරු සඳහා සූදානම් කිරීමට ඒවා විශාල වේ. පියයුරු එල්ලා වැටීම ඔබේ වයස, ජාන සහ ජීවන රටාව මත රඳා පවතී. කාන්තාවන් වයසට යත්ම ඔවුන්ගේ සමේ ඇදෙන සුළු බව දුර්වල වේ. පියයුරු ප්‍රමාණය ජාන වලින් උරුම වී ඇති බව විශ්වාස කලත් දුම් පානයට සමේ සමේ ඇදෙන සුළු බව අඩු කිරීමට හැකිය. පියයුරු වල ප්‍රමාණයට ගර්භනී වු වාර ගණනද බලපායි. ඇත්ත වශයෙන්ම, ඔබට වැඩියෙන් දරුවන් සිටින විට, ඔබේ පියයුරු හැඩය හා ඍජු බව වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය.

ගර්භණිත්වයට පෙර ඔබේ පියයුරු ද මෙයට බලපායි. ඔබගේ පියයුරු ස්වභාවිකවම කුඩා හා යටකොටසින් වටකුරු නම් විශාල, දිගු පියයුරු මෙන් නොව, ඒ්වාට හැඩය පවත්වාගෙන යාමේ වැඩි අවස්ථාවක් ඇත. අතිරික්ත බර වැඩි වීමද පියයුරු ඇදී යාමට හේතු විය හැක. මව්කිරි දීම ද එයට හේතු වේ. ඔබ මව්කිරි දෙන අතරතුර පියයුරු එල්ලා වැටීම වලක්වා ගත හැකිද? ඒ සදහා එක් මාර්ගයක් වන්නේ මව්කිරි ලබා දෙන අතර තුර පියයුරු වල මාංශ පේශින්ට සහය ලබා දෙන ඒ් සදහා සකස් කල නර්සින් බ්‍රා එකක් පැලදීමයි. විශේෂයෙන්ම ඔබගේ පියයුරු විශාල වේ නම් ගුරුත්වාකර්ෂණයද හේතුවිය හැකිය. ඕනෑම ඍණාත්මක බලපෑමක් වැළැක්වීම සඳහා, ඔබට මෙම බ්‍රා දවස පුරාම මුළු රාත්‍රිය පුරාම පැළඳිය හැකිය. එය ඉතා තදින් අදින්න එපා.

බර වැඩිවීම පාලනය කිරීම හා හදිසි බර අඩු වීමෙන් වළක්වා ගැනීම මගින් පියයුරු එල්ලා වැටීමේ අවදානම අඩු කර ගැනීමට උපකාර කරනවා. සත්ව ආහාර අඩුවෙන් අනුභව කිරීමට උත්සාහ කරන්න. ධාන්‍ය , විටමින් බී පොහොසත් ආහාර සහ හරිත එළවලු ඔබේ පියයුරු වල ඇදෙන සුළු මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ. ඔබේ සමේ ප්‍රමාණවත් තෙතමනය ඇති බවට වග බලා ගන්න. ඒ් වියළි සමේ ඇදෙන සුළු බව අඩුවෙන නිසයි. ඔබ තෝරා ගත් භාණ්ඩ කිරිදෙන මව්වරුන්ට සුදුසු බව සහතික වන්න. ස්නානය කරන විට උණුසුම් හා සීතල ජලයෙන් මාරුවෙන් මාරුවට ඔබේ පියයුරු සම්බාහනය කරන්න. මෙය සමේ සංසරණය වැඩි දියුණු කරයි. හැමවිටම සීතල වතුරෙන් අවසන් කරන්න මතක තබා ගන්න. ඔබ ඔබේ දරුවා ක්‍රමානුකූලව කිරි වරන බවට වග බලා ගන්න. මෙම මාර්ගෝපදේශ පහෙන් හැරුණු විට, නිරන්තරව සිදු සිදුකර පියයුරු එල්ලා වැටීම වළක්වා ගත හැකි බොහෝ විට නොසලකා හැරෙන ක්‍රම දෙකක් තියෙනවා.

1. පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීම සඳහා ඔබේ ඉරියව්ව මනාව පවත්වා ගන්න
මව්කිරි ලබා දිමෙදි ඔබේ ඉරියව්ව ගැන ප්‍රවේශම් වන්න. ගුරුත්වාකර්ෂණයට එරෙහි වන මව්කිරි දෙන ඉරියව්ව අනුගමනය කරන බවට වග බලා ගන්න. මේ සඳහා නිදසුනක් නම්, ඉහලට වාඩි වී මව්කිරි දීම, බෑවුම් පිහිටීම සහ ආධාරක සඳහා කොට්ටයක් භාවිතා කිරීමය වේ.

2. එල්ලා වැටෙන පියයුරු වලක්වා ගැනීම සඳහා විශේෂ ව්‍යායාම කරන්න
සමහරුන් විශ්වාස කරන දේට පටහැනිව, ව්‍යායාම කිරීම කිරි සැපයුමට බලපාන්නේ නැහැ. ව්‍යායාම මගින් පපුවේ පේශි ශක්තිමත් කර පියයුරු අවිධිමත් වීම වළක්වාඅ ගත හැකිය.

ඩම්ප්බෙල් (dumbell) අදින්න.
ඔබට ඩම්ප්බෙල් අදින්න උත්සාහ කළ හැකිය. බංකුවක් මත දිගා වී කකුල් පොළවට ඍජුව තබාගන්න. ඉන්පසු ඩම්ප්බෙල් අදින්න.

පුෂ් අප්ස් (push ups)
ඔබට සම්පූර්ණ හෝ අර්ධ පුෂ් අප්ස් කරන්න පුළුවන්. නැත්නම් ඔබේ සිරුරේ ඉහළ කොටස සොලවමින් දණගසන්න පුළුවන්. ඔබේ දෑත් එකිනෙකා සමඟ සමාන්තරව තබාගන්න. ඔබට හැකි තරම් දුරට ඔබම පහත් වෙන්න නමුත් එය බලෙන් කරන්න එපා. මෙය ඔබගේ අත් , පිට සහ මධ්‍යයට සඳහා හොඳ ව්‍යායාමයක් වෙනවා.

පපුව තෙරපීම
ඔබේ ඉහළ ශරීරය සඳහා තවත් ක්‍රමයක් නම් එක් එක් අතෙහි ඩම්බල්ස් තබා ඒවා පපුව දෙසට හා ඉන් ඉවතට චලනය කිරීමයි. විශේෂයෙන් ඔබ සීසර් සැත්කමට භාජනය වුවෙක් නම් දරු ප්‍රසුතියෙන් පසු යම් කිසි ආකාරයක ව්‍යායාමයක හෙදීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබේ පියයුරු වල මනා හැඩය රැක ගන්න මේ අත්වැල the Asianparent Sri lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි. පරිවර්තනය: නදීශා ලක්මිණී
(උපුටා ගැනීම lk.theasianparent.com වෙබ් අඩවියෙන්)

මහත වැඩිනම් පහසුවෙන් කෙට්ටු වෙන්න, තේ වෙනුවට සුදුළූණු තේ පානය කරන්න

සුදු ළුණු යනු එදිනෙදා භාවිතය සදහා ගන්නා ඖෂදීය ගුණයෙන් පිරිපුන් ආහාරයකි. ආහාර රසවත් කිරීම සදහා මෙන්ම විවධ ආහාර දිරවීමේ ආපහසුතා සදහාද සුදු ලුණු බහුවල යොදා ගැනේ. එමෙන්ම රුධිර පීඩනය පාලනය කිරීම මෙන්ම විවිධාකාර ලෙඩ රෝග රාශියක් සමනය කිරීමද සුදු ළුණු මගින් සිදුවේ. වර්තමානයේ බොහෝ දෙනා අතර සුදු ළුණු තේ බොහෝ ප්‍රචලිත පානයක් වී තිබේ. දිනපතා මෙවැනි ඖෂධිය තේ කෝප්පයක් පානය කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිපල ගණනාවක් ලබා ගන්නට පුළුවන්.

සුදු ළුණු තේ කෝප්පයක් සාදා ගන්නා ආකාරය.
ජලය වීදුරුවක් පමණ උණු කරගන්න – හොදි පොඩි කරන ලද සුදු ළුණු බික් කිහිපයක් එයට දමන්න – ඔබට කැමති නම් ඉගුරු ස්වල්පයක්ද මෙයට මිශ්‍ර කරන්නට පුළුවන් – මෙසේ මිනිත්තු 20ක් රත් වෙන්නට හරින්න – ඉන් පසු උදුනෙන් ඉවත් කර මිනිත්තු 10ක් නිවෙන්නට හරින්න – ඉන් පසු තේ කෝප්පය පෙරා ගෙන පානය කරන්න.

මෙවැනි තේ කෝප්පයක් දිනපතා පානය කිරීමෙන් ඔබට ලැබෙන වාසි පිළිබද ඔබ දැනුවත්ද?
අධික ස්ථුල භාවය පාලනය වී ඔබට සිහින් සිරුරක් ලැබේ. මෙම පානය මගින් ඔබගේ සිරුරේ පරිවෘත්තිය වේගය වැඩි වීම මෙයට හේතුවයි. ඔබගේ හෘදයේ නිරෝගී බව සදහා මෙම පානය බොහෝ වැදගත් වේ. එමගින් ඔබගේ සිරුරේ අනවශ්‍ය මේදය දහනය විමමේය හේතුවයි. ඔබගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත විවධ රෝගාබාධ මෙම පානය නිසා අවම වේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, සෙම් ආසාදන සදහා සුදු ළුණු ඉතා හොද ඖෂධයකි. සුදු ළුණු යනු ස්වාභාවික ප්‍රතිජීවක ඖෂධයකි. එමගින් ඔබගේ ශරීරයේ ඇති වන විවධ වයිරස් රෝග සදහා ක්ෂණික සහනයක් ලබා දෙයි. පුරාන කාලයේද විව්ධාකාර ආසාදන තත්ව සදහා ඖෂධයක් ලෙස සුදු ළුණු භාවිතා කර ඇත.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ගෙදරදී පහසුවෙන් රසම රසට පුඩින් වර්ග 4 ක් හදාගන්න හැටි

පුඩින් කිව්වම ඉතින් ස්වීට් පුඩින් වගේම සේවරි පුඩිනුත් තියෙනව. අද මේ කියන්න යන්නෙ ඩෙසර්ට් එකට ගන්න පුළුවන් ස්වීට් පුඩින් රෙසිපි කිහිපයක් හදන විදිය. වැඩි වැඩ නැති ඊසි ලේසි පුඩින් රෙසිපි ටික ඔයාට ගොඩක් වැදගත් වේවි.

චොකලට් ක්‍රීම් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය – සුදු සීනි කප් 1, කෝන්ෆ්ලා මේස හැඳි 2, කිරි කප් 2, ලුණු තේ හැඳි 1\4, කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g, බිත්තර කහමද 2, බටර් මේස හැඳි 2, වැනිලා තේ හැන්දක්

සාදන ක්‍රමය
භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර ඒ සමඟම සීනි, කෝන්ෆ්ලා, ලුණු එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ටිකත් එක් කරගන්න. චොකලට් ටික දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න. ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාගන්න. නැවත ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා විප් ක්‍රීම් වලින් පොඩි සැරසිල්ලක් දාලම පිළිගන්වන්න.

මාරි බිස්කට් පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය – ටිකිරි මාරි පැකට් දෙකයි, ඇස්ට්‍රා හෝ බටර් 100, අයිසින් සීනි 200, චොකලට් පව්ඩර් මේස හැන්දක්, බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි), උඩින් ඉහගන්න කජු හෝ පළතුරු

සාදන ක්‍රමය
මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට අතුර ගන්න ලේයර් එකක්. ඒකට උඩින් අයිසින් ලේයර් එකක්. කජු ටික චූටියට කපල ටිකක් ඉහ ගන්න.උඩට අමතරව මැදත් කජු හැපෙද්දි රසයි.ඔහොම ඔහොම බිස්කට් ඉවර වෙනකම් දාගෙන අන්තිමටම උඩට අයිසින් ලේයර් එකක් දාල කජු ඉහල වැඩේ ඉවර කරන්න. ෆ්‍රීසර් එකේ දාන්න පැයක් දෙකක්.එච්චරයි.මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න.නැත්නම් දිය ගතියක් එනවා..බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත් වැඩක් කරන්න. කිරි ටික පෙරාගන්න .ඒකට තව අයිසින් සීනි ටිකක් දාලා චොකො පව්ඩර් දාලා රත් කරන්න. හොදට උකු වෙන්න ඕනේ හැබැයි.හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න.

ජෙලි පුඩිං
අවශ්‍ය ද්‍රව්‍ය – පාට හතරකින් ජෙලි ක්‍රිස්ටල්ස්, මිල්ක්මේඩ් කිරි ටින් 1 යි, ජෙලටින් 30ග්රෑ පැකට් 1 යි, ස්ට්‍රෝබෙරි රසැති ජෙලි පැකට් 1 යි, රාත්තල් 2 කේ කේක් තැටි 1 යි, ලන්ච් ෂීට් 1 යි.

සාදන ක්‍රමය
පළමුවෙන්ම පාට හතරේ ජෙලි භාජන 4 කට දමා එකකට උනු වතුර කෝප්ප 1 1/2 බැගින් දමා මුදවා ගන්න. ජෙලටින් උනු වතුර කෝප්ප දෙකකින් දියකර මිල්ක්මේඩ් වලට දමා හොදින් කලවම් කර ගන්න. ස්ට්‍රෝබෙරි ජෙලිත් වෙනම උනු වතුර කෝප්ප 1 1/2 දමා දියකර ගන්න. කේක් ට්‍රේ එකට ලන්ච් ෂීට් එක දමා කලින් මුදවා ගත් පාට හතරේ ජෙලි පිහියකින් පොඩි කෑලි කපා ට්‍රේ එකට දමා හොදින් පාට මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න. ඊට උඩින් ජෙලටින් මිශ්‍ර කරගත් මිල්ක්මේඩ් වත්කර ගන්න. ශීතකරනයේ තබා මුදවා ගන්න. මිදුනු පසු උඩින් ස්ට්‍රෝබෙරි රසැති ජෙලි වක්කර නැවත මුදවා ගන්න. හොඳින් මිදුනු පසු ලන්ච් ෂීට් එක පිටිං ගෙන ලෑල්ලක් මත තබා අවශ්‍ය ප්‍රමානයට කෑලි කපා ගන්න.

කැරමල් පුඩිං
මේක සාමාන්‍යයෙන් අපි වෙනද හදනවට වඩා ටිකක් වෙනස් විදියෙ රෙසිපි එකක්. milkmaid වලට අමතරව fresh milk දාලයි හදලා තියෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය – මිල්ක්මේඩ් ලොකු ටින් 1, ෆ්‍රෙශ් මිල්ක් 500 ml, බිත්තර 10, වැනිලා එසන්ස් 1 tsp, කැරමල් එක සදහා සීනි 100g පමණ

සාදන ක්‍රමය:
මුලින්ම සීනි කැරමල් කර පුඩින් භාජනයේ අඩියට දමා නිවෙන්න හරින්න.පසුව බිත්තර ටිකක් beat කර ඉන් පසුව මිල්ක්මේඩ් සහ ෆ්‍රෙශ් මිල්ක් දමා හොදින් මිශ්‍ර කරන්න. පසුව වැනිලා එකතු කරන්න.අනතුරුව සාදාගත් මිශ්‍රණය කැරමල් සහිත පුඩින් භාජනයට දමා විනාඩි 45ක් පමණ වාශ්පයෙන් තම්බාගන්න. නිවුනු පසු ශීතකරණයේ තබා අනිත් පැත්ත හරවා කෑලි කපා ගන්න.

