ආමිස පුජාවේ ආනිසංස හරියටම දැනගන්න

බුදු පිළිම වන්දනාව, බෝධි වන්දනාව පහත හෙලන, හෑල්ලුවට ලක් කරන අන්දමේ මත සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නිර්වාණය යනු ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා පූරණය කර, ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු තත්වයකි. එය කුමන අන්දමේ හෝ වන්දනාවකින්, ප්‍රාර්ථනයකින් අත්පත් කර ගත නොහැකි තත්වයකි. මේ නාමරූප ධර්මයන්ගේ යථා ස්වරූපය ප්‍රත්‍යක්ෂව දැන සංයෝජන ධර්මයන් ප්‍රහීන කරමින් ලබා ගන්නා උසස් තත්වයකි.

නිර්වාණ මාර්ගඵල තත්වයන් ලබාගැනීම පිණිස ශ්‍රද්ධා, වීර්යය, සති,සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රිය බල ධර්මයන් පහ සමව වැඩී තිබීම අත්‍යවශ්‍යය. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ප්‍රබල අවබෝධාත්මක ශ්‍රද්ධාවක් ලැබෙනුයේ හදවතින් ධර්මය දකින්න දකින්නය. ”ධර්මය දකින්නා මා දකී” යනුවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කළේ එබැවිනි. නමුත් එක රැයෙන් ධර්මය අවබෝධ කරගෙන, කෙලෙස් ප්‍රහීන කළ නොහැකිය.එයට ගමන් කළ යුතු, වැඩිය යුතු ප්‍රතිපදාවක් ඇත. ධර්මය දැකීමට නම් පියවරෙන් පියවර ගමන් කළ යුතුය.ඉන්ද්‍රිය බල ධර්මයන් ක්‍රමානුකූලව වැඩිය යුතුය. ධර්මය දැක ඉපදෙන ශ්‍රද්ධාවට පළමුව සාමාන්‍ය පෘථග්ජන සිත්වල බුද්ධ රූප දැකීමෙන්, බෝධි වන්දනා ආදිය කිරීමෙන් ශ්‍රද්ධාව ජනිත වේ.

පෙර බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්ථාවලදී පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා ආනන්ද බෝධිය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් රෝපණය කළේ බුදුරජාණන්වහන්සේගේ අනුදැනුම මතය. ජීවමාන බුදුරජාණන්වහන්සේට නමස්කාර කරමියි සිතා එයට වන්දනා කිරීමට අදද දහස් ගණන් බැතිමත්තු එවැනි ස්ථානවලට යති. ඔවුන් ශ්‍රද්ධාවෙන් එවැනි උතුම් වස්තූන් වන්දනා කර අප්‍රමාණ කුසල් රැස් කර ගනිති. අනෙත් අතින් ධර්මය හදවතින් දැක, ධර්මය දරණ පුද්ගලයෙක් වේද ඔහු කෙරේද මේ වා කෙරෙහි ඇත්තේ ශ්‍රද්ධාවකි. අප මහා බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික වස්තූන් යන අදහස සිතට නැඟෙත්ම එවැනි පුද්ගලයකුගේ සිත තුළ ඇතිවන්නේ කෘතඥ පූර්වක , ශ්‍රද්ධා සිතිවිලිය.