(උපුටා ගැනීම www.womanly.lk වෙබ් අඩවියෙන්)

හොරි, දද, කුෂ්ඨ නිට්ටාවටම සුවකරගන්න ආයුර්වේද හෙළ ඔසුවක්

සොබා දහමේ අපූර්ව නිර්මාණය මිනිසා වුවත් ඔහුගේ පැවැත්මක් රඳා පවතිනුයේ මේ අපූර්ව වෙනත් නිර්මාණයක් මත යැයි කීවොත් එය නිවැරදි ය. සොබා සෞන්දර්යය දනවන පරිසරය තුළම නොයෙක් විෂමතා පදනම් කොටගෙන එහි සම හෝ අසමතුලිතතා මත ගැටෙන මිනිසාට පාරිසරික හා ශාරීරික සංකුලතාවලට මුහුණපාන්නට වෙයි. එය හොඳටත් මෙන් ම නරකටත් බලපානු ලබනවා. එසේ නරකට බලපාන අවස්ථාවල දී විවිධ රෝග කාරකයන් ඔබ හමුවට එයි. ජීවිතය සුන්දරව ගත කළත් මේ රෝග කාරකයන් ගෙන් බේරීමට ස්වභාවධර්මයා අපට උදව් කරන්නේ පරිසර සමතුලිතතාවයන් රැකෙන පරිදි ය. පරිසරයෙන් ම ලැබෙන බොහෝ දේ අතරට මේ රෝග බීජ ඇතුළත් ය. එසේ අප ශරීරයට එකතු වන රෝගයන් අපගේ ශරීර දුර්වලතාවන්ට බොහෝ සේ බලපානු ලබනවා.

විශේෂයෙන් සිරුරේ පිටතින් ම ඇති සම කෙරෙහි මේ පාරිසරික බලපෑම් ඇති කරනු ලබනවා.සමෙහි ඇතිවන දද, කුෂ්ඨ වැනි රෝග සිරුර තුළ කිඳා බැසීමට විෂම වූ පරිසරය බලපානු ලබනවා. ඒ අනුව ඔබගේ අසනීප තත්ත්ව විවිධ හේතුන් නිසා ව්‍යාප්ත වී සමාජය අඳුරට ගිල ගැනීම වැඩි ඈතක නොවන්නේ වඩාත් සුපරීක්‍ෂාකාරී නොවුව හොත් පමණි. හොරි, දද, කුෂ්ඨ වැනි සමෙහි රෝග ගැන සැලකුවහොත්? මේවා සම මතුපිට ඇතිවන වඩා වේගයෙන් ව්‍යාප්ත වන රෝගී තත්ත්වයන් ය. මේවා නොසලකා හැරියොත් අවලස්සන මෙන්ම වඩාත් උග්‍ර වීමට ද පටන් ගන්නවා. මනා සෞඛ්‍ය පිළිවෙත් නොපිළිපැද්දොත් මෙහි අශෝබන බව එනම් පිළිකුල් සහගත තත්ත්වයක් බවට පත් විය හැකි වෙනවා.රෝගයේ පැතිරීම තදබල බව අනුව තමයි කැසීම වැනි ලක්‍ෂණ ඇතිවෙන්නෙ. සමහර විට දැවිල්ලක්, කැසිල්ලක්, ශ්‍රාවය වීම් නැතිව හෝ පොතු ගැලවෙන්නෙ නැතිව දද වැනි දේවල් එන්න පුළුවන්.

මෙවැනි තත්ත්ව රෝගය අනුව නිර්නයවීමකට ලක් කළ හැකියි.බෝවීමේ ප්‍රවණතාවය වැඩි ගතියක් මේ රෝගවල දැකිය හැකි තවත් ලක්‍ෂණයක්. විශේෂයෙන් අපිරිසිදු බව, තදබල මානසික හේතු මේවා උද්ගත වීමේ ලක්‍ෂණ වශයෙන් පෙන්වාදිය හැකියි. ආහාර පාලනයක් වීමක් සිදුවුවහොත් එවැනි තත්ත්ව අඩුකර ගත හැකියි. ඒ අනුව, උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකීමට සිදු වෙනවා. එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම ද සුදුසු නැහැ. (එනම් උෂ්ණ හා සීතල ආහාර වශයෙන්). ඒ විතරක් නෙවෙයි මේ සමේ රෝගවලට තුඩු දෙන තවත් කාරණයක් ලෙස අන් අයගේ ඇඳුම් පැළඳුම් භාවිතය නිසා ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. දේශගුණික බලපෑම් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට බලපානවා. පරම්පරාවෙන් පරම්පරාවට ද මේ දද, හොරි වැනි තත්ත්ව විකසනය වීමට පුළුවන්.

ඇදුම රෝගීන්ගේ දියර ගලනවා වගේ දැකිය හැකියි. එවිට කුෂ්ඨ ඒමට ඇති ප්‍රවණතාවය වැඩියි. මේවායින් වැළකීමට අප ගත යුතු අත් බෙහෙත් කිහිපයක් මෙලෙස දැකිය හැකියි. සේදීමට – ඇත්තෝර කොළ, පින්න කොළ, කොහොඹ කොළ, අහු කොළ, හීන් නිදි කුම්බා, අමු කහ, වෙනිවැල් ගැට, තම්බපු ඳ වතුරින් සෝදන්න.* අරළු, බුළු, නෙල්ලි, තම්බපු වතුරින් සෝදන්න. කරවිල කොළ, අමු කහ සමඟ තම්බපු වතුරින් සෝදන්න. අමුකහ කොහොඹ කොළ තම්බපු වතුරින් සෝදන්න.

ආලේපන – සඳහා ගත හැකි තෙල් වර්ග කිහිපයක් මෙසේ යි. නීල්‍යාදී, පිණ්ඩ, සර්ව විෂාදිය, සීතෝදි, තල තෙල් හා එළඟිතෙල්. අමු කහ කොහොඹ කොළ අඹරා ගාන්න. ගොටු කොළ අඹරා තල තෙලෙන් මලවා බඳින්න. මදුරුතලා කොළ අමු කහ කොටා බඳීන්න. ඇත්තෝර කොළ දෙහි ගැට මද සුදු ලූණු, දෙහි ඇඹුලින් අඹරා ගාන්න. (මෙය විශේෂිත වන්නේ දද හා පණු කැවිලි වලටයි.)

සැරව ගලනවිට – අමු ගස්ලබු, තම්බා පොඩිකර අඹරා ගාන්න. පාං විස්කෝතු උණු වතුරින් පොඟවා බඳින්න. එවිට සැරව ටික සේරම ඇදිල එන්නට පටන් ගනී.

දුම් ඇල්ලීමට – අත්තන ගෙඩියේ මද එළබටු ගෙඩියේ බටු එක පමණ ගෙන කොහොඹ තෙලෙන් අඹරා පොල් කටු අගුරු මත දමා දුම් ඇල්ලීම කරන්න.

(තොරතුරු උපුටා ගැනීමකි…අනු.)

ලස්සන වෙන්න කැළැල් මකාගන්න, හිසකෙස් වර්ධනය කරගන්න විටමින් E භාවිතා කරන්න

ලස්සන වෙන්න අකැමැති කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ආශාව ඈත අතීතයේ සිටම පැවැත එන්නක්. මේ වෙනුවෙන් අතීතයේ සිටම ළඳුන් විවිධ ක්‍රම අනුගමනය කරමින් ලස්සන වෙන්න උත්සාහ කරනවා. එහෙත් විවිධ ක්‍රම අනුගමනය කරලා තාවකාලික සුන්දරත්වයක් ලබාගන්නවාට වඩා දිගුකල් පවතින සුන්දරත්වයක් හිමිකර ගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කරගැනීමයි වැදගත් වන්නේ.

විටමින් E කියන්නේ එවැනි දිගුකලක් ඔබේ සිරුර සුන්දරව පවත්වාගෙන යාමට අවශ්‍යවන සංඝටකයක්. මෙය ස්වාභාවික රූසපුව රැකදෙන ඉතා වටිනා ඖෂධයක්. රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය කිරීම සහ සමහර පිළිකාවලට එරෙහිව ආරක්ෂාව සැපයීම නිසා මෙමඟින් මිනිස් සෞඛ්‍යය ආරක්ෂා වෙනවා. ඔක්සිකාරකයක් වන විටමින් E ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ද ක්‍රියා කරනවා. ඒ වගේම විටමින් E මඟින් මිනිස් සමට සහ හිසකෙස්වලට ද විශේෂ සත්කාරයක් ලබාදෙනවා.

මේ හේතුව නිසාම තමයි වෙළෙඳපොළේ ඇති රුව වඩවන බොහෝ වාණිජ නිෂ්පාදන අතරින් ප්‍රමුඛස්ථානයක් විටමින් E ගනු ලබන්නේ. නමුත් එවැනි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ ඉහළ මිලක් අය කරනවා. ඇත්තෙන්ම අපි එවැනි ඉහළ මිලක් ගෙවා එම නිෂ්පාදන මිලදී ගත යුතු නැහැ. ෆාමසියෙන් ඉතා පහසු මිලකට සපයා ගතහැකි විටමින් E තෙල් හෝ කරල් මඟින් ඔබේ නිවෙසේ සිටම රූපලාවණ්‍ය සත්කාරයන් කළ හැකියි.

හිසකෙස් වර්ධනය කරගැනීමට
රත්කර ගත් ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක් මිශ්‍රකර හිස් කබලේ ආලේපකර හොඳින් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියකට කිහිපවරක් සිදුකරන්න.

කැළැල් මැකීමට
විටමින් E කරලේ ඇති තෙල්, කැළැල් ඇති ස්ථානය මත ආලේපකර විනාඩි 5ක් පමණ සම්බාහනය කරන්න. එය විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දවසට දෙවරක් බැගින් මෙය සිදුකරන්න.

රැලි වැටීම අවම කරගැනීමට
රාත්‍රී නින්දට යාමට පෙර විටමින් E කරලේ ඇති තෙල් රැලි වැටී ඇති ස්ථානවල ආලේප කරන්න.

අවපැහැවීම් දුරු කිරීම
රාත්‍රී නින්දට යාමට පෙර එඬරු තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක් එක්කර අවපැහැ ගැන්වුණු ස්ථානවල හොඳින් ආලේප කරන්න. පසු දින උදෑසන සෝදා හරින්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ ගැන දන්නවනම් ඔයත් හැමදාම උද්දෙට හීල් බත් කනවා

සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල්බත් පිළිබදව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද “හීල් බත් කියන්නේ මොනවද?” කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත.

හීල්බත් කියන්නේ කුමක්‌ද?. හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි?. ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම සදහාත් හීල් බත් පිළිබදව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම සදහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු.

හීල් බත් කියන්නේ මොනවද?
හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටසයි. එනම් හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගනී. දියබත් යනු රෑට ඉතුරුවන බත් දංකුඩයට නැත්නම් බත් ටිකකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුඑනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්‍ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. දිය බත් යනු හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයකි. නමුත් හීල් බත් යනු දංකුඩය පමණක්‌ නොවේ. කොහොම වෙතත් මේ දෙකෙහිම හොදම ගුණයක් තියෙනවා.

හීල් බතෙහි ගුණ පෝෂණ විද්‍යාත්මක පමණක්‌ නොව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී පුඑල් පරාසයක විහිදී පවතියි. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නය එවැනි පුඑල් පරාසයක සිට සළකා බැලීමේදී අපට පහත සදහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගත හැකිය.

හීල් බත්වල බී කාණ්‌ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩිය
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතුඑ හිතකර ක්‌ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වේ. අප බත් පීළුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්‍රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා බී විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ සී විටමින්වල සාන්ද්‍රණය ඉහළ යයි. එනම් හීල් බත් යනු විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌ වේ.

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාය. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරහාය. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්‍රචලිත වී ඇත්තේ මස්‌ ඇතුඑ සත්ත්ව ආහාර ගැනීමය. ජනප්‍රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගත හැකිය.

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවයි
බත් තිරි`ගු ආදී අනෙකුත් ධාන්‍ය වලට සාපේක්‌ෂව ඉතා හොඳින් ජීරණය වේ. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්‍රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වේ. විශේෂයෙන් ප්‍රොටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවේ.

හීල් බත් ජෛවී ආහාරයකි
ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීය. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැදීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම්ය.

එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාමය. පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතුඑ එළවඑ අද අතිශයින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවිනි. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබේ.

බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැත. එහෙත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙයි. එනම් හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්‍යයට බෙහෙවින්ම හිතකර ආහාරයකි.

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ
හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැත. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ වේ. රාත්‍රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුතු ප්‍රමාණයක්‌ ඉතුරු වේ. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීමය. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්ය.

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම ස`දහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්‍රියට ලිප තබන්නට සිදු වෙයි. නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැත. ව්‍යාංජනද බොහෝ විට රාත්‍රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකිය. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්‍ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.

හීල් බත් ඉන්ධන අර්බුදයට හොදම විසඳුමකි
හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්‍රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවේ. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවේ.

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයකි
හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැත. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දී ඇත. බත් අහක දැමීමේ පාපයේ බරපතල කම උගන්වන අම්මා මා කුඩා කලදී කියාදුන් කථාන්දරයක්‌ මෙහිදී මට සිහි වෙයි.

එක්‌තරා ගොවි මහතෙකුගේ බිරියක්‌ ඉතාම අරපිරිමැස්‌මෙන් කටයුතු කරන්නීය. ඇය බත් ඇටයක්‌ වත් අහක දමන්නේ නැත. එහෙත් දිනක්‌ ඇය බත් උයද්දී බත් හැලිය පෙන දමමින් උතුරන විට එක්‌ බත් ඇටයක්‌ ලිප් ගල මතට වීසි වී ඇත. එය දුටු ඇය ඉරටුවක්‌ රැගෙන එම බත් ඇටයද ආපසු බත් හැලියට අරගෙන දමන්නට උත්සාහ කළේය. නමුත් ඇයට ආපසු ගත හැකි වූයේ බත් ඇටයෙන් භාගයක්‌ පමණි. අනෙක්‌ බත් ඇට භාගය ලිපට වැටී පිලිස්‌සී ගියේය. මේ පිළිබදව දුකෙන් පසුවූ එම ගෙවිලිය රෝගාතුරව මිය ගියාය. එසේ මියගොස්‌ බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට එළදෙනක්‌ වී ගොවි මහතාගේ හරක්‌ පට්‌ටියේම උපන්නාය. ඒ අතර ගොවි මහතා වෙනත් විවාහයක්‌ කර ගත්තේය. අලුත ගෙනා බිරිද කිසිම අර පිරිමැස්‌මක්‌ නැතිව බත් හැලි පිටින් අහක වීසි කරන්නට වූවාය.

කාලයාගේ ඇවෑමෙන් එළදෙනද මිය ගිය අතර ගොවි මහතා එළදෙනගේ අං තට්‌ටුව සහිත හිස්‌ කබල බුලත් කොටුවේ කණුවක ගසා තැබුවේය. ගොවි මහතාගේ දෙවන බිරිය බත් අහක දමන ආකාරය බුලත් කොටුවේ සිට දුටු මියගිය එළදෙනගේ හිස්‌ කබලට පවා සිනා පහළ වූයේ “මා බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට මේ සා සාපයකට ගොදුරු වූවා නම් මේ තරම් බත් අහක දමන මේ ගැහැණියට යන්නට අපායක්‌වත් තියෙනවාද?” කියා සිතීමෙනි. අපට මෙම කථාව මෙහිදී කියන්නට සිදු වූයේ අද බොහෝ ගෘහණියන් බත් වීසි කිරීම කොතරම් අපරාධයක්‌ දැයි නොසිතා බත් විසි කිරීමේ මහා අපරාධය කරන නිසාය. හීල් බත් කෑමෙන් එම අපරාධය සහමුලින්ම වළකා ගත හැකිය. එය අරපිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයක්‌ වේ.

හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයකි
හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව ඉහතින් විස්‌තර කරන ලදී. ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයද එමගින් අඩු වේ. එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතුඑ ස්‌වභාවික පරිසරය විනාශ වේ. ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වෙයි.

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හොදම විසදුමකි
බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයකි. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම සදහා උයා පිහා ගැනීමටය. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වේ. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම සදහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙයි. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්‍රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට අසු වී ඇත. එහෙත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හොදම විසදුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑමයි.

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි
හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වේ. එයට හේතු රාශියක්‌ම පවතියි. හීල්බත් වල බී විටමින් ප්‍රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වේ. ඒ තුළින් හො`ද ක්‍රියාශීලී මනසක්‌ද ඇති වේ. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගත හැකිය.

හීල් බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ
ඉහත විස්‌තර කරන ලද කරුණුවලින් ඔබට පෙනී යන්නේ හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බවය. එනම් ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම සිදුවේ. එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටද ඉවහල් වේ. එසේ කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යය හීල් බත් කෑම තුළින් දියුණු වන විට දීර්ඝායු ලැබීම නියත ලෙසම සිදු වේ.

තොරතුරු වෛද්‍ය පාලිත සමන් ජයකොඩි.,උ.ගැ අනු
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අවවාදයයි එළවළු තෙල් නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවෙනවා

එළවළු තෙල් භාවිතය අහිතකර ඇයි? මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන සයිඩ් අජ්ලුනි (said ajlouni) සිදුකළ පර්‍යේෂණයක් මඟින් එළවළු තෙල් වලින් ගැඹුරු තෙලේ බැදීම අහිතකර බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන් ලෝහ බඳුන් භාවිතා කරමින් එළවළු තෙල් වලින් බැදීමේදී අධික තාපය හමුවේ විෂ රසායනික මුදා හැරීම සිදුවෙනවා. එසේම මෙම පර්‍යේෂණ වලින් හෙළි වී ඇති වැදගත්ම කරුණ වන්නේ මේ නිසා පිළිකා සහ හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවයි.

පොටැටො චිප්ස් කියන්නේ පුංචි බබාලා වගේම වැඩිහිටියනුත් කන්න කැමති කෑමක්. ආසාවෙන් කෑවට ඇතිවන අහිතකර ප්‍රතිඵල ගැන හුඟ දෙනෙක් දැනුවත් නැහැ. විශේෂයෙන් චිප්ස් සැකසීමේදී එළවළු තෙල් භාවිතය සුදුසු නොවන බව පරීක්ෂණ මඟින් මේ වන විටත් අනාවරණය වෙලා තියෙනවා.

පොටැටො චිප්ස් කියන්නේ ඉතින් අර්තාපල් පෙති ගැඹුරු තෙලේ බැදීමෙන් සකසන අපූරු කෑමක්. නමුත් එළවළු තෙල් භාවිතා කරමින් අධික උෂ්ණත්වයක් යටතේ එය සැකසීම සුදුසු නොවන බව අපි ඔබට පෙරදිත් පැවසුවා. එහෙත් එසේ කරන්නේ නම් එමඟින් ඇතිවන අහිතකර බලපෑමත් විශාලයි. පිළිකා සහ හෘද රෝග සෑදීමේ අවදානමක් ඇති බවයි පර්‍යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ වෙනුවට විකල්ප තියෙනවා ද?
පර්‍යේෂණ වලින් මෙම තොරතුරු හෙළිවීමත් සමඟ එළවළු තෙල් භාවිතයට බහුතරයක් දෙනා බියවීම සහ ඇතිවන අතුරු ආබාධ නිසා මේ වෙනුවට භාවිතා කළ හැකි විකල්ප හඳුන්වා දී තිබෙනවා. ඔලිව් තෙල්, පොල් තෙල් සහ බටර් ඒ අතර ප්‍රධාන වෙනවා. විශේෂයෙන්ම මෙම විකල්ප හඳුන්වා දීම සිදුකර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් වීම සුවිශේෂියි. අදින් පසු එළවළු තෙල් භාවිතයේ දී මෙන්ම පොටැටො චිප්ස් වැනි ආහාර භාවිතයේදීත් ඔබ වඩා සැළකිලිමත් විය යුතු බව මතකයේ රඳවාගන්න.

සටහන අනුපමා හේරත්
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රස ගුණ දෙන පිළිකා නසන රඹුටන්

වසරකට වරක් උදාවන වර්ණවත් රඹුටන් වාරය, කොපර් මදි වීමෙන් වැඩිහිටියන්ට, පසුකාලීනව ,ඇතිවිය හැකි නීරක්තිය, රුධිර නාල පිපිරීම්, හන්දිපත් වේදනා , නිරන්තර ආසාදන, ආදී තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගැන්මට උපකාරීවන අපූරු කාල සීමාවක් බව සඳහන් වෙනවා. කොපර් බොහෝ ආහාරවල නැති එහෙත් රඹුටන්වල යහමින් ඇති පෝෂකයක්. මැලේ ඉන්දුසියානු සම්හවයක් සහිත රඹුටන් ශාකය ශ්‍රීලංකාව ,ඇතුළු ආසියානු රටවල මෙන්ම අප්‍රිකානු මධ්‍ය අමෙරිකානු රටවලද පැතිර පවතින්නක්. එය Spanidaceae කුලයට අයත්. මෙරට මැලයන් රතු , මැලයන් කහ ,ලෙස නිර්දේශිත රඹුටන් ප්‍රභේද ත් වගාකරනු ලබනවා ඒ සඳහා ඉඩම් හෙක්ට්යාර් 3666 ක් යොදාගෙන ඇති බව සඳහන්.

රසවත් පලතුරක් වන රඹුටන් සීනි ද්‍රාවණයක ගිල්වා කල් තබාගත හැකි අතර ඇතැම් රටවල් ඒවා ටින් කර වෙළද පොළට යවනවා. දිනකට අවශ්‍ය C විටමින් ප්‍රමාණයෙන් 66% ක් රඹුටන් ග්‍රෑම් 100කින් ලබාගත හැකියි . එපමණක ශක්ති ඒකක 82 ක් අඩංගුයි. එසේ ම කොපර් මෙන්ම විටමින් B ප්‍රභේද වන නියැසින් රිබොෆ්ලෙවින්, ෆෝලේට් මෙන්ම, යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නීසියම් මැන්ගනිස් තන්තු ,සෝඩියම් කාබොහයිඩ්‍රේට් ආදි පෝෂක හා, රසායන ගණනාවකින් සපිරි පලතුරක්. ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින් පොහොසත් . බැක්ටීරියා,වයිරස්, දිලීර නාශක ගුණ සහිතයි. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන රෝග වළකනවා. එසේ ම නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා වැනි රෝග ද වළක්වනවා . විජලනය දුරුකරන්නක්, විෂ හා මේදය බැහැරකරන්නක්, ලේ වඩන්නක්, බර පාලනය කරන්නක් මෙන්ම පිළිකා වළකන්නක් ලෙස ද ක්‍රියාත්මක වෙමින් සිරුර නිරෝගි කිරීමට දායකවනවා .

රඹුටන් ගෙඩි මෙන්ම අනෙකුත් ශාක කොටස්ද ඔසු ගුණ සහිතයි. පැරණි වෛද්‍ය ක්‍රමවල ශාක මුල් වලින් ඔසුපැන් සකසා උණ රෝගවලට ප්‍රතිකාර ලෙස ලබා දෙනවා. කොළ තලපයක් සේ සකසා හිසේ කැක්කුම් සඳහා යොදාගන්නව ශාකයේ පොතුවලින් මුඛ ආසාදන දුරුකිරීමට ප්‍රතිකාර කරනවා. රඹුටන් විඩාව හා පිපාසය නිවන්නක් . හදවතටත් හිතකරයි .පොටෑසියම් ඇතුළු පෝෂක අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල්, මට්ටම් පාලනය කරමින් හදවත් රෝගවලට වැට බඳිනවා. අග්න්‍යාශයේ ඉන්සියුලින් වර්ධනය කරමින් දියවැඩියාව පාලනය කරනවා. වකුගඩු පිරිසිදුකර දෙනවා. පණු රෝග පාලනය කරනවා. රුධිර සෛල වල ට හානිකරන විස දුරලමින් ඒවා මනාව පවත්වා ගනිමින් නීරක්තිය හා ඒ ආශ්‍රිතව ඇතිවන රෝග අවම කරනවා. විටමින් B සමග ස්නායු පද්ධතිය නිරෝගි කරමින් උදාසීන බව බැහැර කර ප්‍රබෝධය, හා කාර්‍යශීලිතාව ඇති කරනවා.

එසේම, මානසික ආතති බැහැරකර මනසත් සන්සුන් කර දෙනවා . කැල්සියම් මගින් අස්ථි හා දත් ශක්තිමත් වනවා. දන්ත රෝග හා විදුරුමසින් ලේ ගැලීම් ඉන් වළකා ගනු ලබනවා. ඒවායේ ඇති පොලිසැකරයිඩ , කොලෙස්ටරෝල් පාලනය , ආහාර ජීර්ණය පහසු කිරීම, මෙන්ම පද්ධතියේ පිළිකා ඇතිවීම ද වළකනවා . ඊට පුරස්ථි ග්‍රන්ථි පිළිකා ද පාලනය කළ හැකියි. එසේම රඹුටන් ඇටවල අඩංගු NLTI ට්‍රිප්සීන් නිෂේධකාරකය ද මුල්කාලීන පිළිකා ගැට්ති වලට ප්‍රතිකාර කළ හැක්කක් බව සඳහන්වෙනවා. රඹුටන් ලෙල්ලත් පිළිකා නාශක සහිතයි. එහි රූප ලාවණ්‍ය වර්ධනයට යොදාගත හැකි රසායන ඇති බව ද සඳහන්. එහෙත් රඹුටන් ලෙල්ල කටින් සපා ඉවත් කිරීමෙන් එහි ඇති ඇතැම් විෂ සංඝටක තොල් ඉදිමීම් වැනි අපහසුතා ඇති කිරීමට හේතු විය හැකියි . රඹුටන්වල බහුල ප්‍රතිඔක්සිකාරක මගින් සෛල ආරක්ෂාකිරීම ට මෙන් ම විකෘතිවීම් වළක්වාලීමට ද හැකි බැවින් එමගින් ද පිළිකා වළකිනවා.

සෛල විකෘති වීම පාලනය කිරීමේ හැකියාවෙන් හදවත් රෝග, සම රැලි වැටීම් ආදියත් වළකිනවා. ඉන් සම නිරෝගි වී පැහැපත්ව,වඩාත් තරුණ පෙනුමක් ලැබෙනවා. එය ඇස් පෙනුමත් හිසකේත් වර්ධනය කරන්නක්. එසේ ම ශුක්‍ර වර්ධන‍ය කර ලිංගික හැකියාව ද වඩන්නක්. වසරකට වරක් පමණක් සිරුරට ලැබෙන මේ වාසි ලබාගන්නට රඹුටන් වාරයේදී හැකිවෙනවා. එහෙත් අසීමිත ලෙස රඹුටන් කෑමෙන් උගුර රිදීම, පලු දැමීම, වැනි අසාත්මික ලක්ෂණ ඇතිවිය හැකියි. උෂ්ණ ආහාරයක් බැවින් ඒ හා සමග කතුරු මුරුංගා බෙලිමල් වතුර වැනි සිසිලකර ආහාරපාන ගැනීමත් දිනපතා හොදින් නෑමත්, හිතකරයි. එසේ වුවත් කැස්ස, වකුගඩු රෝග, පොතු කබර, වාත රක්ත, බඩ දැවිල්ල ආදිය ඇතිවිට රඹුටන් කෑම සුදුසු නැහැ,

ලිපිය සැකැසුම Indra Rathnay
(මූලාශ්‍ර අත්තම්මාගේ අත් බෙහෙත් හා අන්තර්ජාලය ඇසුරිනි)

බුදුරැස් විහිදෙන සෝමාවතී පුදබිමේ සිදුවෙන හාස්කම්

කිසිවකු කිසිවක්‌ කතා නොකර සෝමාවතිය චෛත්‍ය රාජයාණන් දෙස බලා සිටියහ. ඒ නම් ආශ්චර්යයක්‌මය. චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ල වටේට රශ්මි මාලාවක්‌ විහිදේ සාධු… සාධු… සාධු… ඒ දැකුමෙන් ප්‍රමුදිත වූ දහස්‌ සංඛ්‍යාත බැතිමුතුන්ගේ සාධු නාදයෙන් සෝමාවතිය පුද බිම රැව් පිිළිරැව් දුන්නේය. ඒ අසිරිමත් මොහොත උදා වූයේ පසුගිය ඇසළ පුන් පෝය දින දහවල් 11.30 ට පමණය. විනාඩියක්‌ දෙකක්‌ එම රශ්මි මාලාව කොත් කැරැල්ලට ඉහළින් දිස්‌ විය. ඒ ආශ්චර්යවත් මොහොතේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස සිටීමට තරම් මම ද වාසනාවන්ත වීමි. දූවිලි වලාවන් මැදින් යන සෝමාවතිය ගමන තරමක්‌ කටුකය. එහෙත් එදින සතර දිග් භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් සෝමාවතිය පුදබිම එකම ජන ගගක්‌ බවට පත්ව තිබිණි. එමෙන්ම ඒ පින්බර දිනය පුරා සෝමාවතිය චෛත්‍ය රාජයාණන් අභියස පින්කම් රැසක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එදින රාත්‍රියේ වාර්ෂිකව පවත්වනු ලබන දළදා පෙරහැර පැවැත්වීමට ද සියල්ල සූදානම් කර තිබිණි. ඒ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබා දී තිබුණේ කොළඹ ආර්ය සිද්ධි පදනම විසිනි.

සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි විශාල ජනකායගේ කුස ගිනි නිවීමට බත්, කඩල, සුප් දන්සල් සේම පිපාසය සංසිඳුවාලීමට සිසිල් පැන්, ඛෙලි මල්, තේ පැන් දන්සල් ද බොහෝමයකි. මේ සියලු පුණ්‍යකර්මයන්වලට දායකත්වය ලබාදීම සඳහා කොළඹ සිට විශාල සැදැහැවතුන් පිරිසක්‌ සෝමාවතිය පුදබිමට ගොස්‌ සිටියහ. හිරුගේ රශ්මිය හමන සුළග මදකට සිසිල් කරන්නේය. අපි ඒ පුද බිම වටා ඇවිද ගියෙමු. ගහ කොළට මුවා වී ඉටි පැදුරුවලට බර දී ඇතැම්හු සිල් සමාදම් වී සිටියහ. තවත් බැතිමත්හු මොහොතකට විඩාව දුරුකරගනු වස්‌ තුරුපත් සෙවනේ හාන්සි වී සිටියහ. දෙනෝ දාහක්‌ බැතිමත්හු සෝමාවතිය පුද බිම වටා ඔබ මොබ ඇවිද යමින් සිටියහ. අපි චෛත්‍ය වටා සක්‌මන් කරමින් සිටිමු. ඇසිල්ලෙන් මේ ඓතිහාසික පුද බිමේ ආශ්චර්යවත් සිදුවීම් පෙළක්‌ මගේ සිතේ පෙළගැසෙන්නට විය. ඒ සෝමාවතියේ අප දැන සිටි ආශ්චර්ය පමණි. අප නොදත් තව බොහෝ දේ ඒ අසිරිමත් පුද බිමේ සිදුව ඇති බවට සැක නැත. ඒ ගැන හොඳින්ම දැන සිටින්නේ සෝමාවතිය රජමහා විහාරයේ වැඩ සිටින විහාරාධිපති අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. සෝමාවතියේ නොදත් ආශ්චර්ය ගැන විමසා බැලීමට දැන් අපි උන්වන්සේ බැහැ දකිමු. මම මේ චෛත්‍යයෙන් බුදු රැස්‌ විහිදෙනවා මුලින්ම දැක්‌කේ 1967 අවුරුද්දෙ. එතකොට මෙච්චර දියුණු නැහැ. ලැගුම් ගන්න හරියට පන්සලක්‌වත් තිබුණෙ නැහැ. ඊට පස්‌සෙ 1983 අවුරුද්දෙ චෛත්‍ය වහන්සේට කොටි පහර දුන්නා

සුපහන් සිදුවීම් පෙළකින් පිරී තිබුණු මගේ සිතට කාලකණ්‌ණි මතකයක්‌ නැගෙන්නට විය. මේ ප්‍රදේශ මිනී මරු කොටි ග්‍රහණයේ පැවති සමයේ මේ ඓතිහාසික පුද බිම ගණ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එමෙන්ම ත්‍රස්‌තවාදීහු මේ පුද බිමේ පිවිසුම් දොරටුව වන සුංගාවිල ප්‍රදේශයේ සිටි මිනිස්‌සු පවුල් පිටින් කැති ගා දැමූහ. ඒ කාලේ මරණය සුලභ බැවින් එබඳු මරණය සමාජය තුළ කම්පනයක්‌ ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. මිනී මරු ප්‍රභාකරන් මේ රටේ ජන ජීවිතවලට ගිනි අවුලා තිබුණේ එලෙසිනි. ත්‍රස්‌තවාදීන්ගෙන් මේ ප්‍රදේශ මුදාගත්තට පස්‌සේ 2002 අවුරුද්දෙ අපි නැවත පන්සලට ආවා. ඒ අවුරුද්දෙම අප්‍රියල් 26 වැනිදා උදේ මම අවදිවෙලා චෛත්‍ය දිහා බලන කොට බුදුරැස්‌ විහිදෙනවා. අලි ඇවිත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ කාලේ අපිට පින්තූර ගන්න කැමරා තිබුණෙ නැහැ. නැවත චෛත්‍ය ප්‍රතිසංස්‌කරණය කරලා 2002 අවුරුද්දෙම ජුනි මාසේ 19 වැනිදා කොත් පළඳවන අවස්‌ථාවේත් බුදුරැස්‌ විහිදුනා. ඒ අවස්‌ථාව නම් ඡායාරූපයකට අරගන්න පුළුවන් වුණා. මෙතැන බෝධීන් වහන්සේ නමක්‌ වැඩ සිටියේ නැහැ. මේ ස්‌ථානය ටික ටික දියුණු වී ගෙන එනකොට බෝධීන් වහන්සේ නමක්‌ ඉබේම පහළ වුණා.

2003 අවුරුද්දෙ පෙබරවාරි 4 වැනිදා පිරිත් පින්කම් දවසේ පාන්දර 1.30 ට විතර චෛත්‍ය උඩින් විශාල දුමක්‌ ඇවිත් මොහොතකින් බුද්ධ රූපයක්‌ මතු වුණා. ඒ වගේම මුලින්ම දළදා පෙරහැර පවත්වනකොට චෛත්‍ය ඇතුළෙන් එළියට පෙරහැරක්‌ ආවා. දළදා පෙරහැර පැවැත්වූවේ අලි ඇතුන් ඇතිවයි. පෙරහැරට ඉස්‌සරින්දා කැලෙන් පුංචි අලි පැටියෙක්‌ ඇවිත් මගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා. ඒ අලි පැටියත් එදා පෙරහැරේ ගියා. ඒ අලි පැටියත් එක්‌ක සුදු අලි පැටියෙකුත් පෙරහැර යනවා මිනිස්‌සු දැකලා තිබුණා. ඡායාරූපවලටත් හසු වෙලා තිබුණා. ඒක වුණේ 2009 අවුරුද්දෙ ජුලි 08 වැනිදා. ඒ මාසෙම ජුනි 28 වැනිදා චෛත්‍ය ඇතුළෙන් සුදු අලි පැටියෙක්‌ එළියට ඇවිත් පුංචි දරුවකුගේ ඇගේ හැපිලා තියෙනවා. ඊට පස්‌සෙත් කීප වතාවක්‌ම බුදු රැස්‌ විහිදුනාල නැවත අපි බැතිමතුන් අතරට ගියෙමු. ගිනි මද්දහනේ මිනිස්‌සු පෝලිම් ගැසී සිටිති. සෑම කෙනෙකුගේම සුරතේ අටපිරිකරකි. සෙසු පිරිකර දෑතට ගත් බැතිමතුන් ද නොසිටියාම නොවේ. සාධු නාදය පුද බිම සිසාරා යද්දී අටපිරිකර පෙරහැර චෛත්‍ය රජායාණන් වහන්සේ අභියසට එක පෙළට ගමන් කරයි. පෙරහැරේ ගමන් කළ දහසකට වැඩි බැතිමතුන් අතරින් එක්‌ මවක්‌ අසල මගේ දෙනෙත් නතර විය. හරි හැටි ඇවිද ගැනීමට බැරි තරමට ඇය වියපත්ය. දෙනෙත් පෙරහැර පුරා ගමන් කරයි. මේ සා වියපත් මවක්‌ නම් මගේ ඇස නොගැටේ. අටපිරිකර පෙරහැර අවසානයත් සමග මම ඒ මව අසලට ගියෙමි.

අම්මා කොහේ ඉඳන්ද ආවේ… ඇයව කතාවට සම්බන්ධ කරගැනීමේ අදහසින් මම එසේ ඇසුවෙමි. දඹදෙණියෙ ඉඳලා. අම්මගෙ නම…? ලීලා බෝතේජු. අම්මා කොච්චර කාලෙක ඉඳලා සෝමාවතිය වඳින්න එනවාද? මම මුලින්ම ආවේ 1960 ගණන්වල පුතේ… එතකොට මේවා මහා කැලෑව. චෛත්‍ය ගරා වැටිලා. ඉන්නත් බයයි. ඉක්‌මනට චෛත්‍ය වැඳලා ආපස්‌සට දුවනවා. ඒ කාලේ සුංගාවිල ඔයෙන් එගොඩ වෙන්න පාලම් තිබුණෙ නැහැ. පාරුවෙන් එගොඩ වෙලා සෝමාවතියටම ආවේ පයින්. ඉඳල හිටලා ට්‍රැක්‌ටර්යක්‌ හම්බ වෙනවා. නැත්නම් හැතැප්ම දොළහම පයින් ගාටන්න ඕනා. එහෙම එන වෙලාවට පාර අයිනේ අලි ඉන්නවා. කිසිම දවසක උන්ගෙන් අපිට හිරිහැරයක්‌ වෙලා නැහැ. එක දවසක්‌ පුතේ අපි එනකොට තුන්පත් රැන අපේ ඉස්‌සරහරට එනවා. අපි එකතැන නතර වුණා. දැන් ගහයි… දැන් ගහයි කියලා බය හිතුනා. අනේ පුතේ උන් තුන්දෙනා අපි දිහා බලාගෙන ඉඳලා අපිට යන්න දීලා පාර අයිනට ගියා. මේ කැලේ සත්තුත් මේ පින්බිම වැඳ පුදා ගන්නවා පුතේ…

ලීලාවතී අම්මාට දැන් වයස අවුරුදු 88 කි. 2002 වර්ෂයේ සෝමාවතිය පුද බිම නැවත ප්‍රතිසංස්‌කරණය කර වැඳුම් පිදුම් සඳහා ජනතාවට විවෘත කළ දින සිට සෑම වසරකම ඇය සෝමාවතිය වඳින්නට එයි. අපි ලීලාවති අම්මා සමග කතා කරමින් සිටියදී ඇයත් සමග පැමිණි තවත් මවක්‌ අප සමග කතාබහට එක්‌ වූවාය. මෙතැන පුදුම විදිහට හාස්‌කම් තියෙන තැනක්‌ මහත්තයෝ… මේ චෛත්‍ය දිහා බලාගෙන මොනවහරි ප්‍රාර්ථනා කළොත් ඒක තක්‌කෙටම හරි යනවාල අපේ ගෙවල් තියෙන්නෙ අලව්වේ. මගේ රට ඉන්න ලොකු පුතා කියනවා එයාට ඉබ්බාගමුවෙන් ඉඩමක්‌ ගන්න කියලා. මම පුතාට කිව්වා… පුතේ ඉබ්බාගමුව ගොඩක්‌ දුරයි ඒ වගේම දුෂ්කරයි අපි ගෙවල්වලට කිට්‌ටුවෙන් ඉඩමක්‌ ගමු කියලා. කොහේද පුතා අහුවෙම නැහැ. ඊට පස්‌සෙ මමයි මහත්තයි ඉඩම් බලන්න ඉබ්බාගමුවේ නොගිය තැනක්‌ නැහැ. අපි එහෙම ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. පුතාගෙ බලකිරිල්ලට. අපිට ඉන්නෙ දරුවො දෙන්නයි. ඒ දෙන්නව අපි ළගින් තියාගන්න තමයි අපි කැමතියි. මගේ හිතටත් මේක හරිම වධයක්‌ වෙලා තිබුණෙ.

මේ වෙසක්‌ පෝයට අපි පොළොන්නරුවෙ ආපු වෙලාවේ සෝමාවතිය වඳින්නත් ආවා. එතකොට මම චෛත්‍ය දිහා බලාගෙන මගේ හිතේ තියෙන ප්‍රශ්නය කියලා දරුවගෙ හිත වෙනස්‌ කරලා දෙන්න කියලා ප්‍රාර්ථනා කළා. එහෙම ප්‍රාර්ථනා කරලා ගෙදර ගිහින් දවස්‌ දෙකක්‌ විතර යනකොට ලොකු පුතා මට කතා කරලා කියනවා ~අම්මේ මට ගම පැත්තෙන්ම ඉඩමක්‌ හොයන්න. මම ඉබ්බාගමුව පැත්තට යනවට අම්මල කැමතිත් නැහැනේ කියලා. මට අදහාගන්න බැරි වුණා. අපිට වෙනස්‌ කරගන්න බැරි වුණු පුතාගේ හිත එක පාරටම වෙනස්‌ වුණේ කොහොමද? ඇත්තටම මේ පින්බිමේ බලයෙන් තමයි එහෙම වුණේ… අලව්වේ සිට පැමිණ සිටි චන්ද්‍රාවතී අම්මා අපේ කතාවට එසේ ජීවයක්‌ එකතු කළාය. එහෙත් මේ අසිරිමත් පුදබිමේ ආශ්චර්ය මෙන්ම හාස්‌කම් ගැන තව තවත් අපිට කතාබහර කිරීමට කාලය ඉඩ නොදේ. කළුවර වැටෙන්නට තව ඇත්තේ හෝරා දෙකකටත් අඩු කාලයකි. වෙනත් දිනයක සෝමාවතියේ දළදා පෙරහැර නරඹන බලාපොරොත්තුවෙන් අපි ඒ පුද බිමෙන් සමු ගත්තෙමු.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

මේ ක්‍රමේට පාඩම් කරොත් ඔබටත් විභාගේ ඉහලින්ම සමත්වෙන්න පුළුවන්

පාඩම් කිරීමට දවසේ අසවල් වේලාව සුදුසු යැයි පැවසීම උචිත නොවේ. මක් නිසාද යත් දවසේ අවදිව සිටින සෑම මොහොතක්ම පාඩම් කිරීමට යොදාගත හැකි නිසාය. මේ අනුව බලන සලකා බලන විට පාන්දර මෙන්ම රාත්‍රියේද පාඩම් කිරීමෙහි වාසි ඇත. අප පාඩම් කළයුතු වේලාව තෝරාගත යුත්තේ අපට වඩා සුදුසු යැයි හැගෙන කාලයයි. එමෙන්ම අලූයම 4 – 6 හෙවත් බ්‍රහ්මණ වේලාව ඕනෑම විෂයක් පාඩම් කිරීමට සුදුසු ලෙසත්, රාත්‍රි 11 – 4 නින්දට සුදුසු ලෙස හඳුන්වයි. එහෙත් සමහර ශිෂ්‍යයන් පාඩම් කිරීමට නැකත් උදාවන තුරු බලා සිටී. පාඩම් කිරීමට නියමිත වේලාව උදාවන තුරු සිටීම නොකළ යුත්තකි. පාඩම් කිරීමට වේලාවක් ලැබුණ විගස පාඩම් කිරීම ආරම්භ කළ යුතුය.
’බලා සිටින්න එපා` හිරි වේලාව කිසිවිටෙක උදා නොවෙයි. හරි වේලාව නම් අපට කි්‍රයා කල හැකි වේලාවයි. අදම පටන් ගන්න. ඔබ හිටගෙන සිටින තැනදීම පටන් ගන්න.

ශිෂ්‍යයන් පිරිසක් රෑ නිදි මරා පාඩම කරන විට තවත් පිරිසක් පාන්දරම අවදි වී පාඩම් කරයි. මීට අමතරව දවල් කාලයද පාඩම් කිරීමට යොදාගත හැකිය. එහෙත් බොහෝ දෙනා එම කාලය අමතක කර දමන්නේ පාසල් හා ටියුෂන් යාම නිසාය. ටියුෂන් හා පාසලට සැලකිය යුතු තරම් කාලයක් වැයවන මුත් එම කි්‍රයාවලි දෙකට අමතරව ඉතිරි වන කාලයක් අධ්‍යාපනය සඳහා යොදා ගැනීම කළ හැකි මුත් බොහෝ දෙනා එම කාලය අතහැර දමයි. මෙසේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන මංගලගේ දින චර්යාව සලකා
බලමු.

5.00 ට අවදි වීම, 5.00 – 6.00 පාඩම් කිරීම, 6.00- 6.30 පෙර සුදානම් වීම, 6.30 – 8.00 පාසලට ලඟා වීම, 8.00 – 2.00 පාසල් කාලය, 2.00 – 3.00 පන්තියට ලඟා වීම, 3.00 – 6.00 පන්ති කාලය, 6.00 – 7.00 නිවසට ලඟා වීම, 7.00 – 9.00 වෙනත් කටයුතු, 9.00 – 12.00 පාඩම් කිරීම

මේ කාල සටහන අනුව පෙනෙන්නේ මංගල ප්‍රධාන වශයෙන් පාඩම් කරන්නේ රාත්‍රි කාලයට බවත්, ඔහු දිනකට පාඩම් කරන්නේ පැය 4 ක් පමණක් බවත්ය. එහෙත් ඔහු සත්‍ය වශයෙන් පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාලය වැඩි වශයෙන් පාඩම් වැඩවලට යොදාගන්නේ කෙසේදැයි බලමු.

මංගල 6.00 සිට 6.30 දක්වා කාලය තුල සාමාන්‍යයෙන් පිරිසිදු වීම, පාසල් යාමට සුදානම් වීම හා ආහාර ගැනීම සිදුකරයි. එමෙන්ම ඔහු එම කාලය තුළ පාඩම් කිරීම සිදු කරයි. මංගල සාමාන්‍යයෙන් පාසල් යන්නේ බස් රථයෙනි. එහිදීද ඔහු කෙටි සටහන් පාඩම් කරයි. උදෑසන බස්වල ඇසෙන Nonstop සින්දු ඇසීමට වඩා එය සෑම අතින්ම ඵලදායි කටයුත්තකි. බස් රථයේදී බැලීමට කෙටි සටහන් අඩංගු කුඩා කාඩ් පතක් සාක්කුවේ රඳවාගෙන යෑම ඔහුගේ පුරුද්දකි.