ධර්මයේ හරය , ඇත්තේ බාහිර වස්තුවක හෝ පොතපතක හෝ බුදු පිළිමයක නොවේය. ඒවාට වන්දනා කළ පමණින් නිවන් දකින්නේ නැත. අඩුම තරමින් ජීවීත කාලයම ජීවමාන බුදුරජාණන්වහන්සේට වන්දනා කළ කළ සිටියද නිවන් දැකිය නොහැක. එසේනම් බුදු පිළිමයකට වැඳිමෙන් නිවන සාක්ෂාත් කළ නොහැකි බවට සැකයක් නැත. නිවන දකින්නේ සම්මා දිට්ඨිය වැඩුණු සිතකිනි. සමාධි ප්‍රඥා වැඩි දියුණු කරන, ශීලයක් රකින පුද්ගලයකු විසින්, තමාගේ සිත තුළ ඇති කෙලෙස් මූලයන් තම ප්‍රඥාවෙන් දැක ඒවායේ අක්මුල් මුළිනුපුටා දමා, අවිද්‍යා, තෘෂ්ණා ආදී සංයෝජනයන්ගෙන් සර්ව සම්පූර්ණ වශයෙන්ම නිදහස් වීමෙනි. ඒ අවබෝධය සෑම බෞද්ධයකු තුළම තිබීම වැදගත්ය. එසේ වූවත් බුද්ධ ප්‍රතිමාවකට, බෝධි වෘක්ෂයකට සැඳැහැ සිතින් වන්දනාමාන කිරීමෙන් තම තමන්ගේ කුසල් සිත් වඩවා ගත හැක. සිත පිරිසිදු කර ගත හැක. ඒවාට විරුද්ධව නැඟී සිටිමින්, විකල්පවාදී අදහස් දරන්නන් නොදැනුවත්වම හෝ කරන්නේ, නිවන් දැකිය නොහැකි අයට කුසලයක් හෝ කරගැනීමට තිබෙන මං අවුරාලීමකි.

එසේම තවත් කරුණක් කිව යුත්තකි. මේ බුදු දහම ලංකාව තුළ රැකී ඇත්තේ අප විසින් පවත්වාගෙන එනු ලබන යම් යම් සංස්කෘතික අංගයන්ගෙන් ලැබෙන අනුබලයද හේතුවෙනි. කෙසෙල් ගෙඩිය ඉතා සියුම්ය.එය පිටත පොත්තෙන් ආරක්ෂා වී නොතිබුණේ නම්, කෙසෙල් ගෙඩිය විනාශ වීම ඉක්මන්ය . එසේම බෞද්ධ දර්ශනය යනුද ඉතා සියුම් ධර්මයකි. සියුම් ප්‍රඥාවෙන් දතයුතු ධර්මයකි. එය සැමට අවබෝධ කළ නොහැක. ධර්මයේ හරය වැනසෙමින් යමින් පවතී. නමුදු ඉදිරි අනාගතයේද පාරමි ඇත්තන් බිහිවෙනු නො අනුමානය. ඔවුන් සඳහා මෙම උතුම් ධර්මය අප සුරැකිය යුතුය. එහෙයින් බුද්ධිමත්ව සලකා බලා කටයුතු කළ යුතුය. ධර්මය රකින මුවාවෙන් පැමිණෙන විෂම අදහස් එලෙසින්ම භාර නොගෙන ප්‍රඥාවෙන් විමසා බැලිය යුතුය.

කෙසේ වුවද, නිර්වාණය යනු තම හදවතින් දැකිය යුත්තකි. ඇතැම් විට උසස් මාර්ගඵල ලැබූවන් බුද්ධ වන්දනා, බෝධී වන්දනා නොකරනු ඇත. එය බොහෝ විට වීමට ඉඩ ඇත. ඒ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයම සිටින්නේ තම හදවත තුළ බව ඔවුන් ප්‍රත්‍යක්ෂව අත්දැක අති බැවිනි. බුදු ගුණ තිබෙන්නේත් තම සිතේය. ධර්මය තිබෙන්නේත් තම සිතේය. ආර්ය සංඝ රත්නය වැඩ සිටින්නේත් තම සිතේය. හදවත කෙලෙස් මලින් දුරලූ සුගන්ධ කුටියක් වූ කල, බුදුන් සොයා පිටත ගැවසීමට ඔවුනට අවශ්‍ය නොවනු ඇත.

සියල්ල ප්‍රඥාවෙන් විමසා බලා , තම සිතට ගැළපෙන අන්දමින්, තම සිතේ කෙලෙස් මුල් ඉදිරී යන අන්දමින්, තමාට සුදුසු ක්‍රමවේදයන් තෝරා ගෙන, නිර්වාණ මාර්ගය පූරණය කිරීම් තමා සතු වගකීමකි. ඒ සඳහා අවශ්‍ය වීර්යය ඔබ සැමට නිරතුරුවම ලැබේවා.

තෙරුවන් සරණයි..
(උපුටා ගැනීම අමා සුව)