මංගල පාසලේදී ද ලැඛෙන සෑම කෙටි විවේකයකදීම කෙටි සටහන් කියවීමට හෝ ගණනක් දෙකක් සෑදීමට අමතක නොකරයි. විවේක කාලයදී පවා ඔහුගේ හා මිතුරුකැලගේ මාතෘකාව වශයෙන් තෝරා ගත්තේ අධ්‍යාපනික කරුණකි. තවද ඔහු ආහාර ගන්නා විට නිතරම වාගේ ඔහු ඉදිරියෙන් කෙටි සටහන් හෝ ක්‍රියාත්මක කළ කැසට් රෙකෝඩරයක් දැකිය හැකිය. මෙසේ බැලු කල සාමාන්‍යයෙන් මංගල දිනකට පැය 10 ක් පමණ පාඩම් කරයි. මෙසේ කාල සටහනට අනුකූලව වැඩ කිරීම උචිත වුවත් එයටම ඇබ්බැහිවීම අවශ්‍ය නොවේ. සමහර අවස්ථාවල එය අවස්ථානුකූලව වෙනස් කර ගතයුතු වෙයි.

මංගල පාසල් නිමකර පන්ති ගොස් එනවිට රාත්‍රි 7.00 පමණ වන අතර එවිට ඔහුට ගමන තෙහෙට්ටුව නිසා රාත්‍රියට පාඩම් කිරීම අපහසු වූ අවස්ථා ඇත. එවැනි අවස්ථාවලදී ඔහු වේලාසනින් නින්දට ගොස් එම අතපසු වූ වේලාව ආවරණය කිරීමට පසුදා වේලාසනින් නැගිට කෙසේ හෝ ඔහු දිනකට පාඩම් කරන පැය ගණන නොවෙනස්ව තබා ගනී. එමෙන්ම ඔහු සාමාන්‍යයෙන් නින්දට යාමට පෙරද පටිගත කරන ලද කැසට් පට ශ්‍රවණය කරයි.

මංගල එක දිගට පාඩම් කරන්නේ රාත්‍රි කාලයටයි. (රාත්‍රි 9 – 12) අතර සමහර ශිෂ්‍යයෝ මෙසේ රාත්‍රියට පාඩම් නොකර පාන්දර නැගිට පාඩම් කරති. පාන්දරට පාඩම් කරන විට හොඳට මතක හිටින බවට සමහර ශිෂ්‍යයෝ පවසති. එමෙන්ම පාන්දර මොළයට යමක් ශ්‍රවණය කරගැනීමේ තීව්‍රතාව අධික බව සොයාගෙන ඇති නිසා ඉහත කරුණු සත්‍ය බව සිතිය හැකිය. එහෙත් නිමල් වැනි පළමුවර විභාගයට මුහුණදෙන ශිෂ්‍යයන්ට රාත්‍රියට නිදිවරා පාඩම් කිරීමට වඩා උදෑසන පාඩම් කිරීම යෝග්‍ය වෙයි.

එයට හේතුව වන්නේ දහවල් කාලයේ පාසල් ටියුෂන් ගොස් මෙහෙස වී සිටින විට ඉක්මනින් නිදිමත පැමිණීමයි. මෙයින් රාත්‍රියට පාඩම් නොකල යුතු බවට අදහස් නොකෙරේ. රාත්‍රියට තමන්ට හැකි වේලාවක් පාඩම් කළ යුතුය. කෙසේ වුවත් රාත්‍රියට හෝ කිසියම් වේලාවකදී “නිදි මරගාතේ” පාඩම් කිරීම නොකළ යුතුය. නිදිමත, ප්‍රබලව දැනෙන්නේ නම් එයට ඉඩදිය යුතුය.

විභාගය ළංවන විට බොහෝ දෙනා විභාගය ලංවන විට නිදිමතේ ඔලූව කඩා වැටෙද්දී නැවත නැවත පාඩම් කරයි. සමහරු කකුල් දෙක වතුර බේසමේ දමාගෙන පාඩම් කරයි. ඒවා එතරම් ඵලදායි නොවන බව පැවසිය යුතුයි. නිදිමත පැමිණෙන විට මුහුණ සේදීම හෝ කෙටි ව්‍යායාමයක් කිරීම, කෝපි කෝප්පයක් බීම වැනි ක්‍රම තුළින් නැවත ප්‍රකෘති තත්වයට පැමිණීමට හැකිවේ. එසේ කර නැවත පාඩම් කළ හැකිය. කෝපි පානය කිරීම තුළින් එහි ඇති කැෆෝන් නම් උත්තේජකය නිසා ප්‍රබෝධජනක තත්වයක් ඇතිවීම එයට හේතුවයි. එහෙත් එයින් අහිතකර තත්වයන්ද ඇති විය හැකිය. දිනකට ශරීරයට දරාගත හැක්කේ කැෆෝන් මිලි.ග්. 600 කි. එක් කෝපි කෝප්පයක කැෆෝන් ග්. 100 ක් ද තේ කෝප්පයක කැෆෝන් ග්. 60 ක්ද පවතී. දිනකට ශරීරයට දරා ගත හැකි කැෆෝන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට ඇතුළු වුවහොත් අමතර කැෆෝන් මගින් ශරීරයේ ශක්තිය අඩපණ කරයි.

එහෙත් මුලසිටම ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු කළ අයෙකුට මෙසේ වැඩි වේලාවක් නිදි වැරීමේ අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. තවද උදෑසන පාඩම් කිරීමට අවදිවීම තුළින් පාසල් යාම පෙර පිරිසිදු වීම වැනි කටයුතු ද මනා ලෙස ඉටුකර ගත හැකිය. එයින් පාසැලට ප්‍රමාදව පැමිණීමද වළක්වා ගත හැකිය.

රාත්‍රි පාඩම් කිරීමේද වාසි පවතියි. ශිෂ්‍යයෙකු පාඩම් කළ පසු එම කරුණු නින්දේදී හොඳින් මතකයේ තැන්පත් වන බව අධ්‍යාපන මනෝ විද්‍යාඥයින් පවසයි. එහෙයින් රාත්‍රියට පාඩම් කරන ශිෂ්‍යයාට නින්දේදී පාඩම් කළ කරුණු හොඳින් අවධාරණය වෙයි. “අද කළ යුත්තේ අද කළයුතු දෙයයි.”

-දිලාන් ද සිල්වා-
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

ඇවිද්දාම ඔබේ කකුල් ඉදිමෙනවද? මෙන්න එයට හේතුව

ගොඩක් දෙනෙක්ට අද තියෙන ගැටලුවක් තමයි ටිකක් දුර පයින් ඇවිදගෙන ගියාම කකුල් ඉදිමෙන එක. විශේෂයෙන්ම දෙපාවලට දැනෙන වේදනාව එක්ක කකුල් ඉදිමීම ඔබ අනන්තවත් දැකලා ඇති. එහෙමත් නැත්තම් ඔබත් මේ අත්දැකීම විඳලත් ඇති. අද වන විට මැදි වයසේ පසුවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම මෙම රෝගී තත්ත්වයට මුහුණ දෙනවා. එක දිගට වාහනයක පැය 06 ක් 07ක් ඉඳගෙන ගියත් සමහර අයගේ කකුල්වල ඉදිමීම් ඇති වෙනවා. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්ත්වය DVT DEEP VEIN THROMBOSIS රෝගය නමින් හඳුන්වනවා. මේ සඳහා බලපාන්නේ අපේ ශරීරයේ රුධිර සංසරණය කරන රුධිර නාල වර්ග 02 ක්. ඒ ධමනී හා ශිරා. අපට නාඩි ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමානාගමනයයි. අපි එක දිගට ඉදගෙන ගමනක් යන විට අපගේ පාදවල තියෙන ශිරාවල රුධිර ගමනාගමනය තවදුරටත් අවහිර වීමත් සමග එක තැන රැඳීමක් සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි අපි බත් කෙණ්ඩ ලෙස හදුන්වන ප්‍ර‍දේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වු රුධිරය කැට ගැසීමකට ලක් වෙන්නේ. ශිරාවක් තුළ රුධිරය තුළ රුධිරය කැට ගැසීම DVT ලෙස හඳුන්වනවා.

පාද ඉදමීමේ රෝග ලක්ෂණ – පාදය ඉදිමීමට ලක්වු ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැ ගැනීම, මතුපිටට පෙනෙන නහර ගැට ගැසීම හෙවත් නහර පිටට නෙරා තිබීම මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණයි. බොහෝ පිරිසකට මේ ආකාරයේ රෝග ලක්ෂණ නොදැනෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වය තීරණය කිරීමට මෙම ලක්ෂණ පමණක් ප්‍රමාණවත් නැහැ. ඇතැම් විට වෙනත් හේතුන් නිසාද මෙවැනි තත්ත්යක් ඇති විය හැකියි.

කකුල් ඉදිමීම භයානක තත්ත්වයක් වෙන්නේ කොහොමද? ශිරාවකින් කෙරෙන්නේ නැවත හෘද වස්තුව වෙතට රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ භාවිත කළ අපිරිසිදු රුධිරයයි. එම රුධිරය හෘදය මගින් පෙනහලු වෙත පිරිසිදු කිරීම සදහා ලබා දෙනවා. නමුත් ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතැනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියොත් ඇතිවෙන්නේ විනාශයක්. ඒ කියන්නේ හෘදය වෙත යන රුධිර කැටිය හෘදය මගින් පෙහලු වෙත පොම්ප කරනු ලබනවා. මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල මගින් කුඩා හෝ ප්‍රධාන නහරයක් අවහිර කරනවා. මේ තත්ත්වය සමහර විට මාරාන්තික එකක් වෙන්න පුළුවන්. පෙනහලු ක්‍රි‍යාකාරිත්වයට මෙය බලපෑමෙන් රෝගීයා මිය යෑමට හෝ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙනවා.

එක දිගට ඉඳගෙන ගමන් කරීමේදී ඇතිවන අවදානමට අමතරව ශරීරය තුළ ඇති වෙනත් රෝග හා විවිධ රෝග සඳහා ලබා ගන්නා ඖෂධ ද මේ තත්ත්වය ඇති වීමට බලපානවා. ස්ථූලතාවය, ශල්‍යකර්ම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝමෝන පෙති ගැනීම, පිළිකා වර්ග, විෂබීජ අසාදන හා වෙනත් නිධන්ගත රෝගාබාධ නිසාද මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියි. එක දිගට වාහනයක් තුළ ගමන් කිරීමේදී පැය 02 කට 03 කට එක්වරක් හෝ ඇවිදින්න. සිටගෙන සිටීම, ඉරියව් වෙනස් කිරීම හෝ බැන්ඬේජ් පැළදීම වැනි උපක්‍ර‍ම ඉතා වැදගත්. ඒ වගේම ඔබ මෙවැනි ගැටුලුවකින් පීඩා විඳින්නේ නම් වෛද්‍ය ප්‍ර‍තිකාර සඳහා යොමු වීම ඉතා වැදගත්.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

රසම රසට පැටිස් හදන්න ලේසිම ක්‍රමයක්

හවස තේ වලට හදමුද පැටිස්. හවස තේ වලට ගන්නවා නම් උදේ හදන්න ඕනි. මොකද ශීතකරණයේ පැය තුනක් හතරක් ගබඩා කර තැබීමෙන් පැටිස් වලට ක්‍රිස්පි ගතියක් ලැබෙනවා.

මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කප් එකක්, බටර් හෝ මාගරින් මේස හැඳි දෙකක්, බේකින් පවුඩර් තේ හැඳි 1/4, බිත්තර කහමදයක්, අයිස් වතුර, සීනි තේ හැන්දක්, ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය
මුලින්ම පිටි එකට බේකින් පවුඩර්, සීනි, ලුණු, බටර් සහ බිත්තර කහ මදය එකතු කර හොඳින් කලවම් කරන්න.. ඉන්පසු අයිස් වතුර ටික ටික දමමින් පිටි එක අතේ නො ඇලෙන ලෙස අනා ගන්න. දැන් පිටි මෝලිය විනාඩි දහයක් විතර හොඳට නීඩ් කරන්න. එතකොට සොෆ්ට් පිටි මෝලියක් ලැබෙනවා. එය හොඳින් කවර් කර පැයක් ශීතකරණයේ තබන්න.

ඒ අතර පැටිස් එකට පිරවුම හදාගමු.
මං නම් අල, ලීක්ස්, මාළු දාලා තමයි පිරවුම හදන්නෙ.., සාමාන්‍ය සයිස් අල ගෙඩි දෙකයි, පොඩි ලීක්ස් ගහක්, තම්බා පොඩි කර ගත් මාළු පෙත්තක්(සැමන් වුනත් ගන්න පුලුවන්), තෙම්පරාදුව සඳහා තෙල් මේස හැන්දක්, රස අනුව ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, කහ කුඩු සහ මීට් කරි පවුඩර් තේ හැඳි බාගයක්, චොප් කර ගත් ඉඟුරු සුදුළුෑණු, කරපිංචා, සහ අමු මිරිස් කරලක් ලොකු ළුෑණු ගෙඩි බාගයක් – මේ ප්‍රමාණයට පැටිස් 20ක් පමණ සාදා ගත හැක.

මුලින් ම අල ටික හොඳින් තම්බා පොඩි කර පැත්තකින් තබන්න. මාළු හෝ සැමන් ද පොඩි කර වෙනම තබන්න. ලීක්ස් ගහද සෝදා සිහින්ව කපා වෙනම තබන්න. දැන් පෑන් එක ලිපේ තබා තෙල් දමා රත් වන විට ඉඟුරු සුදුළුෑණු කරපිංචා ටික දමා බැදෙන්න හරින්න. එයටම අමු මිරිස් චොප් කර ගත් ලොකු ළුෑණු ටික එකතු කරන්න. ඒ ටික හොඳින් තෙම්පරාදු වන විට ලීක්ස් ටික දමා රස අනුව කෑලි මිරිස්, මීට් කරි පවුඩර් සහ කහ කුඩු එකතු කරන්න. දැන් තම්බා පොඩි කර ගත් අල ටික එකතු කරන්න. අවසානෙට පොඩි කර ගත් සැමන් හෝ මාළු ටික එකතු කර රස අනුව ලුණු ගම්මිරිස් කුඩු දමා ලිප නිවන්න. මාළු හෝ සැමන් අවසානෙට එකතු කර ගැනීමෙන් කරි එක වඩා රසවත් කර ගත හැක.

කරි එක සාදා හොඳින් නිවෙන්න තබන්න.
ශීතකරණයේ දැමූ පිටි මෝලිය ගෙන නැවත හොඳින් නීඩ් කර පොඩි බෝල කඩා විනාඩි 15ක් වසා තබන්න. වෙන් කර ගත් පිටි බෝල ටික හොඳින් තුනී කර රවුම් කපා ගෙන කරි එකෙන් ටිකක් තබා දෙකට නවා වටේ ගෑරප්පුවකින් සීල් කර ගන්න. සාදා ගත් පැටිස් ටික ශීතකරණයේ පැය තුන හතරක් තබා තරමක් අයිස් ගති⁣ය තිබෙන විට ගැඹුරු තෙලේ බැද ගන්න. උණු උණුවෙම පවුලෙ අයත් සමඟ රස බලන්න.

(උපුටා ගැනීම -My Kitchen)

වෙනස්ම රස 7 කින් මාළු උයමුද? මාළු උයන ක්‍රම 07 ක් මෙන්න

මාළු කන්න අපි හැමෝම කැමතියිනේ. හැමදාම එකම විදියට හදනවාට වඩා වෙනස් රස ක්‍රම 7ක්ම අද අපි කියල දෙනවා. හදන්න හරිම ලේසියි. අදම පොඩි Try එකක් දෙන්න. බලන්නකෝ මේ රස 7ම හදලා…

01. රස දිව පිනවන මාතර මාළු ඇඹුල් තියල් හදමු – මාළු ඇඹුල් තියල් නම් ඉතින් මාතර තමයි ‍.විශේෂයෙන් දික්වැල්ල සිට මාතර දක්වා මුහුදු වැල්ල ආශ්‍රිතව ජිවත් වන අයගේ මාළු ඉවුම් පිහුම් ඉතාම රසවත් බව කිව යුතුය. ගම්මිරිස් යොදමින් හදන ඔවුන්ගේ මාළු ඇඹුල් තියල ඉතාම රසවත්ව එවන් මාළු ඇඹුල් තියලක් ඒ ආකාරයෙන්ම අපට ද නිවසේදී සකස් කර ගත හැක. එසේ සකස් කර ගන්නා ආකාරය ප්‍රමිතියටම පහතින් දක්වා ඇත. අවශ්‍ය ද්‍රව්‍ය පහතින්..

මාළු කිලෝ ග්‍රෑම් එකක් (බලයන්,තලපත් හෝ කෙළවල්ලන් වඩාත් රසවත්ය), ගොරකා ග්‍රෑම් 10 ක් පමණ, ගම්මිරිස් තේ හැදි 02 ක් පමණ, අමුමිරිස් කරල් 4ක් 5ක්, කහ තේ හැඳි කාලක් පමණ, ලුණු මේස හැඳි 01, සුදු ළූණු බික් 4 ක්, වියළි මිරිස් තේ හැඳි 01 ක්, රමිපෙ කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට,තලාගත් ඉඟුරු කැබැල්ලක් සහ කුරුඳු කැබැල්ලක්, කරාබු නැටි කිහිපයක්,

සාදා ගන්නා ආකාරය – මාළු කිලෝ ග්‍රෑම් 01 තරමක කුඩා කැබලි කපා හොඳින් සෝදාගන්න සොදාගන්නා විට දෙහි ඇඹුල් ස්වල්පයක් දඑක්කරගන්න පසුව ගොරකා කැබලි ටික උණු වතුරට දමා මද වේලාවකින් මිරිස් ගලක් භාවිතා කර අඹරාගන්න ඉඟුරු, සුදු ළූණු හා වියලි මිරිස් ද අඹරා ගන්න ඉන්පසුව ගොරකා, ගම්මිරිස්, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, ඉඟුරු, වියලි මිරිස්, සුදු ළූණු, කුරුඳු, ලුණු ,කරාබු නැටි ආදී සියල්ලම මැටි බඳුනක (මැටි බඳුන පතුලට කෙසෙල් කොළයක් අතුරා ගන්න) දමා හොදින් අතින් මිශ්‍ර කරගන්න පසුව එයට වතුර කෝප්පයක් පමණ එක්කර වතුර හි‍‍ඳෙනතුරු සාමාන්‍ය රස්නයකට අඩිය යාන්තමට රොස් වන තුරු තැම්බෙන්නට හරින්න. තම රුචිකත්වය පරිදි ගම්මිරිස් හා වියළි මිරිස් අනුපාතය වෙනස් කරගත හැක.

02. මාළු ඩෙවල් – ඔන්න අද කියලා දෙන්න යන්නෙ “මාළු ඩෙවල්” එකක් හදාගන්නේ කොහොමද කියලා. බලන්නකෝ එහෙනම් “මාළු ඩෙවල්” හදන්නේ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය පහතින්..

තලපත් මාළු 500g, ලොකු ළුෑණු 50g, තක්කාලි ගෙඩි 02, මාළු මිරිස් කරල් 06, අමුමිරිස් කරල් 04, කෑලි මිරිස්‌ තේ හැදී 04, ගම්මිරිස් කුඩු තේ හැදී 1/2, දෙහි ගෙඩි 01, සුදුළුෑණු තේ හැදී 01 (සිහින්ව කපාගත්), ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්), කරපිංචා ස්වල්පයක්, පදමට ලුණු, සොයා සෝස් තේ හැදී 04, තක්කාලි සෝස් මේස හැදී 03, සුප් කැට 01, සිනි තේ හැදී 1/2, එළවළු තෙල් (බැද ගනීමට), වතුර ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය – පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න. ඉන් අතුරුව එයට දෙහියුෂ, ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා පදම් වෙන්න (සීසන් වෙන්න) විනාඩි 15 පමණ තබන්න. ඉන්පසු ලොකු ළුෑණු, මාළු මිරිස්, තක්කාලි, ඩෙවල් හැඩයට කපා ගන්න. (ඔයාලා කැමති හැඩයකට උනත් කපාගන්න පුලුවන්.) අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න. ඉන් පසු පිරිසිදු භජනයක් ලිප තබා, එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු කපා ගන්නා ලද සුදුළුණු සහ ඉගුරු එකතුකර, රන් පැහැය වූ පසු එයට කරපිංචා, ලොකු ළුණු සහ මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න. අනතුරුව එයට කැලි මිරිස් සහ සොයා සෝස් ස්වලපයක් මිශ්‍ර කර, බැදගත් මාළු කැබලිද එයට එකතු කර, ලිපේ ගින්දර මදක් අඩුකර, එයට තක්කාලි සෝස්, සිනි සහ අනිකුත් රස කාරක මිශ්‍ර කර විනාඩියකින් පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතකර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර හැකි විගස ලිපෙන් බාගන්න. එච්චරයි.. දැන් තියෙන්නෙ ඩෙවල් එක වෙන භාජනයක දාලා කෑම මේසයට යවන්න විතරයි.

වැදගත්: ඔයාලට අවශ්‍යනම් මේකට කංකුන් සහ ලිස් එකතු කරගන්න පුලුවන්. හැබැයි කංකුනුයි ලීසුයි දානවා නම් දාන්න ඕනෙ අන්තිමට. එහෙම නැතුව මුලින් දා ගත්තොත් එහෙම කංකුන් සහ ලීස් වල පාටයි රසයයි වෙනස් වෙනවා.

03. ස්පයිසි ෆිෂ් ෆ්‍රයි – ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති බදිනකොට අපි පාවිච්චි කරන ක්‍රමයක් ගැන. සරලවම කියනවනම් මිශ්‍රණයක මාළු දවටලා ඇරන් තෙල් වල බැදගන්න තමයි යන්නෙ. අපි මේකෙදී හදාගන්න මිශ්‍රණය කෑලි මාළු බදින්න ගන්න කොටත් පාවිච්චි කරන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය පහතින්..

කුඩා මැකරල් මාළු 4 (250g ක් පමණ), වියළි මිරිස් කරල් 7 – 8ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.), චොප් කර ගත් (පොඩියට කපා ගත්ත) අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්, සුදුළූණු බික් 6 – 7ක්, ගම්මිරිස් ඇට තේ හැදි 1 ½ ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.), කහ කුඩු තේ හැදි ¼ – ½ ක් පමණ, කුරුඳු පොතු කෑල්ලක්, කරාබු නැටි 1 – 2ක්, සීනි තේ හැදි ½ – 1ක් පමණ, විනාකිරි මේස හැදි 3 – 3 ½ ක් (රස අනුව අඩු වැඩි කර ගන්න.), ලුණු (රස අනුව), ඔලිව් තෙල් මේස හැදි 1ක් පමණ, පොල් තෙල් (බැද ගැනීමට)

සාදා ගන්නා ආකාරය – මුලින්ම විනාකිරි ටික භාජනයකට දාලා ඒකටම වියළි මිරිස් කරල් ටිකයි, චොප් කපු ඉඟුරු ටිකයි, සුදුළූණු බික් ටිකයි, ගම්මිරිස් ඇට ටිකයි, කුරුඳු පොතු කෑල්ලයි, කරාබු නැටි ටිකයි දාලා හොදට කලවම් කරන් විනාඩි 30 – 45ක් විතර විනාකිරි වල පොඟවලා තියෙන්න අරින්න. ඒ අතරතුරේ මාළු ටික සුද්ද කරන් හොදට සෝදලා පිරිසිදු කරන් පිහියකින් හරහට ඉරි ගහ ගන්න. (පහළ පින්තූර බැලුවහම පැහැදිලි වේවී.) ඊට පස්සේ කලින් විනාකිරි වල පෙඟෙන්න දාපු ඔක්කොමත් එක්ක ලුණුයි, සීනියි, කහ කුඩුයි, ඔලිව් තෙලුයි බ්ලෙන්ඩර් එකට දාලා පේස්ට් එකක් වෙන්න හොදට බ්ලෙන්ඩර් කර ගන්න ඕනේ. (බ්ලෙන්ඩර් කරන කොට වතුර එකතු කරන්න එපා. කෑලි හිටින්නේ නැති විදියට බ්ලෙන්ඩර් කර ගන්න.) දැන් මාළු වලට හදා ගත්ත පේස්ට් එක දාලා මාළුන්ගෙ ඇතුලට පේස්ට් එක කා වදින විදියට හොදට දවට ගෙන විනාඩි 30 – 45ක් විතර පදම් වෙන්න තියන්න. (මුළුතැන්ගේ පැත්තට අලුත් අය මාළු ටික තලලා කරලා එහෙම පදම් කරන්න හදනවා එහෙම නෙමෙයි ඕන්.. මිශ්‍රණය දවටලා තිබ්බම මාළු ටික ඉබේම පදම් වෙනවා.) පස්සේ පෑන් එකක් සාමාන්‍ය ගින්දරේ ලිපේ තියලා තෙල් දා ගෙන රත් වෙන්න දෙන්න. තෙල් රත් වුණාට පස්සේ මාළු ටික රන්වන් දුඹුරු පාට වෙනකන් දෙපැත්ත හරවලා බැද ගෙන රස බලන්න.

වැදගත්: මේ විදියට පරා පැටව්, සාලයෝ, හුරුල්ලෝ වගේ මාළු ජාති හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ පේස්ට් එක කපපු මාළු බදින්න ගන්න කොට වුණත් පාවිච්චි කරන්න පුළුවන්. තව මේ පේස්ට් එක හදා ගන්න කොට බ්ලෙන්ඩර් කර ගන්නේ නැතුව ගලේ අඹර ගෙන වුණත් හදා ගන්න පුළුවන්. විනාකිරි වෙනුවට දෙහි ඉස්ම හරි, සියඹලා ඉස්ම හරි එකතු කර ගන්න පුළුවන්.

04. මාළු තෙම්පරාදුවක් දමමු – හැමදාම මාළු එකම විදිහට හදන්නෙ නැතුව මේ විදිහටත් හදලා බලන්නකෝ. එහෙනම් බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියලා… අවශ්‍ය ද්‍රව්‍ය පහතින්..

පොඩි මාළු (සාලයා, පොඩි හුරුල්ලන්), පොඩි රට ළුෑණු ගෙඩියක්, අමු මිරිස් කරල් 4/5ක්, සුදුළුෑණු බික් 2, කරපිංචා ටිකක්, රම්ප, කෑලි මිරිස් මේස හැඳි 1ක්, තෙල් ටිකක්, කහ කුඩු තේ හැඳි 1, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, කුඩා ගොරකා අන්ඩක්.

සාදා ගන්නා ආකාරය – මාලු පිලී යන්නට හොදින් සෝදා ගන්න.(දෙහි හෝ විනාකිරි ටිකක් ලුණු සමඟ දැමූ විට හොදින් පිලී ගතිය යයි). පසුව මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, දමා හොදින් මිශ්‍ර කරගෙන පසෙකින් තබා ගන්න. බදුනකට තෙල් ටිකක් දමා ලිප තබා රත් වනවිට කපාගත් ළුෑණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා, සුදුළුෑණු, දමා තෙම්පරාදු කරගන්න. යන්තම් රන්වන්පාට වූ විට මාලු එයට දමා කලවම් කර, අඩු ගින්දරේ වසා තබන්න. විටින් විට සෙමින් කලවම් කරගන්න. (නැත්නම් අඩිය අල්ලන්න පුලුවන්) මාළු හොදින් ඉදුණු පසුව ලිපෙන් බාගන්න.(ගොරකා වෙනුවට අවසානයේ දෙහි ඉස්ම ටිකක් ද දමා ගත හැක.)

05. කිරි මාළු (මාළු කිරට) – අවශ්‍ය ද්‍රව්‍ය පහතින්…

මාළු ග්‍රෑම් 500 යි (කෑලි මාළු තමයි ගොඩක් වෙලාවට ගන්නේ), ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2 යි, තුනපහ කුඩු තේ හැඳි 2 යි, කහ ස්වල්පයක්, සුදු ළූණු බික් 3 යි, අමු ඉඟුරු කැබැල්ලක්, අමු මිරිස් කරල් 3 යි, ගොරකා කැබැල්ලක්, රතු ළූණු ගෙඩි 5 යි, රම්පෙ, කරපිංචා, කුරුඳු පොත්තක්, පොල් කිරි කෝප්ප 1 යි, අබ ස්වල්පයක්, ලුණු අවශ්‍ය පමණ

සාදා ගන්නා ආකාරය – කපා සෝදා ගත් මාළු බඳුනකට දමන්න. ඉඟුරු, සුදු ළූණු අඹරා එයටම දමන්න. කිරි හැර අනෙකුත් ද්‍රව්‍ය මාළු සමග එයට දමන්න. සියල්ල හොඳින් කලවම් කර අතගා තබන්න. ලුණු ඇඹුල් ඇල්ලූ පසු මිටිකිරිද දමා කලවම් කරන්න. ඉන්පසු තෙම්පරාදුවට අවශ්‍ය දෑ ළිප තබා අබ ඇට ටිකද දමා අබ පුපුරන විට මාළු මිශ්‍රණය එයට දමා පියන වසා මදගින්නේ උයන්න. වරින් වර සොලවමින් උයාගන්න (මාළු කැබලි වීමට ඉඩ ඇති හෙයින් වැඩිය හැදි ගාන්න එපා. ඒ වෙනුවට වලඳ වරින් වර සොලවමින් උයාගන්න.)

වැදගත් – ගොඩක් හැදි ගෑවොත් මාළු කුඩු වෙන්න, කැබලි වෙන්න, එහෙමත් නැත්නම් හොද්දටම දිය වෙන්න බලනවා.

06. වෙනසකටත් එක්ක මාළු මේ විදිහට උයමුද? ඔන්න මහත්තුරුන්ට උදේට බත් බදින නෝනලාට මේක ගොඩක් උපකාරී වෙව්. අවශ්‍ය ද්‍රව්‍ය පහතින්..

තලපත් මාළු (හෝ ඔනම මාළු වර්ගයක්), ලුණු සහ දෙහි ඇඹුල් ස්වල්පයක්, තෙල්, ලොකු බී ළූණු, අමුමිරිස්, තක්කාලි, සුදුළූණු, ඉගුරු, රම්ප, කරංපිචා, එනසාල්, කුරුපොතු, නොබැදපු මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, ගොරක, මිටිකිරි කොප්පයක්.

සාදා ගන්නා ආකාරය – තලපත් මාළු හෝ සෑම මාළු වර්ගයක් අරන් සාමාන්‍ය කැබිලිවලට කපා ගන්න. එයට ලුණු සහ දෙහි ඇඹුල් ස්වල්පයක් දාමා සිසන් කර ගන්න. (හොදට අනාගන්න). දැන් මාළු ගැඹුරු තෙලෙ බැද ගන්න රන්වන් පාට වෙනකන්. දැන් ලොකු බී ළුෑණු ගෙඩියක් හො දෙකක් රවුමට පෙති කපලා ගන්න. අමුමිරිස්, තක්කාලි කපාගන්න. සුදුළූණු, ඉගුරු සිහින්ව තලා ගන්න. රම්ප, කරංපිචා, එනසාල්, කුරුපොතු මේ සියල්ල ලැස්ති කර ගන්න. දැන් පැන් එකක් ලිප තබා එයට ඔනම වර්ගයක තෙල් අවශ්‍ය ප්‍රරමාණයට දාමා ගන්න. දැන් ලැස්ති කරගත් අඩුම කුඩුම ටික තෙලෙට දාමාගන්න. දැන් එයට නොබැදපු මිරිස්කුඩු දාමා ගන්න. මිරිස්කුඩු ටික රන්වන් පාට වෙනවා තෙලට දැම්මාම එතකොටම ගම්මිරිස් කුඩු දාමා ගන්න. දැන් හොදි කවලම් කරන්න ලිපෙ තියෙන අඩුම කුඩුමටිකට මිරිස්කුඩු මිශ්‍ර වෙන්න. දැන් බැදගත් මාළු ටික මිශ්‍ර කරන්න ලිපෙ තියන බී ළූණු මිශ්‍රණයට දැන් හොදින් කවලම් කර කුඩා ගොරක කැල්ලක් දාමා මිටිකිරි කොප්පයක් දාමා නටවා ලුණු ඇඹුල් බලා ලිපෙන් බාගන්න.

07. මාළු මිරිසට – අවශ්‍ය ද්‍රව්‍ය පහතින් ….

මාළු ග්‍රෑම් 500 යි, මිරිස් කුඩු මේස හැඳි 1 1/2 යි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1 යි, රම්පේ, කරපිංචා, අමු ඉගුරු කැබැල්ලක්, සුදු ළූණු බික් 3 ක්, අමු මිරිස් කරල් 2 ක්, කුරුඳු කැබැල්ලක්, ගොරකා කැබලි 4 ක් පමණ, ලුණු අවශ්‍ය පමණ.

සාදා ගන්නා ආකාරය – මාළු කපා සෝදා ගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු අඹරා ගන්න. ගොරකා ද අඹරා ගන්න. බඳුනකට මේ සියළුම දුව්‍ය සමග මිරිස් කුඩු ඇතුළුව මාළුද දමන්න. හොඳින් කළවම් කර මාළු කැබලි වැසෙන සේ වතුර ටිකක්ද දමා කළවම් කර මද ගින්නේ පිසගන්න. (ඔබට අවශ්‍ය නම් ගොරකා, ඉගුරු, සුදු ළූණු අඔරන්නේ නැතිව එකතු කරන්නත් පුඵවන්.)

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

කුඩා දරුවන්ගේ මොළයේ නිසි වර්ධනයට දරුවන්ට දිය යුතු ආහාර වර්ග

මිනිස් අවයව අතර පවතින ප්‍රධානතම අංගය වන්නේ මොළයයි. දරුවෙකු පිළිසිඳගත් මොහොතේ සිටම ඔහුගේ හෝ ඇයගේ මොළයේ වර්ධනය සම්බන්ධව අවධානයෙන් සිටීම අතිශයින් වැදගත් වන්නේ මව් කුස තුළ වැඩෙන අවධියේදී පටන්ම මවගේ නිසි පෝෂණය දරුවාගේ මොළය හොඳින් වර්ධනය වීම කෙරෙහි බලපාන නිසයි. දරුවෙකුගේ උපතින් පසු පළමු වසර පහ ඇතුළත මොළයේ වර්ධනයෙන් 90% පමණ සිදුවේ. දරුවෙකුගේ මුල් අවුරුදු තුනේදී මොළයේ සෛල අතර ඇතිවන සම්බන්ධතාවයන් ඉතා වේගවත් වන අතර ඒ සඳහා නිසි පෝෂණයක් ලැබීම අත්‍යවශ්‍යමය. ඒ වෙනුවෙන් මහා පෝෂක වන කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, මේදය සහ ක්‍ෂුද්‍ර පෝෂක වන විටමින් හා ඛනිජ ලවණ අන්තර්ගත ආහාර වර්ග ලබා දීම අත්‍යවශ්‍ය වේ.

කාබෝහයිඩ්‍රේට
වයස අවුරුදු 1ත් 3ත් අතර දරුවෙකු සඳහා දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය කැලරි 1100 – 1400 අතර අගයක් බව පැවසුවද එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි. මෙම වයසේ දරුවන්ට ප්‍රධාන ආහාර වේල් 3 කින් සහ අමතර ආහාර වේල් දෙකකින් සියලු පෝෂක අන්තර්ගත ආහාර ලබා දීම ඉතා වැදගත් වේ.

ප්‍රෝටීන්
ප්‍රෝටීන යනු දරුවෙකුගේ මොළය වර්ධනයට අතවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් එකක් වන අතරම මාළු, මස්, හාල්මැස්සන්, මුං ඇට, කඩල, කව්පි, බිත්තර සහ සෝයා ප්‍රධාන වශයෙන් දරුවෙකුගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සම්පුර්ණ කරන ආහාර වන අතරම මෙම අවදියේ දරුවෙකුගේ ප්‍රධාන ආහාර වේල් සඳහා ප්‍රෝටීන අඩංගු ආහාර වර්ග අවම දෙකක්වත් තිබීම වැදගත් වේ.

මේදය
සිරුරින් නිපදවෙන මේද අම්ලවලට අමතරව නිසි පෝෂණය සඳහා අත්‍යවශ්‍ය මේදය බාහිරින් සිරුරට ලබා දිය යුතු අතරම එසේ දිය යුතු දරුවෙකුගේ මොලයේ වර්ධනයට අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන්නේ ඔමේගා 3 සහ 6 ය. මව් කිරිවල අන්තර්ගත වන ඔමේගා 3 මේද අම්ලය මොළය වර්ධනයට මෙන්ම බුද්ධි වර්ධනයටද අත්‍යවශ්‍ය සාධකයකි.

ඔමේගා 3 සහ 6 මේද අම්ලය – බලයන්, කෙලවල්ලන්, හුරුල්ලන්, අලගොඩුවන් සහ මාළු තෙල් අඩංගු ආහාර, පලා වර්ගවල සුළු වශයෙන්

ඔමේගා 6 මේද අම්ලය – සෝයා, කවුපි, සූරියකාන්ත තෙල්

විටමින් හා ඛනිජ ලවණ
විටමින් A, D, E, ෆොලේට හා කෝලින් යන විටමින මොළය වර්ධනය කෙරෙහි බලපාන බව පැවසෙන අතරම යකඩ, අයඩින් හා සින්ක් ද දරුවන්ගේ මොළය වර්ධනයට වැදගත් ඛණිජ ලවණ අතර ප්‍රධාන තැනක් ගනියි.

විටමින් A බහුල ආහාර
බිත්තර, කිරි, බටර්, මාළු තෙල්, යොදය සහිත කිරි, මස්, කහ පැහැති එළවළු, පලතුරු හා තද කොළ පැහැති පලාවර්ග

විටමින් E
කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට වර්ග, රතු අල, පලා වර්ග, නැවුම් එළවළු/පලතුරු

විටමින් D
මාළු තෙල්, මාළු, මස්, සත්ත්ව අක්මා, බිත්තර, බිම්මල්

ෆොලේට
නැවුම් එළවලු, හා පලතුරු , කඩල, පරිප්පු, මුං, කව්පි හා වෙනත් ඇට වර්ග.

කොලින් විටමිනය – බිත්තර කහමදය

යකඩ
මාළු, මස්, බිත්තර කහමදය, තද කොළ පැහැති පලාවර්ග

අයඩින්
කුඩා මාළු, වියලි හාල්මැස්සන්, ඉස්සන්, කරවල, කකුළුවන් හා මුහුදු ආහාර

සින්ක්
මාළු, මස්, කිරි මෙන්ම කජු හා රටකජු, ඇට වර්ග

දිනපතා ආහාරයට සමබල ආහාර වේලක් නිසි ප්‍රමාණයෙන් එකතු කර ගැනීම දරුවාගේ නිසි වර්ධනයට මෙන්ම මොළය වර්ධනයටද ඉතා විශාල බලපෑමක් ඇතිකළ හැක. පුද්ගලයෙකුගේ බුද්ධි වර්ධනයට හේතු පාදක වන කාරණා බොහෝමයි. ඒ අතුරින් පෝෂණය මෙන්ම ජානමය මෙන්ම පාරිසරික සාධක මෙන්ම එදිනෙදා ජිවිතයේ ලබන අත්දැකීම් ද ප‍්‍රධාන වෙනවා. සැමවිටම බලපෑම්වලින් තොරව ඔබේ දරුවාට නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය පරිසරය ගොඩ නගා දීම ඔබේ යුතුකමක් වන අතරම සමවයස් කාණ්ඩ හා සමග එක්ව කටයුතු කිරීමටද අවස්ථාව ලබා දීම බොහෝ සෙයින් වැදගත් වනු ඇති.

(සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ පුහුණු වෛද්‍ය මහේෂ් කුඹුකගේ මහතා සමග සකසන ලද ලිපියකි.)

කතරගම දෙවියන්ගේ පිහිට ලබාගන්න නිවැරදි පිළිවෙත

ඈත අතීතයේ සිටම කතරගම දෙවියන් තරම් අප රටේ ජනතාව අතර ඇදහීමට පාත්‍රවූ වෙනත් දෙවි කෙනෙකු නැති තරම්ය. ඒ බව දිනපතාම පාහේ කතරගම දෙවොලට රැස්වන බැතිමතුන්ගෙන් හා කතරගම දෙවියන් පිළිබඳව පුවත්පත්වල පළවෙන ලිපි මගින්ද පෙනෙයි. නමුත් දෙවියන් ඇදහීම පිළිබඳව බොහෝ දෙනකුට පැහැදිලි අවබෝධයක් ඇති බව නොපෙනෙන අතර දෙවියන් ඇදහීමෙන් තමන්ට ලැබෙන්නේ කුමන විධියේ ආනිසංසද යන වගද නොදන්නා බව පෙනෙයි. සෑම දෙවි කෙනෙක්ම සෝවාන් ඵල හෝ උසස් ඵලයක් පතා පාරමීදම් පුරන උතුමෝය. කතරගම දෙවියන් බුදු බව පතා පිං අපේක්ෂාවෙන් වැඩ සිටින බව විශ්වාසයයි. මේ විශ්වයේ උපත ලබන මිනිසුන්ට තෝරාගත හැකි මාර්ගයන් දෙකකි. එනම්, ආධ්‍යාත්මික (ලෝකෝත්තර) මාර්ගය සහ ලෞකික මාර්ගයයි.

ලෝකෝත්තර මාර්ගය තෝරාගැනීමට නම් සංසාරගතව පැවතෙන පුරුද්දක් එම පුද්ගලයාට හිමිව පැවතිය යුතු අතර තමන්ට ලෝකෝත්තර මාර්ගය හිමි බව නොදන්නා පුද්ගලයෝ ද සිටිති. මිනිසුන්ගෙන් බොහෝදෙනකු පතන්නේ මිල මුදල්, යාන වාහන, දේපළ වස්තුව, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික වර්ධනයි. දෙවිවරුන් ඇදහීම හා දෙවිවරුන්ගෙන් පිහිට ලබාගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියානු ජ්‍යොතිෂයෙන් මග පෙන්වීමක් ලබාදී ඇත. පාරම්පරික ජ්‍යොතිෂ්‍යවේදීන් ‘ගුරු මුෂ්ටි’ ලෙස සඟවාගෙන භාවිත කළ කරුණු කිහිපයක් මම හෙළි කරමි. එක් එක් ග්‍රහයන් විසින් නිවේදනය කරනු ලබන දෙවිවරුන් මෙසේය

රවි – ශිව, සඳු – ගව්රි, කුජ – ස්කන්ද, බුධ – විෂ්ණු, ගුරු – සම්බශිව, සිකුරු – ලක්ෂ්මි, සෙනසුරු – නාරායන, රාහු – දුර්ගා, කේතු – ගණපති

‘ස්කන්ද දෙවිඳුන්’ කතරගම ප්‍රදේශයේ වැඩ සිටින බැවින් ‘කතරගම දෙවියන්’ නමින් ව්‍යවහාර කරන අතර ඉන්දියාවේ හා හින්දු භක්තිකයෝ ‘මුරුගන්’ නමින්ද හඳුන්වති. ලෝකෝත්තර හා ලෞකික යන මාර්ගයන් අනුව මනුෂ්‍ය ජීවිතය තුළ දෙවිවරුන් නිවේදනය වන ආකාර තුනකි. 1. ඉෂ්ට දේවතාවන් ලෙස / 2. ධර්ම දේවතාවන් ලෙස / 3. පාලන දේවතාවන් ලෙස

1) ඉෂ්ට දේවතාවන් — ඉෂ්ට දේවතාවන්ගේ අරමුණ වන්නේ ජන්මියා මෝක්ෂ මාර්ගයට යොමු කිරීමයි. ලෝකෝත්තර දියුණුව ලබාගැනීමට නම් ජීවිතයේ සත්‍යය අවබෝධ කරගත යුතු අතර තෘෂ්ණාවෙන් මිදීම හෙවත් බැඳීම් අත්හැරීමට ජන්මියා යොමුවිය යුතුය. එම නිසා ලෞකික දියුණුව අපේක්ෂාවෙන් යම් පුද්ගලයකු තමන්ගේ ඉෂ්ට දේවතාවන් අදහන්නේ නම් එම පුද්ගලයාගේ අපේක්ෂාවන් ඉටු නොවන අතර ජීවිතයේ තවත් කරදර හා බාධකවලට මුහුණදීමට සිදුවිය හැකිය. එවිට එම පුද්ගලයා නිතැතින්ම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වන බැවිනි. ස්කන්ද දෙවියන් යම් පුද්ගලයකුගේ ඉෂ්ට දේවතාවන් වන්නේ නම් එම පුද්ගලයාට ‘දෙවියන් දැකීමේ භාග්‍යය’ හිමිවනු ඇත. ‘දෙවියන් දැකීම’ යන කරුණ තුළ සිද්ධි දෙකක් නිවේදනය කරයි. එනම් වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකීම හෝ දෙවියන්ගේ බලය තමන්ගේ ජීවිතය තුළින් අත්දැකීම යන්නයි. ස්කන්ද දෙවිඳුන් ඉෂ්ට දේවතාවන් වන පුද්ගලයකුට වෙනත් පුද්ගලයකුගේ රුවකින් දෙවියන් දැකිය හැකි බව කියැවෙයි. අනෙක් බැතිමතුන්ට, දෙවියන්ගේ බලය තම ජීවිතය තුළ අත්දැකිය හැකිය. මේ කුමන ආකාරයට හෝ දෙවියන් දැකීමට නම් එම පුද්ගලයා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ධර්මානුකූල ජීවිතයක් ගත කළ යුතුය. දෙවියන්ව රැවටිය නොහැකි බව සෑම කෙනෙකුම දැනගත යුතුය.

2) ධර්ම දේවතාවන් — යම් පුද්ගලයකු මේ ලෝකයේ උත්පාදනය ලැබීමට හේතුවන මූලය වන්නේ පූර්ව භවයන්හිදී තමන්ට ඉටුකර ගැනීමට නොහැකිවූ අරමුණු හා ආශා ඉටුකර ගැනීමයි. එම නිසා ධර්ම දේවතාවන්, යම් පුද්ගලයකුගේ ආත්මීය උවමනාවන් ඉටුකර ගැනීමට මග පාදනු ඇත. එම උවමනා ලෝකෝත්තර මාර්ගයට හෝ ලෞකික මාර්ගයට හෝ යොමුවිය හැකිය. මේ තුළින් යහපත් කර්මයන් මෙන්ම අයහපත් කර්මයද උත්පාදනය වෙයි.

3) පාලන දේවතාවන් — මේ ලෝකයේ උත්පාදනය ලබන මිනිසුන්ගෙන් බහුතරයකට ඇත්තේ මිල මුදල්, යාන වාහන, ඉඩම්කඩම්, විවාහ හා දරු සම්පත් වැනි ලෞකික ආශාය. ජන්මියාගේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමට පාලන දේවතාවන් පිහිටවනු ඇත.

ස්කන්ද දෙවිඳුන් ඔබගේ ඉෂ්ට දේවතාවන්ද, ධර්ම දේවතාවන්ද, පාලන දේවතාවන්ද යන වග දැනගන්නේ කෙසේද? බොහෝ බැතිමතුන් දෙවියන් අදහන්නේ මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිව නොවේ. අප රටේ භාවිත කරන ජ්‍යෙතිෂ සිද්ධාන්තයන් තුළින්ද දෙවියන් ඇදහීම පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබානොදෙයි. එම නිසා ඔබ භාවිත කරන සාමාන්‍ය දළ කේන්දරයෙන් මෙම තොරතුරු සොයා ගැනීමට නොහැක. මේ සඳහා වේදීය ක්‍රමයට කේන්දරයක් සාදාගත යුතුය. ආත්ම කාරක ග්‍රහයා සහ අමාත්‍යකාරක ග්‍රහයා සොයාගෙන, එම ග්‍රහයන් නවාම්ශයේ සිටින ස්ථානය අනුව දේවතාවන් සොයාගත යුතුය. කුජ ග්‍රහයා මගින් ස්කන්ද දෙවිඳුන් නිවේදනය කරයි.

ස්කන්ද දෙවිඳුන්ගේ පිහිට ලබාගන්නේ කෙසේද? කතරගම වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් බො​හෝ දෙනෙකුට ‘කඳ සුරිඳුන්’ දැකගැනීමේ අපේක්ෂාව ඇත. නමුත් එය හැමෝටම උදා නොවන භාග්‍යයකි. සමහරවිට ඔබද එම භාග්‍යය හිමි බැතිමතකු බව ඔබ නොදැන සිටින්නට පුළුවනි. එම නිසා මුලින්ම ඔබගේ දේවතාවන් දැනගත යුතුය. කෙසේ නමුත් දෙවිඳුන් දැකීමට හෝ පිහිට ලබාගැනීමට හෝ ඔබ තුළ පූර්ව සූදානමක් තිබිය යුතුය. ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් මෙසේය. දෙවියන් වෙත ළංවීමට අපට බාධාවන් පවතී. එම බාධා හෙවත් අඳුර ඇති කරන්නේ රාහු විසිනි. එම බාධා දුරු කළ හැකි වන්නේ ගණ දෙවියන්ටයි. එම නිසා එක් එක් පුද්ගලයාගේ කේන්දරයට අනුව හිමිවන ‘වචන තුනක ගණ දෙවි මන්තරයක්’ අඟහරුවාදා දිනවල ගායනා කළ යුතුය. ස්කන්ද දෙවිඳුන් වෙනුවෙන්වූ පහත සඳහන් මූල මන්තරය අඟහරුවාදා දිනවල උදේ 6-7 අතර හෝ දහවල් 1-2 අතර හෝ රාත්‍රී 8-9 අතර වේලාවක පළමු දින 324 වාරයක් ගායනා කර තමන්ට සිද්ධි කරගෙන ඉන්පසු 108 වාරයක් ගායනා කරන්න. මන්තරය ‘ඕම් ශරවණභවාය නමාහ’ මෙම පිළිවෙත් අනුගමනය කළ බැතිමතුන්ට නොසිතූ ආකාරයට ව්‍යාපාර දියුණුව ලැබී ඇත. දැවෙන ප්‍රශ්නවලින් මිදී ඇත. විවාහය, දරු සම්පත් ලැබී ඇත.

ප්‍රසන්ජන සිල්වා – ජ්‍යොතිෂ්‍යවේදී පාරම්පරික වෛද්‍ය , වෙද​ ගෙදර අංක 19 මිනුවම්පිටිය පාර, පානදුර.
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

වැනිලා වැව්වොත් ගොඩ, කිලෝ එකක් රු 5000 යි

වැනිලා වගාව ගැන ගොඩක් අය විමසු නිසා කෙටි සටහන් විදිහට මේ තොරතුරු ටික දාන්න හිතුවා බෝගයේ නියමිත ආර්ථික වාසි ලබාගැනීමට නම් වැවෙන දේශගුණික අවශ්‍යතා විදිහට මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ,වැඩි ,වාර්ෂික වර්ෂාපතනය 2000 -2500 mm උෂ්ණත්වය සෙල්සියස් 21-30 ප්‍රශස්ත 27 ලෙස ගන්නා අතර වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා වියලි කාලසීමාවක් ඇති විට ඉතා හොදින් මල් හටගනී ,මේ අනුව ලංකාවේ උඩරට මැදරට කුරුණෑගල ,මහනුවර මාතලේ ,කෑගල්ල ,නුවරඑලිය මාතර(උරුබොක්ක වැනි කදුකර ) රත්නපුර වැනි දිස්තික්ක වල වගා කලහැකරෝපණ ද්‍රව්‍ය ලෙස අඩි 3/4 ක පමණ වැනිලා දඩු කැබලි සිටුවීම් ආධාරක ශාකයකට අල්ලාගෙන ඉහලට වැඩීමට ,ආධාරක ලෙස ග්ලිඩිසිරිය වැඩිපුර යොදාගනී වැනිලා දඩු කැබැල්ල සිටුවීමට මාස 6 කට පමණ කලින් ආධාරක ලී සිටුවා සෙවන 60%-70%ලැබුණු පසු සිටුවීම කල යුතුය.

වැනිලා සෙවන ප්‍රියකරන බෝගයකි සිටුවන පරතරය පේලි අතර අඩි 5 පැල අතර අඩි 8 අක්කර යකට පැල 1000 ආසන්න ව හදාගන්න පුළුවන් .ආධාරක ලී පොලව මට්ටමේ සිට අඩි 6 පමණ උස උදළු මිටක් පමණ මහත විය යුතුය ,එම ආධාරක අසල සිට අදාරකයෙන් එලියටඑනලෙස අඩි 2 පමණ කාණුවක් කපා එම කණුවට කොම්පෝස්ට් පුරවා අඩි 4 පමණ දිග දඩු කැබැල්ල අඩි 1.5 -2 පමණ ආධාරක ලී යට ගැට ගසා ඉතිරි කොටසේ කොළ ඉවත් කර කපාගත කොම්පෝස්ට් පුරවන ලද කාණුවේ වල්ලලන්න(එල් අකුරේ හැඩයට කොටසක් පොළවෙන් උඩ අනෙක් කොටස කොම්පෝස්ට් කණුව තුල) .පසුව එම කොටස දිරාගිය කොළ රොඩු වැනි දෙයකින් ආවරණය කරන්න,

සිටුවීමට පසු වර්ශාපතන්‍යක් නැත්නම් ජලය යොදන්න අලුතින් සිටවන ලද වැල් කැබල්ල කෙසෙල් පඩරැල් පුවක් අතු පොල් අතු වගෙ එවාගේ න් වහන්න සති 3 වගෙ යනකොට අලුත් අංකුර ක්‍රියාත්මක වෙනවා පැල වෙනවාසුදුසු ප්‍රදේශය තෙත් කලාපයේ අතර මැදි කලාපයේ වියළි කලාපයේ හොදින් සෙවන සහිත තැනක ජලය නිතර තියන ජලසම්පාදන කරන්න පුළුවන් ස්තීර ජල ප්‍රභවයක් සහිත තැනක් හෝ කෘතිම නෙට් හවුස්` එකක මිස්ට් ස්ප්‍රින්කල් යොදාගෙන පුළුවන් වෙයි කියලා විශ්වාස යි. සිටුවීමට කලින් වැනිලා වැල් කැබලි පුර්ව ප්‍රතිකාර කරලා හිටවන්න වැල් කපාගත් වහාම හිටවන්න ගන්නෙ නැ සතියක් දෙකක් වැල් ගස් දෙබලක වගේ දෙපැත්ත ට එල්ල්න්න දාලා තියලා හිටවන්න . වැනිලා වගාව අස්වැන්න ගන්න අවුරුදු 2 වගෙ යනවා දිග මීටර් එකක් කැබලි සිටුවීමදී කුඩා දඩු කැබලි වලින් පැල කරගෙන හදාගන්න වැල් අස්වැන්න එන්න අවුරුදු 3/4 යන්න වා.මුල් අස්වැන්න වැලකින් 250 ග්‍රෑම් වගෙ 3/4 අවුරුදු වල කිලෝ එකක් ගන්න පුළුවන් ඉන් පසුව කිලෝ 3 පමණ සාමාන්‍ය යක් තියන්න පුළුවන් කිලෝ එකක් කට අමු කරල් 60/70 අල්ලනවා අමු කිලෝ එකක් අද වෙලදපොල රු 5000/6000 දක්වා වෙනවා ..

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

දියවැඩියාව නිට්ටාවටම සුවකරගන්න රෝගයට සුදුසු සහ නුසුදුසු ආහාර වර්ග

දියවැඩියා රෝගියෙකු ආහාර පාලනය කළ යුත්තේ කෙසේද? නිවසේ සියලු දෙනාටම ගැලපෙන සමබල ආහාර වේලක් සකස් කර ගන්න. සමබර ආහාර වේලක පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, ඛණිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය. සමබල ආහාර වේලක ප්‍රධාන අංගය වන්නේ පිෂ්ඨයයි. එය ලබාගත යුත්තේ, කෙඳි බහුල පිටි සහිත ආහාර වලිනි. කෙඳි වැඩි ප්‍රමාණයක් තිබීම ආහාරයේ ඇති පිටි අවශෝෂණය ප්‍රමාද කිරීමටත්, කුසගින්න දැනීම ප්‍රමාද කිරීමටත් උදව් වේ.

කෙඳි බහුල ආහාර :- නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මුං ඇට, කඩල (තිරිඟු පිටි වලින් සාදනු ලබන ආහාර වල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ අඩංගු නැති නිසා ඒවා සුදුසු නැත.) ඔබ ලබාගන්නා පිෂ්ඨ ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතු අතර, සෑම දිනකම එය එකම ප්‍රමාණයක් විය යුතුය. එක් ආහාර වේලකට අධික පිටි සහිත ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් වළකින්න.

මේදය ලබා ගැනීමේදී දිනකට ලබා ගන්නා මේද ප්‍රමාණය මෙන්ම වර්ගය ගැන සැළකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, එළවළු තෙල් භාවිතා නොකිරීම ගුණදායකය. පොල් තෙල් සුදුසු අතර ඒවා භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරු මස්, හරක් මස්, එළු මස්, චීස්, යොදය සහිත කිරි, බටර් වල ඇති තෙල් සුදුසු නැත. ප්‍රෝටීන ප්‍රමාණවත්ව ගත යුතුය. මුං ඇට, කඩල, කව්පි, පරිප්පු, මාළු, සම ඉවත් කළ කුකුල් මස් වලින් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. කුඩා මාළු ඉතාමත් ගුණදායකය.

නියමිත වේලාවකට ආහාර ගන්න. ආහාර වේල් මඟ නොහරින්න. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, සීනි හෝ පැණි රහිතව මුදවන ලද කිරි ගත හැකිය. මෙහිදී ඉතාමත් අඩුවෙන් ගතයුතු ආහාර වන්නේ පුඩිං වර්ග, වටලප්පන්, ටොෆි, චොකලට්, අයිස්ක්‍රීම්, වැනි දෑ ය. ප්‍රධාන ආහාර වේල් අතරතුර ඔබට පලතුරක් (තරමක් ඉදුනු), පැණි රස නොමැති බිස්කට් එකක්, සීනි රහිත කිරි වීදුරුවක්, අතුරු ආහාරයක් ලෙස ගත හැකිය. රස කැවිලි වර්ග, කේක්, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ටඩ් කිරි වර්ග සහ මේද සහිත පිෂ්ඨය අධික කිරිපිටි වර්ග ලබා ගන්නේ නම් එය ඉතාම ස්වල්පයක් විය යුතුය. ඔබ තරබාරු නම් බර අඩු කර ගැනීමට උනන්දු වන්න. අධික කැලරි සහිත ආහාර අඩු කරන්න. තරබාරු බව අඩු කර ගැනීමෙන් දියවැඩියාව ඉතා හොඳින් පාලනය කළ හැකිය. ලුණු භාවිතය අඩු කරන්න.

දියවැඩියා රෝගීන්ගේ ආහාර සඳහා උපදෙස්. පහත සඳහන් ආහාර වලින් හැකිතරම් වැළකී සිටිය යුතුය.
සියලුම පැණිරස ආහාර වර්ග :- සීනි, හකුරු, මී පැණි, සිරප් වර්ග, රට ඉඳි, ටොෆි, කේක්, රස කැවිලි, තලගුලි, මස්කට්, පුඩිං වර්ග, වටලප්පන්, චොකලට්, පැණිරස, චුයින්ගම්, ජෑම් වර්ග, මාර්ෂ්මෙලෝස්, ජෙලි වර්ග, සිසිල් බීම, පැණිරස බීම වර්ග, පැණිරස යෙදූ පළතුරු යුෂ, තැඹිලි, ග්ලූකෝස්, පැණිරස බිස්කට් වර්ග, අයිස්ක්‍රීම්, ටින් කිරි, මෝල්ටඩ් කිරි පිටි.

පහත සඳහන් ආහාර වර්ග බහුල වශයෙන් ගත හැක.
සියලුම පලා වර්ග :- මුකුණුවැන්න, ගොටුකොළ, තම්පලා, නිවිති, කංකුන්, කතුරුමුරුංගා

පිෂ්ඨය අඩු එළවළු වර්ග :- බෝංචි, මෑකරල්, දඹල, වම්බටු, බණ්ඩක්කා, එළබටු, තක්කාලි, ගෝවා, ලීක්ස්, රාබු, නෝකෝල්, කරවිල, තුඹ, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා, වට්ටක්කා, මුරුංගා, රතු ළූණු, හතු , මුං ඇට, කව්පි, සෝයා බෝංචි, ධාන්‍ය වර්ග.

පහත සඳහන් ආහාර වර්ග මධ්‍යස්ථ ප්‍රමාණයකින් ගත හැකිය.
ධාන්‍ය වර්ග :- නිව්ඩු සහිත බත්, සහල් පිටි ඉඳි ආප්ප සහ පිට්ටු යනාදිය, ආටා පිටි වලින් තැනූ ආහාර, රොටී, ඉඳි ආප්ප, කුරක්කන් පිට්ටු, තලප යනාදිය.

අල වර්ග :- අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරි අල, කැරට්, ඉන්නල, දන්දිල

පිටි සහිත එළවළු සහ පළතුරු :- අළු කෙසෙල්, කොස් සහ කොස් ඇට, දෙල්

මාංශ ආහාර :- කුකුල් මස්, බිත්තර සුදු මදය, මාළු

පැණි රස නොයෙදූ පළතුරු යුෂ :- දොඩම්, වැල් දොඩම්, දෙහි වර්ග

පළතුරු :- පැපොල්, කෙසෙල්, කොමඩු, (මද වශයෙන් ඉදුනු) වඩා සුදුසු වේ.

සාමාන්‍ය උපදෙස් :-
අධික කෙඳි සහිත ආහාර ගැනීම සුදුසුය. පරලු පාන්, සුදු පාන් වලට වඩා සුදුසුය. සුදු පාන් සහ සුදු පිටි වලින් සාදන කෑම හැකිතාක් සීමා කරන්න. කුරක්කන් සහ පලා වර්ග කෙඳි සහිත ආහාර වේ. කුරුට්ට සහිත හාල් සහ එයින් සාදන ලද ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර පාහින ලද හාල් සහ එයින් සාදන ලද ආහාර වලට වඩා සුදුසුය. හකුරු , සීනි මෙන්ම අහිතකරය. හරක් මස්, ඌරු මස් සහ එළු මස් විශේෂයෙන්ම සීමා කළ යුතුය. පළතුරු යුෂ පානයට වඩා එය පළතුරක් ලෙස කෑමට ගැනීම සුදුසුය. සත්ව තෙලට වඩා එළවළු තෙල් සුදුසු වේ. හෘද රෝග, අධික රුධිර පීඩනය, වකුගඩු හා අක්මා රෝග ඇති දියවැඩියා රෝගීන්ට ඉහත සඳහන් ආහාර වට්ටෝරුව වෙනස් කිරීමට සිදුවිය හැක.

(සැකසුම :- හෙළ අරණ™️)